Powered by Blogger.


ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක, වැඩසටහන් මෙහෙයවන්නියක ලෙස ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වන සොඳුරු හිතැත්තියක ලෙස රුවිනි ගුණවර්ධන අද කා අතරත් ජනප්‍රියත්වයට පත්ව ඇත. ඇය වෘත්තියෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යුත් ප්‍රචාරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි.
මාධ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම කලා ක්ෂේත්‍රයේ ද කැපී පෙනෙන දක්ෂතා ඔස්සේ ඉදිරියට යෑමට වෙර දරන රුවනි ගුණවර්ධන සමඟ යෙදුණු පිළිසඳරකි මේ.
“මම විශ්ව විද්‍යාලයේ සේවයට එක්වීමට ‍ප්‍රථම ගුරුවරියක ලෙස සේවය කළා. ඒ අතර තුර මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවෘත්ති නිවේදිකාවක, වැඩසටහන් නිවේදිකාවක ලෙසත් මට කටයුතු කරන්න හැකි වුණා. මාධ්‍ය ක්ෂේත්‍රයෙන් මගේ වෘත්තිමය ජීවිතය ගොඩනඟා ගන්නට මට ලැබුණු අත්දැකීම් බොහෝයි. කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු උත්සවවලදී මගේ නිවේදන හැකියාව දුටු 'විසිර' ගුවන් විදුලි ප්‍රධානී ප්‍රවීණ මාධ්‍යවේදී ඇන්ටන් ජයමහ ගුවන් විදුලි මාධ්‍ය කලාවට පිවිසෙන්නට මට දොරටු විවර කර දුන්නා.
ඒ අනුව 'විසිර' සංස්කෘතික ගුවන් විදුලියේ නිවේදිකාවක ලෙස මම කටයුතු කළා. 2000 වසරේදී ජාතික රූපවාහිනියේ හඬ කැවීම් ශිල්පී අනුර ධර්මසේන මහතාගේ සහයෝගය මත 2000 වසරේදී නිදහස් මාධ්‍යවේදිනියක ලෙස ජාතික රූපවාහිනියට එක්වන්නට මට අවස්ථාව හිමි වුණා. මේ වන විට මම ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරනවා. ඊට අමතරව ‘සැඳෑ නිම්නය’ ‘නුග සෙවණ’ වැනි වැඩසටහන්වලට නිවේදනයෙන් මගේ දායකත්වය ලබා දුන්නා.
ඒ වගේම ජාතික රූපවාහිනියෙන් විකාශය කළ ‘ජාතික පාසල අධ්‍යාපන සත්කාරය’ වැඩසටහනේ ඉතිහාසය විෂය ධාරාව උගන්වන ගුරුවරිය ලෙසත් කාලයක් පුරා මම කටයුතු කළා. නිවේදන කටයුතුත් සිදුකළා. මේ විදිහට ජාතික රූපවාහිනියේ තවත් වැඩසටහන් කීපයකටම මගේ දායකත්වය මා ලබා දී තිබෙනවා. වසර 6 කට වැඩි කාලයක් ප්‍රවෘත්ති නිවේදනය හරහා මේ වන විට මම ජනතාවට සමීපව සිටිනවා.
ඒ ගැන හිතේ ලොකු සතුටක් පවතිනවා. ජනමාධ්‍යය කියන්නේ හරිම වින්දනීය විෂය ක්ෂේත්‍රයක්. නිතරම ජනතාව අතරට යන්න ඒ ඔස්සේ අවකාශ ලැබෙනවා. පාසල්වල දරු දැරියන් මා හොඳින්ම අඳුනනවා. ඒ අය මා හඳුනාගෙන මාත් සමඟ කතාබහ කරන විට දැනෙන්නේ පුදුමාකාර සතුටක්” යැයි රුවනි පවසන්නේ සිනාපිරි මුවිනි.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි රුවනි සිප්සතර හැදෑරුවේ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලෙනි. පාසල් සමයේ දී අධ්‍යාපනයට හා ක්‍රීඩාවට එකසේ දක්ෂතා දැක්වූ ඇය විදුහලේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ද වූවාය.
“මගේ පියා වෘත්තියෙන් වතු අධිකාරිවරයෙක්. ඔහු ජෝෂප් ගුණවර්ධන. මව ගෘහණියක්. ඇය අයිරාංගනී ගුණවර්ධන. මට සහෝදරියක් සහ සහෝදරයෙක් සිටිනවා. මගේ මාධ්‍ය ජීවිතයටත් වෘත්තීය ජීවිතයටත් ඔවුන් ලබා දෙන්නේ නොමඳ සහයෝගයක්. පවුලේ බාලයා ලෙස මම ආ ගමන්මඟ ගැන ඔවුන් හදවතින්ම සතුටු වෙනවා.”
වෘත්තීය ජීවිතය හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළටම යෑම රුවනි ගේ බලාපොරොත්තුවයි. මාධ්‍ය කලාව හරහා වෘත්තිය වශයෙන් ඉහළට යමින් තම දක්ෂතා පෝෂණය කරගැනීමට රුවනි වෙහෙසෙන්නේ එහෙයිනි.
“මාධ්‍ය කලාවෙන් වගේ ම කථිකාචාර්ය පදවිය හරහා කෙරෙන්නේත් රටට දැයට සේවයක්. ඒ සේවය අවංකවම රටට ලබා දීමට මම වෙහෙසෙනවා.” රුවනි පවසන්නේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුවයි.
අද සමාජයේ දරු දැරියන් බොහෝ දෙනෙක් නිවේදන කලාව ප්‍රිය කරනවා. ඔවුන් වැඩි දෙනෙකුගේ ප්‍රාර්ථනය කෙදිනක හෝ නිවේදිකාවක හෝ නිවේදකයෙක් වීමයි. ගුරුවරු හිතන්නේ හැම වෙලාවෙම මාධ්‍යයෙන් සමාජයට යහපත් දේ දිය යුතුයි කියලයි. මේ කාරණා දෙකම මේ දෙගොල්ලන් සමඟම කටයුතු කරද්දී මම අත්දුටුවා. අද මාධ්‍යය කලාව පෙරට වැඩිය දියුණුයි. ඒ වගේම දරුවන් ඉගෙනුම් ක්‍රියාවලියේදී මාධ්‍යය ප්‍රයෝජනයට ගන්න බවත් මම දුටුවා. මේ මොන දේ කළත් මාධ්‍ය කලාව තුළත් හොඳ දේ වගේම නරක දේත් තිබෙනවා. හංසයින් දියෙන් කිරි වෙන්කර ගන්නවා වගේ අපිත් හොඳ දේ මාධ්‍ය තුළින් අපේ ජීවිතයට උකහා ගත යුතුයි. ගුරුවරුන් විදිහට අපි අපේ දරුවන්ට ඒ දේ නිවැරැදිව උකහා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දිය යුතුයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය