Powered by Blogger.



ශ්‍රී ලාංකේය සිනමාවේ ස්‌වර්ණමය යුගය ප්‍රභාවත් කළ ලෙනින් මොරායස්‌, නීල් රූපසිංහ, යසපාලිත නානායක්‌කාර යන සුවිශේෂ සිනමාකරුවන් පිළිබඳව මෙතෙක්‌ සිනමා ලේඛකයකු විසින් පූර්ණ අධ්‍යයනයක්‌ කර නොතිබිණි. මෙම සිනමා කරුවන් නිර්මාණය කළ චිත්‍රපට ආදායම් වාර්තා සහිතව තිරගත විය. එම චිත්‍රපටවල වූ සංගීතය ගීත හා දෙබස්‌ පවා අදත් අලුත් පරපුර අතර ආකර්ෂණය දිනාගෙන තිබේ. ගායනා තරගවලදී පවා එම චිත්‍රපට ගීත නර්තනයට අලුත් පරපුර දායක කර ගනිති. මෙම සිනමා කරුවන් තිදෙනා පිළිබඳව පූර්ණ අධ්‍යනයක්‌ කර ලියූ ග්‍රන්ථයක්‌ ඉකුත් සතියේ එළි දක්‌වා තිබේ. ප්‍රවීණ සිනමා ලේඛකයකු වූ තුසිත ජයසුන්දර ලියූ ලෙනින් නීල් සහ යසපාලිත (ඔවුන් සහ ඔවුන්ගේ සිනමාව පිළිබඳ විමසුමක්‌) ග්‍රන්ථය නුගේගොඩ සරසවි ප්‍රකාශකයෝ වෙතින් නිකුත් විය.

ලෙනින් මොරායස්‌, නීල් රූපසිංහ, යසපාලිත නානායක්‌කාර යන සිනමා කරුවන්ගේ සිනමා පිවිසුම් විෂය හේතු කර ගන්නට වූ කරුණු රැසකි. මොවුහු පූර්වාදර්ශ සැපයීමෙන්ද පරමාදර්ශ සැපයීමෙන්ද, ලාංකික විනෝදාත්මක සිනමාව පොහොසත් කළහ. ඔවුන්ගේ ඇතැම් චිත්‍රපට නිෂ්පාදනය කෙරිණි. විශේෂයෙන්ම විදේශ චිත්‍රපට අනුකරණයේදී මෙරට සිනමා වෙළෙඳපොළ හා ප්‍රේක්‌ෂක මනාපය අතර සබඳතා හඳුනා ගැනීමට මොවුහු වෑයම් කළහ. විශේෂයෙන්ම ලෙනින් මොරායස්‌ගේ හා නීල් රූපසිංහ ගේ මුල් කාලීන චිත්‍රපට එකල ලාංකික සිනමාව සතුවූ අඩු තාක්‌ෂණික හැකියාවන් ලබා ගත් විටෙක විශ්මය දනවන ජයග්‍රහණ ලෙසින් පෙනේ. සමකාලීන විනෝදාත්මක සිනමාව තුළද මොවුන් ප්‍රකට කළ සමත්කම් ඉක්‌මවූ අවස්‌ථා බහුල නොවේ. තුසිත ජයසුන්දර මෙම කර ඇති සඳහන ඉතා උචිත වන්නකි.

මෙම සිනමාකරුවන් චිත්‍රපට තිරගත කළ දින වකවානු, රූපරාමු, හා තිර කතා පිළිබඳවද තුසිත සඳහන් කර තිබීම අගය කළ යුතු තවත් කරුණකි. ලෙනින් මොරායස්‌, යපාලිත නානායක්‌කාර, නීල් රූපසිංහ මෙරට සිනමා වංශයේ ප්‍රමුඛතම සිනමා කරුවන් තිදෙනෙකි. ඔවුන්ගේ සිනමා භාවිතාවන් හි සමාන මෙන්ම අසමාන ලක්‍ෂණද බහුලය. ඔවුන් තිදෙනා සිනමාව බහුජන විනෝද මාධ්‍යයක්‌ ලෙස ඇදහූ කලාකරුවන්ය. ලෙනින් ක්‍රියාදාම ආකෘතියට මුල්තැන දුන් අතර යසපාලිත සංගීතවත් ආකෘතියක පිහිටියෙකි. නීල් සංගීතමය හා ක්‍රියාදාම ආකෘතියෙහි සිට ඊට වඩා පුළුල් සමාජ පසුතලයක්‌ කරා ගමන් ගන්නෙකි. මොවුන්ගේ නිර්මාණ විනෝදාත්මක සිනමාව තුළ සනිටුහන් කළ කම්පනය විනිශ්චය කිරීමට තරම් විචාර බුද්ධියක්‌ද සිනමාවබෝධයක්‌ද තැන්පත් දැක්‌මක්‌ද තුසිත සතුයි.

කෘතියට පසු වදනක්‌ ලියන ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී බේරගමයන් සඳහන් කර තිබේ. සිනමා සාහිත්‍යයේ පෝෂණය උදෙසා තවත් මෙවන් කෘති ලියන්නට තුසිත ජයසුන්දර අප මිත්‍රයාට ධෛර්ය ප්‍රාර්ථනා කරමි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය