Powered by Blogger.

අලූත් ආණ්ඩු හදන්නත් තියෙන ආණ්ඩු පෙරළන්නත් අපිට පුළුවන් වත්මන් ආණ්ඩුව පෙරලීමේ අරමුණක් තම සංවිධානයට නැතත් අවශ්‍ය නම් ආණ්ඩු පෙරළීමටත් අලූත් ආණ්ඩු ඇති කිරීමට හැකි බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසති.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කලේ බොදු බල සේනාව කුමන්ත්‍රණය කරන බව ඇතැම් ඇමතිවරුන්ට එම කුමන්ත්‍රණ ඔප්පු කර පෙන්වන ලෙසයි.
 
 
කණු උඩ දුවන කෝච්චි කොළඹ නගරයට
කණු උඩ දුවන කෝච්චි කොළඹ නගරයට කොළඹ නගරය තුල ක‍්‍රියාත්මක වන තනි පීල්ලේ ධාවනය කෙරෙන නවීන මොනෝරේල් දුම්රිය පද්ධතියක් ඇති කිරීමට රජය සූදානම් වෙයි.
එහි මූලික සැලසුම් සකස් කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යංශය විසින් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.
මෙම දුම්රිය පද්ධතිය සඳහා ඉහළ පිරිවැයක් වැය වුවද එමගින් සිදුවන ඍජු හා වක‍්‍ර ප‍්‍රතිලාභ සලකා බැලීමේදී එම ප‍්‍රතිලාභ වල වටිනාකම දරන ලද වියදම පහසුවෙන් අභිබවා යනු ඇතැයි අදහස් කෙරේ.
 
පෙන්ටගනයෙන් වැසි පාලනය කළ හැකි ලේසර් අවියයක්
පෙන්ටගනයෙන් වැසි පාලනය කළ හැකි ලේසර් අවියයක් පෙන්ටගන ආධාර මත සිදුකළ පර්යේෂණයකින් වැසි සහ විදුලි කෙටීම් පාලනය කළ හැකි බලවත් ලේසර් කදම්බයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.
බලවත් ලේසර් කදම්බයක් එහි ඇතුළට රූරා වැටෙන සුළු වන අතර එමගින් ඇති කරන බලවත් කැළඹුම විසින් වායුගෝලයේ ඇති ඔක්සිජන් සහ නයිට‍්‍රජන් පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන මුක්ත කරමින් නිදහස් ඉලෙක්ට්‍රෝන සාගරයක් හෙවත් ප්ලාස්මා නිර්මාණය කරනු ලබයි.
මෙම ප්ලාස්මා පදාර්ථ වායුගෝලය සමග සටන් කරමින් කදම්බයක් ගොඩනගන අතර එමගින් එය ළගා වන ඉලක්කයේද නිදහස් ඉලෙක්ට්‍රෝන නිර්මාණය කරනු ලැබේ.
විදුලි කෙටීම් වල ප‍්‍රධාන මාධ්‍යය මෙම ඉලෙක්ට්‍රෝන වන බැවින් අවශ්‍ය විට වැසි ඇතිකිරීමටත් එය පාලනය කිරීමටත් මෙමගින් හැකියාව තිබේ.
නමුත් මෙතෙක් පැවති ප‍්‍රධානතම අභියෝගය වූයේ මෙවැනි ලේසර් කදම්බයක් ඉක්මනින් වියැකී යන සුළු වීම වන අතර මෙම පර්යේෂණයේ නිරතවූ ඇරිසෝනා සහ මධ්‍යම ෆ්ලොරිඩා විශ්වවිද්‍යාල වල විද්‍යාඥයින් විසින් මෙයට විකල්පයක් සොයාගෙන තිබේ.
ඒ අනුව බලවත් ලේසර් කදම්බයට ශක්තිය එක්කරන දෙවැනි ලේසර් කදම්බයක් ඔවුන් විසින් භාවිතා කර ඇති අතර එමගින් මෙතෙක් සෙන්ටිමීටර් කිහිපයක සීමාවේ පැවති ලේසරය මීටර් ගණනාවක් තෙක් වර්ධනය කිරීමට සමත්ව ඇතැයි වාර්තා වේ.
වායුගෝලය පාලනය කිරීම මෙන්ම වඩා පුළුල් ක්ෂේත‍්‍රයන් ගණනාවක් සඳහා මෙම නිර්මාණය ඉවහල් වනු ඇති නමුත් මේ සඳහා පෙන්ටගනය විසින් ඩොලර් මිලියන 7.5ක් ලබාදී තිබීම මගින් මෙම තාක්ෂණයේ අනාගත භාවිතාව පිළිබඳ සැක පහළවී තිබේ.
ඇලස්කාවේ පිහිටා ඇති ඇමරිකානු හාප් ආයතනය විසින් අයනගෝලය පිළිබඳ පර්යේෂණ සිදුකරන අතර ඔවුන් ඇමරිකානු හමුදා ප‍්‍රධානීන්ගේ නියෝගයන් මත කාළගුණ විපර්යාසයන් මෙන්ම ස්වභාවික විපත්ද ඇතිකරන බව පසුගිය කාලයේදී චෝදනා එල්ල විය.
 
සවුදි අරාබියාවේ මර්ස් වෛරසය පැතිරේ
සවුදි අරාබියාවේ මර්ස් වෛරසය පැතිරේ පසුගිය සති අන්තය තුළ සවුදි අරාබියාවේ තවත් 20 දෙනෙකුට මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය හෙවත් මර්ස් වෛරසය වැළඳී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනාවරණය කර තිබේ.  ඒ අනුව දින 6ක් තුළ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබේ.
මර්ස් වෛරසය මින් පෙර ආසියාවට බලපෑ සාර්ස් වෛරසයට සමාන වන අතර ආසාදනය වන රෝගීන්ගෙන් 1/3ක් මිය යන බව පැවසේ.  මෙතෙක් මේ සඳහා කිසිදු ප‍්‍රතිකර්මයක් සොයාගෙන නැත.
මින් වසර දෙකකට පෙර එය සවුදි අරාබියාවෙන් හඳුනාගනු ලැබූ පසු 244 දෙනෙකුට මර්ස් වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 76ක් මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවල දැක්වේ.
කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළ වෛරසයේ ව්‍යාප්ත වීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සවුදි අරාබියානු සෞඛ්‍ය ඇමති අබ්දුල්ලා අල් රාබියා පවසා ඇත්තේ සංචාරයන් වාරණය වැනි පියවරක් ගැනීමට තරම් තවමත් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොමැති බවයි.
ජාත්‍යන්තර සම්මතයන්ට අනුව වසංගතයක් දක්වා මෙම රෝගය ව්‍යාප්ත වී නොමැති බැවින් හදිසි පියවරයන් ගැනීම අනවශ්‍ය බව ඔහුගේ අදහසයි.  රෝගීන්ගෙන් 37 දෙනෙකුම ජෙඩා ප‍්‍රදේශයෙන් හමුවී ඇති අතර ඔවුන්ගෙන් 7 දෙනෙකු මිය ගොස් ඇත.
ශුද්ධවූ මක්කම වෙත යන පිවිසුම් මාර්ගය ජෙඩා හරහා වැටී ඇති අතර ලබන ඔක්තෝබර් මාසයේදී එළඹෙන හජ් වන්දනා සමය සමග ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විශාල ප‍්‍රමාණයක් එහි පැමිණෙනු ඇතැයි සැලකේ.
 
කුරාණය ගැන වාද කරන්න මා සූදානම්
කුරාණය ගැන වාද කරන්න මා සූදානම් තමන් වහන්සේ බලා සිටින්නේ කොයි පැත්තකින් හෝ පෙරැළී කුරානය පිළිබඳ ප‍්‍රශ්ණය පොලීසියට යන තෙක් බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
උන් වහන්සේ සඳහන් කරන්නේ  ඕනෑ නම් තමන් වහන්සේ කුරානය පිළිබඳ මීටත් වඩා වාද කිරීමට පවා සූදානම් බවත් මැදපෙරදිගින් පවා මෙරට බෞද්ධ දර්ශනය විකෘති කර ලියැවුණු පොත්පත් ඉදිරිපත් කිරීමට තමන් සතුව ඇති බවත්ය.
ගමක් ගානේ යමින් මිථ්‍යා ආගම් වපුරුවන මිථ්‍යා දෘෂ්ටිකයන් පිළිබඳ අධිකරණයේදී  හෙළි කිරිමට සූදානම් බවද උන් වහන්සේ කියා සිටිති.
කොලඹ නගරයේ මීයන් වැඩිවේ
කොලඹ නගරයේ මීයන් වැඩිවේ කොළඹ නගර සීමාවේ මීයන් ගහනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි.
පිටකොටුව, මරදාන, බොරැල්ල ආදී ප්‍රදේශවල මී ගහනය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කරයි.

රටපුරා විහාරස්ථානවල තොරතුරු රැස් කරයි
රටපුරා විහාරස්ථානවල තොරතුරු රැස් කරයි ශ‍්‍රී ලංකාවේ පිහිටි බෞද්ධ විහාරස්ථානවල තොරතුරු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් ඒකරාශි කෙරේ.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ක‍්‍රියාත්මක මෙම වැඩසටහනට අදාල ආකෘති පත‍්‍ර දිවයිනේ සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම ලබා ගත හැක.
විහාරස්ථානවල පවතින පොදු පහසුකම්වල ස්වභාවයද එහි ආදායම් තත්ත්වයද විහාරස්ථානයෙන් සිදු කෙරෙන ශාසනික සේවාවද යන තොරතුරු ආකෘති පත‍්‍රයේ පැහැදිලි ලෙස සඳහන් කළ යුතු බවට පෙන්වා දී ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි.
ඉදිරියේදී රාජ්‍ය මට්ටමින් සිදු කෙරෙන කටයුතුවලදී එකී තොරතුරු සැලකිල්ලට ගනු ලබන බවද දෙපාර්තමේන්තුව පවසයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය