Powered by Blogger.


දෙවියන් මිනිසුන් සහිත මේ ලෝකයේ අපිරිසුදු කිසිවක් අගය කරන්නේ නැත. පිරිසුදු වූ හැම දෙයක්ම, හැම කෙනෙක්ම අගය කරති. කසී සළුවක් වුනත් අපිරිසුදු වී ඇත්නම් වටින්නේ නැත. කපු පුළුන් වලින් සකසන ලද රෙද්ද පිරිසුදු නම්, ඊට වඩා වටිනව. එමෙන්ම දුසිරිත් වලින් අපිරිසුදු වු ජීවිතයද වටින්නේ නැත. පිළිකුල් කරන්නේය. යහපත් සිරිත් වලින් පිරිසුදු වූ ජීවිතය දෙවියන්, මිනිසුන් සහිත ලෝකයාගේ ගෞරවයට පත් වන්නේය. එම නිසා බුදුදහමට අනුව පිරිසුදු ජීවිතයක් ගත කරමු.
බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සමස්ත ලෝකයාගේ ගෞරවයට, වන්දනාවට, භාජනය වූයේ සියලු කෙලෙස් ප්‍රහීණ කොට උතුම් ගති ගුණවලින් පිරිසුදු කරගත් යහපත් ජීවිතයක් තිබූ නිසාය. එම නිසා අපගේ ජීවිතයද යම් පමණකට පිරිසුදු නම්, එයද උසස් වෙයි. අගය කරයි. එම පිරිසුදු බව අපට ලබා ගත හැක්කේ ඇඳුම් පැළඳුම් ආදි බාහිර අලංකාර වලින් හෝ ඉඩකඩම් , වතුපිටි ආදි භෝග සම්පත් වලින් හෝ නිලතල වලින් හෝ නොව පිරිසුදු චරිතයෙන්ය. සත්වයා අපිරිසුදු වීමට හා පිරිසුදු වීමට මුල්වන්නේ සිතය. අපිරිසුදු සිතින් කරණ දුශ්චරි ක්‍රියා වලින් පුද්ගලයාගේ දෙලොව පිරිහෙයි. ඒ බව, ධම්ම පදයේ මල වර්ගයේ සඳහන්
මලිත්ථියා දුච්චරිතං
මච්ඡෙරං දදතොමලං
මලාවෙ පාපකා ධම්මා
අස්මිං ලොකෙ පරම්හිච

ස්ත්‍රියට නරක චරිතය මලයකි. දෙන අයට මසුරුකම මලයකි. සියලු අකුශලයෝ මෙලොව පරලොව දෙකම කිලුටු වීමට හේතුවෙයි. එම සියලු කිලුටු වලට වඩා විශාලම මලය හෙවත් කිලුට වන්නේ අවිද්‍යාවය. එම නිසා මහණෙනි! ඔබ හැම දෙනාම අවිද්‍යාව නමැති කිලුට දුරු කර පිරිසුදු වන ලෙස
තතොමලං මළකරං
අවිජ්ජා පරමං මලං
එතං මලං පහත්වාන
නිම්මලා හොත භික්ඛවො

යන ගාථාවෙන්ද පැහැදිලි වෙයි.එසේ කෙලෙසුනු සිතින් කරණ දුශ්චරිත පුද්ගලයාගේ කෙලෙසීමට හේතුවන අයුරු මෙසේ විස්තර වේ.
ස්ත්‍රියට දුශ්චරිතය කිලුටක් වන්නේ මෙසේය. ලස්සන රූපයෙන් යුක්ත වුනත් විවිධ මුතු මැණික්, රන්, රිදී ආදියෙන් සිරුර සරසාගෙන තිබුණත් අනාචාරයෙහි හැසිරෙණ ස්ත්‍රිය අගය කරන්නේ නැත. එවැනි ස්ත්‍රියට හැමදෙනාගේම අපහාසය ලැබෙයි. මෙහි මුලින් සදහන් කළ ගාථාවන්ගෙන් ප්‍රකාශවන විස්තරය මෙහි කෙටියෙන් සඳහන් කරමි.
ස්ත්‍රියට දුසිරිත කිලුටකි
දුශ්චරිතය යනුවෙන් හඳුන්වන්නේ නරක හැසිරීමය. එවැනි තැනැත්තියට යහපත් චරිතයක් ඇති අය ගරු නොකරයි.පිලිකුල් කරයි.කිලුටු චරිතයක් ඇති භාර්යාව නිසා අඹුසැමියන් අතර සමගිය, සමාදානය දියුණුව ඇති නොවේ. එම නිසා පවුල්අවුල් වීමටත්, දරුවන් නොමග යාමටත්, තමන්ගේ මෙලොව, පරලොව පිරිහීමටත් අනාචාරය හේතුවන බව තේරුම්ගෙන සැම ස්ත්‍රියක්ම පතිවත මනාව රැක ගන්නට සිතිය යුතුය. එවිට පිරිසුදු ජීවිතයක් ඇතිකර ගත හැකිය.

දන් දෙන අයට ලෝභය කිලුටකි
ලෝභය යනු තමන්ගේ සම්පත් අන් අයට නොදී,නොපෙනෙනසේ සඟාව තබා ගැනීමේ චේතනාවයි. යම් අවස්ථාවක දන්දෙන්නට සිතන විට යටි සිතේ තැන්පත් වී ඇති දැඩි ලෝභ සිතිවිල්ල මතු වී පරිත්‍යාග චේතනාව කිලිටි කරයි. තමන්ට ලැබෙන දේපළ වලින් ප්‍රයෝජනය ගන්නා ක්‍රම දෙකක් ඇත.එනම් තමන්ගේ යහපත සඳහා පරිභෝග කිරීම සහ අන් අයගේ යහපත සඳහා පරිභෝග කිරීම සහ අන් අයගේ යහපත සඳහා පරිත්‍යග කිරීමය. යමෙක් මෙම ක්‍රම දෙක අනුගමනය නොකරන්නේ නම් ඔහුගේ දේපළ වලින් කිසිම ප්‍රයෝජනයක් නැත්තේය. මේ බව නොදත් මනුෂ්‍යයන් තමන් දුකසේ සපයාගත් දෙය දැඩි ලෝභයෙන් පොදි බැඳගෙන නැති බැරි අයට පරිත්‍යාග නොකර දන්දීම ආදි පින්දහම් නොකර හිස් අතින් පරලොව යති.
සමහර මසුරෝ තම ඤාතීන්ටවත් තම දරු මුණු පුරන්ගේ යහපත සඳහාවත් පරිත්‍යාග නො කරති. ඤාතීන්ට සංග්‍රහ කිරීම උතුම් මංගල කරුණකි. තම දරුවන්ට පරිත්‍යාග කිරීමද යුතුකමකි. මංගල කරුණකි. දන්දීමද දෙව්ලොව යාමට හිණිමගක් බව දානං සග්ගස්ස සොපානං” යන දේශනාවෙන් පැහැදිලි වෙයි. මෙම කරුණු අවබෝධ කරගෙන දැඩි ලෝභය දුරුකරගෙන නිවන් දකින තුරු පිරිසුදු ජීවිතයක් ගතකර ගන්නට අදිටන් කර ගනිමු.
අකුසල නිසා දෙලොවම කිලුටු වෙති
සතුන් මැරීම,සොරකම් කිරීම ඇතුළු පස් පව් සහ දස අකුසලයන් පාප කර්මයන්ය. එම සියලුම පව් මනුෂ්‍යයාගේ කිලුටු වීමට හේතු වේ. මෙවැනි පාපයන් යමෙක් කරන්නේ නම් ඔහු මෙලොවදීම දුකට පත්වෙයි. සිල්වත්, ගුණවත් උතුමන්ගේ පිළිකුලයට භාජනය වෙයි. මරණින් පසු සතර අපායවල ඉපදී අනන්ත දීර්ඝ කාලයක් දුක් විදියි.
යමෙක් යම් පාපයක් කළේ නම් එහි විපාකයෙන් මිදීමට අහසෙහිද තැනක් නැත. මුහුද මැදද තැනක් නැත. පර්වත කුහරයක්වත් නැත. මහපොළවෙහිවත් තැනක් නැත.මේ බව බුදුපියාණන් වහන්සේ දේශනා කරණ ලද ධම්මපදයේ පාප වර්ගයේ එන
න අන්තලික්ඛේ න සමුද්දමජ්කේධ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්ප දෙසො
යත්තට්ඨිතො මුඤ්චෙය්‍ය පාපකම්මා

යන ගාථාවෙන් පැහැදිලි වෙයි. එම නිසා දෙලොවම කිලුටු වන අකුශලයන් නොකර ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සහ දශ පින් කිරියවත් ආදිය කරමින් පිරිසුදු ජීවිතයක් ගත කරමු.
අවිද්‍යාව මහා කිලුටකි
අවිද්‍යාව යනු නොදන්නා කමය. එනම් දුක ගැන නො දැනීම, දුකට හේතුව ගැන නො දැනීම, දුක නැති කිරීම ගැන නො දැනීම, දුක නැති කිරීම සඳහා අනුගමනය කළ යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන නොදැනීම යන සතර ආර්ය සත්‍ය ගැන නොදන්නා කමය. එසේම නැවත උපදින බව සහ නැවත ඉපදීමට හේතු පැහැදිලි කර ඇති පටිච්ච සමුප්පාද ධර්මය ගැන නොදන්නා කමද අවිද්‍යාවය. එසේම , කය, වචනය, සිත යන තිදොරින් කුසල් නොකර, අකුසල් කරන්නේත් අවිද්‍යාව නමැති මෝඩකම නිසාය. එසේම සත්වයා පස්කම් සැපයට පොලඹවන්නේත් සත්වයාගේ චිත්තසන්තානය විවිධ කෙලෙස් වලින් දූෂණය වන්නේද මෙම අවිද්‍යාව නිසාය.
එම නිසා, මෙහි ඉහත සඳහන් කරණ ලද සියලුම කිලුටුවලට වඩා අවිද්‍යාව මහා කිලුටක් බව පැහැදිලි වෙයි. සියලු දුක්වලට මුල්වන්නේද අවිද්‍යාවය. එම නිසා අවිද්‍යාව නැති කරගෙන ප්‍රඥාව වර්ධනය කරගෙන,ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරමින් පිරිසුදු ජීවිතයක් ගත කරන්නට උත්සාහ ගනිමු.
පිරිසුදු වන්න
ඉහත සඳහන් කරණලද සියලු කිලුටු වලින් සත්වයාගේ සිත අපිරිසුදු වෙයි. එවිට ඔහුගේ දෙලොවම අනන්ත දුක්වලින් පිරී පවතී. එම නිසා සිතේ හටගත් සියලු කිලුට සෝදා හැර නියම පිරිසුදු ජීවිතයක් ඇතිකර ගනිමු.මේ බව ධම්මපදයේ ‘මල වග්ගයේ එන
අනු පුබ්බේන මෙධාවි
ථොක ථොකං බණෙ බණෙ
කම්මාරො රජතස්සෙව
නිද්ධමෙ මල මත්තනො

මෙම ගාථාවෙන් පැවසෙන ආකාරයට පණ්ඩිතයා රන්කරුවා රිදියෙහි මලකඩ සුද්ධකරන්නාක් මෙන්,මොහොතක් පාසා ටිකෙන් ටික පිළිවෙළින් තමන්ගේ් කෙලෙස් මල ඉවත් කරගෙන සෝවාන් ආදි මග ඵල ලබාගෙන, පිරිසුදු ජීවිතයක් ගත කරමු

මනුෂ්‍යයා ලැබිය යුතු දුර්ලභ කරුණු සතරක්



ඒ වුණාට දුර්ලභයි. මැරිලා හොඳ තැනකට යන්න තියෙනව නම් හොඳයි. දුර්ලභයි. ඉතින් මේ දුර්ලභ කාරණා පහ ගැන හිතන්න. දැන් අපේ බෞද්ධයන් අපට පෙනෙනවා.
නොයෙක් තැන්වල මේ කාරණා ප්‍රාර්ථනා කර කර යාඥා කර කර යන හැටි, බලන්න කොච්චර පින්වතුන් දේවාල වලට යනවාද? දේවාල වලට ගිහිල්ලා මොකද කරන්නේ? ප්‍රාර්ථනා කරනවා, ලැබේවා ලැබේවා ලැබේවා කියල , බලන්න දේවාල වලට යන පින්වතුන්,ඒ වාගේම නොයෙක් නොයෙක් තැන්වලට යාතිකා කරන්න යන පින්වතුන් ඔය හැම දෙනාම මොනවටද මේ යන්නේ කියල පොඩ්ඩක් හිතන්න.මේ ගිහිල්ලා මොනවාද ප්‍රාර්ථනා කරන්නේ. මේ ප්‍රාර්ථනා කරන දේවල් අතර අර කියන ලද කාරණා පහට අයිති නොවන යමක් තිබෙනවාද? මොනවද ඒ කාරණා පහ කියල මම නැවත මතක් කරලා දෙන්නම්. ආයුෂ, වර්ණ සැප, යසස, ස්වර්ගය, මැරිල හොඳ තැනකට යන්න ලැබේවා කියන කාරණය. ඔය ප්‍රාර්ථනා කරන දේවල් අතර මේ පහට අයිති නොවන මොකක්වත් තිබෙනවාද? නැහැ පින්වත්නි, හැම දෙයක්ම මේ පහට අයිති වෙනවා. එහෙනම් බලන්න බුදුහාමුදුරුවන් දේශනා කළේ මොකක්ද කියලා. මේ කාරණා පහ ආයාචනා හේතුවෙන් වත් ප්‍රාර්ථනා හේතුවෙන්වත්, ලබන්නට බැහැ. කියල මම දේශනා කරනවය, එහෙම ලබනවා නම් කො ඉධ කෙන හායෙත මේ ලෝකයේ කාට මොකකින් අඩුවක් වෙයිද කියලයි බුදුහාමුදුරුවො අහන්නේ. ඔය ප්‍රාර්ථනා කරන දේවල්. අනේ මට පිහිට වෙන්න, පිහිට වෙන්න කියල එක එක්කෙනාගෙන් දේවල් ඔය ආකාරයෙන් ලැබෙනවා නම් කාට මොකකින් අඩුවක් වෙයිද කියල බුදුරජාණන් වහන්සේ අහනවා. පින්වත්නි, ඒක වෙන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ අනතුරුව දේශනා කරනවා ‘න ඛො ගහපති අරිය ශාවකෙන අයුං ආයාතිතුංවා අභිනන්ධිතුංවා ‘ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් මේ ආයුෂයට වුණත් තෘෂ්ණා කරන්නට එපා.
ආයුෂය වුණත් ප්‍රාර්ථනා කරන්නට එපා. ආයුෂ විතරක් නොවෙයි අනෙක් කාරණා පහටත් ඒ විධියටමයි සැප, යසස, කීර්ති, ප්‍රසංශා යන මේවා මොකක්වත් ප්‍රාර්ථනා කරන්න එපා. එහෙම ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කාරණා පහ ලබන්නට ඕනැ නම්, ලැබේවා කියල හැගීමක් තියෙනවා නම් තමන් විසින් කළ යුත්තේ, ආයුෂ ප්‍රාර්ථනා කරනවා නම් ආයුෂ ලැබෙන්නට ප්‍රතිපදාවක් තිබෙනවා. ඒ ප්‍රතිපදාව පුරන්න. මේ ඔක්කොම ප්‍රතිපදාව කැටි කරලා ගත්තාම තමයි, දාන, ශීල, භාවනා කියල අපි කියවන්නේ.ආයුෂ ලැබෙන්නට නම්,ආයුෂය කියල කියන්නේ තමන්ගේ ජීවිතය දිගු කලක් පවතීවා කිියල කියන එකනේ. අනුන්ගේ ජීවිත කෙටි කරන්න එපා. ඒ කියන්නේ සත්ත්ව ඝාතනයෙන් වළකින්න කියන එකයි. තමන් නීරෝගීව ඉන්නට කැමති නම් අනුන්ගේ ශරීරවලට දුක් දෙන්නට එපා. සත්ත්ව හිංසාව කරන්නට එපා. එතකොට තමන්ට නීරෝගී බව ලැබෙනවා. පින්වත්නි,අප හැම දෙනාම සසර සැරිසරාගෙන එම කාලයේදි හොඳ දේවලුත් කරනවා. නරක දේවලුත් කරනවා. මේ අපි කරන හොඳ දේ නරක දේ තමයි කර්මය වශයෙන් අප පසුපස එන්නේ.
බලන්න, අපි හොඳ කර්මයක් නිසා මනුෂ්‍ය ආත්මභාවයක් ලැබුවා. ඒ එක්කම ඒ මනුෂ්‍ය ආත්මභාවයෙහි දුර්වලකම් තිබෙන්නට පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට රෝගීයි. සමහර වෙලාවට අල්පේශාක්‍යයි,මහේශාක්‍ය ආදි හොඳ පැත්තට යනකොට තමන්ට හොඳ කර්ම ඒ වාගේම අනෙක් දුර්වල පැත්තට එනකොට නරක කර්ම. එකම ජීවිත කාලයේ හොඳ නරක දෙපැත්ත විපාක දෙනවා. නමුත් ඒකාන්තයෙන්ම මේවා විපාක නොදී පිරිනිවන් පාන්නෙත් නැහැ කියල දේශනා කළා. නමුත් බොහෝ කර්ම හොඳ කර්මවලින් යටපත් කරන්නට අපට පුළුවන්. ඒ නිසයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යමෙකුගේ කරන ලද පාප කර්මයෝ වෙත්නම් එය කුසලයෙන් වහලා දමන්නට කියල කිව්වා. ඒ වගේම යමෙකුගේ කුශල ශක්තීන් තිබෙනවා නම් අකුසල් කරනකොට කුශල ශක්තීනුත් වැහිලා යනවා.
යමෙකුගේ් උදාර වූ අධ්‍යාත්මික ගුණ වගාවක් තිබෙනවා නම් ඒ ගුණ වගාවට ඒ ගුණයට උපහාර වශයෙන් තමයි අපි පූජා පවත්වන්නේ. ඉතින් ඒ ගුණය ගැන තමයි, ශීල, සමාධි, ප්‍රඥා කියල කියන්නේ. යම්කිසි ආකාරයකින් පුදන ලද්දක් වෙයි නම් ඒ පුදන ලද්ද මහත් ඵල මහානිසංශ වෙනවා නම් ඒ ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන්, ඒ ප්‍රතිග්‍රාහකයා ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන යන පංචාංගයන්ගෙන් යුක්ත විය යුතුයි. ඒ පංචාංගයන්ගෙන් ඉහළටම ගිය තැනැත්තා බුදුරජාණන් වහන්සේයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා තියන පූජාව ශ්‍රේෂ්ඨයි කියල දේශනා කළා. පින්වත්නි ඒ බුද්ධ පූජාව හැමදාම ගෙදරක තියන්න.මේ බණ අහන පින්වතුන් අද ඉඳලා ගෙදරක බුද්ධ පූජාව තියන්න අද ඉදලා පටන් ගන්න. ඒ තියන පූජාව තියන්න පුළුවන් ඉහළම මට්ටමින් තියන්න. සමහර වෙලාවට උදේ වැඩට යන්න ලෑස්තිවෙලා තියන්න පුළුවන් ඒ ඉහළම මට්ටම තේ කෝප්පයක් වෙන්නට පුළුවන්. කමක් නැහැ. තියන එක ඉහළම මට්ටමින් තියන්න. සමහර වෙලාවට ගෙදර ඉන්න වෙලාවට පුළුවන් නම් බුදුහාමුදුරුවන්ගේ අනන්ත වූ ගුණය සිහිපත් කරගෙන හොඳට හරිගස්සලා බුදුරජාණන් වහන්සේට දානයක් තියන්න. ඒක සමහර වෙලාවට තමන්ට පුළුවන් ආකාරයෙන්, සමහර වෙලාවට සම්බෝලයි බතුයි වෙන්නට පුළුවන්.
ඒත් කමක් නැහැ. තමන්ට තිබෙන ඉහළම මට්ටම ඒක නම් ඒ විධියට තියන්න. ඒ නිසා කවදාවත් බුද්ධ පූජාව දුර්වල කරන්න එපා. ඉතාම ශ්‍රද්ධාවෙන් ඒක කරන්න. බුදු ගුණය සිහි කරගෙන ඒක කරන්න.
ඇයි එහෙම කරන්න කියන්නේ. ඒ ටිකත් මේ පින්වතුන්ට වටහලා දෙන්නට ඕනෑ. අපි ‘නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස’ කියල කියනවා. භගවතො කියල කියන්නේ භග්ගරාගො භග්ගදොෂො භග්ගමොහො’ බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා.ද්වේශය දුරු කළා. මෝහය දුරු කළා. ඒ රාග ද්වේශ මෝහ දුරු කළ නිසා භගවා කියල කියනවා. ඒ වාගේම අරහං කියල කියනවා. ඒ රාග ද්වේශ මෝහ දුරු කරලා නික්ලේශී බවට පත් වුණූ නිසා දෙවි මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට නිසි වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරහං අරහං ගුණයට තමයි අපි මේ උපහාරය කරන්නේ. ඒක සුළු දෙයක් නොවෙයි. ඒ අරහං ගුණයට කරන්න පුළුවන් උපහාරය ඉහළම මට්ටමින් කරනකොට තමන්ගේ හදවතෙන් එන්නේ බෞද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් තමන් දන්නවා තමන් යා යුතු මඟ,ලෝභ ,ද්වේශ,මෝර දුරු කිරීමේ මාර්ගයයි කියලා. ඒ බවම තමයි තමන්ගේ මනසට එන්නේ. මා බුදු පුද කරනකොටම බුද්ධ පූජාව කරනකොටම තමන්ගේ හදවතේ තිබෙන ලෝභ, ද්වේශ,මෝහ යටත් වෙලා. අලෝභ, අද්වේශ,අමෝහ කියන කුශල ශක්තීන් ඉස්මතු වෙනවා. හැමදාම අප්‍රමාණ වූ කුසල ස්කන්ධයක් මේ ආකාරයෙන් රැස් කරනවා. මෙන්න මෙහෙම රැස් කරන කුසලස්කන්ධය දෙවියන්ට අනුමෝදන් කරන්න. ස්ථාන ආරක්‍ෂා කරන දෙවියන් ඉන්නවා. ඒවාගේම ඉෂ්ට දේවතාවන් දන්නවා. ඒ වාගේම ශාසනාරක්‍ෂක දෙවිවරුන් ඉන්නවා. ඒ දෙවිවරුන්ට අනුමෝදන් කරන්න. ඒ දේවතාවන්ට අනුමෝදන් කරන විට දෙවියන් සතුටු වෙනවා.
කුසල් ටිකක් රැස් කරලා ‘ආකාසට්ඨාච භුම්මට්ඨා’ කියල දෙවියන්ට පිං අනුමෝදන් කරන්න.මෙන්න මේ දේ සිද්ධ වෙනවා.මේ ටික කියල දෙන්න ඕනෑ. ඒ පිං අනුමෝදන් කරනකොට බුදු දහමේ සූත්‍රවල සඳහන් වෙනවා.පොහොය දවසට දෙවිවරුත් දෙව්ලොව සුධර්මා දිව්‍යසභාවේ රැස් වෙනවා කියල කියනවා. දිව්‍ය ලෝකයේ පිරිහීමත්, දිව්‍යලෝකයේ දියුණුවත් කියන කාරණය සාකච්ඡා කරන්නට. එතකොට මේ යන භූමාටු ,ආකාසට්ඨාච ආදි වූ දේවතාවෝ එහි සඳහන් කරනවා. මෙන්න අප ඉන්න තැන්වල මේ ඇත්තෝ දන් දෙනවා. සිල් රකිනවා. භාවනා කරනවා යනුවෙන් ඒ ඇත්තන්ගේ කුසල ශක්තීන් ගැන කියනකොට දෙවියන් සතුටු වෙනවාය,සතරවරම් දේවතාවෝ පවා ලෝකය සිසාරා යනවා.ඒ ඇත්තන්ගේ පිංඅනුමෝදන් වෙන්නට, එතකොට ඒ ඇත්තන්ට ආශිර්වාද කරනවාය කියනවා. මෙන්න මේ විධියට තමයි දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නේ. කුසලයක් කළාම ඒ කුසලය කරපු තැන දෙවියන්ට පිංදෙන්න. යා තක්ඛ දෙවතා ආතුං තාසං දක්ඛිණ මාදිසෙ එහි දේවතාවෝ ඇත්නම් ඒ දෙවියන්ට මේ පුණ්‍ය දක්‍ෂිණාව දෙන්නට. එතකොට දෙවියෝ ඒ ඇත්තන්ට ආශිර්වාද කරනවාය. දේවතානුකම්පිතො පොසො සදා භද්‍රාන පස්සති. එසේ දෙවියන්ගේ අනුකම්පාව ලබන තැනැත්තාට හැමදාම යහපත සැලසෙනවාය. ඒ නිසා පින්වතුනි, යහපත දකින්නට කැමති නම් හැමදාම වෙන කුසලයක් නොවෙයි. හැමදාම මේ බුද්ධ පූජාව තියන්න. තියලා දෙවියන්ට පිං දෙන්න. කවුරු හරි කියයි අනෙ ඕක වැරදුණොත් හොඳ නැහැයි කියල. පින්වතුනි, භය පෙන්නන්නට එපා. බුදුහාමුදුරුවෝ කාත් එක්කවත් තරහ වෙන කෙනෙක් නොවෙයි. දවසක් දෙකක් වැරදුණත් අමතක වුණත් ඒකේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. තමන් හොඳ ගුණයක පිහිටා පන්සිල් රකින්නට උත්සාහ කරමින් හැමදාම මේ බුද්ධ පූජාව තියල දානය දෙන්න. ඥාතීන්ට මිය ගිය ඇත්තන්ට පිං දෙන්න. තමන් හොඳට කුසල් රැස් කරන්නට අලෝභ,අදෝශ,අමෝහ චේතනා තමා තුළ දියුණු කරගන්න. එයින් තමයි තමන්ට වාසනාව පෑදෙන්නේ. මේ ධර්මය තමන්ගේ වෙන දෙයක් නොවෙයි.
මෙම ලිපියේ මුල් කොටස අපේ‍්‍රල් 22 වනදා පත්‍රයේ පළවිය.

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ දහම් දෙසුමක් ඇසුරෙනි

සම්බුදු සසුන බැබළ වූ අස්ගිරි මහා නාහිමි



ධර්ම විනයානුකූලව භික්‍ෂූන්ට ශාසනික තනතුරු ලබාදීම ඇරඹුණේ බුදුරජුන් ජීවමාන කාලයේදීම ය. ලක්දිව අනුරාධපුර මහා විහාර සම්ප්‍රදාය තුළ ද ශාසනික තනතුරු පැවතුණි. පොළොන්නරු යුගයෙන් පසු බුදුසසුන හා භික්‍ෂු සමාජය සුරැකීම සඳහා වරින්වර ශාසනික කතිකාවත් සකස් කෙරුණ අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන මාහිමි, මහාසාමි, ගණනායක, සංඝරාජ, මහනායක යනුවෙන් භික්‍ෂු නායකත්වයක්ද බිහිවිය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු රාජ්‍ය වර්ෂ 1753 දී වැලිවිට ශ්‍රී සරණංකර මාහිමියන්ට ශාසනික නායකත්වය පවරමින් සංඝරාජ තනතුර පිරිනැමුවේය. අස්ගිරි හා මල්වතු මහා විහාර පාර්ශ්වයන් සඳහා උප සඟරජවරුන් ලෙස මහානායක තනතුරු පත්කිරීම ද ඒ සමඟ ම සිදුවුණි. සංඝරාජ තනතුර අහෝසි වීමෙන් පසු එම පදවියේ අනුප්‍රාප්තික බලය පැවරුණේ උභය මහා විහාරීය මහනාහිමිවරුන්ට ය. ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ ආගමික කටයුතු පවත්වාගෙන යාම, බුදුසසුනේ පැවැත්මට කටයුතු කිරීම හා රාජ්‍ය පාලකයන්ට යහ පාලනයට උපදෙස් දීම මහනාහිමිවරුන්ගේ ප්‍රධාන වගකීම් ය.
සත්සිය වසරකට වඩා පැරැණි මහනුවර අස්ගිරි මහ වෙහෙර සඟ පරපුරේ 19වන මහානායක තනතුර හෙබවූයේ අතිපුජ්‍ය පලිපාන ශ්‍රී චන්දානන්ද මාහිමියන් විසිනි. උන්වහන්සේ උපත ලැබුවේ 1914 වසරේ මහනුවර පූජාපිටියේ පලිපාන ගමෙහිදීය. ඒ පිළිබඳ ජන්ම ශත සංවත්සරය යෙදී ඇත්තේ මෙම වසරටයි. අතිපූජ්‍ය මුල්ලේගම ශ්‍රී ගුණරතන මහානාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස දහතුන් හැවිරිදි වයසේ දී පැවිදි වූ උන්වහන්සේ 1975 වසරේ දී අස්ගිරි පාර්ශ්වයේ මහානායක පදවියට පත්වූහ. පලිපාන ශ්‍රී චන්දානන්ද මාහිමියෝ 1999 නොවැම්බර් 08 දින අපවත්වූහ. උන්වහන්සේගේ ශ්‍රී නාමය අස්ගිරි මහා විහාර වංශයේ සටහන් වන්නේ තමන් වහන්සේ වෙත පැවරුණ ජාතික හා ශාසනික වගකීම් නොපිරිහෙලා සපුරන ලද උතුම් සඟ පියතුමකු වශයෙනි.
බුදුසිරිපා පහස ලද මහියංගණයේ දාගැබ හා විහාරය පිළිසකර කොට එම ප්‍රදේශය මනහර පුදබිමක් බවට පත්කිරීමේ කාර්යය අතිපූජ්‍ය පලිපාන ශ්‍රී චන්දානන්ද මහනාහිමියන් ඉටුකළේ උන්වහන්සේගේ තරුණ වියේදීය. මහියංගණය තම පරපුරේ ඓතිහාසික නිජබිම වූ බැවින් ඩී.එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක අගමැතිවරු මහියංගණ විහාර සංවර්ධනයට පෞද්ගලිකව ම සහයෝගය දුන්හ. ඒ හේතුවෙන් අතිපූජ්‍ය මහානාහිමියන් හා ඔවුන් අතර සමීප ආශ්‍රයක් ඇතිවුණත්, එය පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා නොව පොදු යහපත සඳහා යොදාගන්නට උන්වහන්සේ නිතරම ක්‍රියා කළහ. ඒ නිසාම සිංහල ජාතියේ හා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා දේශපාලන ක්‍ෂේත්‍රයට බලපෑම් කළහැකි උදාර පෞරුෂයක් ක්‍රමානුකූලව උන්වහන්සේ තුළ ගොඩනැඟුනි.
පසුගිය සියවසේ අවසාන දශක කීපය තුළ, ශ්‍රී ලංකා රාජ්‍යය හා සම්බුද්ධ ශාසනය පිළිබඳ මහ සඟරුවන සතු සාම්ප්‍රදායික බලය මුළුමනින් ම ගොනු වී තිබුණේ පලීපාන චන්දානන්ද මහනාහිමියන් වටා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ජාතික හා ආගමික ප්‍රශ්නයක් මතු වූ විට අස්ගිරියේ මහානායක හාමුදුරුවන් මේ ගැන කියන්නේ කුමක්දැයි? දැනගන්නට රටවැසියෝ පුරුදු වී සිටියහ. සෙසු නිකායික මහනාහිමිවරුන් ද සියලු ජාතික ප්‍රශ්නවල දී උන්වහන්සේ පෙරමුණේ තබාගත්තේ ඉමහත් විශ්වාසයකිනි. එයට හේතුව විවිධ ගැටලු නිරාකරණය කිරීම සඳහා පලිපාන මහනාහිමියන් තුළ පැවැති හසළ දැනුම හා අර්බුදවලට නොසැලී, සෘජුව මුහුණදීමේ උදාර ගුණයයි. එය විදේශිකයන් පවා පිළිගත් කරුණකි.
1985 වර්ෂයේ Far eastern Economic Review  ජාත්‍යන්තර සඟරාවේ කලාපයක රොඩ්නි ටාස්කර් නමැති වාර්තාකරු මෙසේ සටහන් කොට ඇත.
“අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය පලිපානේ චන්දානන්ද හිමියන් බෞද්ධයන් කෙරෙහි මහත් බලපෑමක් කරන බවට කිසිදු සැකයක් නොමැත. ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් නිවහල් ප්‍රකාශ කරන පුද්ගලයා මුන්වහන්සේයි.”
කවර තරාතිරමේ කෙනකු වුව ද, සිදුකරන වරද වරදක් වශයෙන් දැකීමටත්, ඒ ගැන තම අදහස් එඩිතරව ප්‍රකාශ කිරීමටත් උන්වහන්සේ මැළි නොවූහ. 1977 වසරේ රජය බලයට පත්වීම සඳහා උන්වහන්සේ ආශිර්වාද කළහ. එහෙත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පුරවැසි අයිතිය අහිමිකිරීම බලවත් අපරාධයක් හා පළිගැනීමක් බව උන්වහන්සේ පැවසූහ. 1987 ඉන්දුලංකා ගිවිසුමට එරෙහිව ගිහි පැවිදි පිරිස පෙළ ගැස්වූයේ අස්ගිරි මහානාහිමියන් ය. එහෙත් භික්‍ෂුන්ට සවන් නොදී ගත් හිතුවක්කාර තීරණවල ප්‍රතිඵලය වුණේ දහස් ගණනක් සිංහල තරුණයන් හා දේපළ අහිමිවීමයි.
1990 ලන්ඩනයේ දී සිදු කෙරුණු ඉතා බරපතළ සැත්කම් කීපයක් සාර්ථක වූ නිසා තවත් වසර ගණනාවක් අපේ මහනාහිමියන්ගේ සේවය ලබාගන්නට ජාතියට වාසනාව ලැබුණි. එම සැත්කම සිදුවුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ විශේෂ උපකාරයෙනි. මහනාහිමියෝ ඒ ගැන නිතර කෘතඥතා පූර්වකව සිහිපත් කළහ. නමුත් දළදා ප්‍රදර්ශනයක් පැවැති අවස්ථාවක ජනාධිපතිවරයා උන්වහන්සේගේ කනට කොඳුරා දළදාව තමන්ගේ සුරතට ලබාදෙන ලෙස ඉල්ලුවේය. දළදාව මොහොතකට හෝ අන්සතු කිරීම චාරිත්‍ර විරෝධී නිසා උන්වහන්සේ නිහඬව සිටියහ. ජනාධිපති තනතුරට හෝ හිතවත්කමට හෝ යටත්ව උන්වහන්සේ ක්‍රියා නොකළහ. කොටි ත්‍රස්තවාදීන් වැනසූ දළදා මාලිගාව නැවත ගොඩනඟන අවස්ථාවේ එක්තරා මුස්ලිම් ඇමැතිවරයෙක් ඒ සඳහා ආධාර මුදලක් දීමට සැරසුණි. අපි අපේ බෞද්ධයන්ගේ මුදල්වලින් එය සාදා ගන්නම්. අන්තිමේට ඔබතුමන්ලා කියයි මාලිගාව හැදුවෙත් අපේ සල්ලිවලින් කියලා. එසේ කියමින් උන්වහන්සේ එම මුදල් ප්‍රතික්ක්‍ෂේප කළහ.
අතිපූජ්‍ය චන්දානන්ද මහනාහිමිපාණන්ගේ ජීවිතය ඉතා සරල ය. අස්ගිරි විහාරයේ “මුල්ලේගම පන්සල” නමින් හැඳින්වෙන පැරණි ආවාසය උන්වහන්සේගේ නිවහනයි. තුනී ලෑලිවලින් වෙන්කළ කුඩා කාමරය උන්වහන්සේගේ කාර්යාලයයි. අලුයම 4.30 ට අවදිව සියතින්ම යතුරු ලියනයෙන් ලිපි ලේඛන සැකසීම මහනාහිමියන්ගේ දිනචරියාවේ කොටසකි. කිසිවකුට අභියෝග කළ නොහැකි උන්වහන්සේගේ අදීන, නිශ්චිත හා නිරවුල් අදහස් ඒ ලිපි ලේඛනවල ඇතුළත් වුණි. පොදු සමාජ කරුණු, සිදුවීම්, රජයේ අණපනත් ආදිය ගැන උන්වහන්සේට තිබුණේ හසළ දැනුමකි. දිනපතා පුවත්පත් හා ලැබෙන ලිපි කියවා වැදගත් ලිපි හා වාර්තා වෙන්කර උන්වහන්සේගේ අතින් ම ලිපිගොනු සැකසීම සිරිතකි. වගකීම් දරන භික්‍ෂූන් වශයෙන් රටේ ජාතික හා ආගමික තත්ත්වය පිළිබඳ නිතරම අවදියෙන් සිටිය යුතු බව උන්වහන්සේ අපට කියා දුන්හ. කුමන කාරණයක් ගැන වුවත්, පදනමක් ඇතිව කතා කරන්නට හා ලියන්නට උන්වහන්සේට හැකිවුණේ ජාතික හා ආගමික විෂය බද්ධ කාරණා පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන වූ දැනුමක් තිබුණ බැවිනි. විවිධ ප්‍රශ්න ගැන කතා කරන්නට පැමිණෙන අයට උන්වහන්සේ කරුණු දැක්වූයේ විෂයයට අදාළ සියලු තොරතුරු, අන පනත් ආදිය ඉදිරිපත් කරමිනි. සංස්කෘතික ත්‍රිකෝණය මඟින් පොළොන්නරුවේ පුදබිමේ බද්ධ සීමාව මත ජල ටැංකි ඉදිකරමින්, බුදුපිළිම හා බිතුසිතුවම් වනසමින් සංස්කෘතිය සෝදාපාලු කරන විට මහනාහිමියෝ එහි වැඩම කොට ඒවා වැළැක්වූහ. බෞද්ධයන් බලහත්කාරයෙන් අන්‍යාගම්වලට හැරවීමට එරෙහිව දැවැන්ත මෙහෙයක් සිදුකරන ජයග්‍රහණය ශ්‍රී ලංකා සංවිධානය බිහිවුණේ උන්වහන්සේගේ අනුශාසකත්වයෙනි. නායකත්වයක් ගොඩ නඟාගැනීම සඳහා භික්‍ෂූන් වශයෙන් අපට ආදර්ශයට ගතහැකි උදාර චරිත ලක්‍ෂණ රාශියක් අතිපූජ්‍ය පලිපාන චන්දානන්ද මහනාහිමියන් තුළ පැවතුණි.
පලිපාන ශ්‍රී චන්දානන්ද බෞද්ධ පර්යේෂණ ආයතනය මහ නාහිමිපාණන්ගේ ශාස්ත්‍රීය සේවයට සංකේතයකි. එය ඇරඹුවේ විශේෂයෙන් දසසිල් මෑණිවරුන්ට දහම් දැනුම ලබාදීම සඳහා ය. එම සේවාවේ ඉදිරි පියවරක් වශයෙන්, තම ගුරු පියාණන්ගේ ශ්‍රී නාමය අනුස්මරණය කරමින් ආචාර්ය ගොඩගම මංගල හිමියන් විසින් අරඹන ලද ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය රටට, දැයට හිතැති බොදු දරු පිරිසක් බිහිකරන කීර්තිමත් ආයතනයකි.
(අප්‍රේල් 24 දිනට යෙදුනු පලිපාන ශ්‍රී චන්දානන්ද මහනාහිමියන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙනි.)

දරුවන්ට පූර්වාදර්ශය සපයමු



බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ පුබ්බාචරියාච උච්චෙර්යන්නයි. පූර්ව ආචාර්යවරයෙක් වන්න තමන්ගේ දරුවන්ට තමන්ට වඩා වයසින් බාල අයට පූර්ව ආචාර්යවරු වෙනවා නම් කොතනක හෝ දරුවන් සම්බන්ධයෙන් එලෙස කටයුතු කළ නොහැක්කේ ඇයි ද? පූර්වාචාරියත්වය නිවැරැදි නම් ඒ පරපුරේ සියලු දරුදැරියන් යහපත් ගුණධර්ම අගයන අය බවට පත්වනවා.ලොව සෑම රටකම විලාසිතා තියෙනවා. ඒවා දිනෙන් දිනම වෙනස් වනවා. එසේ විලාසිතා වෙනස් වූවත් අපගේ චර්යා ධර්ම ගුණධර්ම වෙනස් කළ යුතු නැහැ.


වර්තමාන සමාජයේ වැඩිහිටියන්ට වඩා “පොඩි හිටියන්” සමාජයට එක් අතකින් ආදර්ශමත් වී ඇති බව අප පසුගිය කාලයේදී පැවසුවා.
විශේෂයෙන් දුම්පානය වැනි දුරාචාරවලින් වර්තමාන තරුණ පරපුර බොහෝ දුරට ඉවත්ව ඇති බව අපට පැහැදිලිව පෙනෙන කරුණක්.
එසේ වුවත් වැඩිහිටියන් නැමදීම, සංවර ඇඳුම, පි‍්‍රයවචන අපේ වර්තමාන සමාජයෙන් ඇතැම් විට ඈත් වෙලා.
හෙළ තරුණියක් ඇඳුම් ඇදීමේදී සැලකිලිමත් විය යුතු ආකාරයද කාව්‍යශේඛරයේ පැහැදිලිව දැක්වෙනවා.
පෙකනිය නොදක්වා
සළු ඇද බොළට දක්වා
නොපව තන සක්වා
සිනා නොමසන් දසන් දක්වා


එහෙත් අද ඇතැම් තරුණියන් දෙස බැලු විට මේ කිසිවකින් ඔවුන් ආදර්ශයක් ගත් බවක් පෙනෙන්නට නැහැ.
ශරීරයට ඉතාම සිරවූ ඇඳුම් ආයිත්තම් ඇදීම මෙන්ම බොහෝ විට අනිසි ලෙස ඇඳ පෙන්වන ආකාරයක් ඔවුන්ගෙන් ඇතැම් විටදිස්වනවා.
සාමාන්‍යයෙන් ලෝකය වෙනස් වන විට විවිධ වූ මෝස්තරද වෙනස් වනවා. එය ස්වභාවිකයි. එසේ වුවත් සංවරකමට අප මුල්තැනක් දිය යුතුවනවා. එසේම දරු දැරියන්ට කුඩා කලදීම සංවරය ඉගැන්විය යුතුවනවා. මීට හොඳම උදාහරණයක් විහාරස්ථානය ඇසුරින්ම දෙන්න පුළුවන්. කුඩා මිරිබිරියක සමඟ විහාරස්ථානයට පැමිණෙන උපාසිකා මාතාවක්ඒ දැරිය වන්දනාමාන කරන විට ඇගේ කුඩා ගවුම තදින් පහතට ඇදෙන්නට සලස්වනවා. එයින් දැරිය තමන් ඒ ස්ථානයේ හැසිරිය යුතු ආකාරය ඉගෙන ගන්නවා. එමෙන්ම සමාජ දැනුම අනුව තමන් විසින් අඳීන පළඳීන ආකාරය ගැන මනා දැනුමක් ඇතිවනවා. වැඩිහිටියන් වූ පසුවත් ඇයට මනා වැටහීමක් ලැබෙනවා. ඇගපසග වැසීමට ඇඳුම් ඇදිය යුතු බවට. ඒ බව ඇයට වටහා දුන්නේ තමන්ගේ මිත්තණිය විසිනි. ඒ වගේම මව විසින්ද එවැනි වැදගත් වූ චර්යා ධර්මයන් ලබා දිය යුතුවනවා.
සිඟාලෝවාද සුත්‍රයේ සදිසා නමස්කාරයේ මව්පිය යුතුකම් යටතේ දරුවන් යහපතෙහි යෙදවීම මව්පියන් සතු කාර්යයක් බව දැක්වෙනවා. නමුත් අද පෙර කීවාක් මෙන් අද ඇතැම් වැඩිහිටියන්ගෙන් දරවැන්ට ආදර්ශ ගැනීමට බැරි අයුරින් සමාජය පිරිහිලා.
දරු දැරියන් තමන්ගේ මව පියා දෙස බලා ඇඳුම් සකසා ගන්නේ. එහෙත් අද ඇතැම් මව්වරුන් පාරේ ඇඳගෙන යන ඇඳුම් දෙස බැලූවිට ඔවුන්ගේ දරුවන්ට ආදර්ශයක් ලබාදෙන්න පුළුවන්ද යන කරුණ ගැන අපට සිතන්න වනවා.
එමෙන්ම බොහෝ විට ඇඳුම් තේරීමේදි එහි මුල් තැනක් ගන්නෙත් මව්වරුන් බව කිව යුතුයි. එහිදී තම පරපුරේ ගරුත්වය විලිබිය රැක ගැනීම වැනි කරුණු ඔවුන්ට අමතක වී යන ස්වරූපයක් දක්නට තියෙනවා. පියවරුන් මේ සම්බන්ධව දායක වීම බොහෝ දුරට අඩුයි.
එසේ වුවත් ඇතැම් විට තමන්ට තරුණ කාලයේ කර ගත නොහැකි වූ කොණ්ඩ මෝස්තරය හෝ වෙනයම් දේ තම පුතා මගින් කරවා ගෙන සතුටුවන පියවරුන් ඉන්නවා.
එසේම තමන්ගේ තරුණ කාලයේ තමන්ට කරගත නොහැකි වුදේ තම දියණිය මඟින් කරවා ගන්නා මව්වරුන් සිටිනවා. එය එක්තරා මානසික රොගී මට්ටමක්දැයි සිතේ.
මේ අනිසි ක්‍රමවේදය අනිසි නිදහස භාවිතය නිසා දරු දැරියන් ක්‍රමයෙන් අයහපතට හැරෙනවා. එය සිදුවන්නේ කිසිවකු නොදැනුවත්වයි. විශේෂයෙන් අඟපසඟ පෙනෙන ලෙසින් ඇඳුම් ඇඳගෙන මාර්ගයේ ගමන් කරන තරුණියන්ට ඇල්ම බැල්ම වැඩිවනවා. බොහෝ විට ආරම්භයේදි ප්‍රතික්ෂේප කළත් ඇය නොදැනම සමාජයේ ගොදුරක් බවට පත්වනවා. විලාසිතාවන්ට ආකර්ෂණ වීම තරුණ ස්වභාවයක්. නමුත් ඕනෑම විලාසිතාවක් තම අගපසඟ නිවරාවරණ නොවන ලෙස සිදු කළ යුතුයි යන්න වැඩිහිටියන්ගේ මතයක් විය යුතුයි.
මෙහිදී යම් ගෞරවයක් පිරිමි පක්ෂයට ලබා දිය යුතුයි.මේ වනතුරු පිරිමි පක්ෂය තමන්ගේ අගපසඟ පෙනෙන්නට ඇඳුම් ඇඳීමක් දක්නට නැහැ.ඊට පැහැදිලිව යොමුවී තිබෙන්නේ කාන්තාවන්.
අනාගතයේ උපදින දරුවන්ට පූර්වාදර්ශ මේ අයුරින් ලබාදිය හැකිද? යන්න ගැන අද සිතා බැලිය යුතු වනවා. රටේ කාන්තා අපචාර වර්ධනයට පැහැදිලි ප්‍රධාන එක් හේතුවක් මේ අනිසි විලාසිතා කලාවයි. තමන්ට අපචාරයක් කරන ලෙස ආරාධනා කරන ඇඳුම් ඇඳීමයි. අද කාන්තා මෝස්තරය වී ඇත්තේ තමන්ගේ විනාශයට අත වනනව. තමන්ගේ මරණයට අත වනනව. මෙවැනි සිදුවීම් වීමෙන් පසුව එහි පූර්ණ වරද පිරිමියා මත පැටවීමට අද සමාජය හුරුවෙලා තිබෙනවා.
බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ පුබ්බාචරියාච උච්චෙර්යන්නයි. පූර්ව ආචාර්යවරයෙක් වන්න තමන්ගේ දරුවන්ට තමන්ට වඩා වයසින් බාල අයට පූර්ව ආචාර්යවරු වෙනවා නම් කොතනක හෝ දරුවන් සම්බන්ධයෙන් එලෙස කටයුතු කළ නොහැක්කේ ඇයි ද?
පූර්වාචාරියත්වය නිවැරැදි නම් ඒ පරපුරේ සියලු දරුදැරියන් යහපත් ගුණධර්ම අගයන අය බවට පත්වනවා.
ලොව සෑම රටකම විලාසිතා තියෙනවා. ඒවා දිනෙන් දිනම වෙනස් වනවා.
එසේ විලාසිතා වෙනස් වූවත් අපගේ චර්යා ධර්ම ගුණධර්ම වෙනස් කළ යුතු නැහැ. කාන්තාව සමාජයේ අවතක්සේරු වෙද්දි ඇය නොදැනම විශාල බලවේගයක් ඇය වටා කැරකෙනවා. ඇඳුම වෙළෙඳ භාණ්ඩයක් වීම වැනි කරුණු නිසා අද කාන්තාවන්ට හිමි තැන නැතිවෙලා යනවා. ඒකට වැඩිහිටි කාන්තාවන් විශේෂයෙන්ම මව වගකිව යුතුවනවා. තමන් පළමුව හික්මී දෙවනුව දියණියට ඔවා දීමයි නිසි පිළිවෙත වන්නේ.
කාන්තාවට හිමි තැන නැතිවන්නේ කාන්තාවගේම ක්‍රියාකලාපයන් නිසයි. ඒ තත්ත්වය වළක්වාලීමට කාන්තාව විසින්ම මුල් තැන ගත යුතු වනවා.
බස් රථයකදී, දුම්රියකදී, ගැබිනි මවකට නැතිනම් කුඩා දරුවකු වඩාගත් කාන්තාවකට අසුන් ගෙන සිටින කාන්තාවක් අසුනින් නැගිට එය පරිත්‍යාග කරන්නේ නැහැ.ඇතැම් විට එම අසුන ගැබිනි මවුවරුන්ට වෙන්කර තිබෙනවා. එහෙත් කාන්තාවකට කාන්තාවක විසින්ම නොසලකා හැරීම මත ඇය විසින්ම ඇයගේ ගරුත්වය නැතිකර ගන්නවා.
එය දකින කුඩා දැරියන් කිසි දිනක එය හුරුවන්නේ නැහැ. මේ නිසයි හැම විටම වැඩිහිටි ආදර්ශය වැදගත් වන්නේ. මව පියා නිසි පිළිවෙත් පුරනවා නම් දරුවන් නිසි මඟ යොමු කර ගැනීම අසීරු වන්නේ නැහැ.
චංචල තරුණ සිත යහගුණයට යොමු කරගතහොත් එය රටටම පමණක් නොව සමස්ත ලෝකයටම මහගු සේවාවකි.


පිළියන්දල කොටගෙදර විපස්සනා භාවනා මධ්‍යස්ථානය


පිළියන්දල සිට 157 පාරේ මඩපාත බස් මාර්ගයේ යන විට හමුවන කොටගෙදර පිහිටි විපස්සනා භාවනා මධ්‍යස්ථානය විශාල දායක පිරිසක් භාවනා කටයුතු සඳහා සහභාගීවන ආරණ්‍ය සේනාසනයක් බඳු ස්ථානයකි.
1985 මැයි 9 වැනි දින සුබ මොහොතින් ආරම්භ කරන ලද එම මධ්‍යස්ථානය භාවනා කිරීම සඳහා සුදුසු නිසංසල රමණීය පරිසරයකින් යුතු ස්ථානයක් ලෙස ගොඩනගන ලද්දේ භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රවේදී කම්මට්ඨානාචර්ය කඹුරුගමුවේ සුමනරතන හිමිපාණන් විසිනි. කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ කහටපිටියේ සුමතිපාලාභිධාන අනුනාහිමියන් ඇසුරෙන් විපස්සනා භාවනා පුහුණුව ලැබූ සුමනරතන හිමිපාණන් වහන්සේ මුළු කාලයම හුදකලාව භාවනා මධ්‍යස්ථානයේ වාසය කරමින් දුෂ්කරතා රාශියකට මුහුණ දෙමින් එම රමණීය පරිසරය හා මධ්‍යස්ථානය දියුණු කළ අතර සෑම පසළොස්වක පොහොය දින සීල, භාවනා වැඩසටහන් පවත්වනු ලබයි. ඊට අමතරව භාවනා පන්ති නොකඩවා පවත්වති.
එම මධ්‍යස්ථානය සෑම ආරාමික අංගෝපාංගයෙන්ම සම්පූර්ණය. දෙමහල් ධර්ම මන්දිරය දෙමහල් සංඝාවාසය, සහ භික්‍ෂූන්වහන්සේට පොහොය කිරීම සඳහා සීමා මාලකයක් ඉතාමත් දර්ශනීය ලෙස නිමවා ඇත. දඹදිව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙන් ලබාගත් අංකුරයක් රෝපණය කොට වන්දනාමානයට පාත්‍ර වෙමින් පවතී.එය එම ස්ථානයට ඉමහත් ආශිර්වාදයක් වේ. භාවනා පන්ති සඳහා නේවාසිකව සිටීමට වෙනම කුටි නිමවා ඇති අතර ඔවුන්ගේ දාන ආදී පහසුකම් දායකයන් විසින් සපයනු ඇත.
මධ්‍යස්ථානයට අඩුවක්ව පැවැති චෛත්‍යරාජයාණන් වහන්සේ 2013.05.23 දින මුල්ගල් තබා ආරම්භ කරන ලද්දේ ගාමිණී අබේවික්‍රම, සහ තුෂාරී අබේවික්‍රම මහත්මියගේ ධන පරිත්‍යාගයෙනි. චෛත්‍යරාජයාණන් වහන්සේගේ වැඩ නිමාකොට 2014.05.09 දින උදේ 10.02 ට කොත්වහන්සේ පළඳවා එදිනම සවස 3.41 ට නිරාවරණය කිරීමේ පින්කම පැවැත්වේ. ඒ නිමිත්තෙන් මැයි 8 දින රාත්‍රී ආරම්භ වන තුන්තිස් පැයේ පරිත්‍රාණ ධර්මදේශනය මැයි 10 දා පහන්වනතුරු පවත්වා සංඝගත දක්‍ෂිණාවෙන් අවසන් වේ.


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය