Powered by Blogger.


දකුණු අප්‍රිකා - ඉන්දියාව දෙවැනි අවසන් පූර්ව තරගය අද


විස්‌සයි/20 ක්‍රිකට්‌ තරග රටාවේ පස්‌වැනි ලෝක ශූරයන් තෝරනු ලබන අවසන් මහ තරගයට සුදුස්‌සන් තේරීම සඳහා වූ පළමු අවසන් පූර්ව තරගයේදී ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යායට අනුව ලකුණු 27 කින් බටහිර ඉන්දීය කොදෙව් පිල පැරදවූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිත අදාළතරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (03 දා) රාත්‍රියේ සමත්විය. ඒ අනුව තරගාවලි 5 කින් සමන්විත විස්‌සයි/20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්‌ඩායම අවසන් මහ තරග වරම ලැබූ 03 වැනි මෙන්ම ලෝක කුසලාන තරගාවලිවලදී අවසන් මහ තරග වරම දිනූQ 5 වැනි අවස්‌ථාව ලෙසින් මෙය සටහන් වනු ඇත.

දිගින් දිගටම තරග පැවැත්වීම මත පළමුව පන්දුවට පහර දෙනු ලබන කණ්‌ඩායමට වාසි සහගත ලෙසින් හැසිරුණු ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 161 ක ඉලක්‌කය හඹා යමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ නියමිත පන්දුවාර සංඛ්‍යාව යෑවීමට පෙර වර්ෂාව තරගයට හරස්‌ වූ බැවින් තරගය 13 කුත් පන්දු 5 කදී නවතා දැමීමට සිදුවිය. ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යායට අනුව එම අවස්‌ථාව වන විට බටහිර ඉන්දීය කොදෙව් පිලේ ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව ලකුණු 108 ක්‌ වශයෙන් සටහන්ව තිබුණද කඩුලු 4 ක්‌ දැවී ඔවුහු රැස්‌ කර ගැනීමට සමත්ව සිටියේ ලකුණු 80 ක්‌ පමණි.

අයිස්‌ කැට ලෙසින් ප.ව. 9.42 ට පමණ ඇද හැලුණු අදාළ වර්ෂාව පැය භාගයකට ආසන්න කාලයක්‌ පැවැති අතර එහිදී ක්‍රීඩාංගණයම ජලයෙන් යටවී තිබුණි. එහිදී ක්‍රීඩාංගණ නිරීක්‍ෂණය කළ විනිසුරුවෝ තරගය ප.ව. 10.26 ට නවතා දැමීමට පියවර ගැනීමත් සමග ශ්‍රී ලංකාවට අදාළ වටිනා අවස්‌ථාව හිමිවිය.කොදෙව් ඉනිමේ පස්‌වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද ලසිත් මාලිංග ආරම්භක පිතිකරුවන් දෙපළ වන ක්‍රිස්‌ ගේල් (03) සහ ඩ්වයින් ස්‌මිත් (17) දවා ගනිමින් තරගයේ පාලනය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට සමත්වූවේය. තිසර වෙනුවට කණ්‌ඩායමට පැමිණි සික්‌කුගේ ප්‍රසන්න විසින් සීමන්ස්‌ව දවා ගැනීමත් සමග 8 වැනි පන්දුවාරය වන විට කොදෙව් ලකුණු පුවරුව ලකුණු 34 ට කඩුලු 3 ක්‌ ලෙස සටහන් විය. කඩුලු වැටීම මත පීඩනයකට ලක්‌වූ කොදෙව් පිලේ පළමු පන්දුවාර 10 අවසනදී කඩුලු 3 ක්‌ දැවී ලකුණු 53 ක්‌ ලෙස සටහන් වි තිබිණ.

එහෙත් නිරන්තයෙන්ම දැවැන්ත පහර කරා ගිය ඩ්වයින් බ්‍රාවෝ පන්දු 19 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර 3 ක්‌ සමගින් ලකුණු 30 ක්‌ රැස්‌ කිරීමට සමත්වූ නමුත් කුලසේකරගේ ගොදුරක්‌ බවට පත්වෙමින් හෙතෙම දැවී ගියේය.

ඊයේ ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමද සුපිරි මට්‌ටමක තිබූ අතර පන්දු රැකීමේදී තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ පන්දු රකින්නෝ ලකුණු ගණනාවක්‌ රැක ගැනීමට සමත්වූහ.

බලාපොරොත්තු වූ පරිදි නිත්‍යනායක දිනේෂ් චන්දිමාල්ව බංකුවේ රඳවමින් නායකත්වය දැරූ ලසිත් මාලිංග කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළද ලකුණු 08 ක්‌ තුළ නම් දරා සිටින පිතිකරුවන් වන කුසල්, මහේල සහ සංගක්‌කාර යන තිදෙනාම දැවී යැම ශ්‍රී ලංකා පිල පීඩනයකට ලක්‌වන්නක්‌ බවට පත්විය. අදාළ පීඩනය කොතෙක්‌ දුරට ශ්‍රී ලංකා පිලට බලපෑවේද කිවහොත් පළමු පන්දුවාර 10 අවසනදී ශ්‍රී ලංකාවට රැස්‌ කරගත හැකි වූයේ ලකුණු 65 ක්‌ පමණකි.

ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් අසාර්ථක වුවද අෙෙධ්‍යර්මත් නොවූ ළහිරු තිරිමාන්න පන්දු 35 කට මුහුණ දෙමින් ලකුණු 44 ක්‌ද ලබා මැතිව්ස්‌ සමග සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21 කදී ලකුණු 30 ක්‌ රැස්‌ කිරීමට දායක වූයේය. ඒ අතරතුරදී හයේ පහර 2 කින් සහ තවත් හතරේ පහර 3 කින් තම ඉනිම සරසාගත් තිරිමාන්න සෙන්ටොකිගේ පන්දුවක්‌ හමුවේ දැවී යන විට ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 121 ක්‌ වශයෙන් සටහන් විය.

තිරිමාන්න දැවී ගියද තම අන්තය ආරක්‍ෂා කරගනිමින් පන්දුවට පහර දුන් මැතිව්ස්‌ පන්දු 23 කදි ලකුණු 40 ක්‌ ලබාගත්තේය. අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ ඇන්ෙඩ්‍ර රසල්ට හයේ පහරකින් සහ හතරේ පහරකින් සංග්‍රහ කරමින් ලකුණු 15 ක්‌ උදුරා ගැනීමට මැතිව්ස්‌ සමත්වීමත් සමග අවසන් පන්දුවාර 10 තුළදී ලකුණු 95 ක්‌ රැස්‌ කර ගැනීමට ශ්‍රී ලංකා පිලට අවස්‌ථාව උදාවිය.

සැමුවෙල් බද්‍රිට හයේ පහර බැගින් සංග්‍රහ කළ ඩිල්ෂාන් සහ කුසල් දෙදෙනා පළමු පන්දු 24 තුළදී ලකුණු 41 ක්‌ රැස්‌ කිරීමට සමත්විය. එහිදී කුසල් එල්ල කරන ලද හයේ පහරක්‌ ක්‍රීඩාංගණයේ තිබූ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක පුවරුවක වැදීම මත වෙනත් පන්දුවක්‌ ලබා ගැනීමට විනිසුරුවන්ට සිදුවීමද කැපී පෙනුණි.

සැන්ටොකිගේ පන්දුවක්‌ පිත්තේ ඇතුලු දාරයේ වැදී කඩුල්ල බිඳී යැම මත කුසල් ලකුණු 26 කටද ඩිල්ෂාන්ගේ වැරදි ඇරයුමක්‌ මත කඩුලු අතර දිවීමට ගොස්‌ මහේල ලකුණු නොලබාද දැවී ගිය අතර අනතුරුව සංගක්‌කාරද ලකුණක්‌ ලබා සිටියදී පන්දු යෑවූ බද්‍රි අතට පෙරළා උඩපන්දුවක්‌ දී දැවී ගියේය. පිටියේ තරමක්‌ ස්‌ථාවර වීමට ඩිල්ෂාන් උත්සාහ ගත්තද අනවශ්‍ය ලකුණක්‌ කරා දිව යැමට ගොස්‌ ඔහු ලකුණු 39 කදී දැවී ගියේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය