Powered by Blogger.



තිරියාය - ගිරිහඬු සෑය යනු බෞද්ධ ආරාමික සංකීර්ණය පුරාවෘත්තගත ඉතිහාසයද, ලිඛිත හා පුරාවිද්‍යාත්මක ඉතිහාසයද එකවර දරා සිටින පුදබිමකි. විශේෂයක්‌ වන්නේ පුරාවිද්‍යාත්මක තහවුරු කිරීම් මත මෙම ස්‌ථානය මහායානික බෞද්ධාගමික මධ්‍යස්‌ථානයක්‌ ලෙස සැලකීමයි. අතීතයේ විදේශ වෙළෙඳාමද විදේශිකයන්ගේ සංචරණ රටාවන් පිළිබඳ උපකල්පන ගොඩනැංවිය හැකි ස්‌ථානයක්‌ ලෙසද හැඳින්විය හැකිය.

ඓතිහාසික නිරවද්‍යතාවය කෙසේ වුවද බුදුන් වහන්සේගේ ධර්මාන සමය දක්‌වා තිරියාය ගිරිහඬු සෑය ආරාමික සංකීර්ණය පිළිබඳ පුරාවෘත්තගත ජනප්‍රවාදගත ඉතිහාසය දිවයයි. නමුත් ලිඛිත වංශකතාවලිය තුළ මේ බවට සඳහනක්‌ නොමැත. බුද්ධත්වයට පත්වීමෙන් පසු විලඳ මීපැණි සහිත පළමු දානය පිළිගැන්වූයේ තපස්‌සු භල්ලුක නම් වෙළෙඳ දෙ බෑයන් බව ආගමික ඉතිහාසයයේ හා ජනප්‍රවාදය තුළ සඳහන් වේ. අනතුරුව වන්දනා කිරීමට යමක්‌ ඉල්ලු විට තම හිස අතගා හිසකෙස්‌ රොදක්‌ ඔවුන් අත බුදුන්වහන්සේ විසින් තබන ලද සේක. එම කේශධාතු රැගෙන ලංකාවට ආ තපස්‌සු භල්ලුක ඒවා නිධන් කර ගිරිහඬු සෑය ඉදිකරන ලද බව සඳහන් වේ. මෙම සිදුවීමට අදාල කාලය ක්‍රි. පු. 5 හෝ 6 වන සිවයස වුවද වාර්තාගත වන්නේ ක්‍රි. ව. 13 වන සියවසට අදාළ කාලයට අයත් පූජාවලියේය. එමෙන්ම මෙම සිදුවීම ක්‍රි. ව. 8 හෝ 9 වන සියවසට අයත් හිරිගඬු සෑය සංස්‌කෘත ශිලා ලේඛනයේද දැක්‌වේ.

ජාතක නිදාන කතා, විනය පිටකයේ මහාවග්ගය, යන පොත්වල තපස්‌සු භල්ලුක හෝ භල්ලික ලෙසද සංස්‌කෘත භාෂාවෙන් ලියූ මහා වස්‌තූ ලලිත විස්‌තරය යන ග්‍රන්ථවල ත්‍රපූෂ - භල්ලුක ලෙසද මොවුන් සඳහන් වේ (සෙනරත් පරණවිතාන - ලිපිමාලා 1972 පිටුව 59)

මේ අයුරින්ම තපස්‌සු භල්ලුක වෙළෙඳුන් විසින් කේශධාතු නිධන්කර ඉදිකරන ලදැයි සැලකෙන දාගැබ් ඇෆ්ගනිස්‌ථානයේද බුරුමයේද ලංකාවේ අම්බලන්තොට වලවේ ගඟ ආසන්නයේද කුරුණෑගල වෑ උඩවිලිපත්තුවේ මාවතගම මකුලාන රජමහා විහාරයේ ඇති දාගැබ ද ලෙස සඳහන් බව සඳහන් වේ.

(සෙනරත් පරණවිතාන ලිපිමාලා 1972 (පිටුව 60-61))

නමුත් මෙම ආගමික ස්‌ථාන පිළිබඳ මතය ජනප්‍රවාදගත තොරතුරු විනා මෙතෙක්‌ තහවුරු කර නොමැත. බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත විසුද්ධිමග්ගයෙහි ද ගිරිකණ්‌ඩික විහාරයක්‌ ගැන සඳහන් වන අතර එය තිරියායේ ගිරිහඬු සෑය බව පරණවිතාන මතයයි. (සෙනරත් පරනවිතාන ලිපිමාලා - 1972 පිටුව 61)

කෙසේ නමුත් පූජාවලියේ ද, සංස්‌කෘත ශිලා ලේඛනයේද විසුද්ධිමග්ගයෙහිද ජනප්‍රවාදගත කරුණු අනුවද ගිරිහඬු සෑය පිළිබඳ පවත්නා මතවාද බෞද්ධාගමික මෙන්ම ලාංකීය ඉතිහාසය පිළිබඳ වෙනස්‌ වන දැක්‌වීමකට ඉඩ ලබා දෙයි.

මෙම පුරාවෘත්ත අනුව බුදුන්වහන්සේගේ ප්‍රථම උපාසකයන් විය යුත්තේ තපස්‌සු හා භල්ලුක නම් වෙළෙඳුන් දෙදනාය. ප්‍රථම දානය පිළිගන්වා ඇත්තේද ඔවුන් දෙදෙනාය. එසේනම් ඉන්දියානුවන් විය යුතු ඔවුන් බුදු දහම පිළිබඳ දැන සිටියා විය යුතුය. එසේම ඔවුන් ලංකාවට පැමිණිය යුත්තේ නාවික මාර්ගයකිනි. ඊසාන හෝ නැගෙනහිර ඉන්දීය වරායකින් පිටත්ව ලංකාවේ ඊසාන හෝ නැගෙනහිර වරායකට ළඟාවිය යුතුය. තපස්‌සු භල්ලුක පැමිණි කාලය බුදුන්වහන්සේ ජීවමානව වැඩ සිටි කාලය විය හැකිය. එමෙන්ම එම කාලයේදී ලංකාව ජනශූන්‍යව පැවතියා නොවන අතර දාගැබ ඉදිකිරීමට අවශ්‍ය ශ්‍රමය හා තාක්‌ෂණයද රටේ තිබී ඇත. එයින් පැහැදිලිවන්නේ බුදුන් වහන්සේගේ ධර්මාන සමය වන විට ඉන්දියාව සහ ලංකාව අතර විදේශ වෙළෙඳාමද විදේශිකයන්ගේ සංචාරනය ද සිදුවී ඇති බවයි.

අදින් අවුරුදු 125000 ක අතර කාලය තුළ ලංකාවේ ජනාවාසකරණය සිදුවූ බව සොයාගෙන ඇත. විශේෂයෙන් පූර්ව ඓතිහාසික ප්‍රජාව ප්‍රධාන වශයෙන් කලාඔය, මල්වතු ඔය සහ යාන්ඔය නිම්න ආශ්‍රිතව ජනාවාස පිහිටුවාගෙන ඇත. (ආචාර්ය තුසිත මෙන්දිස්‌ හා චන්දන රෝහණවිතානාච්චි - 2013.06.05) පුර්ව යකඩ යුගයේ යාන්ඔය ආශ්‍රිතව වැව් ඉදිකරමින් කෘෂිකර්මාන්තයේ යෙදුණු ජනාවාස තිබූ බව උපකල්පනය කරන අතර එම යුගය ක්‍රි. පූ. 900 තරම් කාලයට දිවයයි. (ආචාර්ය තුසිත මෙන්දිස්‌ 2013.8.21) යාන්ඔය නිම්නය ආශ්‍රිතව භූමි කලාපය තුළ තිරියාය ප්‍රදේශයද පිහිටා ඇති බව සැලකූ විට බුදුන් වහන්සේගේ ධර්මාන කාලය වන විට ලංකාවේ කෘෂි ආර්ථිකය පදනම් කරගත් ජනාවාස තිබූ බවට නිගමනය කළ හැකිය.

මෙම සමස්‌ත චිත්‍රය අපට දක්‌වන්නේ හුදු පුරාවෘත්තයක්‌ ලෙස සැලකෙන තපස්‌සු භල්ලුකගේ ලංකාවට සිදුකළ ආගමනය එලෙස බැහැර කළ නොහැකි බවයි. සිද්ධිමය වශයෙන් මෙම ආගමනය සිදුනොවුවද යාන්ඔය ආශ්‍රිත ලංකාවේ ඊසාන සහ නැගෙනහිර වියළි තැනිතලාව සහ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ස්‌වදේශීය මෙන්ම ඉන්දීය සංක්‍රමණික ජනාවාසද තිබූ බව විශ්වාස කළ හැකිය.

එමෙන්ම තපස්‌සු භල්ලුක දෙබෑයන් වෙළෙඳුන් ලෙස පූජාවලියේ දැක්‌වේ. මුඛපරම්පරාගතව තොරතුරු සංනිවේදනය වීම මත බොහෝ කරුණු ඇතුළත්වීම හා බැහැරවීම ස්‌වාභාවික වුවද එම යුගයේ ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳ ගනුදෙනු සිදුවී තිබේ. තපස්‌සු භල්ලුක වෙළෙඳුන් දෙදෙනා බුදුදහම පිළිබඳ යම් දැනුමක්‌ ලද ඇත්තන් වූයේ නම් ලංකාවේ ස්‌වදේශික ජනයාට බුදුදහම පිළිබඳ යම් දැනුමක්‌ තිබිය හැකිය. එසේම ඉන්දීය සංක්‍රමණ අඛණ්‌ඩව සිදුවීම තුළද මෙය සිදු විය හැකිය.

එසේ වු කල මිහිඳු හිමියන් විසින් ප්‍රථම වරට ලංකාවට බුදු දහම රැගෙන ආවේය යන වංශකතා මතය විමසුමට ලක්‌ කළ යුතුව ඇත. එනම් මිහිඳු හිමියන් පැමිණීමට පෙර ලංකාවේ ස්‌වදේශික ජනයා බුදුදහම පිළිබඳ යම් දැනුමක්‌ ලද බව බැහැර කළ නොහැකි බැවිනි.

අනෙක්‌ අතට තපස්‌සු භල්ලුක විසින් බුදුන්වහන්සේගේ කේෂධාතු නිධන් කර ගිරිහඬු සෑය ඉදිකළේ නම් එය ලංකාවේ ප්‍රථම දාගැබ විය යුතුය. එම දාගැබ ක්‍රි. පූ. 5 හෝ 6 සියවස්‌ කාලයේ ඉදිවිය යුතුය. එසේ නම් මහාවංශය කියන අයුරු ථූපාරාමය ලංකාවේ ප්‍රථම දාගැබ විය නොහැකිය. නමුත් මහාවංශය ප්‍රමුඛ වංශකථාවලිය තුළ බුදුන් වහන්සේ ජීවමාන කාලය තුළ ලංකාවේ ඉදිකළ ගිරිහඬු සෑය පිළිබඳ සඳහන් නොමැත. පුරාවිද්‍යාත්මකවද මෙතෙක්‌ සනාථකර නොමැත. එමෙන්ම ඓතිහාසික සත්‍යයක්‌ ලෙස පිළිගත නොහැකි බව මහදුරු පරණවිතාන පවසයි. (සෙනරත් පරණවිතාන - 1995 පිටුව 4) අනෙක්‌ අතට ඉන්දියාවේ පවා දාගැබ් නිර්මාණය වූයේ බුදුන් වහන්සේගේ පරිනිර්වානයෙන් සියවස්‌ තුනහතරකට පසුව බව සඳහන් වේ. (ඒ එල්. බෂාමි 1995 පිටුව 443) එසේ වුවද ප්‍රාග් බෞද්ධ ස්‌ථූපයන්ගේ නෂ්ටාවශේෂ ඉන්දියාව තුළින් සොයාගෙන ඇත. (සෙනරත් පරණවිතාන - 1995 පිටුව 02) පරණවිතානගේ මෙම මතය පිළිගත හැකිනම් තපස්‌සු භල්ලුක වෙළෙඳුන් විසින් ගිරිහඬු සෑය ඉදිකිරීම හා එය බුදුන්වහන්සේගේ ධර්මානු සමය තුළ සිදුවිණි යෑයි කියන මතය එකවර බැහැර කළ නොහැකිය. තවදුරටත් පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් මෙම මතවාද පරික්‍ෂා කළ යුතුව ඇත. ගිරිහඬු සෑයට පහළ ප්‍රදේශයේ පිහිටි ගල්තලාවක ඇති ක්‍රි. ව. 8-9 සියවස්‌වලට අයත් යෑයි සැලකෙන සංස්‌කෘත ශිලාලේඛනයේද තපස්‌සු භල්ලුක වෙළෙඳුන් විසින් ගිරිහඬුසෑය ඉදිකරන ලද බව සඳහන් වේ. එනිසාම ගිරිහඬු සෑයේ ඉදිකිරීම පිළිබඳ ඉහත මතවාද සියල්ල එකවර බැහැර කළ නොහැකිය.

ගිරිහඬු සෑය සහිත තිරියාය ප්‍රදේශයට නීතුපත්තපාන යන නාමයද අතීතයේදී භාවිතා විය. තපස්‌සු භල්ලුක වෙළෙඳ නායකයන් පැමිණි ගල්තලය යන අනවර්ථ නාමය "කෙත පතන පාසාණ" යන පාලි වචනය ජන වහරට අනුව නීතුපත්පාන වී ඇත. (ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද හිමි 2003 පිටුව 7) ක්‍රි. ව. 67 දී වසභ රජු විසින් නීතුපත්පාන කඳුවැටිය භාවිතා කර නීතුපත්පාන වැව සාදා ඇත. මහනුවර සමයේ ලියූ නම්පොත ද වෙනමම භාවිතා කර ඇත.

ගිරිහඬු සෑය හා ආශ්‍රිත නටබුන්

ගිරිහඬු සෑය දක්‌වා දිවෙන මාර්ගය ආසන්නයෙහිම වම්පසින් ගල්පාලමක්‌ පවතී. එය පැරැණි මාර්ගය විය යුතුය. මෙතෙක්‌ කැණීම් සිදුකර තහවුරු කර නොමැත. සමහර විට යාන්ඔයෙන් විහිදුණු ඇළ මාර්ගයක්‌ හරහා ඉදිකළා වන්නට පුළුවන. අනුරාධපුර මල්වතු ඔය හරහා දිවෙන පැරැණී මාවතේ ඇති ගල්පාලම සමග වාස්‌තු විද්‍යාත්මකව සමානකමක්‌ දක්‌වයි. ඉදිරියට යනවිට හමුවන්නේ චතුරශ්‍රාකාර පොකුණු දෙකකි. ස්‌වභාවිකව පිහිටා ඇති ගල්පර්වත දෙකක්‌ සම්බන්ධ කර මනාව කපා කුට්‌ටි කළ ගල් අතුරා බැමි බැඳ මෙම අලංකාර පොකුණු ඉදිකර ඇත. අනතුරුව අවතීර්ණ වන්නේ චතුරශ්‍රාකාර මණ්‌ඩපයකටය. නැතිනම් සක්‌මන් මළුවකටය. මෙතැන් සිට ගිරිහඬුසෑය දක්‌වා දිවෙන පියගැට පෙළ ආරම්භ වේ. එහි මදක්‌ දුර යන විට කැලයේ වම්පසින් කටාරම් කොටන ලද ගල්ලෙනක්‌ ඇත. ගඩොලින් බිත්ති බැඳ ඇති කොටසත් ගරාවැටී ඇත. කටාරම ආසන්නයේ පූර්ව බ්‍රාහ්මි අක්‌ෂර සහිත ලිපියකි. ක්‍රි. පූ. මුල් සියවස්‌ වලදී මෙම ස්‌ථානයේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා වාසය කර ඇති බව මෙම ශිලාලේඛනය මගින් තහවුරු වේ (සෙනරත් පරණවිතාන - පුරාවිද්‍යා පර්යේෂණ 1972 - පිටුව 155)

පියගැට පෙළ නැග තව ඉදිරියට යනවිට දකුණු පසින් පිහිටි මණ්‌ඩපාකාර ප්‍රදේශයක්‌ ඇති අතර එහි යම් ගොඩනැගිල්ලක නටබුන් පවතී. පියගැටපෙළ අවසාන වන්නේ ගිරිහඬු සෑයද වටදාගෙයද දරා සිටින වෘත්තාකාර විශාල මළුවටය. එම විශාල මළුව මධ්‍යයේ තවත් වෘත්තාකාර මළුවක්‌ද එහි මධ්‍යයේ ගිරිහඬු සෑයද ඉදිකර ඇත.

වටදාගෙය මැද පිහිටි ස්‌තූපය විශ්කම්භය අඩි 32 අඟල් 6 කි. මුල් කැණීම් සිදුකරන ලද අවස්‌ථාවේ මුල් ස්‌ථූපය සොයාගත් අතර එහි විශ්කම්භය අඩි 24 හා අඟල් 9 කි.

ස්‌ථූපය කොඳු කැටයමකින් යුත් ගලින් කළ පදනමක ඉදිකර ඇත. මුල් ස්‌තූපයේ ගර්භය නිධන් හොරුන් විනාශ කර ඇත. ස්‌ථූප මළුවේ විශ්කම්භය අඩි 79 කි. (සෙනරත් පරණවිතාන -පුරාවිදු පර්යේෂණ 1972 පිටුව 156) එහෙත් මෙම මුල් ස්‌ථූපයේය. නිර්මාණය කළ කාලවකවානුව නිශ්චය කර නොමැත. එසේ වුවත් ක්‍රි. ව. 8 වන සියවස අතර කාලයේදී අනුරාධපුර පාලකයා වූ 6 වන අග්ගබෝධි රජුගේ කාලයේදී මුල් ස්‌ථූපය වටා දැනට දක්‌නට ඇති ස්‌ථූපය ඉදිකරන ලදැයි යන්න පිළිගත් මතයයි. සලපතල මළුවේ ගල්කුට්‌ටියක ඇති "රක්‌සල් බතින් ලැබූ ප(හ)ණී" වන වගන්තිය අනුව රක්‌සල් බත නැමත්තා විසින් එම ගල පිහිටුවා ඇත. මෙම අක්‌ෂර ක්‍රි. ව. 8 වන සියවසට අයත් හෙයින් මෙම ස්‌ථූපයද වටදාගෙයද එම කාලයේ ඉදිකර ඇතැයි සැලකේ. (සෙනරත් පරණවිතාන පුරාවිදු පර්යේෂණ 1972 පිටුව 157, ගන්දර ආනන්ද හිමි 2003 පිටුව 25)

හයවන අග්බෝ රජු එනමින් අනුරපුර පාලකයා විමට පෙර උපරජ ලෙස නැගෙනහිර දේශය පාලනය කර ඇත. (මහාවංශය 2004 පිටුව 212, 46-48 පරිච්ඡේදය) ඒ අනුව ඔහු රජවීමට පෙර කාලයේ මෙම ඉදිකිරීම් සිදුකරන්නට ඇත. එසේ වුවද තිරියාය ගිරිහඬු සෑය හෝ වටදාගෙය ඉදිකරන ලදැයි යන්න මහාවංශය හි නොදැක්‌වේ. පළමුවන විජයබාහුq රජුගේ කාලයේදී (ක්‍රි. ව. 1050-1110) වටදාගෙය ප්‍රතිසංස්‌කරණ සිදුවූ අතර එහිදී ස්‌ථූපයේ ප්‍රතිසංස්‌කරණ ද සිදුවූවා විය හැකිය. මෙම ප්‍රතිසංස්‌කරණ අරභයා කරන සටහනේදී වහාවංශය මෙම දාගැබ ගිරිකණ්‌ඩ වෙහෙර ලෙස හඳුන්වයි.

දාගැබ සහිත මළුවට පිවිසීමට සතර දිශාවෙන්ම සඳකඩ පහණ, මුරගල, කොරවක්‌ගල් සහ ගල් උළුවස්‌ස සහිත පිය ගැටපෙළ ඇත.

සඳකඩ පහණ චාම් වන අතර නෙළුම් පෙති රටාවකින් යුතුය. නාග මුරගල් දෙපස ඇත. මෙම රූප පල්ලව සම්ප්‍රදායට අයත් බවත් ශෛලිය අතින් අනුරාධපුර ථූපාරාමයේ සහ රත්න ප්‍රසාදයේ, පොලොන්නරුව වටදාගෙයි නාගරූපවල කාල වකවානුවට වඩා පැරණිය. (සෙනරත් පරණවිතාන පුරාවිදු පර්යේෂණ 1972 - පිටුව 158)

එකිනෙක පුරුද්දා ඉදිකර ඇති ගල් උළුවහු පියගැට පෙළ අවසානයේ ඇත. චාම් අතර සංකීර්ණ කැටයමින් තොරය. දාගැබ පිහිටි මළුවේ සතර දිශාවට මුහුණලා ගලින් කළ මල් ආසන හතරකි. දාගැබ වටා පිහිටි සලපතල මළුවේ දකුණුපස අඩි 6 ක්‌ උසට හොඳින් කපා මට්‌ටම් කළ කලුගලින් යුත් බිත්තිවැට ඉදිකර එය මත ගඩොල් බිත්තිද ඉදිකර තිබි ඇත.

ගිරිහඬු සෑය මැදිකරගෙන සලපතල මළුවේ සිට වටදාගෙයක්‌ ඉදිකර තිබිණි. එහි දකුණු පස බිත්තිය ද වට දෙකකින් යුත් ගල්කණු ද පවතී. මෙම ආරක්‍ෂිත සංකීර්ණය සහිත ප්‍රදේශය 1930 දශකයේ දී පුරාවිදු පර්යේෂකයන් ගේ නොමද අවධානයට ලක්‌වුවද වටදාගෙයි තහවුරු කිරීම් ආරම්භවන්නේ 1951 වසරේ මහදුරු සෙනරත් පරණවිතාන සූරීන් ගේ මැදිහත් වීමෙනි. ඇතුළුÊවටයේ ගල්කණු 16 ක්‌ද පිටත වටයේ ගල්කණු 32 ක්‌ද ඇත. මෙම ගල්කණු කිසි ලෙසකින් හෝ පුරුද්දා නොමැති අතර තනි කළුගලින් ඉදිකර ඇත. නමුත් ථූපාරාමයේත්, මැදිරිගිරියේත් පිහිටි වටදාගෙයි ගල්කණු කොටස්‌ දෙකකට පුරුද්දා ඇත. ඒවායේ කුලුනු හිසද වෙනම සවිකර ඇත. (සෙනරත් පරණවිතාන පුරාවිදු පර්යේෂණ 1972 පිටුව 157) මෙම තිරියාය වටදාගෙය ක්‍රි. ව. 8 වන සියවසට අයත් බවත් සියලුම ශිලාමය නිර්මාණ පල්ලව සම්ප්‍රදායට අයත් බවත් පරණවිතාන මතයයි. (සෙනරත් පරණවිතාන - ලිපිමාලා 1972 පිටු 58 - 64)

මෙම ස්‌තූපය ගිරිහඬු සෑය ලෙසත් ශිලා ලිපියක්‌ ස්‌තූපයට පහළින්, ප්‍රවේශ පියගැට පෙළට වම්පසින් වනය තුළ පිහිටි හුදකලා ගල්තලාවක කොටා ඇත. අව්වට, වැස්‌සට නිරාවරණය වෙමින් සත්ත්ව වසුරු, මුත්‍රා ගොම මෙන්ම ලයිකන වලින් ජීරණය වෙමින් මෙම ශිලා ලේඛනය විනාශවෙමින් පවතී. සෙල් ලිපියේ වම්පස අකුරුපේළි සම්පූර්ණයෙන් මැකී විනාශ වී ඇත. මැද කොටසේ අකුරු පේළි යම්තමින් හඳුනාගත හැකි නමුත් කැඩී බිඳී විනාශ වෙමින් පවතී. දකුණු පස අකුරුපේළි පමණක්‌ පැහැදිලි තත්ත්වයක පවතී. මෙම ශිලා ලේඛනය සුවිශේෂ එකක්‌ වන හෙයින් තවදුරටත් විනාශ නොවී රැකගැනීම පුරාවිද්‍යා බලධාරීන්ගේත් ආගමික නායකයන්ගේත් වගකීමකි.

මෙම ශිලා ලිපිය පල්ලව සම්ප්‍රදායේ ග්‍රන්ථාක්‌ෂරවලින් සංස්‌කෘත භාෂාවෙන් ලියා ඇත. සංස්‌කෘත භාෂාවෙන් ලියූ ශිලා ලිපි ලංකාවේ ඇත්තේ කිහිපයක්‌ නිසා මෙම ශිලා ලිපියේ වටිනාකම තක්‌සේරු කළ නොහැකිය. අක්‌ෂර වල ආකෘතිය අනුව ක්‍රි. ව. හත්වන හෝ අටවන සියවසට අයත් ශිලා ලිපියකි. (ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ 1998 පිටුව 73) සංස්‌කෘත පද්‍ය එකොලසකින් යුත් මෙම ශිලා ලිපිය දිගින්a අඩි 20 ක්‌ සහ පළලින් අඩි 5 කින් යුක්‌තය. අති දුර්ලභ පද්‍ය විරිතක්‌ වන නර්දටක වෘත්තයෙන් පඳ බඳින ලද ශ්ලෝක දහයකින්ද උපජාති වෘත්තයෙන් පද බැඳි ශ්ලෝකයකින්ද යුක්‌තය. එයට අමතරව කෙටි ගද්‍ය පාඨයක්‌ ද ඇත. (සෙනරත් පරණවිතාන ලිපිමාලා 1972 පිටුව 58-64) පළමු ශ්ලෝක දහයෙන් ගිරිහඬු සෑය වන්දනා කිරීම හා සම්බන්ධිතය. දාගැබේ නම ගිරිකණ්‌ඩික ලෙස දැක්‌වේ. මේ පිළිබඳව විවරණයක යෙදෙන පරණවිතාන පාලියෙන් ගිරිකණ්‌ඩික ලෙස දැක්‌වෙන නාමය සිංහල භාෂාවෙන් ගිරිහඬු වූ බව කියයි. (පරණවිතාන ලිපි මාලා 1972 පිටුව 63) අවසන් පද්‍යයේ ත්‍රපුෂ්‍ය සහ වල්ලික නම් වෙළෙඳ ගණයක්‌ විසින් මෙම දාගැබ ඉදිකළා යයි කියෑවේ.

"ත්‍ර පුෂ්‍ය තෛර් වල්ලි කෛර් වර්ණ ගතණෛඃ

කෘතං කෘකාර් ථෛඃ ගිරිකණ්‌ඩි චෛතම්"

(ගන්දර ආනන්ද හිමි - 2003 පිටුව 19)

මෙම ශිලා ලේඛනය ක්‍රි. ව. 7 වන හෝ 8 වන සියවසට අයත්ය. එනයින් බලන කල වටදාගෙය ඉදිකිරීමට සමකාලීනව මෙම ශිලා ලිපිය ද සකසා ඇති බව පෙනේ. එයට සියවස්‌ ගණනාවකට පෙර සිංහල සමාජය තුළ මුඛ පරම්පරාගතව පැමිණි ඓතිහාසික ජනප්‍රවාදය ඓතිහාසික සත්‍යයක්‌ බවට පත්වී ඇත. ඒ අනුව මෙම ශිලා ලේඛනයත් එහි සඳහන් කරුණුත් අරභයා වෙනත් ඓතිහාසික පර්යාවලෝකනයකින් බැලිය හැකිය.

මෙම ශිලා ලේඛනය අනුව තිරියාය - ගිරිහඬු සෑය ඉදිකර ඇත්තේ තපස්‌සු භල්ලුක (ත්‍රපුෂ්‍ය හා වල්ලික) ප්‍රමුඛ වෙළෙඳ ගණයක්‌ විසිනි. අද ව්‍යාවහාරය අනුව නම් වෙළඳ සමාගමක්‌ විය යුතුය. ක්‍රි. ව හත්වන හෝ අටවන සියවසට පෙර සිටම විදේශ වෙළෙ¹ම හා විදේශිකයන් ගේ සංචරණය ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ප්‍රධාන කරගෙන සිදුවී ඇති බව මෙම ජනප්‍රවාද ගත පුරාවෘත්තය සාක්‌ෂි සපයයි. පිහිටීම අනුව සලකන විට ගෝකණ්‌න වරාය කේන්ද්‍ර කරගත් විදේශීය මෙන්ම දේශීය ගමනාගමනයට යම් ආකාරයක මාර්ග සංකේතයක්‌ ප්‍රදීපස්‌ථම්භයක්‌ ලෙස ගිරිහඬු සෑය සලකන්නට ඇත.

දේවානම්පියතිස්‌ස යුගයේ සිට ඉන්දියාව සමග තිබූ සාමුද්‍රික සම්බන්ධතා සැලකීමේදී (මහාවංශය ප්‍රමුඛ වංශකතාවලිය අනුව) මෙම කරුණ වඩාත් තහවුරු වේ. මිහිඳු හිමියන් ලංකාවට වැඩියේ අහසින් සෘද්ධි බලයෙන් බව වංශකතාවලිය මෙන්ම ආගමික ඉතිහාසයද පොදුජන මතයද වුවත් ඒ හිමියන් මුහුදු මාර්ගයෙන් ලංකාවට පැමිණියා විය හැකිය. සංඝමිත්තා තෙරණියද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන පැමිණියේ ද මුහුදු මාර්ගයෙනි.

අභයගිරිය කැණීම්වලදී, රෝමය හා චීනය සමග තිබූ වෙළෙඳ සබඳතා පිළිබඳ අතිවිශාල සාක්‌ෂි ප්‍රමාණයක්‌ සොයාගෙන ඇත. දැනට අනුරාධපුරය අභයගිරි කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පබළු පිඟන්, විවිධ භාජන, කාසි වර්ග මෙයට සාක්‌ෂි වේ. අනෙක්‌ අතට ඉන්දියාව සමග පූර්ව ඓතිහාසික යුගයේ සිට සිදුවූ සංක්‍රමණික ඉතිහාසය පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු කරමින් පවතී. ප්‍රාග් ඓතිහාසික අවධියේ සිට මුල් ඓතිහාසික යුගය දක්‌වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර මානව සම්මිශ්‍රණයන් හා ඉන්දියාවේ සිට විශේෂයෙන් දකුණු ඉන්දීය කලාපයේ සිට ලංකාවට සිදු වූ ජන සංක්‍රමණ පිළිබඳ අගනා ලිපියක්‌ මධ්‍යම සංස්‌කෘතික අරමුදල මගින් ප්‍රකාශිත සංස්‌කෘතික පුරාණය 2012 ජුනි කලාපයේ ආචාර්ය තුසිත ඩී. මෙන්ඩිස්‌ විසින් "ආදි ලක්‌දිව ජන සංක්‍රමණ හා ජන සම්මිශ්‍රණ පිළිබඳ විමසුමක්‌" යන මැයෙන් යුතුව පළ කර ඇත. ඔහු පවසන අයුරු ප්‍රාග් ඓතිහාසික යුගයේ මුල සිටම අඛණ්‌ඩව විවිධ ජන සංක්‍රමණ සහ සම්මිශ්‍රතා සිදුවී ඇති බව පුරාවිද්‍යාත්මක කරුණු මගින් පැහැදිලි වේ.

(සංස්‌කෘතික පුරාණය - 2012 ජුනි පිටුව 107)

මහායාන බලපෑම

තිරියාය - ගිරිහඬුසෑය ආරාධික සංකීර්ණයේ ආරම්භය හා ක්‍රමික විකාශය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු අපගේ මහා වංශයේ නොදැක්‌වේ. පළමුවන විජයබාහු රජු විසින් තම පාලන කාලය තුළ ප්‍රතිසංස්‌කරණය කළ සිද්ධස්‌ථානයක්‌ ලෙස ගිරිකඩ වෙහෙර පිළිබඳ සටහනක්‌ පමණක්‌ මහාවංශයේ ඇත. (මහාවංශය 60 පරිච්ඡේදය පිටුව 264)

ගිරිහඬු සෑය ලංකාවේ ප්‍රථම දාගැබ වන්නේ නම් ඒ පිළිබඳ යම් තොරතුරක්‌ සටහනක්‌ මහාවංශයේ තිබිය යුතුය. අනෙක එම වෙහෙර බුදුන් වහන්සේ ධර්මානු සමයේ ඉදිවූවා යෑයි කියෑවේ. එමෙන්ම බුදුන් වහන්සේගේ කේශධාතු නිදන්කර ඇත. මෙනයින් බලන කල ගිරිහඬු සෑය ආගමික වටිනාකම අතින් ඉහළය. එනිසා අපගේ වංශකතාවලිය තුළ ගිරිහඬු සෑයට ඉඩක්‌ තිබිය යුතුය.

එසේ වුවද මහාවංශය තුළ ගිරිහඬු සෑය පිළිබඳ තොරතුරු බැහැර කර ඇත්තේ මක්‌නිසා ද? මේ පිළිබඳ අගනා නිරීක්‍ෂණයක්‌ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් සිදුකර ඇත. කිරියාය ගිරිහඬු සෑය ආරාමික සංකීර්ණයේ ආරම්භය, විකාශනය හෝ එහි තදානුබද්ධ ආගමික සම්ප්‍රදායන් පිළිබඳ හෝ අනුරාධපුරය කේන්ද්‍රීය රාජ්‍ය පාලනයේ අනුග්‍රාහාත්මක මැදිහත්වීම් හෝ ප්‍රාදේශීය පාලක හෝ වෙනත් ප්‍රභූන්ගේ ප්‍රදානයන් ගැන හෝ මහාවංශය තුළ සවිස්‌තාරාත්මක තොරතුරු නොමැත. ඉහතින් දැක්‌වූ සංස්‌කෘත ශිලා ලිපිය පිහිට වූ ක්‍රි. ව. 8 වන සියවස වන විට ගිරිහඬු සෑය ප්‍රධාන කොටගත් ආරාමික සංකීර්ණ සහ එහි විසූ භික්‍ෂූ පරම්පරාව මහායාන බෞද්ධ ආධිපත්‍ය යටතේ පැවතීම නිසා මෙම තත්ත්වයට හේතු වූ බව පරණවිතාන කියයි. (සෙනරත් පරණවිතාන ලිපිමාලා 1972 පිටුව 64) මහායාන ධර්මය අඩංගු පොතපත සංස්‌කෘත භාෂාවෙන් ලියා ඇති හෙයින් මහායානය සමග සංස්‌කෘත භාෂාව හැදැරීම හා එම භාෂාවෙන් අධ්‍යාපනය ලැබීම ව්‍යාප්ත වූ බවද පරණවිතානගේ මතයයි. ඉහත දැක්‌වූ සංස්‌කෘති ශිලා ලේඛනයේ ශ්ලෝක දෙකක අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී යන බෝධිසත්වරුන් දෙදෙනාට ස්‌තුති කිරීම ගැන සඳහන් වීම මගින් මෙම මතය වඩාත් තහවුරු වේ. මේ බව මහාචාර්ය මොරටුවේ සාසනරතන හිමියන් තම ලක්‌දිව මහායාන අදහස්‌ නම් කෘතියේ සඳහන් කරයි. (පිටුව 375) සාසනරතන හිමියන්ගේ අදහස අනුව ක්‍රි. ව. 5-10 ශතවර්ෂ අතර කාලයේ මහායාන බෞද්ධ දර්ශනය ලංකාවේ බෙහෙවින් පැතිර පැවතිණි. ථෙරවාදීන් මහායානික සම්ප්‍රදායට විරුද්ධ වන අතරම එයට තම සාහිත්‍ය සම්ප්‍රදායන් තුළදී හෝ සුජාත භාවයක්‌ නොදීම වංශකතාවලින් පුරාම දක්‌නට ඇත. තම මතය වඩාත් තහවුරු කරමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන දක්‌වන්නේ ගිරිහඬු සෑය තපස්‌සු භල්ලුක වෙළෙඳුන් විසින් කර වූවා යෑයි මහායානිකයන් ප්‍රකාශ කිරීම නිසා ථෙරවාදීන් එය නොපිළිගත් හෙයින් මහාවංශය තුළ සඳහන් කර නොමැති බවයි. (සෙනරත් පරණවිතාන - ලිපිමාලා 1972 පිටුව 64)



බෝධිසත්ත්ව වන්දනාව

අවලෝකිතේශ්වර බෝධිසතත්වයන් පිළිබඳ මුල්ම අභිලේඛනමය සඳහන තිරියායේ මෙම සංස්‌කෘත ශිලාලේඛනයේ සඳහන් වේ. යමුනා හේරත් 2003 පිටුව 194-195) එමෙන්ම මෛත්‍රී බෝධිසත්ත්ව ප්‍රතිමාවක්‌ද ගිරිහඬු සෑයෙන් හමුවී දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. අවලෝකීතේශ්වර බෝදිසත්ත්වයන්ගේ වජ්‍රධර්ම වේශය නිරූපිත ප්‍රතිමාවක්‌ද හමුවී ඇත. (යමුනා හේරත් 2003 පිටුව 223 හා 227) මෙම බෝධිසත්ත්ව ප්‍රතිමා ලෝකඩවලින් නිපදවූ කුඩා ප්‍රමාණයේ ඒවා වන අතර ගිරිහඬුසෑයේ සලපතල මළුවේ නැගෙනහිර දිශාව දෙස ශීර්ෂය නොමැති බිම හොත් පිළිමයක්‌ ඇතත් එය කවර සම්ප්‍රදායට අයත් ද යෑයි නිශ්චය කළ නොහැකිය. එතැනට මදක්‌ වම්පසින් සැතපෙන බුදුපිළිමයක්‌ තිබූ බවට සලකුණු ඇතත් එවැන්නක්‌ සොයාගැනීමට නොහැකිය.

අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාව මුහුදු යාත්‍රිකයන්ව ආරක්‍ෂාකිරීමේ කාර්යයේදී ප්‍රධානත්වයක්‌ දරයි. ගිරිහඬු සෑය පිහිටි ප්‍රදේශය ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ පිහිටා තිබීම යාන් ඔය ආශ්‍රයෙන් රට තුලට පිවිසීමේ හැකියාව පිළිබඳ සැලකීමේදී ගිරිහඬු සෑය නාවිකයන්ගේ වන්දනාවට පසුකාලයේ පාත්‍ර වූවා විය හැකිය. බෝධිසත්ත්ව වන්දනාව ලංකාවේ ප්‍රචලිත වන්නේ ක්‍රි. ව. 5 වන සියවසේ පසුව වීම සැලකීමට ගත්විට ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය එයට යම් පිටුබලයක්‌ සපයා ඇති බව පෙනේ. කෙසේ වුවත් නැගෙනහිර වෙරළ ආශ්‍රිතව මහායාන බෝධිසත්ත්ව වන්දනාව බෙහෙවින් ව්‍යාප්ත වූ බව පෙනේ. එනිසාම මහායාන දාර්ශනික හා භික්‍ෂූ සම්ප්‍රදායට අනුගත වීම නිසාම පල්ලව සම්ප්‍රදායේ යෝගී ස්‌වරූපයෙන් යුත් අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමා ගිරිහඬු සෑයෙන් හමුවිය. (යමුනා හේරත් 2003 පිටු 194-195) මංජු ශ්‍රී බෝධිසත්ත්වයන්ගේ කුමාර ඉරියව්වෙන් යුත් පිළිරුවක්‌ ද හමුවී ඇති අතර පෙරකී සංස්‌කෘත ශිලා ලේඛනයේ සඳහන් මංජු ශ්‍රී බෝධිසත්වයන් ගේ පිළිරුව මෙය විය හැකිය. (යමුනා හේරත් 2003 පිටුව 225)

යකඩ හා තඹ නිස්‌සාරණය කිරීමේ තාක්‍ෂණවේදය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් සොයාගනිමින් තිබුණද මෙම ලෝකඩ ප්‍රතිමා මෙරටේම නිපදවූවා යෑයි සාක්‌ෂි නොමැත. මෙම ප්‍රතිමා පල්ලව රටින් ගෙන ආවා විය හැකිය. මෙසේ බලන විට විදේශීය වෙළෙ¹ම හා විදේශිකයන් ගේ සංචරණ ක්‍රියාදාම මගින් දාර්ශනික, ආගමික, තාක්‌ෂණික දැනුම් පද්ධති සම්ප්‍රදායන් මෙරටට පැමිණි අතරම යම් ප්‍රදේශ කේන්ද්‍රකරගෙන ස්‌ථාපිත වී ඇත. මෙරට රාජ්‍ය අනුග්‍රහයක්‌ ලැබුණද නොලැබුණද ථෙරවාදි නොවන විවිධ බෞද්ධ දාර්ශනික භික්‍ෂූ පරම්පරාවන් ඇති වී විකාශනය වී යම් කාලයක්‌ පුරා පවතින්නට ඇත. එම සම්ප්‍රදායන් සඳහා අනුග්‍රහය දැක්‌වූ ගිහි ජන කොටස්‌ද සිටින්නට ඇත.

මහාවංශ කතුවර හිමියන් මහාවිහාරය කේන්ද්‍රකරගත් ථෙරවාදී (හීනයාන) බෞද්ධාගමික සම්ප්‍රදාය අනුගමනය කිරීම නිසා ථෙරවාදි නොවන මහායාන බෞද්ධාගමික සම්ප්‍රදායයන් මිථ්‍යාදෘෂ්ටික ලෙස බැහැර කරයි. ගිරිහඬු සෑය ආරාමික සංකීර්ණය මහායාන සම්ප්‍රදායට අනුගත වූ නිසාම එහි ඉතිහාසය මහාවංශයෙන් බැහැරකර ඇති බව සිතිය හැකිය. එසේ වුවද ලංකාවේ නැගෙනහිර තැනිතලාවේ සමුද්‍ර තීරය ආසන්නව මහායානික බෞද්ධ සම්ප්‍රදායක්‌ බිහිවීමටත්, පැතිර යාමටත් ප්‍රධාන අධ්‍යාපන සම්ප්‍රදායක්‌ ඇතිවීමටත් භික්‍ෂූ පරම්පරාවක්‌ ඇතිවීමටත් තිරියාය ගිරිහඬු සෑය මුල්වූවා විය හැකිය.

එපමණක්‌ නොව විදේශ වෙළෙඳම සහ විදේශිකයන්ගේ සංචරණ ක්‍රියාවලිය මගින් විවිධ දාර්ශනික මතවාද ලංකාව තුළට ආගමනය වීමේ කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස නැගෙනහිර තැනිතලාව සහ සමුද්‍රතීරය ක්‍රියාකර ඇති බව නිගමනය කළ හැකිය.



ආශ්‍රිත ග්‍රන්ථ

1. මහාවංශය - බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය දෙවන මුද්‍රණය 2004

2. සෙනරත් පරණවිතාන ලිපිමාලා 1, 1972 සී/ස ලේක්‌හවුස්‌ ඉන්වෙස්‌ට්‌මන් සමාගම, කොළඹ.

3. සෙනරත් පරණවිතාන - ලංකාවේ ස්‌ථූපය අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව, දෙවන මුද්‍රණය 1995 පරි( එල්. ප්‍රේමතිලක

4. සෙනරත් පරණවිතාන පුරාවිදු පර්යේෂණ 1972 සී/ස ලේක්‌හවුස්‌ ඉන්වෙස්‌ට්‌මන් සමාගම

5 ඒ. එල්. බෂාම් අසිරිමත් ඉන්දියාව අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව, සිංහල පරිවර්තනය, තුන්වන මුද්‍රණය 1995

6. නීතුපත්තපාණ ගිරිහඬු සෑය කේෂධාතු චෛත්‍යය - ගන්දර ආනන්ද හිමි 2003

7. ආනන්ද ඩබ්. පි. ගුරුගේ සංස්‌කෘත භාෂා සාහිත්‍ය හා ආභාසය, ලිපිය - අපේ සංස්‌කෘතික උරුමය, ද්විතීය කාණ්‌ඩය මධ්‍යම සංස්‌කෘතික අරමුදල 1998

8. යමුනා හේරත් - ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා හා රුකම් බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය 2003

9. සංස්‌කෘතික පුරාණය වෙළුම 5 කාණ්‌ඩය 1 මධ්‍යම සංස්‌කෘතික අරමුදල 2012 ජුනි.

10. තුසි ද මෙන්දිස්‌ සහ චන්දන රෝහණවිතානච්චි - ශ්‍රී ලංකාද්වීපයේ ජනයා පදිංචිවීමේ මොස්‌තරය දිවයින බදාදා අතිරේකය 2013.6.5 පිටුව

11. තුසිත ද මැන්දිස්‌ ශ්‍රී ලංකාවේ ආ දිතම ජනවාස පිහිටුවා ගැනීමේ භූගෝලීය පසුබිම දිවයින බදාදා අතිරේකය 2013.8.21 පිටුව 1.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය