Powered by Blogger.


අති පූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේ පිළිබඳ 103 වැනි ගුණ සමරු උළෙල 2014 අප්‍රේල් මස 29 වැනි අඟහරුවාදා පස්‌වරු 3.00 ට මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙනේදී පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

විෙද්‍යාදය පිරිවෙනේ ආදි ශිෂ්‍ය සංගමයේ කාරක සභික
ශාස්‌ත්‍රපති පණ්‌ඩිත
අරම ශ්‍රී ධම්මතිලක නාහිමි

"මහ සඟ පරපුර - විනය හැදැරූ

හික්‌කඩුවේ සිරි සුමඟුල් නාහිමි

විදුදය පිරිවෙන - හිමි ගුණ මුහුදකි

දැය ම පහන් කළ මහ මිණි පහනකි


භාෂා සාහිත්‍යය හා ආගමික ප්‍රගමනයට ඉවහල් වන මහා පඬුවන් කාලය විසින් නිර්මාණය කරනු ලැබේ. අද්‍යතන අවධිය මෙන් නොව 19 වැනි සියවසේ දෙවැනි භාගය යනු භාෂා සාහිත්‍යය හා ආගමික අතින් එතරම් ප්‍රබෝධයක්‌ ලත් වකවානුවක්‌ නොවේ. එසේ වුවද මේ අංශවල ප්‍රගතියට ප්‍රගමනයට බලපාන මහා පඬුවාණ කෙනෙක්‌ එකල පහළ විය. ඒ අන් කිසිවෙක්‌ නොව හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් ය.

කොළඹ මාලිගාකන්දේ විෙද්‍යාදය පිරිවෙන කොතැනද එතැන හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ය. මේ නම් දෙක වෙන් කිරීමට කිසිවකුට නුපුළුවන. භාෂා හා විෂය ඥනයෙන් සමලංකෘත සමාජයක්‌ බිහි කිරීමට මහා ශාස්‌ත්‍ර ශාලාවක්‌ හෙවත් තක්‌සලාවක්‌ උන්වහන්සේ නිර්මාණය කළහ. ඒ බව උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයා වූ යගිරල පඤ්Æනන්ද මාහිමියන් ස්‌වකීය ශ්‍රී සුමංගල චරිතයේ ප්‍රථම භාගයේ මෙසේ සඳහන් කරයි.

ඈත පිටිසර පෙදෙසක ජලය කොළඹට ගෙනවුත් මහා ජනතාවට දෙවා ඔවුන්ගේ පිපාසා සංසිඳුවන බාහිර පවිත්‍රභාවය ඇති කිරීමට මූලිකස්‌ථානය ලෙස මාලිගාකන්ද තෝරා ගත්තේ සර් විලියම් හැන්රි ග්‍රැගරි ආණ්‌ඩුකාරතුමාය. ස්‌වදේශීය විදේශීය ධර්ම ශාස්‌ත්‍රාභිලාෂීන්ගේ ධර්ම ශාස්‌ත්‍ර පිපාසා සංසිඳුවා බාහිර අභ්‍යන්තර පවිත්‍රතාවය ඇති කිරීමට මූලස්‌ථානය ලෙස මාලිගාකන්ද තෝරා ගන්නා ලද්දේ ශ්‍රී සුමංගල නාහිමියන් විසිනි. ග්‍රැගරි ආණ්‌ඩුකාරතුමා එකල අඳුරු පුරයක්‌ව පැවැති කොළඹ නගරය ගෑස්‌ ආලෝකයෙන් එළිය කරන්නට පටන් ගත්තේය. ශ්‍රී සුමංගල නායක හිමියෝ ලංකාව ධර්ම ශාස්‌ත්‍රාලෝකයෙන් බබළවනු පිණිස විදුදය පිරිවෙන පටන් ගත් සේක.

ග්‍රන්ථකරණය

මාහිමියන් පොත් රචනා කරන්නට යොමු වූයේ ඉගෙන ගන්නා අවධියේ පටන් ය. ප්‍රථම ග්‍රන්ථය වූයේ බ්‍රාහ්මණ ධර්මය හෙවත් අනුශාසනා සංග්‍රහයයි. හින්දු හා ජෛන පඬිවරුන් රචනා කළ නොයෙක්‌ ශ්ලෝකවලින් හින්දු ධර්මයට හා ජෛන ධර්මයට අයත් අදහස්‌ අන්තර්ගත ශ්ලෝක අතහැර බුදුසමයට විරුද්ධ නැති ශ්ලෝක පමණක්‌ ගෙන මෙය සිංහල පද්‍යයට නඟන ලදී.

සුමංගල මාහිමියන් හික්‌කඩුවේ වාසය කරන සමයේදී 'මාසර්තු' ලක්‌ෂණ නමැති ග්‍රන්ථය කරන ලදී. පක්‌ෂ, මාස, සෘතු ලක්‌ෂණ මැනවින් දැනගැනීමට මේ ග්‍රන්ථය අතිශයින්ම ඉවහල් වේ. මෙය වඩාත් ප්‍රයෝජනවත් වූයේ එවකට 'අධිමාසවාදය' පැවැති සමය නිසාය. පක්‌ෂ මාසාදිය හොඳින් පසක්‌කොට ගෙන පොහොය කිරීම්, වස්‌ විසීම්, පවාරණය කිරීම් ආදිය සැලකිය හැකි තවත් ග්‍රන්ථයකි. වණ්‌න රීතිය, සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්නා අයට මේ ග්‍රන්ථය ඉතාමත්ම ප්‍රයෝජනවත් වූවකි.

වර්ණවත් ඉතිහාසයක්‌

සිංහලයන්ට මෙතරම් අනර්ඝතම වර්ණවත් ඉතිහාසයක්‌ තිබෙන බව දැනගන්නට ලැබුණේ මහාවංසය සිංහලයට නැඟීමෙන් අනතුරුවය. පාලි මහාවංසය ලියූ මහානාම ධම්මකීර්ති ශ්‍රී සිද්ධාර්ථ පඬිවරුන් සිදුකළ මෙහෙවර තවත් වර්ණවත් කළේ ද සුමංගල මාහිමියන්ය. එහි පවත්නා ඌනතා අකාමකා පිරිසිදු මහාවංසයක්‌ අපට දායාද කළේ මෙම හිමිපාණෝය.

සිදතට සන්නයක්‌

සිදත් සඟරාවට සන්නයක්‌ ලිවීම ද මාහිමියන් අතින් සිදු වූ තවත් මෙහෙවරකි. සිදත් සඟරාව පරිශීලනය කළ ද එහි අන්තර්ගතයේ පවත්නා සුවිශේෂිත්වය පිළිබඳ සවිස්‌තරයක්‌ එතෙක්‌ නොතිබිණි. මෙය මහත් ඌනතාවකි.

මේ භාරදූර කාර්යයට ද මාහිමියන් අතගැසුවේය. පසුකාලීනව සිදතට සන්න ලියෑවුණ ද ඒ අය ගුරු කොට ගත්තේ මාහිමියන් ලියූ සන්නයයි. 'බාලාවතාරය' යනු පාලි ඉගෙන ගන්නවුන්ගේ ප්‍රධාන ව්‍යාකරණ ග්‍රන්ථයයි. බාලාවතාර සන්න අතුරෙන් ඉතාම හොඳ සන්නය යෑයි සැලකෙන 'ගඩලාදෙණියේ සන්නයේ' සමහර තැන් තේරුම් ගැනීම ඉතාම අමාරුය. රාහුල සංඝරාජ මාහිමියන්ගේ ග්‍රන්ථගත ඥනය කෙබඳුද යන්න තක්‌සේරු කරන්නට 'පංචිකාප්‍රදීපය' උපයෝගී වන්නේ යම් සේද ශ්‍රී සුමංගල මාහිමියන්ගේ භාෂා පරිචය ප්‍රාගුණ්‍යය උකහා ගැනීමට සුබෝධිනී නම් වූ බාලාවතාර ටීකාව පරිශීලනය කළ යුතුමය.

බද්ධාබද්ධ සීමා සම්බන්ධයෙන් පැහැදිලි දැක්‌මක්‌ ඇතැම් භික්‌ෂූන්ට නොමැති හෙයින් නොයෙක්‌ වාද - විවාද ඇති විය. මේ තත්ත්වය දුටු මාහිමියන් කාණ්‌ඩ ත්‍රිකයකින් සමන්විත සීමා විභාගය සම්පාදනය කළේය. මෙය ද මාහිමියන්ගේ ප්‍රශස්‌ත ග්‍රන්ථයකි.

සමය සඟරාව

ග්‍රන්ථ සම්පාදනය මෙන් ම පුවත්පත් සඟරා සම්පාදනය ද උන්වහන්සේ අතින් සිදු වූහ. 1873 දී එළිදකින ලද සමය සඟරාව එහි තවත් ප්‍රතිඵලයකි. ධර්මය ප්‍රගුණ කර ගැනීමට බලපෑ ධර්මානුගත සඟරාවක්‌ ලෙස මෙය හැඳින්විය හැකිය.

සරසවි සඳරැස

කර්නල් ඕල්කොට්‌ තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද සරසවි සඳරැස පුවත්පතට නිමිත්ත වූයේත් සුමංගල මාහිමියන්ය. පරම විඥනාර්ථ බෞද්ධ සමිතිය විසින් 1882 දී ආරම්භ කරන ලද මේ පුවත්පත මගින් බෞද්ධ බලය ප්‍රකට කිරීම මූලික අභිප්‍රාය විය.

දුම්රියේ ගමන

දිනක්‌ මාහිමියන් මහනුවර මල්වතු මහා විහාරයට යැම සඳහා පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක්‌ ගෙන දුම්රියට ගොඩවිය. වතුකරයේ සුදු මහත්වරු දෙදෙනෙක්‌ ද එම මැදිරියේ උන්හ. අධිමමංකාරයෙන් උපයුක්‌ත වූ මේ සුදු ජාතිකයන් දෙදෙනා තමන් ගමන් ගන්නා මැදිරියේ මාහිමියන් ගමන් ගැනීම පිළිකුල් කළහ. බුලත් හපමින් සිටි මාහිමියන් තුන්වැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයකින් පළමුවැනි පන්තියේ දුම්රිය මැදිරියේ ගමන් කරන්නේ වංචා සහගත ලෙස යෑයි සිතා මෙය දුම්රිය නිලධාරීන්ට අල්ලා දිය යුතු යෑයි ඉංග්‍රීසියෙන් සුදු ජාතිකයන් දෙදෙනා කතාබහ කරන අයුරු මාහිමියන් මැනවින් දැන සිටියේය. කිසිවක්‌ නොදන්නා සේ සිටි මාහිමියන්ට දෛවෝපගත සිද්ධියක්‌ මෙහිදී සිදු විය.

කොළඹ - මහනුවර දුම්රිය පොල්ගහවෙලදී මාරුවන අවස්‌ථාවේදී මාහිමියන් වැඩසිටි දුම්රිය මැදිරියට සමගාමීව කොළඹ බලා ගමන්ගත් විශේෂ රිය මැදිරියේ සිටි සර් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් ආණ්‌ඩුකාරවරයා මාහිමියන් දැක වහාම නැඟිට එම මැදිරියට පැමිණ දැඩි මිතුරකු වූ හෙයින් දෙදෙනා ඉංගී්‍රසියෙන් කතා බහ කරන්නට වූහ. විනාඩි 11 ක්‌ ඒ වෙනුවෙන් දුම්රිය පමා කරන්නට වූ අතර ඉන් අනතුරුව ආණ්‌ඩුකාරයා කොළඹ බලා පිටත් විය.

මේ සිද්ධිය දුටු සුදු ජාතිකයන් දෙදෙනා මහත් පුදුමයටත්, තුෂ්ණිම්භූතවීත් මාහිමියන්ගෙන් සමාව ගත්හ. ඉතාම නිහතමානීව එය පිළිගෙන ශීලාචාර අන්දමින් හැසිරෙන්න කියා අවවාද දුන් ආකාරය ද තව දුරටත් එම වාර්තාවල සඳහන් වේ. මේ අවස්‌ථාවේදී සුදු ජාතිකයන් දෙදෙනාට ආචාරශීලීව හැසිරෙන ලෙස දිගු පුරෝකථනයක්‌ ඉංග්‍රීසියෙන් කරන ලදී.

වාද විවාද

හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ගේ වකවානුවේ 'අධිමාස වාදය', 'පාරුපන වාදය', 'පාණදුරා වාදය', 'සව්සත්දම් වාදය' ආදී වාද විවාද වලදී මුල් තැනක්‌ ගත්හ. අධිමාස වාදය නිසා බෙන්තර පාර්ශවය බේද භින්න වී සිටීම මාහිමියන්ට ගෝචර නොවීය. මේ සම්බන්ධයෙන් සියම් රටට යෑවූ ලිපිය මල්වත්තට ද එවන ලදී. ඒ අනුව මෙය සමථයකට පත් කරන ලද්දේ සුමංගල මාහිමියන්ය.

උභයාංශ වාදය ද විශේෂත්වයක්‌ ගනී, මේ වාදයේ දී අනෙක්‌ පක්‌ෂයේ ප්‍රබලයා වූයේ රත්මලානේ ධම්මාලෝක මාහිමියන්ය. මේ වාදය ද ඉතා උසස්‌ අන්දමින් ගෙන ගියහ. පොතුවිල බැදිගම බත්තරමුල්ලේ ආදී උගත් භික්‌ෂූන් ධම්මාලෝක මාහිමියන්ගේ පැත්ත ගත් අතර හෙයියන්තුඩුවේ දේවමිත්ත වලානේ ධම්මානන්ද මාහිමිවරු හික්‌කඩුවේ සුමංගල මාහිමියන්ගේ පැත්ත ගත්හ. මේ වාදයේ දී ඇනුම්-බැණුම් කිසිවක්‌ නොමැතිව ඉතා සංවරව වාදය පැවැත්විණි.

මේ කරුණු කාරණා සැලකිල්ලට ගත් කල හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් යුගය විසින් නිර්මාණය කරන ලද යුග පුරුෂයෙක්‌ වශයෙන් හැඳින්වීම එතරම්ම නිවැරදිය. ඉතිහාසය දෙස බලන විට කාලය විසින් කාලයට ඇති වූ ප්‍රශ්න විසඳීමට යුග පුරුෂයන් බිහි කරනු ලැබේ. හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් ද එවන් ගණයට ගැනෙන යුග පුරුෂයෙකි.

මාහිමියන් අප අතරින් වියෝ වී වසර 103 ක්‌ ගත වුවද එම චින්තනය එදාට වඩා වලංගු වන්නේ අදටය. කාලත්‍රයටම එක සමාන ලෙස උපයෝගී වන සුමංගල චින්තනය සුභාෂිතය. භාවිතය සුගැඹුරුය. සර්වකාලීන වටිනාකමක්‌ ගැබ්වී ඇත. ඒ නිසාම සුමංගල මාහිමියන් විදුදය පුරා පමණක්‌ නොව දේශ දේශාන්තරවල පවා අමරණීය නාමයක්‌ ලෙස රැව්පිළිරැව් දෙයි. මෙයයි සමාජ සත්‍යය. භාෂා ශාස්‌ත්‍ර ඥානයේ මහිමය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය