Powered by Blogger.

ඉනාමළුවේ සුමංගල මහා නාහිමි
Inamaluwe-Sumangala-himiලංකාවේ නූතන භික්ෂු පරපුරේ උඩුගං බලා යන භික්ෂූන් වහන්සේ අතරින් සියම් මහානිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහානායක ඉනාමළුවේ සුමංගල මහානාහිමියන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. කුල භේදයට එරෙහිව උපසම්පදාව දීම, වසර නවසීයකට පසු භික්ෂුනී ශාසනය පිහිටුවීම ඇතුළු ආන්දෝලනාත්මක ශාසන පෙරළිවලට නායකත්වය දුන්නේ උන් වහන්සේය. කණ්ඩලම හෝටල් සිද්ධියේදී සුමංගල හිමියන් එකල ජනපති ප්‍රේමදාසගේද උදහසට ලක් විය. ඒ කිසිදු තර්ජන ගර්ජන බාධක නොසලකමින් කටයුතු කරන ඉනාමළුවේ සුමංගල මහානාහිමියන් තම දිවියේ මතක සටහන් දිගහැරියේ මෙසේය.
දඹුලු රජමහා විහාරස්ථානයට “රංගිරි” යන විශේ්ෂ නම ලැබුණේ කොහොමද?
ඓතිහාසික තොරතුරුවලට අනුව ක්‍රිස්තු පූර්ව පළමු සියවසේදී වළගම්බා රජ දවස තමයි මේ විහාරය කරවා තියෙන්නේ. මේ ලෙන භාවනායෝගී භික්ෂුන් වහන්සේගේ වාසස්ථානයක් ලෙස භාවිත කර තිබෙනවා. විවිධ රජවරු දඹුලු විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇති බව පුරාවිද්‍යා සාධක මගින් හෙළි වෙනවා.
කෙසේ නමුදු දඹුලු විහාරය රංගිරි දඹුලු රජමහා විහාරය ලෙස නම් කෙරෙන්නේ ‍පොළොන්නරු යුගයේ නිශ්ශංකමල්ල රජ දවසේ පටන්. රජතුමා ලෙන්වල වැඩ වසන ප්‍රතිමා වහන්සේගේ රන් ආ‍ලේප කළ දින පටන් විහාරස්ථානය රන්ගිරි දඹුලු විහාරය ලෙස හැඳින්වෙනවා.
විහාරස්ථානයේ නිරන්තරයෙන් රූටා වැටෙන දිය බින්දුව අපූර්ව සිද්ධියක්?
දඹුල්ල යන වචනය හැදිලා තියෙන්නේ දඹ+ඌල යන වචන දෙකින්. දඹ කියන්නේ ගල. ඌල යනුවෙන් හැඳින්වෙන්නේ උල්පත. ඒ අනුව දඹුල්ල යන වචනය හැදිලා තියෙන්නේ ගලෙහි උල්පත යන අරුතෙන්. විහාරස්ථානයේ තිබෙන විශේෂ සිද්ධියක් වන්නේ නිරන්තරයෙන් රූටා වැටෙන දිය බින්දුවයි. මහරජ විහාරය යනුවෙන් හැඳින්වෙන ලොකුම ලෙන් විහාරයේ තමයි මේ දිය බින්දුව වැටෙන්නේ. ඒ ජල බින්දුව වැටීම කවදාවත් නතර වෙන්නේ නෑ.
මේ සිද්ධිය පදනම් කරගෙන දඹුල්ල යන නම හැදෙන්න ඇති.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී දඹුලු පන්ස‍ලේදී රජකම සඳහා කිරුළු පැළඳීමට හේතු වූ පසුබිම මොකක්ද?
බ්‍රිතාන්‍ය යුගයේදී නිදහස් අරගලය සඳහා දඹුලු රජමහා විහාරයෙන් සුවිශාල වැඩ කොටසක් ඉටු වුණා. 1848 විමුක්ති අරගලය පටන් ගන්නේ දඹුලු විහාරයෙන්. ගොංගා‍ලේගොඩ බණ්ඩා සිංහ‍ලේ රජු  වශයෙනුත් ඔහුගේ සේනාධිපති වශයෙන් පුරන්අප්පුත් අභිෂේක කළේ දඹුලු   පන්ස‍ලේ විහාර මළුවේදී. ඉන්පසුව විමුක්ති අරගලය දඹුල්‍ලේ සිට මහනුවර දක්වා ගමන් ඇරඹුවා. සිංහල සේනාව මාත‍ලේ දක්වා සාර්ථකව ගමන් කළා. නමුත් ඉංග්‍රීසි සේනාව විසින් විමුක්ති අරගලය මර්දනය කළා. එහිදී වූ එක සිද්ධියක් වන්නේ එකල ලංකාවේ හුන් ආණ්ඩුකාර බ්‍රවුන්රිග්ට ස්ථාන මාරුවක් ලැබිමයි. අරගලය මැඬලීමට ඔහු ගත් දැඩි පියවර බ්‍රිතාන්‍ය පාලකයන් අනුමත කළේ නැති නිසා ඔහු ලංකාවෙන් ඉවත් කෙරුණා.
මේ සා ඓතිහාසික පුදබිමක පැවිදි බිමට පත්වීමට ඔබ වහන්සේට අවස්ථාවක් ලැබුණේ කොහොමද?
 මම පන්සලට ආවේ මහණ වෙන්න හිතාගෙන නොවේ.
එහෙනම්?
දඹුල්ල ඉස්කෝලෙට යන්න තමයි පන්සලට ආවේ. පස්සේ තමයි මම දැනගත්තේ මාව පන්සලට ගෙනාවේ මහණ කරන්න කියලා.
Dabulla-tempalඔබ වහන්සේ පන්සලට ආවේ?
එක්දහස් නමසිය පනස් පහේදී. එතකොට මට වයස අවුරුදු හතයි.
ඔබ වහන්සේ ඉපදුණේ?
 එක්දහස් නමසිය හතළිස් අටේ.
දෙමාපියෝ?
 අම්මා ඉනාමළුවේ ඉහළ වලව්වේ බිසෝ කුමාරිහාමි. අම්මාගේ තාත්තා එසේ නැතිනම් මගේ සීයා අදිකාරම්වරයෙක්. මගේ අප්පච්චි ඒකනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා ඒකනායක. ඔහු ගොවියෙක්. විදානේවරයකු ලෙසත් අප්පච්චි කටයුතු කළා. අප්පච්චිගේ සහෝදරයෙක් කෝරළේ පදවිය දැරුවා.
ඔබ වහන්සේ පවු‍ලේ කී වැනියාද?
හතර වැනියා. මා ඇතුළු අපේ පවු‍ලේ සහෝදර සහෝදරියන් ගණන හය දෙනෙක්.
ඔබ වහන්සේගේ ගිහි නම?
සෙනෙවිරත්න ඒකනායක.
ඔබ වහන්සේ මහණ කරන්න දෙමාපියන් කල්පනා කළේ ඇයි?
මාව මහණ කරන්න දෙමාපියන් තීරණය කළේ ඇයි කියලා අද වන තුරු මා දන්නේ නෑ. කෙසේ නමුදු අපේ දෙමාපියන් සැදැහැවත් බෞද්ධයන්. මම පැවිදි කිරීම තුළින් ඔවුන්ටත් සුගතියක් ඇති වේවි කියලා, මොකද දරුවෙකු සසුනට පූජා කළොත් හතර වරිගයම නිවන් දකිනවා කියනවානේ.
කොහොම වුණත් ශාසනය හා අපේ පවුල අතර සබඳතාවකුත් තිබුණා.
අපේ අම්මාගේ සහෝදරයෙක් පැවිදි වී සිටියා. උන්වහන්සේ කුරුණෑගල රජමහා විහාරාධිපති ධුරය දැරුවා. මම පුංචි දවස්වල සබරගමු විහාරයට ගිය වෙලාවේ උන්වහන්සේ අම්මාට කියා තිබෙනවා මාව මහණ කළොත් හොඳයි කියලා. මේ කාරණාවත් අම්මාගේ හිතේ තියෙන්න ඇති.
ඔබ වහන්සේ මහණ වුණේ?
එක්දහස් නමසිය හැට තුනේ.
කවුද ගුරු හාමුදුරුවෝ?
මාත‍ලේ දිසාවේ ප්‍රධාන සංඝනායක ඉනාමළුවේ ඩී. ශ්‍රී ආනන්ද නාහිමියන්. උන් වහන්සේ මගේ අප්පච්චිගේ වැඩිමහල් සහෝදරයා.
එක්දහස් නවසිය පනස් පහේ දඹුලු පන්සලට ගොස් හැට තුනේ මහණ වන තුරු මොනවාද කළේ?
ඉස්කෝලෙ ගියා. මම ගියේ දඹුලු පාසලට.
Dabulla-tempal1ඒ කාලයේ ගෙදර යන්න හිතුනේ නැද්ද?
මුල් දවස්වල නම් ගෙදර යන්න මතක් වෙලා ඇඬුණා. ඒත් ටික දවසක් යන විට පන්ස‍ලේ ජීවිතේට මම හුරු වූ නිසා ගෙදර ගැන කල්පනා වූයේ නෑ. මම පන්ස‍ලේ හිටපු පුංචිම ළමයා නිසා සියලු දෙනාම මට ආදරය කළා. නායක හාමුදුරුවොත් දරුවෙකුට වගේ මට ආදරය කළ නිසා ගෙදර යන්න හිතුණේ නෑ. හැබැයි සිංහල අවුරුද්ද කාලයට මට ගෙදර යන්න නායක හාමුදුරුවන් අවසර දී තිබුණා. ඒ කාලයට ගෙදර අයගෙන් මට රජ සැලකිලි. කෙසේ නමුදු අවුරුදු චාරිත්‍ර ඉටු කරල හිසතෙල් ගෑමේ නැකත අවසන් වූ සැණින් මට නැවත පන්සලට එන්න කියලා නායක හාමුදුරුවෝ නියම කරලා තිබුණා.
අම්මා තාත්තා ඔබ වහන්සේ බලන්න පන්සලට ආවේ නැද්ද?
නෑ, නායක හාමුදුරුවෝ ඔවුන්ට එන්න එපා කියලා තහංචි පැනවූවා.
ඔබ වහන්සේ මහණ වන කාලයේ දඹුල්ල කෙබඳු ප්‍රදේශයක්ද?
මේ වගේ පහසුකම් තිබුණේ නෑ. මිනිස්සු දඹුලු වන්දනාවට එන්නේ වෙසක් හා ‍පොසොන් කාලයට විතරයි. බොහෝ දෙනෙක් ආවේ පයින්, විදේශිකයෙක් ආවේ කලාතුරකින්. පන්ස‍ලේත් පහසුකම් තිබුණේ නෑ.
අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය ඔබ වහන්සේට මතකද?
ඔව්, එම ඝාතනයට භික්ෂුවක් සම්බන්ධ බවට පැවසුනා කියා රටේ සෑම තැනම භික්ෂුන් වහන්සේට නෙයෙකුත් ප්‍රශ්න ඇති වුණා. අපේ බෞද්ධයෝ සමස්ත සංඝ පරපුරටම දෝෂාරෝපණය කරන තත්ත්වයක් ඇති වුණා. භික්ෂුන් වහන්සේට පාරට බැහැලා යන්න ලැබුණේ නෑ.
ඔබ වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේ?
ගම්පහ විද්‍යාරවින්ද පිරිවෙනෙන්. ඉන්පසුව උසස් අධ්‍යාපනය සඳහා හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාල පීඨයට ඇතුළු වුණා.
මම කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ හැත්තෑ එකේදී. මම උපාධියට කළේ පුරාවිද්‍යාව.
කවුද එකල සිටි ගුරුවරු?
මහාචාර්ය කඹුරුපිටියේ වනරතන නායක හාමුදුරුවන්. මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය අභය ආරියසිංහ, මහාචාර්ය හේම බස්නායක වැනි ගුරුවරු තමයි අපට ඉගැන්වූයේ.
විද්‍යාලංකාරය කියන්නේ මෙරට භික්ෂු දේශපාලනයේ තිඹිරිගෙය. 71 කැරැල්ල ඔබ වහන්සේට බලපෑවේ කොහොමද?
අපි විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ කැරැල්ලෙන් පසුව. ඒ කාලයේ විශ්වවිද්‍යාලය කඳවුරක් බවට පත් කරලා තිබුණා. එකල මමත් ශිෂ්‍ය අරගලවලට සම්බන්ධ වුණා. ඊට හේතු වූයේ එකල පැවැති සමාජ හා දේශපාලන රටාවේ තිබුණු වැරදි.
මම විශ්වාස කරන්නේ කැරැල්ලට හේතුව වූයේ තරුණයන්ගේ ප්‍රශ්න විසඳීමට රජය අ‍පොහොසත් වීම. විශේයෙන් විරැකියාව. ඒ වගේම තරුණ තරුණියන්ගේ උගත්කමට සරිලන රැකියාවක් දීමට රජයට නොහැකි  වීම, දුප්පත්කමත් දැවැන්ත ප්‍රශ්නයක් වුණා. මේ නිසා අසහනයෙන් සිටි තරුණ පරපුර ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වීම සාමාන්‍ය සිද්ධියක් වුණා.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මොකද කළේ?
එවකට පැවැති බණ්ඩාරනායක මැතිනියගේ රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන තිබුණා සියලුම උපාධිධාරීන්ට ගුරුපත්වීම් දෙන්න ඕනේ කියලා. ඒ අනුව මටත් හැත්තෑ හයේදී ගුරු පත්වීමක් ලැබුණා දඹුල්ල මධ්‍ය මහා විදුහලට. අසූ තුන දක්වා මම ඉස්කෝලෙ ඉගැන්වුවා. අසූ තුනේදී මම පශ්චාත් උපාධියට අධ්‍යයන නිවාඩු ගත්තා. උපාධිය ගැනීමෙන් පසු මට ගුරු සේවයෙන් ඉවත් වීමට සිද්ධ වුණා. ඒකට හේතුව වූයේ නායක හාමුදුරුවෝ හැත්තෑ නවයේදී අපවත්වීමයි. ගුරු සේවයට හිර වීම නිසා පන්ස‍ලේ වැඩ කටයුතු අතපසු වීම හේතුවෙන් සංවර්ධන කටයුතු අඩාල වුණා. නායක හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු ඒ සියලු වැඩ පැවරුනේ මටයි. මම විහාරස්ථානයේ ෙචෙත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කළේ අම්මා මට දුන් ඉඩමක් විකුණලා ලැබූ මුදලෙන්.
එක්දහස් නමසිය අසූ පහේදී  ඔබ වහන්සේ රංගිරි දඹුලු පාර්ශ්වය පිහිටුවීම රටේ විශාල ආන්දෝලනයක්  ඇති කළා?
නිකාය භේදයකින් තොරව කුල භේදයකින් තොරව ඉතිහාසයේ මුල් වතාවට උපසම්පදා විනය කර්මය කිරීම සඳහා තමයි අප රංගිරි දඹුලු පාර්ශ්වය පිහිටුවා ගත්තේ.මේකට ඇතැම් භික්ෂුන් වහන්සේ විරුද්ධ වුණා. එවකට මම සිටියේ අස්ගිරි පාර්ශ්වයේ භික්ෂුවක් හැටියට. එකල මා දැක්ක අඩුපාඩුවක් තිබුණා. ඒ තමයි කුල භේදය, කුල වාදය පැවිදි ජීවිතයට සම්බන්ධ කර ගැනීමයි. මේකට එරෙහිව තමයි අප සටන් කළේ.
කෙසේ නමුදු ලංකාවේ නිකාය භේදයක් තියනවා නේද?
මේක මූලික බුදු දහමට බෞද්ධ දර්ශනයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. බුදුන් දේශනා කරලා තියනවා යම් සේ ගංගා, යමුනා, අචිරවතී, සරගු, මහී යන ගංගා මහ මුහුදට එක්ව සියලුම ජලය සමුද්‍ර ජලයට පත්වන්නේ  යම් සේද එසේම බ්‍රාහ්මණ, ශුද්‍ර, වෛශ්‍ය, පංචමක යන කුමන කුලයක ඉපදුනත් ඒ අය පැවිදි වුණාම ඔක්කොම ආර්ය සංඝ යනුවෙන් හැඳින්විය යුතුයි කියලා. මේ නිසා අප කල්පනා කළා බුදු දහමට පටහැනි මේ කුල භේදයට එරෙහි වෙන්න ඕනේ කියලා.
උඩරට කුලවතෙක් වෙලත් ඔබ වහන්සේ මෙවැනි රැඩිකල් පියවරක් ගත්තේ ඇයි?
මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ පසුව කුල වාදයට එරෙහිව  දිගින් දිගටම පත්තරවලට ලිපි ලීවා. කුල වාදය මානව වර්ගයාට නොගැළපෙන දෙයක් බැවින්  ශාසනයෙන් මෙය ඉවත් කළ යුතුයි කියලා. ඒ වෙලාවේ මට ලැබුණු පිළිතුර තමයි මේක සම්ප්‍රදාය කියලා. එතැනදී බෞද්ධ භික්ෂුන් වහන්සේ  නමක් ලෙස මා දකින්නේ සම්ප්‍රදාය නොවේ. බුද්ධ දේශනාව අප අනුගමනය කළ යුතුයි කියලා. මේ නිසා මා තෝරා ගත්තේ බුද්ධ දේශනාවයි.
විශේෂයෙන් බුදු හාමුදුරුවෝ කුල වාදයට විරුද්ධ වුණේ උසස් කුලයක ඉපදිලා. එහෙම නැතිනම් කවුරුහරි කියන්න පුළුවන් බුදු හාමුදුරුවෝ මේකට විරුද්ධ වන්නේ පහත් කුලයක ඉපදිලා හීන මානයෙන් කියලා. මමත් මේ කුල වාදයට එරෙහි වුණේ බුදුන් ගිය මග යමින්. එහෙම නැතිනම් කවුරුහරි මටත් කියන්න පුළුවන් මමත් හීන මානයෙන් මේ දේ කළා කියලා.
කුල භේදයට එරෙහිව රංගිරි දඹුලු පාර්ශ්වය පිහිටුවා ගැනීම ඔබ වහන්සේ  ප්‍රශ්නයක් වුණේ නැද්ද?
දිගින් දිගටම ප්‍රශ්න ඇති වුණා. නමුත් මට ඕනෑ වුණේ වැරැද්ද නිවැරදි කරන්න. කෙසේ නමුදු උගත් බුද්ධිමත් මධ්‍යස්ථ මතයක් දරන භික්ෂුන් වහන්සේ මට සහය දුන්නා. අප කුලමල නොසලකා මුල් වරට භික්ෂුන් වහන්සේ පස්නමක් උපසම්පදා කරන විට අනාරාධිතව තුන් නිකායෙන්ම මහා සංඝරත්නය පන්සියයකට වැඩි පිරිසක් ඒ අවස්ථාවට වැඩම කර අපට ආශිර්වාද කළා. බෞද්ධයෝත් පන්දහසක් පමණ ආවා. කණ්ඩලම  වැවේ උදකුක්ඛිෙප සීමාමාලකයේ තමයි මේ විනය කර්මය කළේ. විහාර දේවාලගම් පනත යටතේ උපසම්පදා භික්ෂුවක් ලියාපදිංචි නොකිරීම වරදක් වෙනවා. මේ සිද්ධියට මට කොතරම්  බලපෑම් ආවාද යැයි කියනවා නම් උපසම්පදා වූ භික්ෂුන් වහන්සේ ලියාපදිංචි කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් ප්‍රතික්ෂේප කළා.
ඒ ඇයි?
එවකට සිටි අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් දන්වා යවා තිබුණා අපේ උපසම්පදාව ආවොත් ඒක ලියාපදිංචි කරන්න එපා කියලා. ඒකට දේශපාලන බලයත් උපරිමයෙන්  ආවා. අවසානයේ දී මට සිද්ධ වුණා මේ සිද්ධියට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්න. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා තමන්ගේ රාජකාරි පැහැර  හරිනවා කියලා තමයි මම නඩුව ගොනු කළේ. මොකද  විහාර දේවාලගම් පනත යටතේ ඔහු බැඳිලා ඉන්නවා උපසම්පදා භික්ෂුන් ලියාපදිංචි කිරීමට.
නඩුවෙන්  මොකද වුණේ?
බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වැරදිකරු කරමින් නඩුවේ තීන්දුව අනූ එකේදී ලැබුණා. මැන්ඩාමුස් රිට් ආඥාවකින් ඔහුට නියෝග කළා අපේ උපසම්පදාව ලියාපදිංචි කරලා රංගිරි දඹුලු  සංඝ සභාව ස්වාධීන සංඝ සභාවක් ලෙස පිළිගන්න කියලා. මේ නඩුවේ  තීන්දුව දෙන්න අවුරුදු පහක් ගත වුණා. ඒ වන විටත් අප භික්ෂුන් වහන්සේ හතළිස්පස් නමක් උපසම්පදා කළා. මේක ලංකාවේ ශාසන ඉතිහාසයේ විශාල පරිවර්තනයක්.
මිහිරි ෆොන්සේකා
ඡායාරූප චින්තක උදයකාන්ත

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය