Powered by Blogger.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ බලධාරීන් මහනුවර ගොස් මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් පසු ගැටඹේ විහාරයට යාම සිරිතකි. ඒ අනුව මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දට මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදුටු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහ ඇමැති සරත් ඒකනායක හා ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සමග ගැටඹේ විහාරයට ගොස් විහාරාධිපති නාහිමියන් බැහැදුටුහ.
මුලින් ආගිය තොරතුරු කතා කිරීමෙන් පසු ගැටඹේ විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ ජනාධිපතිවරයා හමුවේ රටේ පවතින තත්ත්වය ගැන දිගු විග්‍රහයක් කළහ. කුඩුකාරයන් සල්ලාලයන් දේශපාලනයට ඒම ගැන උන්වහන්සේ දැඩි කලකිරීමකින් කතා කළහ. විශේෂයෙන් ඇතැම් ඇමැතිවරුන්ගේ අගතිගාමී අත්තනෝමතික ක්‍රියා පාලනය කිරීමට කටයුතු කරන ලෙසද උන්වහන්සේ ඉල්ලීමක් කළහ.
බුද්ධශාසන අමාත්‍යංශය අක්‍රියව පවතින නිසා එය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙසද නාහිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි විට ඒ සඳහා ජනාධිපතිවරයාගේද එකඟතාව පළවිණ.
තමන් වහන්සේ සැමවිටම මෙලෙස අදහස් ප්‍රකාශ කරන්නේ රටට ලැබුණු සෘජු නායකත්වය ආරක්ෂා කර ගැනීමට මිස අහිතකින් නොවේ යැයිද නාහිමියෝ මෙහිදී කීහ. නාහිමියන්ගේ සෘජු අදහස් ප්‍රකාශ කිරීම ගැන දන්නා මහ ඇමැතිවරයා හා ආණ්ඩුකාරවරයා නිසොල්මනේ සියල්ල අසා සිටිහ.
පුරාවිද්‍යාත්මක ස්ථාන වැනසීම ගැන කලකිරීම නිසා සිය පුරාවිද්‍යා
ගවේෂණවලින් ඉවත්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රකාශ කිරීමත් සමගම උන්වහන්සේගේ දුරකථනයට නිනව්වක් නැතිවිය. රටේ විවිධ තරාතිරමේ අය මෙන්ම විදේශගතව සිටින ලාංකිකයන්ද කතා කරමින් එවැනි තීන්දුවක් නොගන්නා ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ.
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවද පසුගියදා රැස්වූ විට එල්ලාවල මේධානන්ද නාහිමියන් පෙන්වා දුන් පුරාවිද්‍යා ස්ථාන වැනසීම් සහිත ස්ථාන ගැන වැඩි අවධානයක් යොමු කෙරුණු බවත් දක්නට ලැබිණ.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය සතියේ ‍පොළොන්නරුවේදී තවත් මෛත්‍රීපාල සිරිසේන කෙනෙක් හමුවිය. ‍පොළොන්නරුවේ
පැවැති මහ‍පොළ ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවයේදී මෙම අපූර්ව හමුවීම සිදුවිය. ‍පොළොන්නරුවේ වෛද්‍ය ශිෂ්‍යයකු වූ මොහුට හිමි ශිෂ්‍යත්වය ලබාදීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා ඔහු සමග සුහද කතාබහක නිරත විය.
“ඔයත් මෛත්‍රීපාල, මමත් මෛත්‍රීපාල අනාගතයේදී මේ මෛත්‍රීපාලත් රටේ සෞඛ්‍ය ඇමැතිවරයා වෙයිද දන්නේ නැහැ. ඔහුට සුබපතමින් මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා කියා සිටියේය. එම ශිෂ්‍යයා සමග එකට සිටිමින් ගත් ඡායාරූපයේ විශාල පිටපත් දෙකක් ලබාදෙන ලෙස තමන්ගේ මාධ්‍ය ‍ලේකම්වරයාට උපදෙස් දුන් ඇමැතිවරයා ඉන් එක් පිටපතක් තමා සන්තකයේ තබාගෙන අනෙක් පිටපත තමන්ගේ අත්සන යොදා වෛද්‍ය ශිෂ්‍යයාට යැවීමට කටයුතු කළේය. අලුත් අවුරුදු දිනවල ‍පොළොන්නරුවේ ගත කළ මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 17 දා කොළඹට පැමිණියේය. මේ අතර පසුගිය 22 වැනිදා උදෑසන බස්නාහිර පළාත් සභාවේ සභාපතිවරයා ලෙස පත්වූ සුනිල් විජේරත්න මහතා තමන්ගේ බිරිඳ සමග ශ්‍රී ල.නි.ප.යේ මහ ‍ලේකම් වූ මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා හමුවීම සඳහා ඔහුගේ නිවසට ගියේ බුලත් අතක්ද අතැතිවය. මහ‍ලේකම්වරයාට බුලත් දී ආචාර කළ පසු ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ “ඔයාගේ වැඩේ ගැන බයවෙන්න දෙයක් නැහැ. පක්ෂයේ තීන්දුව අරන් තියෙන්නේ” මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ එදින ප්‍රථම වතාවට රැස්වෙන බස්නාහිර පළාත් සභාවේ තනතුරු සඳහා  තෝරාපත් කරගැනීමේදී සභාපති ධුරය සුනිල් විජේරත්න මහතාට ලබාදීමට පක්ෂය ගත් තීන්දුව සම්බන්ධයෙන් යළි සිහිපත් කරමිනි. “මමත් දැන් පළාත් සභාවට යනවා සුනිල්ටත් මගෙත් එක්ක යන්න පුළුවන්” යැයි සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා පළාත් සභාවේ ප්‍රථම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි විය. මහ ‍ලේකම්වරයා පැමිණ ඇති බව දැනගත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පහළට ගොස් ඔහුව කැඳවාගෙන ආවේය.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රථමයෙන් අදහස් පළකළ මහ ඇමැතිවරයා සඳහන් කරනු ලැබුයේ පසුගිය පළාත් සභාව කරගෙන ගිය ආකාරයට සමගියෙන් පක්ෂයේ නායකත්වයට අවශ්‍ය ලෙස පළාත් සභාවේ කටයුතු ඉදිරියට ගෙනයාමට සහය දක්වන ලෙසය. මේ අතර, අදහස් පළකරන්නට නැගී සිටියේ පක්ෂයේ මහ ‍ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාය. අපි විනයක් සහිත පක්ෂයක්.” මේක ඇතුළේ වෙන දේවල් පිටට ගෙනියන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතනදීම කතා කරලා විසඳාගත යුතුයි. පක්ෂයේ නායකත්වය සහ මධ්‍යම කාරක සභාව තීරණය කරලා තියෙන්නේ තනතුරු සඳහා පත්කරන්නේ කවුද කියලා. ඒ අනුව සභාපති ලෙස සුනිල් විජේරත්නත් නියෝජ්‍ය සභාපති ලෙස යසපාල කෝරළගේ මහතාත් පත් කළ යුතුයි. මෙහිදී ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය වගේම සුදුසුකම් රැසක් සැලකිල්ලට ගත්තා.” මෙම පත්කිරීම්වලට කාගේ හෝ විරෝධයක් තිබේදැයි මහ ‍ලේකම්වරයා විමසුවේය. කිසිවෙක් ඊට විරෝධයක් නොදැක් වූ අතර රංජිත් සෝමවංශ මහතා නැගී සිට කියා සිටියේ “සභාපතිතුමා හැබැයි මට කරපු දේ අලුත් නියෝජ්‍ය සභාපතිතුමාට කරන්න එපා” කියාය.
ප්‍රශ්නය ගැන එතරම් අවබෝධයක් නොතිබුණත් සියලුදෙනා ඊට සිනාසුනේය. ඉතිරි තනතුරු සඳහා එදින පත්කිරීම් නොකරන බවත් එනිසා සෙසු පක්ෂ සමගද කතාකොට පසුවට කල්තබන බවත් මහ ‍ලේකම්වරයා සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතරතුර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද කොරිඩෝවේදී තමන්ගේ කණ්ඩායම් රැස්වීම පැවැත්වූයේය. මෙහිදී මුලින් අදහස් පළකළ මංජු ශ්‍රී අරංගල මහතා කියා සිටියේ සභාපති ධුරය සඳහා ආණ්ඩුවෙන් නම් දෙකක් යෝජනා වන බවට තමන්ට දැනගැනීමට ලැබි ඇති බවත් එසේ වුවහොත් ආණ්ඩුවේ එම බෙදීමෙන් උපරිම ප්‍රයෝජනය ගෙන යසපාල කෝරළගේ මහතාට සහය පළකළ යුතු බවත්ය. එය අනුමත කරමින් කතා කළ නිරෝෂන් පාදුක්ක මහතා කියා සිටියේ බැරිවෙලාවත් එසේ නම් දෙකක් යෝජනා නොවුනහොත් එ.ජා.ප.යෙන් ජෝර්ජ් පෙරේරා මහතාත් ආණ්ඩුවෙන් මහේෂ්
අල්මේදා මහතාත් යෝජනා කරන්න කියාය. මෙම සැලසුම් අතර කණ්ඩායම් රැස්වීම් අවසන් විය. එය අවසන් කර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කොරිඩෝවේ එද්දී එ.ජා.ප. මන්ත්‍රීවරුන් මුණගැසින. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් “ආ... කොහොමද සභාපතිතුමා කියමින් ජෝර්ජ් පෙරේරා මහතාට සුබ පැතුවේය. එය දුටු කෝකිලා හර්ෂණී මන්ත්‍රීවරිය කියා සිටියේ “ජෝර්ජ් ඕක ඔය ගුණ්ඩුවක්. ඔයා ඕවට අහුවෙන්න එපා” යනුවෙනි. සභාපති ධුරයට මහේෂ් අල්මේදාගේ නම එ.ජා.ප.යෙන් යෝජනා වුවත් ඔහු ඉන් ඉල්ලා අස්විය. සභාවේ නියෝජ්‍ය නායක ධුරය සඳහා යසපාල කෝරළගේ මහතාගේ නම යෝජනා වූ පසු රංජිත් සෝමවංශ මහතා නැගී සිටිමින් කියා සිටියේ එතුමාට එතුමාගේ වාහනය ලබාදෙන්න කටයුතු කරන්න කියාය.” එතුමා ඔබතුමා වගේ නැතිව කීකරුව හිටියොත් මට ඒ ගැන සලකා බලන්න පුළුවන්” සභාපති සුනිල් විජේරත්න මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේය. රංජිත් සෝමවංශ මහතා ගියවර නියෝජ්‍ය සභාපති ධුරය හොබවද්දී ඔහුට වාහනයක් ලබානොදීම මෙම ඇනුම්පදයට හේතුව බව සභාවට අවබෝධ වූයේ ඉන් පසුවය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල විදෙස්ගතව සිටින අතර මහ‍ලේකම් තිස්ස අත්තනායක මහතා සිටින්නේ ජපානයේය. එ.ජා.ප.යේ නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා වන කරු ජයසූරිය මහතා පසුගිය සෙනසුරාදා තිස්සට ජපානයට කතා කළේය.
මත්තල ගුවන්තොටු‍පොළට සහ හම්බන්තොට වරායට ගිය මන්ත්‍රීවරුන්ට කළ පහරදීම සම්බන්ධයෙන් ගත යුතු පියවර දෙදෙනාගේ කතාබහට මාතෘකාව විය. “මම මේ සම්බන්ධයෙන් නායකතුමාටත් දැනුම් දුන්නා. ‍පොදු රාජ්‍ය මණ්ඩලයටත් කථානායකතුමාටත් මේ ගැන පැමිණිලි කළ යුතුයි. බලන්න 1996 අංක 22 දරන අනවසර ගිනි අවි භාවිතය කළොත් මරණ දඬුවමක් නැතිනම් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබාදෙන්න පුළුවන්. ඒත් බලන්න හම්බන්තොට නගරාධිපති සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැහැ” කරු ජයසූරිය මහතා තිස්සට කරුණු පැහැදිලි කරමින් කියා සිටියේය. ජපානයේ සිටින තිස්ස අත්තනායක මහතා ජපානයේ පාර්ලිමේන්තු සැසිවාරයක් දැක බලා ගැනීම සඳහා එහි ගිය අතර විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ද මුණගැසී මන්ත්‍රීවරුන් අතර සුහදතාවය වර්ධනය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දිනය හම්බන්තොටදී පැවැත්විය යුතු බවට වූ යෝජනාවක් මන්ත්‍රීවරුන් විසින් එ.ජා.ප. නායකත්ව මණ්ඩලයට යෝජනා කළේය. එ.ජා.ප. මන්ත්‍රීවරුන්ට පහරදීමේ සිද්ධිය ඊට මුල්වී තිබිණි. කෙසේ හෝ මෙවැනි තීරණයක් ගන්නේ නම් හම්බන්තොට එ.ජා.ප. දිස්ත්‍රික් නායකයා වන සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඒ සම්බන්ධයෙන් විමසිය යුතු යැයි කබිර්
හෂීම් මන්ත්‍රීවරයා යෝජනා කළේය. ඊට පිළිතුරු දෙමින් එ.ජා.ප.යේ ‍‍‍ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ සජිත්ගෙන් ඕක ඇහුවොත් එයා ඒක ටිරාන්ට කියයි. ටිරාන් ඒක ජනාධිපතිට කියයි. ඊට පස්සේ එපා කියයි. එම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නත් සජිත්ගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට තීරණය කර තිබිණ. සජිත් ඊට එකඟ නැති බව එ.ජා.ප. මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.
විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගෙන පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සතර දිග් භාගයෙන් සුබපැතුම් එකතු වෙද්දී කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මැදිවී සිටියේ වෙනත් ගැටලුවකය. ඒ ඔවුන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබිමය. මේ ප්‍රශ්නය පිළිබඳ ක්‍රිකට් ප්‍රවීණයන් පමණක් නොව රටේ ජනතාවගේද විරෝධය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමුවෙද්දී ජනාධිපතිවරයාද මේ ප්‍රශ්නයට සෘජුවම මැදිහත් වූයේය.
“මොකක්ද සනත් ඔයාලා මේ කරන වැඩේ තේරුම..... තවත් මේ ප්‍රශ්නය දුරදිග ගෙනියන්න එපා. සංගක්කාරයි, මහේලයි එක්ක කතා කරලා ඉක්මනට මේ ප්‍රශ්නය ඉවරයක් කරන්න. බෝඩ් එක මේක හරියට හැඬල් කරන්නේ නෑනේ..... බොරුවට නැති ප්‍රශ්න දුරදිග ගෙනියනවා”
ජනාධිපතිවරයා හමුවන්නට අරලියගහ මන්දිරයට ආ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතාට ජනාධිපතිවරයාගෙන් එල්ල වූයේ චෝදනාවන් රැසකි.
“නෑ සර්.. අපිට විනය හදන්නයි ඕන” සනත්ගේ කතාවට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේම නැත.
“සංගා, මහේලගේ අඩුපාඩු ඇති. ඒවා කතා කරලා විසඳා ගන්නයි ඕනේ. එහෙම නැතිව ඒ අයට අසාධාරණයක් වෙන්න ඉඩ දෙන්න බෑ” ජනාධිපතිවරයා එසේ කියද්දී සනත් නිහඬව සිටියේය.
කෙසේ හෝ 23 වැනිදා සවස 3.00ට විනය පරීක්ෂණයක් සඳහා සංගක්කාර සහ මහේලව ක්‍රිකට් ආයතනයට කැඳවා තිබිණ. ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස, ‍ලේකම් නිශාන්ත රණතුංග, තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය යන අයද එහි වූහ.
ක්‍රිකට් වීරයන් දෙදෙනාට ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස එහිදී පවසා ඇත්තේ මෙතැන් සිටි කිසිදු ප්‍රශ්නයක් නැති බවත් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත්ය.
විනය කමිටුව හමුවට ගෙනගිය සංගා සහ මහේල බේරා ගන්නට ජනාධිපතිවරයා සනත් ජයසූරිය හරහා ක්‍රිකට් පාලක මණ්ඩලයට පණිවුඩය එවා තිබුණේ ඒ පරිද්දෙනි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය