Powered by Blogger.

විවාහවෙලා දැන් අවුරුද්දක්‌ විතර වෙනවා අපට තවම දරු සම්පත් නැහැනෙ.... බොහෝ විවාහක අඹු සැමියන් වෛද්‍යවරු වෙත පැමිණ පවසති. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දරු සම්පත් නොමැතිකම එසේත් නැත්නම් මදසරු බව යනු විවාහක යුවළකට දරු සම්පතක්‌ අවශ්‍ය මොහොතේ එය හට නොගැනීමය. ඒ සඳහා විවාහ වී කොපමණ කලක්‌ ගතවී දැයි කියා ගැටලුවක්‌ මතු නොවේ.

වැඩිවියට පත්වූ යුවතියකගේ ඔසප් චක්‍රය වයස අවුරදු 16 සිට 40 දක්‌වා හොඳින් ක්‍රියාත්මක වේ. එනිසා මෙම කාල සිමාව තුළ දරු සම්පතක්‌ ඇයගේ ගර්භාෂය සූදානමින් සිටී. නමුත් නිරෝගී දරු සම්පතක්‌ සඳහා හොඳම වයස ලෙස කාන්තාවකට ආයුර්වේදයේ දක්‌වා ඇත්තේ වයස අවුරුදු 18 ත් 25 ත් අතර කාලසීමාවය.

වැඩිවියට පත්වූ පිරිමියකුට නිරෝගී දරු සම්පතක්‌ සඳහා ඉතා හොඳින් ශුක්‍රාණු නිපදවන කාලය ලෙස වයස අවුරුදු 21 ත් 25 ත් අතර කාලය හඳුන්වා ඇත.

වර්තමානයේ පවතින කාර්ය බහුල ජීවන රටාව අනුව බොහෝ තරුණ තරුණියන් විවාහවන්නේ වයස අවුරුදු 30 පමණ ඉක්‌මවූ විටදීය. විවාහ වී තවත් වසර කිහිපයක්‌ ගතවූ පසු දරු සම්පතක්‌ ගැන උනන්දු වේ. එවිට ඔවුන් බලාපොරොත්තු වන අවස්‌ථාවේ දරු සම්පත් නොලැබූ විට මානසික පීඩාවට පත්වේ. එනිසා වර්තමානයේ බොහෝ විවාහක අඹු සැමියන් දරුඵල ප්‍රමාදවීම් ගැන පවසමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙති.

දරු සම්පතක්‌ පමාවීමට බලපාන හේතු

වර්තමානයේ බොහෝ විවාහ අඹු සැමියන්ට දරුඵල පමාවීමට බලපා ඇති හේතු වී ඇත්තේ වයස අවුරුදු 30 ඉක්‌ම වූ පසු විවාහවීම, සැමියාත් බිරිඳත් කාර්ය බහුල රැකියාවල නිරතවීම ආර්ථික, තත්ත්වය සහ ආහාරපාන රටාව යන කරුණුය.

වයස

ආයුර්වේදයේ සඳහන් දරුඵල ලැබීමට සුදුසුම වයස ඉක්‌මවා විවාහ වීමේදී විශේෂයෙන්ම කාන්තාවන්ගේ ගර්භාෂයේ සංකූලතා මතුවේ. ගර්භාෂය යනු දරු සම්පතක්‌ උදෙසාම සැකසුන ඉන්ද්‍රියකි. ඔසප්වීම ආරම්භ වූදා සිට ගර්භාෂය දරු කළලයක්‌ අපේක්‍ෂාවෙන් පසුවේ. එම අපේක්‍ෂාව ඉටුවීම පමාවන විට හෝමෝන අසමතුලිතතාවයන් මතුවේ. එවිට ගර්භාෂ ගෙඩි එන්ෙඩ්‍රාමෙටි්‍රයෝසිස්‌ වැනි සංකූලතා ගර්භාෂය තුළ මතුවන්නට පටන් ගනී. එසේම සරු ඩිම්බ නිපදවීමේ හැකියාව ද අවම වේ.

කාර්ය බහුල බව

අතීතයේදී නම් කාන්තාව ගෘහණියක්‌ ලෙස කටයුතු කරමින් දරුවන් බිහිකර සරල දිවියක්‌ ගත කළාය. නමුත් වර්තමානයේ බොහෝ කාන්තාවන් ගත කරන්නේ අවිවේකී දිවියකි. එනිසා ඔවුනට මතුවන මානසික පීඩනය බොහෝය. මෙම මානසික පීඩනය නිසා කාන්තා හෝමෝන අසමතුලිතතාවයට ලක්‌වේ. එය ඩිම්බ නිපදවීම පමාවීමට සහ ඔසප් චක්‍රයේ ක්‍රමවත් බවට බලපෑම් ඇතිකරයි.

ආර්ථික තත්ත්වය

යුග දිවියට පත් ඇතැම් අඹුසැමියන් දරු සම්පත්වලට වඩා ප්‍රමුඛත්වය දක්‌වන්නේ ගෙයක්‌ දොරක්‌ හදාගැනීම, වාහනයක්‌ මිලදී ගැනීම උසස්‌ අධ්‍යාපන කටයුතු ආදිය පිළිබඳවය. මෙම කටයුතු සම්පූර්ණ කරගෙන දරුසම්පත් ගැන සිතන විට සරු කාලය පසුවී ඇත.

ආහාර පාන රටාව

වර්තමානයේ අප බොහෝ දෙනා කෘත්‍රීම ආහාර පාන ගැනීමට වැඩි නැඹුරුවක්‌ දක්‌වති. ක්‌ෂණික ආහාර වර්ග, අධික මේදය සහිත ආහාරවර්ග ආදිය ගැනීම නිසා අධික ස්‌ඵූලතාවයට පත්වේ.

එහි ප්‍රතිඵලය වන්නේ හෝමෝන අසමතුලිතතා මතුවීමය. එය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද එක සමානව බලපායි.

කාන්තාවන්ට හෝමෝන අසමතුලිතාත මතුවූ විට ඔවුන්ගේ ඔසප්වීමේදී අධික ලෙස රුධිරය පිටවීම, නියමිත දිනට ඔසප්වීම සිදු නොවීම, ඔසප් වීමේදී අධික වේදනාවක්‌ මතුවීම, ආදි ලක්‍ෂණ දැකිය හැකිය.

හෝමෝන අසමතුලිතතාව පිරිමින්ට මතු වූ විට සරු ශුක්‍රාණු නිපදවීම අඩාලවේ. ශුක්‍ර තරලයක තිබිය යුතු ශුක්‍රාණු ප්‍රමාණය අඩුවේ.

දරුඵල පමාවීම නිසා පසු තැවෙන සහ දරුඵල ලබා ගැනීමට වෙහෙසෙන අඹු සැමියන් තමාට මතුව ඇති ගැටලුව පිළිබඳ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් පමාවී ඇති දරුඵල ලබාගත හැකිය.

දරුඵල පමාවන විට බාහිරින් කෘත්‍රිම හෝමෝන ලබාගැනීම සඳහා යොමුවීම හානි කරය. ඉන් සිදුවන්නේ පවතින මදසරු බව තව තවත් උග්‍රවී වඳ භාවයට පත්වීමය.

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ
ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
දුරකථන 0112792394, 0114906962

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය