Powered by Blogger.



නිළියක්‌ ලෙස සමාජයේ ජනප්‍රිය වනවාට අමතරව ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙන්ද නයනා කුමාරි ඉදිරියට ඇවිත් තිබෙනවා. කාර්ය බහුල වී සිටින නයනාට කේන්තියන්ගේ නැද්ද...? කේන්ති ගිහිල්ලා රතු කට්‌ට පැන්නේ කවදාද...? මේ තොරතුරු දැනගන්න රතුකට්‌ට පැන්න තැන ගැන කතාබහට අද එකතු වන්නේ නයනායි.

නයනාට පොඩි කාලේ ඉඳන්ම කේන්ති යනවාලු නේද...?

අපෝ නෑ... මට එහෙම කේන්ති යන්නේ නැහැ. මම හැම දෙයක්‌ ගැනම උපේක්‍ෂාවෙන් බලන කෙනෙක්‌. මට පොඩි කාලේදී නම් කොහොමටත් කේන්ති යන්නේ නැහැ.


කලා ක්‍ෂේත්‍රයට ආවට පස්‌සේ නම් කේන්ති යනවා ඇති නේද...?

එහෙමත් නැහැ. මමයි හස්‌බන්ඩ්නුයි අරගෙන බැලුවොත් එයාට ගොඩක්‌ කේන්ති යනවා. මම නම් කේන්ති ගන්නේම නැහැ. ක්‍ෂේත්‍රයේදීත් මම එහෙමයි. මම දන්න හැමෝම දන්නවා, මම කේන්ති ගන්නේ නැහැ කියලා. සමහරු බොරුවටත් කේන්ති ගන්නවනේ. මම එහෙමවත් කරන්නේ නැහැ.

ක්‍ෂේත්‍රයේ ඉන්න කොට කට කතා පැතිරෙනවා. එක එක්‌කෙනා ඒ ගැන අහනවා. එතකොට නයනාගේ රතුකට්‌ට පනිනවා ඇතිනේද...?

අනේ නැහැ. මොකටද අපි ඒ ගැන කේන්ති ගන්නේ. අපි ඒවට කේන්ති ගත්තොත් අපි ඒකට දැඟලුවොත් අපි ඒවාට ඔළුව නරක්‌ කරගත්තොත් ඒකෙන් පාඩුවෙන්නේ තමන්ටමයි. මම පොඩි කාලේ ඉඳලාම උපේක්‍ෂාවෙන් බලන්න පුරුදු වෙච්ච කෙනෙක්‌. ඒ මානසිකත්වය මට තියෙනවා. ඒ නිසා ඒ වගේ දේකට මම කවදාවත් කේන්ති ගන්නේ නැහැ. ඒක මම උපරිමයෙන්ම පුරුදු කරපු කෙනෙක්‌. ඒක මම ගෙදරින්ම ප්‍රගුණ කරලා තියෙනවා. සුමිත් එක්‌ක මම අවුරුදු විස්‌සක්‌ විතර ජීවත් වෙනවා. සුමිත් කියන්නේ පුංචි දේටත් පුදුමාකාර විදිහට කේන්ති යන කෙනෙක්‌. එයාට වඩා හාත්පසින්ම වෙනස්‌ කෙනෙක්‌ මම. ඒක නිසාම මම කේන්ති යන එක ගැන පුදුමාකාර අවබෝධයක්‌ තියෙන කෙනෙක්‌. ඒක නිසා, මම හිතන්නේ නැහැ මට මේ ආත්මේදී නම් කේන්ති යයි කියලා.

මගේ ගෙදර වැඩට ඉන්න අයගේ අතින් මොකක්‌ හරි කැඩුනොත් දැක්‌කේ නැහැ පේන්නේ වගේ මම ඉන්නවා. ඒත් ඒක වෙච්ච ගමන්ම ඒ ගැන සුමිත් කේන්ති ගන්නවා. මම පස්‌සේ එයාට කියනවා ඒක කැඩුනාට පස්‌සේ අපි ඒ ගැන කතා කරලා වැඩක්‌ නැහැ.

ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේදී නයනාට කේන්ති යන්නේ නැද්ද..?

සුළු වශයෙන් කේන්ති යන අවස්‌ථා තියෙනවා. එහෙම නැත්නම් මම වෙනමම මනුස්‌සයෙක්‌ වෙන්න එපෑයෑ.

එහෙම කේන්ති ගිය වෙලාවක්‌ මතක්‌ කරන්න පුළුවන්ද..?

මේ ළඟදි මම වෙඩින් එකකට ගියා. එවෙලේ මට හරියට සාරිය ඇඳගන්න විදියක්‌ තිබුණේ නැහැ. මගේ සැලෝන් එක වහන වෙලාව නිසා එදා සිටියෙත් එක ළමයයි. ඒ ළමයාටත් යන්න වේලාව ඇවිල්ලා තිබුණා. මම තනියෙන්ම ඒ වෙලාවේ සාරිය ඇඳගත්තා. මොකද, මම ඒ වෙලාවේ බැලුවේ සැලෝන් එකේ ළමයාට යන්න ඕනේ කියන එක ගැන. සාරිය හරියට ඇඳ ගන්න බැරිවුණානේ කියලා මට කේන්තියක්‌ ආවා. මට සැලෝන් එකක්‌ තිබිලා හරියට ඒ වැඩේ කරගන්න බැරිවුණානේ කියන කේන්තිය මට ඒ වෙලාවේ ආවා. ඒ වෙලාවට අපි කෑකෝ ගහලා හරියන්නේ නැහැනේ. කේන්ති ගත්තත් මම ඒක තනියම විඳගත්තා.

කේන්ති ගන්න එක හොඳ දෙයක්‌ නෙමෙයිනේ. අපි ඒ ගැන දන්නවා. අපි ඒ ගැන දැනගෙන සමාජය ඒ ගැන දැනුවත් කරනවානේ. කලාව, රූපලාවන්‍ය කියන්නේ, මේ ලෝකේ තියෙන සුන්දරම දේවල්. අපි නියෑළිලා ඉන්නේ ඒ ක්‍ෂේත්‍රවල. අපි තුළින් විද්‍යමාන වෙන්නෙත් ඒ දේවල්. අපි ඉරිසියා කරනවා නම් කේන්ති ගන්නවානම්, වෛර කරනවානම්, නපුරුනම් අපිට ඒ දේවල් නරකයි කියන්න බැහැ.

පසුගිය කාලයේ මට ඇති වෙච්ච කට කතා ගැන මම බැලුවේ උපේක්‍ෂා සහගතව. මම ඇත්තටම ඒ දේවල් කරපු අයට මෛත්‍රි කළා. මම එහෙම ඉන්න කොට, මා තුළ තව තවත් සුන්දරත්වය ගොඩනැඟෙනවා. මම ගොඩක්‌ යෝග කරපු කෙනෙක්‌. මම අධ්‍යාත්මිකව ඒ පුහුණුව ලැබුවා. මනස, ශරීරය පාලනය කරන්න මම ඉගෙන ගත්තා. ඒ නිසාම තමයි මම කේන්ති ගන්නෙත් නැත්තේ. අනිත් එක අපිව දකින හැමෝම කියන්නේ, නයනා ඔයා තවත් ලස්‌සනයි කියලයි. ඒ කේන්ති ගන්නේ නැතිව සුන්දර විදිහට උපේක්‍ෂාවෙන් ජීවත්වෙන නිසයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය