Powered by Blogger.

“අපට සැතපුම් මිලියන ගණනක් ඔබ්බෙන් වූ ග්‍රහ වස්තූන් පවා ගවේෂණය කරන්නට තරම් දියුණු තාක්ෂණයක් සහිත වර්තමාන ලෝකයට අයත් දුරින් අතුරුදන් වූ මෙකී ගුවන් යානාවලට අයත් වූ ඉරණම තීරණය කරන්නට නොහැකි වීමද අපූරු සරදමක් බව නොකියා බැරි බව අවසන් වශයෙන් කිව යුතුය.”
“අපේ ගුවන් යානා ගිලගන්නේ පිටසක්වල ජීවීන්ද?” යනුවෙන් මාධ්‍යවේදී අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා පසුගිය ලක්බිම ඉරිදා සංග්‍රහයක පළවී තිබූ ලිපිය අවසන් කොට තිබුණේ ඒ ආකාරයටය.
සියලු දේ විද්‍යාවෙන් අර්ථ දැක්වීමට යාම, විද්‍යාවෙන්ම ඔප්පු කර පෙන්වන්නට යාම හා නවීන විද්‍යානුකූලව ඔප්පු කර පෙන්වන මෙන් කරන අභියෝග කොතරම් සාධාරණ හා වලංගු දැයි යන්න ප්‍රශ්නාර්ථයක්ම බව මේ අනුව පෙනී යයි. ස්වභාවධර්මය මේ සියල්ලම ඉහළින් ඇති බවට විවාදයක් නැත.  එනිසාම සොබාදහම හා බැඳුණු සොබාදහමට අනුගත විද්‍යාවකින් මිස ඊට එරෙහි කිසිවකින් මිනිසාට යහපතක් සිදු නොවන බව නම් ඉඳුරාම කිව හැක.
ඇතැම් අය සියල්ල විද්‍යාවෙන්ම අර්ථකථනය කරන්නට යති. විශ්වය  පිළිබඳ විමසුම පසෙක තබමු. නවීන විද්‍යාව හෝ වෙනත් විද්‍යාවකින් අවබෝධ කරගත නොහැකි සිදුවීම් අප අවට පරිසරයේම සිදු නොවේද? සියලු සිදුවීම් අර්ථකථනය කළ හැකි කිසිදු විද්‍යාවක් මතෛක් මෙලොව බිහිව නැති බව පිළිගැනීමට සිදුවේ.
‍ජ්‍යොතිෂය, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව  වැනි විෂයන් විද්‍යානුකූලව ඔප්පු කරන්නට යෑමද සාධාරණ හා යුක්ති සහගතද යන්න විමසිය යුතුය. නවීන විද්‍යාත්මක සොයා ගැනීම්   තුළින් මිනිසා බොහෝ ප්‍රයෝජන ගන්නා බව සැබෑවකි. විද්‍යාව දිනෙන් දින ඉහළ දියුණුවක් ලබන බවද සැබෑවකි. එහෙත් එමගින් වෙනත් ශාස්ත්‍රයන් ඔප්පු කරගන්නට බැරි වීම එකී ශාස්ත්‍රවල දුර්වලතාවයද නැතහොත් ඒවා නිර්වචනය කිරීමට හෝ සාධනය කිරීමට තරම් නවීන විද්‍යාව තවම දියුණු වී නොමැතිද යන ගැටලුවද අප හමුවේ මතු වෙයි.
ගුවන් විදුලි යන්ත්‍රය සොයා ගැනීමට පෙර ඈත අතීතයේ දී ශබ්දයක් උපදන තැනින් බොහෝ ඈත ස්ථානයකදී එම ශබ්දය ඒ ආකාරයෙන්ම නැවත ශ්‍රවණය කිරීමේ හැකියාව ඇති බව යමෙක් පැවසුවානම් එදා සමාජය ඔහුව පිස්සෙකු  සේ හංවඩු ගසනු නොඅනුමානය. රූපවාහිනී යන්ත්‍රය සොයා ගැනීමට පෙර කාලයකදී සජීවී රූප වෙනත් ස්ථානයකට යැවිය හැකි යැයි යමෙක් කීවා නම් ඔහුටද අත්වන ඉරණම ඉතා ශෝකජනක විය හැක.
එහෙත් රූප හා ශබ්ද සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය තරංග ශක්තීන් එදාත් විශ්වයේ තිබුණු වගට සැක නැත. විද්‍යාවේ දියුණුව සමග නිර්මාණය කළ ඒවා නොවන බැවිනි. විද්‍යාවෙන් කළේ එම ශක්තීන් ප්‍රයෝජනවත් පරිදි යොදා ගන්නා ආකාරය සොයා ගැනීමයි. නවීන විද්‍යාව ඉදිරියේ දී  තවත් නවතම විශ්මිත දේ සොයා ගනු ඇත. අද විද්‍යානුකූලව සනාථ නොවන විෂයයන් පිළිබඳ දියුණු ගවේෂණ ඉදිරියේ දී සිදු වීමට ඉඩ ඇත. එවිට අද අසත්‍යය මිථ්‍යාවන් ලෙස බැහැර කරන ඇතැම් ක්‍ෂේත්‍ර සනාථ නොවනු ඇතැයි කිව හැක්කේ කාටද?
කෙසේ වුවත් නවීන විද්‍යාව ගැන උදම් අනන අය මෙන්ම ආයුර්වේද, ‍ජ්‍යොතිෂ ක්‍ෂේත්‍රවල ඇතැම් අයද තම විෂය තුළ කළ නොහැකි දේද කළ හැකි යැයි කටමැත දොඬවන අයුරුද දැකිය හැකිය.
තම විෂය තුළ කළ හැකි හා නොහැකි දේ පිළිබඳ නිසි වගකීමක් නොමැතිකමින් හෝ ජනප්‍රියත්වයම අපේක්ෂාවෙන් හිතා මතාම හෝ කරන මෙවැනි ප්‍රකාශ හමුවේ එකී ශාස්ත්‍රයන්ට සිදුවන්නේ අනර්ථයක්මය. ඕනෑම ක්‍ෂේත්‍රයක ජනප්‍රියත්වය පතා ක්‍රියා කරන මෙවැනි සංදර්ශනකරුවන් දැකිය හැකිය. මේ අය උත්සාහ කරන්නේ කුමන හෝ ආකාරයකට තමාව හා තම විෂය මාකට් කර ගැනීමටය.
‍ජ්‍යොතිෂය, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව පමණක් නොව අධ්‍යාපන ක්‍ෂේත්‍රයද අනුකම්පා විරහිත ලෙස   මෙම විකුණුම් කලාවේ ග්‍රහණයට හසු වී ඇත. මාකටින් මානසිකත්වයෙන් යුත් කලිසම්කාරයන් අතට පත්වන්නට වූ දා සිට ‍ජ්‍යොතිෂයද මෙම රුදුරු ක්‍රමයේ ගොදුරක් බවට  පත්වන්නට පටන් ගෙන තිබේ.
මොවුන් නිරතුරුවම උත්සාහ ගන්නේ කුමන ආකාරයෙන් හෝ “උපරිම ලාභය” ලබන හැටිය. මාධ්‍ය සංදර්ශන පවත්වන ඇතැම් ‍ජ්‍යොතිෂවේදීන්ද පත්තු කරගත හැකි කුමක් හෝ කියා තම නම ජනප්‍රිය කරගැනීමට මාන බලති. ගැටලුව වන්නේ ‍ජ්‍යොතිෂයෙන් ලබා ගත හැකි ප්‍රයෝජනය හෝ මගපෙන්වීම සේවාලාභියාට හෝ සමාජයට හෝ මෙවැනි අයගෙන් නොලැබිමයි. ‍ජ්‍යොතිෂවේදියාට සමාජය තුළ කළ හැකි සේවය ඉතා විශාලය. ඔහු ලබාදෙන උපදෙස් මතින් කෙනෙකුගේ සිත සුවපත් කළ හැකිවාක් මෙන්ම මානසික රෝගියෙකු බවටද පත් කළ හැකිය.
මාධ්‍ය සංදර්ශන මගින් තම අරමුණු ඉටු කර ගැනීමට ශක්තියක් නැති එහෙත් තම ලාභයම අරමුණු කර ගනිමින් කටයුතු කරන ඇතැම් ‍ජ්‍යොතිෂවේදීන් වෙනත් විවිධ ක්‍රමෝපායන් යොදා ගන්නා ආකාරයද දැකිය හැකිය. මෙවැනි අය භාවිත කරන ක්‍රම සහ විධි ‍ජ්‍යොතිෂයට මෙන්ම තම සේවාව ලබා ගන්නා අයට කුමන ආකාරයක අන්තරායකර තත්ව ඇති කරන්නේ ද යන්න ඔවුනට ගැටලුවක් නොවේ. කේන්ද්‍ර හිමියාට බරපතළ අපල තත්ව ඇතැයි බියගන්වා වැඩි මුදලක් අයකරගත හැකි පිළිවෙත් හෝ ශාන්තිකර්ම වෙත කේන්ද්‍ර හිමියා යොමු කරවා ගෙන එමගින් වැඩි ලාභයක් ලබා ගැනීම එක් උපක්‍රමයකි.
රජයේ පාසලක උසස් පෙළ ගුරුවරයෙකුගේ නිවසට පැමිණි ‍ජ්‍යොතිෂවේදියෙක් ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් පසු කියා  ඇත්තේ මෙම වසරේ නොවැම්බර් මාසයේ දී එම ගුරුවරයාට නොවැළැක්විය හැකි මාරකයක් යෙදී ඇති බවයි.
එම ‍ජ්‍යොතිෂවේදියා නිවෙස්වලට ගොස් තම සේවය සපයන අයෙකි. ජන්ම පත්‍ර පරීක්ෂාවේදී ඔහු පැවසූ අතීත තොරතුරු නිවැරදි විය. එනිසාම ඉදිරි අනාවැකියද ඉටු වනු ඇතැයි ඔහු හා ඥාතීන් තුළ බියක් ඇති වීම ස්වභාවිකය. ගුරුවරයාගේ එකොළොස් හැවිරිදි දියණියගේ කේන්ද්‍රය පරීක්ෂා කොට ඔහු පවසා ඇත්තේ 2014 පෙබරවාරි මාසය අවසන් වීමට පෙර ඇය වැඩිවිය  පැමිණෙන බවයි. එහෙත් තවම  ඇය වැඩිවිය පැමිණෙනුයේ නැත. පෙබරවාරි මාසය තුළ ඇයගේ මල්වරවීම සිදුවූවා නම් ගුරුවරයාගේ මාරකයද නිසැකවම ක්‍රියාත්මක වනු ඇතැයි ඥාතීන් තුළ වූ බිය වඩාත් තීව්‍ර වීම වැළැක්විය නොහැක.
මෙවැනි අය කියන අනාගත අනතුරු ගැන විශ්වාස කිරීමට පෙළඹෙන්නේ අතීත තොරතුරු නිවැරදි බැවිනි. ඒ ඔවුන් ‍ජ්‍යොතිෂය ඔවුන්ගේ වාසිය පිණිස යොදා ගන්නා එක් ආකාරයකි.  මෙයින් බියට  පත්වන කේන්ද්‍ර හිමියා හා ඔහුගේ ඥාතීහු පිළිවෙත් හා ශාන්තිකර්ම වෙනුවෙන් යහමින් මුදල් වැය කරති. එවිට පලාපල කථනයට අය කරන මුදල මෙන් කිහිප ගුණයක ලාභයක් ‍ජ්‍යොතිෂවේදියාට හිමිවේ. මන්ද ඔවුන් පවසන පිළිවෙත් හා ශාන්තිකර්ම වෙනුවෙන් ඔවුන් විශාල මුදලක් අය කරන බැවිනි.
සැබෑවටම කළ යුත්තේ මාරක අපල ඇති කේන්ද්‍ර හිමියෙකුට වුවත් ඉන් වැළකීමට හා ප්‍රවේශම් වීමට උපදෙස් ලබා දීමයි. ඔවුන් බිය ගැන්වීම හා මානසික පීඩනයකට හසුවන ආකාරයෙන් පලාපල කීම සුදුසු නොවේ. අපල ඇති අයට ඔවුන්ගේ මානසික ශක්තිය හා ආත්ම විශ්වාසය වර්ධනය කරගන්නට උපදෙස් දීම අවශ්‍ය වේ. ඔවුන් තව තවත් මානසිකව වට්ටවන සුළු ප්‍රකාශ කිරීම සුදුසු නොවේ.
ස්වාමීන් වහන්සේ නමකට , පූජකතුමකුට සමාජය තුළ පවතින ගෞරවය හා කිට්ටු ගෞරවයක් ‍ජ්‍යොතිෂවේදියාටද සමාජය තුළ හිමිව තිබේ. එම නිසා ‍ජ්‍යොතිෂවේදීන් ලබා දෙන උපදෙස්  බහුතරයකගේ ඉහළ පිළිගැනීමකට ලක්වේ. එම නිසා ලබාදෙන උපදෙස් පුද්ගලයාගේ පරිහානියට හේතු වන උපදෙස් නොවිය යුතුය. සුබසිද්ධිය සඳහාම විය යුතුය. ‍ජ්‍යොතිෂයෙන් ලබාගත හැකි විපුල ප්‍රයෝජන උදාකරගත හැකි වනුයේ එවිටයි. ඇතැම් ‍ජ්‍යොතිෂවේදීන් තම පුද්ගලික වාසිය පතා කරන ඇතැම් නොවටිනා ප්‍රකාශ කරන්නට  පෙළඹෙන්නේ ‍ජ්‍යොතිෂවේදියාට කළ හැකි උතුම් කාර්යභාරය පිළිබඳ නිසි හැඟීමක් නොමැති නිසා විය හැකිය.
මෙම තත්ත්වයට පත්ව ඇත්තේ ‍ජ්‍යොතිෂය පමණක් නොවන බවද නැවත අවධාරණය කළ යුතුය. ඕනෑම දෙයක් රසකර විකිණීමට හපන්කම් දක්වන වෙළෙන්දන්ගේ ග්‍රහණයට හසු වූ එක් ශාස්ත්‍රයක් පමණි. බොරුව රසවත් බවත්, එහි හඬ මහත් බවත්, අලංකාර වර්ණවත් බවින් යුතු බවත්, සත්‍යය කටුක හා නීරස බවත් එමෙන්ම සත්‍යය සැමවිටම නිහඬ බවත් අප තේරුම් ගත යුතුය. සිතන්න. සැබෑ ‍ජ්‍යොතිෂවේදීන් මහත් හඬ නගමින් සංදර්ශන පවත්වන්නේ නැත. ඔවුන් නිහඬව තම සේවය සපයයි.
කිසි විටෙක වෙනත් පාර්ශ්වයක පෙළඹවීමකට හෝ බලපෑමකට යටත්ව ප්‍රකාශයන් කරන්නේ නැත. වෙනත් පාර්ශ්වවලට අවශ්‍ය පරිදි අනාවැකි කියන්නට යන්නේද නැත. තම සේවය ලබා ගත් අයගේ කේන්ද්‍ර සටහන්වල විස්තර හෝ කේන්ද්‍ර හිමියාගේ පෞද්ගලික විස්තර පිට අය අතට පත් කිරීම හෝ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ කරන්නේද නැත. අසාධාරණ ගාස්තු අය කරන්නේද නැත. පලාපල කථනයේදී කේන්ද්‍ර හිමියා දැඩි ලෙස කම්පනයට පත්වන ආකාරයෙන් පලාපල කීමද නොකරයි. අපල තත්ත්වයන් පිළිබඳ බරපතළ තත්ව අතිශයෝක්තියෙන් යුතුව මවා පෑම් කරන්නේ ද නැත.
එමෙන්ම තම දැනුම හා දක්ෂතා  ගැන නිතර නිතර කියා පෑම හෝ නිතර ඒ බව ඇඟවෙන පරිදි ක්‍රියා කරන්නේ ද නැත. ශාස්ත්‍රයේ  සත්‍ය බව හා තම දැනුම පෙන්වීම සඳහා වුවමනාවෙන් වාද විවාදවලට එළැඹෙන්නේ ද නැත.
මෙම සියලු කරුණු සපුරන අය සිටිත්ද යන්නට පිළිතුරු සෙවීම පසෙක තබමු. අවසාන  වශයෙන් ‍ජ්‍යොතිෂවේදීන්ගෙන් ඉල්ලීමක් කරමි. අනවශ්‍ය වාද විවාදවලට මැදිහත් නොවී, ‍ජ්‍යොතිෂය නින්දිත ලෙස විකුණන ජාවාරමුන්ගේ කොටස්කාරයන් නොවී, නින්දා, ගල් මුල් හමුවේ වුවද නිහඬව සැමට යහපත සලසන ච්ෙතනාව පෙරදැරිව සේවය සලසන්න.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය