Powered by Blogger.



පැපොල සහ කම්මුල්ගාය දෙයියන්ගේ ලෙඩ ලෙස සැලකුව ද ඒවා වෛරස් ආසාදන නිසා ඇතිවන රෝග වේ. මිථ්‍යා විශ්වාස නිසා ඇතැම් විට එම රෝගය නොසලකා හැරීමෙන් සහ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතු අවස්ථාවේ ඒ ගැන සැලකිලිමත් නොවීමෙන් රෝගියා බරපතළ සංකූලතාවන්ට පත්වීමට වුවද පුළුවන. එවැනි බෝවන රෝග ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු වන්නේ එහෙයිනි.
පැපොල රෝගය හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ මොනවා ද?
පැපොල බිබිලි මතු වීමට පෙර බොහෝ අයට හිසරදය සහ උණ ගතිය ඇතිවිය හැකියි. කලාතුරකින් කෙනෙකුට බඩේ වේදනාවක් ද ඇති වේ. පැහැදිලි දිය වැනි දියරයක් පිරුණු බිබිලි පැපොල රෝගය හඳුනා ගැනීමේ ප්‍රධානතම ලක්ෂණයයි. මුලින් ම පපුවේ සහ කුස ප්‍රදේශයේ හටගන්නා මේ බිබිලි ඉන්පසු අතපය සහ මුහුණ දෙසට පැතිරී යයි. සමහර අයගේ හිස, මුඛය, කන තුළ, ගුදය හා යෝනි මාර්ගයෙහිත් පැපොල බිබිලි මතුවිය හැකි අතර එවැනි අවස්ථාවක ඒ ඉන්ද්‍රියයන්ගේ අධික වේදනාවක් ඇතිවිය හැකියි. දින තුනකට වරක් සිරුරේ තැන තැන පොකුරු වශයෙන් මතුවන බිබිලි තුළ ඇති දියරය සැරව පැහැය ගෙන දින 10 කින් පමණ කබොලු බවට පත්වෙයි.
පැපොල රෝග කාරකයා පිළිබඳව හැඳින්වීමක් කළොත්...
පැපෝල රෝග කාරකයා වන්නේ වැරිසෙල්ලා සොස්ටර් නමැති වෛරසයයි. එය V - Z වයිරසය යන කෙටි නමිනුත් හැඳින්වෙනවා. පැපොල වෛරසය බොහෝ විට ආසාදනය වන්නේ කුඩා දරුවන්ට වන අතර වැඩිහිටියන්ට රෝගය වැලඳුණේ නම් අමාරුව වැඩිවිය හැකියි.
ඔබ කියන්නේ පැපොල මාරාන්තික රෝගයක් විය හැකි බව ද?
ඉතා කලාතුරකින් වුවද එවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. පැපොල වෛරසය රුධිරගත වී ‘වයිමීරියා’ නම් වූ තත්ත්වය ඇති වූයේ නම් රෝගියා එමඟින් කම්පනයට පත් වී මිය යා හැකියි. එවැනි කම්පන ස්වභාවයකට වැඩි වශයෙන් ම ගොදුරු වන්නේ වැඩිහිටියන්. ඒ වගේ ම ඉතා කලාතුරකින් වෛරසය කුඩා දරුවන් ගේ පවා මොළයට ඇතුළු වී ආසාදනයක් ඇති කළ හැකියි. නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමෙන් ඒ තත්ත්වය වළක්වා ගැනීමට පුළුවන්.
එහෙත්, පැපොල රෝගයට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවන බව බොහෝ දෙනා විශ්වාස කරනවා නේද?
ඔව්. එය පරම්පරාගත විශ්වාසයක්. වෛද්‍ය විද්‍යාව දියුණු මෙකල එවැනි විශ්වාසයන් මත එල්බ සිටීම සුදුසු වන්නේ නෑ. රෝගය කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර කළේ නම් එහි තීව්‍රතාව අඩුකළ හැකියි. සුදුසු වෛද්‍යවරයකු වෙත යොමුවීම අවශ්‍ය වන්නේ ඒ නිසයි.
පැපොල රෝගය සඳහා පෙති සහ ක්‍රීම් වශයෙන් ඖෂධ ලබා ගත හැකියි. ඒ වගේ ම රෝගයෙන් වැළකී සිටීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් ද තිබෙනවා. එම වැක්සීනය එක් වරක් ලබා ගැනීමෙන් මුළු ජිවිත කාලයටම ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේ ම පැපොල රෝගය වැල‍ඳේ යැයි අවදානමට ලක්වී සිටින අයට තාවකාලිකව එම රෝගයෙන් මිදීමට ‘lmmunoglobulins’ නම් ප්‍රතිදේහ විශේෂයක් ද නිපදවා තිබෙනවා.
පැපොල රෝගියකුට නිවෙසේ දී කළ හැකි ප්‍රතිකාරයක් තිබෙනවා ද?
සමහර අයගේ පැපොල බිබිලි කැසීම ඇති වෙනවා. එය ඉතා අසහනකාරී තත්ත්වයක්. බිබිලි කසනවා නම් ඒවා මතුපිට හා අවට කැලමයින් ලෝෂන් ආලේප කිරීම සුදුසුයි. වෛද්‍යවරයකු වෙත යොමුවීමේ සඳහා උපදෙස් ලබාගත යුතු වන්නේ යම් හෙයකින් පැපොල බිබිලි බැක්ටීරියා මඟින් ද්විතියීක ආසාදනයකට ලක්වී තිබේනම් ප්‍රතිජීවක ඖෂධ නියම කරන නිසයි. ඒ වගේ ම අධික කැසීම රෝගී දරුවාගේ නින්දට බාධාවක් නම්, උණ හටගෙන තිබේනම් ඒ සඳහා ද වෛද්‍යවරයා විසින් සමනක ඖෂධයක් නියම කරනු ලබයි.
පැපොල රෝගය කෙනෙකුගෙන් තවත් කෙනකුට බෝ වන්නේ කෙසේ ද?
රෝගියකුගේ ප්‍රශ්වාස වාතය මඟින් සහ ස්පර්ශය මඟින් පැපොල රෝගය තවත් කෙනකුට බෝවිය හැකියි. විශේෂයෙන් රෝගීන් භාවිත කළ ඇඳුම් හා උපකරණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතුයි. පැපොල බිබිලි මතු වීමට දින පහකට පෙර සිටම රෝගය තවත් කෙනකුට බෝවිය හැකි අතර අවසාන බිබිලි මතු වී දින හයක් පමණ ගෙවී යනතුරු එනම් සිරුරේ පැපොල බිබිලි වියළීමෙන් පසු ඇතිවන කබොලු වැටී යන තුරුම එම අවදානම තිබිය හැකියි.
එක්වරක් පැපොල රෝගය හැදුණ කෙනෙකුට නැවත නොසෑදෙනවා කියන කතාව ඇත්ත ද?
එය බොහෝ දුරට සත්‍ය වුවද ඉතාම කලාතුරකින් කෙනකුට රෝගය දෙවරක් වැලඳිය හැකියි. සමහර අයට පැපොල සෑදී කාලයක් ගත වූ පසු සිරුරේ කොටසක පමණක් එවැනි බිබිලි දැකගත හැකියි. ‘හර්පීස් සොස්ටර්’ ලෙස හැඳින්වෙන්නේ එම රෝග තත්ත්වයයි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී එය අංශ පැපොල ලෙස ද හැඳින්වෙනවා.
නිවසේ සුරතලයට ඇති කරන සතුන් මඟිනුත් රෝගය බෝවනවා ද?
නෑ. පැපොල වෛරසයට ජීවත්විය හැක්කේ මිනිස් සිරුරේ පමණයි. එම නිසා කිසිම සතෙකුට පැපොල රෝගය සෑදෙන්නේ නෑ. එය සතුන්ගෙන් බෝ වන්නේ ද නෑ.
පැපොල රෝගියකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනිවාර්යයෙන්ම යොමු කළ යුතු වන්නේ කවර අවස්ථාවක දී ද?
යම් රෝගියකුගේ සිරුරේ ඇති පැපොල බිබිලි රත් පැහැ ගැන්වී, ඉදිමී ඇත්නම් හෝ සැරව සහිත තුවාල බවට පත් වී තිබේ නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි. ඊට හේතුව එය ද්විතීයික බැක්ටීරියා ආසාදනයක් විය හැකි නිසයි. ඒ වගේ ම උණ අධික නම් වෛද්‍යවරයකු වෙත යොමු වීම සුදුසුයි.
පැපොල බිබිලි පහව ගොස් දින කිහිපයකින් දරුවාගේ බෙල්ලෙහි වේදනාවක් දැනේ නම්, උණ වැලඳී ඇත්නම් එය මො‍ළයේ ආසාදනයක පෙර ලකුණු විය හැකියි. එවැනි අවස්ථාවක දී ද වහාම වෛද්‍යවරයකු වෙත ‍යොමු වීම ඉතා වැදගත්.
සමහර අය පැපොල රෝගීන් ගේ ‘ඇඟ නිවීමට’ යැයි වැඩිපුර තැඹිලි වතුර බීමට දෙනවා. එය සුදුසු ද?
තැඹිලි දීම වරදක් නෑ. එහෙත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර බලෙන් දීම සුදුසු නෑ.
පැපොල රෝගියකු රෝගය වැලඳී දින හතකින් ස්නානය කළ යුතු ද?
දින හතකින් ම නැහැවිය යුතු යැයි නියමයක් නෑ. රෝගියාට සිරුරට අපහසුවක් නොවේ නම්, සීතල ගතියක් හෝ උණක් හෝ නැතිනම් නෑවීම ප්‍රශ්නයක් වන්නේ නෑ. එහෙත් රෝගය උත්සන්න වී ඇති විටෙක දින හතක් ගත වී යැයි නැහැවීම කිසිසේත් සුදුසු වන්නේ නෑ. මා දන්නා රෝගියකු පැපොල රෝගය උත්සන්න වී සිටි අවස්ථාවක, දින හත ගෙවුණා යැයි, උදෑසනම පිහිල්ලකින් සීතල වතුර නෑමෙන් පසු නිව්මෝනියාව වැලඳී මරණයට පත් වුණා.
* පැපොල මෙන් ම කම්මුල්ගායත් දෙවියන්ගේ ලෙඩ ලෙස සලකනවා. කම්මුල්ගායේ රෝග කාරකය කුමක්ද?
කම්මුල්ගාය ද වයිරසක් මඟින් සෑදෙන රෝගී තත්ත්වයක්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මඟින් පමණක් දැක බලාගත හැකි ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවියෙක් වන මෙම වෛරසය Mumps Virus ලෙස හැඳින්වෙනවා. පැපොල ‍රෝගයේ දී මෙන්, කම්මුල්ගාය රෝගය වැලඳුණ ‍රෝගියකු ගේ ද ප්‍රශ්වාස වාතය මඟින් සහ ස්පර්ශයෙන් තවත් කෙනකුට ‍ෛ‍වරසය ඇතුළු විය හැකියි.
* රෝග ලක්ෂණ මතු වන්නේ වෛරසය ශරීරගතවී කොපමණ කාලයකට පසුව ද?
යම් වෛරසයක් ශරීරගත වී රෝග ලක්ෂණ මතුවන තෙක් කාලය හඳුන්වන්නේ බීජෞසන සමය ලෙසයි. කම්මුල්ගාය සඳහා එම කාලය දින 17 - 28 ත් අතර වෙනවා. එම රෝගියකුගෙන් තවත් කෙනකුට රෝගය බෝ විය හැකි කාලය හැඳින්වෙන්නේ ආසාදිත සමය යනුවෙන්.
* කම්මුල්ගාය රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ මොනවාද?
‍රෝගයට හේතු කාරකවන වෛරසයෙන් ප්‍රධාන වශයෙන් ආසාදනය වන්නේ කනට යටින් සහ ඉදිරියෙන් පිහිටි පැරොටිඩ් නමැති ඛේට ග්‍රන්ථයයි. මෙහිදී මුහුණේ දෙපසම හෝ එක් පැත්තක ඛේට ග්‍රන්ථිය ඉදිමිය හැකියි. සමහර කෙනකුට යටි තල්ලේ පිහිටි ඌර්ධවහනුක ඛේට ග්‍රන්ථිය ද ආසාදනය වී ඉදිමිය හැකියි. කෙසේ වෙතත් මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන කනට යටින් පිහිටි පැරොටිඩ් නමැති ඛේට ග්‍රන්ථියේ ඉදිමුම ප්‍රදර්ශනය වීමට දින 3 ට පෙර හා, ඉදිමුම ඇතිවී දින 3 ක් ගෙවෙන තුරු රෝගියාගෙන් තවත් කෙනකුට රෝගය බෝ විය හැකියි.
* කම්මුල්ගාය රෝගියකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු ද?
සමහර අයගේ කන අසල වෙනත් වසා ගැටිති ඉදිමීම නිසාත්, උගුරේ ආබාධ හා දන්තාබාධ නිසාත් කම්මුල්ගාය හා සමාන රෝග ලක්ෂණ මතුවිය හැකියි. ඒ පිළිබඳව සැකයක් තිබේ නම් නිවැරැදි ‍රෝග විනිශ්චයක් සඳහා වෛද්‍යවරයකු වෙත යොමු වීම වඩාත් සුදුසුයි. මීට අමතරව වෙනත් සංකූලතා මතුව තිබේ නම් වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි‍.
* එම සංකූලතා මොනවාද?
කම්මුල්ගාය වැලඳුණු රෝගියකු රෝගය සෑදී දින 10 ක් පමණ ගිය පසු අධික හිසරදයක්, උණ සහ බෙල්ලේ කැක්කුමක් ඇති වේ නම්, ඊට හේතුව එම වෛරසය මොළයට ඇතුළු වීම නිසා ඇති වූ Encephalitis හෝ Meningitis නම් මොළයේ ආසාදනය විය හැකියි. ඒ වගේ ම එම වෛරසය මගින් අග්න්‍යාශය, ඩිම්බ කෝෂ, හෘදය, පියයුරුවල ක්ෂීර ග්‍රන්ථි, අක්මාව හා හන්දිපත් ආසාදනය විය හැකියි. එය ඉතාම කලාතුරකින් සිදුවිය හැකි දෙයක්. එවැනි අවස්ථාවක් එම ඉන්ද්‍රිය ප්‍රදේශයේ වේදනාවක් ඇතිවිය හැකියි. එවැනි සංකූලතා ඇති ව‍ූ වහාම සුදුසු වෛද්‍යවරයකු වෙත යොමු වීම අත්‍යවශ්‍යයයි.
* කම්මුල්ගාය වැලදුණ පිරිමි අය වඳ බවට පත්වෙනවාද?
එසේ විය හැකියි. එහෙත් ඉතාම කලාතුරකින්. ඊට හේතුව කම්මුල්ගාය සාදන වෛරසය වෘෂණ කෝෂවලට ද හානි කිරීමයි. කෙනෙක් වඳ බවට පත් වන්නේ එම වෛරසය නිසා වෘෂණ කෝෂ දෙකම විනාශ වූයේ නම් පමණයි. ඒ නිසා කම්මුල්ගාය වැලඳුණ රෝගියකු වෘෂණ කෝෂ ඉදිමුම හා වේදනාව ඇති වුවහොත් වහාම වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.
* කම්මුල්ගාය රෝගයට ඖෂධ ප්‍රතිකාර තිබෙනවාද?
මෙම රෝගය සඳහා තවම ප්‍රතිජීවක ඖෂධ සොයාගෙන නොතිබුණත් එය වළක්වා ගැනීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් තිබෙනවා. එය MMR හෙවත් ‘Mumps Measles and Rubella’ නමින් හඳුන්වන එම එන්නත කම්මුල්ගාය, සරම්ප හා රුබෙල්ලා යන රෝග තුනම වළක්වා ගැනීම සඳහා නිපදවූවක්. වයස අවුරුද්ද ඉක්මවූ අයට එන්නත ලබාදිය හැකි අතර ‍ගර්භණී කාලයේදී හෝ උණ රෝගයකින් පෙළෙන විට දී, ප්‍රතිශක්ති ඌනතා රෝගයකින් පෙළෙන අවස්ථාවන් හිදී එම එන්නත ලබා නොදිය යුතුයි. මීට අමතරව කම්මුල්ගාය පමණක් වැළැක්වීම සඳහා අවශ්‍ය නම් Mumps Vaccine එන්නත ද ලබා දිය හැකියි.
* කම්මුල්ගාය රෝගියකුට නිවෙසේදී කළ හැකි හෙදකම් මොනවාද?
එවැනි රෝගියකු උණ සහ වේදනාවෙන් පෙළේ නම් එය සමනය කිරීම සඳහා පැරසිටමෝල් වැනි ඖෂධයක් ලබාදිය හැකියි. ආහාර සැපීමේදී ඛේට ග්‍රන්ථවල වේදනාවක් ඇතිවිය හැකි නිසා එවැනි රෝගියකුට දියර ආහාර වර්ග වඩාත් සුදුසු ය. උදාහරණ ලෙස කැඳ, කිරි සහ දියර පාන වර්ග. මීට අමතරව බිත්තර, කේක්, බනිස් සහ හොඳින් තැම්බූ නිවුඩු බත් වැනි පහසුවෙන් හැපෙන ආහාර දීම ද වරදක් නොවේ.
කම්මුල්ගාය රෝගීන්ගේ මුඛයෙහි වියළි බව නැති කිරීමට නිතර කට‍ සේදීමෙහි ද වරදක් නැත. රෝගියාගේ කම්මුල් වේදනාකාරී නම් මද ‍රස්නය ඇති වතුරින් තැවීමෙන් සහනයක් ලද හැකියි.
* කම්මුලෙහි ඉදිමුම අඩු කිරීම සඳහා සමහර අය අලිහක්ක උරචිචි කර ගෑම, සුදු රෙදි කඩක නිල් කුඩු දියකර සමමත ආලේප කිරීම ආදී දේ සිදුකරනවා. මේවා අහිතකරද?
අතීතයේ සිට පැවත එන මෙම ක්‍රමවේදයන් ගේ වරදක් හෝ අගුණයක් නොපෙනුණත් රෝගය සුව කිරීම සඳහා එහි ඇති සුවිශේෂත්වයක් ද නෑ. එහෙත් කම්මුල්ගාය සැදුණ කෙනෙකු ගේ සම්මත යම් වර්ණයක් ආලේප කිරීමෙන් ඔහු බෝවෙන රෝගයකින් පෙළෙන බව අන් අයට සන්නිවේදනය කළ හැකියි. එමෙන් ම අලිහක්ක ‍උරච්චි කර ආලේප නොකළ ද කම්මුල් ඉදිමීම දින හතරකින් පමණ සුව වෙනවා.
* පැපොල රෝගීන් මෙන් ම කම්මුල්ගාය රෝගීන් ද දින හතකින් නැහැවිය යුතු බව ‍පවසනවා. මෙහි ඇත්ත නැත්ත කුමක්ද?
කම්මුල් ඉදිමී තිබීම ස්නානය නොකර සිටීමට ‍ෙහ්තුවක් ලෙස සැලකිය යුතු නොවෙයි. එහෙත් රෝගියාට අධික උණක් තිබේ නම්, තෙහෙට්ටු ගතියක් දැනේ නම් නැහැවීම සුදුසු වන්නේ නෑ. අපහසුතාවක් නොවේ නම් ස්නානය සඳහා හරියටම දින 7 ක් යනතුරු සිටීම අවශ්‍ය වන්නේත් නෑ. ඒ වගේ ම සමහර රෝගීන් දත් මැදීමට, කට සේදීමට අපහසු යැයි අපිරිසිදුව, නිදාගෙන ම සිටීමට උත්සාහ කරනවා. එසේ අපිරිසිදුව සිටීම නිසා ද රෝගය සුව වීමට කල් ගත විය හැකියි. ඒ නිසා අපහසු වුව ද නිතර කට සෝදා පිරිසිදුව තබා ගත යුතුයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය