Powered by Blogger.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපානේ ප්‍රේමසිරි නාහිමි
දූරදර්ශී වැඩපිළිවෙළක් සහිත මහින්ද චින්තනය ක්‍රියාත්මක කරමින් ජනාධිපතිතුමන් ගෙන යන නිවැරැදි වැඩපිළිවෙළ හේතුවෙන් ජනාධිපතිතුමන්ට සදා ජය නියත බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපාන පෙමසිරි හිමිපාණෝ පැවසූහ.
පවුල් සමාජයේ සිට නිවස විහාරස්ථානය ඇතුළු සෑම අංශයකටම ක්‍රියාත්මක කළ හැකි නිවැරැදි වැඩපිළිවෙළක් මහින්ද චින්තනය තුළ පවතින බවද මහා නාහිමියෝ මෙහිදී කීහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක නාහිමියන් වැඩවසන හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූලමහා විහාරස්ථානයේ ඉදිකරන ලද “අතිපූජ්‍ය තෙලිපැහැ සිරි සීලවංසාසභ අනුනායක මහා ස්වාමින්ද්‍ර ගුණානුස්මරණ ධර්ම මන්දිරය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමේ උත්සවයේදී මහා නාහිමියෝ මේ බැව් පැවසූහ.
රුපියල් ලක්ෂ 124ක වියදමින් ඉදිකරන ලද මෙම ධර්ම මන්දිරය සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය මෙන්ම දානපතීන්ගේ ආධාර උපකාර හිමිවී තිබිණි. ජනාධිපතිතුමන් විසින් මෙහිදී මහා නාහිමියන්ට සමරු තිළිණයක් පිළිගන්වනු ලැබූ අතර ජනාධිපතිතුමන්ට හා අග්‍රාමාත්‍යතුමන්ට මහා නාහිමියන් විසින් එහිදී සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබූහ.
රටට ලැබී ඇති නිදහස අර්ථවත් කැර ආරක්ෂා කැරගැනීම සඳහා එකිනෙකා පක්ෂ‍ භේද වර්ග භේදවලින් තොරව එක්විය යුතු බවත්, විශේෂයෙන් රටට එරෙහි විපත්ති සිදු වන අවස්ථාවන්හි එම එක්වීම වඩාත් වැදගත් බවත් මහා නාහිමියෝ මෙහිදී පෙන්වා දුන්හ. එදා දුටුගැමුණු රජතුමන් මහා ශ්‍රේෂ්ඨ නායකයකු ලෙසින් සටන් කැර රට බේරාගත් අයුරින් රුහුණේ ගිරුවාපත්තුවෙන් ඉපද නායකත්වයට පත්වූ ජනාධිපතිතුමන්ද රට බේරාගත් බවත් උන්වහන්සේ කීහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහා නාහිමියෝ මෙසේද පැවසූහ.
මහින්ද චින්තනය සඳහා සෑම දෙයක්ම ඉතාම වැදගත් කරුණු කාරණා වෙනවා. එම චින්තනය අනුව කටයුතු කරමින් ආදර්ශමත් නායකයකු වන ජනාධිපතිතුමන් එමගින් හැමෝම නිවැරැදි මාවතකට ගෙනවිත් තිබෙනවා. වසර තිහක යුද්ධය රටක් ලෙස අපි ජය ගැනීම නිසා අද ලෝකයේ බොහෝ දෙනකු ඊර්ෂියාවෙන් කටයුතු කරනවා. ඒ සියල්ල මැඩගෙන ඉදිරියට යා යුතුය.
ආරක්ෂක ලේකම්තුමා නිර්භීතව පසුගිය දිනවල අදහස් ප්‍රකාශ කැර තිබෙනවා. එතුමාට නිවැරැදිව කටයුතු කිරීම සඳහා ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළ මගපෙන්වීම විශාල ශක්තියක් වෙනවා. අද මහා සංඝරත්නයටද විශේෂ හැඟීමකින් කටයුතු කිරීමට අවශ්‍ය වෙනවා. එය අපි බලාපො‍ෙරාත්තු වෙනවා.
රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය වරාගොඩ පේමරතන, සංඥා ලේඛකාධිකාරි අංකුඹුරේ ප්‍රේමවංශ, දොරළියද්දේ ධම්මසිරි යන හිමිවරුන්ද අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් ද මෙහිදී කතා කළහ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන සුනිල් අමරතුංග, ලින්ටන් විජේසිංහ හා අනුරාධ ජයරත්න යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය