Powered by Blogger.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා
Lalith-Piumලෝකයේ අනාගතය නියෝජනය කරන ජගත් තරුණ ප්‍රජාව එකම වේදිකාවකමුණගැසෙන ලෝක තරුණ සමුළුව ශ්‍රී ලංකාවේදී මුළුදීමට සියල්ල සූදානම්ය.ලෝකය පුරා විසිරී ඇති රටවල් සියයකට අධික සංඛ්‍යාවකින් තරුණයන් සහභාගිවන මේ මහා සමුළුව මැයි මස 6 දා සිට පුරා දින 4ක් මෙරටදී පැවැත්වීමට නියමිතය. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ජාතික තරුණ සේවා සභාව සමුළුවේ බර කරට ගෙන ඇති අතර පහත පළවන්නේ සමුළුව පැවැත්වෙන ආකාරය හා එහි අරමුණු, තරුණ ප්‍රජාවට එයින් අත්වන ප්‍රතිලාභ ආදී කාරණා සම්බන්ධයෙන්, “ලක්බිම ඉරිදා සංග්‍රහය” සමග පැවති සාකච්ඡාවකදී තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා දැක්වූ අදහස්ය.
ලෝක තරුණ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මහා සූදානමක් ඇති බව පෙනෙන්නට තිබෙනවා. නමුත් රටේ ඇතැම් දෙනා මේ පිළිබඳව තවමත් නිසි වැටහීමක නැහැ. මොකක්ද ලෝක තරුණ සමුළුව කියන්නේ?
තරුණයා සම්බන්ධයෙන් වෙනම කතිකාවක් ලෝකයේ හැමදාම තිබෙනවා. විශේෂයෙන් රටක් සංවර්ධනය කරා ගෙන යන කොට ඒ රටේ ශ්‍රම බළකාය ඇතුළේ රටේ තරුණ පිරිස විශේෂයි. ඒ වගේම රටක අනාගතය නිර්මාණය කරන්නෙ තරුණ පිරිසයි. තරුණයා ලෙස, තරුණයාගේ අයිතිවාසිකම් සහ යුතුකම් මොනවද කියලා සුවිශේෂී කතා බහක් හැමදාම තිබුණා.
ලෝක තරුණ සමුළුව කියන්නේ නිකම් මාධ්‍ය සංදර්ශනයක්වත් , බාලදක්ෂ ජම්බෝරියක් වත් තවත් එක් බාල් නැටීමක්වත් එහෙමත් නැත්නම් කානිවල් එකක්වත් නොවේ. මෙතනදී ‍පොදු සාකච්ඡාවක නිරතවෙනවා, ලෝකයේ තරුණයන්ගේ න්‍යාය පත්‍රය 2015 න් පසු කුමන දිශාවකට යායුතුයිද කියලා.
ලෝක මට්ටමින් සුවිශේෂී අවධානයක් මේ වන විට යොමුවෙලා තියෙනවා, ලෝකයේ නායකත්වයට තරුණයින් පැමිණිය යුතුයි කියලා. විශේෂයෙන්ම ප්‍රතිපත්ති නිර්මාණයේ දී විශේෂ අයිතිවාසිකමක් තරුණයාට  තියෙනවා කියලා. ඒ වෙනුවෙන් ලෝක න්‍යාය  පත්‍රය නිර්මාණ කරන වැඩමුළුවක් තමයි ලංකාවේ දී පැවැත්වෙන්නේ.
කවදාද මෙවර සමුළුව පැවැත්වෙන්නේ?
මැයි හය වනදා හම්බන්තොට තමයි මෙහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ. ඉන්පසු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සම්මන්ත්‍රණ පැවැත්වෙනවා. දින 4 ක් පුරා සමුළුව පැවැත්වෙනවා. අවසන් වැඩසටහන කොළඹ තුරග තරඟ පිටියේදී පැවැත්වීමටයි කටයුතු සූදානම් කරලා තියෙන්නේ.
සමාරම්භක උත්සවය හම්බන්තොට තියන්නෙ ජනාධිපතිවරයාගේ ගම නිසාද?
නැහැ. හම්බන්තොට තමයි මේ රටේ අනාගතය වෙනුවෙන් නිර්මාණය වන නගරය. තාරුණ්‍යයේ නගරය වෙන්නෙ හම්බන්තොටයි. අපි සමස්ත සමුළුවම හම්බන්තොට තියන්නෙ නැත්තේ විශාල පිරිසකට හම්බන්තොට නවාතැන් පහසුකම් දෙන්න අපහසු නිසයි. තවත් අවුරුදු පහකට පස්සේ අපි බලා‍පොරොත්තු වෙනවා මේ සමුළුව පිළිබඳව පසු විපරමක් කරන්න. එය අපි සූදානම් කරන්නෙ හම්බන්තොටයි. මොකද තවත් අවුරුදු කිහිපයක් ගත වුණාම හම්බන්තොට මේ හැම දෙයකටම සූදානම්ව පවතියි.
රටවල් කීයක් ලෝක තරුණ සමුළුව සඳහා සහභාගි වෙනවද?
මේ වන විට රටවල් 102ක් මේ සඳහා සහභාගි වෙන බවට සහතික කරලා තියෙනවා. මේ රටවල් 102 හි නායක මට්ටමේ තරුණ තරුණියන් තමයි සමුළුවට සහභාගි වෙන්නෙ. අපි බලා‍පොරොත්තු වෙනවා, සම්පූර්ණයෙන් විදේශිකයන් 1500 ක් පමණ සමුළුවට සහභාගි වීමට මෙරටට පැමිණෙයි කියලා.
ලෝක තරුණ සමුළුවේ ලංකාවේ මෙහෙයුම් කමිටුවේ සම සභාපතිත්වය දරන්නෙ  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ලංකාවේ පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතායි.
ලෝක තරුණ සමුළුවට විශාල ධනයක් වැය කරන්න සිදුවෙනවා නේද?
රුපියල් මිලියන 250 ක් ජනාධිපතිතුමා ලෝක තරුණ  සමුළුව වෙනුවෙන් පසුගිය අයවැයෙන් වෙන්කළා. අපි ඒ සීමාව තුළ රටේ ගෞරවය රකිමින් , ජාත්‍යන්තරව මේ රටට කීර්තිය ලබා දෙන ගමන් , තරුණ න්‍යාය පත්‍රයට  අවැඩක් නොවන පරිදි මේ වැඩසටහන මෙහෙයවන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.
අපේ අමාත්‍යාංශය භාර ඇමැතිවරයා ඩලස් අලහප්පෙරුම මහතා නිසා මූල්‍ය පාලනය පිළිබඳව අති විශාල විනයක් තිබෙනවා. ඒ තුළ අපිට පුළුවන් ඔය කියන මුදලින් තරුණ සමුළුවේ වැඩ කටයුතු සිදු කරන්න.
මේසා විශාල ධනයක් වැය කරමින් සහ කැපකිරීම් කරමින් කරන මේ තරුණ සමුළුව මගින් අපේ රටේ තරුණ තරුණියන්ට සැලසෙන සෙත කුමක්ද?
අමතක කරන්න එපා. මෙවැනි සමුළුවලට  අද කරන වියදම අනාගතයේ දරන්න විය හැකි  දහස් ගුණයක වියදම් අඩු කිරීමක් බව. එනිසා මේවා වියදම් නොවෙයි ආයෝජනයි.
මොකද මේ කාලයේ දී තරුණයා වෙනුවෙන් , තරුණ ප්‍රශ්න වෙනුවෙන්, තරුණ න්‍යාය පත්‍ර වෙනුවෙන් හා තාරුණ්‍යයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ කතිකාවතක අපි සිටියේ නැත්නම් අපිට අනාගතයේ තරුණ නැගිටීමකදී, සිවිල් යුද්ධයකදී කරන්න වෙන වියදම අති විශාල විය හැකියි.
අපි තරුණයන් වෙනුවෙන් කරන මේ කටයුතුවලින් ටක් ගාලා ක්ෂණික ප්‍රතිඵල ලබාගන්න බැහැ. මොකද තරුණ කටයුතු කියන්නේ මහල් තිහ හතළිහක ගොඩනැගිල්ලක් හදනව වගේ හරි , පාරක් කාපට්  කරනවා වගේ හරි එහා පැත්ත බලලා මෙහා පැත්ත බලනකොට ප්‍රතිඵල පේන දේවල් නොවෙයි.  මේවායේ ප්‍රතිඵල ලැබෙන්න තවත් අවුරුදු 10 ක්, 20 ක් හෝ 30 ක් ගතවෙන්න පුළුවන්. සමහර විට අපේ ජීවිත කාලයේ දී මේවායේ ප්‍රතිඵල දකින්න නොලැබෙන්නත් පුළුවන්. නමුත් අපි අද තරුණයා වෙනුවෙන් කරන මේ ආයෝජනය සුළු පටු දෙයක් නම් නොවෙයි.
මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ සමුළු පැවැත්වීම තුළින් අපේ රටේ තරුණයන් ලබන අත්දැකීම් , විදේශිකයන් සමග ඇතිකරගන්නා සම්බන්ධකම් , ‍පොදුවේ අපේ රටට ලැබෙන කීර්තිනාමය මිල කළ නොහැකියි.
වර්තමාන තරුණ පරපුර වසර 30ක් පමණ ජීවත් වුණේ යුද වාතාවරණයකයි. ඒ නිසා ඔබ සිතනවද රජයක් හැටියට මෙම සමුළුවට කොපමණ ඉහළින් සූදානම් වුණත් අපේ රටේ තරුණ පරපුර මෙවැනි සමුළුවකට සූදානම් කියලා?
අපේ තාරුණ තරුණියන් යුද්ධයක සිරවී සිටි නිසාම තමයි අපිට තවත් පැත්තකින් මේ සමුළුව වැදගත් වෙන්නෙ. ජනාධිපතිතුමා සේනාධිනායකයා ලෙස යුද්ධය අවසන් කර රටට සාමය ගෙන දුන්නා. නමුත් පසුගිය කාලය බැලුවාම පේනවා ජාත්‍යන්තර මට්ටමේ තවත් යුද්ධයකට මේ රටේ තාරුණ්‍යයට අනාගතයේ මුහුණ දෙන්න සිදු වෙන බව. අපේ රටට බලපෑම් කරන්න විදේශ කණ්ඩායම් , නොයෙක් රටවල් වගේම එල් ටී ටී ඊ අතකොලු විදිහට විවිධ බලවේගත් තවමත්  ක්‍රියා කරමින් සිටිනවා. මේ තත්ත්වය තවත් අවුරුදු කීයක් යනතුරු  තියෙයිද කියලා අපි දන්නෙ නෑ. ඒ නිසා මේ රටේ තාරුණ්‍යය එවැනි තත්ත්වයකට වුව මුහුණ දෙන්න සූදානම් කිරීමේ වගකීමක් ආණ්ඩුවට, තරුණ කටයුතු ප්‍රතිපත්ති සම්පාදකයන්ට හා තරුණයන් වෙනුවෙන් කටයුතු කරන වැඩිහිටි අපි සෑම කෙනෙකුට තියෙනවා.
ඔබ ඇසුවා තරුණයා මීට සූදානම් ද කියලා. අපි තරුණ කටයුතු කිරීමේ දී තරුණයාට ඉදිරියෙන් සිට තරුණ ඇහැකින් තරුණ දේවල් දැකීම සහ තීරණ ගැනීම කළ යුතු මිසක් තරුණයා යන වේගයෙන් ඔවුන් සමග ගියොත් අපිට ඕන කරන තැනට මේ රටේ තරුණයා රැගෙන යා නොහැකියි. තරුණයාට බැහැ කියලා , තරුණයා සූදානම් නැහැයි කියලා බලා ඉන්න පුළුවන්කමක් නැහැ. තරුණයා ගැන විශ්වාස කිරීමයි වැදගත්. හැමදාම මේ රටේ තාරුණ්‍යය නොමග යෑමට , තරුණ ප්‍රශ්න ඇතිවීමට සහ තරුණයා දඩමීමා කරගෙන නොයෙකුත් දේශපාලන බලවේග ඉදිරියට ඒමට ප්‍රධාන හේතුව වුණේ තරුණයා අවිශ්වාස කිරීමයි. නමුත් අපි මේ සියලු දේ කරන්නේ තරුණයා විශ්වාස කරගෙන, තරුණයාට  මෙය කළ හැකියි කියන විශ්වාසයෙන් යුතුවයි. අපි තරුණයා දෙස සුබවාදීව බලනවා.
අපිට මතකයි ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සමුළුවක් අපේ රටේ පැවැත්වූවා. ඊටත් මහා ධනයක් රජය වැය කළා. බොහෝ දෙනා අද චෝදනා කරනවා ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට කළ වියදම අපරාදේ, කුමක්ද අපිට ලැබුණු වාසිය කියලා. ඒ වගේම මේ තරුණ සමුළුවටත් චෝදනා එල්ල වෙයි නේද?
චෝදනා එල්ල කරන්න නම් ඕනම කෙනෙකුට පුළුවන්. ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සමුළුව තමයි අපේ රටේ පැවැති මේ මට්ටමේ පළමු සමුළුව. ඒ සමුළුවට සමගාමීව ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ කවුන්සිලය පැවැත්වුණා. ඊට පත්වුණු තරුණ නායකයන් නව දෙනාගෙන් හතර දෙනෙකුම ශ්‍රී ලාංකික තරුණ නායකයොයි. මෙය ලංකාවේ නොතිබෙන්න අපේ රටේ තරුණ නායකයන්ට එවැනි  කවුන්සලයක නායකත්වයට පත්වෙන්න ලැබෙන්නෙ නැහැ. එපමණක් නොවෙයි  තවත්  ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ පිරිසක් ඒ වෙනුවෙන් තරග කළා. මේ තරුණ නායකයෙක් අනාගතයේ මීටත් වඩා ඉහළ නායකත්වයකට පත්වෙන්න ඉඩ ඇති බව අප අමතක කළ යුතු නැහැ.
ඔය වගේම තමයි අපේ යොවුන් පාර්ලිමේන්තුව ගැනත් සමහරු ප්‍රශ්න කරනවා. කුමකටද යොවුන් පාර්ලිමේන්තුවක් කියලා. සමහර වෙලාවට අද යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක් අනාගතයේ මහින්ද රාජපක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. අපිට ඒවා කියන්න බැහැ. අපිට වුවමනා වන්නේ මේ වැඩපිළිවෙළ තුළ තරුණයාට ශ්‍රී ලංකාව පිළිබඳව, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය තුළ තිබෙන තැන, අනාගතයේ අපි රටක් විදිහට යා යුත්තේ කොතනටද කියන පණිවුඩය මේ තරුණ තරුණියන්ට ලබාදීමයි. ඒ  තුළ ඔවුන් සමග සිටින තරුණ පිරිස් ඉදිරියට ගෙන යෑමට සහ මෙහෙයවීමට ඔවුන්ට විශාල  ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. එය ආයෝජනයක්.
ඔබ කියන ආකාරයකට තරුණයා ජාත්‍යන්තරය ජයගන්න සූදානම් කළත් තවමත් අපේ රටේ තරුණ ප්‍රජාව අති බහුතරයක් අවිනිශ්චිත අනාගතයකට කොටුවෙලා සිටිනවා. හන්දිවල , නගරවල නිකරුණේ කාලය නාස්තිකරනවා. නොයෙකුත් සමාජ විරෝධී දේට ඇබ්බැහි වූ තරුණ පිරිසකුත් අපේ රටේ සිටිනවා. එවැනි තත්ත්වයක් මත මෙවැනි ජාත්‍යන්තර කටයුතුවල අර්ථය ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?
ප්‍රායෝගිකව අපිට මේ කාරණා කොටස් කරන්න වෙනවා. ගම් මට්ටමේ සිටින තරුණ පිරිස  ජාතික මට්ටමට ගෙන ඒමටත්, ජාතික මට්ටමේ තරුණ ප්‍රජාව ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමටත් වැඩසටහන් නිර්මාණය කළ යුතුයි. ‍පොදුවේ කියන කාරණාවක් තමයි, අපේ රටේ තරුණයා ඔහේ රස්තියාදු ගහන, නොයෙකුත් දේවල්වලට
පෙළඹුණු, හැදියාවක් නැති පිරිසක් කියන එක. හැමදාම වැඩිහිටියන් තරුණයා දෙස බැලුවේ මෙහෙමයි. වැඩිහිටියෝ මේ කතා කරන්නෙ ඔවුන්ට තරුණ කාලයක් තිබුණේ නැහැ වගෙයි. ඔවුන් අමතක කරනවා තරුණ කාලයේ දී අපි මොනවද කළේ කියලා.
මම පිළිගන්නවා, ඉබාගාතේ යන, මංමුලාවෙලා සිටින තරුණ පිරිසක් සිටිනවා. නමුත් ඇත්තටම  බැලුවාම 2005න් පස්සේ මේ රටේ තරුණයා වෘත්තීය පුහුණුවට යොමුවීම , පරිගණක සාක්ෂරතාව, ව්‍යවසායකත්ව නැඹුරුව , දැනුම හා දියුණුව දිහා බැලුවාම ඔවුන් බොහෝ ඉදිරියෙන් තමයි සිටින්නේ. මේ පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ පවත්වලා කතා කළොත් අද තරුණයා ඉදිරියට ඇවිල්ලා තියෙනවා මිසක් පසු බැසීමක් වෙලා නැහැ.
රජය හැටියට පසුගිය කාලය පුරාම මේ රටේ තරුණයා වෙනුවෙන් දැවැන්ත වැඩකොටසක් කළා. හැබැයි ඉතින් බක්කරේ පාන් බානවා වගේ තරුණ ප්‍රශ්න විසඳන්න බැහැ. තරුණයා වෙනුවෙන් විධිමත් සැලැස්මක් අපිට තිබෙනවා. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා.
මංමුලා වූ, ඉබාගාතේ යන තරුණ පිරිසක් සිටින බව ඔබ පිළිගන්නවා. එසේ නම් ඔවුන්ගේ අනාගතය ගොඩනගන්නත්, ආර්ථික ප්‍රශ්නවලින් පීඩාවට පත්ව සිටින තරුණ ප්‍රජාව ශක්තිමත් කරන්නත් කුමක්ද ගෙන ඇති පියවර?
අපි යොවුන් සේනාංකය විදිහට තරුණයන්ගේ පෞරුෂය ගොඩනගමින් සිටිනවා. මේ රටේ මීට අවුරුදු 4 කට කලින් තරුණයෝ දැනගෙන හිටියේ නැහැ ව්ශ්‍රී කියන වෘත්තීය අධ්‍යාපනික වැඩපිළිවෙළ පිළිබඳව. අද සමස්ත තරුණ ප්‍රජාවම නොවුණත් යම් කිසි තරුණ පිරිසක් හරි දන්නවා විශ්වවිද්‍යාලයට යාමට නොහැකි නම් ඔවුන් යා යුතු  මාර්ගය මොකක්ද කියලා. ඔවුන්ට පෙරට වඩා අවස්ථා නිර්මාණය කර තිබෙනවා. ෆේස් බුක් මාර්ගයෙන් හරි පුවත්පත් මගින් හරි අපි මේ පිළිබඳව තරුණයාව දැනුවත් කරනවා. තරුණයා පිළිබඳව කාරණාවල දියුණුවක් මිසක් පිරිහීමක් නැහැ. බොහෝ තරුණයින් අද ජාතික තරුණ සේවා සභාව , ශ්‍රී ලංකා යූත් වැඩපිළිවෙළ වටා එකතු වෙනවා. ඉදිරියේ දී ඔය කියන තත්ත්වයන් තවදුරටත් අවම කරගන්න අපිට හැකියාව ලැබෙයි.
අහිංසක අසරණ තරුණයන් වෙනුවෙන් අපි බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. එකක් තමයි ශ්‍රී ලංකා යූත් නිවාස ව්‍යාපෘතිය. එම ව්‍යාපෘතියෙන් අපි අඩු ආදායම්ලාභී අහිංසක තරුණ තරුණියන්ට නිවාස 800කට වැඩි ප්‍රමාණයක් හදල දීලා තියෙනවා. හැබැයි ජනමාධ්‍යයෙන් මේවාට ලැබෙන ප්‍රසිද්ධිය අඩුයි.
ආබාධිත තරුණ තරුණියන් වෙනුවෙන් අපි වැඩසටහන් කළා. අදටත් අපි ඔවුන්ව ඉදිරියට රැගෙන යනවා. මේ රටේ ආගමික සමගිය, සහජීවනය, සංහිඳියාව , උතුරු දකුණු යා කරන සහෝදර පාලම් වැනි බොහෝ ව්‍යාපෘති  අපි ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරනවා. ඉදිරියටත් මෙවැනි වූ තවත් පියවර රැසක් අපි ක්‍රියාත්මක කරනවා.
සාකච්ඡා කළේ - පානුක රාජපක්ෂ

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය