Powered by Blogger.



ලකුණු 120 ක ඉලක්‌කයක්‌ යනු විස්‌සයි/20 තරගයක්‌ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවන ලකුණු සංඛ්‍යාවක්‌ වන නමුත් තණතීරුව හැසිරුණු ආකාරය දෙස බැලීමේදී හොඳින් පන්දු යවන්නේ නම් එම ලකුණු සංඛ්‍යාව විශාල ලකුණු සංඛ්‍යාවක්‌ වන බව තේරුම් ගිය බවත් පවසන ශ්‍රී ලංකා විස්‌සයි/20 නායක ලසිත් මාලිංග පවර් ප්ලේ අවස්‌ථාවට හිමි පන්දුවාර හය තුළදී කෙසේ හෝ අඩු ලකුණු සංඛ්‍යාවක්‌ ලබාදී පීඩනය වැඩි කිරීම තමා ඇතුළු කණ්‌ඩායමේ සැලසුම වූ බව සඳහන් කර සිටියේය.

''විස්‌සයි/20 තරගයකදී ලකුණු 120 ක ඉලක්‌කයක්‌ කියන්නේ හොඳටම මදි. නමුත් පන්දුවට පහර දුන්නට පසුව ලකුණු 120 ක්‌ කියන්නේ හොඳ ලකුණු සංඛ්‍යාවක්‌ කියලා අපිට තේරුම් ගියා. එහිදී අපි බැලුවේ පළමු පන්දුවාර 6 තුළදී අඩු ලකුණු සංඛ්‍යාවක්‌ ලබාදීලා පීඩනය යොදන එක. මං හිතන්නේ මං ගනිපු හැම තීරණයක්‌ම සාර්ථක වුණා.'' යනුවෙන් මාලිංග සඳහන් කළේය.

විස්‌සයි/20 ලෝක ශූරතාවේ අවසන් පූර්ව තරග අවස්‌ථාවට සුදුසුකම් ලබා ගැනීමට ජයග්‍රහණය අනිවාර්ය වූ නවසීලන්තය සමග තරගයේදී ලකුණු 59 ක ජයක්‌ වාර්තා කරමින් අදාළ අවසන් පූර්ව තරග අවස්‌ථාවට සුදුසුකම් ලැබීමට ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්‌ඩායම පෙරේදා (31 දා) සමත්විය. අදාළ තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී මාලිංග ඉහත අදහස්‌ පළ කර සිටියේය.

''ලකුණු 120 ක්‌ කියන්නේ පළමු පන්දුවාර 6 හොඳින් යෑව්වොත් ඊළග පන්දුවාරවලදී ලකුණු 7 කට වඩා වැඩි සංඛ්‍යාවක්‌ ඔවුන්ට ලබා ගත යුතු නෙවා. ඉතිං ලකුණු 7 ක්‌ කියන්නේ අනිවාර්යයෙන්ම එක්‌ පන්දුවාරයකට හයේ පහරක්‌ හෝ හතරේ පහරක්‌ එල්ල කළ යුතුයි. මං හිතනවා ඒක තමයි අපි සැලසුම් කළේ කොහොමද ගිහිල්ලා පළමු පන්දුවාර 6 අඩු ලකුණු සංඛ්‍යාවකට යවා ගන්නේ කියලා.'' යනුවෙන් මාලිංග සඳහන් කරයි.

''මේ තරගයට රංගන අයියාව කණ්‌ඩායමට ඇතුළත් කරනකොටම මගේ බලාපොරොත්තුව වුණේ බ්‍රෙන්ඩන් මැකලම්ගේ සහ රොස්‌ ටේලර්ගේ කඩුලු එයාට කියලා දවාගන්න එක ගැන. මොකද රංගන අයියා පසුගිය තරගාවලි හැම එකකදීම ඒගොල්ලන්ගේ (නවසීලන්ත පිලේ) ටොප් ඕඩර් බැට්‌ස්‌මන්ලා, විශේෂයෙන් බ්‍රෙන්ඩන් මැකලම් සහ රොස්‌ ටේලර්ව දවාගෙන තිබුණා. ඒ අනුව මගේ බලාපොරොත්තුව වුණේ කෙසේ හෝ ඉක්‌මනින්ම රංගන අයියව පන්දු යෑවීමට කැඳවීම. ඒ වෙලාවෙදි රංගන අයියා සාර්ථක වුණා. මං හිතනවා මං ගත්ත තීරණය සාර්ථක වුණා කියලා. ඒක තමයි මම මේ තරගය පටන් ගන්න පෙර දිනයේ ඉදලම කල්පනා කළේ මේ දෙන්නට දඟ පන්දු යවන්නන් යොදවලා දවා ගන්නවා කියලා.'' යනුවෙන් මාලිංග පැවැසීය.

මෙම තරගයේදී සුපිරි පන්දු යෑවීමක නිරත වූ රංගන හේරත් සිය පන්දු 24 තුළදී ලකුණු 03 ක්‌ පමණක්‌ ලබා දෙමින් කඩුලු 5 ක්‌ දවා ගනු ලැබීය. ලොව විස්‌සයි/20 තරග වලදී කඩුලු 5 ක්‌ හෝ ඊට වැඩියෙන් දවාගෙන සිටින පන්දු යවන්නන් අතර අවම ලකුණු සංඛ්‍යාවක්‌ ලබාදී කඩුලු 5 ක්‌ දවාගත් පන්දු යවන්නා වන්නේද රංගන හේරත් වේ. "අපි බැලුවෙ කෙසේ හෝ හැකි උපරිමයෙන් ලකුණු ලබා ගන්න. අපි ලකුණු ලබාගත යුතුයි කියන මතයේම සිටියේ නැහැ. අපි බැලුවේ පන්දුවාර 20 ඇතුළත ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව ලබාගෙන කෙසේ හෝ අභියෝගයක්‌ එල්ල කරන්න.'' යනුවෙන් පන්දුවට පහර දීම පිළිබඳව මාලිංග අදහස්‌ දැක්‌වීය.

මෙහිදී කාසියේ වාසිය පරාජය වුවද පළමුවෙන් පන්දුවට පහරදීම තම කණ්‌ඩායමට ලද වාසියක්‌ද යන්න කරන ලද ප්‍රශ්න කිරීමකදී පිළිතුරු දුන් මාලිංග, ''අපිට කියන්න පුළුවන් තරගය ජයග්‍රහණය කළ නිසා ඒක හොඳයි කියලා. නමුත් අපි අනිවාර්යෙන්ම දන්නවා හවස්‌ වෙද්දි පින්න එනවා කියන එක. ඒත් අපේ වාසනාවට පින්න ආවේ නැහැ. ඒ නිසා අපේ දඟ පන්දු යවන්නන්ට හොඳින් පන්දුව අල්ලලා දඟ කවන්න හැකියාවක්‌ ලැබුණා.'' යනුවෙන් පැවැසීය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය