Powered by Blogger.

පුංචි තිරයෙන් එකතු වුණු සුන්දර පෙම්වතුන් යුවළක් ගැන අපිට දැනගන්න ලැබුණා. අත්තම්මා ටෙලිනාට්‍යයේ දාරක සහ සාරදී සැබෑ ජීවිතයේ පෙම්වතුන් කියලා දැනගත්තේ හරිම අහම්බයකින්.
කතාව ඇත්තක්ද කියලා දැනගන්න අපි ඔවුන්ට කතා කළා. ඒ දෙන්නාම ඒ කතාව අනුමත කළා. ඒ නිසාම උදාරිටයි සංගිත්ටයි ආරාධනා කළා ජීවිතේ අලුත් වෙනස ගැන අපිත් එක්ක කතා කරන්න එන්න කියලා. බොහෝම සුන්දර විදියට හිනාවෙලා උදාරි කීවා තාත්ති එක්ක එන්නම් කියලා. උදාරි ආදරේට සංගීත්ට කතා කරන්නේ තාත්ති කියලා. ඒ වගේම සංගීත් උදාරිට කතාකරන්නේ අම්මි කියලා. උදාරියි සංගීතුයි වෙනම වෙලාවක් වෙන්කරගෙන ඒ දෙන්න ගැන තොරතුරු කියන්න අපිත් එක්ක එකතුවුණා.

දෙන්නගෙම ජීවිතේ අලුත් වෙනසක් වෙනවා කියලා අපිට ආරංචි වුණා? මුල්ම ප්‍රශ්නය මා යොමු කළේ සංගීත්ට.
උදාරි දිහා බලල සංගීත් බොහෝම ආදරණීය විදියට හිනාවුණා. ඔව් අපේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. අපි මේ මැයි මාසේ විවාහ ගිවිසගන්නවා. ඒ ජීවිතේ අලුත් වෙනසක් එක්ක අපි ගොඩක් සතුටින් කාලය ගතකරනවා.

ඇයි මෙච්චර ඉක්මනට විවාහ වෙන්න හිතුවේ? මම ඇසුවෙමි.
සංගීත් පිළිතුරු දෙන්න කලින්ම උදාරි උත්තර දුන්නාය. අපි ආදරය කරනවා ඉතින් විවාහ වුණා කියලා ඒ ආදරේ වෙනස් වෙන්නෑ. පෙම්වතුන් වෙලා දෙපැත්තකට වෙලා ඉන්නවට වඩා ඉක්මනට විවාහ වෙනවා කියන තීරණේ අපි දෙන්නම හිටියා. ලබන අවුරුද්දේ විවාහා උත්සවය අරගෙන අපි දෙන්න අධ්‍යාපන කටයුතුවලට විදේශගත වෙනවා. තරුණ කා‍ලේදී විවාහ වුණාම ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්  ඇය පැවසුවාය.

ඒ කියන්නේ දෙන්නම කලා ක්ෂේත්‍රයෙන් සමුගන්නවා කියලද? ඒ ප්‍රශ්නය මම ඇහැව්වේ සංගීත්ගෙන්.
අපි දෙන්නම කලාවට යොමු වුණේ ආසාව නිසා. කලාව වෘත්තීය කරගෙන නෙමේ. හැබැයි ජනප්‍රියත්වයි ප්‍රසිද්ධියයි දක්ෂතාවයයි ලැබුණහම අපි වෘත්තීය මට්ටමේ නළු නිළියෝ බවට පත්වෙනවා. එතකොට කලාවෙන් තොර ලෝකයක් නෑ. අපි දෙන්නම අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෝ වුණාට වැඩි තැනක් දීලා තියෙන්නෙ කලාවට. ඒ නිසාම තමයි විවාහයෙන් පස්සේ අධ්‍යාපනයට මුල්තැන දෙන්න අපි දෙන්නම විදේශගතවෙන්න තීරණය කළේ. අධ්‍යාපන වැඩත් එක්ක හොඳ නිර්මාණයක් ලැබුණොත් අපි දෙන්නම භාරගන්නවා.

විවාහයෙන් පස්සේ දෙන්නම ටෙලිනාට්‍ය භාරගන්න එකට නීති පනවගෙන තියනවා නේද? මම ඇසුවෙමි. උත්තර දුන්නේ උදාරී විසිනුයි.
මේ ක්ෂේත්‍රයේ වැඩකරද්දී ගොඩක් කාර්යබහුල වෙනවා. එතකොට පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න ඇතිවෙනවා. ඒ නිසාම අපි දෙන්නා තීරණයක් ගත්තා අපි දෙන්නම එකට වැඩ කරන්න පුළුවන් නිර්මාණයකට දායකවෙන්න. ඒ ගත්ත තීරණය නිසා අපි දෙන්නට නිර්මාණ ලැබෙන එක අඩුවෙන්න පුළුවන්. ඒ තීරණය ගත්තේ අපි දෙන්නගෙම අනාගතය ගැන හිතලා.

එකම නිර්මාණයකට දෙන්නම දායකවෙන්න හිතුවේ විශ්වාසය අඩු නිසාද? මම පුදුමයෙන් ඇසුවෙමි.
අපි දෙන්නට දෙන්න ගොඩක්ම විශ්වාසයි. දෙන්නට එකට ඉන්න ඕන නිසා තමයි එහෙම තීරණයක් ගත්තේ. අපි කොහේ ගියත් දෙන්නට දෙන්න දන්නවා. උදාරී කීවාය. විශ්වාසයක් නැති නිසා නෙමේ අපි මෙහෙම තීරණයක් ගත්තේ. කලාව කියන්නේ අපේ වෘත්තීය නෙමේ. ඒ නිසා අපි දෙන්නා අපේ පෞද්ගලික ජීවිතයට මුල් තැන දෙන්න තීරණය කළා. සංගීත්ගේ අදහස එය විය.

ඔය දෙන්නා මුණ ගැසුණේ අත්තම්මා ටෙලිනාට්‍යයෙන්ද? මගේ ඊළඟ පැනය වුණේ එයයි.
අපි දන්නෙ අත්තම්මා ටෙලිනාට්‍යයට කලින් අපේ පවුල් දෙක හොඳට අඳුනනවා. ඒත් ඒ තරම් බැඳීමක් මායි උදාරියි අතර තිබුණේ නෑ. අත්තම්මා ටෙලිනාට්‍යයෙන් තමයි අපි දෙන්නා පෙම්වතුන් වුණේ. සංගීත් කීවේය.
පවුල් දෙකේ අය දැනන් හිටියට අපි වෙනම කතා කරලා තිබුණේ නෑ. අත්තම්මා ටෙලිනාට්‍යය අපි සැබෑ ජීවිතයේත් පෙම්වතුන් කළේ. උදාරි සිනාවෙමින් කීවාය.

හරි ඒත් කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ.? ඒ මගේ පැනයයි.
මම තමයි ආදරය ප්‍රකාශ කළේ. අපි දෙන්නට දෙන්න දැනන් හිටියා අපි කැමැතියි කියලා. ගොඩක් වෙලාවට අපි දර්ශනතලයේදී කතා කළේ ඇස්වලින්. උදාරි පෑන්කේක් කන්න ආසයි කියලා දැනගත්තම එදා ෂූටින් හිටපු හැමෝටමත් එක්ක අම්මට කියලා පෑන්කේක් හදාගෙන ආවා. එහෙම තමයි මම උදාරිව යාළුකරගත්තේ. සංගීත් සිනාසෙමින් කීවේය.

ඇයි බිරිඳ විදියට උදාරි වගේ කෙනෙක් තෝරගත්තේ? මම සංගීත්ගෙන් ඇසුවාම ඔහු,
මම එයාගේ රූපයටත් වඩා කැමැති එයාගේ ගතිගුණවලට.  එයා ආඩම්බර කෙනෙක් නෙවේ. අද මේ ක්ෂේත්‍රයේ ලස්සනක් හරි උගත්කමක් හරි තියෙනවා නම් ඒ අය ගොඩක් උඩින් යන්නේ. ඒත් උදාර එහෙම නෑ. දන්නැති දෙයක් වුණත් අහනවා. අවංකව හැම දෙයක්ම මට කියනවා. කොහේ ගියත් මට කියලා තමයි යන්නේ. මම හිතනවා මම වයසට ගියාමත් උදාරි මාව හොඳට බලාගනීවි. මම මම ආදරය කරනවට වඩා එයා මට ආදරය කරනවා. එයා මම ගැන හොයලා බලනවා. ඉතින් ඒ වගේ කෙනෙක් මගේ ජීවිතයට එකතු කර ගත්තේ ජීවිතේ හැමදාම සතුටින් ඉන්න. ඔහු කීවේය.

හොඳයි උදාරි සංගීත්ට කැමැති වෙන්න විශේෂ හේතුවක් තියෙනවද? මම උදාරිගෙනුත් ඇසුවමිෙ.
ඔව් ඇත්තටම සංගීත් මාව හොඳට තේරුම් අරන් ඉන්නේ ඒ වගේම ගොඩක් නිහතමානියි. එයා හැමෝටම උදව් කරනවා. ඒ වගේම උණුවෙන හදවතක් තමයි සංගීත්ට තියෙන්නේ. ගොඩක් හොඳ ගතිගුණ තියෙන ආදරණීය කෙනෙක් නිසා මාව හොඳට බලාගනීවි කියලා හිතුණ නිසා තමයි මම සංගීත්ට කැමැති වුණේ.

දැන් ඔය දෙන්නට දෙමව්පියන්ගෙන් ආශිර්වාදය ලැබුණද?
ඔව්. හැබැයි අපි දෙන්නම කියන්න ගියේ නෑ. උදාරිට කීවා අම්මටයි තාත්තටයි කියන්න කීවාම උදාරීට ලැජ්ජයි කීවා. කොහොමහරි ඒගොල්ලන් දැනගත්තා. ඒ අය කැමැති වුණා. අපි ඉක්මනට විවාහවෙනවට. සංගීත් කීවේය.

විවාහයෙන් පස්සේ ජීවතේ වෙනස් වේවිද? මම උදාරිගෙන් විමසුවෙමි.
අපි දෙන්න විදේශගතවෙලා අධ්‍යාපනයට අමතරව කලාව ගැන ඉගෙන ගන්න තීරණය කළා. මොකද අපි කලාවට ගොඩක් ආදරෙයි. ඒ වගේම හැමදාම අපි පෙම්වතුන් විදියට රඟපාන්න බෑ. ඒ නිසා කලාව ගැන නිවැරදිව ඉගෙන ගෙන දෙන්නගෙම බලා‍පොරොත්තුවක් තියෙවා ටෙලිනාට්‍ය නිෂ්පාදනයට යොමුවෙන්න.

කලා ක්ෂේත්‍රයේ විවාහය කියන්නේ ජනප්‍රිය තාවකාලික දෙයක් කියලා මතයක් තියෙනවානේද ? කියලා සංගීත්ට අවසාන ප්‍රශ්නය යොමු කළෙමි.
ඔව්. එහෙම මතකයක් තියෙනවා. ගොඩක් අය හොඳ මුහුණු පෙන්නුවට ගොඩක් වෙලාවට ප්‍රශ්න තියෙනවා. සමහරක් අය කැමැති නෑ තමන්ගේ බිරිඳ රඟපානවට. එහෙම වුණාමත් ප්‍රශ්න ඇතිවෙනවා. සමහරක් අය විවාහ වෙන්නේ භෞතික දේවල් මත ඒක අද මේ ක්ෂේත්‍රයේ විලාසිතාවක් වෙලා. ඒත් මමයි උදාරියි ආදරය කරන්නේ හොඳට තේරුම් අරගෙන. ඒ නිසා අපේ විවාහය තාවකාලික දෙයක් වෙන්නෑ. ඒ දෙන්නගේ අනාගත බලා‍පොරොත්තු ඉටුවෙන්න කියලා වගේම උදාරිගෙයි සංගීත්ගෙයි අලුත් ජීවිතයට සුබපතලා අපි ඔවුන්ට සමුදුන්නෙමු.
තිළිණි මධුවන්ති
ඡායාරූප - චමිල කරුණාරත්න
http://www.rivira.lk/edition/images/2014/04/13/1.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය