Powered by Blogger.

ප්‍රසූතියෙන් පසු සමහර මවුවරුන්ට හැදෙන අවපීඩනය ගැන පවුලේ අය සෝදිසියෙන් ඉන්න
මානසික අවපීඩනයෙන් පෙළෙන රෝගීන්ගෙන් සෑම හය දෙනෙකුගෙන් එක් අ‍යකුම සියදිවි නසාගන්නා බව ඔබ දන්නවාද? නොසිතූ අයුරින් සිදුවන වියෝවීම්, අලාබ හානි, විපත් කරදර, අපවාද, අපකීර්තිය ආදී විවිධ හේතු සාධක නිසා මෙන්ම කායිකව ඇතිවන සමහර රෝගී තත්ත්වයන් නිසා ද ඇතිවන මානසික අවපීඩනය කිසිදු විශේෂ හේතුවක් නැතිව ද හටගත හැකියි. මානසික අවපීඩනයෙන් පෙළෙන රෝගියකු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ ඇයි? එවැනි රෝගීන් සඳහා සාර්ථක ප්‍රතිකාර තිබෙනවාද? රෝග අවදානම වැඩි කාටද? අද දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.

විශේෂඥ වෛද්‍ය
ආරියසේන යූ. ගමගේ
* ‘මානසික අවපීඩනය'යනු කුමක්දැයි, සරලව හඳුන්වා දෙන්න පුළුවන්ද?
කෙනෙක් අපේක්ෂා නොකළ ලෙස, හදිසියේ ඇතිවන යම් කරදරයක්, වියෝවීමක් නිසා ඇතිවන්නේ දරාගත නොහැකි දොම්නසක්. ඒ සමඟම සියල්ල එපා වූ ස්වභාවයක්. වැඩි කාලයක් ඉක්ම යන්නට පෙර ඒ තත්ත්වය මඟහැරී යාම සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් එවැනි දොම්නස් සහගත ස්වභාවයක් පහව නොගොස් දිගින් දිගටම දින ගණන්, සති ගණන් තිබීමට පුළුවන්. ඊට බරපතළ හේතුවක් නොතිබීමට ද පුළුවන්.
එසේ දීර්ඝ කාලයක් පුරා ඇතිවන දොම්නස, කලකිරුණු ස්වභාවය කෙනෙකුගේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට බාධාවක් වන්නේ නම් ඒ තැනැත්තා මානසික අවපීඩනයෙන් (Depression) පෙළෙන රෝගියෙකු විය හැකියි.
බොහෝ දෙනෙක් විෂාදය ලෙස හඳුන්වන්නේ ද එම රෝගී තත්ත්වයයි. පරීක්ෂණවලින් හෙළි වී තිබෙන අන්දමට ලංකාවේ සියදිවි නසාගැනීම්වලින් සියයට පනහක් පමණම මානසික අවපීඩනය හේතුවී තිබෙනවා. එවැනි රෝගීන්ට නිසිකලට වෛද්‍ය ප්‍රතිකාර හා ඥාති මිත්‍රාදීන් ගේ සහය ද අවශ්‍ය වන්නේ ඒ නිසයි.
* මානසික අවපීඩනය ඇතිවීමේ අවදානම වැඩි අය කවුද?
මැදි වයසේ පසුවන අය හා වැඩිහිටියන් අතර මානසික අවපීඩනය බහුලව ඇතිවීමේ ශක්‍යතාව තිබුණ ද කුඩා දරුවාගේ සිට මහල්ලන් දක්වා ඕනෑම වයසක කෙනකුට මානසික අවපීඩනය ඇතිවිය හැකියි. එහෙත් වයස අවුරුදු 12ට අඩු දරුවන්ට අවපීඩනය ඇති වන්නේ ඉතා කලාතුරකින්. ඒ වගේම පිරිමින්ට වඩා කාන්තාවන් අතර මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතා ඉහළයි.
* මානසික අවපීඩනය ඇතිවීමට බලපාන විශේෂිත හේතු තිබෙනවාද?
ඔව්. ඒ සඳහා බලපාන විශේෂිත හේතු කිහිපයක්ම තිබිය හැකියි. අධික කාර්ය බහුල බව ඒ අතර ප්‍රධාන සාධකයක්. කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ අයුරින් කෙනකුට පාඩුවක්, හානියක් සිදුවීම, ධන විනාශ වීම් හා බංකළොත් බව ද මානසික අවපීඩනයට බලපාන සාධකයක්.
තමන් ළඟින් ඇසුරු කළ හෝ දැඩි ලෙස ආදරය කළ කෙනෙකු තමන් හැර යාම හෝ මරණයට පත්වීම, නෑදෑ හිතමිතුරන්ගෙන් හා සමාජයෙන් එල්ලවන අපවාද ගැරහීම්, තර්ජන ආදිය ද මේ රෝගී තත්ත්වය ඇතිවීමට බලපායි. මොළයේ සෛල තුළ ඇතිවන ජෛව රසායන වෙනස්කම් මානසික අවපීඩනය ඇතිවීමට බලපාන අවසාන හේතුවයි. ඒ හැර කිසිදු විශේෂ හේතුවක් නැතිව වුවද මානසික අවපීඩනය ඇතිවිය හැකියි. එය හඳුන්වන්නේ Endogenous Depression යනුවෙන්. ස්වභාවයෙන්ම දොම්නසට පත්වන අයත් ඉතා පහසුවෙන් මෙම රෝගයට ගොදුරු වීමට පුළුවන්.
* දරු ප්‍රසූතියෙන් පසුව සමහර මවුවරු මානසික අවපීඩනයට ලක්වන්නේ ඇයි?
දරු ප්‍රසූතිය ඇතිවූ වහාම මවගේ මානසිකත්වයේ ඇතිවන වෙනසට හේතුව ඇයගේ සිරුරේ ඇතිවන හෝමෝන අසමතුලිතතාවයි. එම තත්ත්වය හඳුන්වන්නේ පසු ප්‍රසව මානසික පීඩනය හෙවත් post-natal Depression යනුවෙන්.
* එවැනි මවක හඳුනාගත හැකි සුවිශේෂී ලක්ෂණ තිබෙනවාද?
ඔව්. දරුවකු ප්‍රසූත කළ පසු සමහර මවුවරුනට සාමාන්‍යයෙන් ප්‍රසූතියෙන් සතියකට පමණ පසු එවැනි රෝගී තත්ත්වයක් ඇතිවිය හැකියි. එවැනි මවක තමන්ගේ නෑදෑයින්, අසල්වැසියන් තමන්ටත්, දරුවාටත් විපතක් කරදරයක් කරන්නේ යැයි, වසක් විසක් දේ දැයි නිරන්තර සැකයෙන් පසුවෙනවා. ඇතැම්විට තමන්ගේ ස්වාමිපුරුෂයා පවා සැකයට ලක්වෙනවා.
ඒ වගේම දරුවාට මවු කිරිදීම පවා ප්‍රතික්ෂේප කළ හැකියි. විශේෂයෙන් වැඩිහිටියන්ට මෙවැනි රෝගීන් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. මවක් එවැනි රෝග ලක්ෂණ පෙන්වූ වහාම වෛද්‍යවරයකු වෙත යොමු කිරීම ඉතා වැදගත්. නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණු එවැනි මවුවරු දරුවාත් සමඟම, හෝ ඇතැම්විට තමන් පමණක් හෝ සිය දිවි හානිකරගත් අවස්ථා කොතෙකුත් තිබෙනවා.
* විෂාදය රෝගීන් තුළ දැකිය හැකි වෙනත් රෝග ලක්ෂණ මොනවාද?
ධෛර්යවත් බව අඩුවීම එවැනි රෝගීන් ගේ සුවිශේෂී ලක්ෂණයක්. වෙනදා කැමැත්තෙන් කළ කටයුතු කිරීමට ඇති ආශාව හීන වීම, යමක් ජය ගැනීමේ අධිෂ්ඨානය හීන වීම, සුළු කටයුත්තක් කිරීමට තීරණය කිරීමේ හා අවධානය යොමු කිරීමේ අපහසුතාව, කිසිදු කටයුත්තක් සඳහා සිත එකඟකර ගත නොහැකිවීමේ ස්වභාවය අනෙකුත් රෝග ලක්ෂණයක්.
එසේම මෙවැනි රෝගීන්ට සිරුර වෙහෙසා වැඩක නිරත නොවූවද විඩාපත් ගතියක් දැනෙන අතර මහන්සි වී යමක් කිරීම් හැකියාවෙන් ද තොරයි. ආහාර ගැනීමේ ප්‍රියතාවක් නැති අතර සිරුර කෙට්ටුවීම ද එනම් බර අඩුවීම ද සිදුවිය හැකිය.
* මානසික අවපීඩනයෙන් පෙළෙන අයට නින්දයාම අඩුද?
ඔව්. සමහර රෝගින්ට එවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. නින්ද නොයෑම හෝ නින්ද අඩුකම, වගේම ඉතා කලාතුරකින් අධික නිදිමත සහ නින්ද මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ වීමට පුළුවන්. බොහෝ විට නින්ද ගිය ද වේලාසනින් අවදි වී සිතිවිලි ජාලයක පැටලීම ද මෙම රෝගීන් වෙතින් දැකිය හැකියි.
* මානසික අවපීඩනයෙන් පෙළෙන අයට නිතර කේන්ති යනවා කියන කතාව ඇත්තද?
නිතර නිතර සුළු දෙයටත් කේන්තියාම එවැනි රෝගීන් අතර බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණයක්. ඒ ‍වගේම සිතේ හටගන්නා සාංකාව (anxiety) හෙවත් සිතෙහි අවිවේකී බව එනම් කලබලකාරී බව ද මෙම රෝගීන් පීඩාවට පත්කරන සාධකයක්.
එවැනි රෝගීන් මත් වතුරට හා දුම්පානයට ඇබ්බැහි වීමේ ප්‍රවණතාව වැඩි ද?
ඔව්. විශාදයෙන් පෙළෙන බොහෝ රෝගීන්ගේ ආත්ම ධෛර්යය හා ආත්ම විශ්වාසය බෙහෙවින් අඩුයි. සුබවාදී අදහස් වෙනුවට සර්ව අසුබවාදී අදහස් සිතට නැඟීම, ඒ නිසාම කරන කියන කිසිඳු දෙයකින් පලක් ප්‍රයෝජනයක් නැතැයි සිතීම මෙන්ම තමන්ට කිසිවෙකුට උදවු කළ නොහැකි ය යන හැඟීම ඇතිවීම මෙවැනි රෝගීන් ගේ ස්වභාවයක්. එවැනි මානසික ස්වභාවයන් නිසා හටගත් අප්‍රසන්නතාවෙන් හෝ දොම්නසින් මිදීම සඳහා එවැනි රෝගියෙක් මත් වතුරට හා දුම්පානයට පෙලඹිය හැකියි.
නිතර කල්පනාකාරීව සිටීමත් විශාදයේ ලක්ෂණයක් ද?
ඔව්. මානසික අවපීඩනය ඇති සමහර රෝගීන් නිතර කල්පනා කරන අතර සුළු ප්‍රශ්නයකින් පවා සිත කම්පාවට පත්කර ගන්නවා. සමාජ කටයුතුවලින් බැහැරව සිටීමට සිතන ඔවුන් තුළ ඇතැම් විට ලිංගික ආශාව අඩුවීම හෝ පහවී යාම ද දැකිය හැකියි.
ජීවිතය තොර කරගැනීමට සිත් වීම හා ඒ සඳහා සැලසුම් සකස් කිරීම ජීවිතයට බෙහෙවින් ම බලපාන සාධකයක් නිසා එවැනි රෝගීන් ගැන නිරන්තර සැලකිලිමත් වීම ඉතා වැදගත්ය.
කායිකව දැනෙන රෝගී තත්ත්ව මොනව ද?
හඳුනාගත හැකි හේතුවක් නැතිව ඇතිවන හිසරදය, පපුව හිර වනවා සේ දැනීම, ඇඟපත රුදාව, ඈලි මෑලි දුබල ගතිය මෙන්ම සිරුර තළාපෙළා දැමු ස්වභාවය, සිරුරේ තැනින් තැනට මාරු වන වේදනාව එවැනි රෝගීන් තුළ දැකිය හැකි කායික වේදනාකාරී ලක්ෂණයන්.
මානසික අවපීඩනයෙන් පෙළෙන රෝගියකු වෙතින් ඔබ සඳහන් කළ සෑම රෝග ලක්ෂණයක් ම දැකිය හැකි ද?
නෑ. මානසික අවපීඩනයට පත් වූ කෙනෙකුට මේ සෑම රෝග ලක්ෂණයක්ම ඇතිවිය නොහැකියි. එහෙත් ඒවායින් කිහිපයක් ඇතිවිය හැකියි. ඒ වගේම එම රෝග ලක්ෂණ සුළුවෙන් හෝ වැඩියෙන් ද දැකිය හැකියි. එබැවින් එය කල් පවතින කනස්සලු සහගත තත්ත්වයක සිට සියදිවි හානිකර ගැනීම දක්වා දුරදිග යා හැකියි. සතියක් දෙකක් ඉක්ම ගිය ද යම් රෝගියකු වෙතින් මෙම රෝගී තත්ත්වයෙහි වෙනසක් දැකිය නොහැකි නම් හෝ ක්‍රමයෙන් එම තත්ත්වය උග්‍ර වන්නේ නම් වහාම සුදුසු වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.
තමන් මානසික අවපීඩනයෙන් පෙළෙන බව පිළිගන්නට බොහෝ රෝගීන් අකැමැති ඇයි?
අකැමැත්තට වඩා මෙතැන සිදු වන්නේ රෝගය හඳුනා නොගැනීමයි. අපේ රටේ මානසික අවපීඩනයෙන් පෙළෙන අය පිළිබඳව අඩුවෙන් වාර්තා වන්නේ ද ඒ නිසයි. එවැනි බොහෝ රෝගීන් රෝගය හඳුනා නොගැනීම නිසාම කායික වේදනාවට ප්‍රතිකාර ලබාගන්නා අතරම එම රෝගී තත්ත්වය තමන් කළ පවක් නිසා ඇතිවූ බව සිතමින් ප්‍රතිකාරවලට නොපෙලඹීම ද විශේෂයි.
මානසික අවපීඩනයට සාර්ථක ප්‍රතිකාර තිබෙනවා ද?
ඔව්. මානසික උපදේශනය ඉන් පළමුවැන්නයි. දොම්නසට පත් රෝගීන් සමඟ ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම හා ඒවායින් ගොඩ ඒමට අවශ්‍ය පිළියම් සෙවීමට රෝගියාට උදවු කිරීම එහි දී සිදු කෙරෙනවා.
අනෙක් ප්‍රතිකාර ක්‍රමය ප්‍රත්‍යක්ෂ ඖෂධ භාවිතයයි. එම ඖෂධ ප්‍රතිකාර ඇරැඹු සැණින් රෝග තත්ත්වය පහවී නොයන අතර ඒ සඳහා සතියක් දෙකක් පමණ කාලයක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගතවිය හැකියි. ඖෂධ ගැනීම ඇරැඹු මුල් දිනවල ක්ලාන්තය, කරකැවිල්ල, නිදිමත, තොලකට වේලීම, මලබද්ධය ආදි අතුරු ආබාධ ඇතිවිය හැකි වුවද නොනවත්වා දිගටම ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්. රෝගියා ඒ සඳහා උනන්දු කරවීම වැඩිහිටියන් විසින් කළ යුතුයි.
මානසික අවපීඩනය උග්‍ර වූ අයට දෙන ප්‍රතිකාර මොනවා ද?
අධික ලෙස මානසික අවපීඩනයට පත්වූ අය සඳහා විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමය රෝ‍හලේ දී ලබා දෙනවා. එය තෙවැනි ප්‍රතිකර්මයයි. Electro Convulsive Therapy (ECT) හෙවත් Shock Treatment ලෙස හැඳින්වෙන්නේ එම ප්‍රතිකාර ක්‍රමයයි. නිර්වින්දනය හෙවත් සිහි නැති කොට රෝගීන් ගේ මොළයේ සමහර ප්‍රදේශ හරහා මනාව පාලනය කළ විද්යුත්ධාරා ගමන් කරවීම මෙහිදී සිදු කෙරෙනවා.
එවැනි අවස්ථාවල වලිප්පුව හැදුණු විට දී මෙන් රෝගියා ගැස්සීමකට ලක් වෙනවා. බොහෝ දෙනෙක් ‘මොළයට කරන්ට් අල්ලනවා’ යැයි හඳුන්වන එම ප්‍රතිකාර ක්‍රමයට මහත් බියක් දැක්වුව ද මානසික අවපීඩනය උග්‍ර වූ අය සඳහා එම ප්‍රතිකාර ක්‍රමය ඉතාමත් ඵලදායි වෙනවා. එමෙන්ම ආරක්ෂාකාරීයි.
මානසික අවපීඩනයට ලක්වන රෝගීන්ගෙන් සෑම හය දෙනකු ගෙන් එක් අයකුම සිය දිවි නසා ගන්නා බව ඔබ දැන සිටීම අවශ්‍ය වන්නේ ද එවැනි රෝගීන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවීමටයි.
මානසික අවපීඩනයෙන් පෙළෙන රෝගියෙක් රැකබලා ගත යුතු වන්නේ කෙසේ ද?
සිත් තැවුලෙන්, ජීවිතය එපා වූ ස්වරූපයෙන් සිටින, දොම්නසින් පෙළෙන රෝගීන්ට සවන් දීම සඳහා සාමාන්‍යයෙන් වෛද්‍යවරුන්ට ඇති කාලය සීමා සහිතයි. එවැනි රෝගීන් සඳහා ප්‍රමිතියෙන් යුතු ආයතන තිබෙනවා. රෝගියා ඒවාට යොමු කිරීම වැදගත් වන අතර වෛද්‍ය ප්‍රතිකාර ඇවැසි නම් ඔවුන් නැවත රෝගියා ඒ සඳහා යොමු කරනු ඇති.
එමෙන් ම, මානසික අවපීඩනයෙන් පෙළෙන අය සිටින්නේ ඉතාම අසරණ තත්ත්වයක. ඔවුන්ට ආදරයෙන්, කරුණාවෙන් උදවු කිරිම ඥාති හිත මිතුරන්ගේ යුතුකමකි. බොහෝ දෙනෙකුගේ ස්වභාවය යම් කෙනකුගේ දොම්නසට හේතු වූ කරුණු මතු කරමින් තව තවත් ඒ ගැන සිතන්නට ඉඩ දීමයි. රෝගී පුද්ගලයකුට එය තවදුරටත් හානිකරයි.
එම හේතුන් පිළිබඳව දිගින් දිගටම සිතීමට ඉඩ නොදී ඔහු එයින් ගලවා ගැනීමට උත්සාහ කළ යුතුයි. ප්‍රායෝගික ඉලක්කයන් කරා යොමු කළ යුතු අතර නිසි, නිවැරැදි තීරණ ගැනීමට උදවු කළ යුතුයි.
තවත් සමහර අය නොදැනුවත්කම නිසාම දුකට, කරදරයට පත් වූ අය, ඒ තත්ත්වයට පත් වී ඇත්තේ තමන්ගේ ම වරදින් බව පවසමින් දොස් පවරනවා. එය ද මානසික අවපීඩනයෙන් පෙළෙන රෝගියකුට දරාගත නොහැකියි. එමෙන් ම ප්‍රශ්න අමතක කරන්නට යැයි කියමින් එවැනි රෝගීන් දුම්පානයට, මත් වතුරට ඇබ්බැහි වීමට ඉඩ ඇති නිසා එයින් ද වළකා ගත යුතුයි.
සමහර මානසික අවපීඩනයෙන් පෙළෙන්නන් ජීවිතයේ නිසරුකම ගැන හා දිවි තොර කර ගැනීම ඊට විසඳුම බව ගැන නිතර නිතර පවසනවා නම් එය නොසලකා සිටීම නුසුදුසුයි. වහාම රෝගියා වෛද්‍යවරයකු වෙත හෝ ඒ පිළිබඳව කටයුතු කරන සංවිධානයකට යොමු කළ යුතුයි.
එවැනි සේවයක් සපයන ආයතන මොනවා ද?
‘ශ්‍රී ලංකා සුමිත්‍රයෝ’ එවැනි එක් ආයතනයක්. එහි ප්‍රධාන මධ්‍යස්ථානය කොළඹ පිහිටා තිබෙන අතර මහනුවර, මාතලේ, මාවනැල්ල, බණ්ඩාරවෙල, පාණදුර, පඬුවස්නුවර ආදි ප්‍රදේශවල ද එහි මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.
රෝගීන් වෙනුවෙන් කාරුණිකව, සවන් දෙන මෙම ආයතනය රහස්‍ය බව සුරකින නොමිලයේ සේවය සපයන, විශ්වාසය තැබිය හැකි ස්වේච්ඡා සංවිධානයක්.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය