Powered by Blogger.


සිදුහත් බෝසතාණන් සොත්තිය බමුණා දුන් කුස තණ අට මිට ඇසතු බෝරුක මුල එලා ඒ මත බද්ධ පර්යංකයෙන් වාඩි වී ‘‘මාගේ සම්, මස්, ඇට, නහර වියලි ගියත් සම්මා සම්බුද්ධත්වය ලබාගෙන මිස මෙතැනින් නොනැගිටිමියි’’ යන අධිෂ්ඨානයෙන් යුතුව සමාධියට සමවැදුනේය. ඒ අප බෞද්ධ සාහිත්‍යයේ සිදුහත් බෝසතාණන්ගේ බුද්ධත්වය ලැබීම සම්බන්ධයෙන් ඉගෙන ගත් හැටිය. සිදුහත් බෝසතාණන් දස මාර සේනාව පරදවා වෙසක් පුන් පොහෝ දින අලූයම් කාලයෙහි සම්මා සම්බුද්ධත්වය ලබාගනු උන්වහන්සේට බුද්ධත්වය ලබාගැනීම පිණිස සෙවණ දුන්නාවූ ඇසතු බෝ වෘක්ෂය නිහඬවම බලා සිටියේය.
සම්මා සම්බුද්ධත්වය ලබාගැනීමෙන් පසු උන්වහන්සේ සතියක්ම බෝධි වෘක්ෂයට පිටදී සමාධි සුවයෙන් පසුවූ සේක. එම කාලය තුළදී උන්වහන්සේ මතු බුදුවන බුදුවරයන්ටද බුද්ධත්වය සඳහා ශක්තිය ලබා ගනු පිණිස බෝධි වෘක්ෂය වෙත බුද්ධ ශක්තිය මුදාහැරියේය.
ඉන් වසර දෙදහස් හය සියයකට පසුවද වර්තමානයේ අප බෝධිය පැන්වලින් නහවා බෝධි පූජා පවත්වන්නේ බුදුරාජාණන් වහන්සේ බෝධි වෘක්ෂය වෙත මුදාහළ ඒ බුද්ධ ශක්තියේ බලයෙන් අපගේ සියලූ දුක් කරදරවලින් අපව මුදා ගන්නා ලෙස ඉල්ලමිනි. බුද්ධත්වයෙන් දෙවැනි සතියේදී උන්වහන්සේ කළගුණ සැලකීමේ මහඟු ආදර්ශය ලොවට කියාපාමින් තමන් වහන්සේට බුද්ධත්වය ලබා ගනු පිණිස චතුරාර්්‍ය සත්‍යය අවබෝධ කරගනු පිණිස සෙවණ දුන්නාවූ ඒ බෝ වෘක්ෂයට කළ ගුණ සැලකීමක් ලෙස සතියක් පුරා ඇසිපිය නොහෙලා බෝධිය දෙස බලා සිටියහ. බුදු ඇසින් පිදුම් ලද එකම සප‍්‍රාණික අප‍්‍රාණික වෘක්ෂය වන්නේද ඒ බෝධීන් වහන්සේය.
ජේතවනාරාමයේ බුදුන්වහන්සේ වැඩ නොසිටි අවස්ථාවල උන්වහන්සේ වැඳපුදා ගැනීමට දුර බැහැර සිට පැමිණෙන ජනතාවට පුද පූජා පැවැත්වීමට උන්වහන්සේගේ පාරිභෝගික වස්තුවක් තැබීම සුදුසු බව ආනන්ද හිමියන් ඉල්ලීමක් කළ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් වහන්සේට බුද්ධත්වය පතා සෙවණ දුන්නාවූ බෝධියෙහි අංකුරයක් රෝපණය කරන ලෙසත් එම බෝධීන් වහන්සේට වැඳුම් පිදුම් කිරීම ජීවමාන බුදුන් වහන්සේට කරනු ලබන වැඳීමක් හා සමාන බවත්ය.
බුදු හිමියන් දස මාර සේනාව පරදවා බුද්ධත්වය ලබාගනු සියැසින් බලා සිටි, බුදු හිමියන් ගේ බුද්ධ ශක්තිය උකහාගත්, බුදු ඇසින් පිදුම් ලද, බුදු හිමියන් විසින්ම ජීවමාන බුදුන්ට සමාන කළ එහෙව් බෝධිය වෙන කිසිවක් නොව අදත් අනුරාධපුර ශුද්ධ භූමියේ විරාජමානව වැඩ සිටින්නාවූ අපගේ ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේමය. ධර්මාශෝක රජතුමා විසින් සිය මිතුරා වූ දේවනම්පියතිස්ස රජතුමාට තෑග්ගක් ලෙස බුද්ධගයාවේ වැඩ විසූ ශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ දකුණු ශාඛාව එදා ලංකාවට පිටත්කර එවන ලද්දේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ සමගය. දේවානම් පියතිස්ස රජතුමා දඹකොළ පටුන මුහුදු දියේ කරවටක් බැස ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෝතට ගනිද්දී මුහුදු රළ නිසල වූ බවද ඉතිහාස කතාවේ සඳහන්ය. මහත් පුද පූජා සහිතව වැඩමවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙවුනාවේ රෝපණය විය. එදා පටන් අපේ ජයසිරි මහා හාමුදුරුවෝ උඩමලූවේ විරාජමානව වැඩ සිටින්නාහ.
සඟමිත් මෙහෙණිය සමඟ පැමිණි දහ අට කුලයක පරිවාර සෙනග විහාර ගම්වල පදිංචි වූ අතර ජයසිරිමහ බෝ සමිඳුන් ආරක්‍ෂා කර ගැනීමේ රැුකබලා ගැනීමේ රාජකාරිය ඔවුන් වෙත පැවරිනි. කැකුණ පන්දම් දල්වා මීතෙල් පන්දම් දල්වා ගිනිමැල ගසාගෙන රෑ එළිවෙනතුරු ඔවුහු අලි ඇතුගෙන් වන සතුන්ගෙන් ජය සිරිමහ බෝ සමිඳුන් රැුක බලා ගත්හ.  හේන් කුඹුරුවල අස්වැන්න නෙළාගත් අපේ රජරට ජනයා අග‍්‍රභාගය ගෙනැවිත් ජයසිරිමහ හාමුදුරුවන්ට පිදුවහ. වන සතුන්ගෙන් රෝග පීඩාවන්ගෙන් රැකදෙන ලෙස ඉල්ලමින් ජයසිරි මහ හාමුදුරුවන්ට පඬුරු ගැට ගැසූහ. දරුවන් නැති අම්මලා දරු සම්පත් ලබාදෙන ලෙස ඉල්ලා ජයසිරිමහ හාමුදුරුවන්ට පඬුරු ගැට ගසද්දී දරුවන් ලැබෙන්නට සිටින අම්මලා කිසිදු කරදරයක් නැතිව නිරෝගී දරුවෙකු ලබාදෙන්නැයි ඉල්ලමින් ජයශ්‍රී මහා බෝ සමිදුන්ට පඬුරු ගැට ගැසූහ.
කොටින්ම කියතොත් අපේ සියලූ කටයුතුවලදී ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිට ආරක්‍ෂාව අපට නැතුවම බැරිය. එහෙත් අපේ දුකට පිහිට වූ අපේ ජීවමාන බුදුන් වහන්සේ, ලෝකයේ පැරණිම බෝධි වෘක්‍ෂය අපට අහිමි වී යන දිනය ඉක්මණින්ම උදාවේ දෝ යන භීතිය අපට ඇතිවන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා විසින් මෑතකදී එළි දක්වන ලද වාර්තාවක් අනුවය. එදා ගිනිමැල ගසා අලි ඇතුන්ගෙන් වන සතුන්ගෙන් හා විවිධ ආරෝවන් ඇති කළ පුද්ගලයන්ගෙන් සතුරන්ගෙන් රැකගත් අපේ ජයශ්‍රී මහා බෝ සමිඳුන් අද අපට රැුකගන්නට සිදුවී ඇත්තේ ලෝකයම පැවතිය යුත්තේ තමන්ට  ඕනෑ විදියටයැයි හිතමින් වැඩකරන දේශපාළුවන්ගෙනි.
 

ශ්‍රී මහා බෝධීන් වහන්සේට මීටර් 120ක තරම් දුරකින් ඉදි කෙරෙන වාහන 500ක් එකවර ගාල් කළ හැකි රථ ගාල සහ මීටර් 500ක් ඇතුළතින් පවත්වාගෙන යනු ලබන රථගාල්

මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා එළිදැක්වූ එම වාර්තාව පදනම් කර ගනිමින් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිරිල් විජේසුන්දර මහතා උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක අමාත්‍යාංශයේ ලේකම් විලී ගමගේ මහතා මගින් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක මහතා වෙත යොමුකර ඇති එම ලිපියේ මෙසේ සඳහන්ය.
‘‘ශ්‍රී මහ බෝධිය ආසන්නයේ පිහිටා ඇති රථ ගාල් ශ්‍රී මහ බෝධියේ සිට අඩුම තරමින් මීටර් 500 ක් පමණ දුරකින් පිහිටුවිය යුතුය. ශ්‍රී මහා බෝධියේ සිට මීටර් 500ක අරයකින් යුතු වෘත්තාකාර ප‍්‍රදේශයක් වායු විමෝචන වාහන මුක්ත කලාපයක් වශයෙන් තබාගත යුතුය. පයින් ඇවිදීමට අපහසුතා ඇති වන්දනාකරුවන් සඳහා විදුලි රථ වාහන කිහිපයක් සේවයේ යෙදවීම උචිතය.
වාහනවලින් නිරන්තරව පිට කෙරෙන දුම නිසා අනුරාධපුර ශ්‍රී මහ බෝධීන් වහන්සේට නුදුරේදී අනතුරක් සිදුවිය හැකි බව පවසමින් අනුරාධපුර, බුද්ධගයා මාවත, අංක 618/61 ඊ දරන ලිපිනයේ ඉන්ද්‍රජිත් සේනානායක මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්‍ෂ යන මහත්වරුන්ට ලිඛිතව කරන ලද දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින් ජනාධිපති ලේකම්වරයා සහ ආරක්ෂක ලේකම්වරයා ලබාදුන් නියෝග මත සිදු කළ පර්යේෂණයකින් අනතුරුව මෙම නිර්දේශය ඉදිරිපත් කොට තිබේ.  ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කොට ඇති එම ලිපියේ තවදුරටත් මෙසේද සඳහන්ය.
ශ්‍රී මහා බෝධිය අනාරක්ෂිත වීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසිින් 2013.11.20 දින සිට 2013.11.28 වැනි දින දක්වා කරන ලද වායු සමීක්ෂණ වාර්තාව. එකී කාලය තුළ අනුරාධපුර ප‍්‍රදේශයේ පැවැති කාලගුණය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා ගන්නා ලද වාර්තාව හා ශ්‍රී ලංකාවේ වායු දුෂණය පිළිබඳව දැනට සිටින ප‍්‍රවීණතම විද්‍යාඥයකු වන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතාගේ විශේෂ සහායද මා විසින් ලබාගන්නා ලදී. මහාචාර්ය ඉලේපෙරුම මහතාගේ නිරීක්ෂණ හා නිගමනවලට මමද එකඟ වෙමි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආසන්නව රථ ගාලක් ඉදිකිරීමෙන් බෝධීන් වහන්සේට සහ එයට සමීපව ජීවත්වන ස්වාමීන් වහන්සේලාට සහ අනිකුත් ජනයා හට ඇති විය හැකි අහිතකර පාරිසරික ප‍්‍රශ්ණ ගැන හැදෑරීම මෙම වාර්තාවේ අරමුණ වේ.  ශ්‍රී මහ බෝධීන් වහන්සේට වන්දනා මාන කිරීමට පැමිණෙන මහජනතාව සඳහා කලින් පැවැති රථ ගාල මීටර් 800ක් පමණ ඈතින් පිහිටා තිබූ අතර වර්තමානයේ එවැනි රථගාලක් ශ්‍රී මහා බෝධියේ සිට මීටර් 400ක ඇතුළත ඉදි කෙරමින් පවතී. මෙම රථ ගාලෙහි ඉදිකිරීම් කටයුතු කෙරෙමින් පවතින අතර එහි රථ වාහන 500ක් පමණ ගාල් කිරීමට හැකියාව ඇත. මෙම රථ ගාලෙහි භූමිය සකසා ඇති අතර එහි සිමෙන්ති පූට්ටු ගල් අතුරුණු නිරීක්ෂණය කළෙමි. ශ්‍රී මහා බෝධීන් වහන්සේට සමීපව ගමන් ගන්නා මෝටර් රථ වාහන වලින් ඇතිවන වායූ දුෂණය බරපතල ප‍්‍රශ්නයකි.
රථ ගාලක වාහන නැවැත්වීමේදී සහ පිටත්වීමේදී පිටවන පිටාර දුම්වල ඇති සියුම් අංශු විශේෂයෙන්ම ළමයින් හා වැඩිහිටියන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරයි. එමෙන්ම මෙහිදී නිකුත්වන සල්පර් ඩයොක්සයිඞ් වායුව නිසා ශ්‍රී මහ බෝධියේ පත‍්‍රවලට හානි කර බලපෑමක් ඇතිවිය හැකිය.  ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආසන්නව 2013.11.20 වැනි දින සිට 2013.11.28 වැනි දින දක්වා මධ්‍යම පරිසර අධිකාරිය මගින් කරන ලද වායු තත්ත්ව ප‍්‍රමිති අභිබවා නොයන මුත් ලෝක සංවිධානයේ යෝජිත ප‍්‍රමිති අභිබවා යයි. මධ්‍යම පරිසර අධිකාරිය මගින් 2013.11.20 දින සිට 2013.11.28 දින දක්වා කරන ලද මිනුම් වලින් පෙන්වන්නේ සල්පර් ඩයොක්සයිඞ් මට්ටම ජාතික වායු තත්ත්ව ප‍්‍රමිතිය අභිබවා නොයන බවයි.
එසේ වුවත් මෙම කාල පරිච්ෙඡ්දයෙහි පොහොය දවසක් අයත් නොවූ අතර පොහොය දිනවල වන්දනාකරුවන් වැඩිපුර පැමිණෙන බැවින් එවැනි දිනවල මීට වඩා වැඩි වායු දුෂණයක් බලාපොරොත්තු විය හැකිය. මීට කලින් 2001 වසරේදී ශ්‍රී මහා බෝධීන් වහන්සේට සමීපව ඞීසල් තාප බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබූ නමුත් ශ්‍රී මහ බෝධීන් වහන්සේ සමීපයේ ඇති  වායු දුෂණය ගැන පෙන්වා දීමෙන් පසුව එය නවතා දමන ලදී. ශ්‍රී මහා බෝධීන් වහන්සේට සමීපව රථ ගාලක් ඉදි කිරිම සුපරික්ෂාකාරීව සිතා බැලිය යුතු කරුණකි. විශාල රථ වාහන සංඛ්‍යාවක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයෙහි ක‍්‍රියාකාරී වීමෙන් ඇතිවන වායු දුෂණය ශ්‍රී මහ බෝධියට බලපෑම ඇති කළ හැකිය. වායු දුෂණයෙන් වන හානිය වළක්වා ගැනීම පිණිස ඉන්දියාවේ ටජ් මහල් ප‍්‍රාසාදය පිහිටා ඇති ප‍්‍රදේශයට පවා වාහන ඇතුල් කිරීම සීමා කොට ඇත. දැනට ජීවමානව පවත්නා අතිශයින්ම පූජනීය වස්තුව වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෞඛ්‍යයට සුළු වශයෙන් හෝ හානියක් වෙතැයි අනුමාන කළ හැකි යමක් ඇත්නම් එය වළක්වා ගැනීම අප සියල්ලන් සතු වගකීමක් බව සඳහන් කරමි. ඉහත තත්ත්ව හා මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතාගේ වාර්තාවේ දක්වා ඇති කරුණු  සලකා බලා පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමි.
රථ ගාලන් ඉදිකිරීමේදී එය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සෑහෙන දුරකින් පිහිටුවීමට කටයුතු කළ යුතුය. මේ රථගාල (ශ්‍රී මහ බෝධියට මිටර් 400ක දුරකින් ඉදි කෙරෙමින් පවතින) ශ්‍රී මහා බෝධියේ සිට අඩුම තරමින් මීටර් 500ක දුරක පිටතින් ඉදිකිරීමට යෝජනා කරමි. ශ්‍රී මහ බෝධියේ සිට මීටර් 500ක අරයකින් යුතු වෘත්තාකාර ප‍්‍රදේශය වායු විමෝචන වාහන මුක්ත කලාපයක් ලෙස තබාගැනීම සුදුසුය. පයින් ඇවිදීමට අපහසුතා ඇති වන්දනාකරුවන් සඳහා විදුලි රථ වාහන කිහිපයක් සේවයේ යෙදවීම උචිතය.
විශේෂිත පුද්ගලයන් සඳහා ස්ථාපිත කර ඇති රථ ගාල ශ්‍රී මහ බෝධීන් වහන්සේට මීටර් 100ක පමණ දුරකින් පිහිටා ඇති අතර එයද හිතකර නොවේ. නව රථ ගාලෙහි  (බෝධීන් වහන්සේට මීටර් 400ක් දුරින් දැනට ඉදි කෙරමින් පවතින* සිමෙන්ති ගල් වලින් නික්මෙන උෂ්ණත්වය සමනය කිරීම සඳහා මධ්‍යම ප‍්‍රමාණයේ ගස් සිටුවිය යුතුය. එමගින් වාහන වලින් පිටවන සියුම් අංශු රඳවා ගැනීමට හැකියාව ලැබේ. මේ ප‍්‍රදේශය තුළ හැකි තරම් ගස් සිටුවීමට කටයුතු කිරීම යෝග්‍යය. මේ සඳහා සුදුසු ගස් වර්ග පිළිබඳව උපදෙස් උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාගැනීමට යෝජනා කරමි.
 

ජනපති නියෝග
මේ පිළිබඳව පසුගිය දිනවල මාධ්‍ය මගින් කළ හෙළිදරව් කෙරෙහි අවධානය යොමුකළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස මහතාට නියෝග කළේ ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ සිටින ස්ථානයේ සිට මීටර් 500ක් ඇතුළත කෙරෙන සියලූ ඉදිකිිරීම් වහාම නවතා දමන ලෙසයි. දැනට ශ්‍රී මහ බෝධියට මීටර් 500ක් ඇතුළත පිහිටා ඇති සියලූ රථ ගාල් එම ස්ථාන වලින් ඉවත් කරන ලෙසත් මීටර් 500ක දුරක සිට ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමට යාම සඳහා වන්දනා කරුවන්ට විදුලි බලයෙන් ක‍්‍රියාත්මක ප‍්‍රවාහණ සේවයක් යොදවන ලෙසත් ජනාධිපතිවරයා නගරාධිපතිවරයාට තවදුරටත් නියෝග කොට ඇත.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආශි‍්‍රතව රථ ගාලක් ඉදිකිරීමෙන් විය හැකි පාරිසරික ගැටලූ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා ඉංග‍්‍රීසි බසින් නිකුත් කොට ඇති වාර්තාවේ සිංහල පරිවර්තනය මෙසේය.
 
  • අරමුණ - ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආසන්නව රථගාලක් ඉදිකිරීමෙන් බෝධීන් වහන්සේට සහ එයට සමීපව ජීවත්වන ස්වාමීන් වහන්සේලාට හා අනෙකුත් ජනයාට ඇතිවිය හැකි අහිතකර පාරිසරික ප‍්‍රශ්න ගැන හැදෑරීම මේ වාර්තාවේ අරමුණ වේ.
     
 
  • පසුබිම -  ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමට පැමිණෙන වන්දනා කරුවන්  සඳහා ඉදිවුන පළමු රථගාල බෝධීන් වහන්සේට මීටර් 800ක් දුරින් පිහිටා තිබූ අතර, ඉදිවෙමින් පවතින රථගාල මිටර් 400ක දුරක ඉදිවෙමින් පවතී. මෙම නිමවෙමින් පවතින රථගාලේ වාහන 500ක් ගාල් කිරීමට හැකියාව ඇති අතර භූමිය සකසා එහි සිමෙන්ති පුට්ටුගල් ඇතිරීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට ඇතුළු වන විශාල වාහන සංඛ්‍යාවකින් ඇතිවන වායු දුෂණය සැලකිල්ලට ගතයුතු බරපතල ප‍්‍රශ්නයකි. රථගාලක වාහන නැවැත්වීමේදී හා පිටත් වීමේදී දහනයවන පිටාර දුම්වල ඇති සියුම් අංශු විශේෂයෙන්ම ළමයින් හා වැඩිහිටියන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරයි. එයට අමතරව මෙහිදී නිකුත්වන සල්පර් ඔක්සයිඞ් වායුව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ළපටි පත‍්‍ර වලට දැඩි බලපෑමක් කළ හැකිය.
වාහන වලින් නිකුත් වන නයිට‍්‍රජන් ඔක්සයිඞ් වායු දුෂකය සූර්ය එළිය සමඟ ප‍්‍රතික‍්‍රියා කිරීමෙන් සෑදෙන  ඕසෝන් ශාඛවලට දැඩි බලපෑමක් ඇතිකළ හැකි වායූ දුෂකයකි. මෙම දුෂක වායු දෙකෙන්ම ළපටි පත‍්‍ර වලට දැඩි බලපෑමක් කළ හැක.  ඕසෝන් සහ සල්පර් ඩයොක්සයිඞ් යන දුෂක වායු නිසා පත‍්‍ර දුඹුරු පැහැ ගැන්වීම, පත‍්‍ර හැලීම සහ පත‍්‍ර මලානික වීම වැනි දැඩි බලපෑම් එල්ල විය හැක. වටපිටාවේ ඇති විශාල බෝගස් වලට වඩා ශ්‍රී මහා බෝධිය විශේෂිත ශාඛයක් වන අතර එය ප‍්‍රමාණයෙන් ඉතා කුඩා වේ.  එහි වැඩිමද ඉතා විශේෂිත ආකාරයට සිදුවන අතර එම නිසාම වායු දුෂකයන්ට ඉතා සංවේදී බවක් දක්වනු ලැබේ. ඒ නිසාම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පත‍්‍රවලට වායූ දුෂණයෙන් අනතුරක් විය හැකි ආකාරයෙන් ඒ ආසන්නයෙන් රථ ගාලක් ඉදිකිරීම අනතුරුදායක කටයුත්තකි.
ශ්‍රී මහා බෝධීන්වහන්සේ ආසන්නයේ  2013-11-20 සිට 2013-11-28 මධ්‍යම පරිසර අධිකාරිය මගින් කරන ලද වායු තත්ත්ව පරීක්ෂණ වාර්තාව අනුව PM10 සහ PM25 නැමති වායු දුෂක දෙකම ශ්‍රී ලංකා වායු තත්ත්ව ප‍්‍රමිති අභිබවා නොයන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ යෝජිත ප‍්‍රමිති අභිබවා යයි. මෙයින් දැඩි බලපෑමක් ඇතිවන්නේ ශ්‍රී මහා බෝධිය අවට වෙසෙන ජනතාවටය. මධ්‍යම පරිසර අධිකාරිය මගින් 2013-11-20 සිට 2013-11-28 දක්වා සිදුකරන ලද මිනුම්වලින් පෙන්නුම් කෙරෙනුයේ සල්පර් ඩයොක්සයිඞ් මට්ටම ජාතික වායු තත්ත්ව ප‍්‍රමිතිය අභිබවා නොයන බවයි. එසේ වුවත් මෙම පරීක්ෂණය පැවැත්වෙන කාලසීමාව තුළ පෝය දිනයක් ඇතුළත් නොවූ අතර පුන් පොහෝ දිනය නොවැම්බර් 17 දිනට යෙදී තිබුණි. පොහෝය දිනවලදී විශාල වන්දනාකරුන් සංඛ්‍යාවක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට  පැමිණෙන අතර මෙම පරීක්‍ෂාව එම දිනයකදී සිදුවුණේ නම් වායු දුෂක මට්ටම මෙයට වඩා ඉහළ මට්ටමක තිබීමට ඉඩ තිබුණි.

 
  • සමාප්තිය -  ශ්‍රී මහා බෝධීන් වහන්සේට එතරම් සමීප රථගාලක් ඉදිකිරීම සුපරික්ෂාකාරීව සිතා බැලිය යුතු කරුණකි. විශාල රථවාහන සංඛ්‍යාවක් ශ්‍රී මහා බෝධීයන් වහන්සේ සමීපයේ ක‍්‍රියාකාරී වීමෙන් ඇතිවන වායු දුෂණය ශ්‍රී මහා බෝධියට යම් තරමක බලපෑමක් කළ හැකිය. වන්දනාකරුවන්ට දළදා මාලිගාවට පාගමනින් ගමන් කළ හැකිනම් එසේම ශ්‍රී පාද කන්ද පාගමනින් තරණය කළ හැකිනම් අමතර මීටර් කීපයක් ඔවුන්ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පාගමනින් ගමන් කිරීමට නොහැකි වීමට හේතුවක් නැත. එහි ආරක්‍ෂාව වෙනුවෙන් රථගාලවල් ඉදිවිය යුත්තේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට සැලකිය යුතු දුරකින් වන අතර එය අඩුම තරමින් මීටර් 500ක් වත් විය යුතුය. විශේෂිත පුද්ගලයන් සඳහා ස්ථාපිත කර ඇති රථගාල ශ්‍රී මහා බෝධියට මීටර් 100ක් පමණ දුරකින් පිහිටා ඇති අතර එය බෝධීන් වහන්සේට හිතකර නොවේ. රථගාලක් ඉදිකරන විට එහිද පේළි වශයෙන් මධ්‍යම ප‍්‍රමාණයේ ගස් දික් අතට සහ තිරස් අතට රෝපණය කළ යුතු අතර එමගින් වාහන වලින් පිටවන සියුම් අංශු රඳවා ගැනීමට හැකියාව ලැබේ. රථගාලේ කොන්ක‍්‍රීට් පූට්ටු ගල් ඇතිරීම නොකළ යුතු අතර එහි දැඩි හිරු රශ්මිය සමඟ අධික උෂ්ණත්වයක් නිකුත් වීම සිදුවේ. එසේම වයස් ගත සහ ආබාධිත අයගේ පහසුව සඳහා විදුලි රථ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කළ හැකිය.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය