Powered by Blogger.


මාලිනී රසික හවුලට අශෝකගෙන් ආරාධනා
අශෝක සෙනරත් මුදලිගේ නිෂ්පාදනය කොට අධ්‍යක්‍ෂණය කළ ‘සිනෙ රූ තරු තොරතුරු’ රූපවාහිනී වැඩසටහන අඩංගු කළ ඩී. වී. ඩී. තැටියෙහි ග්‍රන්ථය එම නමින්ම මෙම මස 30 වැනිදා සවස 3.45 ට සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය එනම් සුදර්ශී ආයතනයේ ගාමිණී ෆොන්සේකා සමරු රඟහලේ දී එළිදැක්වේ.
සිනෙ රූ තොරතුරු වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිතයන් වූයේ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකාය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එය මෙහෙය වීය. එම වැඩසටහනෙහි සියලු සංවාදයන් ඒ අයුරින්ම සිනෙ රූ තරු තොරතුරු ග්‍රන්ථයේ සටහන්ව තිබේ.
එය සරසවි ආයතනයේ ප්‍රකාශනයකි. මෙම කටයුත්තට අමතරව එදින මාලිනියගේ උපන් දිනය සැමරීම සහ ඇයගේ රසික හවුලක් පිහිටුවීම ද සිදුවේ. මෙම අවස්ථාවට සහභාගිවීම සඳහා අශෝක, ක්ෂේත්‍රයේ සහෘදයන්ට විවෘත ආරාධනාවක් කරයි. ප්‍රසාද්

දික්කසාදයට හේතුව

දික්කසාද වීමේ පුවත් බොලිවුඩයට ආගන්තුක නැතත් එවැනි පුවතක් සවනත වැකෙනවාට කිසිිදු රසිකයෙක් කැමැති නැත. රිතික් - සුසේන් ආදරණීය කැදැල්ල දෙදරා ගිය පසු යළිත් එවැනි පුවතක් නෑසේවායි කියා සිතුව ද මේ තවත් යුවළකගේ දික්කසාද වීමේ පුවතකි.
ඇය නිළි චිත්‍රන්ගදා සිංය. ඇයගේ සැමියා ප්‍රකට ගෝල්ෆ් ක්‍රීඩක ඡ්‍යොති රන්ධාවාය. 2013 මැයි මාසයේදී දෙදෙනා දික්කසාද වීමට නඩු දැමූ අතර, දැන් ඊට අවසර ලැබී ඇත.
චිත්‍රාන්ගදාත්, ඡ්‍යොතිත් විවාහ වූයේ 2001 වසරේදීය. ඔවුන්ගේ එකම දරුවා, සොරාවර් පුතුගේ භාරකාරත්වය පැවරී ඇත්තේ චිත්‍රාන්ගදාටය. අවසන් වරට චිත්‍රාන්ගදා රඟපෑවේ ජෝන් ඒබ්‍රහම් සමඟ ‘අයි, මී ඕර් මෙයින්’ (2013) සිනමාපටයේය.
ඇය යළි රංගනයට අවතීර්ණ වීමට අදහස් කිරීම දික්කසාදයට ද හේතු වී තිබේ. ඇය රැඟූ ‘භසාරොන් කවෙයිෂන් එයිසි’ (2005), ‘දේසි බෝයිස්’ (2011) සිනමාපට අතිශය ජනප්‍රිය විය. තිස් හත් හැවිරිදි ඇයට යළි තාරකාවක වීම වඩාත් වැදගත් වී තිබේ.



සෙංකඩගල රාජසිංහ රජ මැදුරේදී වැඩ අරඹයි

පාරිශුද්ධත්වයෙන් සුපෝෂිත වූ පින්බර මහනුවර මධ්‍යයෙහි පිහිටි ජනපති නිල නිවස අද වෙනදාටත් වඩා ප්‍රතාපවත්ය. රජ කල සිරි අසිරිය මවමින් හේවායන් සමූහය ජනපති මැදුර වටා පෙළ ගැසෙමින්ය. බැලූ බැල්මටම පෙනෙන්නේ එදා මහනුවර රාජධානියේ තේජාන්විතයයි.
කවදත් කලාවට මෙන්ම කලාකරුවනට අත හිත දෙන රාජ්‍ය නායකයාණන්ගේ නිල නිවස මේ සූදානම් වන්නේ කලා කටයුත්තක සුබ ආරම්භයක් වෙනුවෙනි. එදා සෙංකඩගල රාජධානිය රජ කළ රාජසිංහ රජුගේ කතාන්දරය මෙවර තිරයට නඟන්නේ සුදත් රෝහණ විසිනි. මහනුවර රජ මැදුර මේ සැරැසී ඇත්තේ සෙංකඩගල රාජසිංහ නම් වූ ඒ සිනමා කෘතියේ මුහුරත් උළෙල සඳහායි. කෘතහස්ථ සිනමාවේදී තිස්ස අබේසේකරයන් විසින් තිර රචනා කළ මෙය සුදත්ගේ දෙවැනි සිනමා නිර්මාණයයි. මෙහි රාජසිංහ රජුගේ චරිතයට බිමල් ජයකොඩි සහ පිළිමතලාවේ නිළමෙගේ චරිතයට සනත් ගුණතිලකව මේ වන විට තෝරා ගෙන තිබේ.
ළඟදීම රූගත කිරීම් ඇරැඹෙන සෙංකඩගල රාජසිංහ හි කැමරාව චන්න දේශප්‍රිය මෙහෙයවයි. වෙලේගෙදර රණසිංහගේ කලා අධ්‍යක්ෂණයකි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතය මෙහෙයවයි. නිමල් විජේසිංහ සහ රාජා රණසිංහ නිෂ්පාදන කළමනාකරුවන්ය. අශෝක ආතවුදහෙට්ටි සහාය අධ්‍යක්ෂණයෙන් ද, ප්‍රසන්න වීරක්කොඩි ඇඳුම් නිර්මාණයෙන් ද මෙයට එක්වෙති.
සෙංකඩගල රාජසිංහ සෙරනිටි වෙනුවෙන් එච්. ඩී. ප්‍රේමසිරි ඇතුළු පිරිසගේ නිෂ්පාදනයකි.
 
තිස්ස අබේසේකරයන් රචනා කළ සෙංකඩගල රාජසිංහ පිටපත නිලවශයෙන් ජනාධිපතිතුමන් අධ්‍යක්‍ෂවරයාට භාරදුන් මොහොත. නිෂ්පාදක එච්. ඩී. ප්‍රේමසිරි මෙන්ම අසංකා අබේසේකර මහත්මිය ද ඡායාරූපයේ වෙති.



මහා සංඝරත්නයේ ආශිර්වාදය
 
 
 
රාජසිංහ රජුට පණපොවන බිමල් ජයකොඩි
 


ආචාර්ය ඇටිපොළ මංගල හිමිපාණන් ගේ අනුශාසනය.
 


සෙංකඩගල රාජසිංහ ඇරැඹි බවට සන්නස කියවයි.
 



මහාචාර්ය මුදියන්සේ දිසානායක, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සෝමවීර සේනානායක, මහාචාර්ය ජේ. බී. දිසානායක.



සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක, ටවර් හෝල් පදනමේ අධ්‍යක්‍ෂ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන උත්සව මැදුරට පැමිණෙමින්.



සුදත් රෝහණ සභාව අමතයි.



බණ්ඩාර ඇහැළියගොඩ


 

 
එදා සිරිසර මැවූ අයුරු
 

ආචාර්ය රෝහණ වීරසිංහ සහ එම මහත්මිය.
 


රවීන්ද්‍ර රන්දෙණිය, රොබින් ප්‍රනාන්දු
 


නිෂ්පාදක එච්. ඩී. ප්‍රේමසිරි සහ මහත්මිය මුහුරත් උළෙලට පැමිණෙමින්.
 

සුදත් රෝහණ පවුලේ සැම
 


සනත් ගුණතිලක සමඟ බන්දුල ඒකනායක
 


අසංකා අබේසේකර සහ පුතුණුවන්
 


සෝමවීර සේනානායක, බන්දුල වීරක්කොඩි, රොස්මන්ඩ් සේනාරත්න, සතිස්චන්ද්‍ර එදිරිසිංහ
 
 
ජැක්සන් ඇන්තනි
 
 

කුසුම් ගේ චරිතයට ලෙස්ටර් නිවහනට

සිංහල සිනමාවේ මුදුන්මල්කඩ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතාණන්ගේ අනූපස් වැනි උපන්දිනය සමරන මේ මොහොතට සහභාගි වන්නට ලැබීම කෙතරම් ප්‍රීතියක්ද? තම ජීවිත කාලයම සිනමාව වෙනුවෙන් කැප කරලා තමා උපන් මව්බිම මුළු ලෝකයේම අවධානයට යොමු කරලා සම්මාන කිර්ති ප්‍රශංසා හිමි කර දීලා වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පිරුණු ආදර්ශවත් දිවි පෙවෙතක් ගත කරන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතාණන් සහ සුමිත්‍රා පීරිස් මැතිනිය ඇසුරු කරන්නට ලැබීම මොන තරම් භාග්‍යයක්ද?
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ උපහාර උළෙලකදී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඉතාම හරබර රසවත් දේශනයක් පැවැත්වූවා. එහි මට මතක තියෙන විශේෂම කොටස ඔවුන්ගේ විවාහ ජීවිතය ගැන පැවසූ දෙයයි.
ලෙස්ටර් සුමිත්‍රා කියන්නේ බලපු ගමන් කිසිම විධියකින් නොගැළපෙන දෙදෙනෙක්. බලන්න නම් දෙක, ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ එහෙම පිටින්ම ශ්‍රී ලාංකික නොවන පෘතුගීසි නමක්නේ. සුමිත්‍රා ගුණවර්ධන කියන්නේ තම රට, ජාතිය ගැන බොහොම ආඩම්බර වුණ පිලිප් ගුණවර්ධන පරම්පරාවෙන් පැවතෙන සිංහල කුල කාන්තාවක්නෙ.
ආගම – එක් කෙනෙක්ගෙ රෝමානු කතෝලික.
අනිත් එක්කෙනා - සිංහළ බෞද්ධ. වයස - කිසිම ගැළපීමක් නැහැ. අවුරුදු පහළවක පමණ වෙනසක්. ඉතින් කවුරුවත් මේ දෙන්නා දැක්කමත් කියයි ද මේ දෙන්නගෙ ස්වරූපය අනුව ගැළපීමක් තියෙනවා කියලා. ඒත් නැහැනේ.
ඒත් මුළු ලෝකෙන්ම හොයාගන්න පුළුවන් ද විවාහ වුණ දවසේ ඉඳලා කවදාවත් හිත රිදෙන වචනයක්වත් නොකීව, ඉතාම ආදරෙන් සතුටෙන් අද වෙනතුරු ජීවත්වෙන ස්වාමිපුරුෂයෙකුත් බිරිඳකුත් - සිනමාවේ තිබ්බ වාර්තා වගේම විවාහ ජීවිතේදී තිබ්බ වාර්තාවත් ලෝක වාර්තාවක්. ඒක කඩන්න කාටවත්ම බැරි වෙයි.’
සුනිල් ආරියරත්න මහතා මීට වඩා ලස්නට හරබරව කියපු ඒ කතාව ඉතාමත්ම රසවත්. ප්‍රේක්ෂකාගාරයේ සියලු දෙනාම අත්පොලසන් දුන්නේ පුදුම සතුටකින්.
මමයි රවියි ලෙස්ටර් සර්ගේ ගෙදරට යන මොහොතෙම ජනාධිපතිතුමා පැමිණියා. අපිට නිවෙසට ඇතුල්වෙන්න පුංචි ප්‍රමාදයක් වුණා. ජනාධිපතිතුමාවත්, ලෙස්ටර් සර්වත් වට කරගෙන විශාල පිරිසක් සිටිය නිසා මම ටිකක් ඈතට වෙලා හිටියා. කේක් කපලා උපන් දින ගීතය ගායනා කරලා ටික වෙලාවකට පස්සේ තදබදය අඩු වුණාම රවී මාව හොයාගෙන ඇවිත් ඇහැව්වා,
‘ඇයි සර්ට කතා කරන්නෙ නැද්ද’ කියලා.
‘තාම ජනාධිපතිතුමාත් ඉන්නව නේද?’
‘ඒකට මොකද ගිහින් කතා කරන්න.’
ජනාධිපතිතුමා, මැති ඇමැතිවරු ඉන්න අතරේ මම එතනට යන එක හරිද මන්දා කියලා හිතුණත්, කලාකරුවෙක්ගේ උපන් දිනයට ගෙදරටම ඇවිත් සුබපතන්න තරම් ලෙංගතු, නිහතමානී, සංවේදී හදවතක් තියෙන ජනාධිපති කෙනෙක් අපේ රටට ලැබීම, එවන් මොහොතක් මම ජීවත්ව ඉන්න කාලෙදීම සියැසින් දැකගන්න ලැබීම මොන තරම් වාසනාවක් ද කියලා හිතලා මම ලෙස්ටර් සර්ට සුබපතන්න ගියා. මම සර්ව කාලෙකින් දැකල තිබුණ නැති නිසා මාව අඳුරගන්න පුළුවන් වෙයි ද කියලා සැකයකුත් තිබුණා.
මම සර්ට වැඳලා ආචාර කරලා අත් දෙක අල්ලලා සුබ පැතුවා. සුමිත්‍රා ඇන්ටි ඇහැව්වා, කවුද කියලා අඳුරනවාද කියලා.
සර් මගේ දිහා බලලා හිනා වෙලා කිව්වා, මේ ප්‍රීතිනේ කියලා. ඒ පිරිසිදු මතක ශක්තිය මොන තරම් වාසනාවක්ද, අපේ අයුෂත් අරගෙ ඔහු තව චිරාත් කාලයක් නීරෝගීව ජීවත් වේවා.
ඒ මොහොතේ අවට පරිසරයේ තිබුණු පැරැණි ගෘහ භාණ්ඩ කැටයම් කළ එල්ලෙන විදුලි පහන් දැක්කම මගේ හිත අවුරුදු හතළිස් ගාණක් ඈත අතීතයට ගියා. මේ විදුලි පහන දැකපු පළමු දවසේ මගේ හිත නතර වුණා.
ජනාධිපතිතුමා, මැති ඇමතිවරු ප්‍රභූවරු, උගත්තු, විද්වත්තු, සුප්‍රසිද්ධ කලාකරුවන් මේ සියලු දෙනා සමඟ මේ මෙහොත මට ගත කරන්න ලැබුණේ අවුරුදු හතළිහකට ප්‍රථම එක් සන්ධ්‍යා යාමයක මේ ගෙදරට ගොඩ වැදුණ නිසා නේද කියලා මට හිතුණා.
කෙනකුගේ දෛවය කියන්නේ කොයි තරම් පුදුම දෙයක්ද? එක මොහොතක ඉතාම සුළු සිදුවීමකින් ඒ කෙනාගේ ජීවිතය මොන තරම් වෙනස් කරන්න පුළුවන්ද? රඟපෑමට තිබුණ සියුම් ආශාව නිසා අවුරුදු දහඅටක ලාබාල තරුණියක් වශයෙන් මම එදා මේ ගෙදරට පය තිබ්බේ සිනමාවේ පතාක යෝධයෙක් දකින්න යන කුරුමිට්ටෙක් වගේ බයේ ගැහි ගැහී. පවුල් පසුබිමෙන් තොර පිටස්තර ලෝකය ගැන අවබෝධයක්, දැනුම් තේරුමක් නොතිබුණ මට ඒ වෙලාවේ මම කවදා හරි නිළියක් වෙනවා කියලා විශාල බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. තිබුණ එකම හැඟීම බයත්, ලැජ්ජාවත් පමණයි. මම කවදාවත් හිතුවේ නැහැ ඒ හමුවීම මගේ ජීවන සහකරු සොයා ආ ගමනක් පමණක්ම බව.
1972 වසරේ සුමිත්ත අමරසිංහ මහතාගේ කැමරාවේ සටහන් වුණ මගේ ඡායාරූපයක් දැකපු සුමිත්‍රා පීරිස් මහත්මිය මට පණිවිඩයක් එවලා තිබුණා ඇවිත් මුණ ගැහෙන්න කියලා.
සුමිත්‍රා පීරිස් මහත්මියව මුණ ගැහෙන්න මම ගියේ මගේ ඥාති සොයුරු ලක්ෂ්මන් විජේසේකරත් එක්ක. මම බොහොම ලැජ්ජාවෙන් බයෙන් ආවට ලෙස්ටර් සර් සහ සුමිත්‍රා මහත්මියයි අපිව හොඳට දන්න අඳුනන කෙනෙක් දැක්කා වගේ ආදරෙන් පිළිඅරගෙන එන්න එන්න ඇතුළටම එන්න කියලා සාලේ කොනටම එක්කරගෙන ගියා. යන ගමන් සුමිත්‍රා පීරිස් මහත්මිය මගේ උඩ ඉඳන් පහළටම බලලා හරියට අඳුරන කෙනෙක් එක්ක කතා කරනවා වගේ අනේ ඔයාට ලස්සන දිග කොණ්ඩෙකුත් තියෙනවානේ කිව්වම මගේ හිතේ තිබුණ බය ගතිය ටිකක් විතර අඩු වුණා.
සාලේ කෙළවරේම තිබුණු කවිච්චියේ මටයි අයියටයි වාඩි වෙන්න කිව්වා. මට වාඩි වෙන්න කියපු තැන මගේ ඉහට උඩින් අර කැටයම් කරපු විදුලි ලාම්පුව එල්ලෙමින් තිබුණා. ලාම්පුව එයාගෙ ආලෝකය මගේ මූණටම එල්ල කරලා මාව හරිම අපහසුතාවයකට පත් කළා. පීරිස් යුවළ මගේ දිහා ඉතාම විමසිල්ලෙන් බලන නිසා මට හිතුණා අනේ මේ විදුලි පහන නොපෙනෙන තැනක මාව වාඩි කෙරෙව්ව නම් කියලා. මට මතකයි ඉතාම ලැජ්ජාවෙන් ගත කරපු ඒ මොහොතේම තිස්ස අබේසේකර මහත්තයත් නිවසට පැමිණියා. ඔහුටත් පීරිස් යුවළ අපිව අඳුන්නල දීලා මට එන්න කියපු කාරණය පීරිස් මහත්මිය පැහැදිලි කරලා දුන්නා.
‘මම ගැහැනු ළමයි කියලා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න දැනට මූලික වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. ඒකේ ප්‍රධාන චරිතයට හුඟාක් ගැහැනු ළමයින්ව බැලුවත් මගේ හිතේ ඉන්න කෙනාව තාම හමු වුණේ නැහැ. ඒ නිසා තමයි ඔයාට මම අද එන්න කිව්වේ. රූපගත කිරීම් පටන් ගන්න නම් තව ටික කාලයක් යාවි.’
එතකොට ලෙස්ටර සර් කිව්වා, ‘එතකන් පුරුදු වෙන්නත් එක්ක දෑස නිසා චිත්‍රපටයේ රූපගත කිරීම්වලට ඇවිත් කැමරාවට කොහොමද මුහුණ දෙන්නේ කියලා පුරුදු වෙන්න’ කියලා. ඒ වෙන කොට දෑස නිසා චිත්‍රපටයේ සියලුම චරිතවලට නළු නිළියන් තෝරා ගෙන අවසන් වුණත් පොඩි චරිතයකට හරි ඉදිරිපත් වෙන්න කිව්වා.
තිස්ස අබේසේකර මහත්තයා ඔහු අධ්‍යක්ෂණය කරන කෙටි චිත්‍රපටයෙත් ප්‍රධාන නිළි චරිතයට ආරාධනා කළා.
සුමිත්‍රා පීරිස් මහත්මිය, ලක්ෂ්මන් අයියගේ පැත්තට හැරිලා කිව්වා ‘ඔයාටත් පුළුවන්නේ මගේ චිත්‍රපටයේ රඟපාන්න කියලා.’ ‘අනේ මැඩම් මම නම් රගපාන්න හිතාගෙන ආවේ නැහැ. නංගි තමයි ගෙදර හැමෝටම රඟපාලා පෙන්නන්නේ. එයා රඟපෑවම මදැයි.’
එදා එහෙම කියපු ලක්ෂ්මන් අයියා පසු කාලෙක ප්‍රසිද්ධ ගායකයෙක් වගේම නළුවෙකුත් වුණා.
මම එදා නිවසින් පිටත් වුණාම පසු කලෙක ලෙස්ටර් සර් කියපු කතාවක් සුමිත්‍රා පීරිස් මහත්මියත් ,තිස්ස අබේසේකර මහතාත් මට පැවසුවා.
‘සුමිත්‍රා දැන් ඔය කෙල්ලො හොයන එක අදින් නවත්වන්න. ඔය යන්නේ ගැහැනු ළමයි නවකතාවේ ඉන්න කුසුම්ම තමයි. ඊට වැඩිය කුසුම් කෙනෙක් ඔයාට ලැබෙන්නේ නැහැ.’
ලෙස්ටර් සර් එහෙම කිව්වත් මගේ ඉරණමේ ලියවිලා තිබුණේ වෙනම කතාවක්. ඒ මම නිළියක් නොවී නළුවෙක්ගේ බිරිඳක් විය යුතුයි කියලා. එක එක්කෙනා සංසාරේ පතාගෙන ආපු දේවල් වෙනස් කරන්න, සංසාරගත බැඳීම් නවත්වන්න කාටවත් බැහැයිලුනේ. ඒ නිසා ඒ දේවල්, ඒ විදියටම සිද්ධ වෙන්නෙ. මම ලෙස්ටර් සර්ගේ දෑස නිසා චිත්‍රපටයේ රූපගත කිරීම්වලට ගිහින් මගේ ස්වාමි පුරුෂයාව හොයා ගත්තා. නිළියක් වෙන්න ආපු මම නළුවෙක්ගේ බිරිඳ වෙන කොට ලෙස්ටර් සර්ම සාක්කියට අත්සන් කරන්න සිද්ධ වුණා පමණක්ම නෙවෙයි අපි දෙන්ගෙ පුතාගේ විවාහයටත් ඔහුගේ අත්සන ලබා ගන්න තරම් අපි වාසනාවන්ත වුණා.
ඒක තමයි දෛවය කියන්නේ.
ප්‍රීති රන්දෙණිය 


සපුමලීගෙන්  වැඩ ඇරඹූ බූම් ඔපරේටර්

ඔබ දකින නිර්මාණ පිටුපස බොහෝ දෙනකුගේ ශක්තිය දහඩිය ගැබ්ව ඇති බව අප සැවොම දන්නා කරුණකි.
නිර්මාණයක් යනු සාමුහික කටයුත්තකි.ඇතැමුන්ගේ රුව , අප දකින මුත් ඇතැමුන් කිසිදු දිනක කරළියට පැමිණෙන්නේ නැත.
Behind The Scene ඒ නොදකින පංගු කරුවන් සොයා යන අපුරු චාරිකාවකි.
Behind The Scene තුළින් අද අප හඳුන්වා දෙන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය සහයක (බූම් ඔපරේටර් )ලෙස කටයුතු කරන සංජීව නිශ්ශංකයි.
සංජීව කියමු බලන්න ගාල්ලෙ හිටිය ඔයා කොළඹ රැකියාවක් සොයා ආවෙ කොහොමද කියල?
මම ඉගෙන ගත්තේ ගාල්ල මඩකුඹුර මහාවිද්‍යාලයේ .පාසල් වේදිකා නට්‍ය වලට රංගනයෙන් දායක වුනා.දිනේෂ් කියන මගෙ යාළුවෙක් ගෙ සහෝදරයෙක් වන චන්දන සිල්වා සී.එස්.වීඩියෝ කියල ආයතනයක් පවත්වාගෙන යනවා.එතුමාගෙ කැමරා සහායක ලෙස වැඩ කරන්න මට අවස්ථාව ලබා දෙන්නේ දිනේෂ්.මෙහි බොහොමයක් කෙරෙන්නේ මංගල උත්සව, වෙළෙඳ දැන්වීම්, වාර්තාමය වැඩසටහන් හැදීමයි.ටික කලක් වැඩ කරමින් ඉන්නකොට චන්දන මහත්තය මට හදුන්වල දෙනව, සිනේලින්ක් වීඩියෝ හවුස් ආයතනයේ නිෂ්පාදන කළමනාකරු විරාජ් රත්නායක මහත්තයව.මෙතුමා මට ආලෝක(ලයිටින්) කරන ශිල්පියකු ලෙස රැකියාව ලබා දෙනවා.මෙන්න මෙහෙමයි මම කොළඹ එන්නේ.
ආලෝක කරනයෙන් දායක වෙන්න ලැබුණු ටෙලිය හා මෙතෙක් ආ ගමන ගැන කියමු?
සපුමලී ටෙලියෙන් තමයි වැඩ ඇරඹුවෙ.ට්‍රැක්ඩොලි ක්‍රියාකරුවෙක් ලෙසත් වැඩ කළා.මේ වසර හතර තුළ ටෙලිනාට්‍ය 15වකට පමණ සහභාගි වී තිබෙනවා. දැන් මම කරන්නේ බූම් ඔපරේටර්(ශ්‍රව්‍ය දෘශ්‍ය සහයක) ලෙස කටයුතු කිරීමයි.මේ කටයුත්ත ආරම්භ කළේ සිරීගෙ ඉරණම ටෙලියෙන්. ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු වශයෙන් කටයුතු කරන නිමල් කරුණාතිලක මහත්තයත් එක්ක දැනට ටෙලි 3ක් සඳහා සහභාගි වී තිබෙනවා.
මේ ක්‍රියා දාමය පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්?
මේ සියලු වැඩක්ම හරිම අමාරුයි.හොඳ අවබෝධයකින් කළ යුතුයි.දෙබස් හරි හැටි ඇසෙන්න සලස්වනවා මෙන්ම,පිටස්තරයෙන් ඇසෙන ශබ්ද වලක්වා දිය යුතුයි.මේ සියලු දේ කරන අතරෙ කැමරා ප්‍රේම් එක ගැනත් අවදානය යොමු කළේ නැත්නම් බූම් එක
නාට්‍යය නරඹන්නන්ට පේනව.ඒක රසාස්වාදයට බාධාවක් වෙනවා.කෙතරම් අමාරු කටයුත්තක් වුනත් හරිම සැහැල්ලුවෙන් කරන්න පුළුවන් වෙන්නේ යුනිට් එකේ සැමගෙන් ලැබෙන සහාය නිසයි.
පවුල් පසුබිම ගැන කිව්වොත්?
අපි දකුණෙ සාමාන්‍ය පවුලක.තාත්ත අප අතර නැහැ.අම්මයි සහෝදරියො තුන්දෙනයි, මමයි ඉන්නේ. මම පවුලෙ බඩපිස්සා.
අනාගත බලාපොරොත්තුව කුමක්ද?
කැමරා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්න.
මේ ආ ගමන් මගේ සහාය වූවෝ ගැන මතක් කරමු?
චන්දන සිල්වා, විරාජ් රත්නායක,නිමල් කරුණාතිලක,ගයාන් පුෂ්පකුමාර යන මහත්වරුන් ස්තූති පූර්වකව සිහිපත් කරන අතර සිහින සක්මන ටෙලියෙ රංගනයෙන් මට අවස්ථාවක් ලබාදුන් එහි අධ්‍යක්ෂ චමින්ද වෙල්ලාලගේ මහතාටත් මගේ පවුලේ සැම මෙන් යුනිට් එකේ සැමටත් ස්තූති කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය