Powered by Blogger.

ජගත් නව නිර්මාණ කරළියේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු යළිත් රනින් ඇගයීමට ලක්ව ඇත. ඒ පසුගියදා ජිනීවාහි පැවැති ජගත් නව නිර්මාණකරුවන්ගේ තරගයේදීය.
මෙලෙස රනින් ඇගයීමට ලක්වූයේ ලාංකික නැනෝ තාක්ෂණ විද්‍යාඥයෙකු වන මංජු ගුණවර්ධන සහ ආහාර විද්‍යාව සහ ආහාර තාක්ෂණ      විද්‍යාවේදිනියක වන හේලි සෙනවිරත්න යන දෙපලය. ඔවුන් විසින් මෙම තරගයට ඉදිරිපත් කළ නිර්මාණ දෙකටම රන් සම්මාන හිමි වී ඇති අතර ඉන් එක රන් සම්මානයක් සමග ජූරියේ විශේෂ ඇගයීමක්ද ඔවුනට හිමි වී ඇත.මොවුන් ඉදිරිපත් කළ නිර්මාණ ද්විත්වයෙන් පළමු වැන්න දියවැඩියා රෝගය කල්තබා හඳුනාගත හැකි
කැසිකිළියකි. දියවැඩියාව  මුල්කරගෙන හැඳින් වුවද  මෙකී කැසිකිළි පද්ධතියෙන්  මුත්‍රා පද්ධතිය සහ වකුගඩු රෝග ගණනාවක් කල් ඇතිව හඳුනා ගැනීමට හැකියාව ඇත. මෙම කැසිකිළි පද්ධතියේ සේවාව ලබා ගැනීමට ඊට මුත්‍රා කිරීම මුලින්ම සිදු කළ යුතුය. එකී මුත්‍රා සංයුතිය තත්පර කිහිපයකින් විශ්‍ලේෂණය කර එහි ග්ලූකෝස්, ඇල්බියුරින්, සහ රුධිරය අඩංගු නම් ඒ පිළිබඳවද ඔබට අනතුරු හැඟවීමේ නිවේදනයක් ලබාදීමට මෙම කැසිකිළි පද්ධතිය සමත් වෙයි.
මෙකී විශ්‍ලේෂණය අනුව ඔබේ මුත්‍රා  නියැදියේ ග්ලූකෝස් පරිමාව සම්මත අගය ඉක්මාව යන්නේ නම් එය ඔබට කල් ඇතිව දැනගැනීමට ඉඩකඩ ලැබෙයි.  මෙම අනතුරු ඇඟවීම ඔබට ලැබෙන විට ඔබ එකී අවදානම සුළු වශයෙන් හෝ නොදන්නවා විය හැක. දියවැඩියාවට පුද්ගලයෙකු පූර්ණ වශයෙන් නතුවීමට පෙර 'පෙර දියවැඩියා' තත්ත්වයේ දී එය පාලනය කර ගැනීම වඩාත්  සාර්ථක බව වෛද්‍ය මතයයි. එබැවින් දියවැඩියා රෝගයට නතුවීමේ අවදානමක් ඔබට තිබේ නම් එය කල්තබා හඳුනා ගැනීමට හැකියාව මෙම කැසිකිළි පද්ධතියෙන් ලැබෙයි.
මුත්‍රාස මග ඇල්බියුරින් පිට වීමද මුත්‍රා පද්ධතියේ සහ වකුගඩු ආශ්‍රිත රෝග ගණනාවක පූර්ව අනතුරු හැඟවීමකි. එම අනතුරු කල් ඇතිව දැන ගැනීම මගින් ඔබට ඔබේ දිවි රැක ගැනීමට විශාල පිටිවහලක් ලැබෙයි.
එමෙන්ම වකුගඩු සහ මුත්‍රා ප්‍රදාහයන්ගේ මූලික ලක්ෂණයක් ලෙස මුත්‍රා සමග රුධිරය පිටවීම දැක්විය හැක. මුල් අවස්ථාවේ මෙය අංශු මාත්‍ර ලෙස සිදුවන බැවින් කිසි විටකත් පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැක. මුත්‍රා සමග සිදුවන මේ වර්ගයේ රුධිර වහනය දැන ගැනීමට රසායනාගාර  පරීක්ෂණයක් අත්‍යවශ්‍යය. එහෙත් මෙකී කැසිකිළියට මුත්‍රා කිරීම මගින් ඉතා සුළු රුධිර වහනයක් පවා දැකගත හැකිය. මෙම කැසිකිළිය සම්බන්ධ අනතුරු ඇඟවීමේ  පද්ධතිය මගින් ඔබේ මුත්‍රා නියැදියේ  සංයුතිය පිළිබඳ වැදගත් යමක් ඔබට දැනගත හැකිවන අතර එකී වාර්තා ඔබේ ජංගම දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මගින් යොමු කිරීමටද මෙකී
කැසිකිළියට හැකියාව ඇත.
සාමාන්‍ය වකුගඩු ආශ්‍රිත රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු ඒ බව දැනගන්නේ ඔහුගේ වකුගඩු යුගලයෙන් 50 කට වඩා විනාශ වූ  පසුවය. එහෙයින් ඉතා ප්‍රාථමික අවධියේ දී මුත්‍රා පද්ධතියේ සහ වකුගඩු ආශ්‍රිත රෝග ගැන ඔබට ඉඟි කරනා මෙකී කැසිකිළිය මගින් වර්තමානයේ දී රජරට ප්‍රදේශයේ වසංගත මට්ටමින් පැතිරි යන නිදන්ගත වකුගඩු රෝග  මර්දනය සඳහාද වැදගත් කාර්යයක් ඉටුකර ගත හැකිවනු ඇත.
මංජු ගුණවර්ධන සහ හේලී සෙනෙවිරත්න දෙපල ලද අනෙක් රන් පදක්කම සහ ජූරියේ ඇගැයීම ඔවුන්ට ලැබුණේ දෑත් පිරිසිදු කිරීම උදෙසා ඔවුන් ඉදිරිපත් කළ උපකරණය වෙනුවෙනි. නැනෝ තාක්ෂණය අනුව වැඩිදියුණු කරන ලද තාක්ෂණ ක්‍රමෝපායන් භාවිතා කර නිමවූ මෙකී දෑත් පිරිසිදු කිරීමේ උපකරණය කරුණු ගණනාවක් නිසා වැදගත් වෙයි.
සමහර විට රෝහල් වල ඉතා සුළු ශල්‍යකර්ම සඳහා යොමු කෙරෙන රෝගීන්, දරු ප්‍රසූතිය සඳහා යොමු කෙරෙන කාන්තාවන් මෙන්ම සංකීර්ණ සැත්කම් සඳහා යොමු කරන රෝගීන්ද එකී සැත්කම්වලට පසු ඇති වන විවිධාකාරයේ සංකූලතා හේතු කරගෙන මිය යයි. එයට මූලික හේතුව ප්‍රතිජීවක මගින් පාලනය කළ නොහැකි බැක්ටීරියා වර්ග ශරීර ගත වීම බව මේ වන විට වටහා ගෙන ඇත. මෙම බැක්ටීරියා සහ විෂබිජ රෝහල් සේවකයන්ගේ දෑත් මගින් පවා පැතිරිය හැක. එනිසා රෝහල් සේවකයන්ගේ දෑත් සේදීම ඉතා වැදගත් ක්‍රියාවක් වෙයි. මෙහි ඇති වැදගත් කම ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන ඇත. එබැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අත් සේදීම පිළිබඳ වැඩමුළු පවා පැවැත්වෙයි.
මංජු සහ හේලි විසින් නිපැයූ දෑත් පිරිසිදු කිරීමේ නව උපකරණය මගින් 100ක්ම විෂ    බිජහරණය කළ හැකි අතර ඒ සඳහා ජලය වෙනුවට භාවිතා කරනුයේ ආලෝකයකි. මෙකී ආලෝකය නිකුත් කරනුයේ නැනෝ තාක්ෂණයට අනුව ප්ලැටිනම් මුසු කළ ටයිටේනියම්  ඩයොක්සයිඩ් සහිත විශේෂ අධිබල ආලෝක විමෝචක දියෝඩ විදුලි බුබුලු  මගිනි.
ජලයෙන් දෑත් පිරිසිදු කිරීම සඳහා ඔබේ දෑත වතුරට සහ සෝදන බේසමට යොමු කළ යුතු වුවත් මෙම නව සොයා ගැනීමට අනුව ඔබේ දෑත් පිරිසිදු  කිරීමට යොමු කළ යුත්තේ දෑතේ වැලමිට තෙක් දැමිය හැකි විශේෂ කුටීරයකටයි. ප්ලැටිනම් මුසු කළ ටයිටේනියම් ඩයොක්සයිඩ්  සහිත විදුලි බුබුළු එකී කුටීරය තුළ ස්ථාන ගත කර ඇති අතර ඇසිල්ලකින් ඔබේ දෑත පිරිසිදු කිරීමට මෙම ක්‍රමයට හැකියාව ඇත. එපමණක්ද නොව මෙකී අතසෝදන උපකරණය රෝහල් ශල්‍යාගාරයේ, දැඩි සත්කාර  ඒකකයේ, සූතිකාගාරයේ පිවිසුම් දොරටුවලට සම්බන්ධ කළ හැක. එමගින් මෙම කුටීරය දැත් යොමු නොකළ කිසිදු  පුද්ගලයෙකු වෙනුවෙන් එම ස්ථානවල දොරටු විවර නොවීමට කටයුතු සම්පාදනය කළ හැක. මෙම තත්ත්වය නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සිය දෑත් පිරිසිදු කරගැනීම අනිවාර්යයෙන්ම සිදුකර ගැනීමට සිදුවෙයි. එය රෝහල ආශ්‍රිත සංකූලතා මගහැර ගැනීමට ඉවහල් වෙයි. එපමණක්ද නොව එමගින් රෝගීන් සැලකිය යුතු අවදානමකින් මුදවා ගැනීමට හැකියාව ලැබෙන අතර එම තත්ත්වය සෞඛ්‍ය සේවකයන්ටද බොහෝ හිතකර වෙයි.
විෂබිජ සහ බැක්ටීරියා මර්දනය කිරීම සඳහා රෝහල්වල ශල්‍යාගාර වසා දැමූ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය. එවැනි අවදානම්ද මෙම නව පිරිසිදු කිරීම් ක්‍රමය මගින් මැඩ පවත්වා ගත හැක.
විෂබිජ මර්දනය උදෙසා නැනෝ තාක්ෂණයට අනුව දියුණු කරන ලද ආලෝක කදම්බ යොදා  ගැනීම පිළිබඳ මංජු ගුණවර්ධන මහතා ඇගයීමට පත් පළමු අවස්ථාව මෙය නොවේ. 2013 වසරේදී ඔහු නිපැයූ විෂබිජ මර්දනය කළ හැකි ඛි.ජ්.ඹ්. විදුලි බුබුල වෙනුවෙන්ද ජාත්‍යන්තර නව නිපැයුම් තරගයේ දී රන් පදක්කම හිමි විය. මංජුගේ දස්කම් සහ ඔහුගේ  විස්මිත නැනෝ තාක්ෂණ උපකරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ එතරම් තැකීමක් නොකළද අද වන විට ඔහුගේ නිර්මාණ ලෝකයේ රටවල් ගණනාවක් භාවිතා  කරයි.
මේ දිනවල එංගලන්තයේ පැතිරෙමින් පවතින නොරොනම් වෛරසය මැඩ පැවැත්වීමට ඔක්ස්ෆර්ඩ් සරසවියේ නිර්දේශ මත මංජු  ගුණවර්ධනගේ විෂබිජ නසනා විදුලි බුබුල එංගලන්තයේ සෞඛ්‍ය බලධාරීන් භාවිතා කරයි. ඊට අමතරව ඉන්දීය දුම්රිය  සේවය මෙම විදුලි බුබුල ඉන්දීය දුම්රිය ස්ථානවල දුගඳ දුරුකර විෂබිජ මර්දනය කිරීමට භාවිතා  කරයි. ඊට අමතරව ඉන්දීය සිවිල් ගුවන් සේවයද ඔහුගේ විදුලි බුබුළුවලින් වැඩ ගනී. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ කරාපිටිය සහ කාසල් වීදියේ කාන්තා රෝහල් ආශ්‍රිතව සිදුවූ විෂබිජ පැතිර යාමක් නිසා එකී රෝහල්වල ශල්‍යාගාර වසා දැමූ බව ඔබට මතක ඇත. එවැනි අවස්ථා මගහැර ගැනීමට මංජුගේ විදුලි බුබුල හොඳ ආයුධයක් වන මුත් ලාංකික සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ  උනන්දු නොවුණ බව මංජු ගුණවර්ධන පවසයි. එහෙත් සෞඛ්‍ය  සේවාවේ ඇතැම් සේවකයන් සිය පුද්ගලික මුදලින් මෙම විදුලි බුබුළු මිලදී ගෙන ඒවා රෝහල් පරිශ්‍රයන්හි සවිකර රෝගීනට සහනයක් ලබාදුන් බව අපට දැනගන්නට ලැබුණි.
විෂබිජ මර්දනය උදෙසා මංජු ගුණවර්ධන නැනෝ තාක්ෂණයට අනුව නිපැයූ උපකරණවලට අලගු තබන්නටවත් නොහැකි උපකරණ කෝටි ගණන් මුදල් වැයකරමින් විදේශයන්ගෙන් අපේ රටට ගෙන්නුවත්් ඉන්දියාව, එංගලන්තය වැනි සෞඛ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ මහා දැවැන්තයන්  මංජුගේ විදුලි බුබුලෙන් වඩාත් කාර්යක්ෂම සේවා ලබා ගනී.
මේ වසරේ රනින් ඇගැයීමට ලක්වූ දියවැඩියා සහ වකුගඩු රෝග කල්තබා හඟවන කැසිකිළි පද්ධතිය සහ පරිපූර්ණ දෑත් පිරිසිදු කරන නැනෝ තාක්ෂණයෙන් දියුණු කරන ලද උපකරණය හෙට අනිද්දාම ලෝක සෞඛ්‍ය කේෂේත්‍රයේ  මෙන්ම ආහාර
නිෂ්පාදනයේ දී ද මහා කාර්යභාරයක් කරනු ඇත. ජාත්‍යන්තරයේ දී  මංජුට සහ හේලිට නිසි ඇගයීමද ස්ථිර ලෙසම ලැබෙනු ඇත. ඔවුන්ගේ නැණ නුවණින් විදෙස් රටවල දහස් ගණන් දෙනා සුවපත් වනු ඇත. එහෙත් තමන් උපන් රටේ එක සහෝදර රටවැසියෙකුටවත් එමගින් සෙත සදා දෙන්නට වගකිව යුත්තන් උනන්දු නොවීම ගැන මේ නිර්මාණාත්මක ලාංකිකයන් දෙපල ගේ සිත් තුළ  පසු තැවිල්ලක් ඇති බව නම් අවසන් වශයෙන් සඳහන් කළ යුතුව ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය