Powered by Blogger.

කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ හමුවන සුවිශේෂී ස්ථාන අතරින් මුල්තැන ‘බිය ජනක පව්ව‘ට ලැබෙන බව නොරහසකි. කොළඹ, මහනුවර දුම්රිය මඟ තැනූ ඉංගිරිසින් විසින්ම සංවේදී නැතහොත් සිත කළඹවන පර්වතය
යනුවෙන් හඳුන්වනු ලැබූ මෙම ස්ථානය එම දුම්රිය මගේ හැට එක් වන සැතපුම් කණුව පසුකොට මඳදුරක්  පසු කළ විට අපට හමුවෙයි. ඊට සුද්දන් ‘සිත කළඹවන පව්ව‘ යන නම යෙදීමට විශේෂ හේතුවක් තිබේ.
එනම්  කොළඹ සිට මහනුවර දක්වා දිවෙන දුම්රිය එම ස්ථානයේ දී මුහුදු මට්ටමින් අඩි එක් දහස් එකසියයක පමණ උසින් පිහිටි කළුගල් පර්වතයක අඩි දහ අටක් පළල හරස් කැපුමක් ඔස්සේ මීටර් සියයක පමණ දුරක් එක්තරා අන්දමක අවදානම් සහගත ගමනක යෙදීමය. එම පර්වතයේ දකුණු පස ඇත්තේ අඩි දහසකට ආසන්න ගැඹුරකින් යුත් ප්‍රපාතයකි.
මේ යන ගමනේ දී බැරි වෙලාවත් දුම්රිය පීලී පැනීමකට ලක්වුවහොත් පහළට පෙරැළී සී සී කඩ වන දුම්රිය එන්ජිමේ සහ මැදිරිවල  සුන් බුන් එම ප්‍රපාතය පාමුල ඇති ගම්මාන  ආසන්නයේ රැඳෙතැයි ඕනෑම කෙනෙකුට සිතෙනු ඇත. එම ගම්මානවල උස මුහුදු මට්ටමින් අඩි තුන්සිය අසූවකි.
ඉංගිරිසින් විසින් තනන ලද කොළඹ නුවර මහා මාර්ගයට වඩා කොළඹ මහනුවර දුම්රිය මාර්ගය ඉඳුරාම වෙනස්ය.
කොළඹ නුවර මහා මාර්ගය ඔස්සේ මාවනැල්ල, ගනේතැන්න හිඟුල මිටියාවත  සහ  කඩුගන්නාව  පසුකළ විට හීන් සීරුවේ කන්ද උඩරටට සේන්දු විය හැක.
එහෙත්  කොළඹ සිට මහනුවර දක්වා යාමේ දී කොළඹ නුවර පාරේ  ගමන් ගන්නා  වාහනයකට වඩා දුම්රිය බරපතල කඳු නැගීමකට මුල පුරයි. මුලින්ම රඹුක්කන දුම්රිය ස්ථානය පසු කරන උඩරට දුම්රිය, කඩිගමුව දුම්රිය පළ පිවිසෙනුයේ ලබුගොල්ල කන්ද පාමුලිනි.
ඉන්පසු එය යටිවල්දෙණිය දුම්රිය නැවතුම් පල  පසු කොට අලගල්ල කන්දේ පාමුලින් වැටී ගත් බෑවුම තරණය කරමින් කමෛන් කන්දේ තරමක් උස් තැනක් කරා ළංවෙයි. ඒ අලගල්ල කන්දේ පහළ කොටසේ පිහිටි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය දක්වා ය. ඉන්පසු ඉහළ කෝට්ටෙන් නික්මෙන දුම්රිය හක්ඔළුවාව කන්දේ පහළ කොටස ඔස්සේ ගමන් කොට මොට්ටුන්න හෙවත් මොටන කන්දේ මැද කොටසට සේන්දු වෙයි.
අද අපගේ මාතෘකාව වන ‘බියජනක පර්වතය’ පිහිටා ඇත්තේ’ ඒ මොටන කන්දේ කොටසක් ලෙසිනි. ඉන්පසු බලන දුම්රිය ස්ථානය  වෙත ළංවෙන දුම්රියට කන්ද උඩරටට පිවිසීම පිණිස තවත් කඳු දෙකක්  මැදි කරගත් දුර්ගයක් ඔස්සේ ගමන් කරන්නට ද සිදුවෙයි.
ඒ ඉහළ කෝට්ටේ සහ බලන අතර දී  අපගේ මාතෘකාවට මුල් වන 'බියජනක පව්ව' වැනි ස්ථානද පසුකරමිනි. ඉංග්‍රීසින් විසින්ම තනවන ලද කොළඹ නුවර ප්‍රධාන මාර්ගය හෝ හතරලියැද්ද ඔස්සේ ගලගෙදර  ක‍පොල්ල හරහා වැටී ගත් දැනට මහනුවර  රඹුක්කන බස් පාර වැනි කන්ද උඩරටට පිවිසිය හැකි තරමක් ‘පහසු ක‍පොලු’  තිබියදී  කොළඹ මහනුවර දුම්රිය මාර්ගය තැනූ ඉංගිරිසින් දුම්රිය මෙලෙස ‘ඉල කැඩෙන’ කඳු නැඟීමකට යොමු කළේ ඇයි?
එය ඔවුන්ගේ අන්තිම  මෝඩ තකතීරුකමක් සේ  ඇතැමකුට හැඟී යා හැක.  දුම්රිය උඩරටට පිවිසෙන රඹුක්කන දුම්රිය ස්ථානය මුහුදු මට්ටමින් මීටර් 116 (අඩි 380) උසින් පිහිටි අතර එම දුර්ග මාර්ගයේ ඉහළම ස්ථානය වන කඩුගන්නාව පිහිටියේ මුහුදු මට්ටමින් මීටර් 519 (අඩි 1702) උසිනි.  ඒ අනුව රඹුක්කන සිට කඩුගන්නාව තෙක් වැටී  ගත් කිලෝමීටර් 20 (සැතපුම් 13) දුර තුළ මීටර් 402 (අඩි 1322)ක අසීරු දුර්ග තරණයක් කිරීමට
දුම්රියට සිදුවෙයි.
එහෙත්, සුද්දන් එසේ කර ඇත්තේ මෝඩකමක් ලෙසින් නොව ඔවුන්ගේ  සැබෑ අරමුණ හා වඩාත් හොඳින් බද්ධ වූ අතිශය දූරදර්ශී  ක්‍රියා මාර්ගයක්  ලෙසිනි.
රඹුක්කන සිට කඩුගන්නාව අතර ඇති ඉහත සඳහන්  කළ ප්‍රදේශය එවක ඉංගිරිසින් සතු කෝපි  වතු රජ දහනකි. කැබැල්ලවත්ත , බද්දේවෙල, හත්බාව , අලගල්ල , මොටන, ඒ කෝපි වතු අතරින්  කිහිපයකි. එහෙත්, 1848 වසරේ රට පුරා  පැතිර ගිය කෝපි කොළ රෝගයෙන්  කෝපි  වගාව වැනසී  යත්ම  සුද්දෝ මෙම ප්‍රදේශවල ඒ වෙනුවට තේ, රබර්  සහ කොකෝ වගාවන් ව්‍යාප්ත කළහ. මෙවන් කඳුකර  දුර්ග මාර්ගයක් ඔස්සේ නුවර කොළඹ දුම්රිය මඟ තනවන්නට ඉංගිරිසින් කටයුතු  කොට ඇත්තේ මගී ප්‍රවාහනයටත් වඩා එම වතු වගා අස්වැන්න  කොළඹ වරාය  තෙක් ඇදගන්නට මේ ‘යකඩ අශ්වයා’ ගේ සහාය  අතිශය වැදගත් වූ බැවිනි.
කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ කඩිගමුව දුම්රියට එපිටින් ඇති යටිවල්දෙණිය  දුම්රිය නැවතුම අතීතයේ එලෙස වතු වගා අස්වැන්න දුම්රියට පැටවූ වේදිකාවකි. එමෙන්ම මොට්ටුන්න ආශ්‍රිතව ඉංග්‍රීසින් ඇරඹූ  වතු වගා අස්වැන්න දුම්රියට පැටවූ  වේදිකාවක ‘නටබුන් ගොඩැල්ලක්’ අදත් එම දුම්රිය මාර්ගයේ අංක 8 දරන මොටන බිංගෙයට මඳක් මෙපිටින් දැකිය හැක.
මොට්ටුන්න කන්ද හෙවත් මොටන කන්ද යනුවෙන් සිංහලයන්  හැඳින් වූ  එම කඳු පෙදෙස සිංහල රජ සමයේ මුළුමනින්ම  වනගහනයෙන් වැසී තිබූ බව නිසැකය. කන්ද උඩරට රාජ්‍යයේ කඩවත් ප්‍රදේශ මෙසේ වනගතව තිබෙන්නට හැරීම අතීත රාජ්‍යාරක්ෂක ක්‍රමෝපායක් ද  වූ බව පෙනෙයි.  එහෙත්, කන්ද උඩරට ඉංග්‍රීසීන්ට යටත් වීමත් සමඟම එතෙක් කන්ද උඩරට කඩවත් ප්‍රදේශ වශයෙන් සැලකුණු බලන ආශ්‍රිත ප්‍රදේශ හෙළි පෙහෙළි  කොට කෝපි වගාව සඳහා යෙදීමට ඉංග්‍රීසීන් ගත් ක්‍රියා මාර්ගය තුළ හුදු ආර්ථික ලාබ අභිබවන සැඟවුණු අධිරාජ්‍යවාදී අභිමතාර්ථයන් ද තිබෙන්නට ඇත.
කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ ‘බියජනක පව්ව‘ සහිත මොට්ටුන්න හෙවත් මොටන කන්දේ උස මීටර් 584 ක් හෙවත් අඩි 1904 කි. මෙම කන්ද ඉංග්‍රීසීන් විසින් වතු වගාවට යොදා ගැනීමේ දී එහි මොට්ටුන්න හෙවත් මොටන යන නම කදිමට ඉංගිරිසිකරණය කරන ලදී. ඒ ‘මොන්ටානා’ යනුවෙනි. මොට්ටුන්න කන්ද මොන්ටානා වීමට පෙර මෙම ‘බියජනක පව්ව‘ පිහිටි  තැන සම්බන්ධයෙන් පාරම්පරික ගැමියන් තුළ කිසියම් ආකාරයක ගුප්ත භීතියක් ද  තිබි ඇත. ඒ මෙය ඇතමුන්ට මරු කැඳවන ස්ථානයක් ය යන විශ්වාසයක් මුල් කර ගනිමිනි. කන්ද උඩරට  රාජධානි සමයේ මෙම පර්වතය ආශ්‍රිතව කිතුල් මැදීමට පැමිණි රජවාසලට හකුරු සපයන්නකු මෙම බිය ජනක  පව්වෙන් පහළට වැටී  මියගිය පුවතක් අසන්නට ලැබේ. ඒ අනුව ‘මෙම බියජනක පව්ව‘ ප්‍රදේශයේ  ගැමියන් අදත් හැඳින්වනුයේ ‘හකුරා වැටිච්ච ගල’ යනුවෙනි. එමෙන්ම මෙම බියජනක පර්වතය හරහා  අඩි දහ අටක් පළල කැපුමක්  කොට දුම්රිය මාර්ගය තැනීමට සැලසුම් කෙරුණු අවදියේ  එහි මූලික නිරීක්ෂණ කටයුතු සඳහා මෙම පර්වත මුදුනේ සිට  කඹයකින් එල්ලී  පහළට බැසීමට උත්සාහ කළ ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවකු ද මෙම පර්වතයෙන් පහළට වැටී  මළ පුවතක් අසන්නට තිබේ. මීට කලකට ඉහත ඒ පුවත මා හා සැලකොට සිටියේ හිටපු දුම්රිය මාර්ග පරීක්ෂක (කඩුගන්නාව) ප්‍රඥාරත්න පාදෙණිය  මහතා විසිනි. ඉන්පසුව,  එම පර්වතයේ කළුගල මතින් අඩි දහ අටක් පළලට ඉංග්‍රීසි එල් අකුරක හැඩයේ දැවැන්ත කැපුමක්  සිදු කොට ඒ ඔස්සේ දුම්රිය මග තැනුණු අවදියේ ඊට එක් වූ  කම්කරුවන් සෑහෙන පිරිසක් ද විශාල හදිසි අනතුරකින් මිය ගිය පුවතක් ද අසන්නට ලැබේ.
මෙම ‘බියජනක පව්ව‘ අන්තයේ මහනුවර දෙසට වන්නට කුඩා දුම්රිය පාලමක් තිබේ. මෙය හැඳින්වූයේ කුදිපාලම’ යනුවෙනි. ඉතා හොඳින් සඳ පායා ඇති රාත්‍රී්‍ර කාලයන්හි  මෙම කුදිර පාලම මත සුදු අශ්වයකු පිට නැගී ගත් සුදු ජාතිකයකුගේ අද්භූත රූපයක් ඉඳහිට ගම්මුන්ට දක්නට ලැබෙන බවට මෑතක් දක්වා ප්‍රදේශයේ කතා පැතිර තිබිණ. ඒ එම දුම්රිය මඟ තැනීමේ දී  ලණුවේ  එල්ලී මියගිය  ඉංග්‍රීසි ජාතිකයාගේ අවතාරය යැයි කියනු ලැබේ.
ඒ කෙසේ හෝ මෙම අඩි දහසකට ආසන්න ගැඹුරු පාතාල ගැට්ටක් ඔස්සේ වැටී  ගත් මෙම බියජනක පව්ව ඔස්සේ  දුම්රිය  ගමනක යන ඔබ  මේ ස්ථානය පිළිබඳ අමුතුවෙන්  බිය විය යුතු නැත. ඒ මෙම කොටසේ  දුම්රිය මාර්ගයට ආරක්ෂිත අතිරේක පීලි දෙකකින්ද  විශේෂ  රැකවරණයක් ලබා දී ඇති  බැවිනි. ඒ අනුව උඩරට දුම්රිය මේ බියජනක පව්ව මතක දී හදිසි පීලි පැනීමකට ලක්වුවද විශේෂ ආරක්ෂිත පීලි නිසා එම දුම්රිය කට්ටලය එලෙසම  ‘ගල තිබ්බාක් මෙන්’ නතර වනු විනා පෙරැළී යාමට කිසිදු ඉඩක් නැත.
ඒ කෙසේ  හෝ මෙම බිය ජනක  පව්ව සහිත ස්ථානය අප  රටේ දී දැක ගත හැකි දර්ශනීය ස්ථානයක් බව නිසැකය. මිහිදුම ගලා ඇති හිමිදිරි හෝ සන්ධ්‍යා යාමයන්හිදී මෙම ස්ථානයෙන් ධාවනය වන දුම්රිය බිම සිට බලන්නෙකුට පෙනෙන්නේ වලාකුළු අතරින් ධාවනය වන ගුවන් යානයක් මෙනි. සාමාන්‍ය දිනවලදී එම ප්‍රපාතය පහළින් පිහිටි දුනුගම, මාලියැද්ද, මීපිටිවල ආදී සබරගමු මිටියාවතට අයත් ගම්මාන සේම අම්බුළුවාව, උතුවන්කන්ද, ඌරාකන්ද, බත‍ලේගල ආදී  කඳු වළල්ල ද මෙහි සිට ඉතා හොඳින් දැක ගත හැක. එනිසාම මෙය ප්‍රදේශය සිතියම් ගත කිරීමේ දී  ඉංග්‍රීසි ජාතිකයෝ  මේ සඳහා  කදිම නමක් ද යෙදූහ.  ඒ හොඳ දසුන  හෙවත් යහ දසුන යන අරුත ගෙනෙන ට්ධධඤ මඪඥඹ යන්න ය. ඒ අනුව කොළඹ - නුවර දුම්රිය මාර්ගයේ ඇති බියජනකම ස්ථානය තවදුරටත් බිය විය යුතු තැනක් නොවන බව ඔබට මනාව පසක් වනු ඇත

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය