Powered by Blogger.

නිමේෂ තිවංකර සෙනෙවිපාල
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

මෙම ලිපිය සකස්‌ වන්නේ සිංහලේ අප්‍රකට යුද වීරයන් හා සබැඳිව අප විසින් සිදුකරගෙන යනු ලබන පර්යේෂණයක්‌ ඇසුරිනි. මෙහි මතු දැක්‌වෙන පරම්පරාවන් පිළිබඳව ඇති පුරාණ සන්නස්‌ ආදිය මෙන්ම එම පෙළපත්වලින් පැවතෙන්නා වූ පාර්ශ්වයන් පිළිබඳව ද තොරතුරු වෙතොත් අප වෙත දන්වනු ලබත්වා.

වර්ෂ 1505 දී ලක්‌දිවට ගොඩබැසි පෘතුගීසින් විසින් ක්‍රමිකව ස්‌වකීය බලය තහවුරු කරගත් අතර, ඒ හා සමගාමිව කෝට්‌ටේ රාජ්‍යය දේශපාලනික වශයෙන් අස්‌ථාවරත්වයට පත්වීම සිදුවිණි. මෙහි ඊ ළ`ග ප්‍රතිඵලය වූයේ සීතාවක මායාදුන්නේගේ පුත් වූ රාජසිංහ රජුගේ බලය ක්‍රමයෙන් වර්ධනය වීමත්, අඛණ්‌ඩව කාලාන්තරයක්‌ පැවති උඩරට සෙංකඩගල නුවර රාජධානියේ පාරම්පරික බලාධිකාර උරුමය වෙනස්‌ වී එය නව රාජ්‍යයක්‌ දක්‌වා විකාශනය වීමට අවශ්‍ය පදනම සකස්‌ වීමත්ය. වර්ෂ 1581 දී සිදු වූ රාජසිංහයන්ගේ උඩරට ආක්‍රමණයට මුහුණ දී ගත නුහුණු එවක උඩරට පාලකයා වූ කරල්ලියද්දේ බණ්‌ඩාර, ස්‌වකීය දියණිය වූ කුසුමාසන දේවිය සහ ඇගේ ස්‌වාමියා වූ යමසිංහ බණ්‌ඩාර ද සම`ග පෘතුගීසින්ගේ රැකවරණය පැතුවේ ය. මේ අතර, රාජසිංහට උඩරට දිනාගැනීමට සහය දැක්‌වූ පේරාදෙණියේ වීරසුන්දර මුදලිවරයා සහ රජු අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලය වශයෙන් වීරසුන්දර බණ්‌ඩාර ඝාතනය වූ නිසා ඔහුගේ පුත් වූ කොනප්පු බණ්‌ඩාර පෘතුගිසින් වෙත පලාගොස්‌ හිඳ පසුව පෘතුගීසි සේනාවක්‌ සම`ගවුත් රාජසිංහ බලයෙන් පහකොට, අනතුරුව පෘතුගීසින් ද පළවාහැර උඩරට අල්ලාගත්තේ ය. කුසුමාසන දේවියගේ නීත්‍යනුකූල ස්‌වාමියා වශයෙන් රාජ්‍ය බලයේ උරුමය තිබූ යමසිංහ බණ්‌ඩාර මරා දැමූ හෙතෙම කුසුමාසන දේවිය සම`ග විවාහ වී අනතුරුව විමලධර්මසූරිය නමින් වර්ෂ 1591 දී කන්ද උඩරට රජු බවට පත්විය.

සෙංකඩගල නුවර ලංකාවේ අගනුවර බවට පත්වූ පසුව කන්ද උඩරට ඉලක්‌ක කර ගනිමින් පෘතුගීසින්ගේ ආක්‍රමණ සුලබ ව එල්ල වන්නට විය. වර්ෂ 1604 දී විමලධර්මසූරිය රජුගේ මරණයෙන් ඉක්‌බිතිව ඔහුගේ අග බිසව වූ කුසුමාසන දේවිය ම සරණ පාවා ගත් ඔහුගේ සොයුරු සෙනරත් නොහොත් සේනාරත්න නම් කුමරු එම වර්ෂයේදීම උඩරට රාජ්‍යත්වයට පත්විය.

විමලධර්මසූරියගේ දැඩි ප්‍රතිපත්තිය නිසා පසුබට වී සිටි ප්‍රතිකාලුන් මේ අවස්‌ථාවේ දී යළිත් සක්‍රීය වෙමින් උඩරට සම`ග විරුද්ධවාදී ප්‍රතිපත්තියක්‌ ගෙන යන්නට උත්සුක විය. පෘතුගීසින් නොසිතූ පරිද්දෙන් සිංහලයන්ගේ දැවැන්ත ප්‍රහාරයන් හමුවේ අන්ත පරාජයට පත් වූ මහා යුද්ධයකට මුහුණ දීමට සෙනරත් රජුගේ කාලයේ දී සිදුවිය. ඒ නිසාම සෙනරත් මහරජුගේ රාජ්‍ය කාලය සිංහල ඉතිහාසයේ අමරණීය සන්ධිස්‌ථානයක්‌ වනු නොඅනුමාන ය.

වර්ෂ 1618 දී කොළඹ කොටුවේ ප්‍රතිකාල් කපිතාන් තනතුරට පත් වූ කොන්ස්‌තන්තීනු ද සා වූ කලී ගෝවේ ප්‍රතිකාල් සාමන්තයාගේ හොඳ හිත දිනාගත් සුප්‍රකට නිර්භීත සේනාධිපතිවරයෙක්‌ විය. ඔහු ලංකාවේ කපිතාන් පදවිය භාරගන්නා විට මෙරට ප්‍රතිකාල් හමුදාව නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා බෙහෙවින් වියවුල් ව තිබුණි. ඔහු පත් වූ වහා ම බලන ප්‍රදේශයේ බලකොටුවක්‌ ඉදිකිරීම ආරම්භ කළේ ය. එමෙන් ම, නැවත විධිමත් යුද පුහුණුවක්‌ හා විනයක්‌ ද ඇති කළේ ය. ඉන්දියාවේ සිට පැමිණි නිර්භීත රණශූරයෙකු වශයෙන් විශාල ජනප්‍රියත්වයක්‌ හිමි ව තිබූ කොන්ස්‌තන්තීනු ද සා පිළිබඳව රට පුරාම භීතියක්‌ පැතිර නොගියේ යෑයි කිව නොහැක. ඒ තරමටම ඔහු පෘතුගීසි හමුදාව විධිමත් කිරීමේ කටයුතුවලට අත ගසා සිටියේ ය.

කොන්ස්‌තන්තීනු ද සා විසින් 1624 දී ත්‍රීකුණාමලය, 1628 දී මඩකලපුව, 1626 දී ගාල්ල සහ 1624 දී මැණික්‌කඩවර ද යන බලකොටු බඳිමින් සූක්‌ෂම ලෙස උඩරට වටලමින් සිටින බව සෙනරත් රජු වටහාගත්තේ ය. මේ සැකය වඩාත් තහවුරු වූයේ 1628 දී මඩකලපුව බලකොටුව ඉදිකරන්නට පටන් ගැනීමත් සම`ග ය. එහිදී මඩකලපුව කොටුව වැනසීම සඳහා සෙනරත් රජු යුද හමුදා යවන ලදී. එහිදී ඇති වූ සටන්වලින් කපිතාන් පිලිප් ද ඔලිවේරා මරාදමන්නට සෙනරත් රජුට හැකිවිය. ලබන ලද ජයෙන් උද්දාමයට පත් වූ සෙනරත් මහරජ අනතුරුව පෘතුගීසින් සතුව තිබූ යාපනය අල්ලාගැනීම පිණිස තවත් සේනාවක්‌ යාපනය දෙසට යවන්නට තීරණය කළේ ය.

නමුත් උපායෙහි ශූර වූ කොන්ස්‌තන්තීනු ද සා විසින් සෙනරත් රජුගේ දුර්වලතාවය ප්‍රයෝජනයට ගනිමින් උඩරට ආක්‍රමණය කිරීම පිණිස පෘතුගීසි සේනාවක්‌ යෙදවූයේ ය. ජයග්‍රාහී මඩකලපුවේ සටනින් පසු යුද හමුදාව වෙහෙසකර ව සිටීමත්, යුද හමුදාවෙන් කොටසක්‌ යාපනය බලා පිටත් ව සිටීමත් නිසා සැබැවින් ම උඩරට ආරක්‌ෂාව අවදානමේ වැටී තිබුණි.

මේ වන විට සෙනරත් රජු විසින් ස්‌වකීය රජ්‍යය සිය පුත් කුමාරවරුන් වූ මහා අස්‌තාන නොහොත් රාජසිංහ, කුමාරසිංහ හා විජයපාල යන තිදෙනා වෙත පවරා දී තිබුණි. උඩරට ආක්‍රමණය පිණිස සේනාංක ද සම`ගින් කොන්ස්‌තන්තීනු ද සා සෙනෙවියා පැමිණෙමින් සිටියේ ඌව දිසාව හරහා ය.

මෙසේ පැමිණෙන පෘතුගීසි සේනාංකය සහ මහා අස්‌තාන කුමාරයාගේ සේනාංක අතර පළමු ගැටුම ඇති වූයේ අඹතැන්නේ දී ය. සටන් ඇවිළෙන අතරවාරයේ දී පැවති මෝසම් සුළං සහිත අයහපත් දේශගුණික තත්ත්වය පෘතුගීසින්ට අයහපත් ආකාරයෙන් බලපෑවේ ය. ශක්‌තිමත් පෘතුගීසි හමුදාවට තනිව පහරදිය නොහැකි බව වටහාගත් අස්‌ථාන කුමාරයා, පෘතුගීසින් සම`ග සමගි සන්ධානයට කැමති බව කියා යුද විරාමයක්‌ ඇති කරගන්නට උත්සාහ ගත්තේ මේ අතරවාරයේ දීය. කෙසේ නමුත් පෘතුගීසි කපිතාන්වරයා ද ඊට එක`ග වූ නමුත්, ගෝවේ සිට ලබාදෙනු ලැබූ ආඥා අනුව වහාම ලද අවස්‌ථාවෙන් උඩරට ආක්‍රමණය සිදු කළ යුතු බව ප්‍රකාශ විණි.

ඒ අනුව පෘතුගීසි හමුදා යළි උඩරට බලා ගමන් කරන්නට පටන් ගත්හ. එම අවස්‌ථාවේ දී සෙනරත් රජුගේ පුත් වූ කුමාරසිංහ කුමරු ස්‌වකීය සේනාව සම`ග වුත් පෘතුගීසින්ට ක්‌ෂණික ප්‍රහාරයක්‌ එල්ල කොට බදුල්ල දෙසට පලා යන්නට විය. එය සූක්‌ෂම යුද උපායක්‌ බව වටහා ගත නුහුණු පෘතුගීසින් ද ඔහු හඹා බදුල්ල දෙසට ගමන් ගත්තේ ය. කුන්ස්‌තන්තීනු ද සා සම`ග ක්‍රි. ව. 1630 අගෝස්‌තු මස 2 වැනි දා 13000 ක ලස්‌කිරිඤ්ඤ බලඇණියක්‌ සහ 700ක පෘතුගීසි හේවා ඇණියක්‌ ද මෙම ආක්‍රමණයට එක්‌ව සිටියහ. සැබැවින් ම දිගින් දිගට ම සටන් කිහිපයකට මුහුණ දුන් සිංහල හමුදාවන්ට එය මුහුණ දිය නොහැකි තරමේ සුවිශාල බල ඇණියක්‌ විය.

කුමාරසිංහ කුමරු පසුපස හඹා ගිය ඔවුහු අතරමග අතවරයකට මුහුණ නොපා බදුල්ලටත්, එතැනින් මුතියංගණයටත් පැමිණියෝ ය. මුතියංගණ පුදබිම ඇතුළු බොහෝ වෙහෙර විහාර හා ගම් බිම් කොල්ල කෑ ඔවුහු ඌවේ කුමාරසිංහ රජුගේ මාලිගය ද කොල්ල කෑවෝ ය. නගරය ද ගිනි තැබූ හ. සිංහලයන් තම සේනාව පිළිබඳ බියපත් ව නුවර අත්හැර ඇතැයි සිතා උද්දාමයට පත් වූ කොන්ස්‌තන්තීනු ද සා කිසිදු බියකින් හෝ තැතිගැන්මකින් තොරව රන්දෙණිවෙලේ කඳවුරු බඳින්නට වූයේ පසුදිනයේ ම සෙංකඩගල බලා යාමේ අදහසිනි.

සතුරා ප්‍රබලයෙකු වී නම් ඔහු මගහැර ගොස්‌ පහර දිය යුතුය යන නියමයෙහි පිහිටා සිටි සෙනරත් රජු ස්‌වකීය පුතුන් ද සම`ග තරමක බල ඇණි කිහිපයක්‌ ගෙන බදුල්ල දක්‌වා ම පෘතුගීසින් පසුපස ගමන් ගත්තේ ය. මෙසේ සෙනරත් රජු පෘතුගීසින්ගේ පසුපසින් හා දෙපසින් ඔවුන්ට නොදැනෙන සේ සේනා මෙහෙය වූයේ ය.

මේ අතරවාරයේ දී බදුල්ල ආසන්නයේ රන්දෙණිවෙල නම් ප්‍රදේශයේ පෘතුගීසිහු ස්‌වකීය කඳවුර බැඳීමට තීරණය කළෝ ය. සතුරා කඳවුරු බැඳගත් අවස්‌ථාවේ දී සෙනරත් රජු කුඩා බල ඇණියක්‌ ද සම`ග පෙරමුණට පැමිණියේ ය. මේ අවස්‌ථාව වන විට කිසිදු තැතිගැනීමක්‌ නොමැති වූ පෘතුගීසිහු සන්ධ්‍යාව වන විට කඳවුරු භූමියේ ආහාර පිසීමට සූදානම් වෙමින් සිටි බව සමකාලීන තොරතුරු දක්‌වන ප්‍රධානතම මූලාශ්‍රයක්‌ වන මන්දාරම්පුර පුවතෙහි දැක්‌වෙයි.

පෘතුගීසින්ගේ දුර්වලම අවස්‌ථාව මනා සේ හඳුනාගත් සෙනරත් රජුගේ හදිසි යුද සැලසුම නිසා පෘතුගිසින් වික්‌ෂිප්ත වූවා නිසැක ය. එම අවස්‌ථාවේ දී තමා හසු වූ උගුලෙහි තරම වටහාගන්නට කොන්ස්‌තන්තීනු ද සාට හැකි වූ නමුත්, ඉන් ගැලවෙන මගක්‌ හඳුනාගත නොහැකි විය. සිය රජු අනුගමනය කරමින් සිංහල සේනාවේ ඇමතිවරුද සතුරු කඳවුර වට කරන ලද අවස්‌ථාව මන්දාරම්පුර පුවතේ හඳුන්වා දෙන්නේ ඇත් රංචුවක්‌ ගාල් කළ අවස්‌ථාවකට සම කරමිනි.

මුහුණ පෑ දුෂ්කර අවස්‌ථාව වටහා ගත් කොන්ස්‌තන්තීනු ද සා දින තුනකට පමණක්‌ සෑහෙන තරම් ආහාර ඉතිරි කොට සෙසු සියල්ල විනාශ කර දමා පසුබසින මෙන් සිය සේනාවට අණ කරන ලද්දේ ය. මේ අතරවාරයේ දී ලස්‌කිරිඤ්ඤ කණ්‌ඩායමකට නායක ව සිටි දොන් කොස්‌මෝ කුලතුංග මුදලිවරයා සහ තවත් මුදලිවරු සිවුදෙනෙකු ද ස්‌වකීය සේනාංක සම`ග සිංහලයන්ගේ පක්‌ෂය ගන්නා ලදී.

දින තුනක්‌ පුරා රන්දෙණිවෙලේ පෘතුගීසි කඳවුර වටලා සිටි සෙනරත් රජු අනතුරුව පෘතුගිසින් අරභයා හසුනක්‌ යවා අනතුරු ඇ`ගවීමක්‌ මෙන්ම වහසියක්‌ ද ප්‍රකාශ කරන ලද්දේ යෑයි මන්දාරම්පුර පුවතේ සඳහන් වෙයි.

""අප සිංහලයන් බව නොදැන අප වනසනු පිණිස පැමිණි දුර්ජන තොපට නියතයෙන් ම දඬුවම් හිමි ය. එහෙයින් තොප අදහන දෙවියන් ද සිහිකරගෙන හෙට උදෑසන ම මරණයට සූදානම් වනු.""

පසුදින උදෑසන හය පමණ වන විට අධෛර්යමත් ව සිටි පෘතුගිසි සේනාව වෙත කඩා පනින්නට සිංහල හමුදාවෝ කටයුතු කළහ. එය පෘතුගීසින් විසින් ස්‌වකීය ඉතිහාසයේ ලබන ලද ඉහළ ම පරාජය ලැබූ යුද්ධය විය.

ප්‍රතිකාලුන්ට එරෙහි යුද පෙරමුණේ මුලින්ම පෙරමුණ ගෙන සිටියේ දියතිලක නුවර විසූ ප්‍රධාන රදළයන් දස දෙනාගෙන් අයෙකු වූ පිළපිටියේ මැතිඳුන් ය. දියතිලක නුවර විසූ ප්‍රභූන් දස දෙනා අතුරින් එක්‌ අයෙකු වූ ඔහු උපත ලද්දේ උඩුනුවර වේගිරියේ ය.

හෝලිය බණ්‌ඩාර, ලබුතල, කොට්‌ටව ය

මාවය, නිලවතුර, පුස්‌සල මංකඩ ය

ගලගොඩ, බෝගමුව, බඡ්ජල, පිළපිටි ය

මෙගොඩතිස පෙදෙස මේ අනුව රදළ ය

(මන්දාරම්පුර පුවත)

රන්දෙණිවෙලේ මහ සටන පිළිබඳ අංග සම්පූර්ණ විස්‌තරයක්‌ ඉදිරිපත් කරන හටන් කාව්‍යයක්‌ වන මහ හටන දක්‌වන ආකාරයට, සතුරා වෙතට කඩා පැනීමේ දී සිංහල හමුදාව වෙනුවෙන් වහසි බස්‌ කියා පෙරමුණ ගනු ලැබුවේ වේගිරියේ උපත ලැබූ මේ පිළපිටියේ මුදලිවරයා ය. රන්දෙණිවෙලේ සටන ජයගත් පසුව සෙනරත් මහරජු විසින් ඔහු වෙත ලබා දෙන ලද නම්බු නාමය වනුයේ "විජයසුන්දර" යන්නයි.

වේගිරියෙහි පසි `දු

විජයසුන්දර මුදලි `දු

වෙන් කරමින් සිරිදු දු

ගොසින් වහසි බස්‌ කියා රු දු

(1003 කව, මහ හටන)

රන්දෙණිවෙල සටනට දායකත්වය සැපයූ රදලයන් අතුරින් මහහටන කතුවරයා විසින් මුලින් ම දක්‌වන ලද්දේ වේගිරියේ ප්‍රකට ව විසූ හේවාහැට පිළපිටියේ විජයසුන්දර නිලමේතුමන්ගේ වීරත්වය පිළිබඳව ය. එවක මහා රණකාමියෙකු වශයෙන් ඔහු පිළිබඳව තිබූ සමාජ පිළිගැනීම ඉන් මනාව ප්‍රකට වෙයි.

වැද රණ දෙරණ ත ද

සතුරු ගිජිඳුන් මොල සි ද

විලසින් කෙසර ර ද

දිනී එද තම බලය පෑ සෙ ද

(1004 කව, මහ හටන)

වේගිරියේ ප්‍රසිද්ධව සිටි පිළපිටියේ විජයසුන්දර සෙන්පතිතුමා රණභූමියට පැමිණ, දරදඬු ගති ඇති ඇතුන් බඳු වූ සතුරන්ගේ දඩබ්බර ගති (මොළකම්) සිඳ දැමූයේ කේසර සිංහ රාජයෙකු පරිද්දෙනි. සටනේ ජය පිණිස ඔහුගේ බලය පෙන්වූයේ ය.

වේගිරියේ ප්‍රසිද්ධව සිටි පිළපිටියේ විජයසුන්දර මැතිඳුන් සම`ග තවත් උඩරට රදළ නායකයන් බොහෝ දෙනෙක්‌ ද රන්දෙණිවෙලේ සටනට සහභාගි වනු පිණිස සිය බල සෙන් සම`ග පැමිණ සිටියෝ ය. මහහටන ඔවුන් පිළිබඳව ද විස්‌තර කරයි. ඒ අතර උනම්බුවේ දිසාපතිතුමා, තොලොබොවත්තේ වික්‍රමසිංහ මැතිඳා, යාලේගොඩ අප්පුහාමි, අළුදෙණියේ මැතිඳු, යටිනුවර මොළදණ්‌ඩේ අප්පුහාමි, ගිරාගම අදිපති නයිදේ, තුන්පනේ විජයකෝන් මහමුදලි, වලගම විජයකෝන් මුදලි, මොලගොඩ මැතිඳු, ගෝනිගොඩ කුරුප්පු මුදලි, දුනුවිල ඒකනායක අප්පුහාමි, රඹුක්‌වැල්ලේ කාල අප්පු, කොස්‌වත්තේ ඒකනායක මැතිඳු, විජයසේකර අප්පුහාමි, අබයකෝන් අප්පුහාමි, කඳුරේ බණ්‌ඩාරට ජාතක අප්පුහාමි, භාණ්‌ඩාගාරික දැරූ අප්පුහාමි, ගෝණුසුගම අප්පුහාමි, මාදිනිගම විජයසිරි, කුළතුංග මුදලිවරයා, ඉලංගකෝන් මුදලිවරයා, ගලගෙදර සේනාපතිවරයා, විජයසිරි මැතිඳා, දුම්බර විජයගන්නා මුදලියා, භාණ්‌ඩාගාරයේ මහමැතිගේ අප්පුහාමි, අබයකෝන් මුදලියා, ඒකනායක අප්පුහාමි, වීර කෝනාරච්චි, වීරකෝන් මැතිඳු, අභයසිංහ මුදලිවරයා, වීරසේකර මැතිඳා, හේවාහැට කෝරළේ භාණ්‌ඩාරගෙයෙහි මැතිඳුගේ අප්පුහාමි, සමරතුංග කුමරු, උඩුවෙලින් පැමිණ සිටි නයිදෙහාමි යනාදි බොහෝ රදළ නිළමක්‌කාරයන් පිරිසක්‌ රන්දෙණිවෙලේ සටනට නායකත්වය දෙමින් පිළපිටියේ විජයසුන්දර මැතිඳු සම`ග සතුරන් නැසුමට එක්‌ව සිටිය හ.

සිංහලේ මහා රණශූරයන් සියදහස්‌ ගණනක්‌ දෙනා පැමිණ රන්දෙණිවෙලේ වට වී සිටි පරංගින් වැනසූහ. ඒ මහා සටන සිංහලේ යුද ඉතිහාසයේ සිදු වූ අසමසම වූ මහා සංග්‍රාමය බවට කිසිදු සැකයක්‌ නොමැත. මන්දාරම්නුවර මහ සටන විජයග්‍රහණය කළ සෙනරත් රජු සහ සේනාංක සම`ග නිලමක්‌කාරයෝ ද යළි සෙංකඩගල නුවරට ම පැමිණියෝ ය. යුද පෙරමුණට ගොස්‌ රණ වික්‍රම පළ කළ මහා සේනාපතිවරුන්ට මෙන් ම, සෙබළුන්ට ද මහරජුගේ කරුණා සිරි නොමඳව හිමි විය.

එම කරුණාසිරි ප්‍රදානයේ දී පිළපිටිය මැතිඳුන්ට "විජයසුන්දර" යන නාමය හිමි වූ බව මූලාශ්‍ර මගින් සනාථ වෙයි. එමෙන් ම, මන්දාරම්පුර පුවත අනුව සටනට නායකත්වය දුන් ගලගොඩ මැතිඳුන්ට සහ අරාවේ මැතිඳුන්ට ඇතෙක්‌ සහ ගම්වරයක්‌ බැගින් ද, නිලාවතුර මැතිට අසෙකු සම`ග ගම්වර ද, පුස්‌සල මැතිට කස්‌තානයක්‌ සහ ගම්වරයක්‌ ද, ගලගොඩ මැති සඳහා ගම්වර - වහලුන් සහ මතුරට ද, මීගස්‌කුඹුර සහ රහඬකුඹුර යන මැතිවරු උදෙසා කස්‌තානය හා පළිහ බැගින් තිළිණ කරන ලදී. වීරසිංහ සහ වලහේන යන මැතිවරුන්ට සුදු පැහැති අසුන් පිරිනැමුණි. හීන්කෙන්ද සහ වීරසූරිය යන මැතිවරු සඳහා ඇතුන් සම`ග කස්‌තාන පිරිනමන ලද අතර, යටිවාවල සහ හලුවඩන මැතිවරුන්ට ද එමෙන් ම, ඇතුන් සම`ග පළිහ තිළිණ කෙරිණි. මදුවඹ, අරාව සහ පුස්‌සල මැතිවරුන්ට ද කස්‌තාන සම`ග ඊ දඬු තිළිණ කරන ලදී. හෝතැන්න මැතිඳුන්ට ගම්වරයක්‌ සහ හෙණ්‌ඩුවක්‌ ද ලබා දී රාජකීය ඇත් පන්තිය ද පවරා දුනි.

ලබන ලද මහත් ජය ඇති සෙනරත් මහ රජතුමා මේ සියල්ල අවසන් කොට, මඩකලපුව වෙත රාජකීය සංචාරයක්‌ සඳහා සෙංකඩගල නුවරින් පිටත් වූ අතර, එම පෙරහැර පළමු දින රැය පහන් කරනු පිණිස පැමිණියේ බොහෝ රණශූරයන් විසින් පිරිවරන ලද හ`ගුරන්කෙත නුවරට වෙතට යි.

මහරජු හ`ගුරන්කෙත මාළිගාවේ දින සතක්‌ වාසය කළේය. එම අවස්‌ථාවේ දී මහරජු වෙනුවෙන් ආරක්‌ෂක කටයුතු සංවිධානය භාර වී තිබුණේ ද උක්‌ත පිළපිටියේ විජයසුන්දර මැතිඳු හට ය. ඔහු සම`ග උඩගම හා පුස්‌සල යන රදළයන් ද ආරක්‌ෂක සේවාවේ නියුක්‌ත ව සිටියෝ ය.

ගන්නාව සහ දියතිලක කෝරළ නියෝජනය කළ සුප්‍රකට රණකාමින් වූ උඩගම, පිළපිටිය සහ පුස්‌සල යන තිදෙන හයසියයක සෙබළ පිරිසක්‌ ද සම`ග ආරක්‌ෂක වළලු තුනක්‌ යොදා නිරන්තරයෙන් ම මහ වාසලට ආරක්‌ෂාව සලසන ලදී. මහරජු සහ රාජකීයයන් සත් දිනක්‌ ම හ`ගුරන්කෙත මහ වාසලේ කල් යෑවූ අතර, එම කාලය තුළ සකල විධ ආරක්‌ෂාව භාරව කටයුතු කරන ලද්දේ එම තිදෙන විසිනි.

රන්දෙණිවෙල සටනට ලබාදුන් සුවිශේෂී දායකත්වය හේතුවෙන් සෙනරත් මහරජු විසින් "විජයසුන්දර" යන නාමයෙන් ද පටබඳින ලද පිළපිටියේ මැතිඳුන්ගේ නාමය පුස්‌සල හා උඩගම වැනි කීර්තිමත් ප්‍රභූන් දෙදෙනෙකු සම`ග කියෑවීමෙන් හා සේවය කළ බව සඳහන් කිරීමෙන් පිළපිටියේ මැතිඳුන් ද ඔවුන් හා සම මට්‌ටමක වැජඹුණු අයෙකු බව විශ්වාස කළ හැකිය. එමෙන්ම සතුරු බලපෑම් උග්‍ර ව පවතින කාල සීමාවක දී රජු වැඩ වාසය කරන නගරය ආරක්‌ෂා කිරීමේ වගකීම නිශ්චිත වශයෙන් ම පැවරෙන්නේ හදිසි යුද අවස්‌ථාවක වුව ද සක්‍රීය දායකත්වය ලබා දිය හැකි තරමේ ප්‍රතිභාවක්‌ පළ කළ නිලධාරීන්ටම පමණි. රන්දෙණිවෙලේ සටනට සම්බන්ධ කවිවලින් ඔහු පිළිබඳව ඍජු ප්‍රකාශයක්‌ හමු නොවුණ ද, නිසැකයෙන් ම ඔහු ඒ සඳහා මැදිහත් වී යම් මෙහෙවරක නිරත වූවා විය යුතු ම ය. මන්ද යත්, රජු වැඩ සිටින නුවර රැකීමේ භාරදුර කර්තව්‍යය පැවරෙන්නේ රජුට අතිශයින් ම විශ්වාසනීය වූත්, අතිශයින් ම දක්‌ෂ වූත් රණකාමින්ට පමණක්‌ වන හෙයිනි.

එමෙන් ම, ඔවුහු මහවාසලේ ආරක්‌ෂාව පිළිබඳව තව දුරටත් අවධානය යොදවමින් ඒ මැතිවරු විසින් මහවාසලේ සතර දොරටුවේ අසරු භටයන් සිවුදෙනෙකු ද රඳවා තබන ලදී. අවට මංමාවත්වල ද ආරක්‌ෂාව තහවුරු කරන ලදී. රාත්‍රී කාලයේ රජුගේ සහ රාජකීයයන්ගේ ආරක්‌ෂාව වෙනුවෙන් තුන් ජාමයේ ම මුරකාවල් යෙදීමට ද නගරාරක්‌ෂාවේ යෙදී හුන් උඩගම, පිළපිටිය හා පුස්‌සල යන සෙන්පතිවරු කටයුතු යොදන ලදී. මේ සඳහා සහභාගි කරවා ගනු ලැබූ රදළයන් වනුයේ, මාවේ, මාදන්වල, සෝලිය බණ්‌ඩාර, ලබුතලේ, බෝගමුව, පල්ලේවෙල, මාකෙම්පේ, වදවල හා වෑගම යනාදීන් ය. මහරජු වැඩ වසන මාළිගාවේ පිටත රැකවල් කරනු පිණිස දෙහිපේ, දෙණියේ හා විල්වල යනාදින් යොදවනු ලැබුණි.

සත් දිනක ඇවෑමෙන් සෙනරත් මහරජු සහ රාජකීයයන් සියලු දෙනා මඩකලපුව බලා යන සංචාරය නැවත ආරම්භ කරන අවස්‌ථාවේ රජු වෙනුවෙන් මහත් පෙරහැරක්‌ සංවිධානය කිරීමට දියතිලක සහ ගන්නාව කෝරළයන්ගේ රදළයන් කටයුතු කරන ලදී. දියතිලක නුවර විසූ, රන්දෙණිවෙල පරංගි සංහාරයට නායකත්වය ලබා දී ගරු නම්බු නාම ලත් සුප්‍රකට රණ ශූරයෙකු වූ පිළපිටියේ විජයසුන්දර මුදලිතුමන් ද එම පෙරහැරේ මහත් උත්කර්ෂයෙන් යුතුව ගමන් ගත්තේ ය.

ඇකිරියෙ, බෝගමුවෙ, වෑගම ද සම`ගින

පිළපිටියේ, මාවේ සන්නාහ ගෙන

සසියක්‌ පමණ බලසෙන් රැගෙන වෙන වෙන

රණ ගී රැ`ගුම් කර ඊ ළ`ග විය ගමන

(272 කව, මන්දාරම්පුර පුවත)

එමෙන්ම, වර්ෂ 1638 දී සිදු වූ සුප්‍රකට ගන්නෝරුව සටනේ දී ද පිළපිටියේ විජයසුන්දර නිලමේ ඒ වෙනුවෙන් සක්‍රීය දායකත්වයක්‌ ලබා දුන් බව මන්දාරම්පුර පුවතෙහි දැක්‌වෙයි. පෘතුගීසි කපිතාන් දියෝගු ද මැල්ලෝ ගේ නායකත්වයෙන් යුක්‌ත විශාල පෘතුගීසි බල ඇණියක්‌ මහනුවරට ළ`ගා වූ අවස්‌ථාවේ දී සිදු වූ ගන්නෝරුවේ සටන ද සිංහල ඉතිහාසයේ සුවිශේෂී මංසන්ධියකි. එම ආක්‍රමණය සිදු වන අවස්‌ථාවේදී පළමුකොට දෙවැනි රාජසිංහ රජු විසින් මහනුවරින් ස්‌වකීය සේනා ඉවත් කොට පසුබැස්‌සේ ය. අනතුරුව ස්‌වකීය සොහොයුරන් සහ අමාත්‍යවරුන් සම`ග සාකච්ඡා කොට යුද්ධය සැලසුම් කරන ලද්දේ ය. එහිදී ලක්‌දිව නොයෙක්‌ තැන්වල හා ප්‍රදේශවල බලය පතුරාගෙන සිටි මැති ඇමතිවරු සහ ඔවුන්ගේ යුද හමුදාවන් කැඳවාගැනීම සඳහා නිර්දේශ කරගන්නා ලද අතර, එහිදී රුහුණ, ඌව, වෙල්ලස්‌ස, බදුල්ල, කතරගම, බුත්තල, වියලුව, වැල්ලවාය, බිම්තැන්න, උඩුකිඳ, යටිකිඳ, හපුතලේ, දික්‌වැල්ල, නාගොල්ල, වැලිමඩ, කොස්‌ලන්ද, පස්‌සර, කොත්මලේ, වලපනේ, පුස්‌සැල්ලාව, ආගරපතන, හක්‌ගල, දිඹුල, ලිඳුල, තලාගල, උලපනය, ගම්පොළ, නිල්ලඹ, අටබාගේ, බුලත්ගම, මාතලේ, දඹුල්ල, සීගිරිය, වෑඋඩ, නාලන්ද, ගලේවෙල, වන්නිය, දේවමැද්ද, හිරියාල, කුරුණෑගල, කැකිරාව, මරදන්කඩවල, තිරප්පනේ, හබරණ, අනුරාධපුරය, ගලගෙදර, උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්‌පත්තුව, දුම්බර, හේවාහැට යනාදි නොයෙක්‌ ප්‍රදේශවලින් සේනා රැස්‌ කරන ලද බව මන්දාරම්පුර පුවතෙහි දැක්‌වෙයි.

මේ අතරවාරයේ මහනුවර ආක්‍රමණය කළ පෘතුගිසී හමුදා ඉදිරියේ දී ඇතිවිය හැකි හදිසි පහරදීමක්‌ පිළිබඳ සැක ඇති කරගත් පෘතුගීසි සේනාධිනායකයා ස්‌වකීය හමුදාව ගන්නෝරුව දක්‌වා පසුබැස්‌සවීමට තීරණය කළේ ය. ඒ ගමන අතරවාරයේ දී සිංහල හමුදා දෙපසින් පැමිණ, තොටමුණු මුරකිරීමට කටයුතු කරන ලදී.


පෘතුගිසින් නොදැනුවත්ව ම දෙපසකින් ඔවුන් වැටලීමට සිංහල හමුදා සමත් වූහ. අවසානයේ දී මුල්ගම්පොළ ප්‍රදේශයේ දී සිදු වූ සංග්‍රාමයෙන් පෘතුගීසි හමුදා සමුල ඝාතනය කරනු ලැබුණි. මේ ආකාරයෙන් සිදු වූ ගන්නෝරුවේ මහා සංග්‍රාමය අවසානයේ දී පෘතුගිසි හමුදාව සහ ඔවුන්ට පක්‌ෂපාතී දේශීය සේනාංක ද අන්ත පරාජයකට ලක්‌විය. රන්දෙණිවෙලේ සටනට වඩා බිහිසුණු සංග්‍රාමයක්‌ වූ ගන්නෝරුවේ සටනින් එම සටනට නායකත්වය දුන් දියෝගු ද මැල්ලෝ කපිතාන් ජෙනරාල් තැන ද යුද පිටියේ දී ම මරා දමන ලදී.

වර්ෂ 1638 මාර්තු 28 බ්‍රහස්‌පතින්දා දින සිදු වූ මේ මහා සංග්‍රාමය සිංහල යුද ඉතිහාසයේ අමරණීය මං සලකුණක්‌ විය. ඉන් පසු දින එළඹුණු මහ සිකුරාදාව සිංහලේ මහරජුගේ ජයපැන් වෙනුවෙන් වෙන් වූ දිනයක්‌ විය.

එම යුද්ධය සඳහා ද පෙරමුණගත් සුවිශේෂී රණකාමියෙකු වූ පිළිපිටියේ විජයසුන්දර නිලමේ වෙනුවෙන් මහරජුගේ නියමයෙන් මැතිඳුන්ට දියතිලක නුවර හිමි වූ බව මන්දාරම්පුර පුවතේ සඳහන් ය. මෙහිදී අප විශේෂයෙන් සලකා බැලිය යුත්තේ මහනුවර රජුන්ගේ නිල ආරක්‌ෂක වාසස්‌ථානයක්‌ වූ රාජකීය මාළිගාව පිහිටා තිබුණු දියතිලක නුවර පිළපිටියේ විජයසුන්දර මැතිඳුන්ටම ලබා දුන්නේ ඇයි ද? යන්නයි.

රාජාවලිය අනුව හ`ගුරන්කෙත නොහොත් දියතිලක නුවර පිහිටුවන ලද්දේ සෙනරත් රජු විසිනි. ඔහු විසින් එහි තාවකාලික වාසස්‌ථානයක්‌ ගොඩනංවන ලද අතර, ඔහුගේ පුත් දෙවැනි රාජසිංහ විසින් එහි රාජකීයයන්ට සහ මහරජුට ගැලපෙන ආකාරයේ මන්දිරයක්‌ එහි ඉදි කළේ ය. වර්ෂ 1657 දී ලක්‌දිව පැමිණි රොබට්‌ නොක්‌ස්‌  නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් හ`ගුරන්කෙත රජ මැදුර පිළිබඳව අගනා විස්‌තරයක්‌ ඉදිරිපත් කරයි.

මෙසේ සලකා බලන කල අගනගරය වූ සෙංකඩගල හෝ එතෙක්‌ පැවති ආරක්‌ෂක නගරය වූ නිල්ලඹට වඩා දියතිලක නුවර බෙහෙවින් ආරක්‌ෂා සහිත වූ බව අවබෝධ කරගැනීම දුෂ්කර නොවේ. රාජ්‍ය අර්බුද ඇති වූ අවස්‌ථා කිහිපයක දී ම සෙනරත් රජු මෙන් ම, දෙවැනි රාජසිංහ ද දියතිලක නුවර ස්‌වකීය ක්‌ෂේම භූමිය බවට පත් කරගෙන තිබේ.

එවන් සුවිශේෂී අධි ආරක්‌ෂිත නුවරක්‌ නින්දගමක්‌ සේ සලකා යමෙකුට පවරා දෙන්නේ නම් නිසැකයෙන්ම එය හිමිකරගන්නා තැනැත්තා සුවිශේෂී පුද්ගලයෙකු විය යුතු ම ය. ඉදින්, එය දෙවැනි රාජසිංහ රජු විසින් පවරා දී තිබෙන්නේ අප විසින් ඉහත දී කතිකා කළ පිළපිටියේ විජයසුන්දර මැතිඳුන් හට ය. එවන් අධි ආරක්‌ෂිත කලාපයක හිමිකම් ලබන්නට නම් එම පුද්ගලයා කරුණු කිහිපයකින් සුවිශේෂී අයෙකු විය යුතු ය.

මේ අනුව සලකා බලන කල දියතිලක වැනි සුවිශේෂී ප්‍රදේශයක උරුමය ලබාගත් පිළපිටියේ විජයසුන්දර මැතිඳුන් වූ කලි සමකාලීන සමජයේ ඉහළින් ම වැජඹුණු තැනැත්තෙකු බව ඉතා පැහැදිලි ය. ඒ අනුව සිංහල යුද ඉතිහාසයේ අපට හමුවන සුවිශේෂී වීරයෙකු වශයෙන් පිළපිටියේ විජයසුන්දර නිලමේ සම්භාවනාවට ලක්‌ විය යුතුය. ඔහුගේ පරපුරින් පැවතෙන අයවලුන් සඳහා පසුකාලීනව "කරුණාතිලක විජයසුන්දර රත්නායක" යන නාමයන් ද රජුන් විසින් පිරිනමා ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය