Powered by Blogger.

අපට හරවත් ළමා සාහිත්‍ය සම්ප්‍රදායයක් ඇද්දැයි මම නොදනිමි. එසේ වුවත් කුමාරතුංග මුනිදාස, වී. ඩී. ද ලැනරොල්, හියුබත් දිසානායක, සුනිල් ජයවීර, සිබිල් වෙත්තසිංහ වැනි ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් විසින් අර්ථවත් ළමා කෘති රැසක් සිංහල සාහිත්‍යයට දායක කරනු ලැබ ඇති බව නම් ඉතා පැහැදිලිය.
සමන්මලි පද්මකුමාර ළමා සාහිත්‍යකරණයට ප්‍රවිෂ්ටව සිටින්නා වූ සමකාලීන ලේඛිකාවකි. ඇය ළමා කතා, කවි හා ගී රැසක් මේ වන විට රචනා කර ඇත. ඇගේ ළමා පොත් කීපයක නව මුද්‍රණ මේ නොබෝදා එළිදුටුවේය. ඒවා නම් ‘පුංචි අපිට තෑගි ගොඩයි’, ‘සල් මල පින්මල’, ‘හිරු පායා බලා සිටියා’ යන කෘතිය. එම පොත් ද සමන්මලි ලියු ‘අපේ කොඩියට අපි ආදරෙයි’, ‘මහදැනමිත්තණියයි යෙහෙළියෝ පස් දෙනයි’ යන සෙසු ළමා පොත් ද ඊට අතිරේකව ‘සසොබන අංගනාවෝ’ නම් වූ කාව්‍ය සංග්‍රහය ද ‘සඳට කියමි’ නම් වූ පරිකල්පනීය සටහන් පෙළ ද පසුගිය දා මම කියවා හමාර කළෙමි.
සමන්මලිගේ ළමා පොත්වල එක් වැදගත් උද්ධෘතයක් දක්නා ලැබේ. ඒ ‘ළදරුවාගේ ප්‍රථම පාසල නිවෙසයි’ යන්නයි. මෙම ලේඛිකාව තම ළමා පොත් ඔස්සේ විනෝදය මෙන්ම දැනුම ද (අධ්‍යාපනය) ලබා දෙන ආකාරයක් අපට පසක් වෙයි. එය කෙතරම් ද යත් ඇය ළමා අධ්‍යාපනඥවරියක්දැයි මට වරෙක සැක සිතෙන තරම් ය. ළමා විශේෂඥවරු මිනිස් වර්ධනයේ අවස්ථා කොටස් හතරකට බෙදති. ඒ (1) ළදරු අවස්ථාව (උපතේ සිට අවුරුදු 5 දක්වා) (2) ළමා අවස්ථාව (අවුරුදු 5 සිට 12 දක්වා) (3) නව යෞවන අවස්ථාව (අවුරුදු 12 සිට 18 දක්වා) වැඩුණු අවස්ථාව (අවුරුදු 18 න් පසු). සමන්මලි තම ඉලක්කගත පාඨකයා බවට පත්කර ගන්නේ මෙයින් ළමා අවස්ථාව යනුවෙන් දැක්වෙන වයස අවුරුදු 5 සිට 12 දක්වා) ළමා පරපුරය.
සමන්මලි ළමා සාහිත්‍යකරණයේදි විවිධ ප්‍රස්තුත කරා යයි. ඇය ජනකතා කෙරෙහි ද මාහැඟි අවධානයක් යොමු කරයි. ජනකතා ආශ්‍රිත ළමා කතා රැසක් සිංහල සාහිත්‍යයේ දක්නා ලැබේ. ‘ගමමහගේ කටුවල කෑ හැටි’, ‘ගමරාලගේ නුවණ’, ‘ලබු ගෙඩියේ කංකාරිය’, ‘ගමරාල දෙව්ලොව ගිය හැටි’, ‘ලබු කිරිබත්’, ‘පුහුල් හොරා කරෙන් දැනේ’, ‘රන් කැකිරේ කතාව’, ‘අමල් බිසෝ’, ‘යකෙක් කන්න බඩගිනියි’ යන කතා ඊට උදාහරණ වශයෙන් දැක්විය හැකිය.
‘මහදැනමිත්තණියයි, යෙහෙළියෝ පස්දෙනයි’ සමන්මලි සතු ජනකතා නැඹුරුව සාක්ෂාත් කරන්නකි. මහදැනමුත්තාගේ මෙන්ම ඇගේ බිරියගේ ද ව්‍යවහාරික බුද්ධිය ඉන් පිළිබිඹු කරයි.
සමන්මලි අපූර්ව පරිකල්පන ශක්තියකින් හෙබියාවූ ලේඛිකාවකි. ‘සල්මල පින්මල’ ඇගේ ඒ සුවිශද පරිකල්පන ශක්තිය අපට තහවුරු කරයි.
සමන්මලිගේ ළමා කතා අතිශයින්ම නාට්‍යෝචිතය. ඒවා ප්‍රාථමික පන්තිවල රංගනගත කිරීමෙන් ළමයින්ට වෙනත් විදියේ අත්දැකීමක් සහ අපූර්ව රසාස්වාදයක් විඳගත හැකි යැයි මම සිතමි.
ඇගේ පොත්වල ඇතුළත චිත්‍ර පිටකවරය හා නිමාව ගැන ද යමක් පැවසිය යුතුය. ළමා පොතක දෘශ්‍යගෝචර නිමාව ඉතා වැදගත්ය. කතාව කොතරම් හරවත් වුවත් ගොරහැඬි වර්ණයන්ගෙන් යුතු සිත්තම් එහි වටිනාකම් පිරිහෙළයි. සසංක දසනායකගේත් කුමුදු පීරිස්ගේ චිත්‍ර නිර්මාණ ගසට පොත්ත මෙන් කෘතියට ඓන්ද්‍රීයව බැඳී තිබෙන බව කිව මනාය. ඒවා අතිශය නිර්මාණශීලීය.
‘සසොබන අංගනාවෝ’ සමන්මලි සතු නිසඟ කවීත්වය මූර්තිමත් කරයි. විවිධ වූ හෘදයාංගම අත්දැකීම් ඊට පාදක වන්නේය. ‘සඳට කියමි’ ඇගේ පරිකල්පනීය චින්තාවන්හී මධුර ඵලයක් වැන්න.
සමස්තයක් ලෙස ගත් කල්හි සිංහල සාහිත්‍යයේ කාන්තා නියෝජනය තුළ සමන්මලිගේ දායකත්වය ප්‍රශංසා පූර්වක බව සටහන් කරනු කැමැත්තෙමි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය