Powered by Blogger.

ජනප්‍රිය සෑම වෘත්තියක වගේම ප්‍රවෘත්ති නිවේදනයටත් දිනෙන් දින නවකයින් බිහිවෙනවා. ඒ විදියට මීට වසර දෙකකට පමණ පෙර ආගන්තුකයෙක් ලෙසින් ප්‍රවෘත්ති නිවේදනයට එකතු වුණ ඉෂාරා සමරසිංහ පිළිබඳවත් කතා බහ කරන අය ඉන්නවා. ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයට එකතු වුණ ඉෂාරා පිළිබඳ තොරතුරු රිවිසරසි පිටු අතරේ තබන්න කල්පනා කළේ ඒ නිසයි. මේ ඇය ගැනයි.
ඉෂාරා ප්‍රවෘත්ති නිවේදනය කියන්නේ ඔබට තවමත් ආගන්තුක තැනක්. මීට වසර දෙකකට පමණ පෙරදී ඔබේ හඬත් රුවත් රූපවාහිනී තිරයට එකතු වෙන්නේ කොහොමද කියමු?
2011 වර්ෂයේ දැයට කිරුළ තිබුණේ බුත්තල. එදා මම සිරස නිවුස් ෆස්ට් එකට ඉදිරිපත් වුණා. ඒකට තේරෙයි කියලා නම් හිතුවෙම නැහැ. ඉදිරිපත් කිරීම අවසානයේදී කිව්වා ඔයාව තේරුණා අපි පස්සේ දැනුම් දෙන්නම් කියලා. ඒ විදිහට සිරස ප්‍රවෘත්ති අංශයට එකතු වෙන්න මුලින්ම ආරාධනා ලැබුණේ 2011 නොවැම්බර් මාසේ. මාස එකොළහකට පස්සේ තමයි මට අවස්ථාව ලැබුණේ. මුලින්ම මම නිවුස් කිව්වේ 2011 වර්ෂයේ නොවැම්බර් 26 වැනිදා. 27 වැනි දිනයේත් මම ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. එතැනදී මට හුඟක් උදව් කළේ ගයාන් සම්පත් අයියා හා යසරත් කමලසිරි අයියා. මේ වේලාවේ ඒ දෙන්නව විශේෂයෙන් මතක් කරනවා මගේ හැකියාව අගය කළාට.

එතකොට ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයට එකතු වෙන්නේ?
ඒක හරි පුදුම අවස්ථාවක්. මට සිරස ප්‍රවෘත්ති අංශයේ වැඩ කරන්න ලැබුණේ දවස් දෙකයි. දෙවැනි දවසේ ඒ කියන්නේ 27 වැනිදා ස්වර්ණවාහිනියෙන් ඇමතුමක් ආවා. ප්‍රවෘත්ති අංශයට බඳවා ගන්නවා තිර පරීක්ෂණයට එන්න පුළුවන්ද කියලා. මම ඊට පහුවදා ස්වර්ණවාහිනී තිර පරීක්ෂණයට ආවා. එදා දිවයින පුරා ඉන්න හුඟ දෙනෙක් එයට සම්බන්ධ වෙලා හිටියා. නමුත් තේරුණේ හතර දෙනයි. මමයි, මධුෂාන්, නයෝමි හා ගමට අටෙන් කළ ප්‍රාර්ථනා. ඒ අයගෙනුත් මුලින්ම සජීවී ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණේ මට.

මුලින්ම ප්‍රසිද්ධ සමාජයට ඔබේ හඬ මුදාහරින මොහොතේ හදවතේ තිගැස්මක් ඇති වෙන්න ඇති?
කැමරාවක් ඉදිරියේ මුල්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කරද්දී බයක් හිතුණේ නැහැ. හරිම සැහැල්ලුවෙන් මට දුන්නු රාජකාරිය මම ඉටු කළා. කැමරාවට බය වුණේ නැත්තේ ප්‍රවෘත්ති කලාවට තිබුණ කැමැත්ත නිසා වෙන්න ඇති. අනික පාසලෙන් ලැබුණ පන්නරයත් සබකෝලය නැති කළා කියන්න පුළුවන්.

ඒ කියන්නේ ඔබේ හඬ පාසල් වේදිකාවටත් පාවිච්චි කළා?
ඔව්. මම පාසල් හතරකින් අධ්‍යාපනය ලැබුවා. මුලින්ම ඉගෙන ගත්තේ කොළඹගේආර විද්‍යාලයෙන්. පස්සේ ඇඹිලිපිටිය කනිෂ්ඨ ද්විතීයික විද්‍යාලයට ඇතුළත් වුණා. ශිෂ්‍යත්වයෙන් සමත් වුණාට පස්සේ ඇඹිලිපිටිය ජාතික පාසලටත් උසස් පෙළ සඳහා රත්නපුර සුමන බාලිකාවටත් ඇතුළත් වුණා. මගේ නිවේදන හැකියාවට අඩිතාලම වැටුණෙත් මගේ හැකියාව හඳුනා ගත්තෙත් සුමන බාලිකා විදුහලයි. විශේෂයෙන්ම එහි විදුහල්පතිනිය මතක් කරන්න ඕන. දක්ෂ අයට තැන හදලා දෙන්න ඇය වෙහෙස ගත්තා. පාස‍ලේ නිවේදන වැඩවලට මාව සම්බන්ධ කරගත්තා. ශිෂ්‍ය නායිකාවක් විදිහට වැඩ කළා. පාස‍ලේ බාහිර වැඩ හුඟක් කළ නිසා වෙන්න ඇති සබකෝලය මගෙන් පසුකාලයේදී නැති වුණේ.ඒ වගේම මං පුංචි කා‍ලේ ඉඳලා උඩවලව තරු ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වෙලා හිටියා. සිසිර රත්නායක සර් තමයි එහි මූලිකත්වය ගත්තේ. එතැනදීත් මගේ හැකියාවට අවස්ථාව ලැබුණා.

ඔබ ඉපදුනේ හැදුණේ වැඩුණේ ගම්පියසක. උඩවලව ගමේ ඉපදුන ඔබ කොළඹ සමාජයට යොමු වෙනවාට දෙමාපියන් කැමැති වුණාද?
මගේ අම්මා නාලිනි සමරසිංහ. දැන් ගෘහණියක්. තාත්තා නන්දසිරි සමරසිංහ. ව්‍යාපාරිකයෙක්. අම්මයි තාත්තයි මුලින් අකැමැති වුණා මම නිවේදිකාවක් විදිහට සමාජගත වෙනවාට. පස්සේ එයාලා තේරුම් ගත්තා මගේ දක්ෂතාව මොකක්ද කියලා. මම වරදක් කරන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ දෙන්නම මට ආශිර්වාදයක් වුණා. ඒ වගේම මගේ අක්කව මතක් කරන්න ඕන. එයා ඉසංකා සමරසිංහ. රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක්. මල්ලි දිනේෂ් මධුසංක. එයා උසස් පෙළ හදාරනවා. ඒ දෙන්නා තමයි වැඩිපුරම මාව  අගයන්නේ. විවේචනය කරන්නේ.

ප්‍රවෘත්ති නිවේදනයට ඔබ නවකයෙක්. ප්‍රවෘත්ති නිවේදන කලාව තුළ ඔබේ හඬ නිසි තැන තියන්න අවශ්‍ය මගපෙන්වීම ප්‍රවීණයින්ගෙන් ඔබට ලැබෙනවාද?
අපේ අංශ ප්‍රධානී චමින්ද කරුණාරත්න. එදිනෙදා ඉදිරිපත් කිරීමේදී වරදක් දැක්කොත් ඒ අඩුපාඩුව මම මැදිරියට ආව ගමන්ම චමින්ද මහත්තයා කියලා දෙනවා. ඒ වගේම ස්වර්ණවාහිනි කාර්යමණ්ඩලයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම නොදන්න දේවල් දැනගත්තේ ප්‍රවීණ අයගෙන් තමයි. එතැනදී නදීක කරුණානායක අයියා, චවිකා ගුණසේකර අක්කා වගේම තුෂාරි හේමමාලි අක්කා හුඟක් උදව් කරනවා.

ඔබේ හැකියාවට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?
හුඟක් ප්‍රතිචාර ලැබෙනවා. මග තොටේදී හඳුනාගෙන කතා කරන අයත් ඒ අතර ඉන්නවා. ඒ ගැන ඇත්තටම හුඟක් සතුටුයි ක්‍ෂේත්‍රයට ඇවිත් පුංචි කාලයක් වුණත් මගේ හැකියාව ඒ විදිහට අගය කරන එක ගැන.

ඉෂාරාට රඟපාන්නත් ඇරයුම් ලැබෙනවා කියන්නේ ඇත්තද?
චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් රූප රචනා කිහිපයකටත් ආරාධනා ලැබුණා. නමුත් අපේ ආයතනයේ වාරණයක් තියෙනවා ප්‍රවෘත්ති නිවේදනය හැරුණු කොට වෙනත් රූපවාහිනී වැඩසටහන් කරන්න බැහැ කියලා. ඒ ප්‍රතිපත්තිය රකින්න ඕන. ඒ නිසා ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කළා.

ඉෂාරා දැන් පෙම්වතියක්ද
තවම නැහැ. ආදරය කරන්නත් විවාහ වෙන්නත් තවම කල් තියෙනවා. මම ඉපදුනේ 91 වර්ෂයේ. මගේ වයස අවුරුදු විසිතුනයි. ඒ ගැන පස්සේ හිතනවා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප - මධුසංඛ සිරිවර්ධන
http://www.rivira.lk/edition/images/2014/04/20/img_0920.jpg
http://www.rivira.lk/edition/images/2014/04/20/img_0962.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය