Powered by Blogger.

අන්ත්‍ර හා ආමාශයික විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන
“ඉසිවර වරුණ” විශේෂාංගයට අද අප කැඳවාගත් විශේෂඥ වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තියට පමණක් නොව, ගීත ගායනයට ගීත රචනයට, කෙටිකතා රචනයට මෙන් ම ක්‍රිකට් ක්‍රීඩාවට ද එකසේ දස්කම් පෙන්වන වෛද්‍යවරයෙකි; ඉතා සංවේදී කලාකාමී හදවතක් ඇති පුද්ගලයෙකි. ඔහු කොළඹ ජාතික රෝහලේ අන්ත්‍ර සහ ආමාශයික රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන මහතාය. වෛද්‍යවරයකු ලෙස මෙතෙක් තමන් ආ මඟ පිළිබඳවත් තමා සතු වෙනත් හැකියාවන් පිළිබඳවත් රනිල් ජයසේන වෛද්‍ය තුමන් රසඳුන වෙත අදහස් පළකළේ මෙසේය.
පාසල් යන කාලයේදී බාහිර ක්‍රියාකාරකම් සෑම දේකම නිරත වුණා. පුංචි කාලෙ ඉඳල මට තිබුණු හැඟීමක් තමයි කිසියම් පුද්ගලයකුට විශේෂ යමක් කිරීමේ හැකියාවක් තියෙනව නම්, මටත් ඒ දේ කරන්න හැකියාව තිබෙන බව. ඒ නිසා මම සෑම දෙයක් ම කරන්න පෙලඹුණා. “ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියන අදහස මම විශ්වාස නොකළ කෙනෙක්. මොන දේ කරන්න ගියත් ඉතාම ඉහළින් ඒ දේ කිරීමේ හැකියාව වාසනාව මට තියෙනවා. මම හිතන විදියට කෙනෙකුට උනන්දුවත් කැපවීමත් තියෙන නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලයි.
මම පොඩි කාලෙ දවසක් තාත්ත නවකතාවක් කියවමින් සිටින විට මට සිතුනා කවුරු හරි කෙනෙක් ඒ පොත ලියල තියෙනවනෙ. ඒ වගෙ පොතක් ලියන්න මටත් බැරි වෙන එකක් නැහැ කියලා. ඒ සිතිවිල්ලෙන් මම මගේ පළමු පොත ලිව්වා. ඒ ලිව්වෙ ඒ වෙන‍කොට මම ලබල තිබුණු ජීවන අත්දැකීම්. එතකොට මට වයස අවුරුදු 10 ක් විතර ඇති.
මම පුංචි කාලෙ අපි හරිම අමාරුවෙන් ජීවත්වුණු කාල තිබුණා. ඒ කාලෙ අපිට තිබුණු ප්‍රශ්නත් එක්ක මම අද මේ තැනට ඇවිත් ඉන්න එක ගැන මටම පුදුම හිතෙනවා.
පුංචි කාලෙ මගෙ ආශාව තිබුණේ රියැදුරෙක් වෙන්න. මම හරිම ආසයි වාහනවලට. තරමක් ලොකු වෙනකොට පයිලට් කෙනෙක් වෙන්න ආශා කළා. කොහොම හරි උසස් පෙළ කරන්න ගත්තට පස්සෙ වෛද්‍යවරයෙක් වෙන්න මම තීරණය කළා. කරන දේට කැපවෙලා උනන්දුවෙන් කිරීමේ ලක්ෂණයක් මට පොඩි කාලෙ ඉඳලම තිබුණු එකක්.”
“පුංචි කලෙ ඉඳලම මම සංගීතයට හරිම ආශාවෙන් සිටි කෙනෙක්. කලක් අපි නිවාස සංකීරණයක ජීවත් වුණා. ඒ කාලෙ අපට රේඩියෝ එකක් තිබුණේ නෑ. අපේ ගේ ළඟ ගෙදරක සෙට් කරල තිබුණා “ඉඩිෆියුෂන්” යන්ත්‍රයක්. ඒක තමයි ගුවන් විදුලි යන්ත්‍රය. එයින් ප්‍රචාරය වන ගුවන් විදුලි වැඩසටහන් අහන්න මම පුරුදුවෙලා සිටියා. මම වැඩියෙන් ම කැමති මිල්ටන් මල්ලවආරච්චි, සනත් නන්දසිරි මහත්වරුන්ගේ ගීතවලට. පුංචි කාලෙ පාසලේදිත් මම ගයන්නේ එයාලගෙ ගීත. අපේ තාත්තත් සංගීතයට හරිම ආසයි. මාසෙකට දවසක් අපේ ගෙදර සාජ්ජේ දානව. එතැනදි මමත් සින්දු කියනවා. ඒ ගීත ඇසෙන විට මටත් හිතුණා ගීතයක් ලියන්න මට පුළුවන්ද කියලා. උත්සාහ කරලා ගීත කීපයක් ලිව්වා.
ඊට ටික කා‍ෙලකට පසුව ගුවන්විදුලියේ ගීත රචනා තරගයට මම ගීත රචනා කීපයක්ම යොමු කළා. එම තරගයේ දෙවැනි තැනට තේරුණේ ම‍ෙග් ගීතයක්. ඒ ගීතය කීප වරක් ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුණා. හැබැයි මම අදටත් දන්නේ නෑ ඒ ගීතය ගයන්නේ කවුද කියලා. මුල් කාලයේ පුෂ්පමාලා රණතුංග, සුනිල් නවරත්න වැනි ගායක ගායිකාවන් මගේ ගීත රචනා ගායනා කළා. පසුකාලීනව ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක්ම මගේ ගීත රචනා ගායනා කළා. සනත් අබේසේකරගේ “භාග්‍යා” ටෙලිනාට්‍යයේ තේමා ගීතය රචනා කළේ මම. එය ගායනා කළේ මමයි ම‍ගේ බිරිය මාදිනීයි. මිල්ටන් මල්ලවාරච්චි මහතා ඔහුගේ “සයු‍රු තෙරේ” කැසට් පටයෙන් පසුව නිකුත් කළ සෑම ගීත එකතුවකටම මගේ ගීත රචනයක් එකතු කර ගත්තා. අදත් මම කවුරුහරි ගීතයක් ලියා දෙන්න කිව්වොත් එය කරල දෙනවා. ඒ මුදල් බලාපොරොත්තුවෙන් එහෙම නෙමේ.”
“බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ කෙටිකතා කීපයක්ම ලියන්න මට හැකිවුණා. ඒ එක කෙටිකතාවකින් කියැවුණේ ගමේ පාසලක ඉගෙනගෙන ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා නගරයේ ලොකු පාසලකට ආව ශිෂ්‍යයන් ගැන. මම ඒ දවස්වල නැවතිලා සිටියේ පාසල් නේවාසිකාගාරයේ. ඒ කෙටිකතාව ලිව්වේ මගේ අත්දැකීම් එක්ක. ඒ දවස්වල අපේ පාසල් නේවසිකාගාරයට විදුලිය තිබුණේ නෑ. මගේ කෙටිකතාවේ එන කතාවට මම විදුලිය නොමැතිකමින් පාසල් නේවාසිකාගාරයක සිටින දරුවන් විඳින පහසුතාවය ඇතුළත් කළා. මේ කෙටිකතාව 1969 දී රසකතා පත්තරේ පළවුණා. ඒක පළවුණු දාට පසුවදා ප්‍රින්සිපල් සර් මාව කාමරයට ගෙන්නල කෙටිකතාව මට කියවන්න කිව්ව.
මම හිතුව ලයිට් නැති කතාව නිසා මට බණීවි කියල. ඒත් එහෙම කළේ නෑ. විදුහල්පතිතුමා මට ප්‍රශංසා කරල පාසලේ රැස්වීමක් තියල ම‍ෙග් හැකියාව අගය කළා. ඊට දවස් කීපයකට පසුව පාසල් නේවාසිකාගාරයට විදුලිය ලැබුණා. ඉන්පසුව අපේ පාසලේ ලොකු අයියල “මල්ලි මේ කාරණයත් ඇතුළත් කරල කෙටිකතාවක් ලියන්න බැරිද” කියල මට විවිධ දේවල් කිව්ව. බදුල්ල මහා විද්‍යාලයේ ඉගෙනගන්න කාලේ මගේ පාසල් මිතුරකුගේ අයියා කෙනෙකුගේ සංගීත කණ්ඩායමට එකතුවෙලා සින්දු කිව්වා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ ගාන්ධර්ව සභාවට සම්බන්ධ වෙලා ගීත ගායනා කළා.”
“මගේ බිරිය මාදනී මට යෝජනා කළේ මගේ අම්මා. මගේ අම්මත් මාදනීගේ අම්මත් දන්න හඳුනන අය. මම බලා‍ෙපාරොත්තු වුණු ගතිගුණ මාදනීට තිබුණු නිසා අපි විවාහ වුණා. ඇය ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවය කළත් විවාහයෙන් පසුව රැකියාවට යනවට මම කැමැති වු‍ෙණ් නෑ. අපිට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතා ඉංජිනේරු විද්‍යාවත්, දෙවැනි පුතා වෛද්‍ය විද්‍යාවත් ඉගෙනගන්නවා. දුවත් ළඟදී වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙනවා.”
“මාදනීට හොඳ ගායන හැකියාවක් තිබෙනවා. ම‍ෙග් දුවත් හොඳ ගායන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මම ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරන කාලයේ මිල්ටන් මල්ලවආරච්චි ගායන ශිල්පියාව රෝහලට ගෙනාව ගොඩාක් අමාරු වෙලා. බේරගන්න බැරි වේවිද කියලත් අපිට හිතුණා. කොහොම හරි මිල්ටන් මල්ලවආරච්චි හොඳට සුවය ලැබුණා. එහිදී මමත් මිල්ටනුත් හරිම මිත්‍රශීලී වුණා. ඒ අනුවයි මිල්ටන් මගේ ගීත ගයන්න පටන්ගත්තේ.
ටික කාලෙකට පසුව මිල්ටන් මටත් මාදනීටත් යෝජනා කළා අපේ ගායන පැත්ත දියුණු කරගන්න. මිල්ටන්ගේ මඟපෙන්වීම මතයි මමත් මාදනීත් මහාචාර්ය සනත් නන්දසිරි මහතා හමුවුණේ. එතුමාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත අපි දෙන්නා ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වුණා. එහිදී මමත් මාදනීත් ‘බී’ ශ්‍රේණියේ ගායකයෙක් සහ ගායිකාවක් ලෙස තේරුණා. ඉන්පසුව මගේත් මාදනීගේත් ගීත එකතුවක් එළිදැක්වූවා. ලංකාවේ ප්‍රවීණ සංගීතඥයින් ඒ සඳහා දායක වුණා. ඉන්පසුව මම රචනා කළ ලංකාවේ ප්‍රවීණ ගායක ගායිකාවන් ගායනා කළ ගීත ඇතුළත් සංයුක්ත තැටියක් නිකුත් කළා. ඒ වගේම ‘දෙමංසල’ නමින් ගීත රචනා පොතක් ද එළිදැක්වූවා. ඊට අමතරව මෑතකදී “නැවතුණු හදවත්” නමින් කෙටිකතා සංග්‍රහයක් ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් මම ඉදිරිපත් කළා. මීට කලකට පෙර මමත් මගේ බිරියත්, දියණියත් ගීත ගායනා කළ ‘සුසුදු සරා සඳ’ නමින් ප්‍රසංගයක් කරන්නත් ගීත එකතුවක් කරන්නත් අපිට හැකිවුණා.”
“මොන දේ කළත් මම මගේ ජීවිතයේ මූලිකම තැන දෙන්නේ මගේ වෛද්‍ය වෘත්තියට. මේක මහ විශාල වගකීම් සහිත වෘත්තියක්. රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් මම මහ විශාල සතුටක් ලබනවා. මරණාසන්නව රෝහලට ගෙන එන රෝගියකුට ශල්‍යකර්මයක් කරල ඒ පුද්ගලයාගේ ජීවිතය බේරුණාම මට දැනෙන්නේ විශාල සතුටක්. රෝගියා සනීප වුණාම එම පුද්ගලයාගේ ඥාතීන් විඳින සතුට දකින විට අපිටත් විශාල ආත්ම තෘප්තියක් දැනෙනවා. ඒක වචනවලින් කියන්න බැහැ. මම හොඳින්ම දන්නවා කිසිම වෛද්‍යවරයෙක් කිසිම රෝගියකුට අවැඩක් නොකරන බව. හදිසියේ අතපසුවීමක් සිදුවුණත් ඒක සිතාමතා කරන දෙයක් නෙමෙයි. මේ බව රෝගීන් අවබෝධ කරගත යුතුයි.”

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය