Powered by Blogger.

උ‍පේක්ෂා ස්වර්ණමාලි
උපේක්ෂා ස්වර්ණමාලි ඉතා කෙටි කාලයක් තුළ ජීවන අත්දැකීම්, ගැටලු රැසකටම මුහුණ දුන් රංගන ශිල්පිනියක, දේශපාලනඥවරියක ලෙස හැඳින්විය හැකිය. කෙසේ හෝ ඇය තමන් වෙත පැමිණි එම ගැටලු සාර්ථකව ජයගෙන ඇත. මේ දිනවල හිරු ටීවී නාළිකාවෙන් විකාශය වන ‘ස්නේහා’ ටෙලි නාට්‍යයේ ස්නේහා ලෙස සාර්ථක රංගනයක යෙදෙන්නේ ද ඇයයි.
උපේක්ෂා කොහොම ද මේ දිනවල ඔබේ කාලය ගතවෙන්නෙ?
මේ දවස්වල ‘ස්නේහා’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හැටියට මම දේශපාලනික කටයුතුවල නිරත වෙලා ඉන්නවා.
එතකොට එන්න තියෙන ඔබේ නිර්මාණ?
ඔව්, මම රංගනයෙන් දායක වුණු ‘මායා’ චිත්‍රපටියත් ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටියත් ඉදිරියේ දී තිරගත වේවි.
‘ස්නේහා’ රංගනය ගැන ප්‍රේක්ෂකයින් ඔබට මොනව ද කියන්නෙ?
දීර්ඝ ටෙලි නාට්‍යයක් ප්‍රේක්ෂකයින් අතරට හොඳින් යන්නේ කොටස් 50 ක් පමණ විකාශය වුණාට පසුවයි. තවම මේ ටෙලි නාට්‍යයේ විකාශය වී තිබෙන්නේ කොටස් කීපයයි. කැළුම් පාලිත අධ්‍යක්ෂණය කළ ‘ස්නේහා’ ඉතාම ලස්සන රූපරාමු තියෙන ටෙලි නාට්‍යයක් බවයි ප්‍රේක්ෂකයින් කියන්නේ.
කොහොම ද ඔබගේ දේශපාලන කටයුතු...?
හොඳින් කෙරීගෙන යනවා. මම හිතනවා පසුගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මගේ දේශපාලන කටයුතුවල හොඳ ප්‍රගතියක් දකින්න ලැබෙයි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට මට ලැබිල තියෙන මුදල් වලින් වගේම මගේ පදනමේ සම්පත්වලිනුත් ප්‍රදේශයේ ජනතාවට සේවය කරන්න මට හැකියාව ලැබිල තියෙනවා. මම මූලිකත්වය දෙන්නේ ළමයින්ට සහ කාන්තාවන්ට. ඊට අමතරව ගෘහස්ථ හිංසනය පිළිබඳව තිබෙන පනතට සංශෝධනයක් ගෙනැවිත් එම පනත ශක්තිමත් කරන්නත් මම අදහස් කරගෙන ඉන්නවා. ඉදිරියේදී මගේ පදනමෙන් කරන වැඩසටහන්වලදී තරුණ පරපුර ඉලක්ක කරගෙන වැඩසටහන් කීපයක්ම දියත් කරනවා. ඒ සඳහා ජාතික තරුණ සේවා සභාව සමඟ මම සම්බන්ධ වෙලා කටයුතු කරනවා.
දේශපාලන වැඩයි කලා කටයුතුයි දෙකේම නිරත වීම අපහසු නැත්ද?
නැහැ මට එහෙම අපහසුවක් දැනෙන්නෙ නෑ. වෛද්‍ය වෘත්තිය, නීතිඥ වෘත්තිය, වැනි වෘත්තීන්වල යෙදිල ඉන්න ගමන් දේශපාලනය කරන අය අප අතර ඕන තරම් ඉන්නවා. ඒ වගේ තමයි මම රංගනයයි දේශපාලනයයි කරන්නේ. කොහොමහරි මම මේ වැඩ දෙකටම කාලය හොයා ගන්නවා. කලාව නිසා මාධ්‍ය හරහා මට මහජනතාවට සමීප වීමේ ඔවුන්ට කතා කිරීමේ හැකියාව ලැබිල තියෙනවා. ඒක මගෙ ජීවිතේ ලැබුණු ලොකු අවස්ථාවක්; ඒක බෝනස් එකක් වගේ. ඒ නිසා ප්‍රේක්ෂකයින්ගේ හිතවත්කම මට හැමදාම ලැබෙනවා.
ඉදිරියේ දී ඔබ දිගටම දේශපාලන කටයුතුවල යෙදෙනව ද?
මීළඟ මහ මැතිවරණයට මම අනිවාර්යෙන්ම ඉදිරිපත් වෙනවා. දිගටම දේශපාලනයේ යෙදිල ඉන්නව ද කියල තීරණය කරන්නේ ඉන් පසුවයි. ඉදිරියේ දී මගේ පෞද්ගලික ජීවිතය තිබෙන තැන අනුවත් මම දිගටම දේශපාලනයේ රැ‍ඳේවි ද කියන එක තීරණය වේවි.
අද ඔබ ඉන්න තැන ගැන ඔබට මොනව ද හිතෙන්නෙ?
ඇත්තෙන්ම මම කවදාවත්ම හිතුවේ නැති තැනකයි මම අද ඉන්නේ. අවුරුදු 29 වන විට මේ තරම් අත්දැකීම් රාශියක් මට විඳින්න ලැබේවි කියල මම හීනෙකින්වත් හිතුවේ නෑ. මගේ දෛවය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීමේ අවස්ථාව මට හිමිවුණා. මටම පුදුමයි මම ඉන්න තැන ගැන.
ඔබ නැවත ආදරවන්තියක් කියල ආරංචියි?
ඔව් ඒක ඇත්ත.
කවුද ඔහු?
එයා ව්‍යාපාරිකයෙක්. අපි හඳුනාගත්තේ මෑතකදී. ඔහු හොඳ පුද්ගලයෙක්. දැනට අපේ හිතවත්කමට ගැටලුවක් ඇතිවෙලා නෑ.
ආයෙත් ආදරවන්තියක් වෙන්න පොඩි බයක් එහෙම දැනුණේ නැත්ද?
පොඩි නෙමෙයි ලොකු බයක් දැනුණා. ගිනි පෙනෙල්ලෙන් බැටකාපු කෙනා කනාමැදිරි එළියටත් බයයි කියල කියනවනේ. ඒ නිසා මට මේ සම්බන්ධය පටන්ගන්න විට බයක් දැනුණා. අදටත් කිසියම් චකිතයක් තියෙනවා. අපි හඳුනාගෙන එයාගේ ජීවිතයට ළංවෙන්න පුළුවන් ද කියල එයා මගෙන් ඇහුවාම ඒකට උත්තරයක් දෙන්න මම සෑහෙන දවසක් ගත්තා. මම ඔහු ගැන හොයල බැලුවා. ඔහු හොඳ කෙනෙක් බව දැනගන්න ලැබුණු නිසයි මම කැමැති වුණේ.
ළඟදී විවාහ වෙනවා ද?
නැහැ. විවාහයට දින වකවානුවක් තවම තීරණය කරල නෑ.
පසුගිය කාලෙ ඔබ කන්‍යා සොයුරියක් වෙන්න ගියාලු නේද?
ඔව් ඒක ඇත්ත. පසුගිය කාලෙ මම සම්පූර්ණයෙන්ම මානසිකව වැටිලයි සිටියේ. මම පුදුම විදියට ජීවිතය ගැන කලකිරිල හිටියේ. ඒ වෙලාවේ මට හිතුණා කන්‍යා සොයුරියක් වෙන්න. මම අම්මට ඒක කිව්ව. අම්මයි මමයි ගියා දුර පළාතක පල්ලියක ‘සිස්ටර්’ කෙනෙක් හමුවෙන්න. එතැනදි මට එතුමිය විවාහය ගැනත් කන්‍යා සොයුරියක් වීමේ ඇති බරපතළකම ගැනත් පහදල දුන්නා. කොහොම හරි මම එතැනදි හිතාගත්තා මට ලැබිල තිබෙන සම්පත්වලින් සමාජයට උපරීම සේවයක් කරන්න.
පසුගිය කාලයේ ඔබ මුහුණ දුන් අත්දැකීම් ගැන ඔබට මොනව ද හිතෙන්නෙ?
ඇත්තටම මට පුදුමත් හිතෙනව පසුගිය අවුරුදු කීපයක් තුළ මා ලැබු අත්දැකීම් ගැන. එක වෙලාවකට මට හිතෙනවා කෙටි කාලයක් තුළ එවැනි විශාල අත්දැකීම් සංඛ්‍යාවක් ලැබීම හොඳයි කියලා. මම මුහුණ දුන්නු සෑම ගැටලුවකටම සාර්ථකව පිළිතුරු සොයාගන්න මට හැකිවුණා. මේ සියලු අත්දැකීම් මගේ අනාගතයට උපකාරී වේවි. මගේ අනාගතය දෙවියන්ට බාරයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය