Powered by Blogger.

නාට්‍යකරුවෙක්, නළුවෙක්, රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක් ලෙස කලාව ‍පෝෂණය කරමින් ආචාර්ය ජයලත් මනෝරත්නයන් මේ ගෙවන්නේ ඔහුගේ කලා දිවියෙහි සතළිස් පස්වැනි වසරයි.
ඔහුගේ දොළොස්වැනි නාට්‍ය නිර්මාණය වන ‘සෙල්ලම් නිරිඳු’ මැයි මස 03 වැනි සෙනසුරාදා මහනුවර ධර්මරාජ විද්‍යාලයීය රංගශාලාවේදී රංගගත කෙරේ. ආචාර්ය ජයලත් මනෝරත්න නිර්මාණවේදියා සමගින් සිදුකළ සාකච්ඡාවකි වේ.

ප්‍ර - ඔබගේ කලා ජීවිතයට වසර හතළිස් පහක් වෙනවා. එය සමරමින් පසුගියදා ‘දවස් පහළොස්දාහ’ නමින් නාට්‍ය උළෙලක් පැවැත්වුණා. ‘දවස් පහළොස්දාහ’ ගැන අද යළි හැරී බැලීමේදී ඔබට දැනෙන්නෙ කෙසේද?
පි - එය බොහොම ආනන්දජනක අත්දැකීමක්. දින හතක් එක දිගට නාට්‍ය උළෙලක් පැවැත්වීම ඉතාම දුෂ්කර කාර්යයක්. හැබැයි ඒ ලත් අත්දැකීම රසිකයන්ගෙන් ලත් ප්‍රතිචාර මට අලුත් ජීවිතතයක් ලබා දුන්නා. බොහොම දුර පළාත්වල සිටත් දින හතම නාට්‍ය නැරඹීමට පැමිණි රසිකයන් සිටියා. විශේෂයෙන්ම කිව යුතුයි මේ කාලයේ මුදල් නැතිව කිසිවක් කළ නොහැකි තත්ත්වයකට සමාජය පත්වෙලා. මේ නාට්‍ය උළෙ‍ලේ මූල්‍යමය අනුග්‍රහය දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දක්වපු සහායට ස්තුතිවන්ත විය යුතුයි.

ප්‍ර - මේ දිනවල ඔබ තවත් විශේෂ කාර්යයක් සිදු කරනවා. ඒ ගැන සඳහන් කළොත්?
පි - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් මේ දිනවල නිර්මාණය කරනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය මේ වසරට යෙදී තිබෙන්නේ. ඒ වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානය ප්‍රංශයේ පැරිස් නුවරදී ජුනි 10 දින විශේෂ උත්සවයක් ආරම්භ වෙනවා. එහිදී ඉදිරිපත් කරන්න තමයි මේ චිත්‍රපටය නිර්මාණය කළේ. මෙහි පිටපත සහ අධ්‍යක්ෂණය සිදු කරන්නේ මම. රජය වෙනුවෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මේ කාර්යයේදී සහාය වෙනවා. ඒ වගේම ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය අවශ්‍ය විස්තර, නාට්‍ය කොටස් ආදිය සොයා දෙමින් වෙහෙස වෙනවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් මෙරට තුළත් නාට්‍ය චිත්‍රපට ආදිය ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මම අධ්‍යක්ෂණය කළ “ඊළඟට මොකද වෙන්න” ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශය වේවි. එය කොටස් හතළිහක ටෙලි නාට්‍යයක්. මනුෂ්‍යත්වය සහ මුදල් තේමා කරගත් රහස් පරීක්ෂක කතාවක්. බහු භාණ්ඩික සමාජයක් තුළ මිනිසාට වඩා මුදල් වටිනාකමින් වැඩිවීම පිළිබඳවයි මෙහිදී කතා කරන්නේ.

ප්‍ර - මෙගා නාට්‍ය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
පි - රූපවාහිනිය ආරම්භක යුගයේ සිටම මම රූපවාහිනිය ටෙලි නාට්‍යවලට සම්බන්ධ වී කටයුතු කළා. මුල් කාලයේ නළුවෙක් ලෙස දායක වුණා. පසුව රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වුණා. ලෝකයේ ඕනෑම දෙයක් කාලයක් යනකොට වෙනස් වෙනවා. ඒ වගේ දැන් රූපවාහිනී නාට්‍යයත් වෙනස් වෙලා තියෙන්නේ. ඒ වෙනස මම දකින විදහට නම් යහපත් වෙනසක් නෙමේ. ටෙලි නාට්‍ය කලාවේ කලාත්මක භාවිතාව කමෛන් කමෛන් අඩු වෙනවා. සමහර නාට්‍යවල කලාත්මක බව නැත්තටම නැති වෙලා. ඒවා මුදල් උපයන ව්‍යාපෘතිවල තත්ත්වයට පත් වෙලා. රූපවාහිනී මාධ්‍ය ලංකාවට හඳුන්වා දුන් කාලයේ අධ්‍යාපනය, ප්‍රවෘත්ති, ක්‍රීඩා, සංගීත වැඩසටහන්වලට අමතරව යම් කලාත්මක භාවිතාවක් රූපවාහිනිය ඔස්සේ කළ හැකිදැයි සොයා බැලුවා. ඒ සොයා බැලීම්වල හොඳ ප්‍රතිඵල 80 හා 90 දශකවල දී අපි අත්වින්දා. රසිකයෙක් ලෙස මම දැන් දකින දේ තමයි රූපවාහිනියෙන් ප්‍රචාරය වන ටෙලි නාට්‍යවලින් අති බහුතරය දැන් හුදු මුදල් උපයන ව්‍යාපාර බවට පත් වී ඇති බව. ඉතාම දුර්වල නිෂ්පාදන පවතිනවා. කලාවේ අරමුණු සඳහා නෙමේ එවැනි ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. පිටපතක් හෝ නිෂ්පාදන සැලසුමක් එවැනි ටෙලි නාට්‍යවලට නැහැ. නාලිකාවලට ලොකු වගකීමක් තියෙනවා උසස් රසඥතාවෙන් යුතු නිර්මාණ ප්‍රේක්ෂකයා හමුවට ගෙන යන්න. මාධ්‍යයට වගකීමක් තියෙනවා මේවා පිළිබඳ ගැඹුරු විශ්‍ලේෂණයක යෙදෙන්න. ඒ පිළිබඳ කතිකාවතක් ඇති කරන්න.

ප්‍ර - මෙවර අ‍පොස (සා.පෙළ) විභාග ප්‍රතිඵලවලට අනුව වැඩිම සිසු පිරිසක් සමත් වීමේ ප්‍රතිශතය වාර්තා වෙන්නේ නාට්‍ය හා රංගකලාව විෂය. නාට්‍ය කලාවේ උන්නතියට විෂයයක් වශයෙන් නාට්‍ය හා රංග කලාව ප්‍රචලිත වීම කොයි ආකාරයෙන්ද බලපාන්නේ?
පි - පාසල් විෂය ධාරාව තුළ අපට පසුගිය කාලයේ දකින්න ලැබුණු සාධනීය ලක්ෂණයක් තමයි නාට්‍ය හා රංග කලාව හැදෑරීමට අවස්ථාව සිසු දරුවන්ට උදා කර දීම. එය ඉතා උසස් දෙයක්. ඒ වගේම තමයි හුඟක් පරිස්සමෙන් කළ යුතු දෙයක්. මොකද නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික විෂයයක්. මෙය හදාරා නැති අයෙක්ට මෙම විෂය ඉගැන්වීම අපහසුයි. වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු ශිල්පය නිසියාකාරව හැදෑරීමකින් තොරව ඒ ක්ෂේත්‍රවල කටයුතු කළ නොහැකියි වගේම සෞන්දර්යාත්මක විෂයයක් වන නාට්‍ය හා රංග කලාව පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලද පිරිස් ගුරුවරු ලෙස සේවයේ යෙදවීම අවශ්‍යයි. දුර පළාත්වලට ගිය විට මා අත්විඳින දෙයක් තමයි ඇතැම් පාසල්වල නාට්‍ය හා රංග කලාව විෂය උගන්වන්නේ සංගීත ගුරුවරයා. එහෙමත් නැතිනම් නැටුම් ගුරුවරයා. ගුරුවරුන් අඩුවීම මෙයට හේතු වෙන්න පුළුවන්. හැබැයි මේ විෂය නිසියාකාරව ළමයින්ට ඉගැන්විය නොහැකි වුණොත් එහි අවදානමකුත් තියෙනවා. මෙය ප්‍රායෝගික විෂයක්. න්‍යාය මත ගොඩනැගුණු ප්‍රායෝගික රංග කලාවක් තියෙනවා. ප්‍රායෝගිකකරණයට අවශ්‍ය පහසුකම් අද ළමයින්ට නැහැ. උදාහරණයක් ලෙස අ‍පොස (උ.පෙළ) විභාගයට නිර්දිෂ්ට නාට්‍ය නැරඹීමේ අවස්ථාව දුෂ්කර පළාත්වල ළමයින්ට නැහැ. ඇතැම් විට ඉතාම දුර්වල මට්ටමේ සී.ඩී. තැටිවලින් තමයි ඔවුන් නාට්‍ය නරඹන්නේ. සී.ඩී. තැටිවල තිබෙන්නේ නාට්‍ය ප්‍රදර්ශනය කරන අවස්ථාවල කැමරාවලින් දර්ශනගත කළ නාට්‍ය. ඒවා තුළ නාට්‍ය ගුණය නැහැ. අපි බොහොම දුෂ්කරතා මැද රටේ විවිධ පළාත්වලට ගොස් නාට්‍ය පෙන්වීම කරනවා. පවතින දුර්වලතා මගහැර ගතහොත් සිසුන්ට න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගික අධ්‍යයනයක් ලබා දීමෙන් ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් සාර්ථක වේවි.

ප්‍ර - අගනුවරින් බැහැරව නාට්‍ය රංගගත කිරීමේදී මුහුණ දෙන දුෂ්කරතා බොහොමයි. ඒ තත්ත්වයන්ට මුහුණ දෙමින් කොයි ආකාරයෙන්ද නාට්‍ය රංගගත කිරීම් සිදු කරන්නෙ?
පි - මේ දුෂ්කරතා ගැන හැමදාවත් කතා කරනවා. බොහෝ විට නාට්‍ය පෙන්වන්නේ පාසල්වල රැස්වීම් ශාලා තුළ. රංගශාලා නැහැ. නාට්‍යකරුවන් වගේම ප්‍රේක්ෂකයිනුත් දුෂ්කරතාවට පත්වෙනවා. නාට්‍ය සංස්කෘතිය කියලා අපි හඳුවන්නේ නාට්‍ය නැරඹීමේ පුරුද්දක්. විනයක් තිබිය යුතුයි. අපේ රටේ නාට්‍ය සජීවී මාධ්‍යයක් ලෙස තවම හඳුනාගෙන නැහැ. මිනිසුන් කණ්ඩායමක් තවත් මිනිසුන් කණ්ඩායමක් ඉදිරියේ සජීවීව සිදුකරන කලාවක් වේදිකා නාට්‍ය. බොහෝ නාට්‍ය වේදිකාගත වන අවස්ථාවලදී ජංගම දුරකථන නාද වීම සුලභම අවස්ථාවක්. මේ දේවල් නාට්‍යයට බාධාවක්. සන්නිවේදන බාධාවක්. මහාචාර්ය සරච්චන්ද්‍රයන් මුල් කාලයේ කිව්වා අභිෂ්ඨ නිෂ්පාදනයක් කවදාවත් නරඹන්න ලැබෙන්නෙත් නැහැ. ප්‍රදානය කරන්න ලැබෙන්නෙත් නැහැ කියලා. ඒ කියන්නේ සියයට සියයක් නාට්‍යකරුවා බලා‍පොරොත්තු වන රසය ප්‍රේක්ෂකයාට ලබා දෙන්න බැහැ කියන කරුණ.

ප්‍ර - අගනුවර කේන්ද්‍ර කර ගනිමින් ප්‍රශස්ථ මට්ටමේ රංගශාලා ගොඩනැගුණට අගනුවරින් පිට එවැනි පහසුකම් දකින්න ලැබෙන්නේ අඩුවෙන්. වේදිකා නාට්‍ය ප්‍රභූ පෙළැන්තියට සීමා වූ කලා මාධ්‍යයක් බවට පත්වී තිබෙනවාද යන සැකය මේ ඔස්සේ මතුවෙනවා නේද?
පි - සමහර පළාත්වල රංගනයට උචිත යම් යම් රංගශාලා ගොඩනැගී තිබෙනවා. කුරුණෑගල නගර ශාලාව, කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරය, හිඟුරක්ගොඩ මෙත්සෙවණ රංගශාලාව, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ රංගශාලාව ආදි රංගශාලාවන් උසස් රසයක් විඳිය හැකි මට්ටමේ රංගශාලා. පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ආදියේ වගේම විදුහල්පතිවරුන්ගේ උනන්දුව මතයි ඒ දේවල් නිර්මාණය වෙන්නේ.

ප්‍ර - වෙනත් රටවලදී ඔබ ලත් අත්දැකීම් සහ ලංකාවේදී අත්දකින දේ අතර වෙනස කොයි වගේද?
පි - අපි දකිනවා වෙනත් රටවල හැම නගරයකම පාහේ උසස් මට්ටමේ රංගශාලා පවතිනවා. අධික මිල ගණන්වලට නමෛයි මිනිසුන්ට දරාගත හැකි මුදලකට නාට්‍ය නැරඹීමේ අවස්ථාව තිබෙනවා. රංගශාලා ඉතාම උසස් මට්ටමේ ඒවා. එකම සංඛ්‍යාත ප්‍රමාණයකින් ඉදිරිපස අසුනේ සිටින පුද්ගලයාටත් පසුපසම අසුනේ සිටින පුද්ගලයාටත් ශබ්දය ශ්‍රවණය විය යුතුයි. අපිට ලංකාවේ එවැනි රංගශාලාවකට තිබෙන්නේ ලයනල් වෙන්ඩ්ට් රංගශාලාව පමණයි. වේදිකාවේ සිට ගිනිකූරක් ගසා ගින්දර පත්තු කළහොත් එය වේදිකාවේ බැල්කනියේ කෙළවරේම සිටින පුද්ගලයාටත් ඒ හඩින්ම ඇසෙනවා. එවැනි තත්ත්වයක් නාට්‍ය රස වින්දනයේදී අවශ්‍යයි.

අනිත් පැත්තෙන් නාට්‍ය රසිකයන්ගේ විනය අපේ රටට වඩා වෙනස්. නාට්‍ය රසවින්දනය ඔවුන්ගේ ජීවිතයේ කොටසක්. මාස ගණනක සිටයි ඔවුන් නාට්‍ය නැරඹීමට ප්‍රවේශපත් මිලදී ගන්නේ. 6.30 නම් නාට්‍ය ප්‍රදර්ශනය පවත්වන්නේ 6.31ට ගියොත් නාට්‍ය නරඹන්න රංගශාලාව තුළට යන්න බැහැ. විනාඩි විස්සකින් පමණ ලැබෙන කෙටි විවේකයේදී තමයි රංගශාලාව තුළට පමා වී පැමිණෙන අය ඇතුළු කරන්නේ. එය ඔවුන්ගේ විනය.

කෑම බිම, වතුර බෝතල් ඔවුන් රංගශාලාව තුළට ගෙනියන්නේ නැහැ. ගොඩනැගිලි රංගශාලා පහසුකම් පමණක් දියුණු වීම නමෛයි මිනිස්සු පවා දියුණු වෙන්න ඕන කියා මා සිතනවා. නාට්‍ය නැරඹීමේ පුරුද්ද වර්ධනය විය යුතුයි.
අයේෂා ප්‍රසාදි වික්‍රමසිංහ
ayeshawickrama@gmail.com
http://www.rivira.lk/edition/images/2014/04/27/jayalath%20manorathna%20(1).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය