Powered by Blogger.

දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන්ම පිහිටුවා ගත් ජාතික චිත්‍රපට සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා වන්නේ නීතිඥ අශෝක සේරසිංහ මහතාය.
ඔහු වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි අයෙකි. මේ නිසා කලාව පිළිබඳවත් කාලවටත් ‍පෝෂණය වන අය ගැනත් කලාවෙන්  ‍පෝෂණය කළ යුත්තේ කෙලෙසද යන්න ගැනත් මනාව දන්නා අයෙකි. අද සිනමාව හා ජාතික චිත්‍රපට සංස්ථාව කොයිබටද යනුවෙන් අපි ඔහුගෙන් විමසුවෙමු. මේ එම සාකච්ඡාවෙන් තැබූ සටහනකි.

සිනමා පටයක් පිටපත් තිස් පහකට (35) සීමා කිරීම සාධාරණද?
ඕන චිත්‍රපටයක් පිටපත් තිස්පහකට සීමා කිරීම ක්ෂේත්‍රයෙන්ම ආපු ඉල්ලීමක්. මොකද ලංකාවේ දැනට සිංහල චිත්‍රපට පෙන්වන සිනමාශාලාවලින් සියයක් පමණයි චිත්‍රපටයක් පළමු වරට ප්‍රදර්ශනය මුදා හැරීමට හැකි මට්ටමේ පවතින්නේ. ඒක නිසා එක් චිත්‍රපටයක් සඳහා විශාල සිනමා ශාලා ප්‍රමාණයක් වෙන් කිරීම අනිත් සිනමා නිර්මාණකරුවන්ට කරනු ලබන අසාධාරණයක්. ඒ විතරක් නමෛයි සිනමා නිර්මාණකරුවන් ඉල්ලීමක් කර තිබුණා රැඟුම් පාලක මණ්ඩලය බලපත්‍ර ලබාදෙන අනුපිළිවෙළට චිත්‍රපට මුදා හැරීම සිදු කරන්න කියලා. මේ සියලු කාරණා ගැන සිතා බලා තමයි තීරණයකට ආවේ. චිත්‍රපටයක් මුල්වරට තිරගත කිරීමේදී එය පිටපත් 35කට සීමා කළ යුතුයි කියලා.

නමුත් ඔබලාගේ තීරණයෙන් සිනමාවේ කල්ලිවාදයක් ඇතිවුණා නේද?
ඒක ඕනම දේකට ‍පොදු දෙයක්. ඒත් සමහරු මේකට කැමතියි. අපි මේ සම්බන්ධව අධිකරණයට පවා ගියා. ඒකෙදි තීරණය වුණේ මේ ගැන යම් තීරණයක් ගැනීමේ අයිතිය තිබෙන්නේ චිත්‍රපට සංස්ථාවට බවයි.

මේකෙදි කිසියම් වර්ගීකරණයක් සිදු වෙනවාද?
නෑ එහෙම වර්ගීකරණයක් නෑ. අමාත්‍යතුමා කිසියම් මධ්‍යස්ථ තැනකට ආවා යම් කිසි මොහොතක චිත්‍රපට දෙකකට ඒ කියන්නේ වාණිජමය වශයෙන් හා කලාත්මක වශයෙන් සාර්ථක චිත්‍රපටවලට මණ්ඩලයක් මගින් පිටපත් පනහක් දක්වා අවසරය ලබාදීමට.

ඇතැම් චිත්‍රපට දවසින් දෙකෙන් ගැළවී යනවා. මේ පිටුපස චිත්‍රපට සංස්ථාවේ යම් සම්බන්ධයක් තිබෙනවද?
ඒකට වගකිව යුත්තේ නිර්මාණකරුවන්මයි. ඒකට හේතුව එම චිත්‍රපට මිනිසුන් බලන්නේ නෑ. අපිට කිසිම චිත්‍රපටයක් බලෙන් බලවන්න බෑනේ. පසුගිය කාලෙත් චිත්‍රපට බහුතරයක් ප්‍රේක්ෂකයන් ප්‍රතික්ෂේප කළා. ඒකට ඉතිං එක එක්කෙනා හේතු කියනවා. නිර්මාණකරුවා යනු වැඩි බහුතර ප්‍රසාදයක් ලබාගත හැකි කෙනාටයි. සමහරක් චිත්‍රපට තියෙනවා. ඒත් ඒවා චිත්‍රපට නමෛයි. ඒවා බලන එක මිනිසුන්ට විශාල කරදරයක්. ඒත් හොඳ චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා. හොඳම උදාහරණය තමයි සැමීගේ කතාව. ඒකට අනවශ්‍ය ප්‍රචාරණ නෑ. ඒත් ඒ චිත්‍රපටය නිහඬව ප්‍රදර්ශනය වෙනවා. ඒක චිත්‍රපටයක් හැටියට මිනිසුන් පිළිගන්නවා. ඒත් දැවැන්ත ප්‍රචාරයක් දීපු චිත්‍රපටවලට මිනිසුන්ගෙන් ආකර්ෂණයක් ලැබිලා නැහැ. මම චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විදිහට හිතන්නේ චිත්‍රපට ගැන තීරණය ගන්නේ සංස්ථාව නමෛයි, රජය නමෛයි ජනතාව කියලා.

(චිත්‍රපට ශාලා හිමියන්ට සිද්ධ වෙනවා මිනිසුන් නොබලන චිත්‍රපට ශාලාවලින් ගලවා දමන්න) අපේ කිසියම් ක්‍රමවේදයක් තිබෙනවා ආදායම් එකතු කරලා බලනවා. සාධාරණ ආදායමක් නැත්නං අපි අවසර දෙනවා චිත්‍රපටය ගලවා දමන්න.

චිත්‍රපට සංස්ථාව සතුව තිබූ තිරකතා බැංකුවට මොකද වුණේ?
ඒක දැන් නෑ.

ඒක ආපහු ඇති කිරීමට අදහසක් නැද්ද?
ලංකාවේ තියෙන්නේ විවෘත ආර්ථිකයක්නේ. අනික තමයි මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවයි කියලා ඕනම දෙයක් ප්‍රකාශ කරනවා. එහෙම තමයි මානව හිමිකම් ගැන ලොකු කතාන්දරයක් ඇති වෙලා තියෙන්නේ. එතකොට අපි තීන්දු තීරණ ගත්තොත් මේ අයට විතරයි චිත්‍රපට නිෂ්පාදනය කරන්න දෙන්නේ කියලා. ඒක තවත් අර්බුදයක් ඇති වෙනවා.  අපි හිතනවා සෑම දෙයකම ප්‍රමිතියක් ඇතිවිය යුතුයි කියලා. අප තීරණය කළා තිරනාටකවලට බලපත්‍රයක් ලබාදීමට. ඒක අපිට කරන්න පුළුවන්. ඒත් එකෙනුත් ලොකු අපරාධයක් විය හැකියි. ඒ වගේම චෝදනාවක් එන්නත් පුළුවන් රජය නිර්මාණකරුවන්ට බලපෑම් කරනවා කියලා. මේ කරුණු කාරණා ගැන හිතලා අපි දැනට මේ කටයුත්ත නවතා තිබෙනවා.

සංස්ථාවේ ණය මුදල් ගැන ලොකු කතාවක් ඇතිවුණා. නිර්මාණකරුවෝ කියනවා අප ගත්තේ ආධාර මුදලක් මිස ණය මුදලක් නොවෙයි කියලා. සුනිල් ආරියරත්න මහත්තයත් මේ ගැන කතා කරලා තිබුණා. ඔබලා කියනවා අපි දුන්නේ ණයක් කියලා. මොකක්ද සභාපතිතුමෝ මේ හතර බිරි කතාව.

සුනිල් ආරියරත්න, සුනිල් ආරියරත්නම වීම නිසා මේ ණය නොගෙවිය යුතු නැතිද? අද ලංකාවේ කිසියම් ආයතනයකින් ණය මුදලක් ගත්තොත් ඕනෑම කෙනෙක් ඒ ණය මුදල ගෙවිය යුතුයි. ඒත් චිත්‍රපට සංස්ථාවේ තිබුණ දුර්වලතාවක් තමයි ණය ලබාදී තිබෙන්නේ ඇපයක් නොමැතිවයි. ඕක තමයි ලොකුම අවුල. මේ අය වාසියට අරං තිබෙන්නේ මෙයයි. තිස්ස අබේසේකර මහත්තයා මේ ණය මුදල ලබාදී තිබෙන්නේ නිෂ්පාදකයින් දිරිගැන්වීමට. එහිදී චිත්‍රපටය තමයි ඇපය. නමුත් මේ ගිවිසුම්වල යම් යම් ඌණතාවයන් තිබෙනවා. ඒත් අපි අවසානයේදී තීරණයකට ආවා සුනිල් ආරියරත්න ඇතුළුව චිත්‍රපට දහයක් සඳහා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට. ඒත් ඒ දහදෙනා විතරක් නමෛයි තවත් විශාල පිරිසක් ඉන්නවා ලංකාවේ මේ ණය අරගෙන නෙගෙවා ඉන්න ඇතැම් ප්‍රවීණයන් පවා.

නම් කියන්න බැරිද?
බෑ. මොකද මට සදාචාරයක් තියෙනවා. සිනමාව ගැන සාඩම්බරයෙන් කතා කරන ප්‍රවීණයින් පවා මේතැන ඉන්නවා. ඒ අයගේ හෘර්ද සාක්ෂිය දන්නවා තමන් ණයකරුවන් බව. ඒ අයට සදාචාරයක් තිබෙනවා ඉල්ලන්න කලින් ගෙවන්න. ‍පොදු ව්‍යාපාරික කාරක සභා අපිට උපදෙස් දී තිබෙනවා ඇප නොමැතිව ණය නොදෙන ලෙසට.
රැඟුම් පාලක මණ්ඩලය සිනමාකරුවන්ට දෙයාකාරයකින් සලකන්නේ ඇයි?
මටත් රැඟුම් පාලක මණ්ඩල සභාපති ලෙස වසර දෙකහමාරක අත්දැකීම් තිබෙනවා. ඒකට කාලෙන් කාලෙට පත්වන නිලධාරින් අනුව රැඟුම් පාලක මණ්ඩලයේ භාවිතාව වෙනස් වෙනවා. දැන් පසුගිය කාලෙදී ආන්දෝලනයට ලක්වුණා දෙයක් තමයි ලිංගිකත්වය ඉතාම පහත් විදිහට ලංකාවේ චිත්‍රපටවලට භාවිත කිරීම. රැඟුම් පාලක මණ්ඩලයට අයිතියක් තිබෙනවා රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. එතෙන්දී රජයේ ජාතික ප්‍රතිපත්තියට විරුද්ධ නම් ඒ ගැන රැඟුම් පාලක මණ්ඩලය වැඩි අවධානයක් යොමු කරනවා.

ඒත් සභාපතිතුමා කලාවට නීතිරීති නෑ කියලා තමයි මම අහල තියෙන්නේ.
ඒක බටහිර සංකල්පයක්නේ. මූලික අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආසියා කලාපය තුළ තුලනය වෙනවා සමාජ වගකීම් කියන සාධකය මත. ඔබතුමාට අයිතිය තිබෙනවද නිරුවතින් පාරේ යන්න. එහෙම ගියොත් ඔබතුමාට ගල් ගහනවා. ඒක වළක්වන්න ‍පොලිසිය ඔබතුමාව අත්අඩංගුවට ගන්නවා. ඒ වගේ තමයි නිර්මාණාත්මක.  අපි කවුරුහරි බලා‍පොරොත්තු වෙනවා නම් ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය වගේ රටවල තිබෙන නිර්මාණවල භාවිතය මෙහේ කරන්න කියලා ඒක අමාරුයි. හොඳම උදාහරණය තමයි ඉරානය. ඉරානයේ චිත්‍රපටයක් කරන්න කලින් ඉස්ලාමීය ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයෙන් අවසර ගත යුතුයි. නීති දැඩියි. ඒත් හොඳම සිනමාව තියෙන්නෙ ඉරානයේ. ඒක ඇමෙරිකාවත් පිළිගන්නවා.

නවක සිනමාකරුවන් වෙනුවෙන් සංස්ථාව මොනවගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන්නේ.
පසුගිය කාලයේ කෙටි චිත්‍රපට නිර්මාණය කරලා ඒකෙන් ජයගන්නා අයට යම් ක්‍රමයක් ණය මුදල් ලබා දුන්නා. ඒත් චිත්‍රපට නිර්ණය වාණිජවාදී වෙලා. ඒකට ප්‍රධානම ගැටලුව තමයි බෙදාහැරීම, ප්‍රදර්ශනය ආදිය 2001 වසරේ චන්ද්‍රිකා රජය කළ ‘තුප්පහි’ වැඩක් තමයි චිත්‍රපට බෙදා හැරීම පුද්ගලික අංශයට පැවරීම. ඒක නිසා තරුණ නිර්මාණකරුවන්ට යම් වැඩපිළිවෙළක් හදන්න අමාරුයි. පුද්ගලික අංශයේ සහයෝගය නැතුව. අපිට ‘රිද්මා’ මණ්ඩලය කියලා එකක් තියාගෙනත් අපි අසරණ වෙලා. අපිට කොළඹ සිනමා ශාලාවක් නෑ. බෙදා හැරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සැකසීමට රජය බලා‍පොරොත්තු වෙනවා. තරුණ නිෂ්පාදනයන්ට යම් ණය මුදලක් ලබා දෙනවා. දැන් සැමීගේ කතාව අවුරුදු පහක් ප්‍රදර්ශනය කරගන්න බැරිව තිබුණා. අපි ඒක අරගෙන අවසන් වියදම් දරලා ප්‍රදර්ශනය කළා. චිත්‍රපටය ගත්ත වගේම ඒක මුදල් ඉපයීමත් කළ යුතුයි. නැත්නම් අපිම තමයි ඒ අලාභය ගැන ‍පොදු ව්‍යාපාර කාරක සභාවට පිළිතුරු දිය යුත්තේ.

යුද සෙබළා දේවත්වයකින් පෙන්වන සිනමාව ප්‍රදර්ශනයටත්, ඔහු එතනින් මෑත්වී සාමාන්‍ය මිනිසා බවට පත්වන සිනමාපටවලට වාරණයකුත් නිකුත් කිරීම ගැන ඔබතුමා දරන්නේ මොනවගේ අදහසක්ද?
යුද සෙබළා සාමාන්‍ය මිනිසකු කළ කිසිම චිත්‍රපටයකට බාධා කරලා නෑ. නමුත් මම පැහැදිලිව එකක් අවධාරණය කරන්න කැමතියි. සිංහල බෞද්ධ යුද සෙබළා අමනයෙක් කියලා කියන නිර්මාණ තිබුණා. මේවා ව්ට් බලපෑම් මත කරපුවා මේවාගේ සෙවණැල්ල තමයි බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ විකාශය වූ චිත්‍රපට. විදේශ චිත්‍රපට උළෙලවල්වලදී මගෙන් ඇහුවා ලංකාවේ අමනකම් කියන චිත්‍රපට විතරද හදන්නේ. ලංකාවේ යහගුණ පෙන්වන චිත්‍රපට නැද්ද ඇහුවා. ලෝක යුද්ධ කාලෙදිත් යුද්ධය ගැන විරෝධාකල්පය දැන්වීම් තහනම් කරනවා. වියට්නාම් යුද්දෙදී ඇමෙරිකන් සොල්දාදූවන් කළ ජඩ වැඩ ප්‍රදර්ශනය කළාද? ඔවුන් දිගටම ගෙනිච්චේ ඇමරිකන් සොල්දාදූවා පාරිශුද්ධයි කියන සංකල්පය නේද? යුද සෙබළා අමනයෙක්, අපරාධකාරයෙක් කියන චිත්‍රපටවලට බලපෑමක් සිදු කළා. සමහරක්විට අරක්ෂක හේතු මත.

ඔබත් අධ්‍යක්ෂවරයෙක් නේද? ඇයි සිනමාපටයක් නොකරන්නේ?
මම චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විදිහට මට සිනමාව සම්බන්ධ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වෙන්න බෑ. අපි එක්තරා යුගයක නිර්මාණ කාර්යයේ යෙදුනේ. ඒ නිර්මාණකරුවන් විරල යුගයේදී. අද හැම කෙනෙක්ම නිර්මාණකරුවන් වෙලා.  කලාවේ පරිපාලන කටයුතුවලින් ‍පොදු සේවයක් කළ හැකියි. මම මේ අංශයට කැමතියි.

තව එක ප්‍රශ්නයක් අහන්නම්, කෝප නොගන්නේනම්
මොකක්ද?

ඔබ රජයට කඩේ යනවද?
ඔව්. මම පැහැදිලිවම ආණ්ඩුවට කඩේ යනවා. මේක අපි පත්කළ රජයක්. ජනතාවත් රජයට කඩේ යනවා. මාත් රජයට කඩේ යනවා.රටටත්, ජනතාවටත් මේ රජයෙන් තොර පැවැත්මක් නෑ.

http://www.rivira.lk/edition/images/2014/04/13/dsc_1880.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය