Powered by Blogger.

නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය එක ලෙස රඳවාගත් ඇය අද නිවේදන ක්ෂේත්‍රයට යොමුවෙලා. නිවේදිකාවක් ලෙස කා අතරත් කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක් වන ඇය නමින් ටානියා වින්ය. මේ ඇය සමග කළ සොඳුරු කතාබහයි.
නිරූපණ ක්ෂේත්‍රය එපාවුණු නිසාද නිවේදිකාවක් වෙන්න හිතුවේ?
නිරූපණ ක්ෂේත්‍රය මට එපා වුණේ නැහැ. මොකද මම වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපණ ශිල්පියෙක්. මෙම වැඩසටහනත් නිරූපණයත් එක්ක සම්බන්ධ නිසා තමයි නිවේදිකාවක් ලෙස සම්බන්ධ වුණේ.

නිරූපිකාවක් විදිහට නිවේදිකාවක් වෙන්න අවශ්‍ය සුදුසුකම් ඔබට තියෙනවාද?
මම කියන්නේ නෑ මට වෘත්තීය මට්ටමේ නිවේදිකාවක් තරම් හැකියාවක් තියෙනවා කියලා. ඒත් මම නිවේදනය කරන්නේ මගේ වෘත්තිය හා සම්බන්ධ වැඩසටහනක්. ඒ නිසා ක්ෂේත්‍රය ගැන දැනුමක් තියෙන නිසා. ඒ වැඩසටහන මට පුළුවන් උපරිමයෙන් කරනවා. ඒ වගේම මේ පිළිබඳව මම වෙනම අධ්‍යයනයක් කරනවා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම හිතනවා නිරූපිකාවක් විදිහට නිවේදනයට සාධාරණයක් කරනවා කියලා.

නිරූපිකාවන් නිවේදනයට, රංගනයට යොමුවෙන එක අද රැල්ලක් වෙලා තියෙනවා නේද?
මම හිතන්නේ නෑ ඒ දේ රැල්ලක් කියලා. ඒ දේ හොඳ දෙයක්. තමන්ට හැකියාවක් ආසාවක් තියෙනවා නම් මේ ක්ෂේත්‍රයට එකතු වෙන්න පුළුවන් වගේම දිගු ගමනක් යන්න හැකියාවක් තියෙනවා.

ටානියාට රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?
ආරාධනා කිහිපයක්ම මට ලැබුණා. ඒත් රංගනයට වැඩි කැමැත්තක් නෑ. මොකද වෘත්තීය මට්ටමේ නිරූපණ ශිල්පියෙක් නිසා. මම ආසා නෑ ගොඩක් කාර්යබහුල චරිතයක් වෙන්න. ඒ නිසා මම රංගනයට එකතු වෙන්නේ නෑ.

නිරූපණ ශිල්පීන් ගැන සමාජය බලන්නේ වපර ඇසින් නේද?
ඔව්. මොකද ලංකාවේ තියෙන සංස්කෘතියත් එක්ක සමාජය මේ වෘත්තිය දිහා බලන්නේ වපර ඇසින්. ඇඳුම් පැලඳුම් ගැන පවා විවේචනය කරනවා. මේ දේ අපට පමණක් නෙවේ මොන වෘත්තියේ හිටියත් තියෙන ‍පොදු දෙයක්.ඒ වගේම ක්ෂේත්‍රයේ හැසිරෙන විදිහ එක එක්කෙනාට වෙනස් වෙනවා. සමහරක් අය කරන වැරදි වැඩ නිසා සමාජය හිතන්නේ මේ ක්ෂේත්‍රයේ හැමෝම ඒ වගේ කියලා.

මේ ක්ෂේත්‍රයේ වැරදි කරන අයත් ඉන්නවා කියලාද ටානියා කියන්නේ?
අද මේ ක්ෂේත්‍රයට එකතුවෙන පිරිස ගොඩක් වැඩිවෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රයට එදාට වඩා අද එකතුවෙන්න ‍ලේසියි. ඒත් පැවැත්මක් හදාගෙන ඉස්සරහට යන පිරිස අඩුයි. ගොඩක් මේ ක්ෂේත්‍රයට එකතු වෙන අලුත් අය මුදල් වගේම ජනප්‍රියත්වය පස්සේ යනවා. එතකොට වැරදි වැඩවලට යොමුවෙන අවස්ථා වැඩියි.

වෘත්තීය මට්ටමේ නිරූපණ ශිල්පියෙක් විදිහට නවකයන්ට ඇයි ඔහොම චෝදනා කරන්නේ?
මම කාටවත් චෝදනා කළේ නෑ. මම මේ ක්ෂේත්‍රයට එකතු වෙන හැමෝම වැරදියි කීවේ නෑ. හැමෝම වැරදි කරන්නේ නෑ. ඒත් කිහිප දෙනෙක් වැරදි කරනවා. ඒ වගේම කියන්න ඕනෑ දක්ෂ අයත් අද ක්ෂේත්‍රයට එකතු වෙනවා. ඒ අය ඇතැම් වෙලාවට අපටත් වඩා දක්ෂයි.

ටානියා මුදල් පරමාර්ථයෙන්ද මේ ක්ෂේත්‍රයට යොමුවෙන්නේ?
මම එහෙම නෑ කීවොත් ඒක බොරුවක්. මම වෘත්තීය වශයෙන් තමයි නිරූපණ ක්ෂේත්‍රය තෝරාගත්තේ. මම මට වටිනාකමක් හදාගෙන තියෙන්නේ.

මේ ක්ෂේත්‍රයේ නයිට් ක්ලබ් සංස්කෘතිය අනිවාර්ය අංගයක්ද?
එහෙම කාටවත් නයිට් ක්ලබ් කියන දේ අනිවාර්ය නෑ. මම නයිට් ක්ලබ් යනවා මගේ හස්බන්ඩ් එක්ක. තමන් හරි නම් තමන්ට කොහේ ගියත් ඉන්න පුළුවන්.

නිරූපණ ක්ෂේත්‍රයේ රඳා පැවැත්ම පවතින්නේ තාරුණ්‍යයත් එක්ක. මවක් විදිහට ටානියා කොහොමද සුන්දරත්වය රැකගන්නේ?
මට බබාලා දෙන්නෙක් ඉන්නවා. මගේ ලොකු පුතාට අවුරුදු 12යි. චූටි පුතාට අවුරුදු 1 1/2 වයස. මගේ දෙවැනි බබා ලැබුණාම මම ටික කාලයයි ජිම් ගියේ. සුන්දරත්වය රැකගන්න කියලා විශේෂ දේවල් මම කරන්නේ නෑ. කෑම පාලනය කරන්නේ නෑ. මම හිතන්නේ මේක මට ආරෙන් එන දෙයක්. ඒ නිසා මගේ සුන්දරත්වය මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්.
තිළිණි මධුවන්ති
ඡායාරූප - චමිල කරුණාරත්න
http://www.rivira.lk/edition/images/2014/04/06/taniya%202.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය