Powered by Blogger.



හදවත් රෝග මෑත කාලයේදී සමාජයේ බහුල හා භයානක දෙයක්‌ ලෙස පිළිගැනීමට ලක්‌වී තිබේ. හදවත් රෝග ගැන කොතරම් බියක්‌ දක්‌වනවාද කිවහොත් බොහෝ දෙනා හෘදයාබාධ ගැන කථා කරන්නේ මරණය පිළිබඳ සිතෙහි තබා ගනිමිනි. හෘදයාබාධයක්‌ ඇතිවුවහොත් මරණය අනිවාර්යයයි යනුවෙන් බොහෝ දෙනා පවසන්නේ එබැවිනි.

එහෙත් එවැනි සිතුවිල්ලක්‌ ඇතිකර ගැනීමට අවශ්‍ය නොවේ. මුල සිටම නිවැරදි පුරුදු ඇතිකරගෙන කල් ගතවීමෙන් හෘදයාබාධ වළක්‌වා ගැනීමට සෑහෙන දුරට හැකියාවක්‌ ඇත. මුල සිටම නිවැරැදි පුරුදු ඇතිකර ගැනීමේදී ඔබ විශේෂයෙන් අවධානය යොමුකළ යුතු වන්නේ තෙල් හා තෙල් අඩංගු ආහාර ගැනීම සම්බන්ධවයි.

ආහාර වශයෙන් ගත්තාවූ මේදයට අමතර අපගේ ශරීරය තුළින්ද මේදය නිෂ්පාදනය වේ. රුධිර කොලෙස්‌ට්‍රොලය සම්බන්ධයෙන් මෙය පැහැදිලි කළහොත් ආහාරයට ගන්නා කොලෙස්‌ට්‍රොලයට වඩා ශරීරය තුළ නිෂ්පාදනය කෙරෙන කොලෙස්‌ට්‍රොලය ප්‍රමාණයෙන් වැඩිය. එනම් අක්‌මාව මගින් නිෂ්පාදනය කරන කොලෙස්‌ට්‍රොaලය රුධිරයේ ඇති කොලෙස්‌ට්‍රොaලයෙන් සියයට 65 කි. ආහාරවලින් කොලෙස්‌ට්‍රොලය සැපයෙන්නේ සියයට 35 ක්‌ පමණ වේ. ඒ අනුව අධික මේදය ආහාරයට ගැනීම හෘදයාබාධවලට තුඩු දෙනවා වගේම අක්‌මාව මගින් කොලෙස්‌ට්‍රොaල් නිෂ්පාදනයට අනුබල දෙන සාධකයක්‌ බවද අප විශේෂයෙන් කල්පනාවට ගත යුතුය.

තෙල් ආහාරය පිළිබඳ කථා කිරීමේදී නොයෙකුත් වර්ගීකරණ තිබේ. මෙයින් ප්‍රධාන වශයෙන් වැදගත්වන වර්ගීකරණය වන්නේ ශාඛ තෙල් හා සත්ව තෙල් යනුවෙන් හඳුන්වන කොටසයි. එහෙත් මේ වර්ගීකරණයට වඩා වැදගත්වන්නේ තෙල්වල රසායනික ස්‌වරූපයට අනුව වර්ග කිරීමය.

සංතෘප්ත මේදය හා අසන්තෘප්ත මේදය යනුවෙන් මේදයේ ඇති රසායනික බන්ධන අනුව මූලිකව කොටස්‌ 2 කට බෙදනු ලැබේ. සංතෘප්ත යනුවෙන් පිරුනාවූද, අසන්තෘප්ත යනුවෙන් නොපිරුනාවූ යන තේරුම් දෙනු ලැබේ. මේ අනුව යම් මේදය අණුවක සියලු රසායනික බන්ධන පිරී ඇත්නම් එය හඳුන්වන්නේ සංතෘප්ත මේදය යනුවෙනි. යම් මේද අනුවක එක්‌ රසායනික බන්ධනයක්‌ පමණක්‌ හිස්‌ව තිබෙනවා නම් පමණක්‌ එය එක්‌ අසන්තෘප්ත මේදය යනුවෙන් හඳුන්වනු ලැබේ. රසායනික බන්ධන දෙක තුනක්‌ අඩුනම් එය බහු අසංතෘප්ත මේදය යනුවෙන් හඳුන්වනු ලැබේ.

මේ අනුව ඔබ ගන්නා මේදය සංතෘප්ත ද අසංතෘප්තද යනුවෙන්, ඔබට නිවසේදීම හඳුනාගත හැකි සරල ක්‍රමයක්‌ තිබේ. එනම් සංතෘප්ත මේදය ශීතල උෂ්ණත්වයේදී පහසුවෙන් මිදෙන අතර, බහු අසංතෘප්ත මේදය ශීතල උෂ්ණත්වයේදී වුවද ද්‍රව තත්ත්වයේ ඇත.

දැනට සොයාගෙන ඇති තොරතුරුවලට අනුව සංතෘප්ත මේදය ශරීරයතුළ ඉතාමත් කාර්යක්‍ෂම ලෙස කොලෙස්‌ටරෝල් බවට පත්වන බවට සඳහන් කළ හැකිය. නමුත් බහු අසංතෘප්ත මේදය කොලෙස්‌ට්‍රොaල් බවට පරිවර්තනය වීම ඉතාමත්ම අඩුය. තවද සංතෘප්ත මේදය ලේ කැටි ගැසීම උත්තේජනය කරන අතර බහු අසංතෘප්ත මේදය ලේ කැටි ගැසීම උත්තේජනය නොකරයි.

මේ අනුව පෙනී යන කරුණක්‌ වන්නේ හෘදය සෞඛ්‍ය සඳහා වඩාත්ම යෝග්‍යවන්නේ බහු අසංතෘප්ත මේදය බවය.

සියලුම සත්ව තෙල්වල (මාළු හැර) සංතෘප්ත මේදය ප්‍රධාන වශයෙන් ඇති අතර පොල්තෙල්වලද ඇත්තේ සංතෘප්ත මේදයයි. ඉස්‌සන්, කකුළුවන්, පොකිරිස්‌සන් වලත් සංතෘප්ත මේදය අඩංගුවේ. තලතෙල්වලද වැඩි ප්‍රතිශතයක්‌ ඇත්තේ සංතෘප්ත මේදය වේ. ඔලිව්තෙල් වල ඇත්තේ එක්‌ අසංතෘප්ත මේදයකි.

සාමාන්‍යයෙන් දවසකට මේදය ග්‍රෑම් 20-25 අතර ප්‍රමාණයක්‌ ශරීරයට ආහාර ලෙස ගැනීම සුදුසු වේ. මෙය තෙම්පරාදු කිරීම බැදීම ආදී වශයෙන් බලපාන්නේ නැත.

සාමාන්‍යයෙන් තෙල් කෑමත් සමඟ අධික ලෙස තන්තු ඇති ආහාර, ලුණු, සුදු ළුණු ආහාර වේලකට මිශ්‍ර වේනම් මේදය අවශෝෂණයට එහි අවදානම අඩුබවද පර්යේෂණ මගින් සොයාගෙන ඇත. යම් මේද ආහාරයක්‌ ගන්නේනම් එවැනි ආහාරද, එනම් එළවළු පළතුරු, පලා වර්ග ආදිය හොඳින් ආහාරයට එක්‌කිරීම ඉතා සුදුසුය.

තාච්චියේ බැදපු තෙල් නැවත නැවත භාවිතා කරන්න එපා

එක්‌වරක්‌ බැදීම සඳහා තාච්චියේ භාවිත කළ තෙල් නැවත නැවත තාච්චියේ තබා ගෙන බැද ආහාර ගැනීම හෘද රෝගින්ට අහිතකරය. වරක්‌ බැදගත් තෙල් හෘද රෝගවලට පමණක්‌ නොව ඇතැම් පිළිකා රෝග ඇතිවීමට බලපාන බවද සොයාගෙන ඇත. එයට හේතුව අධික ලෙස කකාරන ලද තෙල්වල රසායනික ස්‌වභාවය යම් ප්‍රමාණයකට වෙනස්‌වන බැවිනි.

පොල් තෙල්

පොල් තෙල් ආහාරයට ගැනීම අහිතකර වන බව කාලයක්‌ බොහෝ දෙනා අතර කතා බහට ලක්‌වූ කරුණකි. පොල්තෙල් යනු ශාඛ තෙලකි. මෙම තෙල් වල කොලොස්‌ටරෝල් නැත. නමුත් පොල් තෙල් යනු සංතෘප්ත මේදයකි. එම නිසා එහි කොලෙස්‌ට්‍රොaල් නැතත් ශරීරය තුළ සංතෘප්ත මේදය බවට පත්වේ. එම නිසා පොල් තෙල් හෘද රෝගින්ට හිතකරයයි නිර්දේශ කිරීම අපහසුය. නමුත් පොල් දිය කිරට සුළු වශයෙන් එක්‌වූවාට නිරෝගිකමට බාධාවක්‌ නොවේ.

කොළඹ ජාතික රෝහලේ
හෘද රෝග ඒකකයේ විශේෂඥ
වෛද්‍ය රුවන් ඒකනායක
සකස්‌ කළේ - යූ. පී. කුලතිලක
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය