Powered by Blogger.


උඩරට ගිවිසුම අත්සන් කරන කාලයේ දළදා මාළිගාවේ දියවඩන නිලමේ කපුවත්තේ මහා අදිකාරම්.....
උඩරට ගිවිසුමටත් අත්සන් කරයි...                                                                                          
ඔහුගේ වලව්ව තිබු තැන අද තිබෙන්නේ ස්විස් හෝටලයයි....                                                          
කෘෂිකර්ම විද්‍යාලයේ ප‍්‍රථම පුහුණු කණ්ඩායමේ පී.බී කපුවත්තේ...
මෙරට පළමු ගෙවත්තේ අයිතිකරුය...

 


දළදා මාළිගය අභියසට පිය නඟන බොහෝ දෙනෙක් රජ දවස දක්වා වූ අතීතයට පිවිසෙන්නේ නිරායාසයෙනි.. වර්තමානයේ නාගරීකරණයට හසුව ජනාකීර්ණ ප‍්‍රදේශයක් බවට පත්ව තිබුණ ද එදා දළදා මාළිගය අවට ප‍්‍රදේශය හරිත දනව්වකි. මාළිගාවට ඉදිරියෙන් පිහිටියේ කුඹුරු යායකි. සොඳුරු කොදෙව්වකි.. වර්තමානයේ කිරි මුහුද හෙවත් මහනුවර වැව එදා වගුරු බිමක් සහිත කුඹුරකි.. එහි නම තින්ගොල ය. මෙම තින්ගොල කුඹුර අස්වද්දනු ලැබූවේ රජු වෙනුවෙනි. ඉන් ලැබෙන අස්වැන්න රජතුමාගේ හා රජ මාලිගයේ පරිභෝජනය සඳහා ප‍්‍රයෝජනයට ගත්තේ ය. පසුව එම තින්ගොල කුඹුර සහිත වගුරු බිම මැදින් ගලා ගිය ඇළ හරස් කර කිරි මුහුද හෙවත් නුවර වැව නිර්මාණය කරන ලදී. එදා ඒ ආකාරයෙන් තින්ගොල කුඹුර අස්වැද්දීම සඳහා යොදා ගන්නා ලද්දේ මී හරකුන් ය. උන් ගාල් කළේ කූඹුරට ඉදිරියෙන් පිහිටි -මී ගොන් අරඹේ” ය. වර්තමානයේ ස්විස් හෝටලය පිහිටා ඇත්තේ එතැනයි.... එපමණක් නොව පසුව කපුවත්තේ මහා අදිකාරම්ගේ වලව්ව සාදන්නේ ද එම ස්ථානයේම වීම විශේෂත්වයකි.

මහනුවර ක්වීන්ස් හෝටලය, ජනාධිපති මන්දිරය, නගර සභා ගොඩනැගිල්ල, රජ වීදියේ රිමාන්ඞ් බන්ධනාගාරය  (දැන් එහි රැඳවියන් නැත) ආදී ගොඩනැගිලි පිහිටා තිබෙන ස්ථානවල රජ දවස ඉදිකර තිබුණේ වලව් ය. සිංහලයේ අවසන් රජ සමයේ සෙංකඩගල පුරවරයේ වලව් දහ අටක් පැවති බව ඉතිහාසයේ සඳහන් වේ. කපුවත්තේ වලව්ව ද ඉන් එකකි. ඒවා රජුගේ පාලනයට සහාය වූ ප‍්‍රධාන අදිකාරම්වරු ජීවත් වූ සුඛෝපභෝගී මන්දිරයි.

කපුවත්තේ අදිකාරම් කවුරු ද යන්න මේ වන විටත් ඔබට ප‍්‍රශ්නයක් වී ඇති බව නිසැකයි. ඔහු පිළිමතලව්ව, දුල්ලෑව, කැප්පෙටිපොළ, ඇහැළේපොළ අදිකාරම්වරුන් මෙන්ම එදවස ජනපි‍්‍රය චරිතයකි... ඉංග‍්‍රීසීන් කන්ද උඩරට ගිවිසුම කි‍්‍ර.ව 1815 මාර්තු මස 02 දින අත්සන් කරන විට දළදා මාළිගාවේ දියවඩන නිළමේ වුයේ ඔහුයි. උඩරට ගිවිසුමට අත්සන් කළ තවත් එක් රදළවරයෙකි. එසේම කි‍්‍ර.ව 1816 ජනවාරි මස 18 දින චාලට් රැුජිනගේ උපන් දිනය (3 වැනි ජෝර්ජ් රජුගේ බිරිඳ) කොළඹදී පැවති අතර, එයට සහභාගි වීමට ඔහුට ද ඇරයුම් කර තිබුණි... එය සෑම කෙනෙකුටම නොලැබෙන විශේෂ අවස්ථාවකි.
එහෙත්, අවසානයේ මෙරට බොහෝ වීර පුරුෂයන්ට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වු අවාසනාවන්ත කාලය ඔහුට ද උදා විය. උඩරට ගිවිසුමෙන් පොරොන්දු වූ කිසිවක් ඉංගී‍්‍රසින් විසින් ඉටු නොවුණි... සිංහල ජනතාව රැුවටූණි. ඌවxවෙල්ලස්ස කැරැුල්ල ආරම්භ වන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මහඵ වයසේ සිටි කපුවත්තේ අදිකාරම් එහි පෙරමුණ නොගත්ත ද, අවසානයේ ඔහුට ද සිරගත වීමට සිදු විය. ඒ පිළිමතලව්වේ දිසාවට පැන යාමට උදව් කළා යනුවෙන් චෝදනා නැඟීම හේතුවෙනි.
 

කපුවත්තේ ආරම්භය
කපුවත්තේ මහා අදිකාරම්, පිළිමතලව්වේ විජේසුන්දර රාජකරුණා නවරත්න අත්තනායක බණ්ඩාරනායක මුදියන්සේ රාළහාමි හෙවත් පිළිමතලව්වේ දිව

කපුවත්තේ මහ අදිකාරම්
නිලමේ උඩගම්පහේ මහා අදිකාරම් ලෙසත් හැඳින්වේ.. දැන් ඔබ කල්පනා කරනවා ඇති -කපුවත්තේ” නමට -පිළිමතලව්ව” නම සම්බන්ධ වෙන්නේ කෙසේද කියා.

කන්ද උඩරට රාජධානිය රජවරුන් කිහිපදෙනෙක් යටතේ වසර ගණනාවක්ම පාලනය විය. එහිදී රජවරුන්ව මෙහෙයවීම සිදු කළේ අදිකාරම්වරුය. එම අදිකාරම්වරුන් සිටි රදළ පවුල් අතරින් පිළිමතලව්ව පරපුරට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. පිළිමතලව්ව පරම්පරාව ආරම්භ වන්නේ ඉන්දියාවේ මදුරාපුරයෙන් පැමිණි සුමේධ කුමාරයාගෙනි. පිළිමතලව්වේ යන නමින් ප‍්‍රසිද්ධියට පත් වන සුමේධ කුමාරයා ¥ල්ලෑවේ පවුලේ අනුහස් හාමි හා විවාහ විය. ඔවුන්ට එක පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් හය දෙනෙක් ලැබුණි.  වැඩිමහල් පිරිමි දරුවා පිළිමතලව්වේ අරාව ටිකිරි බණ්ඩාර මොනරවිල කුමාරිහාමි සමඟ විවාහ විය. ඔවුන්ට දරුවන් හතර දෙනෙකි. ඔවුහු පිළිමතලව්වේ මැණිකේ, පිළිමතලව්වේ විජයසුන්දර රාජපක්ෂ පණ්ඩිත වාසල මුදියන්සේ දිසාව, පිළිමතලව්වේ විජේසුන්දර මුදියන්සේ මහා අදිකාරම් ,, සහ පිළිමතලව්වේ ,,, මහා අදිකාරම් හෙවත් සිංහලයේ දෙවෙනි රජ්ජුරුවෝය. (මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් පසුගිය සතියේ පළවිය) බමන මතින් හැසිරෙමින් ජනතාව දුකට පත් කිරීමෙන් නොනැවතී, බුදු දහමට නිඟා දෙන ආකාරයේ පාලනයක් දමිළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු ගෙන ගියේ ය. කපුවත්තේ මහා අදිකාරම් යනු වෙන කිසිවෙක් නොව, රජු  සිංහාසනයෙන් නෙරපා හැර සිංහල බෞද්ධයෙක් සිංහාසනාරූඩ කරවීමට උත්සාහ කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස තම ජීවිතයෙන් වන්දි ගෙවූ පිළිමතලව්වේ ,,, මහා අදිකාරම්ගේ වැඩිමහල් සොහොයුරාගේ එකම පුත‍්‍රයායි.

කපුවත්ත මහා අදිකාරම්ගේ පියා වන මුදියන්සේ දිසාව කි‍්‍ර.ව 1766 වසරේදී බතාවියට දුත මෙහෙවරක් සඳහා පිටත්ව ගොස් ඇති අතර, පසුව එම කටයුත්ත නිම කර ආපසු පැමිණෙමින් සිටියදී මියගොස් ඇත.

පිළිමතලව්ව දිව නිලමේ කපුවත්තේ මහා අදිකාරම් බවට පත්වීම
මෙම අදිකාරම් විවාහ වෙන්නේ කපුවත්තේ දියවඩන නිලමේ (ජ්‍යෙෂ්ඨ) ගේ දියණියක් සමඟයි. ඔහු ඇය හා විවාහ වීමෙන් පසු බිරිඳගේ වලව්වේම පදිංචි වන්නේ එම පවුලේ පිරිමින් නොසිටි බැවිනි. පිළිමතලව්වේ අදිකාරම් දියවඩන නිලමේ තනතුර ද දරමින් සිටියේය. ඒ වන විට රාජ සභාවේ පිළිමතලව්වේ පවුලේ සාමාජිකයෝ තිදෙනෙක් නිලතල දරමින් සිටියහ. ඔවුන් අතුරෙන් පිළිමතලව්වේ දිව නිලමේ හඳුනා ගැනීමේ පහසුව සඳහා කපුවත්තේ පවුලෙන් විවාහ වී සිටි බැවින් -කපුවත්තේ දිව නිලමේ” ලෙස රජතුමා විසින් නම් කරන ලදී.  එහෙත් ඔහු අත්සන සඳහා භාවිත කළේ පිළිමතලව්වේ යන නමයි.  බිරිඳට සහෝදරයන් නොසිටි නිසා එම පවුලට අයත් සියඵම ඉඩකඩම් පිළිමතලව්වට ලැබුණි.  එපමණක් ද නොව ඌරපොළ වලව්ව ද ඔහුට අයත් විය. ඊට අමතරව මී ගොන් අරඹේ ද වලව්වක් තිබුණි. (වැව රවුමේ ස්විස් හෝටලය පිහිටා ඇත්තේ එතැනයි.)
 

කපුවත්තේ දිව නිලමේ එවකට දරන ලද තනතුරු
මාතලේ මහා මඩිගේ, අකුරුම්බොඩ මඩිගේ, නාලන්දා කඩවත හා වීබැද්ද නායක, මාතලේ දිසාව (කි‍්‍ර.ව 1799 -  1810) වෙල්ලස්ස දිසාව (කි‍්‍ර.ව 1810), ගන්තුන හා නුවර කලාවිය දිසාව, සබරගමුව මහ දිසාව (කි‍්‍ර.ව 1814  - 1817), සඵවඩන නිලමේ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ (කි‍්‍ර.ව 1815 - 1817 සහ 1820 - 1824), උඩගම්පහේ මහා අදිකාරම් (කි‍්‍ර.ව 1805 - 1808  සහ 1813 -  1818), මහා ගබඩා නිලමේ (ක‍්‍රි.ව 1820 - 1824)
 


චාලට් රැජිනගේ උපන් දින උත්සවයට සහභාගි වීමට කපුවත්තේ අදිකාරම් කොළඹ යයි
බොහෝ දෙනෙකුගේ ආදරයට හා ගෞරවයට පාත‍්‍ර වූ කපුවත්තේ මහා අදිකාරම් අනෙකුත් උඩරට රදළවරුන් සමඟ උඩරට ගිවිසුමට අත්සන් කළේ සිංහල බෞද්ධයන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබාදීමේ අරමුණෙනි. මෙම අදිකාරම් සැමගේ සිත දිනා ගත් පුද්ගලයෙකි. ඒ නිසාම සබරගමුවේ දිසා වන්නියට හා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරට පත් වූයේ ය. එපමණක් නොව කි‍්‍ර.ව 1816 ජනවාරි මස 18 දින චාලට් රැුජිනගේ උපන් දින උත්සවයට ආරාධනා ලැබ සහභාගි වූයේය. ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවර බ‍්‍රවුන්රිග් විසින් ලන්ඩන් නුවර සිටි බාතර්ස්ට්හි අර්ල්වරයාට යවන ලද ලිපියක මෙසේ සඳහන් කර ඇත. -කපුවත්තේ උඩගම්පහේ මහා අදිකාරම් දැඩි ආගමික ශ‍්‍රද්ධාවෙන් යුතු, කුමන හෝ අන්දමේ ¥ෂිත, අසාධාරණ, පීඩාකාරී කටයුතු කිසිවකට සම්බන්ධ නැති , චෝදනා කිසිවක් එල්ල කර නොගත් පුද්ගලයෙකි.”  
 

කපුවත්තේ අදිකාරම් අත්අඩංගුවට ගනී
කෙසේ වුවත්, කපුවත්තේ මහා අදිකාරම් ඌව-වෙල්ලස්ස කැරැුල්ලට (කි‍්‍ර.ව 1817 - 1818) සම්බන්ධ යැයි සැකකර කි‍්‍ර.ව 1818 අපේ‍්‍රල් මස 05 දින අත්අඩංගුවට ගෙන සිර භාරයට ගන්නා ලදී.  ඔහුට එරෙහිව චෝදනා වශයෙන් දක්වා ඇත්තේ සිය ඥාති සොහොයුරෙකු හා පිළිමතලව්වේ ,,, මහා අදිකාරම්ගේ පුත‍්‍රයා වූ පිළිමතලව්වේ දිසාව  (කනිෂ්ඨ) අත්අඩංගුවට ගැනීමට ඉංග‍්‍රීසින් පැමිණි අවස්ථාවේ ඔහුට පැන යාමට ඉඩ ලබාදීමයි.

(පිළිමතලව්වේ දිසාව මහනුවර දී උඩරට ගිවිසුමට අත්සන් කළ ද,  ඉංග‍්‍රීසින් විසින් පොරොන්දු වූ ආකාරයෙන් පාලනය නොකර ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් බදු අයකරමින් ජනතාව දුකට පත් කළ නිසා ඌව වෙල්ලස්සේ මහා කැරැුල්ලක් ඇරඹුණි. එහිදී නායකත්වය ලබා දෙමින් කැරැල්ල මෙහෙය වූ එක නායකයෙක් වූයේ පිළිමතලව්වේ දිසාවයි)

අපේ‍්‍රල් මස 05 දින කපුවත්තේ මහා අදිකාරම් අත්අඩංගුවට  ගත්ත ද, ඔහුව සිර භාරයෙන් මුඳවා ගැනීමට නිදහස් සටනේ සාමාජිකයෝ උත්සාහ කළහ. ඒ වන විටත් මහඵ තත්ත්වයේ සිටි කපුවත්තේ මහා අදිකාරම් ගතින් දුර්වල වුවද සිතින් තරුණයකු මෙන් වැඩ කළේ ය. ඔහු මහනුවර සිටිය හොත් මහඵව වුවද නිදහස් සටනට එකතු වීමට තිබෙන අවස්ථාවන් වැඩි වූ නිසා ,ඉන් වළක්වා ගැනීමේ අරමුණෙන් අපේ‍්‍රල් මස 13 දින කොළඹට යවා සිරගත කරන ලදී. එහිදී
මාතලේ කපුවත්ත වලව්ව
 
පැරණි ඉදිකිරීමක් තිබූ තැනක්
ඉහළ තනතුරු දැරූ සිරකරුවන් සඳහා වෙන් කර තිබුණු නිවෙසක කාමර දෙකක් ඔහුට ලබා දී, සේවකයන් තිදෙනෙකු තබා ගැනීමට ද අවසර ලබාදීම විශේෂත්වයකි. එහෙත් ඒ වන විටත් ඌව වෙල්ලස්ස කැරැුල්ලට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ඇහැළේපොළ මහා අදිකාරම් හා කතා කිරීම තහනම් විය.  
 

නිදහස ලැබීම
කපුවත්තේ මහා අදිකාරම්ට කිසිදු චෝදනාවක් සිදු නොකර අත්අඩංගුවට ගෙන තිබූ බැවින් ඔහුව නිදහස් කරන මෙන් ඔහුගේ බිරිඳ අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කළාය.  එයට ඉංග‍්‍රීසින්ගෙන් ලැබුණේ පුදුමාකාර පිළිතුරකි! එනම් කපුවත්තේ අදිකාරම්, ඇහැළේපොළ අදිකාරම් සහ මිල්ලෑව දිසාව රඳවා ගෙන සිටින්නේ ඔවුන්ගේම ආරක්ෂාව සඳහා බවයි. කුමාරිහාමිගේ පෙත්සම කොමසාරිස් මඩුල්ල වෙත යොමු කෙරුව ද, එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප විය. මේ සියල්ල සිදු වන්නේ බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ කාලයේදීය. ඔහුගේ රාජකාරි කාලය අවසන්ව පිටත්ව යාමට ප‍්‍රථමව කපුවත්තේ පිළිබඳව වාර්තාවක් සකස් කර තැබූවේ ඊළඟට එම තනතුරට පත්ව එන ශ්‍රීමත් එඞ්වර්ඞ් බාන්ස්ගේ දැන ගැනීම උදෙසා ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස කපුවත්තේ මහා අදිකාරම් නිදහස් කෙරුණි. ඔහු සමඟ මිල්ලෑව දිසාව සහ තවත් කිහිපදෙනෙක් නිදහස් වූහ. අවසානයේ කි‍්‍ර.ව 1820 මාර්තු මස 30 දින නැවතත් කපුවත්තේ අදිකාරම් මහනුවරට පිටත්ව ගියේය.

ආණ්ඩුුකාර බාන්ස් විසින් මහනුවර ඉංග‍්‍රීසි ඒජන්තවරයාට ලිපියක් ලියමින් කියා සිටියේ කපුවත්තේ අදිකාරම්ට සුුදුසු රැුකියාවක් ලබා දෙන ලෙසයි. ඒ වන විට කපුවත්තේ මහා අදිකාරම්ගේ වලව්වට අයත් භාණ්ඩ බොහොමයක් පහතරට මිනිසුන් සහ ඉංග‍්‍රීසි හේවායන් විසින් සොරා ගෙන ගොස් තිබුණි. එම අලාභයට වන්දි වශයෙන් රික්ස් ඩොලර් හාර දහසක් ගෙවන ලදී.  ඊට අමතරව කච්චේරියේ තැන්පත් කර තිබූ ඔහුගේ ස්වර්ණාභරණ පෙට්ටිය ද, ආපසු ලබා දී ඇත. ඉන්පසු ආණ්ඩුකාරවර ශ්‍රීමත් ජේම්ස් කැම්බල් විසින් මහා ගබඩා නිලමේ සහ ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ යන තනතුරු පත්වීමේ ලිපියක් මඟින් ලබා දුන්නේය.
 

කපුවත්තේ මහා අදිකාරම්ගේ දරුවන්
කපුවත්තේ දියවඩන නිලමේට සිටියේ එක දියණියකි. ඇය ටිකිරි කුමාරිහාමිය. ඇයට පියාගේ දේපළ ද, පිළිමතලව්වේ ඉඩම් කඩම් ද, කොටුවේ ගෙදර පවුලේ දේපළ ද හිමි විය. එනමුත් ඇයගේ විවාහ ජීවිතය සාර්ථක වූයේ නැත. ටිකිරි කුමාරිහාමි තෙවරක් විවාහ වූවා ය. පළමුව මාම්පිටිය දිසාව සමඟ ද, දෙවෙනුව අංගම්මන බස්නායක නිලමේ සමඟ ද, අවසන් වශයෙන් ඌවේ දිසාව වූ කැප්පෙටිපොළ නිලමේ සමඟ ද විවාහ වූවාය. එහෙත් එම විවාහ කිසිවෙකින් ඇයට දරුවන් නැත. එම නිසා අංගම්මාන පවුලෙන් ගැහැණු දරුවෙකු ලබා ගෙන දරුකමට හදා ගත්තා ය.
 

ඔහුගේ අවසානය
කපුවත්තේ දියවඩන නිලමේ හෙවත් පිළිමතලව්වේ දිව නිලමේ උඩගම්පහ මහා අදිකාරම් කි‍්‍ර.ව 1824 සැප්තැම්බර් මස 16 දින මියගියේ ය. ඔහුගේ අවසන් කටයුතු කපුවත්තේ වලව්වේ සිට අලකොළංගේ (පිළිමතලාවේ) පිහිටි පවුලේ ආදාහන භූමියේ දී සිදු විය.  සූරියගොඩ විහාරයේදී ඔහු වෙනුවෙන් ආගමික පූජාවන් පැවැත්වුණු අතර, භික්ෂූන් වහන්සේලා හැට දෙනමකගේ සහභාගීත්වයෙන් පාංශකූල වතාවත් සිදු කෙරුණි.

කපුවත්තේ මහා අදිකාරම්ගේ එකම දියණිය කි‍්‍ර.ව 1884 වසරේදී මියගියේ ශ්‍රී පාදයට ගොස් එන අතර මඟදී ය. මහලූ වයසේ පසු වුවද, බෞද්ධාගම කෙරෙහි තිබූ දැඩි භක්තිය නිසාම ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට ඇය අමතක කළේ නැත. එහි ගොස් මෙහෙකරුවන් විසින් ඔසොවා ගෙන ආපසු එමින් සිටිය  ඕ මියගියා ය. මෙම කාන්තාවගේ මරණයත් සමඟම කපුවත්තේ පරම්පරාවේ එවකට සිටි ප‍්‍රධාන චරිතයන්හි අවසානය ද සිදුවන්නේ ය.

මෙරට පළමු ගෙවත්ත නිර්මාණය කරන්නේ ද කපුවත්තේ පවුලේ කෙනෙකි!

එවකට කෘෂිකර්ම විද්‍යාලය පිහිටා තිබුණේ වර්තමානයේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ඉදිරියෙන් ඇති පශු වෛද්‍ය ආරෝග්‍ය ශාලාව තිබෙන ස්ථානයේ ය. එහි පුහුණු වූ පළමුවැනි කෘෂිකර්ම උපදේශකවරුන් අතර කපුවත්ත පරම්පරාවේ සාමාජිකයෙක් වූ පී.බී. කපුවත්ත මහතා ද සිටියේ ය.  ඔහු සමග හිටපු අගමැති ඞී.එස්. සේනානායක හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව යන මහත්වරුන් ද ඉගෙන ගෙන තිබේ. කෘෂිකර්ම විද්‍යාලයට ඔවුන් ඇතුළත් වී ඇත්තේ අද මෙන් රැුකියාවක් ලබා ගැනීමේ අරමුණෙන් නොව, තමන්ගේ ඉඩම්, වතුපිටිවල වගාවන් සිදු කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමේ අදහසිනි. කොත්මලේ වලව්වේ පී.බී. කපුවත්ත මහතා ඒ කාලයේ පදිංචිව සිටියේ ය. ඔහු කෘෂිකර්ම විද්‍යාලයේ පුහුණුව ලබා ගැනීමෙන් පසු එක් දහස් නවසිය විසි ගණන්වල දී පමණ (කි‍්‍ර.ව 1920) ලංකාවේ පළමුවරට තම ඉඩමේදී ගෙවත්තක් නිර්මාණය කිරීමට සමත් වූයේ ය.  කොත්මලේ වලව්ව පිහිටි එම ඉඩමේ ඉදිකළ ගෙවත්තෙහි ඔහු සිටුවන ලද පලතුරු ගස් කිහිපයක් අද ද දක්නට ලැබේ.
 

මීගොන් අරඹේ ස්විස් හෝටලය  
මේ වන විට මහනුවර නගරයේ ඇති සුඛෝපභෝගී හෝටල් අතර වැව රවුමේ පිහිටි ”ස්විස්” හෝටලයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ස්විස් හෝටලය සාදා ඇත්තේ කපුවත්තේ අදිකාරම් වාසය කළ වලව්ව පිහිටි මීගොන් අරඹේ බව ඉහත දී සඳහන් කළෙමු. කපුවත්තේ අදිකාරම්ගේ අභාවයෙන් පසු කාලයක් ගත වීමෙන් පසු ඉංග‍්‍රීසින් විසින් එම ස්ථානය පවරා ගෙන, එහි ඉදිකර තිබූ වලව්ව කඩා බිඳ දමා සර්කිට් බංගලාවක් සාදවන ලදී. එවකට උඩරට ප‍්‍රදේශයේ තේ ඇතුඵ විවිධ බෝග වගාවන් ඉංග‍්‍රීසින් විසින් ආරම්භ කෙරුණි.  එම වගාවන් සඳහා පැමිණෙන ඉංග‍්‍රීසි ජාතිකයන්ට සහ ඔවුන්ගේ අමුත්තන්ට නැවතීම සඳහා එම බංගලාව ප‍්‍රයෝජනයට ගැනුණි. එදා ආණ්ඩුකාරවරයා ද මෙම බංගලාවේ නැවතී සිටි බව සඳහන් ය. පසුව එහි නම -”අරම්බේ හවුස්” යනුවෙන් ද, තවත් ටික කාලයක් ගත වෙද්දී, -”හරම්බේ හවුස් ” යනුවෙන් ද හැඳින්විය.

පසු කලෙකදී ඉංග‍්‍රීසි රජය විසින් එම නවාතැන්පොළ ස්විස්ටර්ලන්ත කාන්තාවන් දෙදෙනෙකුට විකුණා ඇත. ඔවුහු එම ස්ථානයේ කාමර පහළොවකින් යුත් හෝටලයක් ඉදි කළහ. එහි නම ස්විස් :ීමසිිැ* යනුවෙන් ප‍්‍රංශ භාෂාවෙන් සඳහන් කෙරුණි. එයට හේතුව වී ඇත්තේ හෝටලය සෑදු කාන්තාවන් දෙදෙනා ස්විස්ටර්ලන්තයේ ප‍්‍රංශ දේශසීමාව අසල ජීවත් වූ ප‍්‍රංශ භාෂාව කතා කරන අය වීමයි. තවත් කාලයක් ගෙවී යාමෙන් අනතුරුව මෙම හෝටලයේ කොටසක් තේ වගාව සඳහා පැමිණි ඉංග‍්‍රීසි ජාතිකයන්ගේ බිරින්දෑවරුන්ට මාතෘගාරයක් ලෙස ද ප‍්‍රයෝජනයට ගෙන තිබේ. මෙම හෝටලයේ ඉපදුනු ඉංග‍්‍රීසි ජාතිකයෙක් තම මතකයන් අලූත් කර ගැනීමට මෑතකදී පැමිණි බව ප‍්‍රධාන කළමනාකරු රන්ජන් පීරිස් මහතා මා සමඟ පැවසී ය.

මේ වන විට ලෝකයේ විශාල ඉල්ලූමක් පවතින ”-හෙරිටේජ් හෝටල්” ගණයට මෙම හෝටලය ද අයත් වීම සතුටට කරුණකි.

(ස්තුතිය -  ඇඹිල්මීගම වලව්වේ ආනන්ද සෙනරත් පිළිමතලව්වේ, මධ්‍යම පළාත් හිටපු ක‍්‍රීඩා පුහුණුකරු ජේ.බී. හේරත්, කැන්ඩි හොටෙල් සමාගමේ ප‍්‍රාදේශීය ප‍්‍රධාන කළමනාකරු ඞී.එච්. රන්ජන් පීරිස් යන මහත්වරුන්ට.)
 

 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය