Powered by Blogger.

Birdsමෑතක් වන තුරුම බටහිර ජාතීන්ගේ ආගමික විශ්වාසය වූයේ සතුන් යනු ‘මනුෂ්‍ය පුත්‍රයා’ ගේ ප්‍රයෝජනය උදෙසා දෙවියන් විසින් මවන ලද්දක් විදිහටයි. මිනිසාගේ ප්‍රයෝජනය කියන දෙය මෙතැනදී වැඩි වශයෙන්ම නිර්වචනය වන්නේ ආහාර පිණිස යන තේරුමින්. නමුත් ඒ පටු ආගමික රාමුවෙන් මිදී වඩාත් නිදහස් ලෙස සිතන්නට හුරු වීමෙන් පසු මිනිසුන් මේ අදහස් එලෙසින්ම පිළිගන්නට කැමැත්තක් දැක්වූයේ නැහැ. සතුන්ටත් මිනිසුන්ට සේම මේ මිහිතලයේ තම උරුමයක් ඇති බව පිළිගන්නට ඔවුන්ට සිදුවුණා. නමුත් අතීතයේ සිටම සතුන් පිළිබඳ පෙරදිග වැසියන්ගේ ආකල්පය මීට හාත්පසින්ම වෙනස් වුණා. බුදුන් වහන්සේ පවා දේශනා කළේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියායි. මිහිඳු මා හිමියන් එක අවස්ථාවක පවසා තිබුණේ මේ මිහිතලය මිනිසාට පමණක් නොව සියලු සතුන්ගේ සම උරුමයක් ඇති බවයි. මේ අදහස දැන් බටහිර ලෝකයේ බහුතරයක් පිළිගෙන තිබෙනවා. අපේ පන්සිය පනස් ජාතක ‍පොතේ බෝසතාණන් වහන්සේ සත්ව කුලවල ඉපදී බුද්ධිමත්ව ක්‍රියා කළ අවස්ථාවන් අපට ගොඩක් දකින්න ලැබෙනවා. ඒ ඇතැම් කතාවල මිනිසුන්ට වඩා තිරිසන් සතුන් උතුම් බව ඔප්පු වුණු අවස්ථාත් බොහොමයි.
මනැසින් උසස් යන අරුත ඇතිව ‘මිනිසා’ යන වදන අපට හිමිව තිබුණත් මිනිසුන් අතර නොමිනිස්කම් ඇති අයවලුන් ඕනෑ තරම් දකින්නට පුළුවන්. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත’ වගේ ගීත ලියැවෙන්නට හේතුවත් මේ වගේ නොමිනිස්කම් ඇති මිනිසුන් නිසයි. මිනිසා තිරිසන් සතෙකු සේ හැසිරෙන අවස්ථා අපට නිතර විවිධ මාධ්‍ය ඔස්සේ ද අසන්නට ලැබෙනවා. නමුත් අප වැඩිපුර කතා නොකළත්, අසන්නට නොලැබුණත් මේ සඳහන් කළ කාරණයේ අනෙක් පැත්ත සිදුවන අවස්ථා මේ ලෝකයේ ඕනෑ තරම් දැකගන්නට පුළුවන්. අනෙක් පැත්ත කියා අදහස් කළේ තිරිසන් සතුන් ළඟ ඇති උතුම් ගතිගුණ ගැනයි. අපට එවැනි සිදුවීම් වැඩිපුර අසන්නට අවස්ථාවක් නැත්තේ අතැම් විට මාධ්‍ය ඒවාට තරම් ප්‍රසිද්ධියක් ලබා නොදෙන නිසා වන්නටත් පුළුවන්. නමුත් සතුන් අතරින් ප්‍රකට වන උතුම් ගතිගුණ ගැන තොරතුරු අතීතයේ වාගේම වර්තමානයේදීත් අපට සොයා ගන්න පුළුවන්. පනාමුරේ ඇත් රාජා ගැන කතාව සමහර විට ඔබ දන්නවා ඇති. තමන්ගේ රංචුව වෙනුවෙන් ජීවිතේ පූජා කළ ඒ කතාව අදටත් අමතක වන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ හාම්පුතාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ, හාම්පුතා හදිසි අනතුරුවලින් බේරාගත්, හාම්පුතාට සිදුවුණු අනතුරු ක්ෂණිකව අන් අයට දැන්වූ සුනඛයන් ආදී සතුන් පිළිබඳව ලොව නන් දෙසින් තොරතුරු ලැබෙමින් තිබෙනවා.
සත්තුන්ට මේ වගේ උතුම් ගතිගුණ පිහිටන්නේ ඔවුන් අපි හිතනවාට වඩා දන්නවාට වඩා ඉහළ බුද්ධි මට්ටමක ඉන්න නිසයි. මේ ගැන අවබෝධයක් dog-womanනැති නිසයි අපි හුඟ දෙනෙක් අතින් සතුන්ට හිංසා පීඩා සිද්ධ වෙන්නේ. සතුන් ගැන අතීතයේ සංවේදීව නොබලපු බටහිර රටවල් අද ආසියානු අපටත් වඩා සතුන් ගැන සිතන්නට පටන් අරන්. ඒ හින්දම සතුන්ගේ හිමිකම් අයිතිවාසිකම් සහ සුබ සාධනය පිළිබඳ අණපනත් රැසක් ඒ රටවල අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඒ අද බොහෝ රටවල පවතින සත්ව හිමිකම් පිළිබඳ නීති රීති අනුව යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ නිවසේ ඇති කරන සුනඛයාට අකාරුණික ලෙස සැලකීම හා දඩ මුදලකට යටත් විය යුතු වරදක්. නමුත් අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි බෞද්ධ ඉතිහාසයකට උරුමකම් කියන රටක බෞද්ධ මුද්‍රාව හා තබාගත් දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු අසුන් පවා හොබවන රටේ තවමත් ඒ රටවල පවතින සත්ව හිමිකම්වලින් දහයෙන් පංගුවක් වත් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම නිසැක වශයෙන්ම ලජ්ජාවට කරුණක්. අතීතයේ පටන්ම සතුන්ගේ මානසිකත්වය ගැන මිනිසුන් දැන සිටියත් මේ ගැන දිගින් දිගට හොයන්න පටන් ගත්තේ චාර්ල්ස් ඩාවින්ගේ විද්‍යාත්මක පර්යේෂණවලින් පසුවයි. මේ සම්බන්ධයෙන් වඩාත් විචිත්‍රවත් කතාවක් තමයි අයත් පෙපර්බන්ගේ මේ පර්යේෂණය.
වර්ෂ 1977 දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පිටවුණු අයර්නි පෙපර්බර්ග් සතුන්ටත් මිනිසුන්ට වගේ හිතන්න පතන්න පුළුවන් කියලා ඔප්පු කරන්න සමත් වුණා. ඒ කතාව බටහිර බොහෝ දෙනෙක් මේ කාලය වන විටවත් විශ්වාස කළේ නැහැ. ඇය අවුරුද්දක් පමණ වුණු අප්‍රිකානු අලු ගිරවෙක් හුරතලයට හදන්න පටන් ගත්තා. ඇය මේ අලු ගිරවාට ‘ඇලෙක්ස්’ කියලා නමකුත් තැබුවා. ඇය මේ ගිරවා තමන්ගේ පර්යේෂණාගාරයට අරගෙන ගිහින් ඉංග්‍රීසි භාෂාවේ විවිධ ශබ්ද නගන හැටි පුරුදු කරන්න පටන් ගත්තා. ගිරවාට කතා කරන්න පුළුවන් වුණොත් එයා මේ ලෝකේ දේවල් ගැන හිතන හැටි විස්තර කරයි කියලා මට හිතුණා. අයර්නි එහෙම කිව්වා. අයර්නි ගිරවත් එක්ක කතා කරන්න පටන් ගත්තා. සතුන්ටත් මිනිසුන්ට වගේ ස්වාධීනව සිතන්න පුළුවන් කියලා මේ අවස්ථාව වෙනකල්වත් විද්‍යාඥයෝ හරියට දැනගෙන හිටියේ නැහැ. ඔවුන් සිතුවේ සතුන් කියන්නේ හිතක් පපුවක් නැති ප්‍රාණීන් පිරිසක් කියලා පමණයි. එහෙම වුණත් හැම සතෙක්ම හුදෙක් මිනිසාගේ දෙවියන් වහන්සේ මැවූ ප්‍රයෝජනයට වස්තුවක් කියල හිතන අය හැරුණාම, සුරතලයට සතුන් හදන්න පුරුදු වෙලා ඉන්න අය නම් සමහර විට එහෙම හිතන්නේ නැති වෙන්නත් පුළුවන්. ඔබේ නිවසේ බලු පැටියාට කෑම දෙනකොට ඌ කෘතඥ පූර්වකව වල්ගය වනන්නේ වලිගය වැනීම ජානමය පුරුද්දක් නිසා ‍නෙවෙයි. ඕනෑම සුනඛයකුට අවබෝධයක් තිබෙනවා තමන්ට ආදරේ කරන්නේ කවුද කියන එක. ඒ වෙනුවෙන් කෘතඥතාවය පළකරන්නේ ඔවුන් තුළ යම්කිසි අවබෝධයක්, බුද්ධි මට්ටමක් වගේම කෘතවේදීත්වය නම් උතුම් හැඟීම ඇති නිසයි. අයර්නිගේ සුරතල් ගිරවා, ඇලෙක්ස් වැඩි කාලයක් යන්නට මත්තෙන් හොඳට කතා කරන්න පටන් ගත්තා. නමුත් හුඟ දෙනෙක් කිව්වේ මේක තේරුමක් නැති වැඩක් කියලයි. අයර්නි ටික දවසක් යනකොට ඇලෙක්ස්ට තව ගිරව් යාළුවෝ දෙන්නෙක් ගෙනත් දුන්නා. දවසක් අයර්නි ඇලෙක්ස්ව නාට්‍යයක් බලන්න අරගෙන ගියා. මේ වෙනකොට ඇලෙක්ස් සෑහෙන්න වචන හුරු පුරුදු වෙලයි තිබුණේ. මේ නාට්‍යය බලලා ආවට පස්සේ තමයි හොඳම දේ සිද්ධ වුණේ. ඇලෙක්ස් තමන්ගේ යාළුවෝ දෙන්නට අර නරඹපු නාට්‍යයේ මතක තිබුණු කොටස් රඟපාලා පෙන්නුවා. ගිරවෙක් වගේ කුඩා සතෙකුට එවැනි දෙයක් මතකයේ තබාගෙන එය ප්‍රති නිර්මාණය කර පෙන්වීමට විශේෂ බුද්ධියක් තිබිය යුතුමයි. එසේ නොමැතිව මෙවැනි දේවල් සිදුකරන්න බැහැ. ඒකෙන්ම ඔප්පු වෙනවා ඒ ඒ සතුන්ටත් මේ මිහිතලයේ හිමිකමක්, උරුමයක් තිබෙන බව අප අපගේ බුද්ධි ඵලය (ශ්‍රී) ගැන කතා කරනවා. නමුත් සතුන්ගේ එවැනි දෙයක් ගැන කතා කරන්නේ නැහැ. නමුත් නවීන පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ සෑම සතකුටම යම්කිසි ප්‍රමාණයකින් බුද්ධ ඵලයක් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් දැන් දිගින් දිගටම පර්යේෂණ
සිදුවෙමින් පවතිනවා. තමන්ගේ වර්ගයාට යම්කිසි කරදරයක් සිදු වූ විට සිංහයන්ට පවා පහර දෙන්නට පසුබට නොවන ගවයන් වර්ග පිළිබඳ වාර්තා චිත්‍රපට අප ඕනෑ තරම් දැක තිබෙනවා. ඔවුන්ට මේ අවබෝධය ලැබෙන්නේ ජානමය පුරුද්දට වඩා අදාළ තත්ත්වය පිළිබඳව ක්ෂණිකව ලැබෙන අවබෝධයක්. ඒ ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්නත් ගැන ව්‍යවහාර බුද්ධියක් පවතින නිසයි. සතුන් කියන්නේ බුද්ධියක් නැති, සිතන්නට නොහැකි කොට්ඨාසයක් ලෙස ඔබ සිතා සිටියා නම් එය වෙනස් කරගන්නට මෙයත් හොඳම අවස්ථාවක්.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය