Powered by Blogger.

Jasintha1තාත්තිගේ සිහිනය සැබෑ කර පරිගණක ඉංජිනේරුවරියක වීමට පෙරුම් පිරූ ජසි කිසිවෙකුත් නොසිතූ නොපැතූ මොහොතක අවසන් ගමන් ගියාය. පාස‍ලේදී ලැබූ පන්නරය තුළ ඇය නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති ළමා සමුළුව නියෝජනය කර උපන් බිමේ අරුමය ලොවට කියා පෑමට සමත්වූවාය. ඉංග්‍රීසි භාෂාවේ චතුර  කථිකත්වය ඇති ඇය ඉකුත් අ.‍පො.ස.සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ-8ක් සහ බි.-01ක් ලබා ගනිමින් මෙරට ඇති දුෂ්කරම අධ්‍යාපන කලාපය වන විල්ගමුව කලාපයේ ඉහළම දක්ෂතා දැක්වීමට සමත් වූවාය. “මගේ දුව හැම තරගයකින්ම ජය ගත්තා. ඒත් ජීවන තරගෙන් ජය ගන්න බැරි වුණා. ‍පොත පත වේදිකාව ජය ගත් දුව මාරයාට පරාද වුණා. ළමා සමුළුවේදී ලොවක් අමන්දානන්දයට පත් කළ ජසින්තා චාමරි වාසල ලොවම නොව උපන් විල්ගමුව ගම්මානයම කම්පාවට යකඩ යකාට බිලි වෙමින් අවසන් ගමන් යාම පිළිබඳව හැඬූ කඳුළින් ඇයගේ මව අයිරාංගනී රත්නායක මහත්මිය පැවසුවාය.
අ.‍පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්ව උසස් පෙළ ගණිත අංශයෙන් පෙනී සිටීමට පෙරුම් පිරූ ජසින්තා තමන් පදිංචි ප්‍රදේශය තුළ එවැනි පහසුකම් නොමැතිකම නිසා මහනුවර ප්‍රදේශයේ උපකාරක පන්තියකට ගොස් නවාතැනට යාමට දුම්රිය පදික වේදිකාව
අසළින් ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව අවසන් හුස්ම හෙළු ජසින්තා වාසල සිසුවියගේ වියෝව ගම්මානයම කම්පාවට පත් කර ඇත.
තාත්තිගේ සිහිනය සැබෑ කර පරිගණක ඉංජිනේරුවරියක වීමට ඇය පෙරුම් පිරුවාය. සිහිනය හඹා ගිය ඇය විල්ගමු කලාපයේ අ.‍පො.ස.සා.පෙළ විභාගයෙන් පළමු තැන ගත්තාය. බලා‍පොරොත්තු ගොන්නකට මැදිව එදිනෙදා ගොවිතැනින් ජීවත්වූ ජසින්තාගේ පියා දියණියට කිසිවෙකින් අඩුවක් කළේ නැත. විල්ගමුව බත්ගම්‍පොළ පදිංචි ටී.එම්. ඒකනායක හා අයිරංගනී ඒකනායක ඇයගේ ආදරණීය දෙමාපියන්ය. පවු‍ලේ මද්දුමී නිසාම පවු‍ලේ ආදරය සෙනෙහස ඇයට නොඅඩුව ලැබි තිබුණි.
Jasintha2නාමිණිඔය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ජසින්තා සෑම සිසු සිසුවියකගේම හා ගුරු භවතුන්ගේ ආදරයට පාත්‍ර වූවාය. ඇය ‍පොත පත අධ්‍යාපනයට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලටද උපන් හපන්කම් දැක්වූවාය. සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ අටක් හා බි සාමාර්ථයක් ලැබූ ඇයට උසස් පෙළ ගණිත අංශයෙන් පෙනී සිටීමට හා ඒ සඳහා මහනුවර ප්‍රදේශයේ නැවතී මහනුවර පාසලකට ඇතුළත් වීමේ අවශ්‍යතාවක් තිබිණ. කළ හපන්කම් වලට සහතික 300කට ආසන්න සංඛ්‍යාවකට උරුමය ඇති ඇය මහනුවර පාසලකට ඇතුළු වී ඉගෙනුම ලබා අනාගතයේදී පරිගණක ඉංජිනේරුවරියක වීමට සිතුවාය. සාර්ක් කලාපයේ රටවල් හතක නියෝජනයෙන් නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණු ළමා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කළ ජසින්තා දක්ෂ හා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට තරම් කට ඇති දුවක වූවාය.
ජසින්තාගේ වියෝවෙන් ඇයගේ පියා වන ටී.එම්.ඒකනායක මහතා දැඩි ලෙස කම්පනයට හා දුකට පත්වී සිටියි. “කොයි තරගයකට ගියත් මගේ දුව මොනව හරි සහතිකයක් අරන් එනවා. මගේ අතට දීලා උජාරුවට දූගේ හපන්කම කියනවා. මට අද ලැබුණේ දරුවාගේ අවසාන සහතිකය මරණ සහතිකය. බුදු දහමට අනුවම ජීවත් වුණ දුවට මෙහෙම වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. කොහේ ගියත් මාත් එක්කම තමයි. නමුත් එදා මගේ ගමන නැවතුණා. මාරයාට පුලුවන් වුණා මගේ දරුවා  ඩැහැගන්න. ඇයි මගෙ දුවේ අපි දාලා ගියේ. මගේ සිහිනෙ හොරු අරන් ගියා. ජසින්තාගේ පියා කඳුළු සලමින් පැවසුවේය.
“පුංචි කාලයේදී පටන් මේ දරුවා ඉතා දක්ෂයි. කටකාරයි. අධ්‍යාපනයට මුල් තැන දීලා වැඩ කළා. වැරදි වැඩ කළේ නැහැ. පාස‍ලේ මොන යම් උත්සවයක් තිබ්බත් නිවේදන කටයුතු කරන්නේ ජසින්තා අද ඒ සියල්ල නැති වෙලා. පාඩුව පිරිමහගන්න අපට අපහසුයි. ගුරුවරුන් සමග ලෙන්ගතු කමක් තිබුණ දැරියක් අපට නැති වුණේ පාස‍ලේ අපි සියලු දෙනා කතා කළේ ආදරයට ජසී කියලා. නමුත් අද ඒ සියල්ල නැතිවෙලා ජසීන්තාගේ මේ හදිසි වියෝව පාසලට පමණක් නොව මුළු විල්ගමුවටම පාඩුවක්. උපන් හපන්කම් තිබූ ජසී විදුහල්පති තුමාගේ ආචාර්ය මණ්ඩලය ඇතුළු පාස‍ලේ ලොකු කුඩා හැමෝගෙම ආදරයට පත්වුණු හිත හොඳ දක්ෂ දරුවෙක්. විද්‍යාලයේ ආචාර්ය ශිරෝමිලා කරුණාරත්න මහත්මියද කඳුළින් අප සමග පැවසුවාය.
ජසින්තාගේ  හදිසි වියෝවෙන් පාස‍ලේ මිතුරු මිතුරියන් පමණක් නොව මුළු විල්ගමුව ප්‍රදේශයම මළගමක් බවට පත්ව තිබේ. දිරිය දියණියනි, ඔබට නිවන් සුව අත්වේවා. ජසින්තා දියණිය ගමක් හඬවා 30 දින විල්ගමුව බත්ගම්පල ‍පොදු සුසාන භූමියේදී අවසන් ගමන් යනු ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය