Powered by Blogger.



දානංච ධම්ම චරියාව - ඤාත කානංච සංගහො
අනවජ්ජානි කම්මානි – එතං මංගල මුත්තමං


මෙලොව පරලොව දියුණුවට හේතුවන කාරණා 38 ක් මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. ‘මංගල’ යන වචනයට විවිධ තේරුම් ඇතත් බුදුරජාණන් වහන්සේ මෙම වචනය පාවිච්චි කෙළේ අභිවෘද්ධිය සඳහාය. ‘මංවුච්චති පාපං, තං ගලතීති මංගලං’යි පැවසූ පරිදි පාප සමනයෙන් අභිවෘද්ධියට හේතුවන කරුණු මංගල නම් වේ.
මෙම මංගල සූත්‍රාගත කරුණුවලින් වැඩි හරියක් සිංහල අලුත් අවුරුදු උත්සවය හා බැදේ. මෙම උත්සවය ලංකාවේ අද පවතින ප්‍රධාන පෙළේ ජාතික උත්සවයක් වේ. මෙවන් ජාතික උත්සව පැවැත්වීමේ සිරිත ඈත පුරාණයේ සිටම සිංහලයෝ පවත්වාගෙන එති. ඉන්දියාවෙන් ලංකාවට පැමිණි ආර්යයෝ එකල එහි පැවැති සිරිත් විරිත් කලා ශිල්ප වැනි දෑ මෙන්ම ජාතික උත්සව පැවැත්වීමේ සිරිත ද මෙහි ගෙන ආවෝ ය.
නක්‍ෂත්‍රය ගැන විශ්වාස කළ භාරතීයයෝ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන දිනය අලුත් අවුරුදු දවස වශයෙන් සැලකීමට පුරුදු වූහ. දෛවය විශ්වාස කළ හින්දු භක්තිකයෝ මේ දිනය වර්ෂයාගේ ආරම්භක දිනය වශයෙන් සැලකූහ. පෙර ඉන්දියාවේ නැකත් කෙළිය නමින් ප්‍රකට මහෝත්සවයන් පැවැත්වූයේ ද මෙදින ය. මෙය බමුණන් අතර පැවැති උසස් පෙළේ මහා උළෙලකි. මේ දවසේ දෛනික වැඩපිළිවෙළ නතර කර සතුටින් දවස ගෙවීම ඔවුන් අතර පැවති චාරිත්‍රය වේ.
අමනාප වී සිටින්නන් හා සමඟිවීම, නරක වැඩ අත් හැරීම, ඥාති මිත්‍ර හිතෛෂී සම්බන්ධකම් තහවුරු කර ගැනීම, පිදිය යුතු ඉටු දෙවි ආදීන් සිහිකිරීම වැනි යහපත් ක්‍රියාවන්හි නිරත වීම ආදිය මේ දවසේ උසස් කොට සැලකූහ.
මෙවන් ජාතික නැකත් කෙළි පෙර සිට ශ්‍රී ලංකාවේ ද පැවැති බවට අපේ ඉතිහාසය සාක්‍ෂි දරයි. බු.ව. 236 අනු බුදු මිහිඳු මහරහතන් වහන්සේ දෙවනපෑතිස් රජතුමාට හමුවූයේ ද එවන් ජාතික උත්සව දිනයකය. එදා එය පොසොන් කෙළිය නමින් හැඳින් වූයේ ය. මහින්දාගමනයෙන් පසුව එය ආගමික උත්සවයක් බවට පත් විය.
රාජ්‍ය වර්ෂ 113 වැන්නේ ලක්රජ පැමිණි ගජබා රජු දවස පැවැති ඇසළ කෙළිය ශ්‍රී මේඝවර්ණ තිස්ස රජ දවස දළදා වහන්සේ එයට සම්බන්ධ වීමෙන් එය දළදා උත්සවය බවට පත් විය. එයින් පසුව සිංහලයෝ අලුත් අවුරුදු දිනය ජාතික උත්සවය වශයෙන් පැවැත්වීමට පුරුදු වූහ. මෙම උත්සවයට දන්දීම, ධර්ම චර්යාව, නෑයන්ට සංග්‍රහ කිරීම, නිවැරැදිව වැඩකිරීම හා මංගල සූත්‍රයේ ඇතුළත් බොහෝ කරුණුත් ඇතුළත් කරගනු ලැබූහ. එසේ කිරීමෙන් මෙම ජාතික උත්සවය මංගල උත්සවයක් බවට පත් කරනවා. පිදිය යුත්තන් පිදීම, මවුපියන්ට සැලකීම, අඹුදරුවන්ට සංග්‍රහ කිරීම, පුණ්‍ය කාලයේ දැහැමි ජීවිතයක් ගත කිරීම, ඥාතීන්ට ගරු කළ යුත්තන්ට ගරු කිරීම, බුලත් හුරුළු දීමාදියෙන් නිහතමානීකම ප්‍රකට කිරීම, ක්‍රීඩාවලදී ඉවසීමේ ගුණය වැඩීම, නොනගත වේලාවේ පන්සල් ගොස් ස්වාමීන් වහන්සේලා දැකීම, උතුමන්ගේ අවවාද පිළිගැනීම වැනි කරුණු රැසක් සිංහල අවුරුදු වෙනුවෙන් අපේ පැරැන්නෝ සිදු කළහ.
සිංහල බෞද්ධයා කරන හැම දෙයක්ම මංගල කරුණක් බවට පත්කර ගැනීමේ සිරිත අවුරුදු උත්සවයේදී ද අනුගමනය කිරීමෙන් අපේ පැරැන්නන් අපට ආදර්ශයක් දී ඇති බව අමතක නොකළ යුතු ය.
අලුත් අවුරුද්ද උදාවන දවස ආගමික කටයුතුවල යෙදීමෙන් හා උත්සව පැවැත්වීමෙන් ගත කිරීම ඈත අතීතයේ සිටම බොහෝ ජාතීන් අතර පවත්නා සිරිතකි. ඉන්දියානු, චීන, මිසර, රෝමන්, යුදෙව් ආදීහු මේ දිනය වැදගත් කොට සැලකූහ. විවිධ ජාතිකයන් ආගමිකයන් වෙනස් වෙනස් දිනයන් අවුරුදු දිනය වශයෙන් සලකන ලදී. ඒ අනුව අප අවුරුදු වශයෙන් සලකන්නේ හිරු මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන දවසයි. මෙය සිදුවන්නේ අප්‍රේල් මාසයේ 13 හෝ 14 දෙදිනෙන් එක් දවසකය. ඒ අනුව මේ වර්ෂයේ අප්‍රේල් 14 වෙනි සඳු දින පූර්වභාග 7.37 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. මේ වෙලාවට දෙපැත්තෙන් පැය 12 යි විනාඩි 40 ක කාලයක් පුණ්‍ය කාලය වශයෙන් සැළකේ. ඒ අනුව මේ වසරේ අප්‍රේල් 14 සඳුදා (ඉරිදා රාත්‍රී නොහොත් සඳු දිනට එළිවෙන පාන්දර) පූර්ව භාග 1.13 ට අපරභාග 2.01 දක්වා පුණ්‍ය කාලය වේ. අලුත් අවුරුදු වෙනුවෙන් ළිප ගිනි මෙළවීම, ආහාර පිසීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, හිසතෙල් ගෑම, ස්නානය, නව වසරේ රැකී රක්‍ෂාදිය සඳහා පිටත්ව යන්නේ ශුභ නැකත් අනුවය.
බොහෝ රටවල මෙවන් උත්සවවලට මුළු සමාජයම සහභාගි වේ. එයින් සමාජයේ සමඟි සම්බන්ධකම් වැඩිදියුණු වේ. සාරධර්ම රාශියක් වර්ධනය වේ. මේ රටේ අවුරුදු උත්සවයෙනුත් විවිධ සමාජ කාර්යයන් ඉටුවෙන බව දක්නට ලැබේ. ඉදිරි වර්ෂයේ දී හොඳින් වැඩ කිරීම, පරණ අවුරුද්ද තුළ කෙරුණු වැරැදිවලින් වැළකීම වැනි බොහෝ දෙනා කරන අධිෂ්ඨාන ධෛර්යයෙනුත් ආත්ම විශ්වාසයෙනුත් අලුත් අවුරුද්ද පටන් ගැනීමට අනුබල ලැබෙනවා. මේ උළෙලට ගෘහණිය ගෙමිදුල, මුළුතැන්ගෙය, ගෙදර දොර උපකරණ, ඇඳුම් පැළඳුම් ශුද්ධ පවිත්‍ර කරයි. බඩුබාහිරාදිය අලුතෙන් මිලදී ගනී. මෙසේ ඇති කර ගන්නා බාහිර පාරිශුද්ධිය අභ්‍යන්තර පාරිශුද්ධිය ඇති කර ගැනීමටද උපකාර වේ. අවුරුදු චාරිත්‍ර නිසා පවුලේ සමඟියද වර්ධනය වේ. දුර බැහැර වෙසෙන පවුලේ සාමාජිකයෝ සිය නිවසට පැමිණ බුලත් හුරුළු දී ඔවුන්ගේ වැඩිහිටි බව තහවුරු කරති. පීතෘමූලිකත්වයට නැඹුරු අපේ සමාජයේ දූ දරුවන් පියාට බුලත් හුරුළු පිළිගැන්වීමෙන් පවුල සම්බන්ධයෙන් ඔහුගේ බලය වගකීම ප්‍රකට කරවයි. පවුලේ වැඩිහිටි සෙසු අයගේ හිසතෙල් ගෑමෙන් ද මේ කාර්ය ඉටු වේ. නෑදෑයෝ නෑගම් යාමෙන් ආදියෙන් ඔවුනොවුන් හමුවීම සිදු වේ. එයින් නෑදෑකම් අලුත් වේ. ඔවුන් තුළින් තරහ මරහකම් තුරන් වේ.
මුළු සමාජයම එකම වේලාවක එකම දිශාවක් බලාගෙන අවුරුදු සිරිත් සිදු කරයි. මුළු සමාජයම වාද භේද අමතක කර එකම පවුලක් මෙන් එකම අවස්ථාවක, ආහාර භුක්ති විඳිති. මෙය සමාජයේ ඒකාබද්ධතාවය තහවුරු කිරීමකි. එකට එක්ව ක්‍රීඩා කිරීමත් එවැන්නකි. මෙසේ සැලකීමේ දී මේ උත්සවය ඉතා උසස් ලෙස පැවැත් වූ බව පෙනේ.
ඇතැම්හු මෙය වරදවා ගනිති. කාලා, බීලා, ඇඳ පැළඳීමට ඇති අවස්ථාවක් වශයෙන් ඇතැම්හු ගනිති. කෙනෙක් මෙය විනෝදයට පමණක් සීමාවූවක් යැයි සලකා හරිහම්බ කර ගත් මිල මුදල් වියදම් කර ණයවීමෙන් අවසන් කරති. කිසිදාක සූදුවට නොගිය සමහරු ඇතැම්විට මේ දවසේ සූදුවට යනු දක්නට ලැබේ. කෙනෙකුගේ දෙයක් බලෙන් ගන්ට බැරි නිසා මොකක් හෝ කූට උපායකින් අන්සතු දේ තමන් සතු කර ගැනීමට වෙහෙසීම සූදුව නම් වේ. වෙනදා මත් ද්‍රව්‍යය පාවිච්චි නොකරන සමහරුන් ඒවා පාවිච්චිය කිරීමට පෙළඹේ. මත්ද්‍රව්‍ය පාවිච්චිය නරක පුරුද්දකි. අවුරුදු දා ඒවා පාවිච්චිය කොහෙත්ම නො හොඳ ය. මේ උතුම් දවසේ නන්දොඩවමින් ආරාවුල් ඇති කර ගනිමින් වමනේ පෙරමින් ආදරණීය මව්පියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, කීකරු බිරිඳගේ පෙම්බර දරු දැරියන්ගේ දෑසින් කඳුළු වැගිරවීම මුළු අවුරුද්දටම බලපාන තමන්ටම කර ගන්නා හතුරු කමක් බව සිහිකට යුත්තකි. විෂ සහිත දෙයක් ශරීරගත කරගෙන සිහි විකල් කරගන්නවාට වඩා සතුටින් සොම්නසින් සහයෝගයෙන් මේ දවස ගත කිරීම මොනතරම් පි‍්‍රයජනකද?
අවුරුදු චාරිත්‍රවලට අයත් පුණ්‍ය කාලය ඉතා වැදගත් අවස්ථාවකි. එයට නොනගතය යැයි ද වැහැරේ.නැකත් නැත යනු එහි තේරුම යි. මෙය ඉතා නරක වේලාවකි. ග්‍රහමණ්ඩලයේ රජු වශයෙන් සැලකෙන සූර්යයා වර්ෂයකට වරක් රාශි මාරු කරන දිනය ඉතාමත් අශුභය. ඒ මොහොතේ රවිගෙන් ලැබෙන බලය ලෞකික කටයුතුවලට අහිතකරය. එහෙයින් සියලු වැඩ අතහැර ආගමික කටයුතු පමණක් කළයුතු බව දෛවඥයෝ පවසති. ඒ කාලය තුළ ආගමික වත් පිළිවෙත් පමණක් කළ යුතු වේ. අපේ පැරැණි උදවිය මේවා ඉතා හොඳින් සිදු කළහ. මේ සිරිත් මේ කාලයේ අපේ රටේ පිරිහෙමින් පවතී.
අවුරුදු සිරිත් අතර හිසතෙල් ගෑමට විශේෂ තැනක් හිමි වේ. ඒ සඳහා මූලික වන්නේ ගමේ පන්සලත්, වෙද ගෙදරත් යන දෙතැන ය. ඒ සඳහා අවශ්‍ය ඖෂධීය නානු පිළියෙළ වුණේ වෙද ගෙදරය. ඒවා පිරිත් කළේ පන්සලේ හාමුදුරුවෝ ය. නැකත් වේලාවේ බෝමලුවේදී පන්සලේ හාමුදුරුවෝ පිරිත් කියමින් තෙල් ගෑම කළහ. හිසතෙල් ගෑමේ දී හිසටත් පයටත් තබන කොළ වර්ග නියම කොට තිබේ. එය තීරණය වූයේ එක්තරා සිද්ධාන්තයක් අනුවය. මේ වසරේ හිසතෙල් ගෑම නියම වී ඇත්තේ අප්‍රේල් 16 වෙනි බදාදා පූර්ව භාග 11.16 ටය. එවිට දිනය බදාදා ය. ඒ දිනය අයත් වන්නේ බුදහුටය. බුද ග්‍රහයාට අයත් වෘක්‍ෂය කොහොඹය. එම නිසා හිසට කොහොඹ කොළ නියම වී ඇත. පයට තබන කොළ වර්ගය තීරණය වන්නේ ඊට පෙර දිනය ගැන සලකාගෙනය. කලින් දවස අඟහරුවාදා ය. ඒ දිනය අයත් වන්නේ අඟහරුටය. ඔහුට අයත් වෘක්‍ෂය කොළොංය. එහෙයින් පයට කොළොං කොළ නියම කොට තිබේ.
මෙයින් ඉතා වැදගත් දෙයක් ප්‍රකට වේ. එනම් ගෙවී ගිය දිනය පයට තැබීමත් ආරම්භක දිනය හිසට තැබීමත්ය. ගෙවී ගිය කාලයට වඩා ඉදිරි කාලය තුළ වාසනාව සෞභාග්‍යය නිරෝගීකම ප්‍රාර්ථනා කිරීම එයින් අදහස් කෙරේ. අපේ පැරැණි මුතුන් මිත්තන් අවුරුදු සිරිත් අනුගමනය කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබූ ආකාරය තේරුම් ගෙන ඒවා අනුගමනය කොට සාමය, සමාදානය, සෞභාග්‍යය ඇතිකරගෙන දෙලොව දියුණුවත් කෙළවර අමා මහ නිවන් සුවයත් අත් පත් කර ගැනීමට උත්සාහ කරත්වා.




සටන් පැවැති පෙදෙසට වැඩම කළ උන්වහන්සේ අහසෙහි වැඩ හිඳ බුදුරැස් විහිදුවා පෙළහර පා නාගයන්ට දහම් දෙසූහ. එයින් සතුටට පත් නාගයෝ සමඟි වී ගැටුමට මුල්වුණ මිණිපළඟ බුදුරජුන්ට පිදූහ. උන්වහන්සේ වැඩසිටි නිසා පාරිභෝගික වස්තුවක් බවට පත්වුණ මිණිපළඟ තැන්පත් කොට ඔවුහු නාගදීප දාගැබ තැනූහ.

සම්බුද්ධත්වයෙන් පස්වන අවුරුද්දෙහි බක්මස අමාවක පොහොය දිනයෙහි බුදුරජාණන් වහන්සේ ලක්දිව නාගදීපයට වැඩම කළහ. එය උන්වහන්සේගේ දෙවන ලංකාගමනයයි. බුදුරදුන් නාගදීපයට වැඩම කළේ මිණිපළඟක් මුල්කරගෙන නාග ගෝත්‍රිකයන් අතර සිදුවන යුද්ධය වැළැක්වීමටයි.
මණිනාගදීපයේ මහෝදර නා රජුගේ දියණිය සරණ පාවා දුන්නේ ඔහුගේ නැගණියගේ පුත් වඩුන්නාගල සිටි චූලෝදර නා රජුට ය. ඔහුට දෑවැද්ද වශයෙන් ලැබුණේ වටිනා මිණිපළඟක් හෙවත් මැණික් පුටුවකි. නාග කුමරිය හදිසියේ මියගිය නිසා මහෝදර නා රජු සිය බෑණාගෙන් මිණිපළඟ ඉල්ලුවේ ය. එහෙත් චූලෝදර නා රජු එය ආපසු දෙන්නට අකැමැති විය. ඒ හේතුවෙන් යුද්ධයක් ඇතිවන තත්ත්වයට කරුණු යෙදුණි.
දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුකෙහි සිටි සමිද්ධි සුමන දෙවියා පෙර භවයක ලක්දිව මණිනාගදීපයේ විසූ කෙනෙකි. ඔහු යළිත් එම ප්‍රදේශයෙහි වාසය කරවුවොත්, ඔහුටත්, නාගයන්ටත් යහපතක් සිදුවන බව බුදුරදුන්ට පෙනුණි. ඒ නිසා මණිනාග දීපයට යාමට එන ලෙස බුදුරජාණන් වහන්සේ දේවතාවාට දැනුම් දුන්හ. සටන් පැවැති පෙදෙසට වැඩම කළ උන්වහන්සේ අහසෙහි වැඩ හිඳ බුදුරැස් විහිදුවා පෙළහර පා නාගයන්ට දහම් දෙසූහ. එයින් සතුටට පත් නාගයෝ සමඟි වී ගැටුමට මුල්වුණ මිණිපළඟ බුදුරජුන්ට පිදූහ. උන්වහන්සේ වැඩසිටි නිසා පාරිභෝගික වස්තුවක් බවට පත්වුණ මිණිපළඟ තැන්පත් කොට ඔවුහු නාගදීප දාගැබ තැනූහ. එය ප්‍රසිද්ධියට පත්වුණේ රාජායතන චෛත්‍යය නමිනි. ඒ අසල රෝපණය කෙරුණ කිරිපලු රුක මහිද්ධි සුමන දෙවියාගේ වාසස්ථානය බවට පත්වුණි.
මණිනාගදීපයේ දී බුදුරදුන්ට පිදු මිණිපළඟ කැලණි දාගැබෙහි තැන්පත් කොට ඇතැයි ඇතැමුන් කියන්නේ කරුණු වරදවා තේරුම් ගැනීම හේතුවෙනි. මණිපල්ලංක (මිණිපළඟ) සහ මණිමණ්ඩප (මැණික් මණ්ඩපය) යන වචන දෙක පැහැදිලි කරගත් විට මෙම ගැටලුව නිරවුල් වෙයි. මණිපල්ලවම් නමැති දෙමළ පොතේ සඳහන් වන පරිදි මිණිපළඟ යනු මැණික් ඔබ්බවා තැනූ අඩි තුනහමාරක් උසැති, අඩි නවයක් දිගැති ආසනයකි.
බුදුරදුන් ලක්දිවට තෙවන වර වැඩම කළේ මණිඅක්ඛිත නාරජුගේ ඇරැයුම පරිදිය. උන්වහන්සේ ගෞරවයෙන් පිළිගැනීම සඳහා කැලණියේ පනවා තිබුණේ මැණික්වලින් සරසා සෙවිලි කළ මණ්ඩපයකි. එය බුදුරදුන්ට සහ පන්සියයක් මහරහතුන්ට වැඩ සිටින්නට හැකි තරමේ විශාල වේදිකාවකි. විස්තර කර ඇති අන්දමට එය අලංකාර පිරිත් මණ්ඩපයක් වැනිය. කැලණි දාගැබ ඉදිකළේ එම මණ්ඩපය තිබූ ස්ථානයේ ය. මේ අනුව නාගදීප දාගැබේ මිණිපළඟ තැන්පත් කෙරුණි. බුදුරදුන්ට වැඩසිටින්නට මණිමණ්ඩපය ඉදිකළ බිමේ කැලණි දාගැබ ඉදිකෙරුණි.
නාගදීප දාගැබ වඳින ගාථාවේ සඳහන් වන්නේ මාමා සහ බෑණා විසින් දෙන ලද මණිපල්ලංකයෙහි වැඩ හිඳ බුදුරදුන් දහම් දෙසූ බවයි.
භගිනි සුත මාතුලේහි දින්නේ
මණිපල්ලංකවරේ යහිං නිසින්නෝ
මුනි ධම්ම මදේසයි මුනීනං
සිරසා තං පණමාමි නාගදීපං


දාගැබට වඳින ගාථාවේ සඳහන් වන අන්දමට මණිඅක්ඛිත නාරජු තැන වූ මිණිමඬුවේ බුදුරදුන් වැඩහුන් අතර, ඒ මත කැලණි දාගැබ ඉදිකොට ඇත.
ආයාචනාය මණි අක්ඛිමහෝරගස්ස
යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං
තස්සෝපතිට්ඨිත මුපට්ඨිත වීතරාගං
කළ්‍යාණි චේතියමහං සිරසා නමාමි


මණි අක් නයිඳු කළ - මිණිමඬුව තුළ වැඩ හිඳ
මුනිඳා දිව බොජුන් වැළඳූ සැනෙහි නඳ
මුනිදා පිහිටුවා කළ දාගැබට වැඳ ( හංස සංදේශය)

මණිනාගදීපයේ රාජායතන චෛත්‍යය වැඳීමට වැඩමකළ භික්‍ෂූන් සැටනමකට නාගා නමැති දාසියක් වෙහෙස මහන්සි වී උපයා ගත් ධනයෙන් දානය දුන්නා ය. ඇයගේ ශ්‍රද්ධාව ගැන සැලකූ එම භික්‍ෂූන් වීර්යයෙන් යුතුව රහත් බව ලැබ එම දානය වැළඳූහ. ඒ පුවත අසා පැහැදුන රජතුමා නාගා දාස බවින් මුදා මණිනාග දිවයින ඇයට තෑගි කළ බව සද්ධර්මාලංකාරයේ නාගා වස්තුවෙහි සඳහන් වෙයි. මණිනාගදීපයට නාගදීපය යන නම ලැබුණේ ඉන්පසුවය. සැමගේ සිත් දිනාගෙන ඔවුන්ට උදව් කරමින් ජීවත්වූ නාගා මැරුණ පසු දේවත්වයට පත්වූවා ය. හින්දු බැතිමතුන් නාගම්මා හෙවත් නාග පූෂානි අම්මන් කෝවිල නමින් හඳුන්වන්නේ ඇය වෙනුවෙන් තැනුන දෙවොල යි. එය පිහිටා තිබෙන්නේ වර්තමාන නාගදීප විහාරය ආසන්නයේ ය.
නාගදීපය යනු අතීතයේ දී යාපන අර්ධද්වීපය ම ඇතුළත් විශාල ප්‍රදේශයකි. වෙළෙඳ භාණ්ඩ හුවමාරු කළ තොටුපොළ කීපයක් එහි තිබුණි. ප්‍රසිද්ධ වරායක් වූ ඌරාතොට දැන් කයිට්ස් දූපතයි. සංඝමිත්තා තෙරණිය වැඩම කළ දඹකොල පටුන ද පැරැණි නාගදීපයට අයත් වූවකි. 1936 දී විෂ්ණු දේවාලය අසලින් ලැබුණ වල්ලිපුරම් රන් සන්නසින් පැහැදිලි වන්නේ රාජ්‍ය වර්ෂ 126 – 127 වසභ රජ සමයේ දී ඉසිගිරි නම් ඇමැතිවරයකු නාගදීපය පාලනය කළ බවයි.
බුදුරදුන් වැඩම කළ ස්ථානය ලෙස සැලකෙන වර්තමාන නාගදීපය පිහිටි දූපතෙහි පුත්තර් කෝවිල්, බුද්ධ වලව්, පුත්තර් පල්ලම්, පුත්තර් තීඩල් යනාදී නම්වලින් හැඳින්වෙන්නේ බුදුරදුන්ට සම්බන්ධ ස්ථානයන් ය. පුත්තර් තෝට්ටම් (බුදුන්ගේ වත්ත) නමින් හැඳින්වෙන ඉඩම මෑතක් වනතුරු අයිති කරගෙන සිටියේ දෙමළ කරණවෑමියෙකි. බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නා හිමියන් එම භූමිය මිලදී ගෙන විහාරයක් ඉදිකරද්දී පොළොවෙන් නටබුන් රැසක් මතු වී ඇත. 1985 දී ත්‍රස්තවාදීහු එම විහාරය පුපුරුවා හැරියහ. හානි වුණ සෙල් බුදුපිළිමයක් එහි තිබේ. දැනට දක්නට තිබෙන නාගදීප දාගැබ සහ පන්සල 1939 වසරේ දී රන්දොඹේ සෝමසිරි නා හිමියන් විසින් ඉදිකරවන ලද්දකි. නාගදීපයේ ජීවත්වන දෙමළ හින්දු බැතිමත්හුද විහාරස්ථානයට පැමිණ වන්දනා මාන කරති.
බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන අන්දමට නාගදීප රාජායතන චෛත්‍යය යනු ශාසන ඉතිහාසයේ අවසානය දක්වා ම පවතින ඉතා වැදගත් පූජනීය ස්ථානයකි. සම්බුද්ධ ශාසනය අතුරුදන් වන විට විවිධ වෙහෙර විහාරවල තිබෙන සර්වඥ ධාතු නාගදීප චෛත්‍ය ස්ථානයට එක්රැස් වෙයි. එතැනින් දඹදිව සිරිමහ බෝමැඩට වැඩම කිරීමෙන් පසු අතුරුදහන් වෙයි. එය මිලින්ද ප්‍රශ්නයෙහි දැක්වෙන්නේ මෙසේ ය.
“එකල සත්ත්වයන්ගේ ශ්‍රද්ධා බුද්ධි මඳ වීමෙන් පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේ බුදුන්ගේ අධිෂ්ඨාන බලයෙන් පූජා සත්කාර ලැබෙන තැනට අහසින් වඩිති. කල්යෑමෙන් හැමතැනම පූජා සත්කාර නොලැබෙයි. එකල බුදුරදුන් ධර්මාන කාලයෙහි ලෝවැඩ පිණිස විසිර පවත්නට අධිෂ්ඨාන කර වදාළ හැම ධාතුන් වහන්සේ අධිෂ්ඨාන බලයෙන් ලක්දිව රුවන්වැලි මහ සෑයට වඩිති. එතැනින් නාග දිවයින රාජායතනය නම් චෛත්‍යයට රැස්වෙති. එයින් මහබෝමැඩ කරා වඩිති.” (ශාසනායුෂ ප්‍රශ්නය) සාහිත්‍ය ග්‍රන්ථ කීපයකම මේ පුවත දැක්වේ.


මහාවිහාර පිරිවෙනින් ආරම්භ වූ මෙරට පිරිවෙන් අධ්‍යාපනය අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල, කෝට්ටේ හා මහනුවර ආදි රාජධානි යුගවල විශ්වකීර්තියට පත් විය. එහෙත් බටහිර ජාතීන් ලක්දිව පාලනය නතුකරගත් පසුව පිරිවෙන් අධ්‍යාපනය පරිහානියට පත්විය.
එහෙත්, වර්ෂ 1717- 1789 කාලයේදී වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ විසින් නියමකන්දෙහි පිහිට වූ ශාස්ත්‍රාශාලාවෙන් පිරිවෙන් අධ්‍යාපනයේ නව යුගයක් ආරම්භ වන්නට පටන් ගැනිණි.

මෙරට පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ජනාධිපතිතුමන් සහ රජය විසින් සිදුකළ මහත් මෙහෙවර අගයා පිරිවෙන් ගුරුවරුන් විසින් සකස් කළ සංදේශයක් පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් විසින් ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන ලද අවස්ථාව.
උන්වහන්සේගේ ශිෂ්‍ය, ගෞරවාර්හ ගාල්ලේ මේධංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පැල්මඩුල්ලේ ශාස්ත්‍රශාලාව පිහිටුවීමත්, වර්ෂ 1875 දී වලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමිපාණන් වහන්සේ විසින් රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන ආරම්භ කිරීමත් නිසා මේ ආරම්භය වඩාත් ශක්තිමත් වූයේ හාස්කමක් ලෙසිනි.
ඉංගී‍්‍රසි පාලනය යටතේ වර්ෂ 1873 දී පොදු අධ්‍යාපන දෙපාර්තමේන්තුව පිහිටුවීමත්, බටහිර පාලකයන් විසින් විටින් විට සකස් කරන ලද අධ්‍යාපනයට ස්ථාවර පදනමක් වැටුණු අතර, ජාතික පුනරුදයක් පිළිබඳ උද්යෝගය පසුබිම්කරගෙන වර්ෂ 1873 දී විද්‍යෝදය පිරිවෙන ද, වර්ෂ 1875 දී විද්‍යාලංකාර පිරිවෙන ද පිරිවෙන් අධ්‍යාපනය තහවුරු කිරීමේ ක්‍රියාවලියට එක්විය.
වර්ෂ 1943 දී නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමත් සමඟම පිරිවෙන් අධ්‍යාපනය ද ව්‍යවස්ථාපිත අනුග්‍රහයක් ලබාදීමේ අවශ්‍යතාවය ප්‍රකට වන්නට වූයේ ය. වර්ෂ 1947 සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9773 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ ආධාර ලබන පිරිවෙන් ව්‍යවස්ථා සංග්‍රහය රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් සම්මත කරවා ගත් ආචාර්ය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර අධ්‍යාපන ඇමැතිතුමන් විසින් එකී අවශ්‍යතාව ඉටු කිරීම සඳහා ආරම්භක පියවරක් තැබුවේ ය.
මේ ආකාරයෙන් ව්‍යාප්ත වන්නට යෙදුන පිරිවෙන් අධ්‍යාපනය, වර්ෂ 1959 අගෝස්තු මස 07 වෙනි දින අංක 11828 දරන ගැසට් පත්‍රයෙන් පළවුණු පිරිවෙන් නියෝග මාලාව අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයානන්ද දහනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ සම්මත කරවා ගැනීමත් සමඟම ජාතික පොදු අවශ්‍යතා ඉටු කිරීමට සමත් අනුබද්ධ ආයතන සමූහයක් පිරිවරාගත් අධ්‍යාපන පද්ධතියක් ලෙස සංවර්ධනය විය. එමෙන්ම 1971 පිරිවෙන් කමිටු වාර්තාව පදනම් කොට ගෙන මේ 1979 අංක 64 දරන පිරිවෙන් අධ්‍යාපන පනත ප්‍රභවය ලැබීය.
නව පනත යටතේ පිරිවෙන් අධ්‍යාපනයේ අනන්‍ය ලක්‍ෂණ තහවුරු කිරීම සඳහා මූලික පිරිවෙන් පාඨමාලාව හඳුන්වා දෙන ලදී. ඒ අනුව, සියලු ම ගුරුභවතුනට වැටුප් ගෙවීමේ කටයුතු සම්පාදනය විය. මූලික මහා, විද්‍යායතන යනුවෙන් පිරිවෙන් වර්ගීකරණය විය. පිරිවෙන් අභ්‍යාස ආයතන ව්‍යවස්ථාපිත තත්ත්වයකට පත් කෙරිණි. පිරිවෙන් විධිමත් පරිපාලන ක්‍රමයක් තුළ සංවර්ධන කරා යොමු කරනු ලැබීය.

අධ්‍යාපන අමාත්‍යතුමන් අතින් පිරිවෙන් සඳහා සීනු පිරි නැමූ අයුරු.
ඒ අනුව, සිංහල, පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්මය, ඉංගී‍්‍රසි හා ගණිතය යන විෂය 06 අනිවාර්ය කෙරුණු මූලික පිරිවෙන් අවසාන විභාගය පාසල්වල අ.පො.ස. (සා.පෙ) විභාගයට සමගාමීව පිරිවෙන් ක්‍ෂේත්‍රයට ඒ මට්ටමෙන් හඳුන්වා දෙනු ලැබුණේ නව පනත යටතේ වීමද විශේෂත්වයකි.
මේ ආකාරයෙන් ව්‍යාප්ත වූ මෙරට පිරිවෙන් අධ්‍යාපනයට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකීය අධ්‍යාපන රටාවටම නැවුම් වූ අර්ථකතනයක් එක් කරන්නට වර්ෂ 2005 දී එක්තරා සුවිශේෂී ප්‍රතිඥාවක් එළි දැක්විණි. එනම්.... මහින්ද චින්තනයයි. ‘මිනිසා භෞතික වශයෙන් පමණක්ම නොව, අධ්‍යාත්මික වශයෙන් ද ගොඩ නැගීම සඳහා පුද්ගලයාට ශ්‍රද්ධාව මෙන්ම ප්‍රඥාව ද ලබා දිය යුතුය” යන්න තේමා කර ගනිමින් එදා එළි දැක්වූ ඒ උදාරතර චින්තනයෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ඔසවා තබන්නට මනා පාදමක් වූයේ ය.
සියලු ආගම්වලට අයත් දරුවන් ඔවුනොවුනගේ ආගම්වලට අනුකූලවූ ධාර්මික අධ්‍යාපනයක් ලබනවා දැකීම අභිලාෂය කරගත් ඒ අග්‍රගන්‍ය වූ ප්‍රතිපත්තියට අනුව යමින් ක්‍රමවත් රටාවක් ඔස්සේ මෙරට අධ්‍යාපනයේ නිම් වළලු පුළුල්ව ගම් දනව් සිසාරා විසිර පැතිර යන්නට විය. සැබැවින්ම අධ්‍යාපනයේ හෙට දවස ප්‍රභාෂ්වර විය.
මෙවන් කාලවකවානුවක උදා වූ 2013 නොවැම්බර් මස 21 වෙනිදා පස්වරුවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත සම්ප්‍රාප්ත වූයේ 2014 වර්ෂය වෙනුවෙන් වූ අයවැය ඉදිරිපත් කිරීම සඳහා ය. ඉතාමත් සුවිශේෂී වූ මෙවර අයවැය, ශ්‍රී ලාංකීය ඉතිහාසයේ හැට අට වෙනි අයවැය වූ අතර, සන්ධාන රජයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කළ නවවෙනි අයවැය ද වශයෙන් ඉතිහාසයට එක්විණි.
එළඹෙන වර්ෂය වෙනුවෙන් ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම් හා වියදම් එළි දක්වන අතරතුරේ දී පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ද වඩා වැදගත් වූ ශිර්ෂයන් කිහිපයක්ම මෙවර අයවැයට එක්වී තිබීම මෙරට ශාසනික වශයෙන් ගිහි පැවිදි සමාජය ලැබුවා වූ විජයග්‍රාහී කඩඉමකි.

උත්සව අවස්ථාවට වැඩමවා සිටි ආරාධිත ගෞරවනීය මහා සංඝරත්නය
ඒ අනුව පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙමින් 2014 අයවැයෙන් පිරිවෙන් ආධාර වැඩි කරන්නට සමත්විණි. එදා 2005 දී සන්ධාන රජය බලයට පත්වෙන අවස්ථාවේ දී පිරිවෙනක අධ්‍යාපනය ලබන පැවිදි ශිෂ්‍යයෙකුට දිනකට ලබා දී තිබුණේ රුපියල් 03 යි ශත 42 ක් පමණකි. එමෙන්ම, ගිහි ශිෂ්‍යයෙකු වෙනුවෙන් ගෙවා ඇත්තේ ශත 68 ක් පමණකි. නමුත් එම මුදල් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන නිසා 2010 දී පැවිදි ශිෂ්‍යයෙකුට දිනකට රුපියල් 06 යි ශත 84 දක්වාත්, ගිහි ශිෂ්‍යයෙකුට රුපියල් 01 යි ශත 37 ක් දක්වාත් පිරිවෙන් ශිෂ්‍යාධාර 100% කින් වැඩි කරන්නට සන්ධාන රජය සමත්විණි.
මේ ආකාරයෙන් පිරිවෙන් අධ්‍යාපනය සාර්ථක වෙද්දී, මේ සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කළ අතිගරු ජනාධිපතිතුමන්, මෙම මුදල් අදට ගැළපෙන පරිදි ප්‍රමාණවත් නොවන නිසා පිරිවෙන් අධ්‍යාපනය ලබන පැවිදි ශිෂ්‍යයාත්, ගුරුභවතුනුත් ධෛර්යයමත් කිරීම සඳහා මෙන්ම ඔවුනොවුන් වෙනුවෙන් යම් සාධාරණීකරණයක් ඇති කරළීම උදෙසා මෙවර 2014 අයවැයෙන් පැවිදි ශිෂ්‍යයෙකුට දිනකට රුපියල් 15 දක්වා 219%කිනුත්, ගිහි ශිෂ්‍යයෙකුට රුපියල් 05 දක්වා 364% කිනුත් රජයේ ශිෂ්‍යාධාර දීමනා වැඩි කරන්නට සමත්විණි.
එමෙන්ම, පිරිවෙන්වල සනීපාරක්‍ෂක කටයුතු සඳහා රුපියල් මිලියන 50ක් ද, පිරිවෙන් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය සඳහා මෙන්ම වෙනත් යටිතල පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 300 ක් ද මෙවර අයවැයෙන් ලබාදී තිබේ.
මේ රටේ දස සිල් මාතාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රජය රුපියල් මිලියන 20 ක් ද මෙවර අයවැයෙන් වෙන් කර තිබීම සැබැවින්ම අප ප්‍රශංසාවට ලක් කළ යුතු උත්තුංග කාරණයකි. එමෙන්ම, පාසල් ගුරුවරුන්ට ලබාදෙන වරප්‍රසාදයන් සියල්ලක්ම පිරිවෙන් ගුරුවරුන්ටත් ලබාදීමට සන්ධාන රජය කටයුතු කර තිබීම විශේෂත්වයකි.
වත්මන් රජය පිරිවෙන් ආධාර වැඩි කිරීමෙන් ද, පරිවේනාචාර්යවරුන්ට විවිධ වරප්‍රසාද ලබාදීමෙන් මෙන්ම තවත් බොහෝ දේ හරහා මෙරට පිරිවෙන් නඟා සිටවීම සඳහා අවශ්‍ය වන්නා වූ රාජ්‍ය අනුග්‍රහකත්වය දක්වා තිබේ.
මීට සියවස් ගණනාවකට පෙරාතුව අරැඹි අපේ රටේ මේ පිරිවෙන් අධ්‍යාපනය, මේ වන විට දිවයින පුරා පිරිවෙන් 750 කටත් වඩා ව්‍යාප්තව තිබේ. එමෙන්ම මේ පිරිවෙන්වල ඉගෙන ගන්නා ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා මෙන්ම ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් ගුරුහරුකම් ලබාදෙන්නට අවැසි ආචාර්ය මණ්ඩලය වශයෙන් ගුරුවරුන් 6300 ක් පමණ සේවයේ නිරතව සිටිති. එමෙන්ම, මේ පිරිවෙන්වල අධ්‍යාපනය හදාරන ගිහි පැවිදි ශිෂ්‍යයන් සංඛ්‍යාව 64, 000 ක් පමණ වේ.
වත්මන් රජය පිරිවෙන් වෙනුවෙන් මේ ආකාරයෙන් මුදල් ප්‍රතිපාදනයන් වෙන් කරමින් සුවිශේෂී අවධානයක් යොමු කර කටයුතු කරනු ලබන්නේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ගිහි පැවිදි ශිෂ්‍යයන්ගේ මානසිකත්වය නූතන යුගයට ගැළපෙන ආකාරයෙන් සකස් කිරීමට මෙන්ම, ඒ තුළින් ආකල්පමය වෙනසක් ඇති කිරීම උදෙසාය.
මෙවන් පරම පිවිතුරු චේතනාවන් පෙරදැරි කරගනිමින් රජයේ මේ අතිමහත් කැපකිරීම සාක්‍ෂාත් කරගන්නට පිරිවෙන්හි අධ්‍යාපනය ලබන ගිහිපැවිදි ශිෂ්‍යයන් තම තමන්ගේ කාර්යභාරය වඩාත් ප්‍රශස්ත අයුරින් ඉෂ්ට සිද්ධ කිරීම වටී. එසේ සිදු කිරීමෙන් රජය දියත් කර ඇති දැවන්ත සංවර්ධන ක්‍රියාවලියට ද මනා දායකත්වයක් ලබා දීමට අවකාශ උදා වේ.
පිරිවෙන වත්මන් යුගයට සරිලන පරිද්දෙන් ව්‍යාප්ත වෙද්දී, විහාරස්ථානය වත්මන් යුගයට ගැළපෙන අයුරින් ව්‍යාප්ත වෙද්දී එතුළින් බිහිවෙන අනාගත යතිවරයාණන් වහන්සේලාගේ පරපුර තව තවත් ශෝභාමත් වනු නොඅනුමානය.
මෙවන් වූ සද්කාර්යයක් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ කැපවීම වඩාත් ශ්‍රේෂ්ඨ වේ. මූලික පිරිවෙන් අවසාන විභාගයෙන් සමත්වන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් විදෙස් අධ්‍යාපන චාරිකාවන් ලබා දීමට අවැසි කටයුතු සම්පාදනය කර දීමේ නවතම ක්‍රියාපටිපාටියක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.
ඒ අනුව 2012 වර්ෂයේ පැවැති මූලික පිරිවෙන් අවසාන විභාගයේ ඉහළම ලකුණු ලබාගත් පැවිදි ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා දස නමක් වෙත කොරියාවේ සුවිශේෂී අධ්‍යාපන චාරිකාවක් පිරිනැමීමට හැකි වූ අතර, එහි ගුවන් ටිකට්පත් පූජා කිරීම අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් අරලියගහ මන්දිරයේ දී පසුගිය ඔක්තෝම්බරයේ සිදු කෙරිණි.
එමෙන්ම, එහි දෙවෙනි පියවර වශයෙන් අප්‍රේල් මාසයේ දී තවත් එක් විදේශීය සංචාරයක් ලබා දීමට දැනටමත් කටයුතු යොදා තිබේ. එනම්.... 2012 ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් උසස් ලෙස සමත් වූ ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලා දස නමකට මැලේසියාවේ අධ්‍යාපන චාරිකාවකි.
එමෙන්ම, ත්‍රිවිධ ශාසනය සුරකිමින් අනාගත ලෝකයේ අභියෝග ජය ගත හැකි ප්‍රජාවක් බිහි කරලීමේ උතුම් අරමුණෙන් යුතුව පිරිවෙන් අධ්‍යාපනය යාවත්කාලීන කිරීමත් මෙන්ම සංවර්ධනය කිරීමත් ඉලක්ක කරගනිමින් (2014 –2016) තුන් අවුරුදු පිරිවෙන් අධ්‍යාපන සැලසුමක් පසුගියදා අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්විණි.
මේ සියල්ල සිද්ධ වෙන අතරතුරේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පසුගියදා සිදු කරනු ලැබූ ඵලදායිතා ප්‍රවර්ධන අභියෝගයේ දී සමස්ත අමාත්‍යාංශයේම ඇති ශාඛා 54 අතුරෙන් ඉතාමත් විශිෂ්ට කාර්යක්‍ෂමතාවයක් ශාඛා අතරින් අභිමානවත් පස්වෙනි ස්ථානය කරා පැමිණෙන්නට ‘පිරිවෙන් ශාඛාව‘ ට හැකි විය. මෙවන් ඉහළ ස්ථානයක් කරා පිය මැනීමට පිරිවෙන් ශාඛාවට හැකි වූයේ මෑත ඉතිහාසයේ පළමු වතාවට වීම ද සැබැවින්ම විශේෂත්වයකි.
පසුගිය වසර දක්වා ඉතාමත් සීමිත ඉඩකඩක අඩුපාඩු රැසක් මධ්‍යයේ පවත්වාගෙන ගිය මෙම පිරිවෙන් ශාඛාව, වර්තමානය වන විට කාර්යක්‍ෂම බවින් පිරිපුන් කර ඇත. පිරිවෙන් සම්බන්ධයෙන් දිවයිනේ සිව් දෙසින් දෛනිකව ලැබෙන විවිධාකාරයෙන් වූ ලිපි එදිනම පරිගණක ජාල ගත කරනු ලබන අතර, ඒ වෙනුවෙන් අදාළ විසඳුම් කඩිනමින් ගෙන එම පිරිවෙන් වෙත ක්‍ෂණිකව දන්වා යවමින් අද මේ පිරිවෙන් ශාඛාව ප්‍රශංසනීය මෙහෙවරක නිරතව සිටී.
ක්‍රමානුකූල රටාවක් ඔස්සේ කාලීන තාක්‍ෂණික ක්‍රමවේදයන් ද උපයෝගී කොට ගනිමින් නිසි කළමනාකාරිත්වයකින් යුක්තව වඩාත් ඵලදායී කඩිනම් සේවාවක නිරතවීම, පිරිවෙන් ශාඛාව ලද විජයග්‍රහනයේ රහස වී ඇත. සීමිත සේවක පිරිසකගෙන් උපරිම කාර්යක්ෂමතාවයක් මෙන්ම ඵලදායීතාවයක් අපේක්‍ෂාවෙන් සිදුකරන ලද මෙම ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ සාර්ථකත්වය අද වන විට සියල්ලන්ටම මනාව පසක් වී හමාරය.
ලිපි ගොනු නිසි ආකාරයකින් තැන්පත්කොට තිබීමත්, දුරකතන නාමාවලි මෙන්ම පිරිවෙන් ආශි‍්‍රත අනෙකුත් තොරතුරු ද ක්‍ෂණිකව ලබා ගත හැකිවන පරිද්දෙන් ස්ථානගත කර තිබීමත් හේතුවෙන් වර්තමාන පිරිවෙන් පද්ධතියේ වඩාත් ඵලදායීතාවයක් අත්පත් කරගැනීමට මෙම පිරිවෙන් ශාඛාවට හැකියාව ලැබී තිබේ.
එමෙන්ම, පිරිවෙන් ශිෂ්‍යයන් අතරේ පැවැත්වෙන සමස්ත ලංකා අන්තර් පාර්වේනික භාෂා හා සාහිත්‍ය තරග මට්ටම් වලින් ජය ලබන සිසුන්ට මෙන්ම වැඩිස්ථාන ප්‍රමාණයක් හිමි කරගන්නා පිරිවෙන් වෙත වඩාත් සුවිශේෂී ත්‍යාග ක්‍රමයක් හඳුන්වාදීමට දැනටමත් කටයුතු යොදා තිබේ. මෙතෙක් ලබා දුන් ත්‍යාග රටාවන් වලට වඩා බෙහෙවින් වෙනස් මඟක් ගන්නා මේ ත්‍යාග රටාවෙන් බොහෝ සෙයින් බලාපොරොත්තු වන්නේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ගිහිපැවිදි සිසුනගේ දක්‍ෂතාවයන් වෙනුවෙන් ලැබිය යුතු ඉහළම වටිනාකම ලබාදීමයි.
මෙරට අතිදැවැන්තම ජාතික සංවර්ධන ප්‍රදර්ශනය වන ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයේ අද්විතීය ස්ථානයක් හිමි කරගනිමින් මෙවර කුලියාපිටියේ පැවති අට වන දැයට කිරුළ ප්‍රදර්ශනයේ සිට ඉදිරියේ පැවැත්වෙන සෑම ප්‍රදර්ශනයකදීම අධ්‍යාපන අමාත්‍යාංශ කුටියේ ‘පිරිවෙන් කුටියක්’ ස්ථාපිත කරන්නටත් කටයුතු කළ පිරිවෙන් ශාඛාව, එමඟින් මහත් ප්‍රගතියක් ලැබුවේ පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් පැමිණි නරඹන්නන් සියල්ලන් වෙතම අවබෝධ කරවමිනි.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමන්ගේ සංකල්පයක් මත එළඹෙන වර්ෂයේ සිට සෑම වසරකදීම දිස්ත්‍රික් මට්ටමින් ‘පිරිවෙන් ප්‍රතිභා’ නමින් ප්‍රදර්ශනයක් ද දියත් කරන්නට බලාපොරොත්තු වෙන අතර, එමඟින් පිරිවෙන් ගිහිපැවිදි සිසුනගේ සහජ දක්‍ෂතාවයන් කළඑළි දක්වන්නට අවස්ථාවක් උදා කර දෙනු ලැබේ.
පසුගියදා එළිදැක්වුණු පිරිවෙන් තුන් අවුරුදු සැළැස්ම මල්ඵල ගන්වමින් පිරිවෙන් ආශි‍්‍රත තොරතුරු මෙන්ම වත්මනට ඔබින පරිදි පිරිවෙන් වඩාත් ශක්තිමත් ආයතන බවට පත් කරලීමට අවශ්‍ය කරනු ලබන තොරතුරු ලබා ගැනීම උදෙසා ලැප්ටොප් පරිගණක බෙදා දීමක් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ දී සිදුකෙරිණි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ගෞරවාර්හ වටිනාපහ සෝමානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අදහසකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් හා කාර්යසාධන සමාලෝචන අතිරේක ලේකම් එස්.යූ. විජේරත්න මහතා අතින් මෙම ලැප්ටොප් පරිගණක බෙදාදීම සිදු කරනු ලැබීය.
අදට ගැළපෙන අයුරින් තොරතුරු තාක්‍ෂණයෙන් මනාව පොහොසත් වන භික්‍ෂුවට, බුදුරජාණන් වහන්සේ සරණ ගිය ආර්ය මහා සංඝරත්නය වශයෙන් ලෝකෝත්තර නිවන් සුවය සදා දෙන සදහම් පණිවිඩය ලෝකයා අතර පතුරුවාලීම සඳහා මනා පිටිවහලක් ද වන බව නොඅනුමානය.
අතිගරු ජනාධිපතිතුමන් නොවැම්බරයේ දී ඉදිරිපත් කළ 2014 අයවැයේ පිරිවෙන් සම්බන්ධයෙන් වූ යෝජනාවන් සිව් මසක් ගතවන්නටත් මත්තෙන් යථාර්ථයක් වන්නට පටන් ගැනිණි. මැදින් පුරපසළොස්වක පෝදා ගෙවී උදා වූ කිවි දින සන්ධ්‍යාවේදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය කසාවතින් සහ සුදු වතින් ලෙළදෙන්නට වූයේ අතිගරු ජනාධිපතිතුමන් පිරිවරාගත් අනාගත සුබ මං තැනීමේ මංගල පියවර තබන්නටය.
දිවයිනේ සතර දෙසින් වැඩම කළ ගෞරවනීය මහා සඟරුවන මෙන්ම කෘත්‍යාධිකාරී, පරිවේණාධිපති, නියෝජ්‍ය හා පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ පිරිවෙන් ගිහි පැවිදි පරිවේණාචාර්යවරුන් මෙන්ම ගිහි පැවිදි ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ ද වැඩම වීමෙන් ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ ට අනුව 2014 අයවැය මඟින් පිරිවෙන් සංවර්ධනය උදෙසා ඉදිරිපත් කරන ලද දිරිගැන්වීමේ සහ සහන ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක වැඩසටහන, තෛ‍්‍රනිකායික මහා නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ ආශිර්වාදයන් මධ්‍යයේ පවත්වන්නට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කෙරිණි.
ඒ අනුව, හෙළ සංස්කෘතිකාංගයන්ට මුල් තැනක් ලබා දෙමින් අභිමානවත් බවින් පිරිපුන් විචිත්‍රවත් උත්සවයක් ලෙස සංවිධානය කර තිබූ මෙම උත්තුංග උත්සව අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් පිරිවෙන් අධ්‍යාපනය ජාල ගත කර වඩාත් ඵලදායී පිරිවෙන් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙන් පිරිවෙන් කෘත්‍යාධිකාරී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා වෙත සංකේතාත්මකව පරිගණක පිරිනැමීය.
එමෙන්ම, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් පිරිවෙන් වෙතසීනු මෙන්ම පැවිදි සාමණේර ශිෂ්‍ය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා වෙත සිවුරු රෙදි කට්ටලය බැගින් පිරිනමනු ලැබූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතා අතින් පිරිවෙන් අධ්‍යාපන හදාරණ ගිහි ශිෂ්‍යයන් වෙත නිල ඇඳුම් කට්ටල පිරිනැමීම සිදු කරන ලදී.
පිරිවෙන් අධ්‍යාපනයේ වත්මන් ප්‍රගතිය මෙන්ම සුබවාදී ඉදිරි මං පෙත් සම්බන්ධයෙන් ද මෙහිදී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා විසින් කරුණු ගෙනහැර දැක්වූයේ ප්‍රෞඩ ඉතිහාසයේ අභීත අභිමන මතු පරපුරට ද මනාව සිහිපත් කරවමිනි.
පිරිවෙන් තුන් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරවන අතරවාරයේ වඩාත් හරවත් වූත්, වඩ වඩාත් අගනා වූත් පිරිවෙන් පනතක අභිලාෂයන් මුදුන්පත් කරවමින් ඉදිරියේ දී සිදු කරන්නට නියමිත කර්තව්‍යයන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යතුමන් මෙහිදී සිය අදහස් දැක්වීමේ දී කරුණු පහදා දෙන්නට විය. තුන් හෙළේ වැසියනට නිදහස් නිවහල් දේශයක් තනා දුන් යුගයේ අසිරිමත් යුගපුරුෂයාණන් ද මේ සමාරම්භක උත්සව අවස්ථාවේ දී තම හඬ වා තලයට මුසු කළේ පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් තම හද පත්ලේ ඇති මහත් වූ ඕනෑකම ඉස්මතු කරවමිනි. නිග්‍රෝධ සාමණේරයාණන් වහන්සේගේ කථාව ඔස්සේ අරුත්බර අර්ථයක් සමාජගත කරන්නට අතිගරු ජනාධිපතිතුමන් සිය අදහස් දැක්වීමේ දී සමත් වූ අතර, ඒ වෙනුවෙන් සියල්ලන්ගේම අවධානය යොමු වූයේ නිරායාසයෙනි.
මෙරට පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් සහ රජය විසින් සිදුකළ මහත් මෙහෙවර අගයා පිරිවෙන් ගුරුවරුන් විසින් සකස් කළ සංදේශයක් කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් විසින් මෙහිදී අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබූහ.
සියල්ලන්ටම පෙර රට ගැන සිතන එමෙන්ම, සෑම සුබ කටයුත්තක් අරඹන්නට පෙරාතුවම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගන්නට අමතක නොකරන මේ අනභිභවනීය රාජ්‍ය නායකයාණන්ට ආශිර්වාදයන් නිබඳවම එක් කරමින් ඉදිරි කාර්යයන් සාක්‍ෂාත් කර ගැනීම උදෙසා සෙත් පිරිත් සජ්ඣායනා කොට ගෞරවනීය මහා සඟරුවන සෙත් පැතූයේ සකල සිරින් පිරි සිරි ලංකාවක අරුණළු උදා වී ඇති හෙයිනි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය