Powered by Blogger.

නිර්මාණ දිවියේත් පුද්ගලික ජීවිතයේත් රසමුසු මතක සටහන්

මේ කාලයේදී ඔහුට යම්තම් වයස අවුරුදු පහක් වන්නට ඇත. එක්තරා දිනයක අම්මා සමග නුගේගොඩ දුම්රිය ස්ථානයට ඔහු ගියේ දුම්රිය රියැදුරෙකු වූ තම මාමා හමුවීමටය. එහිදී ටික වේලාවක් දුම්රිය විවේකාගාරයේ රැඳී සිටීමට ඔවුනට සිදු විය.
“මාමා එන කෝච්චිය තව ටිකකින් ඒවි,
ඔයාට එතකොට එයාව හොඳට බලා ගන්න පුළුවන් වේවි”. අම්මා පුතාට කීවාය.
දරුවා කුතුහලයෙන් බලා සිටින්නේ කොයි මොහොතේ හෝ එතැනට එන දුම්රිය දෙසය. හූ හඬ තලමින් කොළඹ සිට එන යකඩ යකා සමීප වෙත්ම සෙනඟ රොද බැඳ එයට නැගීමට ලට්ට ලොට්ට එකලස් කර ගත්හ.
මාමා විසින් ධාවනය කරමින් තිබූ දුම්රිය හති අරිමින් වේදිකාවේ නතර විය. මාමා ඉන් බැස අම්මා වෙත පැමිණ කතා කොට හනික තම ධාවන මැදිරියට ගියේ පුංචි බෑණාගේද හිස අතගාමිනි.
ඔහු උස මහත උත්තුංග දේහධාරියකු ලෙස පුංචි බෑණාට මතකය. “අනේ මටත් මේ වගේ කෝච්චියක එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න තියෙනව නං” වහාම පුංචි බෑණාගේ සිතේ සිතුවිල්ලක් විය.
“අම්මේ මම කවද හරි කෝච්චි එලවනවා”
“පුතා ඒ රස්සාව හොඳයි, හුඟක් මහන්සිවෙලා ඉගෙන ගෙන  මාමා වගේ ලොකු කෙනෙක් වෙන්න ඕනෑ”.
එය මීට වසර හැටකට පමණ ඉහත සිදුවූවකි. අද ප්‍රවීණ ගායන ශිල්පියක,ු සංගීතවේදියකු වූ අමරසිරි පීරිස්ගේ මතකයේ රැ¼ඳි නොමැකෙන සිතුවිල්ලකි එය.
“මගේ පුංචි කාලයේ වීරයා අපේ මාමා. එයාගේ නම පියසෝම නානායක්කාර. අම්මගේ සහෝදරයෙක්. මාමා දිග කෝච්චියක් පදවා ගෙන එනවා වගේ මමත් අනාගතයේ දුම්රිය රියැදුරු කෙනෙක් වෙන්න පෙරුම් පිරුවා. මගේ මාමා ඒ කා‍ලේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දක්ෂ එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් කියලා අම්මා කිව්වා. ඒ කා‍ලේ හිටිය දුම්රිය සාමාන්‍යධිකාරී ඩී.බි. රම්පාල මහත්තයාගේ ප්‍රසාදය දිනා ගත් දක්ෂයෙක් කියලා අම්මාත් තාත්තාත් කරන කතා බහෙන් මට වැටහුණා”. අමරසිරි පීරිස් මතකය අවදි කරමින් කීවේය.
ඒත් ඉන්පසු අමරසිරිගේ අවධානය යොමු වූයේ තාත්තා දෙසටය. තාත්තා ඔහුගේ දෙවැනි වීරයා විය. තාත්තා රැකියාව කළේ රිචඩ් පීරිස් සමාගමේ බෙදාහැරීමේ ලිපිකරුවෙකු ලෙසය. පාමංකඩ උපන් තාත්තා විවාහයෙන් පසු බොරැලැස්ගමුවේ පදිංචි විය. අමරසිරිගේ අම්මාගේ නම ඇම්.කේ. ඇසිලින්ය. ගම මාතර මැද්දෙවත්තේය. මේ යුවළගේ වැඩිමහල් දරුවා ලෙස සේනාධීරගේ අමරසිරි පීරිස් 1946 ජුලි 21 වෙනිදා උපන්නේය. ඔහුට අයිරින්, ශ්‍රියාලතා හා සෝමලතා නමින් සොහොයුරියන් තිදෙනෙක් වූහ. බොරලැස්ගමුවේ ආනන්ද හා මහරගම බුවනෙකබා මහා විද්‍යාලවල අමරසිරි අධ්‍යාපනය ලැබිය.
“මගේ සිත සංගීතය පැත්තට යොමු වුණේ තාත්තා නිසා. තාත්තාගේ නම ඇල්බට් පීරිස්. තාත්තා රූපසිංහ මාස්ටර්ගෙන් සංගීතය ඉගෙන ගත් කෙනෙක්. තමා රූපසිංහ මාස්ටර්ගේ පළමුවැනි ගෝලයා කියලා තාත්තා ආඩම්බරයෙන් කිව්වා. මාස්ටර් ඒ කා‍ලේ මාතර ඉඳලා ඇවිත් අපේ ගෙදර නතර වෙලා තමයි පසුදා රේඩියෝ සිලෝන් එකට ගියේ. ඒ කා‍ලේ (1954දී පමණ) ලංකාව පුරා සිටි ප්‍රභූවරුන්ගේ විශේෂ අවස්ථාවල තිබූ “සාජ්ජවල” රූපසිංහ මාස්ටර්, සාදිරිස්, මාස්ටර්, එඩී මාස්ටර් ආදීන් සමග තාත්තා තබ්ලා වාදනයෙන් සහය වෙලා තියෙනවා. ඒ කා‍ලේ ගුවන් විදුලියේ උදේ 9 සිට 9.15 තෙක්ද රාත්‍රී 9 සිට 9.15 වනතෙක්ද ශාස්ත්‍රීය වාදන ප්‍රචාරය වුණා. තබ්ලා වාදකයෙක් ලෙස මේ වැඩසටහන්වලට සහභාගි වූ තාත්තා ගායකයකු ලෙසද වඩාත් ප්‍රකට වී සිටියාය. ඒ කා‍ලේ රත්න ජංකර්තුමා ලංකාවට ඇවිත් පැවැත්වූ මුල්ම ගායන පරීක්ෂණයෙන් තාත්තා ලකුණු 78ක්ද රූපසිංහ මාස්ටර්ට ලකුණු 80කුත් ලැබුණලු” අමරසිරි කීවේය.
තාත්තා කොතෙක් සංගීතයට ලැදි වුවත් තම පුතා සංගීතය පැත්තට යොමු කිරීමට ඔහු අකමැති විය. සංගීතයට කැප වී දිවා රෑ වෙහෙස වී දුක් ගැහැට විඳින සැලසුමක් නැති ජීවිතය ඔහුට උරුම නොකිරීමට පියා සිතුවා විය හැකිය. එහෙත් අම්මා, පුතා සංගීත අංශයට යොමු කිරීමට රුකුල් දුන්නාය.
“අපේ ගෙදර කාගිල්ස් සාප්පුවෙන් ගෙනාපු ඉස්තරම්ම ෆුට් බැලෝ සර්පිනාවක් තිබුණා. අම්මා මාව පුංචි පුටුවකට කොට්ට තියලා වාදනය කරන්න දුන්නා. අම්ම තමයි කකුලෙන් පාගාගෙන හිටියේ. මොකද මාගේ කකුල දිග නැති නිසා. මම ඔහේ මොනව හරි වාදනය කළා. මේ නිසා මට සංගීතයට ආසා හිතුණා. මම වයසෙන් ටිකෙන් ටික වැඩිවියට පත් වුණා. තාත්තා මට සංගීතය අහන්න සැලැස්සුවා. ඒ කා‍ලේ ඒතත දඤඪච අචඤඪධ එකෙන් ප්‍රචාරය වන දිල්ලිය, බොම්බාය, හයිද්‍රාබාද්වල සංගීතය අපේ ගෙදර තිබූ මර්සි රේඩියෝවෙන් අහන්න සැලසුවේ තාත්තා.
මේ රේඩියෝවෙන් මම ෂම්ශාද්
බෙගම්, ඔස්තාර් ෆයස් ඛාන්, උම්කරනාත් ටකූර්, සයිගාල් වැනි අයගේ ගීත ඇසූ අතර, ගෙදර තිබූ ග්‍රැමෆෝන් තැටිවලින් හින්දුස්ථානි ගීත ඇහැව්වා. ඉන්පසු මම ක්‍රමයෙන් කර්නාටික් සංගීතය රස වින්දා. ත්‍යාරාජා බගවතා, ගණ්ඩසාල, ආදීන්ගේ කර්නාටික් ශාස්ත්‍රීය ගීතත්, මා ප්‍රිය කළ ගායකයා වූ තලාත් මෙහෙමුද්ගේ ගසල් ගීතත් ඇසුවා ඉතා ආසාවෙන්. මගේ බාප්පා වන වින්සන්ට් පීරිස් හොඳ සංගීතවේදියෙක්. දෙහිවල හයිස්ටී්‍රට් එකේ නිදහස් පාසලක පවත්වා ගෙන ගිය බාප්පාගේ සංගීත පන්තියට මමත් ගියා. අතුල සෝමසිරි, රූපා ඉන්දුමතී, ලූෂන් බුලත්සිංහල, අනුලා කරුණාතිලක ආදීන්ද එහි පැමිණියා”.
අමරසිරිගේ ආදරය දිනූ වාද්‍ය භාණ්ඩය වූයේ වයලීනයයි. ඔහුගේ පියා ඉතාලියේ සාදන ලද “අමාටි” නම් ඉස්තරම්ම වයලීනයක් කාගිල්ස් සාප්පුවෙන් ගෙනත් දුන්නේය. බාප්පාගෙන් වාදනය ඉගෙන ගත් අමරසිරිට සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථයක් හිමිවිය.
ඒ කා‍ලේ අමරසිරි ගායනයට ද ප්‍රිය කළේය. සී.ටී. ප්‍රනාන්දු, වින්සන්ට් ‍පෝල් ද පීරිස්ගේ ගීතවලට ඔහු මහත්සේ ප්‍රිය  කළේය. එනමුත් තාත්තා ඔහුට උපදෙස් දුන්නේ “පුතා, ඕවාට වඩා අමරදේව, සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්ගේ ගීත අහන්න” කියාය. මේ නිසා අමරදේවයන් මුල් යුගයේ ගැයූ මේ ගීතය නැවත නැවත ගයමින් අමරසිරි මහත් රසයක් වින්දේය.
“අරලියා සුවඳ දිදී වසන්තෙ මධුර හාර වේ, සතර දිගන්තෙ” ඒ අතරින් ඔහු වඩාත් ප්‍රිය කළ ගීතයකි.
“අමරදේවයන්ගේ ඒ ගීතය පුන පුනා ගැයුවත් ගායකයකු වීමට මට තුන් හිතකවත් තිබුණේ නැහැ. මේ අතර 1962 වසරේ මම රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී මූලික පරීක්ෂණයට හිටියේ විදුහල්පති ලයනල් එදිරිසිංහ මහතාත්, ජානකී ගුණවර්ධන මහත්මියත්, ඩන්ස්ටන් ද සිල්වා මහතාත් යන තිදෙනායි. මට වාදනය කරන්න කිව්වා. මම වයලීන වාදනයක් ඉදිරිපත් කළා. ඊළඟට මට කිව්වා ගායනයක් ඉදිරිපත් කරන්න කියා”.
“සර් මට ඕනෑ වාදනය ඉගෙන ගන්න. ගායනය නොවෙයි” කියා මම පිළිතුරු දුන්නා.
“කමක් නෑ. තමුන් දන්න ගීතයක් කියන්න”. ඔවුන් පැවසුවා.
ලයනල් එදිරිසිංහත්, මගේ පියාත් මිත්‍රයන් නිසා “එහෙනම් තාත්තා කිව්ව ගීතයක්වත් කියන්න” යැයි ඔහු කිව්වා.
මට මතක් වුණා තාත්තා සත් සතිය ගැන කියපු ගීතයක කොටසක්. තාත්තා ගැයූ මේ ගුවන් විදුලි ගීතයේ තනුව බාප්පගෙ.
“අජපාල නුග මූලයෙහි තීරයේ අනෝමා” ගීතය මා ගැයුවා.
තාත්තා ඒ කා‍ලේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණ “විසි පස් වසරකට පෙර සංගීතය” වැඩසටහනින් ගීත ගැයුවා පුංචි මට මතකයි. එදා පරීක්ෂණයෙන් සමත් වී මාව පන්තියකට ඇතුල් කළා. අපිට වයලීන වාදනය ඉගැන්නුවේ විශාරද ගුණසේන ද සිල්වා මහත්තයා. වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා ආදීන්ද මේ පන්තියේ හිටියා. මම වයලීන් පන්තිය ඉවරවෙලා යන්න හැදුව විතරයි,
“ඔයා කොහෙද යන්නේ” ගුණසේන ගුරුතුමා ඇහැව්වා.
“මම ගෙදර යනවා සර්”
“බෑ බෑ ඔයා ගායන පන්තියට ඉන්න ඕනෑ” යයි ගුරුතුමා කිව්වා.
ගායන පන්තිය පවත්වන්න මුලින්ම ආවේ අමරදේව මහත්තයා. නිත්‍ය ගුරුවරයා වූයේ එස්.ඩී.ඇස්. ජයසේකර මහත්තයා. ඊට පස්සේ අමරා රණතුංග මහත්මියත් ප්‍රේමවංශ හපුවලාන, ශාන්ති ගීතදේව මහතුන් ආවෝය.
“අමරදේව මහත්තයගේ හඬට මම වඩාත් ආශා කළා. විශේෂයෙන් “මහබෝ වන්නම”ට. එය මට ගායකයකු වීමට බෙහෙවින් බලපාන්නට ඇති”. අමරසිරි පීරිස් පවසයි.
රජයේ සංගීත විද්‍යාලයේ හය වසරක් තුළ වාදනය හා ගායනය ඉගෙන ගත් අමරසිරි 1967 එයින් සමත්වී ලංකා ගුවන් විදුලියේ වාදක මණ්ඩලයටද එක්විය. මේ කාලයේ වික්ටර් රත්නායක අංකුර ගායකයකු ලෙස දොරටවැඩි සමය විය. වික්ටර් සමග සංගීත විද්‍යාලයේ එකට ඉගෙනගත් වින්සන්ට් ප්‍රේමසිරි, පුණ්‍යසිරි මහවත්ත, බර්ටි රණසිංහ, විජේරත්න රණතුංග, සේන වීරසේකර, මර්වින් පෙරේරා, වයි.එම්. සුමනසිරි ආදී පිරිස වික්ටර් ගුවන් විදුලි වැඩසටහන්වල කැඳවා ගෙන ඇත්තේ පෙරහරකින් බව අමරසිරි සිනාසෙමින් පැවසුවේය.
“ඒ කා‍ලේ අපි වැඩිපුරම ගැවසෙන්නේ අද ජයන්ත වීරසේකර මාවත ලෙස හැඳින්වෙන මරදානේ ඩිබ්‍රර්ග්ස් පාරේ සේන වීරසේකරගේ ගෙදර. සේනගේ තාත්තා හෙළ හවු‍ලේ මහ පඩිවරයකු වූ ජයන්ත වීරසේකර මහතා. තාත්තගේ නම තියෙන පාරේ ෆ්ලැට් එකක සේන හිටියේ. අපි සේරම රොද බැඳ ගන්නේ, සංගීතය ගැන කතා කරන මධ්‍යස්ථානය වුණේ එතන. ඒ කා‍ලේ වික්ටර්ටයි මටයි චිත්‍රපටවලට වයලීන් වාදනය කිරීමට අවස්ථාව ලැබුණා. 1970 දශකයේ චිත්‍රපට 100ක පසුබිම් සංගීතයට හා ගීතවලට වයලීන් වාදනය කිරීමේ අවස්ථාව මට ලැබුණා”. අමරසිරි කීවේය.
ඒ අනුව ෂෙල්ටන් ප්‍රේමරත්න, අමරදේව, කේමදාස, ලයනල් අල්ගම, ලතීෆ්, සෝමපාල, ආර්.ඒ. චන්ද්‍රසේන වැනි විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ අමරසිරි වයලීනය වාදනය කළේය. ඊට අමතරව සංගීත විද්‍යාලයට ගොස් යාලුවෝ එක්ක කදේ දමා ගෙන සිටියේය.
“අමරසිරි තමුන් දන්න දේ අලුත් ළමයින්ට උගන්වන්නැයි” ලයනල්   එදිරිසිංහ මහතා අමරසිරි ඇතුළු එවකට ගුවන් විදුලි වාදක මණ්ඩලයේ සිටි මිතුරන්ට කීවේය. අමරසිරිට සිය අනාගත බිරිඳ හමුවන්නේ සංගීත විද්‍යාලයේදීය. එක්තරා දිනක අලුතින් සංගීත විද්‍යාලයට ඇතුළු වූ යුවතියක් පිළිබඳ සිතක් ඔහු තුළ ඇති විය. නන්දා කෝරළගේ නම් ඇය පැමිණ සිටියේ එස්රාජ් වාදනය හැදෑරීමටය.
“නන්දා දැක්කම මට එකවරටම සිත ගියා. ඇය පාදුක්කේ පදිංචි ශිෂ්‍යාවක් බව කතා බහෙන් දැන ගත්තා. මා ඇගෙන් දුටුවේ නිර්ව්‍යාජ ගැමි යුවතියකගේ ගති සොබා. ඇයට ගී ගායනා කරන්නත් පුළුවන්. අපි නිතර හමුවී කැන්ටිමේ තේ බිව්වා. අපේ සම්බන්ධය ශක්තිමත් කළේ විජේරත්න රණතුංග” අමරසිරි කීවේය.
අමරසිරි - කේමදාස සුසංයෝගයද පුරා වසර 30 පුරා පැතිර ගිය එකකි. එය ආරම්භ වූයේ හිරු උදාව හා රතු මල් මුද්‍රා නාට්‍යයේ වයලීන් වාදනය කිරීමට ගිය දවසේ සිටය. එතැනින් පටන් ගත් ඒ ගමන කේමදාසයන් මිය යන තෙක්ම තිබුණේය. කේමදාස මාස්ටර් ගීතයක හෝ සංගීත සංවනියක හෝ සංගීත නිර්මාණයක දී සංගීත ස්වරලිපි පිටපත් කළේ අමරසිරිය. කේමදාස සංගීතවත් කළ ගොළු හදවත, දෑස නිසා, නිධානය, බඹරු ඇවිත්, පාර දිගේ ඇතුළු චිත්‍රපටවල පසුබිම් සංගීතයෙන් ඇසෙන වයලීන් හඬ අමරසිරිගේය.
අමරසිරි පීරිස් නම් ප්‍රතිභාපූර්ණ ගායකයා බිහිවන්නේ අහම්බෙනි. එය අමරසිරිට ජීවිතයේ අමතක නොවන සිද්ධියකි.
“කේමදාස මාස්ටර්’ ‘පහන් කන්ද’ කියලා කැසට් පටයක් සඳහා පසුබිම් සංගීතය පටිගත කොට ගීත පටිගත කරන්න සූදානම් වුණා. නීලා, අයිවෝ, ටී.එම්. ගීත කියලා ඉවර වෙලා එඩ්වඩ්ගේ ගීතය ගැයූ වේලාව. කෙසේ හෝ ඒ ගීත ගායනය ගැන කේමදාස මාස්ටර් සෑහීමකට පත් වුණේ නැහැ. කෙසේ හෝ එදා අනික් ගීත පටිගත කරලා වාදක මණ්ඩලය ගෙදර යන්න සූදානම් වුණා.
“අමරසිරි යන්න එපා. තව වැඩක් තියෙනවා”.
“ඇයි මාස්ටර්”
“සින්දුවක් කියන්න තියෙනවා”.
ඊට කලින් මාස්ටර් ටෙලි‍පෝන් එකෙන් කාටදෝ බනිනවත් මට ඇහුණා.
මාස්ටර් මට සින්දුව පෙන්නුවා.
“මාස්ටර් මේක මට හදපු එකක් ‍නෙවෙයිනේ. මම මාස්ටර් ගාව අවුරුදු ගණනාවක් ඉඳලා දුන්නෙත් අනුන් කියපු සින්දුවක්නෙ” මම අදිමදි කරමින් කිව්වා.
මාස්ටර් පෙරැත්ත කරනවා.
“මාස්ටර් වෙනම වෙලාවක අලුත් සින්දුවක් හදල දෙන්න” මම කිව්වා.
“විකාර කතා කරන්න එපා. හෙට මේක දෙන්න ඕනෑ”.
පෙර පුහුණුවීම් කරනවා දැකලා, ස්වරලිපි ලියල මට මේ ගීත කට පාඩම්. ඒක නිසා එක ටේක් එකකින්ම මම ගීතය කිව්වා. මේ ඒ ගීතයයි.
“ළඳුනේ, ඔබේ දෑස දැක ගත්තෙමි.
සැඳෑ කලෙක ළඳුනේ...
දෙනෝ දහක් අත ගත්තද
සැමියෙකු නැති ළඳුනේ”

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය