Powered by Blogger.


මෙතන හිටියා ක්‍රීඩාවේ මහත්වරු දෙදෙනෙක්‌. මම හිතන විදිහට ශ්‍රී ලංකාවට පමණක්‌ නොවෙයි ලෝකයේම ක්‍රිකට්‌ වෙනුවෙන් බොහෝ දේ දුන් ඒ මහත්වරුන් දෙදෙනාගේ සමුගැන්ම ලෝක කුසලානය දිනා ඉතා ඉහළින් සැමරිය යුතුයි කියලා දෙවියන් වහන්සේ හිතන්න ඇති?

ඒ ප්‍රකාශය කළේ සැමි. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ නායකයා. පන්දුවාර 20-20 ලෝක ක්‍රිකට්‌ කුසලාන තරගාවලියේ 2012 ශූරතාවය දිනාගත් කණ්‌ඩායමේ නායකයා ලෙස සැමීගේ ප්‍රකාශය අනෙක්‌ නායකයන්ගේ ප්‍රකාශවලට වඩා වැදගත් වුණා. අවසානයේ සත්‍යය බවටද පත්වුණේ සැමීගේ ප්‍රකාශයයි.

ශ්‍රී ලංකාව 20-20 ශූරයන් බවට පත්වී මහේලගේත් සංගක්‌කාරගේත් එම තරග අංශයෙන් සමුගැනීම විරාජමාන වුණා. අති උත්කර්ෂවත් ශේ්‍රෂ්ඨ සමුගැනීමක්‌ වුණා. මෑත ඉතිහාසයේ කිසිදු ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්‌ නොලද ආකාරයේ අතිශය ප්‍රීතිදායක ජයග්‍රාහී සමුගැනීමක්‌ ලබන්න තරම් ඔවුන් දෙදෙනා පිං කර තිබුණා. වාසනාවන්ත භාග්‍යවන්ත වුණා.

දහඅට වසරකට පසුව තම රටට ලෝක ක්‍රිකට්‌ කිරුළක්‌ උරුම කර දෙමින්, පෙරුම් පුරමින් මග බලමින් ඇඟිලි ගනිමින්, නොඉවසිල්ලෙන් සිටි ජයග්‍රහණය ලබමින් ඔවුන් විස්‌සයි විස්‌සෙන් සමු ගත්තා.


අර්ජුන, අරවින්ද, රොෂාන්, හෂාන්, ගුරුසිංහ, මුරලිදරන් මතු නොව වාස්‌, ප්‍රමෝදය එදා උදාකර ගත් ශේ්‍රෂ්ඨත්වය මෙදා මහේල, සංගක්‌කාර, මැතිව්ස්‌, මාලිංග, රංගන උදාකර ගත්තා. යළි යළිත් සිහි කර ප්‍රීති විය හැකි උදම් ඇනිය හැකි ආඩම්බරයකින් සිත ගත වෙලා ගන්නා ජයග්‍රහණයක්‌ මේ මව් බිමට තුරුළු වුණා. ඒ කිරුළ, ඒ අභිමානය ඒ ගෞරවය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙනුවෙන් අනුපමේය සේවයක්‌ කළ මහේලටත්, සංගක්‌කාරටත් හිමිවිය යුතුම වුණා. මාලිංගගේ, මැතිව්ස්‌ගේ, චන්දිමාල්ගේ, තිසරගේ පමණක්‌ නොව සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ගේ මතු නොව සකල ලෝක වාසීන්ගේම ඒකායන අදහසද එයම වුණා. සංගක්‌කාර-මහේල ලෝක ක්‍රිකට්‌ ශූරයන් ලෙස විස්‌සයි විස්‌සට සමුදුන්නා. සහෝදර ක්‍රීඩකයන් මේ විශිෂ්ටයන් දෙදෙනාව කර මතට ගෙන බංග්ලාදේශයේ ෂෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේ ඇවිද ගියා. ඔවුන්ට මේ දෙදෙනාද ලෝක ක්‍රිකට්‌ කිරුළක්‌ හා සමාන වුණා. ඒ අවසන් මහා තරගයේද පන්දු 35 කින් ලකුණු 52 ක්‌ ලබමින් ශ්‍රී ලංකා පිලට ලෝක ක්‍රිකට්‌ කුසලානය උරුම කර දීමට පෙරමුණ ගත් සංගක්‌කාර තරගයේ වීරයා බවටද පත්වුණා. අධිෂ්ඨානශීලී, අතිවිශිෂ්ට, අලංකාර අමරණීය පිතිහරඹයකින් තම විස්‌සයි විස්‌ස තරග රටාවට සමුදීමට තරම් ඔහු භාග්‍යවන්ත වුණා. මහේල පන්දු 24 කින් ලකුණු 24 ක්‌ ලබා ශ්‍රී ලංකාව ජයග්‍රහණය මාවත පෙනෙන මානයට ගෙන ආවා. විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලි වලදී ලකුණු දහස ඉක්‌මවා ගිය පළමු ක්‍රීඩකයා ලෙසද එදින මහේලගේ නම වැජඹුණා.

2006 වසරේ ජුනි 15 වැනිදා තම ප්‍රථම විස්‌සයි විස්‌ස තරගයට ක්‍රීඩා කළ මේ විශිෂ්ටයන් දෙදෙනා ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට්‌ කුසලාන අවසන් තරග 4 ක්‌ දක්‌වා කැඳවා ගෙන ඒමට නායකත්වය දුන්නා. ඒ එක්‌ දින ජාත්‍යන්තර ලෝක කුසලාන තරගාවලි දෙකක්‌ සහ පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලි දෙකක්‌ සඳහා. මහේලට 2007 එක්‌දින ලෝක කුසලානයේදීත්, සංගක්‌කාරට 2011 එක්‌දින ලෝක කුසලානයේදීත්, මහේලට යළි 2012 පන්දුවාර 20-20 ලෝක කුසලානයේදීත්, සංගක්‌කාරට 2009 පන්දු වාර 20-20 ලෝක කුසලානයේදීත් ලෝක අනුශූර නායකයා ලෙස සෑහීමකට පත්වෙන්න සිදුවුණා. ඒ අඳුරු අනුශූරතාවයේ කඳුළු මතින් සත් වසරක්‌ පුරා කළ ජයග්‍රහණය සොයා යැමේ ගමන 2014 අප්‍රේල් 6 වැනිදා ලෝක කුසලානයක්‌ උරුම කර ගනිමින් නිමා කරන්නට මේ විශිෂ්ටයන් දෙදෙනා සමත් වුණා. ශ්‍රී ලංකාවට මේ ලෝක ක්‍රිකට්‌ කිරුළ ජයගෙන ඔවුන් දෙදෙනාට එහි ගෞරවය හිමිවිය යුතු යෑයි අප විසින් මේ පිටුවේ පසුගිය මාර්තු 30 වැනිදා සටහනක්‌ තැබුවා. ඒ ආකාරයෙන්ම මේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනාට විස්‌සයි විස්‌ස පිටියෙන් ගෞරවාන්විත සමු ගැනීමක්‌ උරුම වුණා. අලුත් අවුරුද්දට ඔවුන් මුළු රටටම කලින්ම තෑගි ගෙන ආවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය