Powered by Blogger.

කිරි වෙහෙර චෛත්‍ය රාජයා
 
බුදුන් වහන්සේ සිය සිරුරේ එක් පසෙකින් ගින්දරත් අනෙක් පසින් ජලයත් එකවිට පිටවන්නා සේ පෙන්වමින් යමකමහා ප‍්‍රාතිහාර්යය පෑ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. එය බුදු වරයකුට පමණක් කළ හැකි දෙයක් බව ද සඳහන්ය.

රුවන්වැලි සෑ රජුන් අසළ රාතී‍්‍ර කාලයේ පිරිත් සජ්ජායනා ඇසෙන බවත් ශී‍්‍ර මහා බෝ මළුවේ සිටි භික්ෂූන් වහන්සේලා හිටි හැටියේ වන මතින් පාවී යනු දුටු බවත් විවිධ අවස්ථාවලදී වාර්තා කැර ඇත.

මෙවර අලූත් අවුරුදු උදාව යෙදී තිබුණේ බක් මස පුන් පොහෝ දින දී ම වීම විශේෂත්වයකි. අවුරුදු උදාවට පෙර සිදුව නොනගතය හෙවත් පුණ්‍ය කාලයේ දී ආගමික ස්ථානයකට ගොස් ආගමික වතාවත්හි යෙදීම බෞද්ධයන්ගේ සිරිතකි. කතරගම කිරි වෙහෙර භූමිය ද ඒ වේලාවට සැදැහවතුන්ගෙන් අඩුවක් නැති ස්ථානයකි.
 



කිහිරි යනු හඳුන් වර්ගයේ ශාකයකි. කිහිරි ගසේ පත‍්‍ර තරමක් තඹ පැහැතිය. කිහිරි ගස් අදට ද කතරගම අවට දක්නට ලැබෙයි. අතීතියේ බුදුන් දවස කතරගම අවට කිහිරි ගස් බහුල වනයක් වූයේලූ. කිහිරි ගස් බහුල බැවින් මේ වනාන්තරය කිහිරි වනය ලෙස හැඳින්වූ බවත් එවකට කතරගම මහාඝෝෂ නමැති ප‍්‍රාදේශීය පාලකයකු සිටි බවත් ජනප‍්‍රවාදයේ එයි. සොලොස්මස්ථාන පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ තුන්වැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ මේ කිහිරි වනයේ සමාපත්ති සුවයෙන් වැඩසිටි බව ද එහි සඳහන්ය.

බුදුන් දුටු දඩයක්කරුවකු ඒ බව පාලකයාට සැළකල විට ඔහු සෙන`ග පිරිවරා එහි පැමිණ බුදුන්ගෙන් ධර්මය අසා සෝවාන් වූ බව ද මේ ජනප‍්‍රවාදයේ දැක්වේ. සෝවාන් වූ මහාඝෝෂ හට බුදුන්හන්සේ විසින් පූජනීය වස්තුවක් ලෙස හිස පිරිමැද කේෂ ධාතු ලබාදුන් බවත් ඒ කේෂ ධාතු හා ධර්මය දෙසීමට වැඩ සිටි අසුනත් තැන්පත් කර මහසෙන් රජු චෛත්‍යයක් කරවූ බවත් බෞද්ධයෝ විශ්වාස කරති. මේ කිහිරි වනයේ පිහිටි චෛත්‍යය කිහිරි වෙහෙර වී පසු කළෙක එය කිරි වෙහෙර වී ඇතැයි මතයකි. මේ මතය සනාථ කරවන කතාවක් සංස්කෘත බසින් රචිත දිව්‍යාවදාන නම් ග‍්‍රන්ථයෙහි ද දක්නට ලැබෙයි.

අතීත ජනප‍්‍රවාදයේ දැක්වෙන්නේ සෝවාන් වූ මහාඝෝෂ මරණින් පසු මහාසේන දිව්‍ය රාජයා නමින් තුසිත දෙව්ලොව උපන් බවයි. වරින් වර දෙවි දේවතාවුන් පැමිණ කිරි වෙහෙරට කිරි පූජා පවත්වන බව ද ජනප‍්‍රවාදයේ එන මතයකි.

අලූත් අවුරුදු දිනට පෙර දිනයේ කඩවත වෑබඩ  සිරි අරහත්තක සමාධි ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන බොරැුල්ලේ සිරිසුමන හිමියෝ ප‍්‍රමුඛ පිරිසක් කිරි වෙහෙර පූජා භූමියට පැමිණියහ. ඒ නොකඩවා හයවැනි වරටය. සෑම වසරක  අලූත් අවුරුදු දිනට පෙර දින කිරි වෙහෙරට පැමිණ චෛත්‍ය මළුවට වී ආගමික වතාවත්වල නිරත වී පසුදින අළුත් අවුරුදු නැකතට කිරිවෙහෙර සෑ රජුන් අභියස කිරි ඉතිරවීම සිරිසුමන හිමියන් ප‍්‍රමුඛ පිරිසගේ සිරිතයි.

අපේ‍්‍රල් මස 13 දා රාතී‍්‍ර ගිලන්පස පූජාවෙන් අනතුරුව පැමිණ සිටි පිරිසෙන් 20ක් පමණ දෙනා එහි දස සිල් සමාදන් වූහ. සූවිසි පට්ඨාන ඥාන වෙනුවෙන් ධජ 24ක් හා නව අරහාදී බුදුගුණ වෙනුවෙන් ධජ නමයක් ද කිරිවෙහෙර භූමියේ එල්ලූහ.

ඉන් අනතුරුව සිදුවූයේ බුදුන් වහන්සේගේ ප‍්‍රාතිහාර්යයන් හා අපූරු සබඳතාවක් ඇති සූවිසි ප‍්‍රත්‍ය පට්ඨාන ප‍්‍රකරණය සජ්ජායනා කිරීමයි.

එහි විශේෂත්වයක් තිබේ. රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් රචිත පට්ඨාන මහා පකරණ සන්නය නම් ග‍්‍රන්ථයේ දැක්වෙන්නේ බුද්ධත්වයට පත් සත්වැනි වර්ෂයේ ඇසළ පුන් පොහෝ දිනයේ සැවැත්නුවර ගණ්ඩම්බ නම් වෘක්ෂ මූලයෙහි සිට තමන් වහන්සේ ලූහුබැඳ ආ තීර්ථකයන්ගේ මානය මර්ධනය කිරීම පිණිස යමක ප‍්‍රාතිහාර්යය පා අවසානයේ පෙර බුදුවරයන් වහන්සේලා මෙන් තුන් පියවරකින් තව්තිසා දෙව්ලොවට වැඩම කළ බවයි.

ඉන් පසු පාණ්ඩුකම්භල ශෛලාසනය නම් දිව්‍ය ආසනයේ සවනක් ගන බුදුරැුස් මාලාවන් විහිදුවමින් දස දහසක් සක්වළින් පැමිණි දේව හා බ‍්‍රහ්ම ගණයා පිරිවරා වැඩ හිඳිමින් මාතෘදිව්‍යරාජයා ප‍්‍රධාන කරගනිමින් දෙවි බඹ පිරිස අමතා ‘‘කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා’’ යනාදී වශයෙන් අභිධර්ම පිටක දේශනය කළ සේක. එහිදී පිළිවෙලින් විහංගප‍්‍රකරණය, ධාතූකථා ප‍්‍රකරණය, පුද්ගල ප‍්‍රඥප්ති ප‍්‍රකරණය, කථාවස්තු ප‍්‍රකරණය, යමක ප‍්‍රකරණය, යන ප‍්‍රකරණ දේශනාකැර අවසන් වශයෙන් පරම ගම්භීර වූ අනන්ත නය සමන්වාගත ප‍්‍රස්ථාන මහා ප‍්‍රකරණය දේශනා කළ සේක මෙය පට්ඨාන මහා ප‍්‍රකරණය ලෙස හැඳින්වේ.
 
කිරි වැනි ද්‍රව්‍යයක් වෑස්සෙන අයුරු
අලූත් අවුරුදු උදාවන මොහොතේ මේ දේශනාව කිරිවෙහෙර භූමියේ යළි සජ්ජායනා කිරීමෙන් අනතුරුව කිරි උතුරුවමින් අලූත් අවුරුදු උදාව සනිටුහන් කිරීමට සියල්ල සූදානම් කැරිණි. කිරි ඉතිරවීමේ නැකත යෙදී තිබුණේ 14දා උදෑසන 10.17ට ය. ඉන් විනාඩි 20ට පෙරාතුව ‘‘මහාසංඝය’’ සූත‍්‍රය සජ්ජායනා කිරීම ද ආරම්භ කැරිණි.

කතරගම කිරි වෙහෙරට බෝධිය දෙසින් පැමිණ ඇතුළුවන ප‍්‍රධාන දොරටුව ඉදිරිපිට දෙවැනි මළුවේ කිරි ඉතිරවීම සිදුකැරෙමින් පවතිද්දී බොරැුල්ලේ සිරිසුමන හිමියෝ අමුතු දෙයක් දුටහ. ඒ කිරි වෙහෙරේ කොත් කැරැුල්ලේ කොතට පහළින් කිරි වෑස්සෙමින් තිබෙන බවයි. මෙය සිදුවෙමින් පවතින්නේ පිරිස පහත මළුවේ කිරි උතුරුවන ස්ථානයට හරියට කෙලින් ඉහළිනි. හිමියන් බලා සිටින දෙස නෙත් යොමු කළ බොහෝ දෙනා මේ ආශ්චර්යය දැක සාදු නාද පැවැත්වූහ. සුදෝ සුදු පැහැති චෛත්‍යයේ සුදු පැහැති කොත් කැරැල්ලේ ඊටත් වඩා සුදු පැහැයෙන් යුතු යම් ද්‍රාවණයක් වෑස්සෙද්දී දෙවියන් කිරිවෙහෙරට කිරි පූජා පවත්වතියි බැතිමත්හු සිතූහ. අද මෙය තවත් ආශ්චර්යවත් සිදුවීමක් බවට පත්ව ඇත.

අපේ‍්‍රල් මස 14 දා පැය භාගයකට ආසන්න කාලයක් මේ කිරි වැස්සීම සිදුවූ බවත් ඉන් පසු මේ ලිපිය ලියන බ‍්‍රහස්පතින්දා දින උදය කාලය දක්වාම 14, 15, 16, 17 යන දින හතරේම කිරි වෙහෙරේ කිරි වෑස්සීම සිදුවූ බවත් පැවසේ.

කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද  හිමියෝ මෙසේ කීහ.

මෙය සැබැවින්ම ආශ්චර්යයක්. කිරිවෙහෙර බුදුන්වහන්සේ වැඩමකර සමාපත්ති සුවයෙන් වැඩ හිඳීමෙන් පූජනීයත්වයට පත්වූ සොළොස්මස්ථාන වලින් එක් ස්ථානයක්. මෙලෙස කිරි ඉතිරීමක් සිදුවන බව අසන්නට ලැබීමත් සමග මම එහිගොස් බැලූවා. එය මා ඇස් දෙකෙන් ම දුටුවා. ඒ ස්ථානයේ සිටි සිය ගණනක් සැදැහවතුන් සියැසින් දැක සාදු නාද පැවැත්වූයේ මහත් භක්තියකින්. ඒ වගේම දැන් සෑම දිනක ම මේ ආකාරයෙන් උදය කාලයේ එම වේලාවට ආසන්නව කිරි වෑස්සීම දිගින් දිගට ම සිදුවනවා. අපි ඇසින් දුටු දේ සත්‍යයක්. මෙහි විiාත්මක පැහැදිලි කිරීමක් සිදුකළ නොහැකියි. කෙසේ සිදුවනවා ද කියා කිව නොහැකි වුවත් බෞද්ධයන් ලෙස අපි විශ්වාස කරනවා යම් ආශ්චර්යයකින් මෙය සිදුවන බව. මෙවැනි සිදුවීමක් 1970 වර්ෂයේ දී සිදුව තිබෙන බව පැවසෙනවා.

බොරැුල්ලේ සිරිසුමන හිමියෝ මෙසේ කීහ.

‘‘මේ ආකාරයට සුදු පැහැයෙන් වැගිරෙන දෙය විනාඩි 20ක් පමණ මා බලා සිටියා. එය වැගිරෙමින් වියළී ගියා. බ‍්‍රහස්පතින්දා දක්වා ම සිදුවූ බව දැනගත්තා. මගේ විශ්වාසය වන්නේ දින හතක් මේ ආකාරයට මෙය සිදුවේවි කියායි. යම් පිරිසක් ශාසන ප‍්‍රතිපදාවේ යෙදෙමින් අභිධර්මයේ ගැඹුරු ධර්මස්කන්ධයක් සජ්ජායනා කරද්දී තමයි මේ දේ සිදුවුණේ අපි දන්නා පරිදි සූවිසි පට්ඨාන මහා ප‍්‍රකරණය දේශනා කළේ තව්තිසා දිව්‍ය ලෝකයේ දී අපි එය කිරිවෙහෙර අසළ සජ්ජායනා කළ මොහොතේ දෙව් බඹුන් විසින් අපේ ගිහියන්ගේ ශ‍්‍රද්ධාව වැඩිකිරීම පිණිස මෙවැනි දෙයක් සිදුකරන්නට ඇතැයි සිතනවා. බුදුන් වහන්සේ දේශනා කළ ‘‘අච්චරිය අද්භූත’’ සූත‍්‍රයේ දී මෙවැනි ආශ්චර්යයන් ගැන විස්තර කැර ඇති නිසා මෙවැනි දේ බුදු දහමට අනුව අමුතු සහ සිදුවිය නොහැකි දේ නොවෙයි. ඒ අවස්ථාවේ එතැන සිටි වයසක අම්මා කෙනෙක් කීවා 1970 වර්ෂයේ දී අවුරුදු නැකතත් පොහොය දිනයත් එකම දිනක යෙදී තිබුණු බව. එදිනත් මළුවේ කිරි උතුරුවද්දී කිරිවෙහෙරෙන් කිරි උතුරනවා දුටු බව ඇය කීවේ සතුටින් හ`ඩමින්. සිරිසුමන හිමියන් පවසන්නේ ඇතැම් පිරිස් මෙය විiාව අනුව පැහැදිලි කිරීමට උත්සාහ ගැනීම සුදුසු නොවන කි‍්‍රයාවක් බවයි. විiාව යනුවෙන් හැඳින්වෙන්නේ ධර්මය ගැන නොදන්නා අඳ බාල පෘථග්ජනයන් පිරිසක් විසින් අදහන දෙයක් බවයි. එය සාපේක්ෂ දෙයක් බවත් එහි ස්ථිර කිසිවක් නොමැති බවත් සිරිසුමන හිමියෝ කියති. ඒ හිමියන් පවසන්නේ ස්ථිරවම මෙය මෙසේ සිදුවනවා යැයි බුදු දහම අනුව කිව හැකි වුව ද විද්‍යාවට අනුව එසේ පැවසිය නොහැකි බවයි.
මේ සිදුවීම ඡායාරූපයට නැගීමට කටයුතු කළ උමංග ගුණරත්න මහතා පවසන්නේ තමන් පැය භාගයකට ආසන්න කාලයක් පුරා විවිධ කෝණවලින් ඡුායාරූප රැුසක් ගත් බවයි. මේ ඡුායාරූපවලට අනුව කොත් කැරැල්ලේ ඉහළම කොටසේ රන්වන් කොතට පහළින් ඉදිරියට නෙරා ඇති කොටසකින් කිරි වෑස්සීම සිදුව ඇත. ගුණරත්න මහතා ඒ ගැන මෙසේ පවසයි.

‘‘ ඒ වෙලාවේ එතැන සිටි හැමෝ ම මේ දෙය දුටුවා. මා සැබැවින් දෑසින් දුටු දේ ඡායාරූපයට නැගුවා. අපි දැක්කේ කොත්කැරැල්ලේ ඉහළින් මතුවූ රන් කෙණ්ඩියක් වැනි දෙයකින් කොත් කැරැල්ල මතට කිරි වැක්කෙරෙනවා වගේ. එය සිදු වුණේ කිරි උතුරුවමින් සිටි ස්ථානයට හරි කෙලින්. මේ කෙණ්ඩිය වැනි දෙය ඉන් පසු දක්නට ලැබුණේ නැහැ. ’’

ඔහු ලබාගත් ඡායාරූප මේ ලිපිය සමග ප‍්‍රකාශයට පත්කැර ඇත. එම ඡායාරූප වලට අනුව කිරිවෙහෙරේ කොත් කැරැල්ලේ සුදු පැහැති ද්‍රාවණයක් පහළට වෑස්සෙන ආකාරයත් එයට ඉහළින් දුඹුරු පැහැති පැල්ලමක් ඇති බවත් පැහැදිලිව දක්නට ඇත. එම ස්ථානයේ ද සුදු පැහැති පැල්ලම් දෙකක් දක්නට ලැබෙයි. ගුණරත්න මහතා පවසන්නේ මේ රන් කෙණ්ඩියක් බවයි. කොත් කැරැල්ලේ සුදු පැහැති ද්‍රාවණය ආරම්භවන ස්ථානයට ඔහු රන් කෙණ්ඩියක් යැයි පවසන තැනින් සුදු පැහැති ද්‍රාවණයෙන් බිංදු වශයෙන් හෝ දියර වෑස්සෙන ආකාරයක් ඔහු හෝ එතැන සිටි කිසිවෙකුත් දැක නැත.

කිරි පැහැ ද්‍රාවණය වෑස්සීම අවසන් වූ පසු ඔහු විසින් ගත් ඡායාරූපයට අනුව එම ස්ථානයේ කළු සහ දුඹුරු පැහැති යම් පැල්ලමක් දක්නට ලැබෙයි. බ‍්‍රහස්පතින්දා සවස මේ ලිපිය ලියන මොහොත වනතුරු ද මේ පැල්ලම කුමක් දැයි කිසිවෙකු විසින් පරීක්ෂාකැර නැතත් එය තවමත් දක්නට ලැබෙන බව කිරිවෙහෙර සමීපයේ සිටින පිරිස් කියති.

අපේ‍්‍රල් 15 දා උදෑසන කිරිවෙහෙරෙන් යළි කිරි වෑස්සෙන බව පවසමින් එහි සිටි සිය ගණනක් වූ සැදැහැවතුන් සාදුකාර දුන්හ. ඒ මොහොතේ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප‍්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය  යූ.සී.පී.පෙරේරා මහතා ද එහි සිටියේය. ඔහු පවසන්නේ තමන් කිසිදු ආශ්චර්යයක් නොදුටු බවයි.
 
කිිරිවෙහෙර අසළ බොරැල්ලේ සිරිසුමන හිමියන් ඇතුළු පිරිස විසින් 13 දා රාතී‍්‍ර පූජා පවත්වන අයුරු


‘‘ මා එදින කිරිවෙහෙර භූමියට ගියේ සාමාන්‍ය ආකාරයෙන්. එහි ගියවිට දැනගත්තා පෙර දිනයේ කිරිවෑස්සීමක් සිදුවූ බව අපි ටික වේලාවක් එහි සිටියදී රැස්ව සිටි පිරිස එකවිටම සාදුකාර දෙන්න පටන්ගත්තා. කට්ටිය වැඳගෙන සාදුකාර දෙනවා. බොහෝ පිරිස් චෛත්‍යය දෙස බලන විට මාත් ඒ දෙස බැලූවා. නමුත් කිරි වෑස්සීමක් මා දුටුවේ නැහැ. අපේ මිනිසුන් තමන්ගේ සංස්කෘතිය හා ආගම අනුව බොහෝ ආශ්චර්යයන් විශ්වාස කරනවා. රන් කෙණ්ඩියක් වැනි දෙයකින් කිරි වැගිරෙනවා යැයි කියන ස්ථානයේ නම් පැහැදිලිව තිබෙන්නේ දිය සෙවෙල බැඳීමකින් ඇති වූ ආකාරයේ පැල්ලමක්. එයි යටි පැත්ත කළු පැහැයෙන් දක්නට ලැබෙනවා. උඩ පැත්ත දුඹුරු පැහැතියි. ආශ්චර්යයන් ගැන විශ්වාස කරන පුද්ගලයන් යමකු දෙයක් කියූ පමණින් විශ්වාස කරනවා. තමන් ද එය දුටු බව හ`ගවනවා. නමුත් කිසිවෙකු රන් කෙණ්ඩියයැයි කියන ස්ථානයේ සිට කොත් කැරැල්ලට සුදු පැහැති ද්‍රාවණය වෑස්සෙනවා දැක නැහැ. කොත් කැරැල්ල දිගේ කිරි වැක්කෙරෙනවා දුටුවායැයි කීවත් මා එවැන්නක් දැක්කේ නැහැ.’’

පෙරේරා මහතා පවසන්නේ ගොඩනැගිලි ආශි‍්‍රත ව විවිධ ආශ්චර්යයන් සම්බන්ධයෙන් මිනිසුන් අතර දැඩි විශ්වාසයන් පැවතිය ද ඒවා සත්‍ය නොවන බවයි. කෙසේ වෙතත් වීඩියෝ දර්ශන හා ඡුායාරූයන්හි දැක්වෙන පරිදිනම් යමි සුදු පැහැති ද්‍රාවණයක් ගලාගිය බව පෙනෙන්නට තිබීම පැහැදිලි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

‘‘ මේ දිනවල කතරගම ප‍්‍රදේශයේ දැඩි උණුසුම් කාලගුණයක් දක්නට ලැබෙනවා. උදේ දහය පමණ වනවිට දැඩි අවුරශ්මිය නිසා සුදු පැහැති කිරිවෙහෙර දෙස ඇස් ඇර බැලීම පවා අපහසුයි. මෙවැනි උණුසුම් තත්ත්වය නිසා කිරිවෙහෙරේ කොත්කැරැල්ලේ උඩ රන් පැහැති කොත අසළ ඉහළ ආලේපකැර ඇති තීන්ත දියවී පහළට ගමන්කිරීමත් සිදුවිය හැකි දෙයක්. කෙසේ වෙතත් මෙම ද්‍රාවණය පැමිණියායැයි කියන ස්ථානයේ යම් පැල්ලමක් දක්නට ලැබෙනවා. එතැන පළුදු වූ ස්ථානයක් විය හැකියි. සෑම වර්ෂයක ම ජුනි මාසයේ තීන්ත ආලේප කරනවිට මේ ස්ථානයේ වැඩිපුර තීන්ත යොදනවා විය හැකියි. ඒ තීන්ත අධික රස්නය නිසා දියවී පහළට වැටුනා විය හැකියි. කෙසේ වෙතත් මේ ගැන වැඩිදුරටත් සොයා බැලීම අවශ්‍යයයි. ’’

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය