Powered by Blogger.




බුදු දහම පිළිබඳව ගැඹුරට නො හැදෑරූ අපරදිග උගත්තු බුදු දහම සර්වාශුභ දර්ශනයක්, බුදු දහම පරලොව පමණක් සලකන ආගමක් ආදි මති මතාන්තර ඇති කළහ. එහෙත් එහි සත්‍යාසත්‍ය තාවය අද ලොවටම පසක් වී ඇත. බුදු දහම,අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණ දක්වනුයේ සංස්කාර ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය එය බැවිනි. මේ යථා ස්වභාවය දක්වා පසු තැවෙන්නට යි කිසි තැනෙක උගන්වා නැත. අත්ථී සුඛය ඇති වීමට සම්පත් රැස් කළ යුතු බවත්, ලෝකයාට ණය නොවී ජීවත්වීමට ධනය ඉපැයිය යුතු බවත්, වතු පිටි ඉඩ කඩම් සපයා ගෙන භෝග සුඛය ඇති කර ගත යුතු බවත් මේ සැම දෙයක්ම නිවැරදිව කොට අනවජ්ජ සුඛය ලබා ගත යුතු බවත් බුදු දහමින් පෙන්වා දී ඇත.
දෙලොව දියුණුවට හේතු වන කරුණු දක්වා ඇති වැදගත් සූත්‍රයෙකි. ව්‍යග්ඝ පජ්ජ සූත්‍රය බුදුරජාණන් වහන්සේ “කෝලිය” ජනපදයෙහි කක්කරපත්ත නියම් ගමෙහි වෙසෙන සමයෙක “ දීඝජානු” කෝලිය පුත්‍රයා බුදුරදුන් වෙත පැමිණ,භාග්‍යවතුන් වහන්ස, ගිහි ජීවිතයක් ගත කරන අපි කාමභෝගි වෙමු. එහෙත් අපටද මෙලොව සැප පරලොව ශුභ සිද්ධිය අවශ්‍යය. එසේ හෙයින් අපටද දෙලොව දියුණුව පිණිස පවත්නා දහමක් දෙසනු මැනවැයි ඉල්ලා සිිටියහ. බුදුපියාණෝ දීඝජානු කෝලිය පුත්‍රයාට මෙලොව දියුණුව පිණිස පවත්නා උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජීවිකතා යන කරුණු සතර ද සද්ධා සම්පදා , සීල සම්පදා , චාග සම්පදා , පඤ්ඤා සම්පදා යන කරුණු හතර පරලොව දියුණුව පිණිස පවතින බවත් පෙන්නුම් කර වදාළහ.
මෙහි “දිට්ඨධම්මහිතාය” යනුවෙන් දක්වා ඇත්තේ මෙලොව හිත සුව පිණිස හේතු වන කරුණු සතර ය. එයින් පළමු වැන්න “උට්ඨාන සම්පදාව”යි. උත්සාහය මෙලොව දියුණු වීමේදී තිබිය යුතු ප්‍රධාන සම්පත්තියෙකි. තමන් කරන රැකියාව දක්‍ෂ ලෙස කිරීමට හැකියාව ඇතිකරගත යුතුය. අලස නොවී රැකියාවෙහි නියුතු විය යුතුය. කටයුතු කරවීමට සංවිධානයට දක්ෂ විය යුතුය. ඉතා සීතලය. ඉතා ඌෂ්ණය, බඩගිනි වැඩිය. බඩ පිරී වැඩිය ආදි වශයෙන් තම කටයුතු අතපසු නො කටයුතුය. “උට්ඨානවතො භික්ඛවෙ ඛ්මසාදියං” උත්සාහවන්තයාට නො කළ හැක්කේ කුමක් දැයි වරක් බුදුරජාණන් වහන්සේද භික්‍ෂුන්ගෙන් ප්‍රශ්න කොට ඇත. උත්සාහය සෑම පඬිවරුන්ගේ ම උගතුන්ගේම ප්‍රශංසාවට ලක්වූ ගුණයකි.
සෑම දියුණුවකම මූලික පදනම වී ඇත්තේ උත්සාහය යන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
දෙවැනි කාරණය නම් උත්සාහයෙන් උපයා සපයා ගත් දේ ආරක්‍ෂා කර ගැනීමයි. තම වස්තුව සොර සතුරන් පැහැර ගන්නට ඉඩ නො තබා රාජ්‍ය සන්තක වන්නට ඉඩ නොදී, ගින්නෙන්,ජලයෙන් විනාශ වන්නට නො දී ආරක්‍ෂා කරගත යුතුය. මෙලොව දියුණුවට හේතුවන ආරක්‍ෂා සම්පත්තිය නම් එයයි.
මෙලොව දියුණුවට හේතු වන තුන් වන කාරණය “කල්‍යාණ මිත්තතාව” හෙවත් යහපත් මිත්‍රයන් ආශ්‍රය කිරීමයි. හොඳ නරක පෙන්වා දෙන, වරදින් වළක්වන, ප්‍රමාද වුවන් රකින මිත්‍රයන් ඇත්නම් එය මෙලොව දියුණුවට අතිශයින් අවශ්‍ය කරන සම්පත්තියකි. බුදුරදුන් කල සිටිය මහ ධන සිටු පුත්‍රයාට සිය පාර්ශ්වයෙන් අසූ කෝටියක ධනයද බිරියගේ පාර්ශ්වයෙන් අසූ කෝටියක ධනයද ලැබුණි. ඔහු පාපමිත්‍ර සේවනයට වැටීම නිසා ඒ මුදල් සම්භාරය විය පැහැදම් වී,ගේ දොර ඉඩකඩම් විකිණී හිඟමනට පත්ව අවසන අසරණව මැරී ගියේය.මේ නිසා තමා ඇසුරු කරන අය කෙබඳු අය දැයි සොයා බලා දැනගෙන ඇසුරු කරනවා නම් එය මෙලොව දියුණුවට හේතුවකි.
‘සමජීවිකතාව’ සතර වන මෙලොව දියුණුව ගෙනෙන සම්පත්තියයි. තමාගේ අය හා වැය පරික්‍ෂා කොට අයට වඩා වැඩියෙන් වැය නො කොට අය ප්‍රමාණයට වඩා වැය ප්‍රමාණය අඩුවෙන් කිරීම සමජීවිකතාවයයි.
“ඒකේන භෝගේ භුඤජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථං ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති”


යනුවෙන් සිඟාලෝවාද සූත්‍රයේදි දක්වා ඇති පරිදි සමජීවිකතාව නම් තමා උපයන ධනය සතර කොටසකට බෙදා එක කොටසක් කෑම් බීම් ආදියටද,කොටස් දෙකක් තමාගේ දියුණුව පිණිස සතර වැනි කොටස විපතකදී ගැනීමට තැන්පත් කර තැබීමද වෙයි.අරපිරිමැස්මෙන් ජීවත්වීම ‘සමජීවිකතාව’ වශයෙන් පෙන්වා දිය හැකිය. මේ මෙලොව දියුණුවට අතිශයින්ම උපකාරවත් වන සම්පත්ති හතරය.
මේ සම්පත්ති විනාශ වන ක්‍රම අපාය මුඛ වශයෙන් හදුන්වා ඇත. එවැනි අපාය මුඛ හතරක් ව්‍යග්ඝ පජ්ජ සූත්‍රයෙහි සඳහන්ව ඇත. ස්ත්‍රී ධූර්තයෙක් වීම, සුරා ධූර්තයෙක් වීම, අක්‍ෂ ධූර්ථ හෙවත් දූ කෙළියෙහි ඇලෙන්නෙක් වීම පවිටු මිතුරන් ඇසුරු කිරීම යනු ඒ අපාය මුඛ සතරයි.
පරලොව හිත පිණිස පවතින කරුණු නම් “ සද්ධා සම්පදා” - සීල සම්පදා “ – “ත්‍යාග සම්පදාව” හා “ප්‍රඥා සම්පදාවය” යි ශ්‍රද්ධා සම්පත්ති නම් ගුණ දැනගෙන පැහැදී නව අරහාදී බුදුගුණ පිළිගැනීමයි. එම ශ්‍රද්ධාවද ආකාරවති සද්ධා, අමුලිකා සද්ධා වශයෙන් ප්‍රධාන භේද දෙකකි. ආකාරවති සද්ධාව නම් විමසා බලා බුදුගුණ දහම් ගුණ සඟ ගුණ පිළිගැනීමයි. අමුලිකා ශ්‍රද්ධාව නම් විමසීමක් විචාරයක් නැතිව පිළිගැනීමයි.
සීලය වශයෙන් ගිහියන්ගේ නිත්‍ය සීලය වන පංච ශීලය මෙහි දක්වා ඇත. එනම් ප්‍රාණඝාතය අදත්තාදානය , කාම මිථ්‍යාචාරය, මුසාවාදය, මදයට, ප්‍රමාදයට හේතු වන රහමෙර පානය යන පංච දුශ්චරිතයෙන් වැළකී සිටීමයි.මෙහි ප්‍රාණඝාතාදියෙන් සම්පූර්ණයෙන්ම වළකින අතර කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම පනවා ඇත. ඒ නිසා කාමභෝගී ගිහියන්ට කාමයෙහි නිවැරදිව හැසිරිය හැකිය. එහෙත් කුමර බඹසර – කුමරි බඹසර රැකිය යුතුය.
පරලොව සැප පිණිසතෙ වැනිව පවතින්නේ “ත්‍යාග සම්පත්තිය”යි ත්‍යාගය නම් ශ්‍රමණ බ්‍රාහ්මණාදින්ට දුගී මගී යාචකාදීන්ට දීමයි. එම පරිත්‍යාගයේදි තිබිය යුතු ගුණ වශයෙන් පයතපාණී දන් දෙනු පිණිස නිතර සේදු අත් ඇතිව සිටීම,වොස්සග්ගරතෝ - දිය යුතු දෑ දීමෙහි ඇලුණු සිත් ඇතිවීම, යාචයොගෝ ,යැදීමට, ඉල්ලීමට සුදුසු පුද්ගලයෙක් වීම, දාන සංවිභාගරතෝ ,බෙදාහදා දීමෙහි ඇලුණු කෙනෙක් වීම දක්වා ඇත.
කාමභෝගී පුද්ගලයෙක් පංච කාම සම්පත් නිවැරදිව විඳ ගැනීම පාපයක් නොවේ. එහෙත් තමා විඳින කාම සම්පත්වල අස්සාද ,ආදීනව, නිස්සරණ දත යුතුය. අස්සාද නම් කාම සම්පත් වින්දනයයි. ඒවායෙහි ඵල විපාක දැන ගැනීම ආදීනවයයි. නිස්සරණ යනු විඳිනු ලබන කාම සම්පත් වලින් දුරුවීමට හැකි වීමයි. තමා විඳින පංචකාම සම්පත්තීන්ද අනිත්‍ය දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීමට හැකිවීම ප්‍රඥා සම්පත්තියයි. පංචකාම සම්පත් අනුභව කිරීමේදී උදුම්බරකාදික, න්‍යාය අත්හළ යුතුය. දිඹුල් කෑමට යන්නා ගහට නැඟ අතු සොලවයි. එවිට මල්, ගැට මෙන්ම ඉදුණු ගෙඩිද වැටෙයි. ඊළඟට ගසින් බැස ඉදුණු ගෙඩි පමණක් කෑමට ගනියි. මෙය දිඹුල් කන්නාගේ ස්වභාවයයි. පංචකාම සම්පත් අනුභව කිරීමේදී මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම අත්හළ යුතුය.
“අජද්ධුමාරික” නම් මරණයයි. තමාට අපමණ සම්පත් තිබියදී නිසි පරිදි අනුභව නො කොට මරණයට පත්වීම මෙනමින් හඳුන්වා ඇත. මසුරු සිටාණන් සේ සම්පත් රැස් කරමින් පරිභෝගයට නො ගැනීම බුදු දහම අනුමත නො කරයි. එසේම දුප්පතුන් ධනවතුන් සේ හැසිරීමද නො කළ යුතුය. එසේ වූ විට සිදු වන්නේ අජද්ධුමාරික හෙවත් අනාථ මරණයට පත්වීමටය.
“උභයත්ථ ගාමිණී” ප්‍රඥාව නම් රූප -වේදනා - සංඥා –සංස්කාර – යන ස්කන්ධ පඤ්චකයාගේ අනිත්‍ය දුක්ඛ හා අනාත්ම ස්වභාවය විදර්ශනා ඤාණයෙන් ඇති සැටියෙන් විමසා බැලීමය. එය නිවන් මඟට අතිශයින්ම උපකාරි වන ධර්මතාවයකි.
මෙම ව්‍යග්ඝපජ්ජ සුත්‍රයෙන් ගිහි පුද්ගලයෙකුට දෙලොව දියුණුව සැලසෙන ආකාරයට පංචකාම සම්පත් අනුභව කිරීමේ ක්‍රමය මනාව පැහැදිලි කොට ඇත. එහෙත් සත්ත්වයෙක් දිගටම සසර ගත කිරීම බුදු දහමින් මොහොතකටවත් අනුමත කරන්නේ නැත. එහෙයින් මෙයින් පැහැදිලි කොට ඇත්තේ සම්පත් අනුභව කිරීම තුළින් ආස්වාදය ආදීනවය හා නිස්සරණය දැකීමෙන් නිවන් මඟට ප්‍රවේශ වන ක්‍රමයෙකි. දෙලොව දියුණුවට නියම මඟ නම් එයයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය