Powered by Blogger.

- සාරංග මෙන්ඩිස්


ඔබ තරුණ අධ්‍යක්ෂවරයෙක්. ගිනි අවි සහ ගිනිකෙළි වසර 88-91 භීෂණ යුගයේ කතාවක්. මේ යුගය ගැන ඔබ දන්නවද?

අනිවාර්යයෙන්ම මට කිසියම් මතකයක් තියෙනවා. මූලික වශයෙන්ම නිර්මාණකරුවෙක් යම් නිර්මාණයක් කරන්න කලින් ඒ ගැන අධ්‍යයනය කරනවා. ඔබ දන්නවා ක්‍රි.ව. 1500 යුගයේ ඇතැම් කතා පිළිබඳව නිර්මාණ වර්තමාන ලෝකයේ බිහිවෙනවා.
සමහර විට ඊටත් එහා යුග ගැන නිර්මාණත් බිහි වෙනවා. ඒත් ඒ නිර්මාණකරුවෝ ඒ යුගය ඇසින් දැකලා නෑ. ඒ අය ඒ නිර්මාණ කරන්නේ ගවේෂණය අධ්‍යයනය තුළින්. නමුත් 88-91 ධවල
භීෂණ යුගය එතරම්ම පැරණි නෑ. මට ඒ යුගය ගැන යම් මතකයක් තියෙනවා. ‍පොත පත තුලින් කියවා ලැබුවා වූ දැනුමක් තියෙනවා. විශේෂයෙන්ම ‘ගිනි අවි සහ ගිනිකෙළි’ කෘතිය මම බොහෝ වාරයක් කියවා ලද උද්දාමය මා තුළ තියෙනවා. ඒ කෘතිය කියවීමෙන් ලද උද්දාමය මේ ටෙලි නිර්මාණය කිරීමට මාව ‍පොළඹවනු ලැබුවා. අධ්‍යයනයකින් තොරව කරන කවර දෙයක්වත් සාර්ථක වෙන්නේ නෑ කියා මා දන්නවා. ඒ නිසා මේ නිර්මාණය කරන්නට කලින් මම පුදුමාකාර අධ්‍යයනයක නියැලුනා.

මෙහි දිවෙන්නේ දශක දෙක හමාරකට ඉහත භීෂණ යුගයක සිද්ධි දාමයක්.
එහෙම සිදුවීම් පෙළක් වර්තමානයට අනුගත වෙන්නේ කොහොමද?

අපි විශ්වාස කළාට අද එදා වගේ නොවේ කියලා ඒක ඇත්තම නොවේ. අද සමාජයත් එදා වගේ තමයි. එදා වගේ සාහසික විදිහට බුරුතු පිටින් ජීවිත සංහාර නොවුණාට අදත් මිනී මරනවා. මැරෙනවා. මේ මෑතකදී ගාල්ලේ මහ දවල් මහා පාරේ පුද්ගලයෙක් කපා කොටා මැරුවා. දෙනෝදාහක් බලාගෙන ඉද්දී තමයි ඒ ඝාතනය වුණේ. එහෙම ඝාතන ඕනෑ තරම් සිද්ධ වෙනවා. සංවිධානාත්මක ඝාතන රැල්ලක් නැතත් එක්තරා තලයක මෙහෙම ඝාතන සිදුවෙමින් තිබෙනවා. අදත් අතුරුදන්වීම් සිද්ධ වෙනවා. පැහැර ගැනීම් තියෙනවා. එදාට වඩා සූක්ෂ්මව මේ දේවල් අද වෙමින් තිබෙනවා.
නමුත් නිර්මාණ තුළින් මේ ගැන කතා කරන්නේ බොහොම අල්ප වශයෙන්. මේ මාතෘකාව ගැන කතා කිරීම බොහොම අඩුයි. ඉතින් මට ඕන වුණා, ඒ ගැන කතා කරන්න. ඒ වගේම සමාජයට කියන්න.
අනිත් අතට ඉතිහාසයේ සිදුවීම් වර්තමානයට බොහෝ පාඩම් කියා දෙනවා. එදා බිහිසුණු අපරාධවලට අසුවී සමාජයෙන් ගැරහුමට,පීඩාවට කොන් වීමට ලක් වෙච්ච, චරිත අදත් ඉන්නවා. ඒ අය අදත් ජීවිතයේ අප්‍රමාණ විදිහට විඳවනවා. අප මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. එදා සමාජය කියැවූ විදිහට වඩා අද සමාජය කියවන විදිහ වෙනස්. මේ නිර්මාණය තුළින් අපි කළේ නිකම්ම නිකම් කතාවක් ඉදිරිපත් කිරීම නොවෙයි. මේක ‘ජේම්ස් බොන්ඩ් වර්ගයේ රහස් පරීක්ෂක චිත්‍රපටයකුත් ‍නෙවෙයි. බොළඳ ත්‍රාසජනක චිත්‍රපටියකුත් නොවෙයි. මේ කෘතිය සමාජ විද්‍යාත්මක ගවේෂණයක් කියලයි මම හිතන්නෙ. මේ කෘතියේ සියල්ල ඇත්ත. සමාජයක් වෙළාගත් බිහිසුණු ව්‍යසනය මේ කෘතියේ බොහොම ශූර ලෙස ඉදිරිපත් කරන්නට අනුර හොරේෂස් දක්ෂ වෙලා තිබෙනවා. මම කළේ ඒ කෘතියේ කතාව රූප මාධ්‍යයට ගෙන ඒමයි.

එක්තරා අතකට ත්‍රාසජනක බිහිසුණු කතන්දරයක් මේ රටේ ප්‍රේක්ෂකයාගේ  ආලින්දයට ගෙන ඒම සමාජයේ ආන්දෝලනයට හේතු වෙන්න බැරිද?

ඔබ කියන දේ හරි. එහෙම වෙන්න පුළුවන්. මේ දින කිහිපයටත් මේ ටෙලි නාට්‍ය ගැන පුදුමාකාර කතා බහක් ඇතිවෙලා තියෙන්නේ. නමුත් මම නැවත කියන්නේ මේක හුදෙක් ත්‍රාසජනක කතාවක් විදිහට හෝ ත්‍රාසජනක චිත්‍රපටියකට කොටු කරන්න එපා. හොරේෂස් මහතා ලියපු ‘ගිනි අවි සහ ගිනිකෙළි‘ කෘතියම හරිම සුවිශේෂයි. එදා සමාජයේ පිළිලයක් විදිහට පැතිරුණ ක්ෂේත්‍රයේ ‘ඇත්ත කතාව’අත්විඳිමින් කළ අග්‍රගණ්‍ය ගවේෂණයක් විදිහටයි ඔහුගේ කෘතිය මම සලකන්නේ. ඔහු පාතාලයේ යථාර්ථය දකිනවා. ඔවුන්ගේ ජීවිතවල කතාන්දරය ඔවුන්ගේ ඇස්වලින් දකිනවා. ඒ අයගේ සමාජ තත්ත්වය ඔහු දැකලා තිබෙනවා. ඔවුනගේ ජීවිත කතා ඔහුට කියා තිබෙනවා. එහෙම ගවේෂණයකින් කළ කෘතියක් තමයි මම මේ ටෙලි නිර්මාණයකට පෙරළන්නේ. මෙහි දිවෙන්නේ සමාජයේ සදාතනිකව සිදුවන ඛිෙදවාචකයක් තමයි.

පාතාල ලෝකය වගේ කතාවක් රූපවාහිනියට ගෙනෙමින් සමාජයේ පිළිල බවට පත් වෙච්ච කුලකයකට වීරත්වයක් දෙන්න හදනවා කියා චෝදනාවක් එන්න බැරිද?

කොටසක් දෙකක් උඩින් පල්ලෙන් නොබලා  මේ කතාව ඇස් දෙකින් කියෙව්වොත්  එහෙම හිතෙන්නේ නෑ. පාතාලයේ අපරාධකරුවෝ කිසිවෙක් වීරයෝ නොවේ. ඒ සියලු  දෙනාම  මේ සමාජයේ යහ පැවැත්ම කඩා ඉහිරු වන්නට කටයුතු කළ අපරාධකරුවන් . ඒකේ තර්කයක් නෑ. මම කරන්නේ “ඩිරෙක්ටර් වීව්” කෝණයකින් මේ ගැන බැලීමයි. මෙතන වීරයා ‍පොලීසිය. වෙන කිසිවෙක් නොවේ. නාට්‍ය නරඹන විට  සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් මතුවෙන වීරයා ‍පොලීසිය කියන එක ප්‍රේක්ෂකයාට  ඒත්තු යාවි.
මතක තබා ගන්න , පාතාල ලෝකයේ චරිත සදාකල් ජීවත් වෙන්නේ බිහිසුණු සසල වීමකයි. කන්න බොන්න, නිදාගන්න තියා වැසිකිළියට යාමටවත් පුළුවන් සන්සුන් මනසක් ඔවුන්ට නෑ. කිසිම දෙයක් ඒ අයට සැනසිල්‍ලේ කරන්න බෑ. අනතුර කොයි  මොහොතේ ඔවුන් ගිල ගනී දැයි කියා හිතා ගන්නට බැරි වූ භිතියෙන් තමයි ඒ අය ජීවත් වෙන්නේ. මරණය සැරිසරන  වට පිටාවකයි ඒ අය හුස්ම ගන්නේ. මේ ටෙලි නාට්‍ය බලන අයට ඒ ඛිෙදවාචකය පේනවා. පාතාලය  කියන්නේ එහෙම පිටින්ම අපායක් බව  ප්‍රේක්ෂකයාට  ඒත්තු යනවා. ඉතින් පාතාලයට  වීරත්වයක් මෙයින් ඇති වෙන්නේ කොහොමද?

දකුණේ තරුණ කැරලි දෙකකිනුත්, උතුරේ දශක තුනක යුද්ධයකිනුත් හෙම්බත් වෙමින් යන්තම් නිදහස් වෙච්ච රටකට  මෙවැනි ත්‍රාසජනක  කතාවක් ඇතුළත් නිර්මාණයක් නැවත  හඳුන්වා දීම යහපත් ප්‍රවණතාවයක් වෙන්න බැහැනේද?

කැරැලිවලින් යුද්ධවලින් හෙම්බත් වීම ඇත්ත. ඒත් මේක කලා නිර්මාණයක් . කලාව  කියන්නේ මිනිසාගේ අභ්‍යන්තරයට ආලෝකයක් එල්ල  කරමින් යථාර්ථය සෙවීමයි. මා නිර්මාණකරුවෙක්. යමක් දිහා අපි අසුබවාදීව බලන තුරු  එය අසුබයි. සුබවාදීව  බලන විට  එය සුබයි.  විශේෂයෙන් කියන්න ඕන දෙයක් තිබෙනවා. මුලු ලෝකයේම රූපවාහිනිය පෙරට යමින් තියෙනවා.  නවමු අත්හදා  බැලීම් එක්ක වෙනස්  නිර්මාණ කරමින් රූපවාහිනී මාධ්‍ය ජනතාවට සමීප කරන්න  නිර්මාණකරුවෝ  උත්සාහ කරනවා.  හැමදාම බාල බොළඳ  රැල්‍ලේ  නාට්‍ය වලින් ප්‍රේක්ෂකයා ආතුර කරලා වැඩක් නෑ. වට්ටෝරුගත කතන්දරවලට කොටු වෙච්ච  ආලින්දයක් හදන රූපවාහිනිය වෙනස් කළ යුතුයි. අලුත් සහ වෙනස් නිර්මාණ තුළින් ප්‍රේක්ෂක වින්දන  පරාසය පුළුල් කළ යුතුයි. ඒ
ගවේෂණයෙන් මිස තොප්පියක් වෙනුවට තොප්පිම මසා නොවේ. මා උත්සාහ කළේ ඒකටයි.

මේ කතාවෙන් වගේම කෘතියෙනුත් දිග හැරෙන්නේ ලෝකයේ ජීවත් වූ සැබෑ චරිතවල කළු පැත්ත. ඒ අයගේ වර්තමාන  පරම්පරාවේ ඥාතීන්ට මේ හේතුවෙන් පීඩාවක් දැනෙන්න පුළුවන් නේද?

ඒකේ ඇත්තක් තියෙන්න පුළුවන්. මොකද මේ කෘතියේ තියෙන්නේ සහමුලින්ම ඇත්ත. පාතාලයේ අරගලවලට මැදිවුණ, ඒ වගේ අරගලවලදී මැරුණු පාතාලයේ අය ගැන කතා  කරන කොට  ඒ පවුල් වල වත්මන් ඥාතීන්ට වේදනාවක් දැනෙයි. සමහරුන්ගේ දෙමාපියෝ තාමත් ඉන්නවා. සමහරුන්ගේ දුවා දරුවො,  බිරින්දෑවරු ඉන්නවා. ඒත් කීප දෙනෙකුගේ වේදනාව බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස වෙනවානං එතන ගැටලුවක් නෑ. අනික් කාරණය තමයි මේ ටෙලි නාට්‍යයේ දී  අපි බොහෝ විට
අන්වර්ථ නාම භාවිතා කළා. විශේෂයෙන් කතුවරයා එක්ක මම නිරන්තරව මේ ගැන කතා කළා. ඒ අනුව තමයි ටෙලි  නාට්‍යයේ  ඉන්න බොහෝ  චරිතවලට අන්වර්ථ නාම එකතු කළේ. ඒ නිසා ඔය කියන ගැටලුව යටපත් වෙනවා.

ටෙලි චිත්‍රපට වැනි මේ වගේ නිර්මාණ ලංකාව වගේ රටකට උචිතද?

අපේ ප්‍රේක්ෂකයෝ බුද්ධිමත් , ඔවුන් රස සොයනවා.  ඉතා වේගයෙන් ක්‍රම ක්‍රමයෙන් දියුණු රස වින්දනයකට  ඒ අය හුරු වෙමින් ඉන්නවා. බාල බොළඳ  කතාවලින් එහාට ගිය  ගවේෂණයට ඒ අය කැමතියි. මතෛක් කල් වුණේ ප්‍රේක්ෂකයා වට්ටෝරුවකට කොටු කරපු එක.  කෘත්‍රිම  රැල්ලක් හදපු එක. අපි ‘ගිනි අවි සහ ගිනි කෙළි‘ තුළින් ඒක වෙනස් කළා. මේ දින කිහිපයට ඒ බව ඔප්පු වුණා.

මේ වගේ නිර්මාණ ජනප්‍රිය වීමක් එක්ක මෙහෙම නිර්මාණ රැල්ලක් පැතිරෙන්න බැරිද?

ඒක කරන්න අමාරුයි. විශේෂයෙන්ම මේ වගේ නාට්‍ය රැල්ලක් කරන්න බෑ. මොකද මේක මම කළේ ඉතාම විශිෂ්ට  කෘතියක්  පාදක කරගෙන. ගිනි අවි සහ ගිනි කෙළි කියන්නේ ප්‍රබන්ධයක් නොවේ. එය නිර්මාණශීලි ඇත්ත  කතාවක්. ඒ ‍පොත නිසා හොඳම දේ කරන්න පුළුවන් වුණා.  අනික මේ වෙනුවෙන්  අපි කළ කැපවීම අප්‍රමාණයි. අපේ නිර්මාණ කණ්ඩායම  පුදුමාකාර  වෙහෙසක් මේ වෙනුවෙන් ගත්තා.  මේ චරිත  කන බොන හැටි යන  එන හැටි  අඳින පළඳින හැටි පවා අධ්‍යයන කළා. මෙහි රංගන  ශිල්පීන් පුදුමාකාර  අධ්‍යයනයක යෙදුනා.  ඒ නිසා මේක රැල්ලක් කරන එක සෙල්ලමක් නොවේ.

ගිනි අවි සහ ගිනි කෙළි කෘතිය කියවපු පාඨකයෝ තමන්ගේ හිතේ ඒ ඒ චරිත  නිර්මාණය  කර ගන්නවා. එය ටෙලිනාට්‍යයට හැරවීමේදී අර පාඨකයින්ට සාධාරණයක් කළ හැකිද?

මේකට අපි චරිත තෝරා ගනිද්දී මම නිරන්තරයෙන් අනු ර හොරේෂස් එක්ක කතා  කළා. ඊට අමතරව මම ඒ චරිත ගැන සොයා බැලුවා. පද්මෙලා , ලෝකයලා ජීවත් වූ වටපිටාව පවා අධ්‍යයනය කළා. ඊට පස්සේ තමයි අදාළ චරිත තෝරා ගත්තේ. ඒ සියලු දෙනා ඉතාම විශිෂ්ට විදිහට දායක වුණා. රංගන ශිල්පීන් මෙහිදී කරපු කැප කිරීම අප්‍රමාණයි. එකිනෙකාට නොපරිදින තරගයක යෙදෙමින් ඒ අය තමන්ගේ භූමිකා  නිරූපණය කළා.

මේ නිර්මාණය කළේ ඉතිහාසයෙ බිහිසුණු ත්‍රාසය අලුත් පරපුරට කියා දෙන්නද? නැත්නම් ඒ තත්ත්වය අදත් පවතින  බව කියන්නද?

 ඉතිහාසය යළි යළි සිදුවෙනවා. එය වළක්වන්න බෑ. එය හැමදාම එහෙමම තමයි. වෙනසකට ඇත්තේ සිදුවන ක්‍රමයයි. එදාට වඩා අද හොඳයි  කියන්නවත් අදට වඩා එදා හොඳයි කියන්නවත් කාටවත් බෑ. ඉතින් වත්මන් පරපුර සූදානමින් සිටීමයි වැදගත්.

අධ්‍යක්ෂක - සාරංග මෙන්ඩිස්
කතා රචක - අනුර හොරේෂස්
සාකච්ඡා කළේ - රංජිත් කුමාර සමරකෝන්

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය