Powered by Blogger.



සිංහල ජන ජීවිතය ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි සම්බන්ධව ගොඩ නැගුනා සේම ඔවුන්ගේ ජන සංස්‌කෘතියද කෘෂිකාර්මික අර්ථ ක්‍රමය සමග වූ ආගමික සහජීවනය සමග අත්‍යන්තයෙන්ම බැඳී පැවති බව නොරහසකි. සරල වූ ජීවන රටාව ස්‌වයං පෝෂිත අර්ථ ක්‍රමයක්‌ සමග ගලපා ගැනීමේදී ඔවුනොවුන් අතර වූ සහජීවනයද ඉතා වැදගත් විය. අහස්‌ දිය මත සිදුවුණ කෘෂිකර්මයේ අස්‌වනු නෙළා ගෙන ඉදිරි කන්නය තෙක්‌ ලබා ගත් විවේකය මානසික ලෙසින් අලුත් වීමට ඔවුන් සූදානම් වූ අන්දම අනාදිමත් කාලයක පටන් පැවැත එන්නකි.

හිරුගේ ගමන මුල් කර ගත් සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව අවුරුදු මාලයේ දක්‌වා ඇති පද්‍ය මගින්ද ප්‍රකට වන්නේ සිංහල අලුත් අවුරුද්ද සහ සූර්යයාගේ රාශි චක්‍රයේ ගමනත් අතර වූ සහසම්බන්ධතාවයයි.


බක්‌ මහ ලත් මේසය යන රැසටා

සක්‌ රජ ලෙස දිවසළු හැඳ තොසටා

සෙත් ආසිරි සලසා සව් සතටා

නික්‌මෙයි සූරිය දෙව් මේ ලෙසටා


ජ්‍යෙdතිෂයට අනුව වසරකට දින 365 ක්‌ ඇති අතර, එය මාස දොළහකට බෙදනු ලබයි. එක්‌ රාශිsයක සූර්යයා මසක්‌ ගත කොට ඊළඟ මාසයට ගමන් කරන අතර, රාශි දොළහේ මුල්ම රාශිය මේෂ රාශියයි. අවසාන රාශිය මීනයි. සූර්යයා මීන රාශියෙන් මේෂයට මාරු වෙන අවස්‌ථාව සංක්‍රාන්තියයි.

රොබට්‌ නොක්‌ස්‌ගේ ස\හනට අනුව සූර්යයා වටා ගමන් කිරීSමට ගත වන කාලය වන දින 365 ක්‌ අවුරුද්දට ඇත. නියමිත ග්‍රහයන් අනුව සූර්යයා පිවිසීම අනුව අවුරුද්ද මාස දොළහට බෙදා ඇත . සිංහලයන්ගේ අවුරුද්ද ඇරඹෙන්නේ අපේ භාවිතයේ හැටියට මාර්තු 28 වැනිදා හෝ 27 දා දිsනකය. එහෙත් ඉතා කලාතුරකින් විසි නව වෙනිදා වුවද විය හැක. මෙයට හේතුව වශයෙන් මා සිතන්නේ අපේ අධික අවුරුද්ද මෙන් සූර්ය ගමනට. අනුකූලව එය තබා ගැනීම සඳහා එය කරන බවයි .

අලුත් අවුරුද්ද පිළිබඳව වූ සීගිරි ගීයක ඇතුලත්

"නව බග් ළසන්ද් දුට්‌ මිනිසක්‌හු නොවජන් නෙයි" යන ගී පදයෙන් නවසඳ බැලීමේ උත්සව අවස්‌ථාව සිහිපත් කරවයි. දහවන සියවසේ පිහිටුවන ලද පුලියන්කුලම සෙල්ලිපියේ සඳහන් අන්දමට වන "බග් ළසන්ද්" ලෙයක්‌ යන ප්‍රකාශය සටහන්ව ඇත.

සිංහල රජ දවසද අලුත් අවුරුදු චාරිත්‍ර වෙනුවෙන් නැකත් පිළියෙල කළ අතර එම කටයුතු බාරව දෛවඥයන් සිටියහ. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්‌වා වූ ගමන අතර වූ පරණ අවුරුද්ද සහ අලුත් අවුරුද්ද අතර වූ කාලය සංක්‍රාන්ති කාලය ලෙස හඳුන්වයි. එබැවින් නැකත් කරුවන් විසින් පිළියෙල කළ යුතු නැකත් අතරට ගැනුනේ

* අලුත් අවුරුදු උදාවෙන දිනය සහ සුබ මොහොත

* ඖෂධ යොදා හිස්‌ සෝදා නෑමට නැකත

* ආහාර අනුභවය

* වැඩ ඇල්ලීම

* ස්‌නානය

* රජතුමාට තෑගි බෝග පිළිගැන්වීම

මෙම අවස්‌ථාවන්ට ගැලපෙන සුබ මුහුර්තීන් අළලා නැකත් පත්‍රයක්‌ පිළියෙල කරනු ලැබේ. රාජකීය වෛද්‍යවරුන් සහ දෛවඥයන් විසින්a ශාකසාර භාවිතයෙන් සකස්‌ කරන ලද ඖෂධ මුට්‌ටි දහයක්‌ නාථ දේවාලයේ පිළියෙල කොට මහත් හරසර සහිත පෙරහැරකින් දළදා මාළිගාවට වඩම්මනු ලබයි. අලුත් අවුරුදු ලබන දිනයේදී රජතුමා ඇමතිවරුන් සහ නිලමේවරුන් පිරිවරා ගෙන සියලු රාජාභරණයන්ගෙන් සැරසී සිංහාසනාරූඪව සිටී. රජගෙදර ප්‍රචාරක අංශය කොඩිතුවක්‌කු හඬ ලෙසින් හඳුන්වන අතර මහජනතාවට මෙම විස්‌තර දැනුම් දීම කොඩිතුවක්‌කු හඬට අයත් කාර්යක්‌ වේ. උඩරට රාජධානියේ සිදුවුන අවුරුදු උත්සව පිළිබඳව ඩොයිලිගේ දින පොතේ සඳහන් විස්‌තරය මෙසේය.

1815 අප්‍රියෙල් 10 වැනි දින

මෙදින පහට මඟුල් මඩුවේදී අදිකාරම්වරුන් දෙදෙනා මුණගැසුනෙමි. හෙට දින රජගෙදර පැවැත්වීමට නියමිත සිහල අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේ උත්සවයට අවශ්‍ය කටයුතු සංවිධානය කළෙමි.

රාත්‍රි නවයට නාථ දේවාලයට ගොස්‌ එහි පැය භාගයක්‌ ගත කළෙමි. අදිකාරම් දෙදෙනා සහ සෙසු ජනතා ප්‍රධානීහු එහි බෙහෙත් දියර පිළියෙල කරවුවෝය. එම බෙහෙත් දියර මැටි බඳුන්වල දමා හෙට පාවිච්චි කිරීම සඳහා උදෑසන මහනුවර සහ පිට පළාත්වල විහාර ස්‌ථානවලටද, අදිකාරම්වරුන්ගේ වලව්වලටද යෑවීම සිදු කෙරේ.

1815 අප්‍රියෙල් 11 වන දින

අලුත් අවුරුදදට කලින් පිළියෙල කළ බෙහෙත් දියර කුඩා මුට්‌ටි දෙක බැගින් සෑම පන්සලකටම යවන ලදී. එසේ යවන ලද්දේ ඉහළම ගරු සරු සහිත හේවිසි පෙරහැරකින්ය. උදේ බෙහෙත් මුට්‌ටි හයක්‌ මට එවන ලදී. ඒ මුට්‌ටි සමග කොඳගමක්‌ සහ වෙලුමක්‌ විය.

සවස 6 . 30 ට ඇහැලේපොල නිලමේ මඟුල් මඩුවට පැමිණියේය. ඊට පසුව අදිකාරම් දෙදෙන සහ සෙසු ප්‍රධානීහු පැමිණියහ. සංක්‍රාන්ති වේලාව පෑතැටියෙන් සොයා බලා ප්‍රකාශ කරන ලද්දේ ගනිතයා විසින්ය. හරියටම නැකත් වේලාවට නාථ දේවාලයේ හේවිසි නාද කෙරුණි. එවිටම එක්‌ දිසාවකට දෙක බැගින් කොඩිතුවක්‌කු වෙඩි මුර අටක්‌ තබන ලදී.

නැකත් උදාවෙන විට ප්‍රභූ පවුල්වල රූමත් තරුණියන් පන්දම් දල්වා ගෙන හාල් සහ කහ දියර පිරි රිදී තලිය බැගින් අත ගෙන රජතුමාට දුරින් සිටිති. නැකත් උදාවෙන මෙහොතේදී රජතුමා ඖෂධ යුෂ හිස ගා ගන්නා අතර පැමිණි සිටින තරුණියන් අපේ මහ රඡ්ජුරුවන් වහන්සේ පස්‌වා දහසක්‌ කල් දිගාසිරි වඳිත්වා ඉර හඳ පවත්නා කල් දිගාසිරි වළඳත්වා යෑයි තෙවරක්‌ සුබ පතන විට නිළමේවරු සහ රාජ පුරුෂයෝද ඒ අනුව යමින් සුබ පතති.

1815 අප්‍රේල් 12 වන දින

මෙදින අලුත් අවුරුද්ද එළැඹෙන වේලාවේ ආහාර ගනිති. මෙදිනත් අනිද්දාත් නිවාඩු කාලයයි මේ දිනවල උඩරැටියෝ කිසිම ගමනක හෝ වැඩක නොයෙදිති.

ආහාර අනුභව කිරීමේ නැකත් වේලාවට රජමාලිගයේ පිළියෙල කරන රසවත් ආහාරය දින භෝජමී නමින් හඳුන්වන රසවත් ආහාරයකි. රජතුමා නැකත් වේලාවට මෙයින් කොටසක්‌ අනුභව කොට මාළිගයට පැමිණ සිටින තමන්ගේ හිතෛෂීන්ට මෙය පිළිගන්වනු ලබයි. මෙදින රාත්‍රියේදී විsශේෂ අවුරුදු රාජ භෝජනයක්‌ පවත්වන අතර නැකතට ආහාර ගත් සියලු දෙනාම රජතුමා සමග ආහාර බුත්ති විඳිනු ලබයි. (ගුණපාල, ඩොයිලිගේ දින පොත (266- 267)

වැඩ ඇල්ලීම වෙනුවෙන් වූ නැකත් වේලාවට භාණ්‌ඩ හුවමාරු කර ගැනීමක්‌ සිදු වේ. වැඩවසම් සමාජය භාණ්‌ඩ මත පදනම් වූ අතර නැකත් අවස්‌ථාවටද භාණ්‌ඩ හුවමාරුවක්‌ සිදු විය. නිළමේවරුන් සහ ඇමතිවරුන් හාල්, පොල්, ධාන්‍ය සහ පළතුරු ගබඩාවට යවන ලද අතර ඔවුන්ට තමා රජතුමාට ත්‍යාග ලෙස දුන් දෙයට වඩා වැඩි ප්‍රමාණයක්‌ තෑගි ලෙස ලැබෙයි. සාමාන්‍ය ජනතාවටද මෙදිනට රජමාලිගාවට ඇතුළුවීමට අවසර ලැබුණි.

සිංහල රජ දවස අලුත් අවුරුදු උත්සවයේ ඊළග අවස්‌ථාව වන්නේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ස්‌නානය කිරීමයි. නාථ දේවාලයෙන් ලබා ගත් ඖෂධ යුෂ මිශ්‍ර මුට්‌ටියක්‌ ස්‌නානය කරන අතර එයින් පසු සුවඳ පැන් ස්‌නානය කරනු ලබයි. දිය ස්‌නානය හමාර වී රාජාභරණ පැළඳ ගත් රජතුමාට රාජ කන්‍යාවියන් විසින් සුබ පතනු ලබයි.

රජතුමා බැහැදැකීමේ අවස්‌ථාව අතීත සිංහල අලුත් අවුරුද්දේ අවසාන අවස්‌ථාව වේ. නියමිත වේලාවට සිංහාසනයට සැපැත් වන මහරජතුමා බැහැ දකිනු සඳහා නිළමේවරුන් පැමිණෙන අතර තනතුරු ධුරාවලියට අනුව රජතුමා ඔවුන් පිළිගනු ලබයි.නිළමේවරුන් තමන්ගේ තනතුරට සහ වත්කමට සමානව ත්‍යාග රැගෙන එති. මෙම රැගෙන එන ත්‍යාග රජතුමාගේ දෙපතුල මුල තබා මහරජාණන්වහන්ස, ඉර හඳ හිමි කොට ගෙන අහස පොළව හිමි කොට ගෙන ජීවත්වන සේක්‌වා........ කියමින් ආශිර්වාද කරයි. මෙම ත්‍යාගයන්හි වටිනාකම ගණනය කරන විට රජතුමාට තමන්ගේ රාජකාරිය වෙනුවෙන් සිටින විශේෂ නිලධාරින් ගණනය කර ගැනීමද ඉබේම සිදු වේ. මෙම ත්‍යාගවලට පෙරලා ත්‍යාග නොලැබුණද නිලමේවරුන් විසින් මහා භාණ්‌ඩාගාරයට ගෙවිය යුතු බදු මුදල ත්‍යාග ලෙස දුන් භාණ්‌ඩයේ වටිනාකමෙන් අඩු කරනු ලැබේ.

රොබට්‌ නොක්‌ස්‌ විසින් එදා හෙළදිව ග්‍රන්ථයේ අලුත් අවුරුදු විස්‌තර කළ අන්දම මෙසේය.

රඡ්ජුරුවෝ ඉස්‌ සෝදා නාපියා ස්‌වර්ණාභරණ විභූෂිතව සන්නාහ සන්නද්ධව පෙළ ගැසී සිට ගත් බල සෙනග පරීක්‌ෂා කිරීම සඳහා මාලිගාවෙන් නික්‌මෙති. එම මෙහොතේ ආචාර වෙඩිමුර කීපයක්‌ පවත්වනු ලැබේ. ඉක්‌බිත්තෙන් අදිකාරම්, දිසාපති ආදි රජයේ උසස්‌ නිළධාරිහු තම තමන්ගේ තානාන්තර වශයෙන් රට සහ දිශා වශයෙන් අලුත් අවුරුදු පෙනුම් කත් සඳහා ගෙනෙන ද්‍රව්‍ය අතර රත්රන් ආභරණ, ලෝහමය තැටි, අවි ආයුධ පිහියා සහ වස්‌ත්‍රාදිය වෙයි. මහරජුට පරිත්‍යාග කිරීමට මෙබඳු වස්‌තුව නැති තැනැත්තේ ඒ වෙනුවට මුදල් ප්‍රදානය කරති.

ගිහි සමාජය අතර පමණක්‌ නොව සංඝ සමාජය අතරද අවුරුදු චාරිත්‍ර අතීතයේ පටන්ම අවිච්ජින්නව පැවතේ. සංඝ සමාජයේ (පියදස්‌සි හිමි, මහනුවර සැඟවුණ තොරතුරු (පි .103) අවුරුදු සිරිත් අතර

* අලුත් අවුරුද්ද සඳහා සඳ බැලීම

* පරණ අවුරුද්ද සඳහා ස්‌නානය

* පුණ්‍ය කාලය තුළ දැහැත් පිළිගැන්වීම වේ.

අස්‌ගිරි මල්වතු විහාර මුල් කර ගත් චිරාගත අවුරුදු සම්ප්‍රදායන් මෙසේය.

ගරුතර මහා සංඝයා වහන්සේලා විසින් මහානායක හිමිපාණන් වහන්සේ බැහැ දැක දැහැත් පිළිගන්වා වැරදි සමා කර ගැනීමට වේලාවක්‌ නියම කර ගනිති. මෙම වේලාවට සියලුම ස්‌වාමින් වහන්සේලා අනුනායක හිමියන් පෙරටු කොට ගෙන ආරාමයට වැඩම කරති. දැහැත් පිළිගන්වා පසඟ පිහිටුවා වැඳ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අපරාධං ඛමථ මේ භන්තේ යන වැකිය කියත්ම මහා නායක හිමියන් ඛමාමි ආවුසෝ ඛමිතබ්බං වැකිය පවසති. වැඳ නමස්‌කාර කරන භික්‌ෂුන් වහන්සේලා ඕකාස ඛමාමි භන්තේ යන වාක්‍යය සඳහන් කරති.

පුණ්‍ය කාලයේදී තෙරුවන් වන්දනා කරණ භික්‌ෂුන් වහන්සේලා විහාරස්‌ථානයන්හි කිරි උතුරවා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරති. ආහාර පිසීමට වූ නැකත පෙරවරුවෙහි නම් ඒ සඳහා අදාළ කාලයේදී ආහාර පිසීම හා අනුභවය කරති. යම් හෙයකින් නැකත් වේලාවන් පස්‌වරුවට යෙදී ඇත්නම් ශ්‍රී දළදා මාළිගාවේ නැකත් මොහොට්‌ටාල විසින් සාදන නැකත් පත්‍රයට අනුව ආහාර පිසීම සහ දානය වැළඳීම සිදු කරති. වැඩ අල්ලන නැකත් වේලාවට ධර්ම ග්‍රන්ථ කියවීම හෝ ලිවීම සිදු කරති.

හිස තෙල් ගානා නැකත් වේලාවට ඇතිරිල්ලක්‌ එලන ලද ආසනයක ධාතු කරඬුවක්‌ හෝ බුදුපිළිම වහන්සේ නමක්‌ තැන්පත් කරනු ලබයි. ඒ මත මල් පහන් සුවඳ දුම් පුදා එය ඉදිරිපිට වූ කනප්පුවක්‌ මත මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙන් එවන ලද නානු භාජනය සහ තෙල් භාජනය තබනු ලබයි. හිසට තබන කොළ අතු කැබැල්ල එල්ලා ඇති අතර පයට තබන කොළ අතු කැබැල්ල පැදුර මත කබා ඇත. සුබ මොහොතදී මහා නායක හිමියන් වහන්සේ පළමුව කොළ අතු තබා ඇති ස්‌ථානයට වැඩමවා සිට, කරවට සහ බුදු පිළිම වහන්සේට වැඳ මලක්‌ ගෙන සුබ දිශාව දෙස බලා තෙල් සහ නානු හිස්‌ මුදුනෙහි ආලේප කරගෙන එතැනින් ඉවත්ව වඩිති. සෙසු භික්‌ෂුන් වහන්සේලාද පෙර වූ පිළිවෙලටම තෙල් සහ නානු ආලේප කර ගනිති.

සංඝ සමාජය මුල් කර ගත් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අවසාන වන්නේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට සිදු කරන කිරිආහාර පූජාවෙන්ය. හිස තෙල් ගෑම අවසානයේදී වූ දින දෙකක්‌ තුළ මෙම පූජාව සිදු වේ. සෑම පන්සලකින්ම කිරි බත් පාත්‍රා තුන බැගින් පිළියෙල කර ගෙන නියමිත දින අලුයම දළදා මාලිගාවට වඩිති. මල් පූජාවෙන් අනතුරුව එක්‌ පාත්‍රයක්‌ දළදා වහන්සේටත්, දෙවන කිරි ආහාර පාත්‍රය පල්ලේ මාලේ පිළිම වහන්සේටත්, තුන්වන කිරිබත් පාත්‍රය නාථ දේවාලයේ විහාරයෙහි පිළිම වහන්සේටත් පූජා කරනු ලබයි.

 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය