Powered by Blogger.



 
 
කෝට්ටේ යුගයේ ලියවුණු සංදේශ කාව්‍ය වලින් ද අතීතයේ දී මෙම නගරය අතිශය අලංකාරව තිබූ බව සැළලිහිණි සංදේශයේ දැක්වේ. කෝට්ටේ රාජධානිය ආරම්භ වීමට බලපාන ප‍්‍රධාන හේතුව වන්නේ ගම්පල ආර්ය චක‍්‍රවර්තී ආක‍්‍රමණයයි. රයිගම ප‍්‍රදේශය දක්වා පෘතුගීසින්ගේ ආක‍්‍රමණයක් සිදුවූ නිසා ඒ ප‍්‍රදේශයේ බදු එකතු කිරීමේ කටයුතු සිදු කළ ආරිය චක‍්‍රවර්තීට වීර අලකේෂ්වර විසින් දියවන්නා ඔයේ මඩ වගුරක බළකොටුවක් ඉදි කරවා දීම කෝට්ටේ රාජධානියේ ආරම්භය ලෙස දැක්විය හැකිය.

එම යුගයේ ඓතිහාසික කරුණු පිළිබඳවත් පුරා විද්‍යාත්මක කරුණු පිළිබඳවත් වෙනත් ඓතිහාසික ස්ථාන හා සැසඳීමේදීත් උගතුන්ගේ අවධානය යොමුව ඇත්තේ අල්ප ප‍්‍රමාණයකි.
 



ක‍්‍රි.ව. 1415 දී 6 වැනි පරාක‍්‍රමබාහු රජතුමා විසින් මෙම බලකොටුව තිබූ ස්ථානයේ මාළිගාවක් සාදා තමාගේ පරිපාලනය ආරම්භ කරනු ලබයි. ඉන්පසු ඒ රාජ්‍යය 1521 විජයබා කොල්ලය දක්වා පවතී. පසුව එම රාජ්‍ය සම්පූර්ණයෙන්ම කොටස් 03 කට බෙදී යයි.

1550 දී 7 වැනි බුවනෙකබාහු රජුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමග මෙම රාජ්‍ය අවසන් වූවා යැයි සඳහන් වේ. ඉන් වැඩි දුරටත් යාමට පෙරාතුව දොන් ජුවන් ධර්මපාල කොළඹ කොටුව රාජ්‍යය රැුගෙන යයි.

දොන් ජුවන් ධර්මපාල පෘතුගීසින්ගේ රූකඩ පාලකයකු ලෙස කටයුතු කළ අයෙකි. සීතාවකෙන් එල්ල වූ තර්ජනවලට බියෙන් කෝට්ටේ බලකොටුවෙහි වාසය නොකොට පෘතුගීසීන් විසින් ඉදි කරන ලද කොළඹ බලකොටුවට රැුකවරණය කරා යාමෙන් පසුව කෝට්ටේ නගරය මෙසේ අභාවයට පත්ව ඇත. වරින් වර සීතාවකින් එල්ල වූ ප‍්‍රහාර හේතුවෙන් කෝට්ටේ නගරයේ ගොඩනැගිලිද විනාශ වූ අතර සීතාවක රාජසිංහගේ මරණයෙන් පසුව පෘතුගීසීන් රිසි සේ කෝට්ටේ නගරයේ තිබූ ආගමික ගොඩනැගිලි සහ අනිකුත් ඉදිකිරීම් කඩා බිඳ දමා කොළඹ නගරයේ නව ඉදිකිරීම් සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය පැහැර ගෙන ගොස් ඇත.

මෙසේ බරපතළ ලෙස කෝට්ටේ ඓතිහාසික ස්මාරක ස්ථාන විනාශ වී යමින් තිබිය දී ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කළ විශේෂ පුද්ගලයන් දෙදෙනෙකු මෙහිදී සිහිපත් කළ යුතු වේ. මින් ප‍්‍රධාන පුද්ගලයා කෝට්ටේ ප‍්‍රදේශයේ ජීවත් වූ ප‍්‍රභූවරයෙකු වු කෝට්ටේ සිංහයා යන විරුදාවලිය ලත් ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතාය. අනෙක් පුද්ගලයා වන්නේ ඩග්ලස් ඞී. රණසිංහ මහතාය.

අතීතයේ කෝට්ටේ පැවැති අසිරිමත්භාවය හා පෞඪත්වය අධ්‍යයනය කිරීම සඳහා මහා වංශය, රාජවලිය වැනි වංශකතා සාධක ද සීතාවක හටන, පැරකුම්බා සිරිත, වැනි කාව්‍ය ග‍්‍රන්ථ කෝකිල, පරෙවි, මයුර, තිසර, ගිරා, සැළලිහිණි යන සංදේශ කාව්‍ය ග‍්‍රන්ථ මෙන්ම කුතෝ, ක්වේරෝස් වැනි විදේශිකයන්ගේ ලිපි ලේඛන ද උපයෝගී කොට ගත හැකිය.
 

කෝට්ටේ රජ මහා විහාරය
 
අලකේශ්වර මාලිගය


කෝට්ටේ ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකම් සම්බන්ධයෙන් සැලකීමේදී ප‍්‍රාග් ඓතිහාසික අනුරාධපුර, පොළොන්නරු හෝ දඹදෙණි වැනි යුගවලට අදාළ කිසිදු පුරා විද්‍යාත්මක සාධකයක් හමු නොවේ. එහෙත් වංශ කතා වලින් සුළු සාධක හමුවේ. වංශ කතා වල දැක්වෙන පරිදි -කැලණි පුරයට දකුණු පසින් බෞද්ධ ජනයා වාසය කරන ලද ස්ථානයෙහි අලගක්කෝනාර විසින් දරමාගම සමීපයෙහි වූ මහ විලෙහි මහ පවුරු වළල්ලෙන් හා දොර කොටු ආදියෙන් හෙබියා වූ ජයවර්ධනපුර කෝට්ටේ නමින් ප‍්‍රසිද්ධ නුවර ඉදි කළේය.

යනුවෙන් සඳහන් කර තිබීමෙන් මෙම ප‍්‍රදේශය අතීතයේ සිට ජනතාව ජීවත් වූ ප‍්‍රදේශයක් බව පැහැදිලිය. එසේම භික්ෂූන් පවා මෙහි වැඩ විසූ බවට ඉඟි මහා වංශයේ සඳහන් වේ.

ආරිය චක‍්‍රවර්තීන්ගේ හමුදාව මෙම ප‍්‍රදේශයේ ජනතාවගෙන් බදු එකතු කරමින් සිටියදී නිශ්ශංක අලකේශ්වර කෝට්ටේ බලකොටුව බැන්ද වූ බව කීමෙන් පැහැදිලි වන්නේ ද පෙර ජනාවාස පැවැති බවය.

කෝට්ටේ නගරයට කි.මි. 20 පමණ දුරින් ක‍්‍රි.පූ. 1 වැනි, 2 වැනි සියවසට අයත් ලෙන් ලිපි සහිත විහාරස්ථානයක් කොරතොට පිහිටා තිබීම ද වැදගත් කරුණකි. එක් අතකින් මෙම කාලයේදී කෝට්ටේ ප‍්‍රදේශය මඩවගුරු ස්වාභාවයක් ඉසිලූ හෙයින් ඒ යුගයෙහි මානව ජනාවාස බහුල නොවුනා විය හැක. එහෙත් කෝට්ටේ රජ මහා විහාරයෙහි නා බෝධිය අසල බෝ කොටුව තුළ අනුරාධපුර යුගයට අයත් එක් නාගරජ මුරගලක් දක්නට ඇත.
කෝට්ටේ සමයේදී ඉදි කරන ලද කිසිදු වාස්තු විද්‍යාත්මක ඉදි කිරීමක සැලකිය යුතු මට්ටමෙන් සාධක ඉතිරි වී නොමැත. යම් තරමක් හෝ ශේෂ සාධක දැක ගත හැක්කේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සංරක්ෂණය කළ අලකේශ්වර මාලිගය, කොටු බැම්මෙහි සුළු සාධක බැද්දගාන කොටවෙහෙර දාගැබ් දෙක හා පිටකෝට්ටේ හන්දියෙහි ඇති ගල් අම්බලම ආදිය පමණි.

රාජාවලිය හා මහා වංශය සඳහන් කරන පරිදි කෝට්ටේ වඩාත් ක‍්‍රමානුකූල වාස්තු විද්‍යාත්මක ඉදි කිරීම 6 වැනි පරාක‍්‍රමබාහු රජතුමා විසින් කරන ලද බව කියවේ.

කෝට්ටේ සමයට අයත් වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඒවා වර්ග 03 කට බෙදා අධ්‍යනය කළ හැක. ඒවා නම් රාජකීය ආගමික සහ වෙනත් වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් යනුවෙනි.

රාජකීය වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් යටතේ බලකොටුව රජ මාලිගය, අලකේශ්වර වාසල ආදිය අධ්‍යයනය කළ හැක. බලකොටුවක් යනු කිසියම් පාලක පැලැන්තියක් ආරක්ෂිතව වාසය කිරීම සඳහා ගොඩ නගා ගනු ලබන ආරක්ෂිත කලාපයයි. එබඳු කලාපයන් රටක හෝ ප‍්‍රදේශයක පාලන මධ්‍යස්ථානය වීමටද පුළුවන. ලංකාවේ කි‍්‍ර.පූ. 5 වැනි සියවසේ පමණ සිට මෙබඳු බලකොටු ගොඩ නගා තිබුණු බව මහා වංශයෙන් පැහැදිලි වේ.

කෝට්ටේ බළකොටුවේ විශේෂත්වයක් වන්නේ එය ගොහොරු සහිත ප‍්‍රදේශයක ඉදි කිරීමයි. නිශ්ශංක අලකේශ්වර ප‍්‍රභූ රාජයා විසින් දරමගම සමීපයෙහි මහා විලෙහි මහ පවුරු වළල්ලෙන් හා දොරකොටු ආදියෙන් යුක්තව ජයවර්ධනපුරය ගොඩ නැගූ බව මහා වංශයේ සඳහන් වේ.

කෝට්ටේ බලකොටුව අතීතයේ දී ශක්තිමත් ලෙසත් ක‍්‍රමානුකූල ලෙස මෙන්ම විසිතුරු ලෙසත් ගොඩ නගා තිබූ බව පැහැදිලිවේ. වර්ග සැතපුමකට නොඅඩු භූමි කලාපයක් වටකොට මෙම බලකොටුව ඉදි කොට තිබූ බව බලකොටුව වටා ගොඩ නගා තිබූ ආරක්ෂක පවුරු හා දිය අගල් සාධකවලින් පැහැදිලිය.
ඇතුල් පවුර හා පිට පවුර වශයෙන් ප‍්‍රාකාර දෙකකුත් ඒවා හා සම්බන්ධ අගල් දෙකකුත් තිබූ බව පෙනී යයි. මෙම අගල් ජලයෙන් පිරී තිබුණි. පිට පවුර හා දිය අගලට වඩා ඇතුල් පවුරේ හා දිය අගලේ සාධක යම් ප‍්‍රමාණයක් ඉතිරි වී තිබේ.

මෙම පවුරු සම්පූර්ණයෙන්ම සකසා තිබෙන්නේ කබොක් ගල් උපයෝගී කොට ගැනීමෙනි. ඒවා බැඳීම සඳහා හුණු මිශ‍්‍ර බදාමයක් භාවිත කොට ගෙන ඇත. වැඩි වශයෙන් මෙම ඉදිකිරීම් සඳහා කබොක් ගල් වර්ග දෙකක් උපයෝගී කොටගෙන ඇත. එක් වර්ගයක් විශාලය. ඒවායේ දිග සෙ.මි. 60 ක් වන අතර පළල සෙ.මි. 40 ක් හා ගණකම සෙමි. 18 කි.

අනෙක් කබොක් ගලක දිග සෙ.මි. 45 කද පළල සෙ.මි. 30 හා ගණකම සෙ.මි. 18 කි.
 
කෝට්ටේ කොටු බැම්ම

ප‍්‍රාකාර බැම්ම අඩි 30 පමණ පළලකින් යුක්ත වන අතර උස අඩි 8 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ. ඇතුල් කෝට්ටේ පැරකුම්බා පිරිවෙන් භූමිය කොටුබැම්ම පාරේ සහ අංගම්පිටිය ප‍්‍රදේශයෙහි පවුරු කොටස් යම් තරමකින් ඉතිරි වී තිබෙන අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට තිබේ.

කෝට්ටේ බලකොටුව තුළ ගොඩනගා තිබූ රජ මාළිගය පිහිටි ස්ථානය පිළිබඳව හෝ එහි වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් සාධක පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක හමුනොවෙතත් ගුත්තිල කාව්‍යයේ එන තොරතුරු මෙන්ම සංදේශ සාහිත්‍යයේ එන තොරතුරු පිළිබඳව සිත් යොමු කිරීමේ දී ඉතා විසිතුරු රජ මාලිගාවක් කෝට්ටේ ඉදිව තිබූ බව සිතිය හැක.

කෝට්ටේ සමයේදී නිකුත් කළ සන්නස් අතරින් 6 වැනි පරාක‍්‍රමබාහු රජතුමාගේ මහ සමන් දේවාල සන්නසෙහිත් 8 වැනි පරාක‍්‍රමබාහු රජුගේ කුඩුමිරිස්ස සෙල් ලිපියෙහිත් රජ මාලිගය වර්ණනා කොට ඇත්තේ

-ජයවර්ධනපුර පුරවරයෙහි සුමංගල ප‍්‍රාසාදිමුඛ චිත‍්‍ර මණ්ඩපයෙහි සිංහාසනයෙහි සිරි නිවාස සහ වොටුනු සිව්සැට බරණින් සැදී යුවරජ ඇමැති ගණා පිරිවරා දේවේන්ද්‍ර ලීලාවෙන් වැඩහිඳ” යනුවෙනි.

කෝට්ටේ නගරය තුළ කවර ස්ථානයක රජ මාලිගාව පිහිටා තිබුණේ දැයි කිව නොහැකි වුවත් දැනට ඇතුල් කෝට්ටේ පැරකුම්බා පිරිවෙනට නුදුරින් වූ ඇතුල්කෝට්ටේ සුසාන භූමිය යාබදව මාලිගාව තිබූ බව අනුමානාත්මකව හඳුනාගෙන ඇත. එය වර්තමානයේ මාලිගාවත්ත යනුවෙන් හඳුන්වනු ලැබේ. එහෙත් මාලිගාවට අයත් කිසිදු පුරා විද්‍යාත්මක සාධකයක් මෙම භූමියෙහි ඉතිරි වී නැත.

මෙම භූමියෙන් සොයා ගත් වස්තු ගණනාවක් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඒවා අතර අඩිතාලම් ගලක්, ජනෙල් පඩි කඳක්, හුණු ගලින් කළ කණුවක්, කැටයම් කළ දොර උලූවසු කොටසක් හුණුගල් ජනෙල් පඩියක්, ශෛලමය මකර හිසක්, ඍජුකෝණාශ‍්‍ර ගල් කුළුණක් හා උළු කැට ආදිය වේ.

කෝට්ටේ පැරණි බලකොටුව තුළ මෙන්ම ඉන් පිටත පිහිටි ආගමික ගොඩනැගිලි අතර දළදා මාළිගය, කෝට්ටේ රජ මහා විහාරය විජයාරාම විහාරය සුනේත‍්‍රාදේවී පිරිවෙන ආදිය හඳුන්වා දිය හැකිය.

කෝට්ටේ දළදා මැදුර පිහිටියේ යැයි ප‍්‍රදේශවාසීන් කල්පනා කරනුයේ වර්තමාන ඇතුල් කෝට්ටේ සුසාන භූමිය පිහිටි භූමියෙහිය. නමුත් දැනට එහි එක් ගල් කණුවක් හැර දළදා මාළිගය තිබූ බවට වෙනත් කිසිදු සාධකයක් ඉතිරිව නැත. මීට ප‍්‍රධාන වශයෙන් බලපාන්නට ඇත්තේ 1909 පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් මුහන්දිරම් ජේ. පොන්සේකාගේ විනාශ කිරීම වීමට පුළුවන. පෙර සඳහන් කළ පරිදි එම පුද්ගලයා දළදා මාලිගයට අයත් යැයි අනුමාන කෙරෙන මෙහි තිබූ ගොඩනැගිල්ලෙහි අත්තිවාරම් ගල් පවා ගලවා එම ස්ථානයෙන් ඉවත් කොට ඇත.

සැළලිහිණියේ එන ආකාරයට කෝට්ටේ යුගයේ දී දළදා මැදුර මහල් තුනකින් යුතුව තිබූ බව පැහැදිලි වේ. මෙම සමය වන විට දළදා වහන්සේට රජවරුන් තුළ විශේෂ ගෞරවයක් තිබූ බැව් සංදේශ කාව්‍යවලින් පැහැදිලි වේ. මහා වංශයෙහි ද දළදා මාලිගාව පිළිබඳව තොරතුරු පහත අයුරින් ඉදිරිපත් කොට ඇත.
-ඒ මිහිපති තෙම මුනීන්ද්‍රයන් වහන්සේගේ දළදාව උදෙසා තුන් මහල් මනරම් වු රුචිර දර්ශන ඇති ප‍්‍රාසාදයක් කරවා නවරත්නයෙන් මනාකොට බඳනා ලද රන් කරඬුවක්ද හෙද ඇතුල් කොට රන් කරඬුවක්ද කළේය. අතුල්‍ය වූ මහත් උතුම් කරඬුවක් ද කොට උතුම් කාන්තිමත් ස්වර්ණයෙන් ලේප කොට භව සුව හා නිවන් සුව පතන්නා වූ ඒ රජ තෙමේ ඒ උතුම් කරඬු සතරෙහි දළදාව වැඩුයේය”

බැද්දගාන වෙහෙර කන්ද පිහිටියේ පැරණි කෝට්ටේ බලකොටු සීමාවෙන් මදක් බැහැරිනි. වර්තමානයේ ඊට අක්කර 2 යි රූඞ් 2 ක පමණ භූමියක් වෙන්ව ඇත. මෙම භූමිය 1948x12x19 දින පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගෙන ඇත. 1949 වර්ෂයේදී සෙනරත් පරණවිතාන මහතා විසින් මෙම ස්ථානය කැණීමට බඳුන් කරන ලද අතර එහිදී ඔහුට කුඩා ප‍්‍රමාණයේ පැරණි දාගැබ් දෙකක සාධක අනාවරණය කර ගැනීමට හැකි විය.

කෝට්ටේ රජ මහා විහාරය වර්තමාන පිටකෝට්ටේ මං සන්ධියට නුදුරින් පිහිටා ඇත. එසේම එය පැරණි බලකොටු සීමාවට පිටතින් වූයේය. 18 වැනි සියවසේ ලියන ලද නම්පොතෙහි ජයවර්ධනපුර කෝට්ටේ ෂන්මුඛ දේවාලය හා ඔත් පිළිමගෙය යනුවෙන් සඳහන්ව ඇත්තේ මෙම විහාරය යැයි විශ්වාස කෙරේ. ඒ අනුව 18 වැනි සියවස පමණ වන විටත් මෙම විහාරය බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත්ව තිබී ඇත.

බොහෝ උගතුන්ගේ විශ්වාසය වන්නේ මෙය 6 වැනි පරාක‍්‍රමබාහු විසින් කරවන ලද්දක් බවය. ෂන්මුඛ දේවාලය පිහිටි ස්ථානය යැයි අනුමාන කරන ඉදිකිරීමක් කෝට්ටේ රජමහා විහාරයෙහි බුද්ධ ප‍්‍රතිමා ගෘහයේ ඉදිරිපස පවතී. ඊට අයත් බව සිතන ගල් කණු කිහිපයක්ද එම භූමියෙහිම තිබේ. මේ විහාර භූමිය අද කුඩා බිම් කොටසකට සීමා වී තිබුණ ද අතීතයේදී එය විශාල ප‍්‍රදේශයක පැතිර තිබූ බවට සාක්ෂි ඇත.

මෙම විහාරස්ථානයේ පැවැති පැරණි දාගැබ 1909 වර්ෂය වන විටත් බලවත් ලෙස විනාශයට ගොස් තිබූ බව එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල්ගේ පාලන වාර්තාවෙන් පැහැදිලි වේ.

දැනට විහාරස්ථානයේ ඇති බුද්ධ ප‍්‍රතිමා ගෘහය විහාර භූමියේ ඇති උසස්ම පූජනීය හා කලාත්මක වාස්තු විද්‍යාත්මක අංගයයි. මෙය පිලානේ බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය මලිගස්පේ මංගල ස්වාමීන් වහන්සේ විසින් ගොඩනගන ලද්දකි. විහාර ගෘහයේ වැඩ අවසන් කළ බව විශ්වාස කරනුයේ 1880 දී පමණය. 18 වැනි සියවසේ පහතරට විහාරස්ථානවල අඳින ලද සිතුවම් අතර ඉතා උසස් මට්ටමේ සිතුවම් මෙම විහාර ගෘහයෙහි දැකගත හැකිය. දේවධර්ම ජාතකය, මණිචෝර, චුල්ලපදුම, ක්ෂාන්තිවාදී, චදිරංගාර, කට්ඨාරි, සාම, සිවි, සීලවනාග ආදී ජාතක කතා කිපයකට අයත් සිතුවම් අන්තරාලය කොටසෙහි චිත‍්‍රණය කොට ඇත.

මෙම විහාරස්ථානයේ ඇති නා බෝධිය ද ප‍්‍රදේශයේ ජනතාවගේ මහත් ගෞරවාදරයට ලක්වූ එකකි. විහාරස්ථානයකට අයත් බෝධිය ප‍්‍රධාන ප‍්‍රවේශ දොරටුවට මීටර් 200 පමණ දුරින් හුදකලාව පිහිටා ඇත.

විහාරස්ථානයට නුදුරින් පිහිටා ඇති ආනන්ද ශාස්ත‍්‍රාලය භූමියෙහිද කෝට්ටේ සමයේ ඉදි කළ ගොඩනැගිලිවල සාධක සුළු වශයෙන් දැකගත හැකිය. මෙම පාසලෙහි ප‍්‍රධාන ප‍්‍රවේශ දොරටුවට වම් පසින් කබොක් ගලින් බඳින ලද පැරණි ගොඩනැගිලි පාදමක් දක්නට ඇත. මෙය කෝට්ටේ සමයෙහි භික්ෂූන් වහන්සේලා පොහෝ පවුරුණු කිරීම සඳහා භාවිත පොහොය ගෙය යයි අනුමානයක් පවතී. මෙය ඉතා අලංකාර ලෙස එකල ඉදි කොට තිබූ බව සංදේශ කාව්‍ය වල එන කවි වලින් පැහැදිලිවේ.
 
බැද්දගාන වෙහෙරකඩ ස්ථූප


විජයරාම විහාරස්ථානය කෝට්ටේ පැරණි බලකොටුව මදක් බැහැරින් ඊට දකුණු දිශාවෙන් පිහිටියේය. කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ නුගේගොඩ හා මහරගම නගර අතර විජයාරාම හන්දියෙන් මීටර් 200 පමණ උඩහමුල්ල මාර්ගය පසෙක මෙම විහාරය පිහිටා ඇත. අක්කර 8 ක භූමි ප‍්‍රදේශයක් වර්තමානයෙහි මෙම විහාරස්ථානයට අයත් වේ. ජන ව්‍යවහාරයෙහි සඳහන් වන පරිදි විජයාරාම විහාරය කෝට්ටේ රජ කළ 7 වැනි විජයබාහු රජු විසින් ගොඩ නගන ලද්දකි.

එහි කැටයම් සහිත පැරණි ගල් උළුවස්සේ කොටසත්, ගල් කණු කබොක් ගල් නිර්මාණ ආදී බොහෝමයක් එම යුගයට අයත් වේ. මෙම උලූවස්සේ දැනට ඉතිරිව ඇත්තේ උඩ බාල්ක කඳ පමණි. ග‍්‍රැනයිට් ගලින් නිමි මෙය අඩි 4 යි අඟල් 8 ක් දිග වන අතර උලූවසු කඳේ ගණකම අඩි 1 යි අඟල් 4 කි.
මෙහි පිටදාරය වටා අලංකාර පළාපෙති මෝස්තරයකි. උඩලිපතේ හරි මැදින් අලංකාර කිහිඹි මුහුණකි. එම මුඛය තුළින් දෙපසට විහිදෙන මකරුන් දෙදෙනෙකි. උන්ගේ මුඛවලින්ද දෙපසට අලංකාර ලියවැල බැගින් විහිදේ. මකරුන් දෙදෙනාට මැදිව පෙති 8 කින් යුතු නෙලූම් මලකි. මෙම නිර්මාණ කෝට්ටේ යුගය නියෝජනය කරන දුර්ලභ වුත් අතිශය කලාත්මක වූත් නිර්මාණයක් ලෙස හැඳින්විය හැකිය. මෙය ආරක්ෂා කර ගැනීම අපගේ කාලීන වගකීමක් වන බව සඳහන් කළ යුතුය. මෙම විහාරය කෝට්ටේ රාජධානිය සිංහල පාලනයෙන් ගිලිහීයාමත් සමග පෘතුගීසි හා ලන්දේසීන්ගේ කොල්ලකෑමට හා විනාශ කිරීම් වලට ලක්වන්නට ඇත.

පැපිළියාන සුනේත‍්‍රාදේවී රජමහා විහාර භූමියෙහි හා සුනේත‍්‍රාදේවී පිරිවෙන් භූමියෙහි කෝට්ටේ සමයට අයත් වන ගල් කණු උළුවහු කඳන් වෙනත් ගල් කුට්ටි සහ කබොක් ගල් තැන් තැන්වල විසිර පවතින අතර මේවා අතීතයේදී ගොඩනැගිලි ඉදි කිරීම සඳහා භාවිතා කරන ලද ඒවා වේ. කෝට්ටේ අවසාන සමයෙහි ඇතිවු පෘතුගීසි ලන්දේසි ප‍්‍රහාර වලින් මේවා විනාශ විය. සුනේත‍්‍රාදේවී රජ මහා විහාර භූමියෙහි ඇති 19 වැනි සියවසෙහි ඉදි කරන ලද විහාර ගෘහයේ ප‍්‍රතිමා මෙන්ම චිත‍්‍ර උසස් කලාත්මක අගයකින් යුක්තය. එහි ඇති සැතපෙන බුද්ධ ප‍්‍රතිමාව මෙම ප‍්‍රදේශයේ ඇති විශාලතම සැතපෙන පිළිමය ලෙස සැලකිය හැක.
සුභද්‍රාරාම අතුල රජ මහා විහාරය අවිස්සාවේල්ල මාර්ගයෙහි නුගේගොඩ හා දෙල්කඳ අතර ගම්සභා හන්දියට මීටර් 200 පමණ නුදුරින් පිහිටියේය. 18 වැනි සියවසේදී ලියැවුණු නම්පොතෙහි මෙය සුභද්‍රාරාමය යනුවෙන් හඳුන්වා ඇත. මෙම විහාරයේ ආරම්භය පිළිබඳව පැහැදිලි සාධක නැතත් ජනප‍්‍රවාදවලට අනුව 6 වැනි පරාක‍්‍රමබාහු රජුගේ සුභද්‍රා නම් බිසවකගේ නමින් කරවා ඇත. මෙම විහාරස්ථානයෙහි කෝට්ටේ හෝ මහනුවර යුගවල ඉදි කළ වාස්තු විද්‍යාත්මක ඉදිකිරීමක පැහැදිලි සාක්ෂි හමු නොවේ. මෙහි වර්තමාන විහාර භික්ෂු පරපුර 1840 දී පමණ ආරම්භ වූ බවට සාධක ඇත.

වෙනත් වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් යටතේ ආගමික නොවන කෝට්ටේ සමයේ දී ඉදි කළා යැයි විශ්වාස කෙරෙන උමග, ගල් අම්බලම සහ මෑත කාලයේ ඉදි කළ ජුබිලි කණුව ආදිය දැක්විය හැක.

ආනන්ද ශාස්ත‍්‍රාලය භූමියෙහි ප‍්‍රධාන ප‍්‍රවේශ දොරටුවට දකුණු පසින් පිහිටි කබොක් ගලක් පොළව මට්ටමේ සිට මැදින් කුට්ටියක් ඉතිරි වන සේ ඒ වටා අඩි 6 පමණ යටට කපා එහි නැගෙනහිර මුහුණත අඩි 3 ක් පමණ උස හා එපමණම පළල විවරයක් වන සේ පොළව යටට ගිලෙන උමගක ද්වාරය සකසා තිබේ. විවරයේ ඉහළ කෙළවර අර්ධ කවාකාර වන අතර එම විවරයට ඉහළින් වූ කබොක් ගල් කොටසෙහි සරල මකර තොරණක් කැටයම් කොට ඇත. එහෙත් දැන් මෙම මකර තොරණේ මූලික හැඩය මිස එහි සම්පූර්ණ ලක්ෂණ ඉතිරිවී නැත. ජනප‍්‍රවාදවලට අනුව මෙය අතීතයේදී කෝට්ටේ රජමාලිගය දක්වා පොළොව යටින් විහිදි තිබී ඇත.

මෙසේ සැලකිය යුතු ප‍්‍රමාණයක් කෝට්ටෙ ප‍්‍රදේශයේ පෞරාණික ස්මාරක තිබෙන අතර කෝට්ටේ සමය පිළිබඳ අධ්‍යනයේ දී කොළඹ සහ කෝට්ටේ කෞතුකාගාගාරවල ඇති පුරාවස්තු ද ඉතා වැදගත් වේ. කොළඹ කෞතුකාගාරයේ ගලින් කළ නිර්මාණ ගණනාවක්ම ඇත. එම කෞතුකාගාරයේ ඇති කෝට්ටේ හා තදාශ‍්‍රිත ප‍්‍රදේශ වලින් හමුවූ පුරාවස්තු පිළිබඳ වාර්තාවක් ඩග්ලස් රණසිංහ මහතා විසින් ඒ අසිරිමත් කෝට්ටේ නම් ග‍්‍රන්ථයෙහි ඉදිරිපත් කොට ඇත. මේ හැර කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය ඉතා වැදගත් තැනක් ගනී. මෙම කෞතුකාගාරය පිටකෝට්ටේ හා ඇතුල්කෝට්ටේ නගර අතර පිහිටුවා ඇත.

18, 19 සියවස්වල දී භාවිත ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අයත් වස්ත‍්‍ර මෙහි ප‍්‍රදර්ශනයට තබා ඇත. මේ හැර කෝට්ටේ සොහොන්වල තිබී හමු වූයේ යැයි කියන පෘතුගීසීන්ගේ රන්වන් කැරළි සහිත කෙස් වැටි කිහිපයක්ද වේ. මේ හැර කෝට්ටේ පැරකුම්භා පිරිවෙන් භූමියෙහිද කෝට්ටේ සමයට අයත් ශිලාමය නිර්මාණ කීපයක්ද දැකගත හැකිය.

ජුබිලි කණුව නුගේගොඩ කෝට්ටේ සහ මිරිහාන යන මාර්ග එකිනෙකට සම්බන්ධ වන තුන්මං හන්දියක පිහිටා ඇත. වර්තමානයේ මෙම මංසන්ධිය ජුබිලි කණුව හන්දිය නමින් ප‍්‍රසිද්ධව ඇත. 1837 සිට බි‍්‍රතාන්‍යයේ මහ රැුජින ලෙස කටයුතු කළ වික්ටෝරියා රාජිණියගේ රාජ්‍ය පාද ප‍්‍රාප්තිය සිදුවී වසර 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 1887 දී ලංකාවෙහි විවිධ ප‍්‍රදේශවල උත්සව පවත්වා ඇත. එම ජුබිලිය සමරණ විශේෂ උත්සවයක් මෙම ස්ථානයෙහිද තිබී ඇති අතර එය සිහිකරනු පිණිස අඩි 5 ක් පමණ උස ගල් කණුවක් එහි සිටුවා ඇත. මෙම ගල් කණුවේ ඉංග‍්‍රීසි සහ සිංහල භාෂාවෙන් එම තොරතුරු වාර්තා කොට තිබෙන අතර එම සමරු ස්ථම්භය පිහිටුවීම සඳහා මූලිකත්වය ගත්තවුන්ගේ නම් පෙළක්ද සඳහන්වේ. ඒ අතර ඉංග‍්‍රීසි සහ සිංහල ජාතිකයන්ගේ නම් වෙයි. මෙම ගල් කුළුණ දැනට එම මංසන්ධියෙහි ආරක්ෂිතව පවතී.

මෙම තොරතුරු සපයා දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට සහ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ ආචාර්ය බණ්ඩාරගම සුනන්ද එරංග මහතාට විශේෂ ස්තුතිය.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය