Powered by Blogger.


මෙ රට සිනමාවේ අපූරු මං සලකුණු දෙකක් වූ “පරසතු මල්” (1966) හා “තුංමං හන්දිය” (1970) යන චිත්‍රපට යුගළ නිපදවූ අර්ථපතියා සොයා අපි පසුගිය දිනක දෙහිවල බෙල්ලන්තර පාරේ කර්නල් ඇව්නිව් හි ‘චිත්‍රමාලි’ නිවසට ගියෙමු.මේ නිවසේ මුල් අයිතිකරුවා වන්නේ මෙරට ප්‍රථම  වර්ණ  චිත්‍රපටය වූ “රන් මුතු දූව”ට සම්බන්ධ වී දිය යට දර්ශන මෙහෙය වූ ද, “වාලම්පූරි” නවකතාව ලියූවා වූ ද, මුහුදු කිමිදෙන්නකු හා ජීව විද්‍යාඥයකු වූ ද රොඩ්නි ජොන්ක්ලාස්ය. ඔහු අද ජීවතුන් අතර නැත.
ඒ නිවසේ අද නිවසන සිනමා අර්ථපතියා බාලසූරිය අප්පුහාමිලාගේ දොන් චිත්‍ර බාලසූරියයි. සිනමා         ක්‍ෂේත්‍රය ඔහු හඳුනන්නේ විශිෂ්ට සිනමා කෘති දෙකක් සිංහල සිනමාවට දායාද කළ සම්මානනීය නිෂ්පාදකවරයා වූ චිත්‍ර බාලසූරිය නමිනි. ක්‍රීම් පැහැති කමිසයකින් හා කලිසමින් නිතර සැරසී සිටින චිත්‍ර ආකර්ෂණීය පුද්ගලයෙකි. සැමවිටම සුබවාදී ආකල්පයකින් පසුවන, යෞවනයකු සේ කඩිසර, මනා පෞරුෂයකින් පිරිපුන් මේ ‘වයෝවෘද්ධ  තරුණයා’ කතා කරන කාගේත් හිතෛෂියෙකි. වචනයේ පරිසමාප්තයෙන්ම ඔහු අපූරු, සුන්දර මිනිසෙකි.

‘පරසතුමල්’ සහ ‘තුංමංහන්දිය’ රූගත කළ කාලය ගැන රසවත් මතක සටහන් අවදි කරන්නට පෙර චිත්‍රගේ පෞද්ගලික තොරතුරු ටිකකින්ම මේ කතාව පටන් ගනිමු.
“මගේ තාත්තාගේ නම හෙන්ද්‍රික් බාලසූරිය. අපේ ගම ගම්පහ. ඒ කාලයේ තාත්තගේ පරම්පරාවේ කවුරුවත් රැකියාවල් කළේ නෑ. දෙමාපියන්ගේ උරුමයෙන් ලැබුණ දේපළවලින් යැපුණු ඉතාමත් සරල සුන්දර ජීවිතයක් ගත කළ, ආගම දහමට ලැදි, සුරාවෙන් තොර දිවි පෙවතක් ගත කළ මිනිස්සු. මට හොඳට මතකයි අපි පාසල් යනකොට කන්න දෙන්නේ තාත්තාම වගා කරපු අල වර්ග. තාත්තා උදේ කෑමෙන් පස්සේ කුඹුර පැත්තේ යනවා. අපේ කුඹුරු තිබුණේ ගම්පහ දුම්රිය මාර්ගය කිට්ටුව. අත්තනගලු ඔය ගලා බසින්නේ ගම්පහ උද්භිද උද්‍යානය ළඟින්. තාත්තා කුඹුරු බලලා අත්තනගලු ඔයෙන් නාලා, ගෙදර ඇවිත් දවල්ට කාලා නිදාගන්නවා. අවුරුද්දකට සැරයක් පංචාංග ලිත අරගෙන ගමේදී සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කරනවා.” චිත්‍ර තාත්තගේ වගතුග හෙළි කළේය. “තුංමං හන්දිය” චිත්‍රපටයේ ගමේ මඟුල් ගෙදරක ග්‍රැමෆෝන් එක වාදනය කරන දර්ශනයේ රඟපාන්නේ චිත්‍රගේ තාත්තාය.
 “මගේ අම්මාගේ නම ඉසිබෙලා නෙත්තසිංහ. ගම වේයන්ගොඩ. අම්මා තාත්තා සමග විවාහ වෙනකොට වයස අවුරුදු 13ක් ලු. මට හිතාගන්න බැහැ කොහොමද අම්මා ඒ වයසින් විවාහ වුණේ කියලා. මට වැඩිමල් අයියගේ නම දොන් ඇල්බට් බාලසූරිය. ඔහු “පරසතු මල්” චිත්‍රපටයේ සිරිසේනගේ (ටෝනිගේ) පියා ලෙසත්, “තුංමං හන්දිය” චිත්‍රපටයේ සිරිසේනගේ පියා ලෙසත් රඟපෑවා.”
කුඩා කාලයේ ගම්පහ ‘පබ්ලික් හෝල්’ නම් සිනමාශාලාව විවෘත කළ අලුත චිත්‍ර ‘කඩවුණු ‍පොරොන්දුව‘ චිත්‍රපටය නරඹා ඇතත් චිත්‍රපට ගැන දිගින් දිගටම පැවැතුණු ආසාවක් ඇති කර වන්නට එය සමත් වූවේ නැත.ඔහු කොළඹ පැමිණ  ආනන්ද  විද්‍යාලයට බැඳෙන්නේ වයස අවුරුදු 15 ක් ලබද්දීය. එකල ආනන්ද විදුහල්පති එල්.එච්. මෙත්තානන්ද මහතාගේ ඥාතියකුගේ මාර්ගයෙන් චිත්‍රට එහි සිසුවකු වීමට අවස්ථාව ලැබිණ. පාසල් ජීවිතයෙන් සමුගෙන මිතුරකුගේ මාර්ගයෙන් ගුවන් නියමුවකු වීමට සිතුවද චිත්‍රගේ අදහසට දෙමාපියන් අකමැති විය.
චිත්‍ර හාපුරා කියා චිත්‍රපටයක් රූ ගත කරනු දුටුවේ ගම්පහදීය. තම මිතුරකු වූ විමලනාත්  දිසානායක අධ්‍යක්ෂණය කළ ‘පටාචාරා’ චිත්‍රපටයේ ගීතමය අවස්ථාවකි ඒ. අමරදේවයන් ගැයූ ‘තණ්හා ආශා ඔලගු කරේ ලා’ නම් ඒ ගීතයේ තනුව හා සංගීතය තම පංති මිතුරා වූ ලයනල් අල්ගමගේ වීම චිත්‍රට තවත්  සතුටක් විය.
වයස අවුරුදු 22 ක පමණ කාලයේ චිත්‍ර ගම්පහ  මහ විදීයේ ‘චිත්‍ර ෆොටෝ’ නමින් ඡායාරූප ශාලාවක් ආරම්භ කළේය. මේ ඡායාරූප ශාලාව කොතරම් ජනප්‍රිය වීද යත් , ගම්පහ ප්‍රදේශයේ විවිධ කලාකරුවන් මහ වීදියට පැමිණියහොත් එහි ගොඩවැදී චිත්‍ර සමග අල්ලාප සල්ලාපයේ යෙදීමට අමතක කළේ නැත. කලක් ඇවෑමෙන් දිනක් ගම්පහ ‘පබ්ලික් හෝල්’ හි වේදිකා ගත වූ  කේමදාස ගේ ‘බැරි සිල්’ ගීත නාටකය නැරඹීමට යාමට චිත්‍රට ලයනල්  අල්ගම හමුවිය. නාට්‍ය බලා එන අතර ලයනල් චිත්‍රට මෙසේ කීවේය.
‘චිත්‍ර අපිත් මේ වගේ නාට්‍යයක් කරමු.’
“හොඳයි , කොයි තරම් වියදමක් යාවිද කියලා බලලා මට කියපන්”
දවස් දෙකකින් ලයනල් ඇස්තමේන්තුවක් හදා ගෙන ආවේය. “යකෝ නාට්‍යයක් හදන්න යන ඔය ගණනින්  චිත්‍රපටයක් හදන්න ඇහැකි නේ.”
“හොඳයි, එහෙනං අපි චිත්‍රපටයක් කරමු.”
මේ කතාබහෙන් සතියක් දෙකක් ගත වෙද්දී  වේදිකා නළුවකුව සිටි ධර්මදාස කුරුප්පු එක්තරා වැසි දිනක ‘චිත්‍ර ෆොටෝ’ වෙත ගොඩ වැදුණේ ය.
“කුරුප්පු හොඳ චිත්‍රපටයක් කරන්න මගේ හිතේ තියෙනවා. හොඳ කතා පිටපතක් තමයි නැත්තේ.”
“ඕකට හොඳම මිනිහා ඉන්නේ පල්ලවෛල. ‘කුරුලු බැද්ද’ ‘සිකුරු තරුව‘ ලියපු පීකේ.ඩී. සෙනෙවිරත්න ඉස්කෝලෙ මහත්තයා....”
චිත්‍ර හා කුරුප්පු පී.කේ.ඩී. සොයා පසුදාම පල්ලවෛල ගියහ.
“මම මේ දවස්වල චිත්‍රපට කතාවක් ලියාගෙන යනවා. සති දෙකකින් ඉවර කරගත හැකියි.”
ආ ගිය කතා හමාර කළ පී.කේ.ඩී. කීවේය. දෙසතියකට පසු ඔවුනට “පෙම්වතුන්ගේ ලෝකය” නම් කතාව ලැබුණේය.
“මේක කාටද අධ්‍යක්ෂණය කරන්න දෙන්නේ?” පී.කේ.ඩී ඇසුවේය.
“අපි ලෙස්ටර් ට දෙමු.” චිත්‍ර යෝජනා කළේය.
“ඒක හොඳා” ඔව්හු කතිකා කර ගත්හ.
පසුදා පී.කේ.ඩී. හා චිත්‍ර ලෙස්ටර් එදා පදිංචිව සිටි බම්බලපිටියේ කැප්පෙටි‍පොළ මාවතේ නිවසට ගියහ. චිත්‍රපටය කිරීමට සතුටින් බාර  ගත්තත්, ලෙස්ටර් සතියකින් පසු නැවතත් ඔවුන් කැඳවීය.
“චිත්‍ර , මම මේක කරන්න කැමැත්තෙන් හිටියේ. කතාව ප්‍රබලයි. පරහකට තියෙන්නේ ඇන්ටන් වික්‍රමසිංහයි (ගම්පෙරළිය, දෙලොවක් අතර චිත්‍රපටවල නිෂ්පාදක), අපියි ගිවිසුමකට ඇවිල්ලා තියෙනවා පිට චිත්‍රපට කරන්නේ නෑ කියලා. මේක කරනවා කිව්වම ඇන්ටන් කිව්වා,  අපි ‘දෙලොවක් අතර’ කරමු කියලා. හැබැයි ඔයාගේ චිත්‍රපටයට මමත් සුමිත්‍රත් හැම උදව්වක්ම කරනවා. අපි මේක ගාමිණී ෆොන්සේකාට දෙමු. එයානේ මේකේ ප්‍රධාන නළුවා. එයා ‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි“ චිත්‍රපටයෙත් වැඩ කරල අත්දැකීම් තියෙනවා.”
ලෙස්ටර්ගේ යෝජනාවට එකඟ වූ චිත්‍ර ,පී.කේ. ඩී. සමග ගම්පහ බලා එන අතරේ මෙසේ කීවේය.
“සෙනෙවි, මම චිත්‍රපට කතාවේ නමට කැමති නෑ.”
“එහෙනම් , අපි මානවසිංහ හම්බ වෙලා නමක් ගැන අහමු.”
පසුදා චිත්‍ර, තම පර්ජෝ රථයෙන් ලයනල් හා පී.කේ.ඩී. සමඟ මානවසිංහ සොයා බොරලැස්ගමු ගියහ. මානවසිංහ බෙහෙත් ගැනීම සඳහා මහවැව වෙද ගෙදරකට ගොසිනි. වංහුං  අසා පිරිස මහවැව ගියහ.
දැන් මානවසිංහ කාර් එකේ ඉදිරි අසුනේය. ලයනල්  හා පී.කේ.ඩී. පිටුපස අසුනේය. චිත්‍ර රථය පදවයි. මාදම්පේ දේවාලය අසල රථය නවතන ලෙස මානවසිංහ කීවේය. දේවාලය අසල සුදු වැල්‍ලේ පිරිස ඉඳ ගත්හ.
“සෙනෙවි , අනුන්ගේ ගෑනුන්ට ආදරේ කරන මිනිහෙකුගේ කතාවක් නෙ මේක. අන්සතු ......... පරසතු” මානවසිංහ තොල් මැතිරීය.
“මල් ..........” ලයනල් ඌණ පූර්ණය කළේය.
“පරසතු මල්. පන්කාදු නම” මානවසිංහ එය ස්ථිර කළේය.
“මම කිසිම නැකතක් විශ්වාස කරන්නේ නෑ. මගේ කිසිම වැඩක් නැකතකින් ආරම්භ කරලත් නෑ. මට වැරදිලත් නෑ.” චිත්‍ර කීවේය.
‘පරසතු මල්’ රූගත කිරීම්  ආරම්භ කළ දවසේ සුමිත්ත අමරසිංහ  මෙහෙය වූ කැමරාව  ක්‍රියාත්මක නොවීය. එයට හේතුව එදා ගෙනා යෝධ කැමරාවේ කාර්මික දෝෂයකි. මුල්ම දර්ශනය රූගත කිරීමට තිබූ දිනයේ ගාමිණීට චිත්‍රපට කිහිපයක නොනවත්වාම රඟපෑමට තිබුණි. මේ කාලයේ ජනප්‍රියම හා කාර්යබහුලම නළුවා වූයේ ඔහුය. මේ නිසා ලෙස්ටර්ගේ හා සුමිත්‍රාගේ සහාය ගැනීමට චිත්‍රට සිදුවිය. මේ දෙදෙනා විවාහ වී නොසිටි ඒ කාලයේ චිත්‍ර ට උදව්වට ආහ. මුල්ම දර්ශනය රූගත වූයේ ගම්පහය. කමලා  ලෙස රඟපෑ පුණ්‍යා හීන්දෙනියගේත්, සිරිසේන ලෙස රඟපෑ ටෝනි රණසිංහගේත් දර්ශනයකි ඒ.
ගල්ලැහැ මිටිය රැගත් කමලා ඉදිරියට ආවාය. ඇය සිරිසේන සිටි තැනට පැමිණියාය.
“කෝ ඕක මං ගෙනැවිත් දෙන්නම්, එගොඩ  උනාම” සිරිසේන පන්මිටිය ගත්තේය.
“ඉන්නව දැන ගෙන තමා මං මෙහෙන් ආවෙ.  මට පුළුවනැයි මේකත් අරන් ඒ දණ්ඩෙන් එගොඩ වෙන්න.”
“ඒක තමා මං එනකල් බලා හිටියෙ මතෛන්ට වෙලා” සිරිසේන සිනාසෙමින් කීවේය. එදා රූගත කළ දර්ශනයේ වූවේ එයැයි.
චිත්‍රපටයේ බොනී මහත්තයා (ගාමිණී) මියයන මේ දර්ශනයද ලෙස්ටර්    අධ්‍යක්ෂණය කළ බව චිත්‍ර පැවැසීය.
 “පරසතු මල් චිත්‍රපටයේ එන දරු නැලවිලි ගීතය ලියන්න බාර ගත්තේ  මානවසිංහයි. නමුත් ඒ දවස්වල ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් හිටියෙ නෑ. ගීතයේ කොටසයි ලියලා තිබුණේ. ඒ පාර මේ ගීතය ලියන්න පී.කේ.ඩී. යි මමයි මහගම සේකර හොයාගෙන ගියා. ඒ කා‍ලේ සේකර හිටියේ ගම්පහ සියනෑ පාරේ. මම පරාක්‍රම පාරේ. අපි යාළුවෝ. තිරනාටකය බලලා සේකර අවස්ථාව තේරුම් ගත්තා. අපි ගම්පහ ඉඳලා කොළඹ එනකොට කිරිල්ලවල හරියෙ තැනකදි සේකර කාරෙක නවත්තන්න කිව්වා. “චිත්‍රා ‍පොඩ්ඩක් මේ හරියෙ නවත්වන්න”සේකර කිව්වා. ඔන්න දැන් ඔහු කාර් එකේ දොර ඇරගෙන කොළයක් අරං ලියනවා.

“අතට වළලු මම කොහෙන් සොයාම්දෝ
පයට ගිගිරි මම කොහෙන් සොයම්දෝ
ඉණට හවඩි මම කොහෙන් සොයම්දෝ
දුවට මවක මිස පියෙකු කොයින්දෝ”

“හරි මචං යමු”
“පරවුණු මල්වල සුවඳ අතීතේ’ ගීතය ලියවුණේ එහෙමයි” චිත්‍රා සිනාසෙමින් කියයි.
පරසතු මල් චිත්‍රපටයේ සියලු කටයුතු භාරව සිටියේ චිත්‍ර ය. නළු නිළියන් සොයා යාම, දර්ශන තල සෙවීම , රාත්‍රියට බනිස් සැපයීම හා තේ සාදා දීම, දවල්ට ආහාර සැපයීම මේ සියල්ල කෙරුනේ ඔහු අතිනි. දිනක් රාත්‍රී ගාමිණි චිත්‍ර ළඟට පැමිණ ‘මචං හෙට සීන් එකට ‍පොල් කුරුමිණියෙක් ඕනෑ” යැයි කීවේය. “හරි මචං” කොයි දේත් භාරගන්නා චිත්‍ර කීවේය. ‍පොල් කුරුමිණියා හොයන්නේ කෙසේ දැයි සිතමින් එළිමහනට වී  සිටින චිත්‍ර අසලට සුමිත්ත අමරසිංහ (කැමරා අධ්‍යක්ෂ) දුම් වැටියක් දල්වා ගනිමින් පැමිණියේය.
“චිත්‍ර උඹට ‍පොල් කුරුමිණි ගොඩක් හොයල දෙන්නම්” කී සුමිත්ත කැමරා සඳහා භාවිතා කරන ඉතා සැර දීප්තියෙන් යුතු 2 කේ.වී. ලයිට් එකක් ‍පොල් ගසකට එල්ල කළේය. ආලෝක ධාරාව ඔස්සේ ‍පොල් කුරුමිණියෝ රැසක් පැමිණ බිම වැටුණාහ. උන් ‍පොල් කටුවකට එකතු කළ චිත්‍ර, ‘ගාමිණි උඹට ඕන එකා අරං අනික් ඒවුන් බයිට් එකට ගනින්” යැයි පැවසීය.
පසුදා ටෝනි රණසිංහ (සිරිසේන) බොනී මහත්තයාට වෙඩි තබන්නට සිතා කේන්තියෙන් තුවක්කුවක් ගෙන වත්තක් මැදින් ගමන් කොට, කේන්තිය නිවී ගෙදර පැමිණ වාඩි වී සිටියදී ගෙබිම මත නොපිට පෙරළී දඟලමින් සිටි ‍පොල් කුරුමිණියකු දකියි. ඒ කලින් දවසේ චිත්‍රත් සුමිත්තත් විසින් සොයා ගන්නා ලද කුරුමිණි නළුවාය. ‍පොල් කුරුමිණියා රඟපෑවේ ප්‍රශ්න රැසක් සංකේතවත් කරන ‘චරිතයකි’
‘මට පරසතුමල් සඳහා රුපියල් හාර ලක්ෂ හැට පන් දාහක් (4,65,000) ක් වියදම් වුණා. ආදායම ලක්ෂ 37 ක් ලැබුවා.” චිත්‍ර කියයි. ඉක්බිති රෝලන්ඩ් සමාගමට ගිය චිත්‍ර රු. 36 ,000 කට සන්බිම් ඇල්ෆයින් රේසිං කාර් එකක් මිලදී ගත්තේය. ඒ රථය පසුව මිලදී ගත්තේ රවීන්ද්‍ර රන්දෙණියයි.
‘පරසතුමලි’න් පසු චිත්‍ර ගාමිණි සමග එක්ව ‘පුරන් අප්පු’ චිත්‍රපටයක් කිරීමට සැලසුම් කළත් එය ඇදි ඇදී ගියා මිස කෙරුණේම නැත. දොස්තර ලීනස් දිසානායක ‘සත් සමුදුර’ නිෂ්පාදනය කිරීමෙන් පසු මහගම සේකර සමඟ එක්ව ‘තුං මං හන්දිය’ නිපදවීමට බලා සිටියත් එයද අසාර්ථක වී තිබුණි. සේකර චිත්‍ර සොයා ආවේය.
“චිත්‍ර මාත් එක්ක චිත්‍රපටයක් හදන්න කැමතිද?’ සේකර ඇසීය.
“මම උඹට බෑ කියනවද? හෙටම පටන් ගනිං”
තුංමං හන්දිය පටන් ගත්තේ ඒ ආකාරයටය. “චිත්‍රපටයට රු 2,20,000 ගියා. ආදායම අඩු වුණේ ඒ කා‍ලේ මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා රටේ තිබුණු කළු සල්ලි එළියට අදින්න ගත්තු පියවරක් නිසා මිනිස්සු චිත්‍රපට ශාලාවලට එන එක අඩු කළ නිසා. ඒත් චිත්‍රපටය චෙකොස්ලොවැකියා හා ටෂ්කන්ට් සිනමා උළෙලවල තිරගත වීමෙන් සැලකිය යුතු මුදලක්  ලැබුණා.”
ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින චිත්‍රට දැන් වයස අවුරුදු 82 කි.  “මම උපන්නේ 1932 ඔක්තෝබර් 22 දා. දැන් 82 ක්.  කිසි දිනක හොස්පිට්ල් එකක ඉඳල නෑ. කණ්ණාඩි පාවිච්චි කරල නෑ. මත්පැන් දුම්වැටි බිල නෑ. මට කිසිම ප්‍රශ්නයක් නෑ. මගේ බිරිඳට සහය වෙමින් ‍පොත පත කියවමින් සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.”  චිත්‍ර අප ඔහුගෙන් සමුගන්නා විට පැවසුවේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය