Powered by Blogger.

හුස්මානන්ද . . .
හඳුනනවාද ඔහුව?
හුස්මානන්ද ඉන්නේ දමින්ද මඩවල අධ්‍යක්ෂණය කරපු මෙගා ටෙලි සිතුවමේ.
දැන් මතකයි නේද?
හුස්මානන්දට වන අකරතැබ්බ නම් බොහොමයි. ඒත් ඔහු ඒවා කනකටවත් ගන්නේ නැතුව අපූරුවට ඒවාට මුහුණ දෙනවා. හුස්මානන්දට පණ පොවණ මේ තරුණයාගේ නම මංජුල රණසිංහ. ඔහු පුංචි තිරයට තරමක් ආගන්තුක චරිතයක් වුණත් වේදිකාවේ නම් සම්මානනීය නළුවෙක්. මෙගා තමයි මංජුල හා හා පුරා කියලා ප්‍රධාන චරිතයක් මවපු ටෙලි සිතුවම. ඒ වගේම මේ සටහන් වන්නෙත් ඒ හුස්මානන්ද හෙවත් මංජුලගේ කුලුඳුල් පුවත්පත් ලිපිය. ඉතින් එහෙනම් මංජුලව හොඳින් හඳුනා ගනිමු. ඒත් සමඟම හුස්මානන්ද ගැනත් කතා කරමු.
මංජුල කොහෙන්ද අපි කතාව ආරම්භ කරන්නේ?
මං හිතනවා හුස්මානන්ද ගැන කතා කළොත් හොඳයි කියලා.
හුස්මානන්ද ඔබට වාසනාව ගෙනාවා කිව්වොත් මම හරිද?
හරියටම හරි. වසර ගණනාවක් මං ක්ෂේත්‍රයේ හිටියත් සාමාන්‍ය ජනතාව අතරේ මාව ජනප්‍රිය වුණේ නැහැ. නමුත් මෙගා විකාශය වන්නට පටන් ගත් දින සිට මට හොඳ හොද ප්‍රතිචාර තියෙනවා. ගොඩක් අය නාට්‍ය වටා රොක් වෙලා සිටිනවා කියලා දැනෙනවා. ඒ ප්‍රතිචාරවලින් හුස්මානන්ද කියන්නේ ටෙලි නාට්‍ය ටී බෝයි කෙනෙක්. මම අනන්තවත් ටී බෝයිලා දැකලා තියෙනවා. ඒත් මම මටම අනන්‍ය වූ ගති ලක්ෂණ කිහිපයක් හුස්මානන්ද වෙනුවෙන් හදා ගත්තා. ඒවාට තමයි ගොඩක් අය ප්‍රිය කරන්නේ.
ඔබ ජන කරළියේ ආරම්භක සාමාජිකයෙක්. ඇයි ඉන් ඉවත් වුණේ?
මම අවුරුදු ගණනාවක් ජන කරළියේ හිටියා. චන්දාස්, සෙක්කුව වැනි නාට්‍යවලට දායක වුණා. 2006 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය ගත්තෙත් මම. ජන කරළියේ ඉන්න කොට වෙනත් නාට්‍යවලට දායකවන්න අමාරු ගතියක් තියෙනවා. දොස් කියනවා එහෙම නෙවෙයි. මට හිතුණා එළියට ඇවිත් ටෙලිවල රඟපාන්න.
මෙගා අධ්‍යක්ෂ දමින්ද නේද ඔබට හුස්මානන්දට ආරාධනා කරන්නේ?
ඔව්. ඔහු චරන්දාස් නරඹලා මාව දැකලා මගේ දක්ෂතා හඳුනාගෙන තිබුණා. ඔහුට හිතෙන්න ඇති මාව ඊට හොඳින් ගැළපෙනවා කියලා.
ජන කරළියෙන් අයින් වුනාට දුකක් නැද්ද? කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ ඉන් හැකි තරම් ඉගෙන ගෙන එය හමාර වූ තැන ජන කරළියෙන් ඉවත්වුණා කියලා?
අපි වේදිකා නාට්‍ය කරද්දී ඉබේටම රංගනය පිළිබඳ ඉගෙන ගැනීමක් වෙනවා. ඒක වලක්වන්න බැහැ. වසර කිහිපයක්ම ජන කරයේ හැසිරෙද්දී ප්‍රායෝගික මට්ටමේ බොහෝ දේවල්වලින් මම පෝෂණය වෙලා. ඒක මම හිතාමතාම කරපු දෙයක් නෙවෙයි. මම අසාධාරණ නැහැ. කාත් එක්කවත් ගැටුම් ඇති කරගෙන නෙවෙයි මම ඉවත් වුණේ. අදටත් මම ජන කරළිය හරහා මාව හදපු පරාක්‍රම නිරිඇල්ල සහ එච්. ඒ. පෙරේරාව සිහිපිත් කරන්නේ අප්‍රමාණ භක්තියෙන්.
වේදිකා නාට්‍ය කරද්දී ලැෙැබන දැනුමට වඩා අඩු දැනුමක් නේද ටෙලි නාට්‍ය කරද්දී ලැබෙන්නේ?
ඒක නම් ඇත්ත. ටෙලි නාට්‍යවලින් ජනප්‍රිය වෙන්න පුළුවන්. නමුත් ඉගෙන ගන්නවා නම් වේදිකා නාට්‍ය කළ යුතුයි. මාත් රංගනය ගැන ඉගෙන ගත්තේ වේදිකා නාට්‍ය කරලනෙ.
ඔබ මේ හැරුණේ ජනප්‍රියත්වය සොය යෑමේ මාවතකටද?
එහෙම කියන්න අමාරුයි. රංගනයට පැමිණෙන කෙනෙකුගේ අරමුණ ජනප්‍රියවීමම නෙවෙයි. මම කළේ මාධ්‍ය මාරු කිරීම පමණයි.
මේ වන විට ඔබ වෘත්තීමය නළුවෙක්?
මට වෙන ආදායම් මාර්ග නැහැ. වෙන සාත්තරයක් දන්නෙත් නැහැ. මට පුළුවන් කලාව විතරයි. එයිනුයි මම ජීවත් වෙන්නේ.
පුළුවන්ද එහෙම ඉන්න?
ටිකක් අමාරුයි. ඒත් මං ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ. මගේ ලොකු ගණන් නැහැනෙ. පුංචි නළුවෙක් මං.
හුස්මානන්ද නිතරම කියන වාක්‍යක් මේ දවස්වල හරියට ජනප්‍රියයි නේද?
අයින කාගෙන. ඒ වචන දෙක කිය කිය බොහෝ දෙනා විහිළු කරනවා. දැන් මටත් ඒ වචන දිවට හුරු වෙලා. අයින කාගෙන තමයි මාත් දැන් ඉන්නේ.
ආයෙත් ජන කරළියට යන්න අදහසක් නැද්ද?
තවම නැහැ. මම බාර ගත්තු වැඩ කිහිපයක් තියෙනවා. ඒවා දැනට කරගෙන යනවා.
මෙගා ටෙලි නාට්‍යයෙන් කතාබහ කෙරෙන්නේ ටෙලි ක්ෂේත්‍රයේම වන වැරැදි. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?
අපි මෙමගින් කිසිම නිර්මාණකරුවකුට පහර දීමක් සිදු කරන්නේ නැහැ. හරියට වැඩ කරන අයට කරන දේ හරියට නොකරන උදවියට මෙගා බලලා කෙන්ති යන්නේ. එක අතකින් බලන කොට මෙගා කියන්නේ ක්ෂේත්‍රයේ සෝදාපාළුව වලකන බෙහෙතක් වගේ.
ක්ෂේත්‍රයේ අය මෙගා බලලා ඔබේ මූණටම දොස් කියපු අවස්ථාවන් ඇති?
දැනට එහෙම නැහැ. හිතින් බනිනවාද කියන්න මට බැහැනෙ. හැබැයි ක්ෂේත්‍රයේ ගොඩක් අය චරිතයේ ගුණ දොස් කියනවා.
මංජුලගේ පුද්ගලික ජීවිතේ විස්තරත් කියමු?
මගේ ගම හම්බන්තොට. හුංගම විජයබා ජාතික පාසලෙනුයි අධ්‍යාපනය ලැබුවේ. මං විවාහකයි. බිරිය ශ්‍යාමලී. මට දරුවො තිදෙනෙක් ඉන්නවා. වෘත්තීය ජීවිතය හොඳීන් ගෙනි යන්න ඔවුන් මට බෙහෙවින් ශක්තියක්.
පවුලේ සාමාජිකයින් හුස්මානන්ද ගැන මොකද කියන්නේ?
මගේ අප්පේ ඔවුන් තරම් විචාරකයින් තවත් මට නැහැ. ඒ අය මට අඩුපාඩු පෙන්නලා දෙනවා. මාත් හරි ආසාවෙනුයි ඒවා අහගෙන ඉන්නවා.
මේ ගමන එන්න උදව් වුණ පිරිසත් මතක් කරමු?
මගේ ආරම්භක ගුරුවරයා වන්නේ ලක්ෂ්මි කේ. පතිරණ. එච්. ඒ. පෙරේරා, පරාක්‍රම නිරඇල්ල, දමින්ද මඩවල, සෝමරත්න දිසානායක, ජයප්‍රකාශ් සිවගුරුනාදන් වගේ මහත්වරුන්ව මතක් කරන්නේ මම හරිම ආදරයෙන්. ඔවුන්ගේ නිහතමානීකම මම නිතරම අගය කරනවා.

මැකෝ ගිරවා ලොව පුරා


‘රියෝ’ නිල් පැහැති අපූරු මැකෝ ගිරවෙකු ගැන කියවෙන කතා පුවතයි. නීති විරෝධි අයුරින් කුරුල්ලන් ප්‍රවාහනය කෙරෙනා ට්‍රක් රථයකින් ඉවතට විසි වූ මේ නිල් පැහැති මැකෝ ගිරවා ලින්ඩා නම් පුංචි ගැහැනු ළමයා අතට පත් වේ. වසර පහළොවක් පුරාවට ලින්ඩා සමගින් හැදී වැඩෙන බ්ලූ නැමැති මේ ගිරවා පක්ෂි විද්‍යඥයෙකු වන ටියුලියෝගේ ආරාධනයෙන් රියෝ ද ජෙනයිරෝ වෙත යන්නේ තම වර්ගයා බෝ කිරීමේ අරමුණ වෙනුවෙනි. එහිදි ජෙවෙල් නම් වූ නිල් පැහැති මැකෝ ගිරවිය සමගින් සතුටින් දිවි ගෙවන බ්ලූ හට, කාර්ලා, බියා සහ ටියාගෝ නම් වූ පැටවු තිදෙනෙක් වෙති.
මේ අතරතුරේදී බ්ලූගේ පෙර හිමිකාරිය වූ ලින්ඩා සිය සැමියා සමගින් ඇමසන් වනයේ ගවේෂණයක යෙදෙන විටදී හමු වන එක් පිහාටුවක් අහිමි වේගයෙන් පියඹා යා හැකි වූ ස්පික්ස් මැකෝ ගිරවෙකු පිළිබඳ ප්‍රවෘත්තිය දකිනා ජෙවෙල් ඔවුන්හට උදව් වීම පිණිස වනයට යෑමට යෝජනා කරයි. නගරයේ හැදුණු වැඩුණු බ්ලූ වනයට එතරම් කැමැත්තක් නොදැක්වුවත් ජෙවෙල්ගේ සතුට වෙනුවෙන් මේ ගමන යෑමට එකඟ වෙයි. ජෙවෙල් බ්ලූ යුවළ තම දරුවන් සහ රෆායල්, නිකෝ සහ පේඩ්රෝ නම් මිතුරන් තිදෙනා ද සමගින් ඇමර්සන් වනය දක්වා වූ ගමන පිටත් වෙයි. ඔවුන්ගේ මේ ගමන කෙබඳු එකක් වේවිද ?
‘රියෝ 2’ ගෙන එන්නේ එම කතා පුවතයි.
ඩොලර් මිලියන 103ක පිරිවැයක් දරා නිපදවූ මෙම සංගීතමය පරිගණක සජීවකරණ චිත්‍රපටය මිනිත්තු 101ක් පුරාවට ගෙන එන්නේ බ්ලූ ඇතුළු කණ්ඩායම ඇමසන් වනය දක්වා යන ගමනේ කතා පුවතයි. ජෙසී එසෙන්බර්ග්, ඇනී හෙත්වේ, ලෙස්ලි මාන්, බෲනො මාර්ස්, ජෙමයින් ක්ලෙමෙන්ට්, ජෝර්ජ් ලෝපේස්, ජැමයින් ෆොක්ස් ඇතුළු පිරිසක් මේ වෙනුවෙන් හඬ දායකත්වය ලබා දෙති. කාලෝස් සල්ඩානා අධ්‍යක්ෂණය කළ ‘රියෝ 2’ බ්ලූ ස්කයි ස්ටුඩියෝ ඉදිරිපක් කිරීමකි. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්රරපට අතරේ මේ දිනවල ඉහළ ස්ථානයක් හිමි කරගෙන සිටින මෙම අපූරු චිත්‍රපටය වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමාහලේදි ලාංකික ඔබටද නැරඹීමේ අවස්ථාව දැන් උදා වී ඇත.

තිරයට චණ්ඩියා වුණත් සැබෑ ජීවිතයේ මම අහිංසකයෙක්

කුමාර රණපුර
දුවගේ විවාහය මගේ ජීවිතයේ සුන්දරම දවසක්
අලුත් අයට වැඩියෙන් දෙබස්, පරණ අයට ඒවා නෑ
රිදී තිරයේ සේම පුංචි තිරයේ ද චණ්ඩියා ඔහුය. මෙරට කලා ක්ෂේත්‍රයේ දක්‍ෂ සටන් නළුවකු ලෙසින් ප්‍රසිද්ධ ඔහු කුමාර රණපුර නම් වෙයි. මේ දිනවල ‘සිහින සක්මන’, ‘ගිනි අවි සහ ගිනි කෙළි, ‘මැද ගෙදර’ ටෙලි නාට්‍යවලින් ඔබ හමුවට එන රණේ ගේ අලුත්ම තොරතුරු ගැනයි මේ සඳහන.
පුංචි තිරයෙන් හැමදාම හමු වුණත්, මෙහෙම හමු වුණේ කාලෙකින් නේද? කොහොමද ජීවිතේ?
සුන්දරයි, ගොඩක් සතුටින් ඉන්නවා.
මොනවද අලුත් තොරතුරු?
ඇත්තම කිව්වොත් මේ දවස්වල මට පොඩි විවේකයක් ලැබුණා.
ඒ මොකද?
ඇත්තටම, මේ විවේකය ලැබුණේ පොඩි අනතුරක් නිසා. මේ ළඟදී අනුරුද්ධ ගාම්භීරආරච්චි ගේ ‘පැතුම් මල් වසන්තේ’ කියන අලුත් ටෙලි නාට්‍යයේ සටන් දර්ශනයක් රූපගත වෙමින් තිබුණා. මාත් එක්ක තව පස් දෙනෙක් මේ සටන් දර්ශනයට එක්වී සිටියා. හැබැයි මේ පස්දෙනාම අලුත් අය. කොහොම හරි සටන කෙරුණත් මුලින් කියපු ආකාරයට නෙවෙයි මේ අය සටන් කළේ. ඒ නිසා මගේ අතකට නොසිතූ අයුරින් පොඩි අනතුරක් වුණා. දැන් බේත් කරනවා. මම හිතන්නේ තව මාසයක් විතර මෙහෙම ඉන්න වෙයි. ඕවා ඉතින් ඔහොම තමයි.
ටෙලි නාට්‍ය කිහිපයකින්ම මේ දිනවල ඔබව දකිනවා. කොහොමද මේවට ලැබෙන ප්‍රතිචාර?
ඔව්, මේ දවස්වල මම ඉන්න ටෙලි නාට්‍ය තුන හතරක්ම විකාශය වෙනවා. දිනූෂ චමින්ද එල්ලාවල ගේ ‘සිහින සක්මන, රෝහණ සමරදිවාකර ගේ මැද ගෙදර, සාරංග මෙන්ඩිස් ගේ ගිනි අවි සහ ගිනි කෙළි’ ඉන් කිහිපයක්. සිහින සක්මනේ කළු අප්පු ලෙසත්, ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍යයේ ගොතටුවේ සිරිල් ලෙසත්, මැද ගෙදර නිකලස් ලෙසත් එකිනෙකට වෙනස් චරිත තුනක් නිරූපණය කරනවා. ඇත්තටම මට හරිම සතුටුයි මේ තුනටම හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. ඒ වගේම ‘කෝපි කඩේ’ නාට්‍යයටත් සුපුරුදු පරිදි දායක වෙනවා.
ටෙලි නාට්‍ය වගේම සිනමාව සහ වේදිකාවටත් ඔබ බොහොම ළැදි කෙනෙක්?
ඔව්, කිසිම බේදයක් නැතුව මේ ක්ෂේත්‍ර තුනටම මම එකවගේ කැමතියි. මේ වෙනකොට චිත්‍රපට පනහකට වැඩි සංඛ්‍යාවකට මම රංගන දායකත්වය ලබාදීලා තියෙනවා. බොහොමයක් චිත්‍රපටවල සහාය සටන් අධ්‍යක්‍ෂණයටත් දායක වුණා. ඒ වගේම මේ ළඟදී චිත්‍රපට තුනකම සටන් අධ්‍යක්‍ෂණය කරන්නත් මට ලැබුණා. තුෂාර රණසිංහ ගේ ‘ඩොක්ටර් ජෝන්’ සහ දිනූෂ ප්‍රදීප් කුමාර ගේ ‘රොකට් රජා පොකට් රාජා’ සහ ඔහුගේම ‘අර්ජනා’ කියන චිත්‍රපටයි. වේදිකා නාට්‍ය ගැන කිව්වොත් ‘නෙයිනගෙ සූදුවේ’ චණ්ඩි ජෝන් සුවිශේෂයි. ඒ වගේම ‘මේවට කවුද වග කියන්නේ, දිසාපාමොක්, පසුව අමතන්න, පැන්ෂන් මහත්තයා වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම දායක වෙන්න අවස්ථාව ලැබී තියෙනවා.
ඇයි හැමදාම චණ්ඩි පාට්ම දාන්නේ?
ඒක නම් මටත් හිතා ගන්න බැහැ. මම හිතන්නේ මට ඒවගේ චරිත වැඩිපුරම ලැබෙන්නේ මගේ කොණ්ඩෙයි, පෙනුමයි හින්දා වෙන්න ඇති. ඒ වුණත් මම සැබෑ ජීවිතයේ නම් චණ්ඩියෙක් නෙවෙයි. කා සමඟත් මිත්‍රශීලී, බොහොම අහිංසක මනුස්සයෙක්. වෙලාවකට මට හිතෙනවා මම එකම රාමුවකට කොටුවෙලා ද කියලත්. ඒත් ලැබෙන්නෙම ඒ වගේ චරිත. මම හරි ආසයි ගැමි චරිත නිරූපණය කරන්න. හැමදාම චණ්ඩි වෙන්න හොඳ නැහැනේ.
කලාවට අමතරව දැන් ව්‍යාපාරික කටයුත්තකුත් කරගෙන යනවා කියලා ආරංචියි?
ඔව්, ඒකත් කලාවට සම්බන්ධ එකක්. මම මේ කාලෙදි දැකපු දෙයක් තමයි ෆිල්ම් ලොජ් එකක් නැති අඩුව නිසා අපේ නළු නිළියන් විඳින අපහසුව. දුර බැහැර රූපගත කිරීමකට ගිහින් කොළඹට රෑවෙලා අවොත් ගමට යන්න බස් නැතුව ඉන්න වෙන්නෙ මහපාරෙ. මේවා මම අනන්තවත් දැකලා තියෙනවා. ඒ නිසා තමයි මම ෆිල්ම් ලොජ් එකක් පටන් ගන්න හිතුවේ. ඒ වගේම කොළඹ රූපගත කිරීම්වලදී ඉන්න තැනක් නැහැ. දැන් ඒ වගේ මහපාරෙ ඉන්න ඕන නැහැ. සැප පහසුවට ඉඳලා පහුවදා යන්න පුළුවන් ඒ අයට. ඒ වගේම මම හිතනවා ලොකු සේවයක් කලා ක්ෂේත්‍රයට මෙයින් සිදු වෙනවා කියලා. ඒ නිසා මට සතුටුයි. අනිත් එක හැමදාමත් රඟපෑම කරන්නත් බෑනේ. කවදාහරි රඟපාන්න නැති වුණ දාට ආදායම් මාර්ගයකුත් අවශ්‍ය වෙනවානේ. ඒවත් හිතලයි මම මේක පටන් ගත්තේ.
කොහොමද පෞද්ගලික ජීවිතේ?
මම ගොඩක් සතුටින් පෞද්ගලික ජීවිතය ගතකරන කෙනෙක්. බිරිඳ කමලී එදිරිසිංහ. ඇය ගායිකාවක්. දුව ජනිත්‍රි මධුෂා. ඇය දැන් විවාහකයි. දුවගේ සැමියා තුෂාර විජේවික්‍රම. මගේ දුවගේ විවාහ දිනය මගේ ජීවිතයේ සුන්දරම දවසක්.
එතකොට ඔබත් දැන් සිංදු කියනවා කියලා ආරංචියක් ආවා. මොකද බිරිඳ ගායිකාවක් නිසාද සිංදු කියන්න හිතුවේ?
අපෝ නැහැ. මේ ළඟදී පළමු වතාවට වේදිකාවකට නැග්ගා ගීත ගයන්න. නාවික හමුදාවේ ප්‍රසංගයක් තිබුණා කංකසන්තුරේ. නාවික හමුදා බෑන්ඩ් එක මෙහි සංගීතය මෙහෙය වූවේ. තැන තැන ගීත කිය කියා හිටියට මේ වගේ වේදිකාවකට නැග්ගේ මුල්වතාවට.
ඔබ ක්ෂේත්‍රයට පැමිණි දා පටන් මේ දක්වා වූ කාලය පුරා ගොඩනඟා ගත් ස්ථාවරය ගැන මොකද හිතෙන්නේ?
මම කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු විස්සකට වැඩියි. එදා මම ආරම්භ කළ තැනත් අද මම සිටින තැනත් දිහා බලනකොට ලොකු සතුටක් දැනෙනවා. කුමාර රණපුර ලෙස මම අද වෙනකොට ක්ෂේත්‍රයේ යම්කිසි තැනක් ලබාගෙන තියෙනවා. ඒ තැනට මම ආවේ විශාල කැප කිරීමක් කරලා. කිසිම දෙයක් ලෙහෙසියට, නිකම් ලැබුණේ නැහැ. උත්සාහයයි කැප වීමයි තමයි මේ හැමදේම ලබා දුන්නේ. ඒ වුණත් දැන් ඉන්න නවකයන් දෙබස් වැඩිපුර තියෙනවා නම් විතරයි චරිත භාර ගන්නේ. අපි ක්ෂේත්‍රයට ආපු කාලෙ නම් එහෙම නෙවෙයි. දැන් අලුත් අයට වැඩියෙන් දෙබස් විතරයි අවශ්‍ය. ලැබෙන චරිත වලට උපරිම සාධාරණයක් කිරීමයි රංගන ශිල්පියෙක් විදියට කළ යුතු වන්නේ.
ඉදිරි නිර්මාණ ගැනත් පොඩ්ඩක් සඳහන් කරමු?
ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී එම කටයුතුත් සාර්ථකව කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.
නො, 844 බී, සිංහපුර, පැලවත්ත, බත්තරමුල්ල ලිපිනයට ඔබටත් පුළුවන් කුමාරට ලියන්න.

බ්‍රෙෂ්ට් නඟා සිටුවමු

ධර්මජිත් පුනර්ජීව
හෙන්රි ජයසේනගේ හුණුවටය ගැන ගැටළුවක්
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ Senora Cararr’s Rifle නාට්‍ය රචනය ඇසුරින් ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පරිවර්තනය කර ධර්මජිත් පුණර්ජීව අධක්ෂණය කළ ‘රැගෙන අවි මම ද එමි’ නාට්‍ය ලබන 10 වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේදී රංගගත කෙරේ. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදය මඟින් ඉදිරිපත් කෙරෙන මෙම නාට්‍ය පිළිබඳ නාට්‍යවේදී ධර්මජිත් පුණර්ජීව සමගින් කළ කතාබහ මෙසේ සටහන් වේ.
මේ සුවිශේෂ කටයුත්ත පිළිබඳ සඳහන් කරමින් අපේ කතා බහ ආරම්භ කරමු ?
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සහ මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි පසුබිමේ ඉඳගෙන අපි මේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදය ආරම්භ කරන්නේ. බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදය මඟින් අපි මෙවර රැගෙන අවි මම ද එමි නාට්‍ය වේදිකා ගත කරන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අනෝමා ජනාදරී, සුදර්ශන බණ්ඩාර, නිනෝ ජයකොඩි, රුචි අබේවර්ණ, ඉන්දික වික්‍රමරත්න, සුරේෂ් හර්ෂජීව, රංජිත් වික්‍රමසිංහ, ලංකා සුගතපාල, තෙපුලි පුණර්ජීව මේ සඳහා රංගනයෙන් දායක වීමට නියමිතයි.
මෙම කාර්යය පිටුපස ඇති විශේෂ අරමුණ ගැනත් සඳහන් කළොත්?
මූලිකම අරමුණ තමයි මෙහි නමේ සඳහන් වන පරිදි බ්‍රෙෂ්ට් පුනරුද කිරීම. බ්‍රෙෂ්ට් පුදනරුදය කරන්නේ ලංකාවේ නිර්මාණකරුවෝ බ්‍රෙස්ට් අසම්පූර්ණයෙන් රංග ගත කර තිබීම හේතුවෙන් කියන එකයි අපේ අදහස. ඇත්තටම බ්‍රෙෂ්ට් රඟ දක්වන්න අමාරුයි. එයට හේතුව තමයි ඔහු සාමාන්‍ය නාට්‍යකරුවෙකුට වඩා එහා ගිය සමාජ දේශපාලනික ජගත් දෘෂ්ටියක් ලෝකයට ප්‍රදානය කළ ඒ වෙනුවෙන් වෙහෙසුණු නාට්‍ය කරුවෙක් නිසා.
ඒවෙනුවෙන් ජීවිතයම කැප කළ අයෙක් නිසා. ඔහු උපන් රට ජර්මනිය. ඔහු නට්සිවාදී හිට්ලර්ගේ ආඥාදායකත්වය මූලිකකරගත් ඒ රටේ ඇති වූ කැරළිකාරීත්වයට එරෙහිව තම නාට්‍ය මාධ්‍යයෙන් ජනතාවට පාඩම් රැසක් කියා දුන් නිර්මාණකරුවෙක්. මේ නිසා ඔහු ජීවත්ව සිටියාට වඩා මිය ගියාට පසු අද ලෝකයට ඔහු ඕනෑ කරන වඩා වැදගත් නාට්‍යකරුවෙකු බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපට ඔහුගෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ. ලෝකවාසී සියලුම නාට්‍යකරුවන්ට අද බ්‍රෙෂ්ට්ගේ පාඩම් ඉතා වටිනා බව අපි විශ්වාස කරනවා.
බ්‍රෙෂ්ට් තමුන්ගේ නාට්‍යකරණය ගැන ඒ අදහස් ප්‍රෙක්ෂකයන්ට කියන්න වෙහෙස දැරුවේ එතෙක් පැවතුනා වූ ඇරිස්ටෝටලියානු සම්ප්‍රදායේ මනෝභාවයන් සමඟ පේ‍්‍ර්ක්ෂකයන් ගනු දෙනු කළ යුතුයි කියන මූලික මූලධර්මය උඩයි. ඔහුට මේ ඇරිස්ටෝටලියානු සම්ප්‍රෑදායත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඔහු කියන්නේ පේ‍්‍ර්ක්ෂකයන් මනෝභාවයට පත් කිරීමෙන් මගේ පණිවුවය පේ‍්‍ර්ක්ෂකයන් සමග බෙදා හදා ගැනීමට නොහැකි බවයි.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්
එයට හේතුව අපි නිර්මාණයක් බලන විට සිනමාවේ හෝ නාට්‍යයේදී අපි ඒ චරිත හා බැඳෙනවා. කලාව මගින් නිෂ්පාදනය කරන මායාව සමග අපි බැඳෙනවා. ඒ මායාව අපි ගෙදර අරගෙන යනවා මිස අදාළ පණිවුඩය අපි අරගෙන යන්නේ නැහැ. එයට ඔහු සපුරා විරුද්ධ වූ අයෙක්. ඒ නිසා ඔහු ආකෘති රැසක් සමඟින් ගනු දෙනු කළා. උදාහණයක් හැටියට ඓතිහාසික එපික් නාට්‍ය ක්‍රමය. මේ එපික් නාට්‍ය ක්‍රමය සමග ගනුදෙනු කර ඔහු එයින් බිඳ ගත් තවත් සංකල්පයක් වූ ඒලියනේෂන් ඉෆෙක්ට් සමත් ගනුදෙනු කරනවා. ඔබ දන්නා දුරස්ථීය රංග රීතිය ලෙස එය හැඳීන්වෙනවා.
තිහේ දශකයේ සිට අපිට මුහුණ දෙන්න වුණු බ්‍රෙෂ්ට් සංකල්ප ඌණතාවය මකා දැමිය යුතු වෙනවා. ඒ මූලධර්ම කෙතරම් වැදගත්ද කියන කාරණය මතු වෙන්න අවශ්‍ය බව අපි තරයේ විශ්වාස කලා. ඉන් පසු මේ ගැන දීර්ඝ ලෙස අධ්‍යයනයකින් පසුව මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු වැනි අයගේ මෙහෙයවීම යටතේ අපි බ්‍රෙෂ්ට් පුදනරුද පර්ෂදය පිහිටු වූවා. ඒ යටතේ අපි උත්සාහ කරනවා අවුරුද්දකට වරක් හෝ ඔහුගේ නාට්‍යයක් සිංහලට පරිවර්තනය කර රංග ගත කිරීමට. මේ එහි දෙවන පියවරයි. සෙනෝරා කරාර් රයිෆල් නාට්‍ය සිංහලෙන් රැගෙන අවි මම ද එමි ලෙස රංග කෙරෙන්නේ.
නමුත් බ්‍රෙට්ස්ගේ නාට්‍ය නිර්මාණ අපේ රටට ආගන්තුක නැහැ නේද?
අපේ රටේ ඔහු ජීවත්ව සිටියදීම ඔහුගේ නාට්‍ය පිටපත් භාවිතයට අරගෙන තියෙනවා. තිහේ දශකයේදී ලුඩවයිස් මහාචාර්යවරයා “ද ගුඩ් වුමන් ඔෆ් සෙස්ට්වාන්” නාට්‍ය හරහා කොළඹ විශ්වවිද්‍යාලයේදී බ්‍රෙෂ්ට් නාට්‍ය රංග ගත කරලා තියෙනවා. ඒ ඉංගී‍්‍රසි මාධ්‍යයෙන්. හැටේ දශකයේ අග භාගයේදී හෙන්රි ජයසේනයන්හට අවස්ථාවක් ලැබෙනවා රුසියාවේ සංචාරයක් කරන්න. එහිදී ඔහු දකිනවා බ්‍රෙෂ්ට්ගේ තවත් සුප්‍රසිද්ධ නාට්‍යයක් වන ද කොකෙසියන් චෝක් සර්කල්. ඔහු ලංකාවට පැමිණ මෙය නිෂ්පාදනය කරනවා. හුණුවටය නාට්‍ය අපේ පාසලේ සිංහල විෂයට නිර්දේශ වූ නාට්‍යයක්. මනමේ සිංහබාහු කෙතෙරම් ජාතික නාට්‍යයේ කලාවට සිංහල විෂය නිර්දේශයට කෙතරම් වැදගත්ද ඒ තරමටම හුණුවටයේ කතාවත් අපට වැදගත් වුණා. දැන් අවුල තියෙන්නේ ආකෘතිය සම්බන්ධයෙන්.
රැගෙන අවි මම ද එමි පිරිවර
මේ නාට්‍ය. පරිවර්තනයක් වුනත් දැන් ගැටළුව තියෙන්නේ හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාවේදී මේ සංකල්ප ආකෘති හරි ආකාරයෙන් සිදු වුණා දැයි කියන එකයි. විවිධ විද්වතුන් පෙන්වා දුන් කාරණයක් තමයි ඔහු අතින් නාට්‍යයෙන් මතු කළ අන්තර්ගතය වන සමාජ දේශපාලන යුද වාතාවරණය හැළී ගොස් ඊට අමතරව ආකෘතිවාදී සංකල්ප සිදු නොවු බව.
අපි බ්‍රෙෂ්ට්ගේ සංකල්ප සම්බන්ධයෙන් ගත්තොත් මෑතකදී පරාක්‍රම නිරිඇල්ල හුණුවටයේ නාට්‍යයේම යළි රංගගත කළා. මම හිතන අයුරින් ඔහුට පුළුවන්කම ලැබිලා තියෙනවා මෙවර රාජ්‍ය සම්මාන සමගින් ජනකරළිය හරහා එම නාට්‍ය සංකල්ප අත්හදා බැලීමෙන් බ්‍රෙෂ්ට්හට යම්තාක් දුරට සාධාරණයක් ඉෂ්ට කිරීමට. අපි සියලු දෙනා එකතුව එය අධ්‍යනයේ නියැළුන හොත් නාට්‍ය කලාවට බ්‍රෙෂ්ට් සම්බන්ධයෙන් ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් බව මගේ අදහසයි.
බ්‍රෙෂ්ට් පුදනරුද පර්ෂදය විසින් මෙහි ආරම්භය සනිටුහන් කළ ආකාරය මෙන්ම සාර්ථකතවය ගැනත් සටහනක් තැබුවොත් ?
2012 වසරේදී දි එක්සෙප්ෂන් ඇන්ඩ් රූල් නාට්‍ය අපි සම්මතය සහ අසම්මතය ලෙස සිංහලෙන් ජෝන් ද සිල්වා සමරු රඟහලේදී රංගගත කළා. මේ නාට්‍ය රංගගත කිරීම පිටුපස බැඳුණු අධ්‍යයන කාර්යයක් තියෙනවා. අපිට අවශ්‍ය නාට්‍යයක් රංගගත කිරීම පමණක්ම නොවෙයි. ඊට අමතරව මේ රංගගත කරන්න සැරසෙන කාලය තමයි අපේ ප්‍රධානතම වැඩසටහන විදියට අපි දකින්නේ.
රැගෙන අවි මම ද එමි නාට්‍යයේ දර්ශනයක්
අපි මේ නාට්‍ය අධ්‍යයනය කර එයට ගැලපෙන නළු නිළියන් පිරිසක් මුලින් තෝරා ගැනෙනවා. ඉන් පසුව ඔවුන් සමඟ බ්‍රෙෂ්ට් පිළිබඳ ඉගෙන ගැනීම, ඔහුගේ සංකල්ප ආකෘති ගැන ඉගෙන ගැනීම, හැදෑරීමට කැමැති ද, මෙයින් ඉගෙන ගන්නේ කුමක්ද මෙන්ම කාල වේලාව යන්න ආදි දේ ගැන ගැඹුරින් සාකච්ඡා කරනවා. ඊට අමතරව මේ ජනපි‍්‍රය සංස්කෘතියෙන් මිදී නට්‍ය යනු හැදෑරිය යුතු මාධ්‍යයක් එහි සමාජ දේශපාලන වගකීමට ඇති කැමැත්තත් එහිදී විශේෂ වෙනවා. එයට හේතුව තරුණ පරම්පරාවට විශේෂයෙන් ප්‍රාසාංගික කලාවේ ඉදිරියට යන්න මූලික පදනම වෙන්නේ නාට්‍ය වීමයි.
බ්‍රෙෂ්ට් පුනරුද පර්ෂදයේ මීළඟ පියවර ගැනත් කියමු?
බර්ටොල් බ්‍රෙෂ්ට් සම්බන්ධව මෙරට දැනුවත් ප්‍රමාණය ඉතාම අල්ප මට්ටමක තියෙන්නේ. අපි උත්සාහ කරන්නේ එම දැනුම් ඌනතා තත්ත්වය වෙනස් කර බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය සම්ප්‍රදාය වෙතට විද්වතුන්ගේ හා ප්‍රේක්ෂක අවධානය ඇති කිරීමටයි. ඒ වගේම ප්‍රධානම දේ මෙරට තියෙන නාට්‍ය කලාව සමඟ ඉදිරියට යෑම. අපේ මූලික අරමුණ මෙහි මූලධර්ම ප්‍රචලිත කරගැනීමයි. ඒ නිසාම අපි ප්‍රධාන වශයෙන් උත්සාහ කරන්නේ විශ්වවිද්‍යාල හා පාසල් මට්ටම්වලින් මේ නාට්‍ය රඟ දැක්වීටයි. බ්‍රෙෂ්ට්ගේ ආකෘති පිළිබඳ දැනුම ඔවුන්ට අත්‍යවශ්‍ය දෙයක් වීම එයට හේතුවක්. තවද මේ තුළින් සාකච්ඡා සහ සංවාද ඇති කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.


නිකිණි වැස්ස 01 දා හිරු නාළිකාවේ


අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ සම්මානනීය සිනමාපටය නිකිණි වැස්ස මෙම මස පළමු වැනිදා එනම් අද දහවල් 12 ට හිරු නාළිකාවේ විකාශය වේ. චාන්දනී සෙනෙවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, සුලෝචනා වීරසිංහ, තුමිඳු දොඩම්තැන්න, කුමාර තිරිමාදුර ආදී පිරිස මෙහි චරිත මැවූහ. නිකිණි වැස්ස වෛද්‍ය කුසුම්සිරි ද සිල්වාගේ නිෂ්පාදනයකි. මෙය රූපවාහිනියකින් විකාශය වන පළමු අවස්ථාව මෙය වේ.

පි‍්‍රන්සිපල්ගේ හොර අත්සනට චපාති තුනයි, වඩේ හතරයි, ක්‍රීම් සෝඩා බෝතලයයි

මහා රාජන්ස් පවුලේ හිටිය ලොකුම මැජික්කරයා මම
අයිඩින්ටිය නැතිවෙලා කොළඹ මුට්ට කර ගැහුවා
ෆීල්ඩ් එකේදී හුඟ දෙනෙක් මට කතා කරන්නේ ඩිඩී කියලා
දෙබරෙක් දෙන්නෙක් ඇන්නත් හරි මට මරණ බය දැනුණා
වීදුරු බෝතල් පාරවල් කාගෙන පණ බේරාගත්තේ අනූනමයෙන්
‘චපාති තුනයි, වඩ හතරයි, ක්‍රීම් සෝඩා බෝතලයයි. මං චිට් එකක්, එකක් යටින් එකක් පෙළට හිටින්න එහෙම ලියනවා. ලියල හමාර වෙලා ඒ කොලේම දකුණු කෙළවරේ පි‍්‍රන්සිපල්ගෙ අත්සන ගහනවා. ඇරපු අතක් නෑ. මං හොයන්නම බැරි විදියට පි‍්‍රන්සිපල්ගෙ අත්සන ගහනවා. ඊළඟට කොල්ලෙක් අතේ ඒක කැන්ටිමට යවනවා.
චිට් එක අරන් කැන්ටිමට ඉගිල්ලෙන කොල්ල හැරෙන පරක්කුවෙන් ගෙඩි පිටින් චිට් එකේ ලියපු කෑම බීම ටික ගේනවා. ඉතින් නමය වසරේ මගෙ වටේ හිටිය කොල්ලො රොත්තම මට පින් දිදී ඒ ටිකට වග කියනවා. කාලයක් තිස්සෙම එහෙම කළත් ඉස්කෝලෙන් අස්වෙනකල්ම මගෙ හොර අස්සන නම් අල්ලන්න පි‍්‍රන්සිපල්ටත් බැරිවුණා.
කොහොමටත් රක්වානෙ අපි හරියට ජනපි‍්‍රයයි. ඒ අපි ලොකු බර පවුලක් නිසයි. නැන්දල මාමලා පුංචි අම්මල එහෙම ඔක්කෝමලත් එක්කල එකොළොස් දෙනෙකුගෙන් පිරිච්ච අපේ පවුලට කියන්නේ මහාරාජන්ස් ෆැමිලි කියලයි.
මහාරාජන්ස් පවුලෙත් හිටිය ලොකුම මැජික්කාරයා මං. පොඩිකාලෙ ඉඳන්ම මං පොඩි පොඩි මැජික් පෙන්වනවා. විකට ඇඳුම් තරගවලින් මාව පරද්දන්න කෙනෙක් ඒ කාලෙ හිටියෙ නෑ. සින්දුත් කිවුවා, ලස්සනට චිත්‍රත් ඇන්දා. චිත්‍රවලින් එක පිට එක තුන්පාරක්ම මං කොට්ඨාශ තරගවලින් ෆස්ට්.
පොඩි වුණාට ඉස්කෝලෙ කොන්සර්ට්වලදී මට ඉඩක් ලැබෙනවාමයි. එහෙම සමහර දවසකදි මං රොබෝකොප්ට අඳිනවා. නැත්නම් පිත්තල හරි සුදු යකඩ හරි බඩුවක් කෑලි ගලවල එක එක විදියට හයි කර කර පොඩි ෂෝ එකක් පෙන්වනවා. මේ එකක්වත් නැතිව ගලක්, මලක් එහෙමත් නැතිනම් කුඩයක් වගේ අභිරූපණයක් පෙන්නුව දවසුත් තිබුණා. ඒත් මේ මං කියන්න යන්නෙ ඊටත් වෙනස්ම කතාවක්.
එතකොටත් මං හරි පුංචියි. උසට හිටියෙත් ඉස්කෝලෙ තිබිච්ච පොඩි පුටුවක් තරමට. එදා ඉස්කෝලෙ වේදිකාව සරසල තිබුණෙ පොඩි ළමයි පෙන්වන නාට්‍යයකට. රාමායනම් තමයි නාට්‍යය. වාලි තමයි මට බාරවෙච්ච චරිතය. අමාරු වැඩක් තමයි මට පැවරණේ. නාට්‍යයේ විදියට මං ඊතල පාරක් වැදිල මැරෙනවා. ඒකටත් මං ලෑස්තිපිටයි හිටියේ. මං බිත්තර සාරුවලට රතු ඩයි කළවම් කරගෙන ඊතලේ ඇළිල හිටින්න සබන් පැලැස්තරයකුත් බඩේ බැඳගෙනයි හිටියෙ.
අපේ ගෙදරිනුත් නාට්‍යය බලන්න ඇවිත් හිටියා. ඉස්සරහම පේළියෙ එක ළඟ ළඟ අපේ අම්මගෙයි අප්පගෙයි මැදට වෙලා චූටි නංගිත් ඉඳගෙන හිටියා. එතකොට එයා මොන්ටිසෝරි යනවා.
ටික ටික මට ඊතලේ වැදෙන තැනට නාට්‍යයත් යනවා. දුනුවායට හිටිය නළුවත් හරියටම ඉලක්කෙටම ඊතලෙන් විද්ද. වැඩේ මල් හතයි. රතු පාටට ලේ විදියටම ඇඳුමත් තෙත්වෙන්න ගත්ත. මං මළා වගේම ස්ටේජ් එකේ වැටුණා. මගෙ කැරැක්ටරේ වැඩ එතැනින් ඉවරයි. ඒත් හොඳම ටික තියෙන්නෙ ඊළඟට. ඇයි ඉතින් අපේ නංගි එතකොට හරි පුංචියිනේ.
ඕඩියන්ස් එකෙන් එක පාරටම මහ ලතෝනියක් ඇහෙන්න ගත්තා. ‘අයියා අයියා මගෙ අයියා.... මගෙ දර්මා අයියා මැරුණා. එහෙම අඬාගෙන අම්මල ළඟින් නංගි වේදිකාවෙ වැටිල හිටිය මං ළඟට එන්නයි හැදුවෙ. සාරි රෙදිවලින් අටවගත්ත වේදිකාවෙ තිරේ ඒ ඉක්මනින් කවුරුහරි වැහුව. නැත්නම් අපේ නංගි ඇවිදින් වේදිකාව දෙවනත් කරනවා.
තව දවසක මං කළ වීරකමක් ගෙදර කට්ටිය පෙන්නන්න හිතුවා. ඔහෝ,... දැන් තමයි මතක් වුණේ. එදා දවසත් අප්‍රේල් පළමුවැනිදාවක්. මගෙ අතට අහුවුණේ හිස් මාරි පෙට්ටියක්. මං ඒකේ පැත්තකින් සිදුරක් හැදුවා. එතැනින් පෙට්ටියට ගලකුත් රිංගෙව්වා. දැන් වැඩ්ඩ වගේ මං පෙට්ටියෙ ඇතුළෙ තියෙන ගල හොළව හොළවා අර සිදුරෙන් ඇඟිල්ල දාගෙන ලේනෙක් ඇතුළෙ දඟලනව වගේ සද්ද කරනවා.
ගෙදර හැමෝටම පුදුමයි. මේ අඹිටිල්ලන් ධර්ම කොල්ල ලේනෙක් ඇල්ලුවෙ කොහොමද බලන්න ඔක්කොමල වටවුණා. අන්තිමේදී මාරි පෙට්ටිය මගෙන් උදුරගෙන බලනකල්ම එයාල ඔක්කොම මගෙ ලණුව ගිල්ල.
ටික ටික ලොකු වෙද්දි මගෙ රඟපාන්න තිබිච්ච පිස්සුව හොඳටෝම වැඩිවුණා. මං කොළඹට ආවෙත් රඟපාන්න හිතාගෙන. ඇවිදින් නැවතුණේ අපේ මාම කෙනකුගේ ජුවලරි ෂොප් එකක. රඟපාන්න නෙවෙයි රත්තරන් එක්ක මට්ටු වෙන්නයි මට එතැනදි වුණේ. ඉතින් මං එතැන දාල ගියා.
ඊළඟට වැඩකළේ ගාමන්ට් එකක බතික් සාරි ඩිසයිනර් කෙනෙක් විදියට. මේ වැඩවලින් නිනව්වක් ලැබිච්ච ගමන් මං හෙව්වෙම රඟපාන්න අවස්ථාවක්. එහෙම කොළඹ නගරයට ඇවිදින් සති ගණන් ගත කරල තියෙනවා. අයිඩෙන්ටි කාඩ් එක නැතිවෙලා රස්සාවකට යාගන්න බැරිව හිටිය කාලයක්ම මං කොළඹ මුට්ට කරගහලත් තියෙනවා.
ඔහොම කළුවරක ගෙවිචිච් මගෙ ජීවිතේට දවසක් එළියක් වැටුණා. ඒ සිඩ්නි චන්ද්‍රසේකරගෙන්. නිර්මාල් කියන කමල් අද්දරආරච්චිගෙ පුතාට රඟපාන්න මට චරිතයක් දුන්නේ ඔහුයි. එතැනින් ඇරඹුව ටෙලිගමනෙන් එහාට සිංහල සිනමාවෙනුත් මට දොර ඇරුණා.
මේ ප්‍රභාකරන් ෆිල්ම් එක රිලීස් වෙච්ච අලුත වෙච්ච දෙයක්. එදා මං කොළඹ ආදුරුප්පු වීදිය හරහා ගමනක් යන ගමන් හිටියෙ. එකපාරට හය දෙනෙක් ඇවිත් මාව වටකර ගත්තා. එයාල හිටියෙ මං කළ කැරැක්ටර් එක ගැන කේන්තියෙන්. මට බැණ බැණ ගහපු වීදුරු බෝතල් පාරවල් කාගෙන එදා පණ බේරගත්තෙ අනූනවයෙන්. කාලයක්ම රටිනුත් පිටවෙලා ඉන්නයි මට වුණේ.
ප්‍රභාකරන් ෆිල්ම් එකෙන් පස්සෙදිත් මාතා එකේදි චරිතෙකට වුණත් යුද්ධයක් කරන විදිය මම අලුතින් ඉගෙන ගත්තා. ‘භවතරණය’ නිර්මාණයකදී මගෙ කකුලක් කැඩිච්ච එක ජීවිතේටම අමතක නොවන අවස්ථාවක්. ඒත් මං ආබාධය පිටින්ම මට කරන්න පුළුවන් උපරිමය කෙරුවා. ඒකට තරාතිරමක් නැතිව ලොකේෂන් එකේ හැමෝගෙන්ම උදවු ලැබුණා.
මෙතැනින් ආයෙත් මගෙ මතකෙ හැරෙන්නෙ රක්වානට. මං ශාන්ත ජෝන් මහා විදුහලේදී ගතකළ කොලු කාලෙට. අපි සයන්ස් - මැත්ස් පන්තිවල හතර පස් දෙනෙක් කැලේ පනිනවා. කැලේ මැද ඇලේ පැනල නානවා. තවම මට හොඳට මතකයි ඇල අයිනට වෙන්න මහ විශාල ගස් දෙකක් තියෙනවා. එකක් දූරියන්. අනෙක මැංගුස්.
මැංගුස් වාරෙට අපි ඉදිච්ච ගෙඩි කඩන්නෙ තරගෙට. එදා දනිපනියෙ ගිඩි ගිඩි ගාල මුලින්ම මැංගුස් ගහට බඩගෑවෙ මං. හතර වටෙන්ම අතු බිමට නැමිච්ච ගහ ඇතුළ කළුවරම කළුවරයි. ඒ කළුවරට කොටුවුනාමයි මටත් එදා නම් වැරදිච්ච විත්තිය දැනුණෙ. ඒ මදිවට බිම හිටිය යාළුවො මැංගුස් ගහට පොලුවලින් ගල්වලින් ගගහ ගෙඩි කඩනව. ඒවයෙන් පාරකුත් වැදිල තරු පෙනිල හිටයත් කෑ ගැහුවොත් වැඩේ තවත් බොරවෙනව කියල නම් තේරුණා.
දෙබරෙත් ඇවිස්සුණා. මට මරණ බය දැනුණෙ දෙබරෙක් දෙන්නෙක් විදින්න ගත්තාම. වෙන දෙයක් වෙන්න කියල වේදනාවත් ඉවසගෙනම මං ගහෙන් බිමට බැහැගත්තා. එදා මං වතුරෙන් ගොඩ ආවෙ පැය තුනක්ම වතුර යට ඉඳලා.
සිකුරාදා ඉස්කෝලෙ භජන් කියන දවස. ඒකට මිනිත්තු හතළිස් පහක් යනව. අපිට අමාරුම වුණේ එක තැනකට වෙලා ඉඳගෙනම ඉන්නයි. ඉතින් ඒ වෙලාව මගහරින කට්ටියෙ මාත් හිටිය. හැම කෙනෙක්ම ඉස්කෝලෙ ටොයිලට් හෝදන්න ඕනැයි කියල නීතියක් තිබුණා. ඒත් මාත් එක්ක හිටිය තුන් හතර දෙනාම ඒක මඟහරිනවා. ඒ වෙනුවට වෙන මොකක් හරි ලේසි වැඩක් තමයි දාගත්තේ. ඒ වුණත් ඉස්කෝලෙ ලස්සනට තියාගන්න වැඩිපුරම මහන්සිවෙන ළමයි විිදියට අපිට උදේ රැස්වීමේදි තෑගි ලැබිලත් තියෙනවා.
ආයෙමත් රංගන ජිවිතේට හැරුණොත් මේ දවස්වල පෙන්වන වගේම ළඟ ළඟම එන්න තියෙන නිර්මාණ ගණනාවකින් ඔයාලට මාව හමුවේවි. ‘සුදුයි උසයි, මුතුපලස, ඉනියවන්’ මට අමුතුම අත්දැකීම් එක්කළ චරිත.
ඉස්කෝලෙ වේදිකාවෙන් පස්සෙ ආයෙමත් ප්‍රසිද්ධ වේදිකාවක මට ළඟදිම රඟපාන්න ලැබේවි. ඇත්තටම ඒ දවස වනතුරු මං මග බලන් ඉන්නවා. මං තනිව නෙවෙයි. කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, මිහිර සිරිතිලකත් එක්කලා තමයි මේ ධර්මෙ වෙනස් චරිතෙකින් වේදිකා නාට්‍යයකින් ඔයාලාව හමුවෙන්න ඉන්නෙ. ධර්මා විතරක් නෙවෙයි දර්ශා කියලත් ගෙදරට මට කතා කළත් සිනමාවට මං දර්ශන් ධර්මරාජ්. ෆීල්ඩ් එකේදී හුඟ දෙනෙක් මට කතා කරන්නේ ඩිඩී කියලා. ඒ වගේම තවත් සුන්දරම මතකයක් වේවිය කියල හිතෙන අවස්ථාවක් මට ලැබී තියෙනවා. දකුණු ඉන්දීය චිත්‍රපට දෙකකට රඟපාන්න මට ලැබුණු ආරාධනාවට ඉදිරියේ ඒවායේ ඉතිරි රූගත කිරීම් එක්කලා නුවර, අඹේවෙල, නුවරඑළිය අවට මං වැඩි කාලයක් ගත කරාවි.

ඡන්දය මැද්දේ අයිශ් ආයෙත් මවක්

ඡන්දය දැමීම පෞද්ගලික කරුණකි. මේ පෞද්ගලික කාරණයේදී මාධ්‍යයට සහ රසිකයන්ට ලොව සුරූපිනියකගේ අතිශය පෞද්ගලික කරුණක් හෙළි කරගත හැකි නම් එය ධන නිධානයක් හා සමානය.
අයිශ්වර්යා රායිත්, අභිෂේ්ක් බච්චනුත් පැමිණ සිටියේ ඡන්දය දැමීමටයි. එහෙත් කාට කාටත් පැහැදිලිවම එක් කාරණයක් අවබෝධ විය. ඒ අයිශ්වර්යා දෙවැනි වරටත් මවක වීමට යන බවයි. ඈශ් ඇඳ සිටි අළු පැහැති ටී ෂර්ට් එකට ඇයගේ පිරුණු කුස හොඳින් පෙනිණි. මෙයින් යළිත් දෙදෙනා සාඩම්බර මාපියන් වීමට යන බව වටහා ගැනීම අසීරු නොවීය.
ඇය කවදත් මාතෘත්වයට ඇලුම් කරන්නීය. ආරධ්‍යා බලා ගැනීම ඇය තමා වෙතම පවරා ගත්තාය. කොතැනක ගියත් ඈශ්, පුංචි සුරංගනාව, ආරධ්‍යා ද රැගෙන යන්නීය. ඇයගේ සැඳෑ කාලය ගතවන්නේ දියණිය සමඟ සෙල්ලම් කිරීමටයි. රංගනයට කෙතරම් ඇරැයුම් ලැබුණ ද, ඇය තවමත් රංගනයට පිවිසියේ ද නැත. අයිශ්වර්යාගේ මවු ගුණය අභිෂේක් සැම විටම අගයන්නේය.
රංගනයට වඩා අයිශ්වර්යා මවු පදවියට වඩාත් කැමැතිය. ඇයට ආරධ්‍යා ලැබුණේ 2011 වසරේදීයි.
පසුගිය වසරේදී ඈශ් කියා සිටියේ මවක වීමේ සැලසුමක් නැති බවත්, මවක වීමට ලැබුණොත් එය ආශීර්වාදයක් බවත්ය.

හොර රහසේ බැන්ද පෙම නිමා වෙයි

ආදිත්‍ය - රාණි විවාහ කර ගනී
හැංගි හැංගි බැන්ද පෙම් කතා ගැන කියවමු
කට කතාවක් ඇත්තක් වන්නේ කලාතුරකිනි. මේ කතාව නම් ඇත්තක් වීමට හේතු වූ බොහෝ කරුණු කාරණා තිබිණි. බොලිවුඩ් පුරවරයේ අධිරාජ්‍යයකුව සිටි යාෂ් චොප්රාගේ ඔටුන්න හිමි කුමරකු වූ ආදිත්‍ය චොප්රා ඉතා ළාබාල වියේදීම විවාහ ජීවිතයට ඇතුළත් කළේ ඔහුගේ හිතුමතයටය. යාෂ් චොප්රාගේ බිරිය පැමලාගේ සහයෝගය ද ඒ සඳහා නොමඳව ලැබිණි. එහෙත් මාපියන්ගේ කැමැත්ත ඔහුගේ කැමැත්ත නොවීය. ගෘහ අලංකරණ නිර්මාණ ශිල්පිනියක වූ පායල් කොහෙත්ම ඔහුට ගැළපුණේ නැත. කෙසේ හෝ මේ යා දෙක නොරථ රථ දීගය පස් වසරක් පැවැතිණි. පුතුගේ නොමනාපය දැන සිටිය ද ඇය ඔවුනගේ ආදරණීය ලේළිය වූ නිසා චොප්රා වැඩිහිටියන් වෙන්වීමකට නම් ඉඩක් ලබා දුන්නේ නැත.
ආදිත්‍ය මාපියන්ට එරෙහි වෙමින් පස් වසරකින් ඇයගෙන් වෙන් වූයේය. මේ වෙන්වීමට සැවොම පාහේ දොස් පැවරුවේ රාණි මුඛර්ජි නම් සුරූපී තාරකාවටයි. එහෙත් එය පදනම් විරහිත බව ආදිත්‍යගේ පවුලේ අය දැනගෙන සිටියහ. ආදිත්‍ය, පායල් වෙන්වීම නිල වශයෙන් 2000 වසරේදී අනුමත වූ පසු, රාණි වෙත එල්ල වුණු චෝදනාව වඩාත් බරපතළ විය. එහෙත් තමන්ට ගැළපෙන යුවතියක් ලැබෙන තුරු සිටි ආදිත්‍යට, රාණි මුඛර්ජි නම් සුරූපී තාරකාව, අකලට වැසි මහ වර්ෂාවක් බඳු විය. දෙදෙනා රන් රස සේ පෑහිනි. රාණි, ආදිත්‍යගේ කවි සිත කෙතරම් අවදි කළා ද කිවහොත්, රාණි කෙරෙහි ඔහුගේ සිතෙහි බැඳි පෙම ඔහුගේ සිනමා නිර්මාණවලින් අපූරුවට අවදි විය. ෂාරුක් ඛාන් ද වරක් ඉඟියකින් ඒ බව පවසා තිබිණි. පායල් වෙන් වූයේ ආදිත්‍යගෙන් අති විශාල වන්දියක් ලබාගෙනයි. දික්කසාදයෙන් පසු ආදිත්‍ය, පායල්ව මඟ හැරියේ වචනයකනිදු ඇයට සමීප නෙවෙමිනි.
දිගුකාලීන පෙම්වතිය රාණි අවසානයේදී ආදිත්‍ය චොප්රා විවාහ කර ගත්තේය. සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් අප්‍රේල් විසි එක් වැනිදා දෙදෙනා විවාහ වූයේ ඉතාලියේදීය. ආදිත්‍ය හතළිස් තුන් හැවිරිදිය. රාණි තිස් හය හැවිරිදිය.
‘ඉතාලියේ සොඳුරු ගම්බද පෙදෙසක අපේ විවාහය පුංචියට පැවත්වුණා. උත්සවයට සහභාගි වුණේ සීමිත නෑ හිත මිතුරන් පිරිසක් පමණයි. ජීීවිතයේ ප්‍රීතිමත්ම දවසේ සතුට, මගේ ගමනට සුබ පතන රසිකයන් සමඟ බෙදාගන්න කැමැතියි. ජීවිතයේ වැදගත්ම පරිච්ඡේදයක් පෙරළුණා. සුරගනා කථාව දිගටම ගලාගෙන යාවි. එකම දුක යාෂ් අන්කල් මේ මොහොතේ අප අතර නැතිවීමයි. එහෙත් ඔහුගේ ආත්මය අපත් සමඟ සිටින බව දන්නවා.’ විවාහයෙන් පසු රාණි පවසා තිබේ.
ආදිත්‍ය - රාණි විවාහය පිළිබඳ පුවත පැවත එන්නේ සය වසරකටත් පෙර සිටය. සමහරු පැවසුවේ දෙදෙනා විවාහ වී බොහෝ කල් බවය. කට කතා සියල්ල බොරු කරමින් දෙදෙනා සැබෑවටම අවසානයේදී විවාහ වූහ. විවාහ මංගල්‍යයට ආදිත්‍යගේ සරසවි මිතුරකු වූ කරන් ජොහාර් ද සහභාගි වී තිබේ. චොප්රා පවුලේ අනුමැතිය විවාහයට හොඳින්ම ලැබී තිබෙන බව උදේ චොප්රාගේ සුබපැතුම සාක්ෂියකි.
නව යුවළ සායි බබාගේ ආශීර්වාදය ද ලබාගෙන ඇත. රාණි උග්‍ර සායි බැතිවන්තියකි.
මංගල දිනයේ කිසිදු විස්තරයක්, සවිස්තර ලෙසින් තවම මාධ්‍යයට හෙළි වී නැත. ඔවුනගේ මංගල ඇඳුම් නිර්මාණ ශිල්පියා ද දෙදෙනාගේ පෞද්ගලිකත්ව ආරක්ෂා කිරීමේ පිළිවෙතට ගරු කරමින් මාධ්‍යයට මුණිවත රැක තිබේ.
විවාහයට ප්‍රසිද්ධියේ සුබ පැතූවන් අතර ෂාරුක් ඛාන් මුලින්ම සිටියි.
රහසිගත විවාහයන් බොලිවුඩයේ සුලබය. ජෝන් ඒබ්‍රහම් දිගුකාලීන පෙම්වතිය බිපාෂා බාසුගෙන් වෙන් වී ප්‍රියා රන්චල් සමඟ විවාහ වූවේය. ඒ අමෙරිකාවේදී ඉතා රහසිගතවයි.
සෙලිනා ජෙයිට්ලි, ඔස්ට්‍රියානු ජාතික පීටර් හැග් සමඟ ඔස්ට්‍රියාවේදී විවාහ වූවාය.
ජුහි චව්ලා - ජායි මේතා මාධ්‍යයෙන් සබඳතාව සඟවා ගත්තේ දෙදෙනා මිතුරන් පමණක් බව පවසමිනි. පසුව ව්‍යාපාරික ජායි මේතා සමඟ ජුහි විවාහ වූයේ පවුලේ අය හා සමීප මිතුරන්ගේ සහභාගිත්වයෙන් හොර රහසේය.
ඉතා හදිසියේම අතිශය පෞද්ගලිකව සිදු වූ මනෝජ් බජ්පායි - නේහා විවාහයට අඩු වශයෙන් මනෝජ්ගේ මාපියන් පවා සහභාගි වූයේ නැත.
ශ්‍රී දේවි - බොනි කපූර් විවාහය කිසිවකු අපේක්ෂා කළ විවාහයක් නොවෙයි. ශ්‍රී දේවි, බොනි කපූර් සමඟ තමන් විවාහ වූ බව ලොවට පැවසුවේ හත් මසක ගැබිනියක වී සිටියදීය.
පළමු සුපිරි තරුව ශ්‍රී දේවියගේ හදවත එක් දරු පියකු වූ බොනි කපූර් සොරා ගත්තා සේම ඊට කලකට පෙර සිහින කුමරිය ලෙස ප්‍රකටව සිට, දකුණු ඉන්දියානු සිනමාවෙන්ම බොලිවුඩයට පැමිණි හේමා මාලිනී ද තෝරා ගත්තේ රහසිගත විවාහයකි. ඇය විවාහ වූයේ දෙදරු පියකු වූ සුපිරි තරුව ධර්මේන්ද්‍ර සමඟය. ධර්මේන්ද්‍රගේ බිරිය දික්කසාදයට මනාපය නුදුන්නත්, ඔහු හේමා මාලිනී සමඟ හොර රහසේ විවාහ විය. නීතියට එරෙහිව සිදු වූ මේ විවාහයට, දෙදෙනාගේ සුපිරි බව නිසා කිසිවකු එරෙහි වූයේ නැත. ඔවුන්ගේ දියණියන් නම් විවාහ කර දුන්නේ ප්‍රසිද්ධ මංගලෝත්සව පවත්වායි.






0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය