Powered by Blogger.

පාණදුර සුමංගල විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණු ඔහු පාසලේ සමීපතම මිතුරන් සහ ක්‍රිකට් සගයන් ආදරයට අමතන්නේ ‘කිත්තා’ නමින්.පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන තෙඅංශයෙන්ම එක සේ දස්කම් දක්වන ඔහු පළමු පෙළ තරග 38 ක ඉනිම් 60 කදී ශතක 07 ක් අර්ධ ශතක 12 ක් සමඟ ලකුණු 2449 ක් රැස්කර ගෙන තිබෙනවා.2013 මාර්තු 08 වැනිදා බංගලාදේශයට එරෙහිව ගාල්ලේ දී තම මංගල තරගයට ක්‍රීඩා කරමින් ටෙස්ට් වරම් ලබා ගන්නා කිත්තා අංක 06 පිතිකරුවා ලෙසින් පිටියට පිවිස ලකුණු 59 ක් ලබාගත්තේ එලෙස මංගල තරගයේදී අර්ධ ශතකයක් ලැබූ ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් අතර 8 වැනියා වෙමින්. එහිදී මිනිත්තු 82 ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 70 කට මුහුණ දී එක් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟ ඔහු මෙම ලකුණු 59 ක් ලබා ගන්නවා.
පසුගිය ජනවාරි 27 වැනිදා සිට 30 වැනිදා දක්වා බංගලාදේශයේදී බංගලාදේශයට එරෙහිව සිය තුන්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් මංගල ටෙස්ට් ශතකය ලබා ගත් කිත්තා මහේල ජයවර්ධන සමඟ එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යනවා. මෙහිදී මහේල නොදැවී ලකුණු 203 ක් ලබාගත් අතර කිත්තා නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 103 ක්.
2009 ඕස්ට්‍රේලියානු සංචාරයේ දී 19 න් පහළ වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැන්නා වූ ඔහු 2010 ලෝක කුසලාන තරගාවලියේදී 19 න් පහළ කණ්ඩායමේ උප නායකයා ලෙසින් කටයුතු කළා.
කිත්රුවන් විතානගේ නම් වූ මේ යොවුන් ක්‍රීඩකයා අද ‘රසඳුන’ ‘කෙළිබිමේ තරුව’ වෙමින් කතාබහට එක් වනවා.
“මගේ ගම පාණදුර අළුබෝමුල්ල. තාත්තා ආනන්ද විතානගේ අම්මා අනුරා විතානගේ මට ඉන්නේ අයිය කෙනෙක් විතරයි. අයියා දුල්නුවන් විතානගේ.
හෙවිසන් සේනානායක සහ රෙනිසන් සේනානායක කියන්නෙ මගේ මාමලා. ඒ දෙන්නාම ක්‍රිකට් ගැහුවා. මේ නිසා ක්‍රිකට්වලට මගේ ආසාවක් ඇති වුණේ පුංචි කාලෙ ඉඳලමයි. පුංචි කාලෙ ඉඳලම මගේ ප්‍රියතම ක්‍රීඩකයා වුණේ කුමාර් සංගක්කාර අයියා.
මුලින්ම මම පාසල් ගියේ පාණදුර සුමංගල විද්‍යාලයට. එහිදී තමයි මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තෙ. මගේ මුල්ම පුහුණුකරු වුණේ පී. ජි. ද සිල්වා සහ යූ. එස්. සී. පෙරේරා මහත්වරු. සුමංගල විද්‍යාලයේදී 12 න් පහළ වෙනතුරු එක සීසන් එකක් ක්‍රීඩා කළා. 5 වසරෙන් පස්සෙ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ 2001 අවුරුද්දේදී.
රෝයල් එකේදී 14 න් පහළ ඉඳන් 17 න් පහළ වෙනතුරු නල්ලයියා දේවරාජන් යටතේ පුහුණු වුණා. ඉන් පස්සෙ මගේ පුහුණුකරුවන් වුණේ චූලක අමරසිංහ සහ ගාමිණි පෙරේරා මහත්වරු.”
කිත්රුවන් තම ළමා කාලයත් ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භයත් ගැන කියමින් කතාව පටන් ගත්තේ එහෙමයි.
“රෝයල් එකේ මම ගොඩක් හොඳට සෙල්ලම් කළා. ප්‍රධාන ලෙසම බැටින්වලට තමා ආසා වුණේ. ඒ එක්කම පා දඟ පන්දු යැව්වා. ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට මම ප්‍රසිද්ධ වුණා. මැද පෙළ ඇවිත් විකට් එක රැකගෙන බැට් කරන්න හැම විටම උත්සාහ කළා. වසර 3 ක් බිග් මැච් ගැහුවා. සීසන් 5 ක් සෙල්ලම් කළා.
2009 පාසල් තරග වාරයේ ලකුණු දහස සම්පූර්ණ කළ ක්‍රීඩකයින් අතරට මමත් ඇතුළත්. චන්දිමාල්, ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්ෂ, ගයාන් අනික් ක්‍රීඩකයන්.
පාසල් ක්‍රීඩා පිටියෙන් සමුගැනීමත් සමඟ ක්‍රීඩා සමාජ මට්ටමට පැමිණි කිත්රුවන් එහිදී දැක්වූ දස්කම් ද වාර්තා පොතට එක්වනවා.
“23 න් පහළ එස් එස් සී ක්‍රීඩා සමාජයට සෙල්ලම් කළා. ප්‍රිමියර් සෙල්ලම් කළේ කොළඹ ක්‍රීඩා සමාජයට. 4 වැනි අවුරුද්දෙ ටැමිල් යූනියන් ගැහුවා. පළමු ටැමිල් යූනියන් ප්‍රිමියර් සීසන් එකේ ලකුණු 720 ක් ගැහුවා. ක්‍රීඩා සමාජයක වැඩිම ලකුණු මගේ.
ඒ වගේම අපි 23 න් පහළ සීසන් 3 ක් එක දිගට චැම්පියන් වුණා. ඒක රෙකෝඩ් එකක්. කවුරුත් එහෙම ගහලා නෑ. දෙවැනි අවුරුද්දෙ මම කැප්ටන් කළා.
2009 වසරේ 19 න් පහළ කණ්ඩායමේ ‍ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඒ තරගාවලිය ජයගන්නට අපිට පුළුවන් වුණා. ඒ වෙනකොට ඕස්ට්‍රේලියානු සීරියස් එකක් දිනල තිබුණෙ නෑ. ඒකෙදි වැඩිම ලකුණු ගත්තු අයගෙන් තුන්වැන්නා මම.
2010 නවසීලන්තයේ තිබුණු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ උපනායකයා වුණේ මම. අපි සෙමි ෆයිනල් වෙනකම් හොඳට සෙල්ලම් කළා.”
ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ජීවිතයේ සිහිනය වන්නේ රටේ ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමයි. කිත්රුවන් මේ වාසනාව හිමිකර ගත් ක්‍රීඩකයෙක්. ඒ වගේම මෙතෙක් සහභාගි වී ඇති තරග 4 දී ශතකයක් සහ අර්ධ ශතකයක් රැස්කර ගත් දක්ෂයෙක්. මේ ඔහු තමාගේ කුලුඳුල් ශතකය ගැන පැවසු අදහස්.
“ඒ බංගලාදේශ සංචාරයේ තුන්වැනි තරගය. මම ගහන්න නෙමේ හිටියේ. ඒත් එදා උදේ අපට ආරංචි වුණා ප්‍රසන්න ජයවර්ධනගේ තාත්තා නැති වුණා කියලා. පස්සේ අපේ කැප්ටන් මැතිව්ස් කතා කරල කිව්වා ඔයා සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න කියලා.
ඒ වගේ දෙයක් එක පාරටම කිව්වම ප්‍රෙෂර් එක වැඩියි. මම ගෙදරට කතා කරල අම්මලට කිව්වා අද මම සෙල්ලම් කරනවා කියලා. ඒ තරගයේ කෞෂාල් 139 ක්, මැතිව්ස් 86 ක් සංගා 75 ක් ගහලා මහේල අයිය හොඳට බැට් කර කර හිටියෙ. මම දැනගත්තා ඒ පිච් එකේ බැට් කරන්න පුළුවන් කියලා. මහේල අයියත් සීනියර් ප්ලේයර් කෙනෙක් විදිහට මට ගොඩක් සපෝට් කළා. මම හිතා ගත්තා කැරකිලා ආව අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා කියලා. බෝල 99 කින් 100 ගැහුවා. ඒ මැච් එක අපි දිනුවා. ඒක මගේ ජීවිතයේ අමරණීය තරගයක්.”
කිත්තාගේ ප්‍රියතම ක්‍රීඩකයා සංගා. තමන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා සමඟ එකම කණ්ඩායමක ක්‍රීඩා කිරීමට ලැබීමත් භාග්‍යයක්.
“ඇත්තෙන්ම කුමා අයිය කියන්නෙ ලෝකයේ ඉන්න හොඳම ප්ලේයර් කෙනෙක්. එයා එක්ක මහේල අයිය එක්ක එකට සෙල්ලම් කරන්න ලැබුණු එක මගේ හීනයක් හැබෑ වීමක්. ප්ලේ කරද්දී ඔවුන් අපට ලබාදෙන උපදෙස් හරිම වටිනවා.
ඒ වගේම කුමා අයිය කියල තියෙනවා 22, 23 වගේ වයසෙදි එයා බැට් කරල තියෙන විදිහ ගැන.
මම, කුසල්, තිරිමාන්න අපි කට්ටිය මේ වයසෙදි බැට් කරන විදිහට කුමා අයිය ඒ වයසෙදි බැට් කළේ නැතිලු. අපි ඊට වඩා හොඳට ප්ලේ කරනවලු. ඉතින් අපිට හොඳ අනාගතයක් තියෙනවා කියල ඔහු කිව්වා. ඒ වගේම ඔහුට වැරදුණු තැන් ගැන කියල දුන්නා. මම හිතන්නේ අපිට ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.”
කිත්රුවන්ගේ ආදරණීය මව බැංකු කළමනාකාරවරියක ලෙස සේවය කර දැන් විශ්‍රාම ගිහින්. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයකු බිහිකළ ඇය ඔහු ගැන පැවසුවේ මේ විදිහට.
“පුතා පුංචි කාලයේ ඉඳලම දඟ නැති හරිම කීකරු දෙමවුපියන්ට ගරු කරන ආගම දහමට ළැදි දරුවෙක්. මගේ මල්ලිල ක්‍රිකට් ගැහුව නිසා මෙයත් ක්‍රිකට්වලට ආසා වුණා. අපි පුතාගෙ කැමැත්තට ඉඩ දුන්නා.
පුතාගෙ තාත්තා තමයි හැම තැනම ගිහින් පස්සෙන් ඉඳගෙන පුතාව මේ තත්ත්වෙට ගෙනාවෙ. අපි පුතා ගහන හැම මැච් එකක්ම බලනවා. 19 න් පහළ ඕස්ට්‍රේලියා ටුවර් එක බලන්න අපිත් ඕස්ට්‍රේලියා ගියා.
ඉගෙන ගන්නත් හරිම දක්ෂයි. ක්‍රිකට් ගහලා කොච්චර මහන්සි වුණත් පාඩම් වැඩ අතපසු කළේ නෑ. සාමාන්‍ය පෙළ A 7 ක් B 2 ක් තියෙනවා.
ඒත් උසස් පෙළ විභාගෙ දවස්වල එංගලන්ත සංචාරයක් ආවා. ඒ නිසා විභාගය කරන්න බැරිවුණා. පුතා ගොඩක්ම කැමැති ගමේ කෑමවලට. පොළොස් ඇඹුල, හාල්මැස්සන් බැදුම, පරිප්පු මැල්ලුම් කන්න හරිම ආසයි.”
ඕනෑම ක්‍රීඩකයකුට පරාජයේ අමිහිරි අත්දැකීම් වලටත් මුහුණ දීමට සිදු වනවා. කිත්රුවන් මෙවැනි අවස්ථාවන් වලදී හැසිරෙන ආකාරය ගැනත් ඔහුගේ මව අදහස් දැක්වූවා.
“ඒ වගේ දවස්වලට වැඩිය කතා කරන්නෙ නෑ. යාළුවො එක්ක ගෙදර අය එක්ක කතා නොකර ඉන්නකොට අපි දන්නවා හේතුව. සින්දු අහනවා. පන්සල් යනවා. එයාම හිතල ආයෙත් පුරුදු තත්ත්වෙට එනවා.”
සැබැවින්ම ඒ පිළිබඳව කිත්රුවන්ගේ අදහස් ද දැන ගැනීම වටී.
“මම මානසිකව සිත නිදහස් කරගන්න ඕන වුණාම ගීත අහන එක තමයි කරන්නෙ. තරගයකට පෙරත් පස්සෙත් ගොඩක් වෙලාවට මම සින්දු අහනවා. ගීත ‍‍තෝරා ගැනීමේ කිසිම විශේෂයක් නෑ. මූඩ් එකත් එක්ක අහන ගීත වෙනස් වෙනවා.”
මගේ ක්‍රිකට් ජීවිතයට මට උදව් කළ අයටත් ස්තූතියි කියන්න ඕන. විශේෂයෙන් මම සේවය කරන මාස් ඇක්ටිව් ආයතනයේ මලික් අහමඩීන්, ෂම්මික මීගහපොළ, 19 න් පහළ ඉන්නැද්දී උදව් කළ අරවින්ද ද සිල්වා, නවීඩ් නවාස්, උපුල් චන්දන, සුමිත්‍ර වර්ණකුලසූරිය, අනුෂ සමරනායක, රොමේෂ් කළුවිතාරණ, මනෝජ් වික්‍රම, ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් වන මාවන් අතපත්තු, චමින්ද වාස්, රුවන් කල්පගේ යන සියලුම දෙනා මගේ මේ ගමනේදී මට ශක්තියක් වුණා.”

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය