Powered by Blogger.

කුසල් ජනිත් ක්‍රිකට් දිවියෙත් පෞද්ගලික දිවියෙත් අපූරු මතක සටහන් සමග
kusalඔබ දැන් ලෝක ශූරතාවක් දිනූ කණ්ඩායමක සාමාජිකයෙක්. මොකද ඒ ගැන හිතෙන්නෙ?
ඒ ගැන විශාල සතුටක් දැනෙනව. අවුරුදු 18 කට පස්සෙ තමයි අපේ රටට මේ විදියට ක්‍රිකට්වලින් ලෝක කුසලානයක් ගේන්න අවස්ථාවක් ලැබුණෙ. ඉතින් ඇත්තටම එවැනි කණ්ඩායමක සාමාජිකයෙක්වෙන්න ලැබිච්ච එක  හිතට ලොකු සතුටක්.
මේ ජයග්‍රහණයට ඔබ ලබාදුන් දායකත්වය ගැන මොකද හිතෙන්නෙ?
ආරම්භක පිතිකරුවෙකු හැටියට මම මගේ උපරිම දායකත්වය ලබා දුන්න කියල මට හිතෙනව. මොකද විස්සයි විස්ස තරගයකදී මුල ඉඳන්ම කණ්ඩායමට හොඳ රිද්මයක් පවත්වා ගැනීම ඉතාම වැදගත්. ආරම්භක පිතිකරුවකුගෙන් කණ්ඩායම බලා‍පොරොත්තු වෙන්නෙ මේ රිද්මය මුල ඉඳන්ම කණ්ඩායමට ලබා දීමයි. ඉතින් අවස්ථා දෙක තුනකදී ඇරුණම මම හිතනවා මට ඒ වගකීම ඉෂ්ට කරන්න පුළුවන්කම ලැබුණ කියල.
ඒ වගේම කියන්න ඕන තරග දෙකකදීම මට හිතාගන්න බැරි විනිශ්චයන් දෙකක් ලැබුණ. නමුත් කරන්න දෙයක් නැහැ. ඒක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. නමුත් අනික් හුඟක් අවස්ථාවලදී මම කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන්න කියල මම හිතනව.
සමහර විචාරකයින් අදහස් දක්වල තිබුණ ඔබ සමහර අවස්ථාවල ඕනෑවට වඩා ටිකක් කලබල ගතියෙන් ක්‍රීඩා කරන්න ගිහින් කඩුල්ල පූජා කළා කියල. මේ අදහස එක්ක ඔබ එකඟද? මේක ඔබේ සාමාන්‍ය ක්‍රීඩා විලාශයද නැත්නම් සැලසුම තිබුණෙ කොහොම පන්දුව ආවත් ප්‍රහාරාත්මකව පහර එල්ල කරනව කියලද?
විස්සයි විස්ස තරගයකදී මොන දේ කරන්නත් අපිට තියෙන්නෙ පන්දු 120 ක් විතරයි. මේ පන්දු 120 ඇතුළෙ ලකුණු 150ක් 160ක් වගේ ගාණක් රැස් කරගන්න අපිට සිද්ධ වෙනව. ඉතින් මුල් පන්දු ඕවර පහ හය කියන්නෙ ඉතාම තීරණාත්මක ඕවර කිහිපයක්. මේ ඕවරවලදී පන්දු රකින්නන් දෙන්නයි සීමාවෙන් පිට ඉන්නෙ. ඉතින් ඒ තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මුල් පන්දු ඕවරවල ලකුණු වේගය ඉහළින් පවත්වා ගැනීම තමයි ආරම්භක පිතිකරුවකුගෙන් වෙන්න ඕන යුතුකම. මං හිතන්නෙ ඒ නිසා ආරම්භක පිතිකරුවෙකුට යම් කිසි රිස්ක් එකක් අරගෙන ක්‍රීඩා කරන්න සිද්ධ වෙනව. අනික මේ මුල් පන්දු ඕවරවලදී කිසිම පන්දු යවන්නෙකුට ස්ථාවර වෙන්න ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් පන්දුවට පහර දෙන්න බය වෙලා බැහැ. ඒ වගේම පරක්කු වෙලත් බැහැ. මේ නිසා වෙන්න ඇති මම කලබලෙන් පන්දුවට පහර දෙනව කියල කියනව ඇත්තෙ. නමුත් මම ඒ දේ කරන්නෙ කණ්ඩායම වෙනුවෙනුයි. මේක වැඩිපුර කැපිල පේන්නේ මුල් පන්දු ඕවර දෙක තුන ඇතුළත මම දැවී ගියොත් තමයි. ඕවර හයක් හතක් ගහල ලකුණු 30ක් 40ක් රැස් කරගෙන දැවිල ගියොත් ඒක එච්චර කාටවත් දැනෙන්නෙ නැහැ.
තරග දෙකකදී විනිශ්චයකරුවන් අතින් ඉතාම මතභේදයට තුඩු දුන් විනිශ්චයන් දෙකක් ලැබුණ. ඒ වෙලාවෙ මොකද හිතුණෙ?
එක තරගයක විතරක් වුණා නම් කමක් නැහැ. නමුත් තරග දෙකකදීම, ඒ කියන්නෙ නවසීලන්තය සහ එංගලන්තය අතර තරග දෙකේදීම, ඒ විදියට වුණාම කනගාටුවක් ඇති වුණා. ටිප් කැචස් දෙකක් සම්බන්ධයෙන් තමයි ඒ විනිශ්චයන් දෙක ලැබුණෙ. අනික මම හොඳටම ක්‍රීඩා කරමින් ඉන්න අතරේ. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. ක්‍රීඩාවෙ හැටි ඔහොම තමයි.
ඒ විනිශ්චයකාරවරුන් ඔබත් සමග පසුව ඒ ගැන කතා කළාද? ඒ ගැන කනගාටුව එහෙම පළ කළේ නැද්ද?
එහෙම දෙයක් නම් සිද්ධ වුණේ නැහැ. මං හිතන්නෙ විනිසුරුවරුන් සාමාන්‍යයෙන් එහෙම කනගාටුව ප්‍රකාශ කරන සිරිතක් නැහැ. අනික මමත් ඒ සිද්ධිය ගැන ඕනවට වඩා හිත කරදර කරගන්න ගියෙත් නැහැ. මොකද මට ඒ තීරණය ආපසු හරවන්න පුළුවන්කමක් නැහැනෙ. නමුත් මාධ්‍යවල නම් ඒ විනිශ්චයන් සම්බන්ධයෙන් හුඟක් සාකච්ඡා වුණා. මට ඇත්තටම හුඟක්ම කනගාටුවක් ඇති වුණේ එක ළඟ තරග දෙකකදීම ඒ වගේ තීරණ දෙකක් Kusal1ලැබිච්ච එක ගැනයි.
එක විනිශ්චයක් දුන්නු වෙලාවෙ අනෙක් පැත්තේ හිටපු ඩිල්ෂාන් ඊට ප්‍රතිචාරයක් දක්වන්න ගිහින් ඔහුට දඩ කන්නත් සිද්ධ වුණා?
ඔව් එහෙම දෙයකුත් වුණා. ඇත්තටම මට තවම හිතාගන්න බැහැ කොහොමද ඒ වගේ විනිශ්චයක් දුන්නෙ කියල.
ඔබ පන්දුවට පහර දෙන්න එනකොට මොන වගේ උපදෙසක්ද ඔබට නායකත්වයෙන් ලැබෙන්නෙ?
මට හැම තිස්සෙම ඔවුන් කියන්නෙ පුළුවන් තරම් වෙලාවක් කඩුල්‍ලේ රැඳී ඉන්න කියන එකයි. ලකුණු ගත්තත් නැතත් කඩුල්‍ලේ ඉන්න  එක තමයි ඔවුන් මගෙන් බලා‍පොරොත්තු වෙන්නෙ.
ලකුණු නැතත් කඩුල්ලෙ ඉන්න කියන එකේ තේරුම මොකක්ද?
සාමාන්‍යයෙන් මම කඩුල්ලෙ ඉන්න කොට පන්දු යවන්නන් තුළ යම් කිසි චකිතයක් තියෙනව කියන අදහස නිසා තමයි එහෙම කියන්නෙ. මොකද පන්දු යවන්නන් දන්නව මට වේගයෙන් සහ ඉහළින් පන්දුවට පහර දෙන්න පුළුවන් බව. ඒ නිසා මම කඩුල්ලෙ ඉන්න කොට ඔවුන් තුළ පීඩනයක් ඇති වෙනව කියන කාරණය තමයි මේකට හේතුව. මේ පීඩනය නිසා අනෙක් පැත්තෙ ඉන්න පිතිකරුවාටත් ලකුණු රැස් කරන්න පහසුවක් ඇතිවෙනව. ඒ නිසා තමයි ලකුණු නැතත් කඩුල්ලෙ ඉන්න කියල කියන්නෙ. අනික පන්දු කීපයකට මට ලකුණු ගන්න බැරි වුණත් කොයි මොහොතක හරි ලොකු පහරවල් වලින් ඒ අඩුව පුරවගන්න මට පුළුවන් කියන එකත් ඔවුන් දන්නව.
අපි හුඟක් වෙලාවට දකිනව පිතිකරුවන් ලොකු පහරවල් ගැහුවම පන්දු යවන්නන් ළඟට ඇවිල්ල ඔරවනව, බණිනව. ඔබටත් මේ වගේ අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙලා තියෙනවද?
අ‍පෝ අනන්තවත් එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනව. ඔවුන් ඒ වගේ වෙලාවට ඇවිල්ල උත්සාහ කරන්නෙ, ඔවුන්ගේ පීඩනය අඩු කරගන්න ගමන්ම, අපිව කේන්ති ගස්වල අපේ අවධානයත් බිඳින්නයි. ඉතින් ඒ උගුලට අපි අහු වුණොත් තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නෙ. හැබැයි කොච්චර ඉවසගෙන ඉන්න හැදුවත් අපිටත් තරහ යන වෙලාවල් තියෙනව. නමුත් මම හැම තිස්සෙම උත්සාහ කරන්නෙ කරබාගෙන නිශ්ශබ්දව ඉන්නයි.
අපි අහල තියෙනව සමහරුන්ට කේන්ති ගියාම තමයි වඩා හොඳට පන්දුවට පහර දෙන්නෙ කියල.
ඇත්තම කිව්වොත් මටත් එහෙම තමයි. (සිනා) හැබැයි හැමෝටම ඒක අදාළ නැහැ. හුඟක් අයට වෙන්නෙ කේන්ති ගියාම අවධානය බිඳ වැටිල ඉක්මනින් දැවී යන එකයි. මම වැඩිපුර ලකුණු ගත්තු හුඟක් තරගවලදී එහෙම කේන්තියෙන් හිටපු නිසා තමයි ලකුණු වැඩියෙන් අරන් තියෙන්නෙ.
මට මතකයි ඔබ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයෙදී ලෝකයේ අංක 1 පන්දු යවන්නෙක් වන ඩේල් ස්ටේන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. එවැනි පන්දු යවන්නෙක් පන්දු යවන්න එද්දී චකිතයක් දැනෙන්නෙ නැද්ද?
මම සාමාන්‍යයෙන් පන්දු යවන්නා කවුද කින්ද මන්ද කියල වැඩිය හොයන්න කරන්න යන්නෙ නැහැ. හුඟක්දෙනෙක් සාමාන්‍යයෙන් තරගයකට සූදානම් වෙද්දී වීඩියෝ ක්ලිප්ස් එහෙම බලල, පන්දු යවන්නො කොහොමද පන්දු යවන්නෙ, මොනවද ඔවුන්ගෙ දුර්වලතා වගේ දේවල් ගැන හුඟක් අධ්‍යයනය කරනව, කතාබහ කරනව. නමුත් මම එහෙම නැහැ. මම ටිකක් වෙනස්. තරගයක් ඉවර වුණාට පස්සෙ වුණත් මම වැඩිය ඒ ගැන කල්පනා කරන්න උත්සාහ කරන්නෙ නැහැ. යම් කිසි පන්දු යවන්නෙක් පන්දු යවද්දි මම මුල් පන්දු කිහිපයෙදී ටිකක් බලනව කොහොමද මෙයාගෙ ස්ටයිල් එක කියලා. ඊට පස්සෙ ඉතින් පන්දුව වැටෙන විදියට මම මට පුළුවන් විදියට පහර එල්ල කරනව.
ඕනාවට වඩා ක්‍රිකට් ගැනම හිතන්න ගියොත් මට ඒක කරදරයක්. දවසෙ පැය විසි හතරම ක්‍රිකට් ගැනම හිත  හිත ඉන්න මම කැමති නැහැ.
නමුත් වීඩියෝ ක්ලිප්ස් වැනි දේවල් නැරඹීම තුළින් ලබන අධ්‍යයනය හරහා නේද ඔබේ අඩුපාඩු හදාගන්න පුළුවන් වෙන්නෙ?
මට මගේ අඩුපාඩුවක්, දුර්වලතාවක් ගැන දැනුණොත් මම පුහුණුවීම්වලදී පුහුණුකරුවන් එක්ක සාකච්ඡා කරල ඒ අඩුපාඩු හදා ගන්නව. අනික මම විශ්වාස කරන විදියට පුහුණුවීම් කරන විදියයි, මැච් එකක් ගහන විදියයි වෙනස්. අපි පුහුණුවීම් කරද්දී යම් කිසි පහරක් හොඳටම නිවැරදිව ගහන්න තමයි උත්සාහ කරන්නෙ. නමුත් මැච් එකකදී පිත්තෙ කෙළවරක වැදිල හරි හතරෙ පහරක් යනව නං ඒක වැදගත්. ඒත් පුහුණුවීම්වලදී අපි බලන්නෙ පිත්තෙ කෙළවරේ වදින එක පුළුවන් තරම් අඩු කරගෙන පිත්තෙ මැදින්ම පන්දුවට පහර එල්ල කරන්න. ඒ වුණාට පුහුණුවීම් කරන විදියටම මැච් එකකදී ගහන්න බැහැ. මං හිතන්නෙ පුහුණුවීම් කරන විදියටම ගහන්න ගියොත් ලකුණු ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ වගේම පුහුණුවීම් හරියට නොකර වුණත් කෙනෙකුට මැච් එකකදී ලකුණු ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්
පහුගිය කාලය පුරාම දැකපු දෙයක් තමයි අපි තරගාවලිවල අවසන් තරගය දක්වා ආවත් අපිට ඒ කඩඉම පැනගන්න පුළුවන් වුණේ නැහැ. මේ පාර විස්සයි විස්ස අවසන් තරගයේදී කණ්ඩායමේ විශ්වාසයක් තිබුණද අපිට මේ පාර ඒ කඩුල්ල පැනගන්න පුළුවන් කියල?
ඔව් මං හිතන්නෙ අපි වෙනදට වඩා ලොකු විශ්වාසයකින් තමයි මේ පාර අවසන් තරගයට ආවෙ. තරගයට කලින් පැවති කණ්ඩායම් රැස්වීම්වලදී පවා ඒ විශ්වාසය හොඳින් පිළිබිඹු වුණා.
නායකත්වය වෙනස් වීම සම්බන්ධයෙන් කිසිම මතභේදයක් තිබුණෙ නැද්ද?
ඒ සම්බන්ධයෙන් කියන්න මම හරියටම දන්නෙ නැහැ. මොකද්ද වුණේ කියන එක හරියටම කියන්න දන්නෙ නැති නිසා. කොහොම වුණත් දිනේෂුත් හොඳට කරගෙන ගියා. ඒ වගේම ලසිත් විස්සයි විස්ස තරග රාශියකට සහභාගි වෙලා විශාල අත්දැකීම් ප්‍රමාණයක් තියෙන ක්‍රීඩකයෙක්. ඔහු තරම් විස්සයි විස්ස තරග වලට ක්‍රීඩා කරපු කෙනෙක් අපේ කණ්ඩායමේ නැතුව ඇති. මං හිතනව ඔහු ඒ අත්දැකීම් සහ පළපුරුද්ද හොඳින් ප්‍රයෝජනයට අරන් නායකත්වය දැරුව කියල.
අපි දැන් ‍පොඩ්ඩක් ඔබේ අතීතය ගැනත් කතා කරමු. ඔබ ක්‍රිකට් පටන් ගත්ත විදිය ගැන ‍පොඩ්ඩක් මතක් කරමු?
කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් තමයි මම ක්‍රිකට් පටන් ගත්තෙ. දුමින්ද ගුණසේකර තමයි මගේ මුල්ම පුහුණුකරුවා වුණේ. ඒ පාස‍ලේදී 13න් පහළ, 14න් පහළ, 15 න් පහළ කණ්ඩායම්වල ක්‍රීඩා කරල ඊට පස්සෙ රාජකීය විද්‍යාලයට ආව. එතැනදී මගේ පුහුණුකරුවා වුණේ චූලක අමරසිංහ. එතනින් පස්සෙ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. ඊළඟට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ක්‍රීඩා කරල තමයි ජාතික කණ්ඩායමට ආවෙ. මේ විදියට පියවරෙන් පියවර, පිළිවෙලට ආපු එක ගැන මම සතුටුයි. අනික සාමාන්‍යයෙන් ක්‍රීඩකයකුට පළමු තරගය ක්‍රීඩා කරන්න දෙන්නෙ තරමක් ‍ලේසි කණ්ඩායමක් එක්ක. නමුත් මට මගේ පළමු තරගය ගහන්න දුන්නෙ ඕස්ට්‍රේලියාවත් එක්කයි. ඉතින් ඒකත් මං හිතන්නෙ විශේෂ ජයග්‍රහණයක් කියල.
අපි අහල තියෙන විදියට ඔබ මුලින් දකුණත් පිතිකරුවෙක් හැටියටයි ක්‍රීඩා කළේ. පසුව අපූරු දෙයක් සිද්ධ වෙනව. ඔබ වමත් පිතිකරුවෙක් බවට පරිවර්තනය වෙනව. කොහොමද මේක සිද්ධ වුණේ?
ඇත්තටම සැහැල්ලු පන්දු ක්‍රිකට් සෙල්ලම් කරපු මුල්ම කාලෙ තමයි මම දකුණත් පිතිකරුවෙක් හැටියට සෙල්ලම් කළේ. එතකොට වයස අවුරුදු එකොළහක් දොළහක් විතර ඇති. සනත් අයියට මම ඒ දවස්වල ඉඳලම හුඟක් කැමතියි. ඔහුගේ ක්‍රීඩා ෙශෙලියට කැමතියි. ඉතින් ඇත්තම කිව්වොත් ඒ නිසා තමයි ඔහු වගේ වමතින් ගහන්න පුරුදු වුණේ.
ඒ කියන්නෙ දැන් ඔබට වමත්, දකුණත් කියන දෙවිදියටම ක්‍රීඩා කරන්න පුළුවන්ද?
(සිනාසී) ඔව්........හැබැයි දකුණතින් මුල් කාලෙ තරම්ම හොඳට ක්‍රීඩා කරන්න හැකියාවක් නැහැ. ඒත් සවීප් පහරවල් වගේ ගහද්දී අනික් අයට වඩා මට ‍පොඩි වාසියක් තියෙනව දකුණතින් පහරදීල මට තියෙන පුරුද්ද නිසා.
ඉගෙන ගන්න කාලෙ ක්‍රිකට් ගහන එකට ගෙදරින් කැමැත්තක් දැක්වුවද? අධ්‍යාපනය පැත්තටත් ඔබේ දක්ෂකමක් තිබුණද?
ඔව් අධ්‍යාපනය පැත්තටත් හැකියාවක් තිබුණ. නමුත් ක්‍රිකට්වලට තිබුණු උනන්දුව නිසා සමහර අවස්ථාවල අමතර පන්ති යනව වගේ දේවල් කරගන්න බැරි වුණා. පාස‍ලේ විභාග එහෙමත් මිස් වුණා. ඒ වගේ දේවල් වුණා. නමුත් ඉතින් මට පුළුවන් තරමින් අධ්‍යාපන කටයුතුත් කරගත්තා. සාමාන්‍ය පෙළ සමත් වුණා. උසස් පෙළ කරන්න හිටියෙ වාණිජ අංශයෙන්. ඒත් අවුරුදු තුනක්ම විභාගයට පෙනී සිටින්න බැරි වුණා, ක්‍රිකට්වලට මම විදෙස්ගතව සිටි නිසා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය