Powered by Blogger.

සමනළ කන්ද ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසුණු ඉරේෂා රණසිංහ හුඟ දෙනෙක් හඳුනන්නේ අපි අපි වගේ ටෙලි නාට්‍යයේ හංස පැටියා නමිනුයි.
හැන්දෑව, ජීවිතේ ලස්සනයි, තුර්යා, යස ඉසුරු, සුදු හංසයෝ වගේ ජනප්‍රිය ටෙලි නාට්‍යවල ඇගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා. තූර්යා ටෙලි නාට්‍යයෙන් පස්සේ ඉරේෂාව පුංචි තිරයෙන් දකින්න ලැබුණේ නැහැ. ඒ ඇයි කියලා හොයලා බැලුවම දැනගන්න ලැබුණා පුංචි පුතෙකුගේ සුරතල් විඳිනවා කියලා. ඒ නිසා ඒ පුංචි පවු‍ලේ තොරතුරු වගේම ඇගේ අලුත් තොරතුරු සොයා බලන්න අපි ඇයව අපේ කතාබහට එකතු කරගත්තා. මේ ඉරේෂා ඇගේ තතු රිවිසරසියට කියූ ආකාරයයි.

ඉරේෂා කොහොමද අලුත් තොරතුරු?
පුංචි පවුල එක්ක සතුටින් දවස ගෙවනවා. වරදක් නැහැ. හොඳින් ඉන්නවා.

 ඉරේෂා දැන් පුතණුවන් දෙදෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ වැඩකටයුතු එක්ක කාර්යබහුල වෙලා ඇති නේද?
අපේ ලොකු පුතා ශයෝන් හංසජ වයස අවුරුදු හතරයි. පුංචි පුතා යයොන්. එයාගේ වයස මාස හතරයි. තවම පුංචියි. එයාගේ වැඩ එක්ක වගේම ලොකු පුතාගේ වැඩ එක්ක වෙනදට වඩා කාර්ය බහුලයි. කොහොම හරි මම තනියම ඒ අයගේ වැඩ කරගන්නවා. මගේ සැමියත් එයාගේ අම්මත් මට උදව් කරන නිසා පුංචි හරි සහනයක් දැනෙනවා. තනිකඩ ජීවිතේට වඩා මේ ජීවිතේ වගකීම් වැඩියි.

පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ නැහැ. මවකගේ වගකීමත් එක්ක රඟපෑමෙන් ඉවත් වෙලාද?
තුර්යා ටෙලි නාට්‍යයේ රඟපානකොට තමයි දෙවැනි පුතා ලැබුණේ. ඒ නිසා වෙනත් නිර්මාණ භාරගත්තේ නැහැ. පුතාට තවම මාස හතරයි. ඒ නිසා එයා ළඟින් ඉන්න ඕන. එයාගේ වැඩකටයුතු මගේ අතින්ම කරන්න ඕන. තව අවුරුද්දක් විතර ගියාට පස්සේ රඟපානවා. තවම රඟපෑමෙන් ඉවත් වෙනවා කියලා තීරණයක් අරගෙන නැහැ.

ඔබේ සැමියා චරිත මාධ්‍ය හා ගනුදෙනු කරන පුද්ගලයෙක්. ඔබේ රංගන කටයුතුවලට ඔහු සීමා මායිම් දාන්නේ නැද්ද?
මගේ සැමියා චරිත රුබේරු. ප්‍රවාහන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ‍ලේකම්. මාධ්‍ය එක්ක ගනුදෙනු කරන කෙනෙක් හැටියට එයාව සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම තමයි එයා මං ගැනත් මගේ රංගන කටයුතු ගැනත් හොඳ අවබෝධයකින් ඉන්නේ. මම විවාහ වුණාට පස්සේ රංගනයෙන් ඉවත් වෙනවා කියලා හිතුවා. ඒත් මගේ සැමියා එයට ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම තමයි එයාගේ පවු‍ලේ අයත් මගේ පවු‍ලේ අයත් නිතරම කියන්නේ පුළුවන් කාලයක් රඟපාන්න උදව් කරන්නම් කියලයි. පුංචි පුතා ඉපදුනාට පස්සේ ටික කාලයක් රඟපෑමෙන් ඉවත්වෙලා ඉන්න හිතුවත් චරිත හැම වෙලාවෙම කියනවා කැමැති නම් රඟපාන්න, ලැබෙන අවස්ථා මගහරවා ගන්න එපා කියලා. එයා එදත් අදත් මට රඟපෑමට නම් සීමා දැම්මේ නැහැ.

ඉරේෂා දෙදරු මවක්, බිරිඳක් හැටියට ලැබෙන චරිත තෝරා බේරාගෙන ද රඟපාන්නේ?
ඉස්සර ඉඳලම මම මට ලැබෙන චරිතය නිර්මාණය ගැන සැලකිලිමත් වුණා. ලැබෙන චරිතයට අනවශ්‍ය විදියට සිරුර නිරාවරණය වෙන ආකාරයෙන් තිබුණා. මම ඒ නිර්මාණය ප්‍රතික්‍ෂේප කළා. එහෙම නැතිනම් අධ්‍යක්ෂවරයා එක්ක කතාබහ කරලා චරිතයේ වෙනසක් කරගන්නා. ඇඳුම් පැලඳුම් කතාබහ වගේම ඕනවට වඩා සජීවී දර්ශන රඟපාන්නෙත් නැහැ. මම දැන් අම්මා කෙනෙක්. දරුවෝ ගැනත් පවුල කියන බැඳීමටත් මම මුල්තැන දෙන්න ඕන. ඒ නිසා මට ලැබෙන හැම පිටපතක්ම චරිතට පෙන්නනවා. එයා ඒවා කියවලා බලලා හොඳ නම් මට රඟපාන්න කියනවා. ඒ විදියට තමයි මම චරිත තෝරා ගන්නේ. ඒක පවුල් ජීවිතයේ පැවැත්මට වැදගත්ම දෙයක් කියලා මම හිතනවා. 

 චරිත තෝරා බේරාගැනීමේ ස්වයං වාරණය නිසා ඉරේෂාට නිර්මාණවලට ලැබෙන ආරාධනාත් අඩු ඇති?
චරිත තෝරාගන්න නිසා මට හුඟාක් නිර්මාණ ප්‍රතික්‍ෂේප කරන්න සිද්ධ වෙලා තියෙනවා. ආරාධනා ලැබෙනවත් අඩුයි. ඒත් මම ඒ ගැන හිතන්නේ නැහැ. නිර්මාණවලට ලැබෙන ආරාධනා අඩු වුණත් මගේ ප්‍රතිපත්තියට යටත්වෙලා ලැබෙන නිර්මාණවලට විතරක් සම්බන්ධ වෙනවා.

ඉරේෂා රංගන ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු දහයක් විතර වෙනවා. ඒත් සුළු නිර්මාණ ප්‍රමාණයකින් විතරයි ඔබව දකින්න ලැබෙන්නේ?
මම රඟපාන්න ආවේ මගේ අම්මගේ කැමැත්තට. එයා හුඟාක් කැමැත්තෙන් හිටියා මාව නිළියක් කරන්න. එයාගේ හීනය ඒ විදියට මම සැබෑ කළේ මීට අවුරුදු දහයකට කලිනුයි. ඒ සමනළ කන්ද ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙමින්. අවුරුදු දහයක් වුණාට මම රඟපාලා තියෙන්නේ ටෙලි නාට්‍ය දහයකට විතරයි. ඒ වගේම කියන්න ඕන මගේ අම්මා හීන දැක්කේ මම සම්මාන නිළියක් වෙනවට. අම්මා 2008 අවුරුද්දේ මිය ගියා. ඊට පස්සේ 2009 වර්ෂයේ හැන්දෑව කියන ටෙලි නාට්‍යයේ මම රඟපෑ නිර්මාණයට හොඳම රංගනය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය සම්මානය හිමි වුණා. හැන්දෑව නිර්මාණය කළේ ෂර්ලි පී. දෙලංකාවල. ඊට පස්සේ යස ඉසුරු නාට්‍යයටත් සුදු හංසයෝ ටෙලි නාට්‍යයේ චරිතයටත් සම්මාන සඳහා නිර්දේශ වුණා. පුංචි ළමයින් අතරින් මම වඩාත් ජනප්‍රිය වුණේ මුතු පිහාටු ටෙලි නාට්‍යයෙන්. මම රඟපෑ ඒ හැම නිර්මාණයකින්ම මිනිස්සු අතරට ගියා. කාලය දීර්ඝ වුණාට නිර්මාණ සුළු ප්‍රමාණයකට තමයි මම සම්බන්ධ වුණේ.

පුංචි තිරයෙන් නිතර දෙවේ‍ලේ නොදකිනකොට මිනිස්සුන්ගේ මතකයෙන් ඔබව ගිලිහෙන්න පුළුවන් නේද? ඒ ගැන දුක නැද්ද?
කාන්තාවක් විදියට මම මගේ පවුලට මුල් තැන දෙන්න ඕන. ජනප්‍රියත්වය ගැන හිතලා නිර්මාණ ගොඩකට සම්බන්ධ වෙලා පවුල අවුල් කරගන්න මම කැමැති නැහැ. ඒ නිසා ලැබෙන හොඳ දෙයින් මම සතුටු වෙනවා. දුකක් නැහැ. මොකද පාරේ යනකොට හඳුනාගෙන කතාබහ කරන අය ඉන්නවා. ඒ ප්‍රතිචාර දකිනකොට දුකක් හිතෙන්නේ නැහැ. ජනප්‍රියත්වය අඩුවෙලත් නැහැ.

ඔබේ ජනප්‍රියත්වයට ද චරිත ඔබට ආදරය කළේ?
කළු මැණිකේ කියන සින්දුවේ විෂුවල් එකට මම හිටියා. ඒ වීඩියෝව කළේ චරිතගේ යාළුවෙක්. ඒ වෙනකොට එයා දන්නේ නැහැ මම රඟපානවා කියලා. ඒ වීඩියෝවේ වැඩ කරන අතරතුර තමයි චරිත් මාව දකින්නේ. එතැන දී දැන හඳුනාගෙන කතාබහ කළා. එයා මගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන කතා කරන්න, එස්.එම්.එස්. එවන්න පටන් ගත්තා. ඒ විදියට ඇතිවුණ බැඳීම දුරදිග ගිහින් ආදරය කළා. ඊට පස්සේ දෙමව්පිය ආශිර්වාද මැද 2008 සැප්තැම්බර් මාසේ 21 විවාහ වුණා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප- චමිල කරුණාරත්න
http://www.rivira.lk/edition/images/2014/04/27/iresha%20madushani%20(3).jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය