Powered by Blogger.

භික්‍ෂුව හා සමාජය

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
අනුශාසක, සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක
මණ්‌ඩලය


දේශපාලනය යනු ඉංග්‍රීසියෙන් පොලිටික්‌ස්‌ යන වචනය සඳහා වූ පාරිභාෂිත සිංහල වචනයයි. දැනට දශක හතක අටක පමණ කාලයක සිට එය භාවිත වෙයි. කිසියම් දේශයක්‌ හෝ ජාතියක්‌ පාලනය කිරීම, පෝෂණය කිරීම, ඒ සඳහා නීති රීති පැනවීම හා ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කොට ක්‍රියාත්මක කිරීම යනු පොලිටික්‌ස්‌ හෙවත් දේශපාලනය හැඳින්වීමට ඉංග්‍රීසියෙන් සැපයෙන සරල නිර්වචනයයි. දේශපාලනය යනු යහපාලනයක්‌ විය යුතු ය යන්න පොදු පිළිගැනීමකි.

බටහිර චින්තනයෙහි දැක්‌වෙන දේශපාලනයත් බෞද්ධ විග්‍රහයන්හි දැක්‌වෙන දේශපාලනයත් අතර වෙනස්‌ කම් පවතියි. මකියාවෙලිගේ කුමාරයා පොත බටහිර දේශපාලනයේ අත්පොතකි. කපටි දේශපාලකයන් බිහිවීමට එය අත්වැලකි. යහපාලනය පිළිබඳව බුදුදහමෙහි නොයෙකුත් සූත්‍රවල හා ජාතක කතාවල පුළුල් ලෙස විස්‌තර කෙරේ. රාජ්‍ය පාලන ක්‍රමය කුමක්‌ වුවත් රටක්‌, දේශයක්‌ පාලනය කළ යුත්තේ දැහැමි හා සාමකාමී පිළිවෙතකිනි. දානය, සීලය, නෛෂ්ක්‍රම්‍යය, සෘජුබව, මෘදුබව, තපස, ක්‍රෝධයෙන් තොරවීම, හිංසනයෙන් වෙන්වීම, ඉවසීම, විරෝධයෙන් තොරවීම යන දසරාජ ධර්මය බෞද්ධ දේශපාලනයේ පදනමයි. ලිච්ඡවින්ගේ සප්ත අපරිහානිය ධර්මවලින් ද ඒ සඳහා ආලෝකයක්‌ ලැබේ.

ශ්‍රී ලාංකික දේශපාලනය හා බුදුදහම අතර පවතින්නේ ඓතිහාසික සබඳකමකි. ලංකා ඉතිහාසය පුරාම භික්‌ෂුව දේශපාලනයට සම්බන්ධ වූ කෙනෙකි. රාජ්‍ය පාලකයා තැනුවේ භික්‌ෂූන්ය. ඉමාම් පැල්ක්‌ නමැති ලන්දේසි ආණ්‌ඩුකාරයාගේ ප්‍රශ්නවලට මල්වතු මහා විහාරයේ භික්‌ෂූන් පිරිසක්‌ 1769 වසරේ දී සැපයූ පිළිතුරු හෙළ රජසිරිත් හා ලෝක චාරිත්‍ර නමැති පොතෙහි ඇතුළත් වෙයි. දේශපාලනය කරන්නා පංෙච්න්ද්‍රීය දමනය කළ අයකු විය යුතු ය. දසරාජ ධර්මය යනු ර-ජුරුවන් වහන්සේ හැසිරෙන්ට ඕනෑ කරන ආඥාවල් ය.

" රට ආණ්‌ඩු කිරීමේ කාරණාවල් ගැන සංඝයා වහන්සේලා විසින් කරන කියන දේවලුත් ඇතුවා ද යන මේ ඇසීමට"

" මෙම නුවර පුරාතන පටන් පැවැති තිබෙන මහා විහාර දෙකේ සංඝයා ඇතුළුව මේ ලක්‌දිව වසන සෑම සංඝයා වහන්සේලාට ද, නායක තානාන්තරයට පැමිණ සිටින දෙනමද, මෙකී සෑම දෙනාටම මුලාදෑනි සංඝරාජයන් වහන්සේ ද, වෙනත් ආගම දැනීමෙහි දක්‍ෂ ධර්ම කථිකයන් වහන්සේලා ද, මහරජ, දසරාජ ධර්මයට නොවෙනස්‌ව රාජ්‍ය කළ මැනැවැයි කියා අවවාද, අනුශාසනා කරනවා ය." යනුවෙන් ලාංකික භික්‌ෂූන්ගේ දේශපාලන ක්‍රියාවලිය පැහැදිලි කොට ඇත. ඒ අනුව භික්‌ෂුව යනු දේශපාලකයාට අනුශාසනා කරන්නෙකි. එම අනුශාසනා නොපිළිගන්නා විට පත්තනික්‌කජන කර්මයෙන් (දානය බෙදන විට පාත්‍රය යටිකුරු කිරීම මගින්) ඔහුට විරෝධය පෑමත්, යහපත් පාලකයකු පත්කර ගැනීමත් භික්‌ෂූන්ගේ සිරිතකි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අයත් සාමි මන්ත්‍රී මණ්‌ඩලය කැන්ටබරි ආච්බිෂොප් තුමා ඇතුළු පූජකවරුන්ගේ දේශපාලන බලය තහවුරු කෙරෙන ආයතනයකි. 1948 දී එම පාලන ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ස්‌ථාපිත කළේ නම්, එම උපදේශක තත්ත්වය භික්‌ෂූන්ට හිමිවන නිසා ඉංග්‍රීසීන් එම ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ නැත. බුද්ධාගමට තිබුණ සාම්ප්‍රදායික බලය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඉවත් කෙරුණි.

පුද්ගලයකුගේ යහපත් දිවි පැවැත්ම සඳහා කටයුතු කරන භික්‌ෂුවට ඔහුගේ දෙලොව දියුණුව ගැන ම සිතන්නට සිදුවෙයි. එය අදාළ නොවන්නේ ජන සමාජයෙන් ඈත් වූ භික්‌ෂුවකට පමණි. බෞද්ධ අර්ථ කථනය අනුව බලන විට දේශපාලනය යනු පරාර්ථචර්යාවේ නිරත වීමකි. එම නිසා, මහජන යහපත උදෙසා භික්‌ෂූන් දේශපාලනයට මැදිහත් වීම සාධාරණ බව ප්‍රසිද්ධ භික්‌ෂූන් පිරිසක්‌ 1946 දුරුතු පොහොය දින කැලණිය විහාරයේ දී එළිදැක්‌ වූ දේශපාලන ප්‍රකාශනයෙන් ද, 1946 පෙබරවාරි 13 වන දින නිකුත් කෙරුණ විද්‍යාලංකාර ප්‍රකාශනයෙන්ද පෙන්වා දී ඇත. "ආගම දියුණුව පවතින්නේ එය අදහන රටවැසියාගේ දියුණුව උඩම බව පැහැදිලිය. සිංහල මනුෂ්‍යයා බුද්ධාගම්කාරයා යම් කලෙක දියුණු නම්, බුද්ධාගමේ දියුණුවත් එම කාලයේ ම බව ඉතිහාසයෙන් ඔප්පු වෙයි. එ බැවින් භික්‌ෂු ජීවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රටවැසියාගේ යහපතට හේතුවන යම් වැඩ පිළිවෙළක්‌ වේ නම්, එහි නම දේශපාලනය හෝ වේවා කුමක්‌ හෝ වේවා එහි යෙදීම භික්‌ෂූන්ට සුදුසු ම ය. " යනුවෙන් විද්‍යාලංකාර ප්‍රකාශනයේ දැක්‌වේ.

සිංහලේ ආණ්‌ඩුක්‍රමය ගැන ඩොයිලි ලියූ සටහන්වල පන්සලක පැවැත් වූ ගම්සභාවේ දී නඩුවක්‌ විසඳීමෙන් පසු ඕවිටිපාන උන්නාන්සේ එය අත්සන් කළ බව සඳහන් වෙයි. භික්‌ෂූන් ගම් සභාවලට තේරී පත්ව දේශපාලන කටයුතුවල යෙදීම මෑත කාලයේ ද සිදුවුණි. එය දේශපාලනයේ නිරතවීමක්‌ වශයෙන් නොව ගමේ දියුණුව සඳහා භික්‌ෂුවගේ ඇප කැපවීමක්‌ ලෙස සැලකුණ බැවින් ඒ ගැන විරෝධයක්‌ මතු නොවුණි.

අපේ රටේ වර්තමාන දේශපාලනය වංචාව, දූෂණය, ආත්ර්මාර්ථය හා ප්‍රචණ්‌ඩත්වයට නැඹුරු වූවකි. බුදු දහමේ සඳහන් දේශපාලනය හා වර්තමානයේ ක්‍රියාත්මක දේශපාලනය පරස්‌පර වූවකි. එය භික්‌ෂූ චර්යාවට නොගැළපෙන්නකි. භික්‌ෂූන් අපේක්‍ෂා කරන්නේ පරාර්ථය පෙරදැරි කර ගත්, සදාචාරවත් සමාජයක්‌ බිහිකිරීම සඳහා පොදු දේශපාලන ක්‍රියාවලියට මැදිහත්වීමට යි. එහෙත් මැතිවරණ ක්‍රමය තුළින් සෘජුව දේශපාලනයට නැඹුරු වූ භික්‌ෂුවට ද පවතින ක්‍රමයට අනුගත වීමට සිදුවෙයි. එයින් මිදෙන්නට නොහැකි වෙයි. ඒ පිළිබඳ අත්දැකීම් මේ වන විට අපේ සමාජයට ලැබී ඇත. භික්‌ෂූන් මැතිවරණවලට තරග මගින් භික්‌ෂුවගේ දේශපාලන කාර්ය භාරය හා සීමාව ඉක්‌මවා යාමක්‌ බව බොහෝ දෙනාගේ අදහස යි. ඡන්දය ශාසනික සම්ප්‍රදාය තුළ ද තිබේ. නමුත් භික්‌ෂුව ගිහියන්ගෙන් ඡන්දය හා මනාපය යදින්නේ නැත. එය අශාසනික පිළිවෙතකි. ගිහියා සියලු භික්‌ෂූන්ට සම සිතින් ගරු බුහුමන් කළ යුතුය. මනාප අමනාප වශයෙන් භික්‌ෂූන් බෙදාගැනීම ගිහියාට නොගැළපෙයි. එබැවින් ශාසනාරක්‍ෂක මණ්‌ඩල නිලවරණයේ දී ගිහියන්ට ඡන්ද බලය නොලැබෙයි.

භික්‌ෂූන් මන්ත්‍රී පදවි ඉල්ලීම අමරපුර ශ්‍රී සද්ධම්මවංස මහානිකාය මගින් මෑතක දී තහනම් කළේය. රාමඤ්ඤ මහා නිකායේ කතිකාවතට අනුව ද භික්‌ෂූන් මැතිවරණයට ඉදිරිපත් වීම විනය විරෝධීය. එම අදහස සියම් මහා නිකායෙන් ද ඇතැම් විට ඉදිරිපත් වූවත්, ස්‌ථීර තීන්දුවක්‌ නොමැත. දැනට භික්‌ෂු නිකායක්‌ මගින් ගත් තීරණය බලාත්මක ද? යන ප්‍රශ්නය මතුවෙයි. එම නිකායට අයත් භික්‌ෂුවක්‌ දැනුදු පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසා නිකායේ තීරණය අභියෝගයට ලක්‌ව ඇත. නිකායික නියමය නොපිළිගන්නා විට කළ හැකි වන්නේ එවැනි භික්‌ෂුන් නිකායෙන් නෙරපීමයි. එහෙත් සමස්‌ත භික්‌ෂුන්ට අදාළ පොදු නීතියක්‌ නොමැති නිසා මැතිවරණයකට ඉදිරිපත් වන්නට වෑයම් කරන භික්‌ෂුව ඒ සඳහා වාරණයක්‌ නොමැති නිකායට මාරුවූවොත් හෝ තමන්ට කිසිම නිකායක්‌ නැතැයි කීවොත් ගත හැකි පියවර කුමක්‌ද? යන්න ගැටලුවකි. භික්‌ෂූන්ට මැතිවරණ නාම යෝජනා නොදෙන්නැයි දේශපාලන පක්‍ෂ එකඟ කර ගත හැකිය. නමුත් ස්‌වාධීනව මැතිවරණයට ඉදිරිපත් වීමට එයින් බාධාවක්‌ නොමැත. භික්‌ෂූන් මෙහෙය වන දේශපාලන පක්‍ෂ ද තිබේ.

භික්‌ෂූන් හෝ ආගමික පූජකයන් මැතිවරණයට ඉදිරිපත් වීම වළක්‌වන පනතක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 19 වන සංශෝධනය වශයෙන් විෙ-දාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම පිළිබඳ 9 වන වගන්තිය ශක්‌තිමත් කිරීම, ජාතික සමගිය තහවුරු කිරීම, ගෞරවය හා පූජනීයත්වය පවත්වාගෙන යාම සඳහා ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 91 වගන්තියට උප වගන්තියක්‌ එකතු කිරීමට එයින් යෝජනා වෙයි. බෞද්ධ භික්‌ෂුවක්‌ හෝ ඕනෑම ආගමක පූජකවරයකු 7 වන පාර්ලිමේන්තුවේ කාලය අවසන් වූ පසු එම පනත ක්‍රියාත්මක විය යුතු යෑයි යෝජනා කොට ඇත. යෝජිත පනත සෘජුවම දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන භික්‌ෂූන් එල්ල කෙරුණකි. ඒ ගැන විවේචන පවතියි. ඒ නිසා පනත් කෙටුම්පත යටපත් වුණි. නමුත් අහෝසි නොවුණි.

යෝජිත භික්‌ෂු දේශපාලන පනතට එරෙහි විවාදයන්හි දී තර්ක විතර්ක ඉදිරිපත් වුණි. ලෝකයේ කිසිදු බෞද්ධ රාජ්‍යයක භික්‌ෂුන්ට නොමැති දේශපාලන අයිතිවාසිකමක්‌ ශ්‍රී ලාංකික භික්‌ෂූන්ට තිබේ. එය ලාංකික සංස්‌කෘතියෙන් හා ව්‍යවස්‌ථාවෙන් ලැබුණ දෙයකි. භික්‌ෂු දේශපාලනයට වාරණ පැනවීමට යෝජනා කෙරෙන්නේ වර්තමානයේ භාවිත දේශපාලන ක්‍රමය කෙරෙහි සමාජයේ පවතින පිළිකුල හේතුවෙනි. අනාගතය ගැන කිසිවකුට යමක්‌ කිව නොහැක. දේශපාලන පෙරළි හමුවේ මතුවට වුවමනා වුවොත්, භික්‌ෂුවගේ දේශපාලන අයිතිය උපරිම ලෙස භාවිත කිරීමට ඉඩකඩ තබාගැනීම මිස නීතියෙන් එයට වැටකඩොලු බැඳීම සුදුසු නැත. අවශ්‍ය වන්නේ නීතියක්‌ නොව ස්‌වයං වාරණයකි. ඇතැමකු දැක්‌ වූ මතයකි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය