Powered by Blogger.

විමල් වීරවංශට ජවිපෙන් විවෘත මරණ වරෙන්තුවක් විශාල බලයක් සහිත ආණ්ඩුවක් හැම විටම අපේ රටේ ජනතාවට ලබාදී ඇත්තේ ආණ්ඩුවේ බලවතුන්ට අවශ්‍ය දේ මිසක් රටේ ජනතාවට අවශ්‍ය දේ නොවන බවත් මහ බලයක් නොමැති දුර්වල මට්ටමේ ආණ්ඩුවක් සෑම විටම ලබා දීමට උත්සාහ ගනු ලබන්නේ ජනතාවට අවශ්‍ය දේ බවත් අපිත් නියෝජනය කරනු ලබන මේ සන්ධාන ආණ්ඩුවටද මහ බලයක් තිබෙන නිසා ඔවුන්ටද මහ බලකාමය නමැති රෝගය වැලැඳී අපේ රටේ ජනතාවට ලබා දෙනු ලබන්නේ බලවතුන්ට අවශ්‍ය දේ මිසක් රටට අවශ්‍ය දේ නොවන බවත් මධ්‍යම පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ වත්මන් පළාත් සභා මන්ත්‍රි නිමල් පියතිස්ස මහතා පවසා සිටියි.
මන්ත්‍රිවරයා මේ බැව් පවසා සිටියේ නුවරඑළිය මැතිවරණ කොට්ඨාසය තුළ තම විමධ්‍යගත අරමුදල් රුපියල් ලක්ෂ විසි පහක මුදලක් යොදවා ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන යෝජනා පිළිබඳ දැනුම්වත් කිරීමේ ක්‍රියාකාරී නියෝජිත හමුවක් නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ පැවැති අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් කතා කළ මන්ත්‍රිවරයා මෙසේද කීය,
යුද ජයග්‍රහණයෙන් අනතුරුව පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී සන්ධාන ආණ්ඩුවට මහ බලයක් අපේ රටේ ජනතාව ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, යූ. ඇන්. පී. අලියාගෙන් පාර්ලිමේන්තු ගිය හැටකට වඩා වැඩි පිරිසක් සන්ධාන රජයට එකතු වුණා. බලය දුර්වල වෙලා ආණ්ඩුව බිඳ වැටෙයි කියන බිය ආණ්ඩුව තුළින් ක්‍රමානුකූලව පහව යන්න පටන් ගත්තා. රටේ ජනතාවත් සීමාවක් නොමැති සතුටකින් ඊළඟට බලාපොරොත්තු වුණේ ආර්ථික යුද්ධයත් ඉතා කෙටි කලකින් විසඳලා දේවි කියලා.
ආර්ථික යුද්ධය ජය ලබන්නට අවශ්‍ය පරිපාලනමය වෙනස්කම් කළේවත්, නිෂ්පාදන ආර්ථිකයකට ගැළපෙන ප්‍රවේශයන් ලබා ගන්නා බවක්වත් අප දුටුවේ නැහැ. ණය ආර්ථිකයක් මත පදනම් වෙලයි හැමවිටම ඉදිරියට ගමන් කරන්නේ. ඒ තුළ අද වනවිට රටේ ගොවි ජනතාව මෙන්ම අනෙකුත් ජනතාවත් හිඟා නොකා හිඟා කන තත්ත්වයකට ඇද වැටිලා. යාචක සමාජයක් නිර්මාණය වෙලා. ජීවන ප්‍රශ්න අහස උසට නැඟලා. එහෙම බරපතළ ලෙස ජීවන ප්‍රශ්නවලින් පීඩිතව ජනතාව පසුවෙන තත්ත්වයක් උඩයි මැතිවරණවලටත් මුහුණ දුන්නේ. එක අතකින් ආණ්ඩුව සතුටු වෙන්න ඕනේ එහෙම ප්‍රශ්නවලට මුහුණ දෙන ජනතාව තාමත් සන්ධාන ආණ්ඩුවට ඡන්දය ලබා දීම සම්බන්ධව.
නිල කාලය අවසන් වීමට පෙර බලවතුන්ගේ බලපැවැත්ම සඳහා පළාත් සභා විසුරුවා හැර බලය උරගා බලා වේලාසනින්ම තිබූ බලයත් ක්‍රමානුකූලව අඩු කර ගත්තා. වේලාසනින් මධ්‍යම විසුරුවා හැර පැවැත්වූ මැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී  ල. නි. ප. පළාත් සභා මන්ත්‍රිවරු තුන් දෙනෙක් ගෙදර යැව්වා. මධ්‍යම පළාත් සභාව ලෙසට තිබුණු මන්ත්‍රි ධුර දෙකක් අඩු කර ගත්තා. බස්නාහිර මන්ත්‍රි ධුර ‍ෙදාළහක් අඩු කර ගත්තා. දකුණෙත් මන්ත්‍රි ධුර පහක් අඩු කර ගත්තා. තිබුණු දේවල් තව වැඩි කර ගන්න නිල කාලය අවසන් වන්නට පෙර මැතිවරණ කැඳවලා අත  රැඳි දේ අහිමි වුණාම කොහොමද ඒවට ජයග්‍රහණ ලැබුවා කියලා කියන්නේ?
සන්ධාන බලවතුන් වේලාසනින් මැතිවරණ කැඳවලා විටින් විට පවත්වන මැතිවරණවලදී ජයග්‍රහණය රැගෙන දුන්නේ ජ. වි. පෙ.ට ෆොන්සේකා මහතාගේ පක්ෂයට හා එ.ජා. ප.යටයි. ඒ අතර තොණ්ඩමාන්ගේ සී. ඩබ්ලිව්. සී. එකට වගේම දිගම්බරම් මහතාටත් නොතිබූ ජයග්‍රහණ ගැනීම සඳහා පරිසරය සැකැසුවා. මේ යථාර්ථය නොපෙනෙන ශ්‍රී  ල. නි. ප. බලවතුන්ට සන්ධානයේ පාර්ශ්වවල යෝජනා හා අදහස්ද වැදගත් නොවන්නේ බලකාමයෙන් උමතුව සිටින නිසා බවයි අපේ හැඟීම. එකවර පළාත් සභා මැතිවරණ නොතබා කඩින් කඩ පැවැත්වෙන්නේ ජයග්‍රහණ උපරිම තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙනුයි. මේ මැතිවරණවලදී ප්‍රතිඵලය මෙහෙම නම් එකවර පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරණ, ජනාධිපතිවරණ මොන තරම් ආණ්ඩුවට අභියෝගයක් වෙයිද?
ඇත්තටම දැන් තියෙන්නේ සන්ධාන ආණ්ඩුවක් නෙවෙයි. බලය ගන්නත්, බලය ආරක්ෂා කර ගන්නත්, සන්ධානය කියලා කීවට බදාගෙන කද්දී නම් ශ්‍රී  ල. නි. ප.ය විතරයි. ඒත් ශ්‍රී  ල. නි. ප.යේ හැමෝටමත් ඒ අවස්ථා ලැබෙන්නේ නෑ.
රට ගොඩනඟනා නිශ්චිත ගමන් මඟක් නොමැතිකමින් මේ ආණ්ඩුවත්, රටත් මේ විදියට ගියොත් වළපල්ලට යන එක වළක්වන්න බෑ.
ජනාධිපතිතුමන් ප්‍රමුඛ මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට විමල් වීරවංශ මැතිතුමා ගත් උත්සාහය මේ රටම දන්නවා. ජ. වි. පෙ. විසින් විමල් ඇමැතිතුමාට මේ වනවිට විවෘත මරණ වරෙන්තු පවා නිකුත් කරලයි තියෙන්නේ.
ජාතික නිදහස් පෙරමුණට පළාත් අමාත්‍යධුර එකක් වෙන්වෙලා තිබුණා. මධ්‍යම පළාත් සභාවේ මමයි ඒ ඇමැතිකම කළේ. රටටම ආදර්ශ ලබා දෙමින් දූෂණයෙන් හා වංචාවෙන් තොරව පළාතේ හොඳම අමාත්‍යංශය බවට පත්කළා. අඛණ්ඩ විගණන මත ඒ විදියට ලබා ගත් රටේ වෙනත් පළාත් සභා තුළ හෝ මධ්‍යම ආණ්ඩුවේ ඇමැතිවරයෙක් නෑ. පළාතේ ආණ්ඩුකාරතුමාම ප්‍රකාශයක් කළා පළාතේ හොඳම හා සාර්ථකම අමාත්‍යංශය කෘෂිකර්ම අමාත්‍යංශය කියලා.
ශ්‍රී  ල. නි. ප. බලවතුන් සන්ධාන සදාචාරය රැක්කා නම් දූෂණයට, වංචාවට විරුද්ධ නම්, ආදර්ශවත් පාලනයට එකඟ නම් විමල් ඇමැතිතුමා ජනපති ප්‍රමුඛ සන්ධාන රජය වෙනුවෙන් කරන ලද කැප කිරීම්වලට කෙළෙහි ගුණයක් තිබුණා නම් යළිත් මධ්‍යම පළාතේ අමාත්‍ය ධුරයක් මට ලබා දෙනවා. ඒ කිසිදු ගුණාංගයක් නොතිබෙන බැවින් යළිත් එම අමාත්‍ය ධුරය මට ලබා දුන්නේ නෑ.
ඉන්පසු අපි බලාපොරොත්තු වුණා මධ්‍යමට අහිමි කරන ලද අමාත්‍ය ධුරය දකුණෙන් හෝ බස්නාහිරින් ලබා දේවි කියලා. නමුත් එහෙම සිද්ධ වුණේ නෑ. කොමියුනිස්ට් පක්ෂයටත්, ජාතික හෙළ උරුමයටත් අමාත්‍ය ධුර ලබා දුන්නත්, ජාතික නිදහස් පෙරමුණට යළි අමාත්‍ය ධුරය ලබා නොදීමට තරම් ශ්‍රී  ල. නි. ප. බලවතුන් අකාරුණික වෙලා තියෙනවා.
මේ ආණ්ඩුව දැන් සැකැසී ඇත්තේ මිතුරන්ගෙන් හා සතුරන්ගෙන්. හැබැයි හතුරු පිල මේ ආණ්ඩුවේ හැම අතකින්ම ශක්තිමත්.
මේ සතුරු පිල බටහිර රටවල්වලින් පෝෂණය වෙනවා වගේම ඩොලර්වලින්ද පොහොසත් වෙනවා. ඒ අයට ලබා දීපු කොන්ත්‍රාත් අතරේ ඉදිරි ආණ්ඩු වෙනසකදී බලවත් ශක්තියක් නියෝජනය කරන්නේ විමල් වීරවංශ මැතිතුමා වගේ අය මේ ආණ්ඩුව තුළ දුර්වල කිරීම මේ සතුරු කඳවුරු තුළම සිද්ධ වෙනවා.
සන්ධානය නමැති තොරණේ ආකර්ෂණය පවත්වා ගෙන යන කුඩා දීප්තිමත් විදුලි බුබුළු අක්‍රිය කිරීම ඇතැම් ශ්‍රී  ල. නි. ප. බලවතුන් විසින්ම සිදු කරනවා. හැබැයි ඒ අය දන්නේ නෑ තොරණ ලෙසින් පේන්නේ එහි තිබෙන දීප්තිමත් විදුලි බුබුළුවලින් කියලා. ඒ විදුලි බුබුළු ටික අක්‍රිය වූ වහාම තොරණ ආකර්ෂණීය තොරණක් වෙන්නේ නෑ. එය සැකිල්ලකට පමණක් සීමා වෙනවා. බලකාමයෙන් උමතු වූ ඇතැමුන් මේ කරන්නේ අපත් විනාශ කරලා තමනුත් නැසෙන තැනකට පත්වෙන්ටයි. දැන හෝ නොදැන කරන්නේ මේ තුළින් අධිරාජ්‍යවාදී ප්‍රමුඛ සතුරු බලවේගවලට පාර කපා දෙන එකයි.
ඒ නිසා මේ තත්ත්වය දැන් ඉතා පැහැදිලියි. රටටත්, ජනතාවටත් ආදරය කරන්න ඉගෙන ගෙන ඇති අපි මේ ආණ්ඩුවේ දෙබිඩි ගමන නවතලා යළි ජනතාවාදී තැනකට පරිවර්තනය කරන්න උත්සාහ ගන්නවා.
ඒක සාර්ථක වෙන්නේ නැතිනම් ජනතාවාදී විකල්පයක් ගොඩනැඟීම සඳහා උපරිම වෙර වීරිය යොදවනවා. ඒක අපිට බැරි නැහැ. රට වටේ යන්න ඕන එක වටයයි. ජනතා මතය ඒ සඳහා ගොනු කර ගන්න අපට පුළුවන්.
රටට අවශ්‍ය විදියට බාධාවකින් තොරව වැඩකරන්න ජනතාවගෙන් බලවතුන් ඉල්ලා සිටින්නේ මහ බලයක් ඉතින් ඒ මහ බලය ජනතාව දීලයි තියෙන්නේ. පාර්ලිමේන්තුවේ සන්ධාන රජයට අති බහුතර බලයක්. දීලා තියෙනවා වගේම අතිරේකව ගත්තොත් යූ. ඇන්. පී. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හැටකට වඩා වැඩි සංඛ්‍යාවකුත් සන්ධාන රජය සමඟ එකතුවෙලා. ඇයි එහෙම මහ බලයක් තියෙද්දි රට ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත නොවන්නේ? පළාත් සභා එකක හැර අනෙකුත් පළාත් සභා සියල්ලේම අති බහුතර බලයක් තියෙන්නෙත් සන්ධාන ආණ්ඩුවටමයි. ඒ විතරක් නෙවෙයි ප්‍රාදේශීය සභා, නගර සභා කිහිපයක හැර අතිබහුතර බලයක් තියෙන්නෙත් සන්ධාන ආණ්ඩුවට. ඔය බලය විතරක් නෙවෙයි, ලෝකේ තියෙන ලොකුම කැබිනට් මණ්ඩලය තියෙන්නෙත් අපේ රටේ. මම හිතන විදියට දැන් ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය 103 පැනලා.
ඉතින් මෙහෙම තත්ත්වයක් තමයි අපි අත්දකින්නේ. ආණ්ඩුව නියෝජනය කරන අපිටම මෙහෙම දැනෙනවා නම් බාහිර සමාජයටත්, විපක්ෂයටත් කොහොම පෙනෙනවා ඇත්ද?
එක කාලයක් තිබුණා ජනතාවට ඡන්ද එපාවෙලා තිබුණේ. ඡන්ද සිතියම අකුළලා මැතිවරණ නොපැවැත්වීමෙන්.
මේ ආණ්ඩුව බලයට ආපු දා ඉඳලා කෑලි කෑලි ඡන්ද එපා වෙනකල් තියලා ජනතාවට ඡන්ද එපා කරවලා තියෙනවා. දකුණේ, බස්නාහිර 2009ට සාපේක්ෂව ආණ්ඩුවට අහිමි වූ ඡන්ද ප්‍රමාණය දෙලක්ෂ පන  ස් දහසක් වගේම භාවිත නොකරපු ඡන්ද ප්‍රමාණය ලක්ෂ විස්ස ඉක්මවනවා.
ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා රට වෙනුවෙන් තම ගමන් මඟ ජනතාවාදීව වෙනස් කරන්න. ආණ්ඩුවට ඕන දේ නෙවෙයි රටට ඕන දේ ලබා දෙන්න.
ගොවි ජනතාව නඟාසිටුවන ජාතික සැලැස්මකට යන්න. ජීවන බරින් පීඩිතව ඉන්න ජනතාව ඉන් මුදා ගන්නා වැඩපිළිවෙළකට වහාම මාරු වෙන්න.
මේ තත්ත්වය හොඳින් තේරුම් අරගෙන බිම් මට්ටමේ ජනතාව අපි ඉතා හොඳින් දැනුම්වත් කරලා සංවිධානය කරන්න ඕනේ. අපිට රට වෙනුවෙන් මේ සටන දිනන්න පුළුවන්. ඒ සඳහා දැන් හොඳ වටපිටාවක් අපට නිර්මාණය වෙලා තියෙනවා.
- මව්බිම

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය