Powered by Blogger.

බටහිර රටවල රජකුමරුවන් කුමරියන් පිළිබඳ අපමණ තොරතුරු මාධ්‍ය වෙතින් අනාවරණය වූවත් මුස්ලිම් රටවල රජ පවුල්වල කාන්තා පාර්ශ්වයේ අය පිළිබඳ තොරතුරු හෝ ඡායාරූප මාධ්‍ය වෙත ලැබෙන්නේම නැත.
පසුගියදා අන්තර්ජාලයේ එක්තරා වෙබ් අඩවියක සෞදි අරාබියේ රජතුමාගේ දියණිය ඔබ දැක තිබේද? යන විමසුම යටතේ එක් සේයාරුවක් පළ කර ති‍බිණි. ඒ අනුව අපි එම රජ කුමරියගේ ‍ෙතාරතුරු සොයා ගියෙමු. එහෙත් ඇගේ වෙනත් සේයා රූ අපට සොයා ගැනීමට අසීරු වූ අතර ඇය පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත හෙළිදරව් වී තිබුණේ ඉතා සීමිතවය.
වෙබ් අඩවිය පළකර තිබූ සේයාරුවෙන් පෙනීගියේ කුමරිය පර්දාවෙන් මුළු මුහුණම වසා නොගත්, නූතන මතවාදයන්ට යම් තරමකට ගරු කරන එකියක බවය. එය එසේමද?
සෞදි රජ දියණිය අඩිලා බින්ට් අබ්දුල්ලා බින් අබ්දුල් ලාසිස් අල් සෞද් නම් වෙයි. ලෙබනනයේ බීරුට් නුවර දී උපත ලබා ඇති අඩිලා සෞදියේ අබ්දුල්ලා රජුගේත් අයිඩා ෆුස්ටුක් ගේත් දියණියයි. අඩිලා ගේ මව අයිඩා ලෙබනන ජාතික කාන්තා‍වකි. කෙසේ වෙතත් පසු කලෙක අබ්දුල්ලා රජු අයිඩාගෙන් දික්කසාද වී තිබේ. සෞදි කිරුළ හිමි අබ්දුල් අසිස් කුමරු අයිඩාගේ සොහොයුරාය.
ඉස්ලාමීය රටවල කාන්තාවන් වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු කරනු දැකගන්නට ලැබෙන්නේ කලාතුරකිනි. කෙසේ වෙතත් අයිඩා කුමරිය සෞදි අරාබියේ කිංග් සෞද් සරසවියේ ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධිධාරිනියක වෙයි.
අඩිලා කුමරියගේ එක් විශේෂයක් වන්නේ ඇය අනෙක් සෞදි රජ කුමරියන් මෙන් මාලිග ඇතුළටම කොටු වී නොසිට අර්ධ සමාජයීය ජීවිතයක් ගතකිරීමයි. සමහර අය පවසන්නේ ඇය තම පියා වූ අබ්දුල්ලා රජතුමාගේ සමාජයීය මුහුණුවර ලෙස කටයුතු කරන බවකි. සෞදියට පැමිණෙන බො‍හෝ විදෙස් නියෝජිතයන් පිළිගනු ලබන්නේ අඩිලා කුමරිය විසිනි.
එමෙන්ම ඇය එරට කාන්තාවන්ගේ නිදහස හා විමුක්තිය වෙනුවෙන් අදහස් දක්වන්නියක ලෙස ද ප්‍රකටය. සෞදි කාන්තාවන්ට රිය පැදවීම නීතියෙන් තහනම් වන අතර අඩිලා කුමරිය කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිය ලබා ගන්නට මෙන්ම ඔවුන්ගේ නීතිමය අයිතීන් ලබා දෙන්නට ද කැපවී කටයුතු කරන අදහස් දක්වන තැනැත්තියකි.
“මම මේ සමාජය ඇතුළත එක් අයෙක් පමණයි. කෙසේ වෙතත් මෙරට අනෙක් කාන්තාවන්ට වඩා මට මගේ අදහස් දැක්වීමේ යම් නිදහසක් තිබෙනවා. අපට ආපසු අතීතයට යන්න බැහැ. මේ සමාජ ක්‍රමයේ යම් යම් වෙනස්කම් වඩාත් ලිබරල් ආකාරයට සිදුවිය යුතු බවයි මගේ අදහස. පර්දාව පැලඳීම ඉස්ලාමීය සම්ප්‍රදායක්. එය වෙනසට ලක්විය යුතුයි. පර්දාව ඇතුළත කාන්තාව සිරකර නොතබන්නට හිස වැසෙන සේ ස්කාෆයක් පැලඳීම ඉතා හොඳ විකල්පයක්.”
2011 වසරේ දී පළවූ මෝනා අල්මුනජෙඩ් ගේ ‘සෞදි විමෙන් ස්පීක්’ කෘතියට එසේ අදහස් පළකොට තිබිණි.
කෙසේ වෙතත් බොහෝ අය සිතන්නේ සෞදි‍ෙය් අබ්දුල්ලා රජු ඇයට අර්ධ සමාජයීය ජීවිතයකට හෝ ඉඩ ලබා දී ඇත්තේ ඇය සතු මනා ඉංග්‍රීසි භාෂා දැනුම නිසා කියාය.
“සෞදියේ කාන්තාවන් මුහුණ දෙන එක් විශාල ප්‍රශ්නයක් වන්නේ ගැහැනු ළමයින් ඉතා අඩු වයසින් විවාහයන්ට ඇතුළු කරවීමයි. ඇත්තෙන්ම විවාහයට නිසි වයස් සීමාව නීතියෙන් දක්වනවා නම් ඒ හරහා එම ගැටලුව විසඳාගත හැකියි.”
අඩිලා බින්ට් අබ්දුල්ලා කුමරිය එසේ පැවසුවද ඊට සෞදි රජය කිසිම උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නේ නැත. කුමරියගේ උපන් දිනය හෝ වයස කිසිම ආකාරයකින් මාධ්‍යයන්ට හෙළිදරව් කර නැත. ඇය සිය ජීවිතයේ වයස විසිගණන්වලදී විවාහ වී ඇත්තේ තම මස්සිනා වූ ෆයිසාල් බින් අබ්දුල්ලා කුමරු සමඟිනි.
ෆයිසාල් කුමරු 2009 - 2013 කාලයේ සෞදි අරාබි අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ද එරට ඔත්තු සේවාවේ නි‍යෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කර තිබේ.
අඩිලා කුමරිය දියණියන් සිවු දෙනකුගේ සහ පුතුන් දෙදෙනකුගේ මවකි. ඇගේ එක් දියණියක ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයයේ උපාධිධාරිනියකි.
සෞදියේ ක්‍රියාත්මක වන පුන්‍ය අරමුදල් රැසක සභාපතිත්වය දරන්නී අඩිලා කුමරියයි. සෞදියේ පිළිකා රෝගයෙන් පීඩා විඳින දරුවන් සඳහා සහන සලසන ‘සනාද් චිල්රන්ස් කැන්සර් සපෝට් සොසයිටි’ හි සභාපතිත්වය දරන්නේ ද අඩිලා කුමරියයි. ජාතික පවුල් ආරක්ෂණ වැඩ සටහනේ උප සභාපතිනිය වන්නේ ද ඇයයි.
“අන්‍යොන්‍ය ගෞරවය සහිත, ලිංගික අඩන්තේට්ටම් සඳහා නීතිය අකුරටම ක්‍රියාවට නැංවෙන පරිසරයක, පිරිමින් හා කාන්තාවන් එකට වැඩ කිරීමේ වරදක් මා දකින්නේ නැහැ.” ප්‍රංශ පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කුමරිය පවසා තිබේ.
අඩිලා බින් අබ්දුල්ලා කුමරිය සෞදියේ කාන්තා නිදහස පිළිබඳ කතාකරන්නේ දේශපාලනමය උපක්‍රමයක් වශයෙන් පමණක්ද? නැතිනම් සාම්ප්‍රදායික ඉස්ලාමීය නීති රීති වෙනසට ලක්කොට සෞදි කතුන්ට සැබැවින්ම නිදහස ලබා දීමේ සැබෑ අවශ්‍යතාවක් ඇයට තිබේද? අර්ධ සාමජයීය ජීවිතයක් ගතකරන්නීය යන්නෙන් අදහස් වන්නේ අඩිලා කුමරිය ද යම්තරමකට කූඩු වී ජීවිතය ගතකරන බවය. ඇගේ සේයා රූ පළ කළ වෙබ් අඩවිය විමසන්නේ සිය රටේ කාන්තා විමුක්තිය පිළිබඳ කාන්තාවන් අතර යම් අපේක්ෂාවක් ඇති කරන්නට නම් මේ කූඩු කිරිල්ලිය සමත්වී සිටින්නීය කියායි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය